Wednesday 1 February 2012

හැම තිස්සෙම xxx වගේ අවංක මෝඩයෙක් වෙනවාද? නැත්තම් xx xxx වගේ අවස්ථානුකූලව කපටියෙක් වෙනවාද? - Is it worth being honest always?


මංතුමා නං හැම තිස්සෙම බලන්නේ අවංකව වැඩ කටයුතු කරන්නයි. හැබැයි අවංකව වැඩ කිරීමයි, අවංකව කතා කිරීමයි දෙකක් ය කියලා හිතෙන කේස් එකක් මේ ලඟදි දවසක සිදුවුණා.

මෙන්න ඒ සීන් එක.

ඔන්න අපේ යාළුවෙක් ඕගනයිස් කළා පොඩි පහේ විනෝද චාරිකාවක්. පික්නික් එකක් කියන්නත් පුළුවන්. දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර සිංහල අවුරුදු නිවාඩුව කාලේ. කට්ටිය බත්, කිරිබත්, හොඳි මාළු පිණි, කැවිලි පෙවිලි හදාගෙන ගිහින් දවස් තුන්කාලක් විතර පොඩ්ඩක් විනෝද වෙලා, විශේෂයෙන්ම ඉස්කෝලේ නිවාඩු කාලේ පොඩි අයට සෙල්ලං කරන්න ඉඩ සලසලා දෙන්නයි මේකේ ප්‍රධාන අරමුණ වුනේ.

අපේ යාළුවා, සුමී කියමුකෝ, තමන් ගේ යාළුවන්ටයි, යාළුවන් ගේ යාළුවන්ටයි කතා කරලා තිබුණු නිසා අන්තිමේදී මෙතනට එදා පවුල් විස්සක් විතර එකතු වුණා.

මේ බොහෝ දෙනෙක් මං දන්න කියන අය. රත්නායක මහත්තයලාත් හිටියා ඒ අතර. ඒ එක්කම එදාම මුලින් මුණ ගැසුණු අයත් හිටියා පවුල් හය හතක්.

පික්නික් එක ඉවර වෙන වෙලාව වෙනකොට ඒ හැම දෙනා එක්කම කතා බහ කරළා අඳුණාගන්න ඉඩ ලැබුණා.

ඉතිං ඔහොම ටික දවසක් ගියාය කියමුකෝ.

ඔන්න එක්තරා හාවා හඳ දැකපු දවසක මං අල්ලපු ගමේ තියෙන අපේ පන්සලට ගිය වෙලේ අර පික්නික් එකේ දී මුලින්ම මුණ ගැහුණු එක පොරකුත් එතන හිටියා තව මගේ යාළුවො දෙතුන් දෙනෙක් එක්ක කතා බහ කර කර.

සිල් දානෙ දෙන්නයි මං එදා පන්සල් ගිහින් හිටියේ. තව ටිකක් වෙලා තිබුණු හින්ද මාත් ගියා කෂ්ටිය කතා කරමින් හිටපු පැත්තට.

මුලින්ම මගේ පරණ පුරුදු යාළුවෙක් එක්ක ආ ගිය තොරතුරු හුවමාරු කර ගත්තා. පුතාගේ ශිෂ්‍යත්ව විභාගෙ කොහොමද? දුවගේ සාමාන්‍ය පෙළ විභාගෙ කොහොමද යනාදී වශයෙන්.

ඊලඟට ඔළුව හැරුණේ පික්නික් එකේ දී මුණ ගැහුණු පොර පැත්තටයි.

"ආ කොහොමද, මතකද මාව. එදා සුමී ගේ පික්නික් එකේ දී හම්බ වුණා නේද?" ඒ මම.

"මතකයි, මතකයි, කොහොමද තොරතුරු?" ඒ පොර.

ඔන්න ඔය වෙලාවෙදී තමයි මං අනවශ්‍ය පරිදි අවංක වුනේ.

"එදා කතා කළාට මට ඔහේ ගේ නම නං දැන් මතක නෑ මං කිව්වා. මගේ නම කතන්දර, මොකක්ද ඔයා ගේ නම කිව්වේ?" මං ඒ ඇහැව්වේ අවංකවමයි.

පොර මොකක්ද දන්නවද කළේ?

මගේ ඒ ප්‍රශ්ණේ ඇහුණේ නෑ වගේ ලඟ හිටපු වෙන එකෙක් එක්ක කතාවට පැටළුණා.

සමහර විට පොරට මදි කමක් වගේ වෙන්න ඇති මං පොර ගේ නම මතක නෑ කියලා ආපහු නම ඇහැව්වාම.

ඔය පන්සල් කේස් එකෙන් පස්සෙන් පහු එක දවසක කෝච්චියේ දී ත් මං පොරව දැකලා හිනා වෙන්න වගේ ගියත් මෙන්න බොලේ මූ මාව නොදැක්කා වගේ අහක බලා ගත්තා.

අනේ මට මොකද?

සමහර විට මං එදා පන්සලේදී නම අමතක කතාව නොකියා කතා කර කර ඉඳලා පස්සේ සුමීගෙන් නම අහගත්ත නං මේක වෙන්නේ නෑ.

ඒ මොනවා වුණත් මං තාමත් පොර ගේ නම දන්නේ නෑ. දැන් නං ඉතිං දැන ගන්න වැඩි ඕනෑ කමකුත් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මේක රමණී නෝනා ගේ හොඳ පාඩම් ඉගැන්වීමේ සිද්ධියට වඩා වෙනස් අවස්ථාවක්. මේ පොර මට දිනපතා වගේ හම්බ වෙන පොරක් නම් මාත් පස්සෙන් ගිහින් යාප්පුවෙන් යාප්පුවෙන් යාළු වෙන්න හදන්නත් ඉඩ තිබුණා.

මොකද මං කවදත් හොඳ වෙන්න උත්සාහ කරන පොරක් නේ!

57 comments:

  1. ඒ වගේ කෙනෙක් ඉතින් අඳුනගෙන ඇති වැඩකුත් නෑ. ඒ හන්දා ඔතනදි අවංක උනු එකේ වාසියකුත් තියනවා.

    අපේ නම් එහෙම ඔන්න අමතක කරනවා නෙමෙයි...:D

    අද මම එකද කොහෙද...:)))

    ReplyDelete
    Replies
    1. එක වෙන්නැතුව තියෙයිද පෙබරවාරි 1 පෝස්ට් එකට ජනවාරි 31 කොමෙන්ට් දාපුවාම

      Delete
    2. ඇත්තටම මේ කුමාරිහාමි ඉන්නේ ඇමරිකාවේද, කාම්බෝජයේද?

      Delete
  2. හ්ම්ම්ම්.... මේක මටත් කාලයක් තිස්සෙ තියෙන ප්‍රශ්නයක් තමා :)

    ඔය වගේ සිද්ධි අනන්තවත් වෙලා තියෙනවා. ඒ වෙලාවට හිතෙනවා ඕනවට වඩා අවංක වෙන එකත් මෝඩකමක් කියලා... නැද්ද???

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න වැඩි කැමැත්තක් නැතිකමත් පාපයක් තමා!

      Delete
  3. කෝච්චියෙදි බලෙන්ම කතා කරන්න තිබුනෙ. ඔයවගේ පොඩිදේවලට කේන්ති ගන්න අය කොහොමහරි ෆිට් උනොත් බුදුෆිට් අය වෙනව.

    ReplyDelete
    Replies
    1. //ඔයවගේ පොඩිදේවලට කේන්ති ගන්න අය කොහොමහරි ෆිට් උනොත් බුදුෆිට් අය වෙනව.// රාජ්ගෙ මේ කමෙන්ටුව මට හුරුයි වගේ..

      Delete
    2. ට්‍රයි කරන්න ඕනෑ ආයේ හම්බ වුනොත්!

      Delete
  4. මටත් නිතර ඔහොම දේවල් වෙනවා.. මම නම් නම අහන්න යන්නෙ නැහැ... පස්සෙ වෙන කාගෙන් හරි නම අහගන්නවා.. නැත්තන් මොකක් හරි කතාවක් සෙට් කරනවා එයාටම නම කියන්න සිද්ද වෙන... දවසක් මට යාලුවෙක් හම්බ වුනා අවුරුදු 3 කට විතර පස්සෙ ගම්පහ ස්ටේෂන් එකේදි... අපි දැන් කතා කර කර යනව ඒත් මට පොරගෙ නම මතක නැහැ... මරදානටත් කිට්ටු වෙලා ඒත් මං නෙවේ නම ඇහුවෙ... මං බහින්න හදද්දි, යාලුවම අහනව "මචං මට උඹගෙ නම මතක නම් නැහැ මෙච්චර වෙලා කතා කලාට, මොකක්ද උඹගෙ නම?" කියලා.. මමත් හිනාවෙලා මගේ නම කියල, පොරගෙ නමත් අහගෙන කෝච්චියෙන් බැහැල ගියා...

    ReplyDelete
  5. මචං.. කියන වචනයේ වටිනාකම දැන්වත් තේරුම් ගන්න.. මම සීයලා වගේ උන්ටයි පුතාලා වගේ උන්ටයි කතා කරන්නේ මචං කියලා. කාන්තා පාර්ෂයවට වයස් බේදයක් නැතුව නංගී.. කවුරුත් තරහ වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. උර්බෙටෝගෙ ෆිල්ම් එකට මචං කියල දැම්මෙ ඒ තරම් පොදු හෘදයාංගම ඇමතුමක් ලෝකෙ අනික් භාෂා වල හොයාගන්න අමාරු හින්දලු!

      Delete
    2. @ මාතලන්
      ඇයි මල්ලී කියන්නේ නැද්ද?
      http://maathalan.blogspot.com.au/2010/04/blog-post_147.html
      ඒක බලන්න.

      Delete
  6. මටත් පට්ට විදියට මූණවල් සහ නම් අමතක වෙනවා.. පොදු නාමාවලිය මචං, අයියෙ, මල්ලි, නංගි, අක්කා තමයි පිහිටට එන්නෙ !

    ReplyDelete
    Replies
    1. නමුත් ඉතිං නම නැතුව නිකං මොකක්ද මොකක්ද වගේනේ!

      Delete
  7. ඇත්තනෙ, ඔහොම කෙලින්ම නම මතක නැහ් කිව්වම කාටද අප්සට් යන් නැත්තෙ ! ඔය වගෙ වෙලාවට මමනම් කතා කරන්නෙ අයිය, නංගි කියල... යාලුවෙක්නම් ඉතින් අනේ,හලෝ, වගෙ කෑලි ටිකක් කියල හරි බැරියැ .... කොල්ලොන්ට පුලුවන් ඔය මාතලන් කියනව වගෙ කාටත් මචං කියන්න...........

    ReplyDelete
    Replies
    1. අපොයි කෙල්ලොත් මචං කියනවා ෆුල් ෆිට් වුණාම.

      Delete
    2. තියරිටිකලි කෙල්ලන්ට මචං කියන්න කොල්ලන්ට බැරි උනාට කෙල්ලන්ට පුලුවන්නෙ කොල්ලන්න්ට මචං කියන්න නංගිලා ඉන්නවනන්.

      Delete
  8. මටත් නම දන්නැති එවුන් සෙට් වෙනවා අපේ ගමේම. හැබැයි උන් මාව දන්නවා.

    අලේ මන්දා..

    ReplyDelete
    Replies
    1. ගමේ ලොක්කෝ වුණාම ඔහොම තමයි

      Delete
  9. අප්පේ....මට නම් සෑහෙන්න ඔහොම නම් අමතක වෙනවා.හුගක් වෙලාවට අනික් කෙනාට මගෙ නම මතකයි.ඒ වෙලාවට ශේප් එකේ කතා කරලා පස්සෙ නම හොයා ගන්නවා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හොඳම ක්‍රමය, අවංක වෙන්න ගියාම තමයි කෙලවෙන්නේ.

      Delete
  10. අවං නොවුනොත් අහුවෙනවා සමහර වෙලාවට මාත් අහුවෙලා තියෙනවා....
    මං වැඩකරන්නෙ අහවල් කොම්පැණියෙ කියලා බොරු කියපු කාලයක් තිබ්බා එක්තරා හේතුවක් නිසා.. ගොඩක් අය කීවේ ආ මම දන්නවා එ්ක කියලා
    ඇත්තටම එහෙම කොම්පැණියකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. මාත් කාලයක් වැඩ කළා හවුසින් කෝපරේෂන් එකේ.

      Delete
    2. මාත් උන්න වෙන්ටර් ඉන්ජිනියරින් එකෙයි ගෘහ කර්මාන්ත මණ්ඩලෙයි.

      Delete
  11. ඕක මොකක්ද කතන්දර, මට සමහර වෙලාවට මගේ නමත් අමතක වෙනවා. ඒත් ඉතින් මම කවදාවත් මං එක්ක තරහ වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්නේ කොහොමද, තමන්ගෙන්ම තමන්ගේ නම අහගන්න ඇහැකිනේ?

      Delete
  12. එක දවසක් මට හොඳට දැකල පුරුදු කෙනෙක් වෙඩින් එකකදි හම්බුණා. එයා මා එක්ක හිනා වෙලා මගෙ ගාවට ආවා කතා කරන්න. මට දැන් මොනා කරත් මතකම නෑ. මෙයා මගෙන් ආ කොහ්මද මොනාද මේ දවස් වල කරන්නෙ කොහෙද ඉන්නෙ අනන් මනන් අහලා අන්තිමට කිව්වෙ නැද්ද අනේ මට ඔයාගෙ නම මතක නෑනෙ දැකල පුරුදු නිසයි කතා කරේ කියලා. මම මුකුත් නොකියා හිනාවෙලා මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම් කියලා හිමීට ආවා. බලාගෙන යද්දි අපි දෙන්නටම අපි දෙන්නව මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං අහකට ගියේ ලැජ්ජා හිතුණාද?

      Delete
    2. ඒ වෙන දෙන්නෙක් වෙන්න බැරිද?

      Delete
  13. gadflyzone කියන්නෙ සම්පූර්ණ ඇත්ත. මටත් නිතරම මගේ නම අමතක වෙනවා. ඇනෝ කමෙන්ට් දාන්නෙ ඒ වගේ වෙලාවට. අනික් උන් හිතන්නෙ ඒක ආතල් එකට, මඩ ගහන්න, යාළුකමට කියන්න බැරි දේවල් කියන්න කරන වැඩක් කියලා. හිකිස්.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කමෙන්ට් දාන වෙලාවට නම අමතක නොවෙන අය ඉන්නවා, ඒ තමයි ඇනෝපිලිස් මදුරුවෝ.

      Delete
  14. ඕක පන්සලේදීම වෙච්ච එකයි අස්පෙට් එක, කන බොන තැනකදි වුනා නං කිසි කචල් එකක් නෑ, හොඳයි නැද්ද මං අහන්නෙ ? ඕන්නං ඕනයගෙන් අහල බලන්න.

    ReplyDelete
    Replies
    1. එදා සිල් දානේ, කන්න බොන්න තිබුණා යහමින්. හැබැයි එලෝලු විතරයි!

      Delete
    2. සිල් වුනාට 'සීල් ' තිබිල නෑ

      Delete
  15. මටනම් ඔය නම් අමතක වෙන වැඩේ අනන්තවත් වෙනවා. කොහොමත් අර මාතලන් කියනවා වගේ මචං කියලා කතා කරන්න පුළුවන් එක්කෙනෙක් එක්ක නම් එහෙම කතා කරනවා.

    එහෙම කියනකොට මට තව කතාවක් මතක් උනා.

    ඔය වගේම දවසක් මට කලින් හම්බවෙච්ච පොරක් දහම් පාසලේදි හම්බ උනා එයාගේ වයිෆුත් එක්ක. (අපි යන්නෙ දහම්පාසලේ ඉගෙන ගන්න නෙමෙයි, දුවව ඇරලවන්න. ඒ වගේම අනිත් පේරන්ට්ස්ලත් තමග්නේ ළමයි අරන් එනවා හැම සිකුරාද උදේකම ) ඔන්න ඉතින් ඇතදිම දැකලා ඒ දෙන්නම මගේ ගාවට එනකොට මමත් ෆුල් ට්‍රයි එක දුන්නා නම මතක් කරගන්න. ලඟට එනකංම මට නම මතක් උනේ නෑ....

    ඔන්න ඉතින් මම අර පොර දිහාවට හැරිලා කතා කලා,

    "ආහ් මචං කොහොමද....? හුඟ දවසකට පස්සෙ....!"

    ඒකට උත්තර දුන්නේ පොරගේ වයිෆ්...

    "ආහ් දුමී මල්ලි, අපි හොඳින් ඉන්නවා... හුඟ දවසක් කොහෙද....ඇයි අපි ගිය සතියෙත් දහම් පාසලේදි හම්බ උනේ.....! ඇයි මල්ලිට මතක නැද්ද....?

    "ආහ්හ්හ්හ් ඔව් අක්කේ.... මට මත නැති උනානේ...! අයියේ මම ගිහිල්ලා එන්නම්. ලබන සතියේ හම්බවෙමු....!" කියලා මාරු උනා..

    ReplyDelete
    Replies
    1. දුකා පවුල වෙන්න බෑ නේද? මොකද ඒ මල්ලිලා, නංගිලා නේ!

      Delete
  16. (Traffic Ano)
    නෑ නෑ නෑ ෂුවර් එකට මෑන් හිතන්න ඇති කතන්දර සමරිසි පොරක් කියල, නම එහෙම අහල සෙට්වෙන්ඩ හදයි කියන බයටයි අහක බලාගෙන යන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෆොයි, පොරට ළමයිනුත් ඉන්නවා බොලේ!

      Delete
  17. //"එදා කතා කළාට මට ඔහේ ගේ නම නං දැන් මතක නෑ මං කිව්වා. මගේ නම කතන්දර, මොකක්ද ඔයා ගේ නම කිව්වේ?" මං ඒ ඇහැව්වේ අවංකවමයි.//

    කකා කථාකලේ ඔය වචන ටික ම නම් ඒ මනුස්සයා ආපහු කකා එක්ක කථා නොකරපු එක පුදුමයක් නෙමේ. මොකද දකුණේ උදවිය හිතවත් කමට "ඔහේ " කියලා ඇමතුවාට, මෙහේ උදවිය ඒක සලකන්නේ හරක් දක්කන අය පාවිච්චි කරන වචනයක් විදිහටයි. මට හිතෙන්නේ වැරැද්ද තියෙන්නේ එතෙනයි.

    ReplyDelete
    Replies
    1. ඔය මං ඔහේ, ඔහේ කියලා ලියන්නේ ලිවීමේ රටාව අනුවයි.
      කතා බහේදී එහෙම භාවිතයක් නෑ.

      Delete
  18. නම් අමතක වෙන්නෙ අවංක කමටන නෙවේ...මීටරේ කචල් වෙච්ච් වෙලාවට.... එහෙම වෙලාවට ඩේටා රිට්‍රීව් වෙන්න වෙලා යනවනෙ :-)
    ....පොඩ්ඩක් වෙලා කතාව දැම්මනම් ඔයා මෙයා කියලා නම නිකම්ම එළියට එනවා....

    ReplyDelete
    Replies
    1. මේක උවමනාවෙන්ම වැටුණු වලක්!

      Delete
  19. සමහර වෙලාවට මට අපිට වෙන්නේ ඔකේ අනික් පැත්ත ..!! සමහර උන්ට අපිව මතකයි..!! මට නිකන් එයාලා ලාවට මතකයි ..!! ඒ වෙලාවට ඉතින් අවංක වෙන්න යන්නේ නම් නෑ..!! shape එකේ phone එක දීලා num එක ඉලාගන්නවා..!! මිනිහා එතකොට නමත් එක්කම save කරනවා නේ ..!!

    ReplyDelete
  20. අවංක මෝඩයෙක් වෙලා ඇති පදන් පාඩම් ඉගෙන ගෙන තියෙන නිසා 2012 ඉදන් අවස්ථානුකුල කපටියෙක් වෙලා ඉන්නේ.

    ReplyDelete
  21. මං කතන්දර කිව්ව හින්දද දන්නේ නැහැ හැබෑටම පොර බය වුනේ :D

    ReplyDelete
  22. අවංක වෙන්න හොදම නැහැ. බාල්දි ඔක්කොම වැටෙන්නේ කරපිට

    ReplyDelete
  23. හංදියෙ චයිනීස් එකේ තනියම බොද්දි මොන තරං නං නම මතක නැති යාලුවො සෙට් වෙනවද. . . .උංගෙං නම ඇහුව කියල කවදාවත් අහක බලං යන්නෙ නෑ . . . . මම හිතන්නෙ කතන්දර ප්‍රශ්නෙ අහපු විදියෙ නෙමෙයි වැරැද්ද තියෙන්නෙ . . . ප්‍රශ්නෙ අහන්න යෙදාගත්ත තැනයි වැරදි

    ReplyDelete
  24. මට නං ඔහොම දේවල් වැඩිය වෙලා නෑ.. ඒත් මතක හිටින එකක් වුණා.. මං පුංචි කාලෙ ඉස්කෝලෙ ගියෙ දැරණියගල නොවැ.. ඊට පස්සේ කොළඹ පැත්තට ආවා නොවැ.. පස්සෙ උ/පෙ කරන කොට අපේ පංති වලට දැරණියගල පැත්තේ ළමයිනුත් ආවා.. ඉතිං එයිං කීප දෙනෙක් මගෙත් එක්ක ෆුල් ෆිට්.. ඔන්න උන්ගෙ සැට් එකේ හිටපු ගෑනු ළමයෙක්ව මට හඳුන්වලා දෙනවා ඒ දවස් වල මගේ පංති වල හිටියා කියලා.. ඇත්තමයි එයා කවදාවත් මගේ පංතියේ නං ඉඳලා නෑ.. ඉතිං මං කිවුවා මට නං මතක නෑ.. කියලා.. හපොයි.. ඊට පස්සේ අවුරුදු ගානක් විවිධ තැන් වලදී අපි දෙන්න හම්බ වුණා... මේ ළමයා මගේ දිහා බලන්නෙවත් නෑ නොවැ... ඒ තියා එයා ගේ බෝයි ෆ්‍රෙන්ඩ් අයියත් මගෙත් එක්ක බොහොම හිතවත් වුණා.. හපොයි.. මේ කෙල්ලට මාව වහකදුරු වෙලා නොවැ...

    ඇත්තටම මට දුකයි.. එයා මොකක් හරි අපහසුතාවයකට පත්වෙන්න ඇති මං එහෙම කියපු විදිහට... නැත්නම් ඒ ළමයා එහෙම නරක කෙනෙක් නෙවෙයි..

    ඒක හින්දා සහෝ දුක් වෙන්ටත් කාරි නෑ.. සමහර අයට එහෙම අමතකයි කිවුවහම අප්සැට් යනවා ඇති.. ඒ හින්දා එහෙම නොකියා... කොහොම හරි කතාව ඇදං යන එක තමයි වටින්නේ..

    ReplyDelete
  25. මටත් මේ මෑතකදී ඉඳල පොඩ්ඩක් ඔය ලෙඩේ ටිකක් ටිකක් හැදිලා වගේ
    එක පාරක් ගෑනු ළමයෙක් හොඳට හිනා වෙලා මගේ නම කියල කතා කරලා ආගිය විස්තර ඇහුවා පාරේදී හම්බ වෙලා
    මගේ මීටරේට ඒ ලමයව වැටෙන්නෙම නැහැ
    මට හිතුනේ මෙයානම් මගේ අක්ක කෙනෙක්ගේ පන්ති සගයෙක් කියල
    ඉතින් මමත් ජාමේ බේරගන්න හිතාගෙන "මම පොඩ්ඩක් හන්දියට ආවා, ඔයා දැන් මොකද කරන්නේ අක්කේ" කියලා ඇහුවා

    අක්කා නෙමෙයි xxx මම ඔයාගේ පන්තියේ හිටියේ කිව්වහම මට පොළව පලාගෙන යන්න හිතුනා

    මගෙත් ලොකු වැරද්දක් නැහැ වගේ ඉතින්,
    මම ගියපු පොඩි ඉස්කෝලේ 5 වසර වෙනකල් එකට හිටපු කෙල්ලෙක් තමයි ඒ මුණ ගැහුනේ හරියටම අවුරුදු 8 ට 9 ට පස්සේ
    කාලය ඒ ළමයාගේ ශරීරයේ ඇති කරලා තිබ්බ වෙනස්කනුත් එක්ක මම එයාව හරියටම අඳුන ගත්තනම් තමයි ඇත්තටම පුදුමේ කියල මට පස්සේ හිතුනා

    ReplyDelete
  26. අපේ මාමට තිබුනා පොඩි ලෙඩක්..හමුදුරුවංගේ නම අමතක වෙන සීන් එකක්..පොර "අවසර" කියලා බර කථාවක් අලුත් හාමුදුරුකෙනෙක් එක්ක...පංසලේ පිංකම දවසේ....ඒක එක ටෙක්නික් එකක් ලු...පස්සෙ කිව්වේ....අවසර අවසර කිය කිය පොර ශේප් උනා.....

    ReplyDelete
  27. අමතක වන ලෙඩේ නම් මටත් තියෙනවා සෑහෙන්ට. ඒ නම් වයසට වෙන්ටෑ. ජිම් එකේ ලොක්ක හඳුනා ( හඳුන්ගේ ) සිහියට එනව මේ වෙලාවෙ. හඳුනට තිබුන මොටෝ බයිසිකලයක්. වයිෆුත් එක්ක ෂොපිං ගිහිල්ල.. වයිෆ් දාල මිනිහ විතරක් ගෙදර ඇවිල්ල. ඒ දැනට අවුරුදු 25 කට විතර ඉස්සර. මිනිහ දැන් නෑ. ලස්සන රස කතා ගොඩක් ඉතිරි කරල මිය පරලොව ගිහින්.

    ReplyDelete
    Replies
    1. මිය පරලොව යන්ඩ වුනේ වයිෆ්ව දාල ගිය කේස් එකෙන්ද ?

      Delete
  28. ඊළඟ දවසෙ හම්බුනාම බලෙන්ම කතාවට යන්න.....

    ReplyDelete
  29. මෙන්න මට වෙච්ච දෙයක්.

    දිනය: අවුරුදු දහයකට විතර ඉස්සර

    තැන: ඒ කාලේ මං උන්නු බෝඩිම ළඟ පාරේ හන්දිය.

    අවස්තාව: මොකද්දෝ සීන් එකකට රුපියල් බර ගණනක් අරගෙන එකත් පර්ස් එකේ දාගෙන මං බෝඩිමට යන ගමන. ගියා ආප්ප ගන්න. පර්ස් එකේ එකේ තිබ්බ සිල්ලර සල්ලි වලින් ආප්ප වලටත් ගෙවලා ඔන්න මං පාර පනින තැන. මැදි වියේ මුනේ ලප ගොඩක් තියෙන බුවෙක් බයිසිකලේ නවත්තලා;

    "හා මල්ලි"

    මං බැලුවා. ඩයල් එකේ ඇඩ්රස් ලෝඩ් වෙන්නේ නැහැ. ඔන්න ඔහොම මට තිස්සෙම වෙනවා. මට නම් නොවේ මුහුණයි අමතක වෙන්නේ. එතකොට මං කරන්නේ කතාවෙන් පොර කවුද කියලා හොයා ගන්නවා.

    "හල්ලෝ කොහොමද" මං කිව්වා.

    "මල්ලි කොහෙද යන්නේ?"

    ... ඔන්න දැන් කතාව ඇදිලා යනවා. විනාඩි දෙකක් විතර.

    සාමාන්‍යයෙන් මෙලහට පොර මට ලෝඩ් වෙන්න ඕනේ. ම්හු. තව නැහැ. ට්‍රයි සම් මෝර් කිව්වලු.

    "මල්ලි මාව ඇදුනුවේ නැහැ නේද?" ඔන්න මං වීක්ෂිප්ත වුනා. මොකද මගේ රඟපෑම උපරිම. පොරට මේක තේරෙන්න බැහැ.

    මාත් ඉවසලා, සුදු කොඩි දාලා කිව්වා "ඇත්තම කියන්න මට අයිය ව මතක නැහැ කියලා"

    "අයියෝ ඇයි මල්ලි මතක නැද්ද මං මේ හන්දියේ ත්‍රී වීල් කරන්නේ. ඔයා කොච්චර යනවද මාත් එක්ක." පොරට අවුලක් නැහැ අමතක වීම. බොක්ක අවුට් ෆිට් එකට.

    හැබැයි මට අවුල. මං මලාට ත්‍රී වීලරේ යන්නේ නැහැ. කොටින්ම එතන පාක් එකේ මට නිකමට මතක එකෙක් වත් නැහැ.

    පොර දිගටම කතාව.

    "පොඩි එකාට බෙහෙත් ගන්න ආවා මල්ලි. පොඩි ගානක් මදි උනා. රුපියල් විසි දෙකක්. මට ගිහින් එන්නත් බැහැ. හන්දියේ දන්නා පොරකගෙන් ඉල්ලා ගන්න බැලුවේ. මල්ලිට බැරිද 22 ක් දෙන්න. මං හෙටම දෙන්නම්"

    අයියෝ විසි දෙකයිනේ. මොකද්ද ඉතින්.

    හැබැයි ඔන්න මට එක පාරට විජ්ජා ද ආලෝකෝ ද ඔක්කොම ටික උදපාදී. මහා පොලොව ගුගුරවා ගෙන මට සත්යාවබෝධේ ලැබුනා.

    මගේ පර්ස් එකේ 20 දාහකට වඩා තිබ්බා. මං ආප්ප ගත්තේ ඔන්න ඔය පර්ස් එක දිග ඇරලා. මූ එතන ඉන්නැති. දැන් මූ ඉන්නේ බයිසිකලේ. මං පයින්. පර්ස් එකෙන් නේ රුපියල් 22 ගන්නේ [කාසිත් එක්ක]. මූට තියෙන්නේ ගත්තා පර්ස් එක. පැද්දා බයික් එක.

    ඔය හේතුව මිසක මූ මාව දන්නේ නැහැ. කොටින්ම එතුමත් අති විශිෂ්ට රංගනයක. මෙයා ප්‍රොෆෙෂනල් නළුවෙක්. හිතවත් ත්‍රී වීලර් අයියගේ පාට් එක කොරන්නේ.

    දැන් මොකද කරන්නේ. සත්යාවබෝධෙන් පස්සේ, පොරගෙයි මගෙයි දැන් ෆ්රේන්ඩ්ස්ෂිප් එකක් නැහැනේ. ආයි මොකටද ඇඹරෙන්නේ. මට මොනවාද කරන්න බැරි. මං ක්ෂණික ව වෙනස් වුනා.

    "මේ තමුසෙලට නිකම් ඔහොම සල්ලි දෙන්න"

    "මං දන්න කෙහෙම්මල් ත්‍රී වීලර් කාරයෙකුත් නැහැ"

    "මං තමුසේ ව දන්නේ නැහැ ඕයි"

    කියලා පොරට ක්ෂණික මල්ටි බැරල් පාරක් දීලා, මං යන්න ගියා.

    බොක්ක දෙන්න ෆීට් වී හුන් මගේ ක්ෂණික වෙනස් වීම ඉදිරියේ මේ ප්‍රොෆෙෂනල් නළුවා වික්ෂිප්ත ව හිටියේ "මල්ලි ....?" කියලා තඩි ප්‍රශ්නාර්ථයකුත් දමා ගෙන.

    [නලිනිගේ බ්ලොග් පොස්ට් එකක් අස්සේ සඟවා තිබු මගේ කතාවක් කොපි ලෙෆ්ට් පදනමින් මෙතන අලවා දමන ලදී]

    ReplyDelete
  30. අපේ එක්කෙනාටත් නිතරම එහෙම වෙනවා. මම තමයි මතක් කරල දෙන්නෙ. සමහර වෙලාවට මටත් අමතක වෙනව. එතකොට තමයි ප්‍රශ්නෙ. හැබැයි මෙහෙම අය මග හැරීම හොඳයි කියල තමයි මල්ලි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  31. කැම්පස් එකේ එමට යාලුවෝ හිටියත් මට හුඟාක් අයගේ නමක් ගමක් මතක නැහැ. ඒත් මම කසූ වගේ අනවශ්‍ය විදිහට අවංක වෙන්න යන්නේ නැහැ. හොඳට කතා බහ කරනවා. මූණු මතකයිනේ ඒ මදැයි හොඳටම

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.