Sunday 28 August 2011

සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena


අද සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් තීරුව යටතේ විවාදාත්මක මාත්‍යකාවක් ගැන ලඟදී ලියවී ඇති ලිපියක සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට සිතුනා.

මේ ලිපිය ඉංගිරිසියෙන් ලියූ ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන කියන්නේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක්. පොර කොළඹ යුනිවසිටියේ, පරමාණුක බල අධිකාරියේ හෙම සේවය කළා. දැන් නං එහෙන් පැන්ෂන් මයෙ හිතේ. කාලෙක ඉඳලා පුනරුත්පත්තිය ගැන පරීක්‍ෂණ කරනවා.

මෙන්න ලිපියේ පරිවර්තනය.

සමලිංගිකතාවය යනු බටහිරෙන් එන අස්වාභාවික රෝගයක් ලෙස ඉන්දියානු සෞඛ්‍ය ඇමති විසින් සමච්චලයට ලක්කර ඇත. අපේ විමර්ශනවලින් පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

සමලිංගිකතාවය යනු ස්වාභාවික ප්‍රවණතාවක් වන අතර එය කිසිසේත්ම රෝගයක් හෝ අස්වාභාවික දෙයක් නොවේ.

සමහර ගැහැනුන් හා මිනිසුන් සමලිංගිකයින් වන්නේ ඇයි දැයි යන්න අද දක්වා මනෝවද්‍යාවෙන් විසඳා නොමැති පැණයකි. වෘත්තීමය වශයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වුවද මා විනෝදාංශයක් ලෙසින් කරන මෝහන චිකිත්සාව සහ පුනරුත්පත්තිය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ විද්‍යාත්මක ක්‍රමය මෙම ප්‍රශ්ණය තරමක් දුරට පැහැදිලි කරගත හැක.

අතීතයේ දී මේ ගැන සාකච්ඡා කිරීම ජුගුප්සාජනක දෙයක් ලෙස සැලකුනමුත් සමලිංගිකතාවය සෑම සමාජයකම රහසේ පැවත ඇත. අද සමාජයේ නම් සමලංගිකතාවය ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ හැකි විෂයයක් වී ඇති අතර එහි ප්‍රතිඵලක් ලෙස සමලිංගික උද්ගෝෂකයින් තම මානව අයිතිවාසිකම් ඉල්ලීමට පටන් ගෙන ඇත.

සමහර කාන්තාවන් ඔවුන් ගර්භනී කාලයේ දී සමහර කෑම වර්ග එක්කෝ අතිශයින් ප්‍රිය කිරීමට හෝ නැත්නම් අතිශයින් පිළිකුල් කිරීමට පටන්ගන්නා අතර ඔවුන් ගේ එවැනි අවශ්‍යතා සපුරා දීමට සියළු දෙනාම සාමාන්‍යයෙන් පෙළඹෙති. දැන් අප දන්නා පරිදි මේ ආහාර පිළිබඳ සුවිශේෂී රුචිය හෝ අරුචිය ඇතිවන්නේ කාන්තාවගේ කුසයේ සිටිනා දරුවාගේ පෙර ආත්මයේ තිබු කැමැත්ත හෝ අකමැත්ත අනුවය.

උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් මස් සහ මාළු සමග තම ආහාර ගැනීමට පුරුදු වී සිටි එක්තරා කාන්තාවක් ගර්භණී අවධියේ දී එළවළු පමණක් කෑමට ගන්නට පටන්ගත් අතර, දරු ප්‍රසූතියෙන් පසු ඇය නැවත සුපුරුදු මස් සහ මාළු සහිත ආහාර ගැණීමට පටන් ගත්තාය. දරුවා වැඩුනේ උපතින්ම ශාක භක්‍ෂකයෙකු ලෙසිනි. දරුවා පෙර ආත්මයේ දැඩි ශාකභක්‍ෂකයෙකු වී සිට ඇති බව පසුව සොයාගන්නා ලදී.

මේ ආකාරයට, යම් පුද්ගලයෙක් මිය ගොස් නැවත උපත ලබන විට ඔහුට හෝ ඇයට පෙර ආත්මයේ තිබුණු ජීවන ආශාවන් වත්මන් ජීවිතයට ගෙනෙන බව පෙනේ. ඔහු හෝ ඇය එම ආශාවන් උපත ලැබීමෙන් පසු සපුරා ගැනීමට උත්සාහ කරනවා පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ අනාගත මව ලවා ද ඒ ආශාවන් සපුරා ගැනීමට බලපෑම් කරන බව පෙනේ.

මේ ආකාරයටම, යම් පුද්ගලයෙක් මියගොස් නැවත ඉපදෙන විට ඔහු හෝ ඇය විසින් තමන් ගේ ලංගික ආශාවන්ද මේ ජීවිතයට ගෙනැවිත් නැවත උපදින්නා ගේ සිතෙහි තැන්පත් කරනු ලබයි. එවැනි ආශාවන් උපවිඥානයෙහි පතුලේ සැඟවී තිබෙන අතර, දරුවා වැඩී ලිංගික වශයෙන් සංවේදී වන කාලයේදී සිත මතුපිටට පැමිණේ. සමලිංගිකතාවය ඇතිවන්නේ හොඳින් ලිංගිකව ක්‍රියාශීලි පුද්ගලයෙකු මියගොස් නැවත උපත ලබන විට ස්ත්‍රී පුරුෂ බව වෙනස් වී ඉපදුණු විටය.

පිරිමියෙක් මියගොස් නැවත මිනිස් ලෝකයේ ඉපදුනු විට ඒ ඉපදීම පිරිමියෙකු ලෙස හෝ කාන්තාවක ලෙස හෝ සිදුවිය හැකිය. ඒ ආකාරයෙන්ම කාන්තාවක් මියගොස් නැවත මිනිස් ලෝකයේ ඉපදුනු විට ඒ ඉපදීම කාන්තාවක් ලෙස හෝ පිමියෙක් ලෙස හෝ සිදුවිය හැකිය.

පිරිමියෙකු නැවතත් පිරිමියෙකු ලෙස උපත ලද විට, වත්මන් සිරුරේ ලිංගිකත්වය නිසා ඇතිවෙන ලිංගික ආශාවන් පිරිමි ලිංගික ආශාවන් වන අතර, තම සිත ඇතුලේ ඇති පෙර ආත්මයෙන් ගෙනා ලිංගික ආශාවන්ද එලෙසම පිරිමි ලිංගික ආශාවන් නිසා ඒවා එකිනෙක පෑහී සවි ගැන්වේ. එවිට ඔහුට දැඩි පුරුෂ අවශ්‍යතා සහිත පෞරුෂත්වයක් හිමිවේ. එවැනි පිරිමියෙකු හා විවාහ වන කාන්තාවක ඉතා වාසනාවන්ත අයෙකු වන අතර ඇයට සම්පුරණයෙන් ම තෘප්තිමත්වූ අපිස් විවාහ ජීවිතයක් ලැබෙනු ඇත.

කාන්තාවක් නැවතත් කාන්තාවක් ලෙසින්ම ඉපදුනහොත් ඒ අවස්ථාවද මෙයට සමාන වන අතර ඇයට කාන්තා ආශාවන් සහ ස්ත්‍රීත්යෙන් පිරි පෞරුෂත්වයක් හිමිවෙනු ඇත. එවැනි කාන්තාවක් හා විවාහවන පිරිමියෙකු ඉතා වාසනාවන්ත අයෙකු වන අතර ඔහුට සම්පුරණයෙන් ම තෘප්තිමත්වූ අපිස් විවාහ ජීවිතයක් ලැබෙනු ඇත.

පිරිමි සහ කාන්තාවන් බහුතරය අයත් වන්නේ ඉහත දැක්වූ දෙවර්ගයටය.

උපතේ දී ලිංගික වෙනස්කමක් ඇතිවන පුද්ගලයන් ඉතා සුළු ප්‍රතිශතයක් ඇත. එවැනි අවස්ථාවන් හි දී පිරිමියෙකුගේ පිරිමිබවද, කාන්තාවක ගේ ස්ත්‍රීබවද නිසි පරිදි වර්ධනය නොවේ.

පිරිමියෙකු මියගොස් කාන්තාවක ලෙස උපත ලැබුවොත් ඇගේ සිරුරේ ඇති කාන්තා ආශාවන් සහ ඇගේ සිත පතුලේ ඇති පිරිමි ආශාවන් එකිනෙක ගැටේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිවිරුද්ධ ආශාවන් සම්පුර්ණයෙන්ම හෝ අඩ වශයෙන් එකිනෙක උදාසීන කර දමයි. මේ ජීවිතයේ කාන්තා ආශාවන් අඩ වශයෙන් උදාසීන වුවහොත් ඇයට හිමිවනුයේ දුර්වල කාන්තා ආශාවන් වන අතර ඇගේ ස්ත්‍රීත්වය සහ ලංගික ආශාවන් දුරවල වී අයට පිරිමින් පිළිබඳව වැඩි උනන්දුවක් ඇති නොවේ. නමුත් සමාජ පීඩනය නිසා ඇය විවාහ දිවියට පත්වීමට ඉඩ තිබේ.

එවැනි කාන්තාවක් හා විවාහ වන පිරිමියෙකු එතරම් වාසනාවන්තයෙකු නොවන අතර ඔහුට තෘප්තිමත් අපිස් විවාහ ජීවිතයක් නොලැබෙනු ඇත.

මෙවැනි කාන්තාවක ගේ ප්‍රතිවිරුද්ධ ආශාවන් එකිනෙක මුලුමනින්ම පාහේ උදාසීන වී ගියහොත් ඒ කාන්තාවට කාමයේ හැසිරීම හෝ විවාහය උවමනා නොවන මුත් බලකිරීම් උඩ අවාසනාවන්ත පිරිමියෙකු හා ඇය විවාහ වීමටද ඉඩ තිබේ. උපවිඥානයේ රැඳී තිබෙන පිරිමි ආශාවන් ඉස්මතු වුවහොත් ඇයට පිරිමි භූමිකාවක් රඟපෑමට අවශ්‍යවනු ඇත. ඇගේ කැමැත්ත අනෙකුත් කාන්තාවන් වෙත ඇදී යන අතර ඇය සමලිංගිකත්වය කරා යොමුවනු ඇත.

කාන්තාවක් මිය ගොස් පිරිමියෙකු ලෙස උපත ලැබූ විට ද ඇතිවන්නේ මෙවැනිම දෙයකි. නව පිරිමි ජීවිතය එක්කෝ දුර්වල පිරිමි ආශාවන් සහිත වීම හෝ පිරිමි ආශාවන් රහිත වීම හෝ පෙර ආත්මයෙන් ගෙනෙ කාන්තා ආශාවන් ඉස්මතුවීම හෝ සිදුවී ඔහු සමලිංගිකතාවය කරා යොමුවෙනු ඇත.

මේ අනුව පෙනී යන්නේ සමලිංගිකතාවය යනු ස්වභාවික මිනිස් ප්‍රවනතාවයක් මෙන්ම එය ඉතරලිංගිකතාවය (heterosexuality) තරම්ම ස්වාභාවික වුවක් බවයි.

වරක් කුඩා පැල්පතක දුප්පත් ජීවිතයක් ගත කළ අවුරුදු විසි පහක පියකරු තරුණියක් සහ ඇගේ මව මා හමුවීමට ආවෝය. ඔවුන් ගේ ප්‍රශ්ණය වූයේ මේ තරුණිය සමලිංගික වූ අතර ඇය ඇගේ මව තමාගේ සහකාරිය ලෙස බලෙන් යොදාගැනීමයි. ඔවුන් පරීක්‍ෂා කළ මා සොයා ගත්තේ මේ කාන්තාව ඉහත ආත්මයේ දී ලංකාවේ ප්‍රධාන රෝහලක පිරිමි දොස්තරවරයෙක් වී සිට ඇති අතර ඇගේ මව ඔහුගේ නිවසේ මෙහෙකාරිය සහ අනියම් බිරිඳ වී සිට ඇති බවයි. කාන්තාවක් ලෙස නැවත ඉපිදී ඇත්තේ ලිංගික වෙනස්කමක් ලබා වුවත් ඇගේ මව එලෙස වෙනස් කමක් ලබා නැත.

මට කොළඹ දී නිරූපිකාවක් ලෙස කටයුතු කළ තරුණ කාන්තාවක් හුවූ අතර ඇය විවාහ වී වසර දෙකක් ගත වී තිබුණි. මේ කාලයේදී මා සමලිංගිකතාවය යන සංසිද්ධිය සහ නැවත උප්පත්තියේදී ලිංග මාරුව පිලිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටි අතර එනිසා ඇය තමන්ගේ වත්මන් ජීවිතයේ සහ පෙර ආත්මයේ පුද්ගලික තොරතුරු මට හෙලි කළාය.

ඇය විවාහ වී වසර දෙකක් ගතවී තිබුණද, ඇය තම ස්වාමිපුරුෂයා සමග හෝ වෙනත් අයෙකු සමග කිසිදු ලිංගික සම්බන්ධයක් සිදු කර තිබුනේ නැත. ඇගේ පෙර ආත්මයේ ඇය පිරිමියෙකුව සිට ඇති අතර ඔහු සහ වයස දාහතේ සිට එකට සිටි ඔහුගේ පෙම්වතිය ලිංගික වශයෙන් ඉතා ක්‍රියාකාරීව සිට ඇත. ඇගේ වත්මන් ස්වාමිපුරුෂයා පසුගිය ආත්මයේ කාන්තාවකි. පසුගිය ආත්මයේ ඔවුන් ඉතා කිට්ටු මිතුරන් ව සිට ඇත. ඔහුද නැවත ඉපදීමේදී ලිංගිකව වෙනස් වී ඇති නිසා වත්මනෙහි ලිංගික අවශ්‍යතා නොමැත. නමුත් ඔවුන් දෙදෙනාගේ ඉහත ආත්මයේ තිබූ මිතුරුකම නිසා ඔවුන් විවාහ වී, ලිංගික සම්බන්ධයක් නොමැතිවද ඉතා සාමකාමීව , සමගියෙන් ජීවත්වෙති.

දකුණේ පාසලක සිටි අවුරුදූ පහළොවක සිසුවියක් වෙනත් සිදසුවියක් සමග සමලිංගික සබඳතාවයක් ඇතිකර ගැනීමට උත්සාහ කළාය. මෙය දුටු ගුරුවරියක් සිසුවියට ඉතා තදින් තරවටු කළාය. මෙම තරවටුවෙන් සිසුවිය කෙතරම් බිය වූයේ ද යත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇය වහාම ගොළු බවට පත්වූවාය. ඇගේ ගොළුබව ගැන සන්ත්‍රස්ත වූ දෙමව්පියෝ මගෙන් උපදෙස් විමසූහ.

මා සොයාගත් ආකාරයට ඇය පෙර ආත්මයේ දකුණු ඉන්දියාවේ ගොළු තරුණයෙක් ලෙස වාසය කර ඇති අතර වයස අවුරුදු දා හතේ දී මිය ගොස් ඇත. ඒ දකුණු ඉන්දියානු ආත්මයට පෙර ආත්මයේ ඇය උතුරු ඉන්දියාවේ බොධිගයාව අසල මාර්ගයේ පලතුරු විකුණූ අකුරු නොදන්නා පිරිමි ළමයෙකි. නැවත උපතේදී සිදුවූ ලිංග මාරුව ඇයට සමලිංගිකතා ප්‍රවණතාවය ගෙන දී ඇති අතර ගුරුවරියගේ තරවටුව ගැණ ඇතිවුණු දැඩිබිය ඇයව ආරක්‍ෂක පියවරක් ලෙස පෙර ආත්මයේ ගොළුබව කරා යොමු කර ඇත. මෝහනයෙන් නිදිගන්වා ඇගේ ගොළු බව නිවරද කරන ලදී.

වයස අවුරුදු දහනවයක තරුණියක් ඇගේ සිරුර වෙනත් තරුණියක් ලඟින් සිටිනා විට ඉතා ප්‍රාණවත් වන බවත්, එහෙත් තරුණයින් කෙරේ ඇගේ කිසිදු සංවේදීතාවයක් නැති බවත් මට පැවසුවාය. ඇය නැවත ඉපදීමේදී ලිංග මාරුවක ලක් වූ අයෙකි. මෝහනයෙන් නිදි ගන්වා ඇයව ඉතරලිංගිකතාවයට පත් කරන ලද අතර ඉන් පසු ඇය පෙම්වතෙක් සොයා ගත්තාය.

වයස විසි අටක පිරිමියෙකුට තරුණියන් කෙරෙහි කිසිදු සංවේදීතාවයක් නොතිබුණු අතර තරුණයින් කෙරෙහි ඉතා සංවේදීතාවයක් තිබුණි. ඔහුව මෝහනයෙන් නැවත ඉතරලිංගිකතාවයට පත් කරන්නට නොහැකිවිය.

මේ කරුණු අනුව සමලිංගිකයින් අස්වාභාවික රොගීන් ලෙස නම් කර ඔවුන් ට නොයෙකුත් වෙනස්කම් කිරීම නොමිනිස් කමක් බව කිව හැක.

- ග්‍රැන්විල් ධර්මවර්ධන

මෙන්න ග්‍රැන්විල් ගේ විද්‍යුත් ලිපිනය:
granvilled@gmail.com

මෙන්න පහන නම් සඟරාවේ අගෝස්තු මැද කලාපයේ පලවූ ග්‍රැන්විල් ධර්මවර්ධන ගේ ලිපියට සබැඳියක්.
http://www.pahana.com.au/Sites/Pahana/Documents/MidMonth%20issue/23.pdf

-කතන්දරකාරයා

(image: http://www.news.com.au/national/wong-gay-push-sparks-fears-of-labor-hijacking/story-e6frfkw9-1225962418126)

63 comments:

  1. //"මේ කරුණු අනුව" සමලිංගිකයින් අස්වාභාවික රොගීන් ලෙස නම් කර ඔවුන් ට නොයෙකුත් වෙනස්කම් කිරීම නොමිනිස් කමක් බව කිව හැක. //
    ඔය කියාපු කරුණු ටික ඇරුනාම මේක බොහොම ගරු කටයුතු කතාවක්.

    (ග්‍රැන්විල් මහත්තයටත් තියෙන්නෙ අර ජාතියෙ ලැබ් එකක් වගේ)

    ReplyDelete
  2. ආයේ වතාවක් කියවන්න ඕනෙ

    ReplyDelete
  3. ආයේ පාරක් නම් මටත් කියවන්නම වෙනවා.. කාලෙකින් තමයි කකා ගෙන් මේ තරම් දිග පොස්ට් එකක් කියව්වේ....

    ReplyDelete
  4. පෙර භවය අනුව වර්තමාන භවයද,වර්තමාන භවය අනුව අනාගතභ්වයන්ද සකස් වේ,වර්තමාන භවයේ ස්ත්‍රී පුරුශ බව පෙර භවයේ කරන ලද අසලාකුසල කර්ම අනුව සකස් වේ,ඒ අනුව බලන කල ඉහත ලිපියතුල මතු කරන සංකල්පය යම්තාක් දුරට බෞද්ද ධර්ශනය තුලින්ද විසතර කල හෑකිය.

    ReplyDelete
  5. මාත් මෙමගින් නිගමනයකට එළබුනා.. පුජ්‍ය පක්ෂය (සෑම ආගමකම.) ක්‍රීඩකයින් සහ ශිෂ්‍යයින් මේ ආත්මයේදීම ලිංගික විපර්යාසකට ලක්වන බව. විශේෂයෙන්ම කුඩා කළ පෙර ආත්මයේ ස්වභාවය ලබා සමලිංගික, ළොකු උනාම විශම ලිංගික.

    සංසාරේ... සංසාරේ..

    ReplyDelete
  6. හප්පා මට කැරකැවිල්ල වගේ මේක බලලා.
    මුලු දවසෙම හිතන්න දෙයක් ලියල තියෙන්නේ.
    මෙවැනි සමලිංගික ජෝඩු වලට විවාහ වෙන්න අවසර දීපු වෙලාවෙ තමයි දැක්කෙ මොනතරම් මෙවැනි අය ඉන්නවද කියලා..
    මේවනම් පෙර කල කරමම වෙන්න ඕන. කවදාවත් දරුවෙක් හදන්නත් බැරි වෙනවනේ..

    ReplyDelete
  7. ගොඩාක් කල්පනා කල යුතු ලිපියක්. කතන්දර ගොඩක් කාලෙකට පස්සේ තමා මේ විදියේ ලිපියක් කලේ. (මෙච්චර දවසක් ඇඳුම් ගැනමනේ ඔලුවේ තිබ්බේ )...:D

    ග්‍රැන්විල් මහත්තයා කීව පලියටම ඒක එහෙම වෙන්ට පුලුවන් කියලා හිතන්ට අමාරුයි...:)

    ReplyDelete
  8. ඔය සබ්ජෙක්ට් එක නොවෙන්න, ලOකාවේ ඉතිහාසය විතරක් නොවෙයි ලOකාවේ ලොකුම දේශපාලන පක්ශ වලත් ඉරණම කොච්චර වෙනස් වෙන්න තිබ්බද?

    ReplyDelete
  9. කතන්දරශූරීහු පරිවර්තනශූරියෙකු වෙයි. මගේ උපහාරය.
    අද ලියල තියෙන්නේ මට කමෙන්ට් කරන්න බැරි සබ්ජෙක්ට් එකක්. (සමලිංගිකතාව කියන සබ්ජෙක්ට් එක නෙමෙයි. පුනරුත්පත්තිය සහ මානසික වෛද්‍ය විද්‍යාව) පුබ්බේ නිවාසානුස්සතිඥානය තියෙන කෙනෙක් කියාපු දෙයක්නෙ. නිකම්ම නෙමෙයි. ආත්ම භව දෙකක්ම පිටිපස්සට කියන්න පුළුවන්.
    මම කල්පනාකළේ මහාචාර්යතුමා ඔය මානසික ප්‍රතිකාර විධි ක්‍රමය පුහුණු කරලා විශේෂඥ කණ්ඩායමක් බිහි කළානම් සමලිංගිකත්වය සෑහෙන දුරකට අඩු කරගන්න තිබුනා නේද කියල.
    -ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  10. ආචාර්‍ය ග්‍රැන්විල් ධර්මවර්ධනගෙ ලිපි පෙලක් ඒ කාලෙ පත්තරේක ගියා මට මතකයි. එයා යම් නිගමනයකට එන්නෙ විද්‍යාත්මක ක්‍රම තුලින් නිසා මේ කරුණ ගැන ආපු නිගමනය යම් තාක් දුරකට නිවැරදි වෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ. මම නම් මේ වගෙ කරුණු දිහා බලන්න උත්සාහ කරන්නෙ.. විවුර්ත මනසකින්..එහෙම නැත්නම් අපිට යම් යම් අය ගැන විනිශ්චයන්ට එළඹෙන්න අමාරුයි සහ වැරදි විනිශ්චයන්ට එළඹෙන්න තියෙන ඉඩ වැඩියි කියලත් හිතෙනව

    ReplyDelete
  11. විශාල වැදගතිකමක් තියෙන මාතෘකාවක්!නමුත් ඔය සම්බන්ධයෙන් මගේ මතය ප්‍රකාශ කරන්න මම කැමති නැහැ.ඒත් මේ ලිපියේ මුල් පිටපත හොයාගෙන කියවන්නට ඕනෑ!

    ReplyDelete
  12. සම්භාව්‍ය විද්‍යාවෙන් එපිටට ගියත් බොහොම තර්කානුකූල විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. බැලූ බැල්මට පිළිකුල් සහගත වුනත් ඒ තත්වයට මුහුණ දෙන්නගේ මානසිකත්වය බොහොම අසරණ පීඩිත එකක් වෙන්න පුළුවන්. නමුත් පැහැදිලිවම සමාජයක පැවතිය යුත්තේ විෂම ලිංගික සබදතා පමණයි. සමලිංගිකයින් මානසික වෛද්‍ය ප්‍රතිකාර , උපදේශන ආදිය හරහා නිසි මාර්ගයට ගැනීම මිස ඔවුන්ව කොන් කිරීම හෝ දැන් දැන් සිදුවන ආකාරයට පිස්සු නැටීමට ඉඩ දීම නොකළ යුත්තක්.

    සමලිංගිකත්වය අපේ සමාජයේ අතීතයේ පවා රහසිගතව පැවතුනා වෙන්න පුළුවන්.කාටවත් තහවුරු කරලා කියන්න බැරි වුනත්, දෙවන රාජසිංහ රජ්ජුරුවෝ ගස්කොන් (දස්කොන්)ව තබා ගත්තේ සමලිංගික ඇසුරට බවත්, පසුව ගස්කොන් රජ බිසව හා අනියම් ඇසුරට පෙළඹුණු බවටත් මතයක් ඉදිරි පත් කර තිබෙනවානේ.

    ReplyDelete
  13. දෙපාරක් විතර කියෙව්වා... ඒත් ඉතිං මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ අයියේ.

    ReplyDelete
  14. සුනේත්‍රා රාජකරුණානයක මහත්මිය ගේ " කර්ම අත්පොත" කියවා බලන්න. පූර්ව ජන්මයෙන් රැගෙන එන කර්මය ගැන අපූරු තොරතුරු ඒකෙ තියෙනවා. සරසවි ප්‍රකාශනයක්

    ReplyDelete
  15. මේක ටිකක් විවාදාත්මක කථාවක් වුවත් ලෝකයේ බොහෝ වෙනස්කම් මේ සංසිද්ධිය නිසා වෙනස් වෙලා තියනවා. උදාහරනයක් හැටියට මට හිතෙනවා රෝම ශිෂ්ටාචාරය වඳ වී යන්නත් මේකම හේතුවක් වුනාද කියලා. ආසියාව හැම විටම ද්වීලිංගිකත්වය අගය කල බවයි මම නම් හිතෙන්නේ. කෙසේ හෝ වර්ථමාන ලංකාව නම් මම හිතනවා මයියා කිව්ව වගේ ලොකු වෙනස්කම් අපිට දකින්න ලැබෙන්නත් තිබුනා.
    ඉතාම වටිනවා මේ ලිපිය දැමීම නම්. අපිට මෙකෙ මුල් ලිපියත් දකින්න ලැබුන නම් වටිනවා. කෙසේ හෝ මමත් කකාගේ පරිවර්ථන හැකියාව නම් ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
  16. බොහොම ස්තුතියි පර්වර්තනේට, අපි හිතන්නැති පැත්තක් ගැන ලියවිලා තියනවා, ඇත්තටම සෑහෙන්න වැදගත් විස්තර ටිකක් ඔලුවට වැටුනා ......

    ග්‍රැන්විල් මහත්තයා කියලා තියන දේ තුල ඇත්තක් තියනවා මම්ත් හිතන්නෙ ........

    ReplyDelete
  17. aththa! mm godak hoda vistharayak! granvile mahaththaya ee gana hoda vstharayak kiyala thiyanawa! pariwarthanee damata thankX kathandara! :) man meeka godak kiyewwa! amuthu adahas tikak thiyanawa!!

    ReplyDelete
  18. පොල දාට කලින්දා ගෙදර එලවලු බින්දුවට සිඳී යයි...
    වට්ටක්කා කොළ, දඹල කොල ඈ වත්තෙන් සොයාගත හැකි නිතර කෑමට නොගන්නා කොලවර්ග කිහිපයක් එක්කොට අම්මා රසැති කලවම් මැල්ලුමක් සාදයි...
    ග්‍රැන්විල් මහත්තයා වචනාර්ථයෙන්ම "න්‍යෂ්ඨික" විද්‍යාඥයෙකි...

    ReplyDelete
  19. ග්‍රැන්විල් ධර්මවර්ධන කියන්නේ කොළඹ විශ්ව විද්‍යලෙ න්‍යෂ්ටික තාක්ෂණ ආයතනයේ සිටි ප්‍රධානියා. රටට බොහෝ වැදගත් සොයා ගැනීම කල උගතෙක්. ඔය යුද්ධ කාලේ පාවිච්චි කල බෆල් රථය මට මතක හැටියට නිර්මානය කලේ න්‍යෂ්ඨික තාක්ෂණ ආයතනයේදී මෙතුමාගේ ප්‍රධානත්වයෙන්. තව පසු කාලීනව මෙතුමා පුනරුත්පත්තිය පිළිබඳව නොයෙක් පර්යේෂණ කිරීමට පෙලබුනා. මම පුනරුත්පත්තිය මෙතුමා කියන ආකාරයට වෙනවා කියලා විශ්වාස නොකලත්, මෙතුමා ඉතාම ඉහල දැණීමක් ඉගෙනීමක් මේ සියළු විෂයන් ගැන තිබූ අයෙක්, අප සැමගේ සම්භාවනාවට සුදුස්සෙක්. කකා මෙතුමාට ඉතා හොඳ සාධාරනයක් කලේ මේ ලිපිය පරිවර්ථනය කිරීමෙන්.

    ReplyDelete
  20. කොහොම සාධාරනීකරනය කලත්, ඕක ලංකාවෙ නීතිගත කරන එකට මම විරුද්දයි.. ඒකෙන් සමාජයට වෙන හානිය වැඩියි.. ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන උනත් කැමතිවෙන එකක් නෑ එයාගෙ දුව හෝ පුතා සමලිංගිකයෙක් වෙනව දකින්න.

    ReplyDelete
  21. අනේ මන්දා!

    “මේ කරුණු අනුව සමලිංගිකයින් අස්වාභාවික රොගීන් ලෙස නම් කර ඔවුන් ට නොයෙකුත් වෙනස්කම් කිරීම නොමිනිස් කමක් බව කිව හැක“

    මේ කතාවනං සහතික ඇත්ත

    ReplyDelete
  22. homosexual කියන්නෙයි transsexual කියන්නෙයි දෙකක් නෙමේද..?

    මෙතන දාලා තියෙන පිංතූරේ නම් ඉන්නේ transsexual කෙනෙක්ද කොහෙද..?

    ඒ කියන්නේ ඔය ලිපියේ තියෙන දේවල් transsexual අයටත් පොදුයි කියලාද කියන්නේ..?

    ReplyDelete
  23. මම පුනරුත්පත්තිය පිළිබඳව විශ්වාස කරන් නැහැ, මගේ බිරිඳ පුනරුත්පත්තිය පිළිබඳව විශ්වාසයක් තිබුනත් අපේ රටේ ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණ සහ පබ්ලිෂ් කෙරෙන දේවල් ඒ තරං දුරට විශ්වාස කරන් නැහැ. අපි දෙන්නටම ආසය් දැන ගන්න කොවූර් මහත්මය මේ ගැන පල කල අදහස් මොනවද කියල. කව්රු හරි ඒ ගැන දන්න කෙනෙක්, කොවූර් මහත්තයගෙ අදහස් හෝ ඒ පිළිබඳව එයාගෙ පොත් වල සඳහන් වෙලාද තියෙනවද කිව්වොත් ස්තුතිය්

    ReplyDelete
  24. ඕකට ආගමික පැහැදිලි කිරීමක් දුන්නොත් විතරයි ඔලුව බේරගන්න පුලුවන් වෙන්නෙ.

    ReplyDelete
  25. කතන්දරගෙ සන්ඩේ ස්පෙශල් එක නම් සුපිරි..... ඇත්තටම තව තුන් පාරක්වත් කියවන්න වෙනවා...

    ReplyDelete
  26. සමලිංගික හැසිරීම් අලින් අතරත් දක්නට ලැබෙනවාලු. කලින් කිව්වා වගේම ආචාර්ය ග්‍රැන්විල් මහතාගේ අදහස තර්කානුකූලයි. ඒ අනුවම තර්ක කළහොත් මනුෂ්‍යයෙකු නොවන සතෙක් මරණයෙන් පසු මිනිස් භාවයක් ලැබුවහොත් ඔහුගේ ලිංගික අවශ්‍යතා සාමාන්‍යය ඉක්මවා ගිය හැසිරීම් වලට පොළඹවනවා විය හැකි නේද? එතනිනුත් එහාට ගියහොත් ඉඳහිට අසන්නට ලැබෙන මිනිසුන් විසින් සතුනට ලිංගික අතවර කිරීම?

    ඒ වගේම සෑම විටම පුනර්භව හේතු නිසාම මේ තත්වය ඇති වෙනවා කියලා කියන්නත් අමාරුයි. පුනර්භවයෙන් උරුම වන දේ සමලිංගිකත්වයට වැඩි නැඹුරුතාවක්/උත්තේජනයක් ඇති කරවනවා කිව්වොත් වඩාත් නිවැරදියි නේද?

    ReplyDelete
  27. Most of the readers may not aware of this person's past. While ago - he was a chairman of the National Atomic commission. When Chernobil nuclear accident happened - he made a statement that he found some imported Jams contained radio active components - which were imported from Romania. Those Jams were imported through SATHOSA. Then SATHOSA chairman - forgot the name - very reputed lawyer and fluent in sinhala language - challanged him. At the Rupavahini debate this person admitted that the manufacturing dates of the jams were six month before the Chernobil accident. He was trying to please America by attacking former USSR for foreign trip or two. What he is trying to do now?

    ReplyDelete
  28. අන්තිමට ඉන්ගිරිසියෙන් ලියපු ඇනෝ කියපු කරුණ මම ඇහුවෙ අදමයි.. ඒත් ඒ කතාව ග්‍රැන්විල් මහචාර්ය තුමාගෙ පුනරුප්පත්ති පර්යේෂණ ගැන මම දකින එක ලක්ෂණයක් එක්ක පෑහෙනව... ඒ කිව්වෙ එතුමා පර්යේෂනය කරන්නෙ නිගමනයට එලඹිලා ඉවරවෙලා ඒක සනාථ කරන්න වගේ මට පේන්නෙ... ( ඉඳ හිට කියවා ඇති වාර්තා අනුව ). ඒකෙන් ඉතින් කවදාවත් නෙගෙටිව් රිසල්ට් එකක් එන්නෙ නෑනෙ...

    මගේ දැක්ම වැරදි වීමට ඉඩ ඇත...

    ReplyDelete
  29. @ observer

    Dr. Kovoor ge lipi ethulath sinhala poth dekak witharai mamanam dekala thiyenne, "Deviyo saaha Boothayo" , "Ma Kala Gaweshana"

    English walin nam internet eke then then wala thiyenawa. Wiki site eke list ekak thiyenawa
    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor

    ReplyDelete
  30. පට්ට මෝඩ ජෝක්ස්.

    ReplyDelete
  31. Chanuka Wattegama28 August 2011 at 19:12

    මෙහි කමෙන්ටුවක් පළ කරන්නේද නැත්ද යන්න බොහෝ දුර කල්පනා කර ලියමි.

    ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන මා විදුසර ලේඛකයකුව සිටියදී කිට්ටුවෙන් ඇසුරු කළ කිහිප දෙනාගෙන් කෙනෙකි. ඔහු වෘත්තීයවත් පෞද්ගලිකවත් මට බොහෝ උදව් කොට තිබේ. මවිසින් 1978දී දිනාගත් විද්‍යා සම්මානය ඔහුගේ යෝජනාවකින් බිහිවූවකි. එසේම ඉන්දියාවේ විශ්වවිද්‍යාල වලට අයැදුම් කරද්දී මට ඉතා හොඳ references ලබා දුන්නේ ඔහුය. (එවකට ඔහු ප්‍රධානිත්වය දැරූ පරමාණුක බලශක්ති අධිකාරියේ නිල ලාංඡනයත් සමඟ) එවන් කෙනකු ගැන මට හොඳක් කීමට ඇතිනම් යහපත්ය. නමුත් ඇත්ත කතා කළ යුතුය.

    ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධනටද අපේ බොහෝ විද්‍යාඥයින්ට තිබුණු පොදු දුර්වලකමක් විය. ඒ ජනප්‍රියවීමට තිබුණු අසීමාන්තික ඇල්මය. න්‍යෂ්ඨික විද්‍යාව ගැන කතා කිරීමෙන් අපේ සමාජයේ අවධානය ලබා නොහැකි බව මෝඩයකු නොවූ ඔහුට මඳ කලකදීම අවබෝධ විය. (ආසනික් ගැන කතා කරනවාට වඩා අවධානයක් නාථ දෙවියන් ගැන කතා කිරීමෙන් ලබා ගත හැකි බව ආචාර්ය නලින් ද සිල්වා වටහා ගත්තාක් සේය.) ඉන්පසු ඔහු පුනරුප්පත්තිය ගැන කතා කරන්නට පටන් ගත්තේය. ඉන් පසු සමය ගැන කතා කළ යුතු දෙයක් නොවේ. කියපු තරමක් කියා ඇත්තේ ගොන් කතාය.

    හුදෙක් ජනප්‍රියතාවයම ප්‍රාර්ථනා කරන කෙනෙකුට අපේ නොදියුණු සමාජයේ ඉතා පහසුවෙන් එය ලබා ගත හැකිය. ඒ සඳහා ඔවුන් කියන කරන දේවල් අප සීරියස්ලි ගණන් ගත යුතු නැත.

    ග්‍රැන්විල් ධර්මවර්ධනගේ මේ තියරිය තවත් විකාශනය කළොත් ගිය ආත්මයේ බල්ලන්ව සිටියවුන් මුත්‍රා කරන කොට කකුලක් ඉස්සිය යුතුය. ගිය ආත්මයේ පූසන්ව සිටියවුන් මළපහ කොට කොමඩ් එකට වැළි දැමිය යුතුය. පිහියා ඇනුම් කරන්නේ ගිය ආත්මයේ මී මැස්සන්ව සිටියවුන්ය. කතන්දරකාරයා ඕස්ට්‍රේලියාවට ගියේ ගිය ආත්මයේ කැන්ගරුවකුව සිටි නිසා විය හැකිය.

    දරුණුම ඛේදවාචකය ආගම හෝ පැරණි විශ්වාස සම්බන්ධ කොට මොන ගොන් කතාවක් කීවත් ඊට එහෙයි කීමට මෝඩ එහෙයියන් පිරිසක් අපේ සමාජයේ සිටීමයි. විචාරාත්මක චින්තනය ඒ තරමටම අපේ සමාජයට ආගන්තුකය.

    අවසාන වශයෙන් අර ජෑම් කතාව ඇත්තය.

    ReplyDelete
  32. ග්‍රැන්විල් මෙහිදී කරන්නේ මතවාදයක් ඉදිරිපත් කිරීමකි.

    ඔහුට අනුව එය විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ඒ මෝහනය කර පුද්ගලයින් ලවා ඔවුන් ගේ සිතේ ඇති දේ අසා ගැනීමෙනි. එලෙස කියන කරුණු සිතේ තියෙන ඒවාද, ඵෙර ආත්මවල ඒවාද කියා කීමට විද්‍යාත්මක ක්‍රමයක් නැත. තියරියේ අඩුව එයයි. නැතහොත් තියරියක් නොවන්නේ එනිසාය.

    කෙසේ වුවත් මේ මතවාදය, ලිපියේ මුලින් කියා ඇති ඉන්දියානු ඇමතියාගේ මතයට වඩා ඉතා ප්‍රගතශීලි එකක් බව කිව යුතුය.

    ReplyDelete
  33. @ All
    ඔය ඡායාරූපයේ ඉන්නේ ඕස්ට්රේලියානු ෆයිනෑන්ස් (මුදල්) ඇමතිනී පෙනී වොන්ග් සහ ඇගේ බිරිඳ යි.
    http://en.wikipedia.org/wiki/Penny_Wong

    මේ දෙපලට දැන් දරුවෙකු ලැබීමට ආසන්නයි.

    ReplyDelete
  34. @ All
    මෙන්න මුල් ලිපියේ සබැඳිය (පරිවර්තනයේ අගින් දී ඇති) නැවතත්:

    http://www.pahana.com.au/Sites/Pahana/Documents/MidMonth%20issue/23.pdf

    සමහරුන්ට පෙය පෙනී නෑ. ෆොටෝ එකේ විස්තරයක් යැයි සිතන්න ඇති.

    ReplyDelete
  35. සමලිංගිකත්වය තීරණය වෙන්නේ පුනුරුත්පතිය අනුව නෙමෙයි. මේක මහා මෝඩ විග්‍රහ කිරීමක්.
    හම්බෝඕ මේක හොයාගන්න කාපු පරිප්පුවක්
    වෙලාව තියෙනවා නම් මේක කියවල බලන්න. කියෙව්වට පස්සේ තේරෙයි මෙච්චර කල් මෝඩයෝ වගේ නේද හිටියේ කියලා.
    http://uk.answers.yahoo.com/question/index?qid=20100427123654AAeMwKl

    -yasitha-

    ReplyDelete
  36. Chanuka Wattegama28 August 2011 at 20:41

    /ඔහුට අනුව එය විද්‍යාත්මකව ඔප්පු කර ඇත. ඒ මෝහනය කර පුද්ගලයින් ලවා ඔවුන් ගේ සිතේ ඇති දේ අසා ගැනීමෙනි. එලෙස කියන කරුණු සිතේ තියෙන ඒවාද, ඵෙර ආත්මවල ඒවාද කියා කීමට විද්‍යාත්මක ක්‍රමයක් නැත. තියරියේ අඩුව එයයි. නැතහොත් තියරියක් නොවන්නේ එනිසාය./

    ග්‍රැන්විල් ධර්මවර්ධන කාන්තාවක් මෝහනයට පත් කර ඇය සමඟ කළ සාකච්ඡාවක් කාලයකට ඉහත ලංකාදීප පත්තරයේ පළ විය. (මෙය මම කපා තබා ගතිමි. සමහරවිට තවමත් මා සමඟ තියෙනවා වන්නට පිළිවන.) මේ කාන්තාව කියන හැටියට ඇය පසුගිය ආත්මයේ මොකද්දෝ දිව්‍ය ලෝකයක හුන් කෙනෙකි. (දැන් මට නම මතක නැත.) ඒ කාන්තාව එම "දිව්‍ය ලෝකයේ" විස්තර කරයි. එහි වන ගස්, සතුන්, මල්, පලතුරු වර්ග ගැන කියයි.

    ලිපියේ මුල සිට අගට ඇය කියන හැම සතෙක්ම, මලක්ම, ගසක්ම, පලතුරක්ම ලංකාවේ සුලබව දැකිය හැකි ඒවාය. ලංකාවේ නැති වෙන රටවල් වල ඇති දේවල් ගැන ඇය කිසිත් නොකියයි. එසේම අපට ආගන්තුක දේවල් කිසිවත්ද නොකියයි. කොටින්ම ඇය ගිය ආත්මයේ සිටි "දිව්‍ය ලෝකය" ලංකාවේම කාබන් කොපියකි.

    මෝහනය වීමෙන් පසු කියන්නේ ඇත්තටම ගිය ආත්මයේ තොරතුරුද නැත්නම් මේ ආත්මයේදී ඇසු දුටු දෙවල් යටිසිතේ තැන්පත්ව තිබී ඒ ඇසුරින් මැවෙන චිත්‍රයක තොරතුරුද යන්න වටහා ගැනීමට මට නම් මේ උදාහරණය හොඳටම ප්‍රමාණවත්ය.

    ReplyDelete
  37. චානුක වත්තේගම ඉදිරිපත් කල කාරණා හරි කියලයි මටත් හිතෙන්නෙ.

    කෙනෙක් මෝහනයෙන් පෙර ආත්මයක් ගැන කතා කල නිසාම පෙර ආත්මයක් තිබුනාය කියන්න බැහැ. නිතර ලංකාවෙ පාර තොටේ ඇවිදින කෙනෙක් නම් බිම ඇණ තියාගෙන මුත්‍රා කරන පිරිමින් දැකලා ඇති. ඒ ඔවුන් ගිය ආත්මයේ ගැහැණුන් වූ නිසා ද නැතහොත් පාරේ හිටගෙන මුත්‍රා කිරීම ට ලජ්ජා නිසා ද?

    ReplyDelete
  38. Chanuka Wattegama ප්‍රකට විද්‍යා ලේඛකයෙකු වශයෙන් සිදුකර ඇති මැදිහත්වීම පළමුව අගයමි. ලංකාවේ ඇති විද්‍යා විරෝධී ප්‍රවනතාව සියළු ක්ෂේත්‍ර සඳහා අතිශය අහිතකරව බලපා ඇත. ඉතා ප්‍රාථමික ආගමික විශ්වාස දියුණු විද්‍යාත්මක පරිචයක් ලබාගත් මිනිසුන් වෙතින් සාධාරණීකරණය සිඳුවන්නේ වත්තේගම සඳහන්කරණ ලංකාවේ විද්‍යාත්මක සමාජයේ පවතින යන කෝච්චියට ගොඩවීමේ තක්කඩි ප්‍රවනතාව මතයි.

    සමලිංගිකත්වය තවමත් පර්යේෂණයට භාජනය වියයුතු ඒ සඳහා ස්වාභාවික විද්‍යාවේ සිට සමාජ විද්‍යාව දක්වා වන ශික්ෂණයන් රැසක සහභාගිත්වය ලබාගත යුතු සංසිද්ධියකි.

    කෙසේ වෙතත් මෙම ලිපිය ගොන් කතා රැසක එකතුවකි.

    ReplyDelete
  39. හ්ම්ම්ම්ම්ම්.... මේ කතාව (ග්‍රැන්විල් මහත්තයගෙ කතාව) එච්චර ගණන් ගන්න ඕනෙ කතාවක් නෙවෙයි කියලයි මං නම් හිතන්නෙ. ඔය මෝහනයෙන් පෙර ආත්මයන් ගැන කියනවා කියලා තිබුනත්, කොහොමද ඔප්පුකරන්නේ ඒ කියන දේවල් ඇත්තටම පෙර ආත්මයකම විස්තර කියලා.

    මෝහනයෙන් පසු කරන මානසික ඇනැවුම් මගින් යම් යම් මානසික රෝග සුවකිරීම වෙනමම දෙයක්, ඒක යටිසිත (Super Ego) එක්ක කරන ගණුදෙනුවක්නේ...

    මං හිතන විදියට ඔය පෙර ආත්මයන් ගැන කතාකිරීම වංචාවක්! මොකද ඔප්පු කල නොහැකි දේවල් ගැනනේ කියන්නේ... අපේ රටේ බෞද්ධයන් ඔය පෙර ආත්ම කතා හැඟීම්බරව වැලඳගැනීම තමා මූලික හේතුව.

    මට සාස්තරකාරියක් කිව්ව පෙර ආත්ම කතාව මං ටික කාලෙකට කලින් ලිව්වනේ... බි.පෙ.සි.

    "සමලිංගිකතාවය යනු ස්වාභාවික ප්‍රවණතාවයක් වන අතර එය කිසිසේත්ම රෝගයක් හෝ අස්වාභාවික දෙයක් නොවේ. "

    මේ ටික නම් අගය කරන්ට ඕනෙ!!!

    ReplyDelete
  40. අදහසක් දෙන්න ගියොත් වරිගෙ නහගන්න වෙන නිසා නොදන්න දේවල් වලට මම අත නොද ඉන්නවා ..

    පෝස්ට් එක නියමයි . එක පාරක් හරියටත් දෙවනි පාර උඩින් පල්ලෙනුත් කියවලා මම පෝස්ට් එක රසවින්ඳා .. කමෙන්ට් ටිකත් ගොඩක් වටිනවා ..කියවලා බලලා පැත්තකට වුණා ..

    කතන්දර සුපිරිම පෝස්ට් එක ඉරිදට ලියලා වගේ ..!

    ReplyDelete
  41. මයියා ඉගෙනගෙන තියෙන විදිහට නම් විද්‍යාත්මක ක්‍රමය යනු සOසිද්ධියක් පැහැදිලි කරන තවත් එක දෘෂ්ටි කෝණයක් පමනි. ඒය එකම හා නිවැරදිම දෘෂ්ටි කොණ්ය ලෙස සැලකීම දෝෂ සහිතය. තවත් එවැනි දෲධ්ටි කෝණයන් ලොව පවතී. නමුත් වඩා ජන්ප්‍රිය හා තහවුරු වූ ක්‍රමය 'විද්‍යාත්මක ක්‍රමය' බව අවිවාදිතය. නමුත් එයින් අනෙක් දෘෂ්ටි කෝණයන් වැරදි බව අනිවාර්‍ය ලෙස ගම්‍ය නොවේ. අනෙක් දෘශ්ටි කොණයන් ගැන ද අවදියෙන් සිටීම දැනුම් පද්ධතිවල පෝෂණය සදහා ඉවහල් වේ.එහෙත් චානුක වත්තේගම ලේඛකය පවසන අකාරය විද්‍යාත්මක ක්‍රමය ට පැහැදිලි නොකල සියලු දේ මිත්‍යා විශ්cආසය, ජන්ප්‍රියතාවය උදේසා කරන කියනා දේවල්ය . විද්‍යාත්මක ක්‍රමයට පැහැදිලි නොකල සියලු දේ මිථ්‍යා විශ්වාස ලෙස ගැනීම මෙන්ම , එවන් සියලු දේ හිස මුදුනින් පිලිගැනීමද දෝෂ සහිතය.විද්‍යා ලේඛකයකු වන චානුක මහතා විධ්යාත්මක ක්‍රමයේ හතර මායිම් දැන සිටීම එතුමාගේ පාඨ්කයන්ගේ සුභ සිද්ධියට ඉවහල් වන් බව මයියා ගේ විශ්වාසයයි.

    අන් අයෙකුගේ බ්ලොගයක , මෙසේ වෙනත් අයකු අරභයා අදහස් දැක්වීම කොතරම් දුරට වලOගු දැයි නොදනිමි. කතන්දරට අවශ්‍ය නම් මෙම කොමෙන්ටුව ඉවත් කර දමන්න.

    ReplyDelete
  42. @ Sasindu Mendis,
    Thank you very much, මට මතක හැටියට සිංහලට පරිවර්තනය කරල තිබුන පොත් දෙකකට වැඩිය, හැබය් 100% ෂුවර් නං නැහැ. කෝකටත් Wiki ගිහින් චෙක් කරලා බලන්නම්. Thank you again.

    ReplyDelete
  43. Chanuka Wattegama29 August 2011 at 08:04

    @මයියා,

    මෙතැන මා "විද්‍යාත්මක ක්‍රමයක්" ගැන කතා නොකළෙමි. මා කතා කළේ common sense ය.

    උසාවියකදී වුවත් කියන කාරණාවක් ඔප්පු කළ යුතුය. ඔප්පු කරන්නට බැරි නම් කියා පලක් නොවේ.

    විද්‍යාත්මක ක්‍රමයට අමතරව තවත් ක්‍රම තිබේය කීම නම් තමන් කියන දේ ඔප්පු කරන්නට බැරි තක්කඩියන්ගේ සුලබ නිදහසට කාරණාවකි.

    ReplyDelete
  44. මෝහනය විද්‍යාත්මක නැත.සමලිංගිකත්වය ඇතිවීමට හේතු මනෝ විද්‍යාවේ දක්වා ඇත.සමලිංගිකත්වය පිළිබද පරික්ෂණ පැවැත්වූ අය සොයාගන්නා ලද කරුණු අනුව මුලිකව කොටස් දෙකකි.
    01.කුඩා කාලයේ ඇතිවු යම් ස්ද්ධියක් නිසා.(උදාහරණයක් වශයෙන් කුඩා කාලයේ මව විසින් ලිංගේන්ද්‍රය අතගෑම නිසා පසු කාලීනව සමලිංගිකත්වයට යොමුවීම වැනි කාරණා)
    02.ජීවත් වන පරිසරය සම්බන්ධ කාරණා.(හොස්ටල්, හිරගෙවල් ආදියේ සිටින සමලිංගිකයන් ග්‍රැන්විල් මහතාගේ තර්කයට ආදේශ කලවිට ඒවායේ සිටින්නවුන් ගිය ආත්මයේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ය..:D)

    ReplyDelete
  45. මෝහන චිකිත්සකයකු වන මා කියයුතු පළමු දෙය නම් මෝහනය විද්‍යාත්මකයි හා ලොව පිළිගන්න දෙයක්.

    නමුත් ග්‍රැන්විල් මහතාගේ තර්කයට මා සම්පූර්ණනම එකග නොවෙමි. එහි යම් යම් දේවල් පිළිගත හැකිය.

    විශේෂයෙන් ලිංගික විපර්යාසය සිදුවනේ ඉතාමත් කලාතුරකින්ය. ඔහු පවසන ආකාරයට සෑම සැම ලිංගිකයකුම ලිංගික විපර්යාසයකට පත් වූ අයෙකි!

    අද සමාජයේ සමලිංගිකයන් බහුලව දක්නට ලැබේ. මේය (ලිංගික විපර්යාසය) පිළිගත නොහැකි කාරණයකි.

    නමුත් පෙර ආත්ම වල කරන ලද පුරුදු පුහුණු කරන ලද දේවල් මෙම ආත්මයට පැමිණෙන බට පිළිගත හැකි සාධක ඕනෑ තරම් සොයාගත හැකිය.

    මෝහනයෙන් පෙර ආත්මයට යැම සිදු කල හැකිය. එය 100% මා විසින්ද අත්හද බල ඇත. නමුත් යම් පුද්ගලයින් තමන් සිතින් මවා ගත් ලෝකවලට යමින් මනොරුප දකිමින් ඒවා ප්‍රකාශ කරනු ලැබයි.

    එවැනි අවස්ථා හදුනා ගැනීම මෝහකය විසින් අවබෝධ කර ගත යුතුය.

    ලිංගිකත්වය සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ තමන්ගේ සිත මත බැවින් ආකල්ප වෙනස් කිරීමෙන් සමලිංගිකයකුට විරුද්ධ ලිංගිකයකු වීමටත්, විරුද්ධ ලිංගිකයකුට සමලිංගිකයකු වීමටත් හැකිය.

    තමන්ට අවශ්‍ය පරිදි තම හිත හික්වීමට හැකියාව ඇති පුද්ගලයාට මෙවා ප්‍රශ්න නොවනු ඇතයි මගේ විශ්වාසය වේ.

    ReplyDelete
  46. Chanuka Wattegama29 August 2011 at 12:37

    /නමුත් පෙර ආත්ම වල කරන ලද පුරුදු පුහුණු කරන ලද දේවල් මෙම ආත්මයට පැමිණෙන බට පිළිගත හැකි සාධක ඕනෑ තරම් සොයාගත හැකිය./

    මේ මිථ්‍යාවකි. ඕනෑම ජීවියකු උපතින් යම් සැඟැවුණු දැනුමක්, ගති ලක්ෂණ ප්‍රමාණයක් රැගෙන තම ජාන වලින් එයි. නමුත් ඒ ඊනියා "පෙර ආත්මයකින්" නොව පූර්ව පරම්පරා වලිනි.

    ReplyDelete
  47. බෞද්ධ සාහිත්‍යයට අනුව මේ මාතෘකාව යටතේ කිසිම සටහනක් මට නම් සොයා ගන්න බැරි වුනා. ග්‍රැන්විල් මහත්මයා කොතරම් දක්ෂයෙක් වුනත් මෙහෙම කතාවක් කිව්වට පස්සෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙ ගනයට තමයි වැටෙන්නෙ. ඒ කියන්නෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිය මව කෙරෙහි පවා කාමුක අදහස් තිබුනු මහා කාමුකයෙක්. ඔහුගේ බිරියගේ සොයුරියට ෆ්‍රොයිඩ් නිසා දරුවෙක් පවා ලැබුනා. ඒ කාමුකයාම තමයි කියන්නෙ මව සහ පුතා අතර තිබෙන බැඳීම එක්තරා කාමුකත්වයක් කියල.. තවමත් ඕව පිලිගන්න "විශේෂඥයො" ඉන්නවා..!!! මේ අනුව සිය මතය අනුව ඔය මහා දාර්ශනිකයන් යයි කියා ගන්නා අයගේ සිත ක්‍රියා කරන බවයි මට නම් හැඟෙන්නෙ. පව පින අනුව ලිංගිකත්වය වෙනස් වන බව නම් බෞද්ධ සාහිත්‍යයේ සඳන් වෙනවා. ලිංගිකත්වයෙන් මානව ප්‍රජනනය සිදු වෙනවා. ඒ ලිංගිකත්වය ඉහ වහා ගියාම තෘෂ්ණාවක් ඇති වෙනවා ඒවා මානසික පෙරලියකට තුඩු දෙනවා. මානසික රෝග ඒ නිසා හැදෙනවා. සම ලිංගිකත්වය ලෝකයේ කොතරම් ප්‍රසිද්ධියකට ආවත් සත්‍යය වසන් නොකල යුතුයි.. "...මෙක නොසංසිඳුනු ලෝක විනාශයට තුඩු දෙන මානසිකත්වයක්...."

    ReplyDelete
  48. හපොච්චියේ.. දවසකුත් ගියා. මෙන්න මං කොමෙන්ටුවක් විදියට නෙවේ පොස්ට් එකක් විදියටම දැම්ම.
    නිරුවත් වානරයට අනුව මං දන්න සමලිංගිකත්වය නම් මේකයි.

    අහ් අර ඩි ඇස් ඇන් 4 ද කොහෙද කියන සයිකොලොජි පොතෙනුත් ඔය සමලිංගිකත්වය කියන ලෙඩේ අයින් කොරලලු. ඒ කියන්නෙ ඒ පොතේ පරණ වර්ශන් එකේ ඔක ලෙඩක්. අලුත් වර්ශන් එකේ ලෙඩක් නෙවේ..

    කතන්දර මාම කිව්වට තරහ නෑ මයෙ හිතේ..

    ReplyDelete
  49. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මගේ අදහස නම් නිරීක්‍ෂණ, නිගමන, විශ්ලේෂණ කෙසේ වෙතත්, සමලිංගිලයින්ටද, ඉතරලිංගිකයින් මෙන් සෑම අයිතිවාසිකමක්ම (නීතිමය සහ සමාජමය වශයෙන්) තිබිය යුතු බවයි.

    මේ ලිපියේ වැදගත්කම නම් -ඔය නැවත ඉපදීම පිළිගන්නා අය අතරින් සමලිංගිකයින්ට විරුද්ධ අය ඇත්නම්, ඔවුන්ට නැවත සිතීමට ඉඩ සලසන එකය.

    ReplyDelete
  50. සමලිංගිකයින්ට ඉතරලිංගිකයින්ට මෙන්ම සියළු අයිතිවාසිකම් සමසේ ලැබිය යුතුයි කියන දෙය මමත් පිළිගන්නවා...
    බටහිර හුඟක් රටවල් නීතිමය වශයෙන් මෙන්ම ආකල්පමය වශයෙනුත් මේ සම්බන්ධව ඉදිරියෙන් ක්‍රියා කරනවා,
    උදාහරණයක් වශයෙන් මං ඉතාලියට පැමිණි මුල් කාලයේදී ඉතාලි සහන සේවා කණ්ඩායමක(CITY ANGELS) වැඩමුළු වලට සහභාගී වුණා. මෙහිදී අප සමග සිටි පිරිසේ එවැනි යුගල දෙකක් සිටියා. නමුත් සියල්ලන්ටම එය බොහෝම සාමන්‍ය සිද්ධියක් වුණ. සිපවැලඳ ගැනීම් ආදිය පවා පිරිස් මධ්‍යයේ කිරීමට ඔවුන් පැකිලුනේ නෑ.
    වතිකානුවේ බලය නොතිබෙන්න ඉතාලියේද සමලිංගික විවාහ වලට පල්ලියේ දොර විවර වන බවයි බහුතරයකගේ අදහස. මීට අමතරව ඉතාලියේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටද සමලිංගිකයින් සමත් වී අවසානයි. vladimir luxuria (transexual) ඒ අතරින් ආන්දෝලනාත්මක චරිතයක්.
    මේ අතර මට සිහිවන්නේ පාසල් යන අවදියේ මරදානේදී (පාසල මෙන්ම මගේ නිවස පිහිටි‍යේද මරදානේය) අප විසින් (ප්‍රද්ශයේ කොලුරැල) මොවුන්ට සැලකූ නින්දිත ආකාරයයි. රාත්‍රී කාලයේදී අප වීදි සරමින් සිටිනවිට සමලිංගිකයෙකු මුණ ගැසුනහොත් මහුටද., ඔහුගේ පොකැට්ටුවටද ඉතිං දෙයියන්ගේම පිහිටය. සෘජුවම සම්බන්ධ නොවුනද ඒ සිදුවීම් සම්බන්ධයෙන් අද මම කණගාටු වෙමි. (සමලිංගිකයින්ට ප්‍රසිද්ධ බිලිං වත්ත., දෙහිවත්ත වැනි ප්‍රදේශද ඒ අවට විය).
    සමලිංගිකයෝද මනුෂ්‍යයෝය...
    මම අද එය තරයේ විශ්වාස කරමි..

    ReplyDelete
  51. විද්‍යාවේ අද දියුණුව ඔස්සේ ආගමික ඉගැන්වීම් සියල්ලම පාහෝ බිද වැටී හමාරය. ඉතින් දෙවියන් වහන්සේලා ස්වර්ගස්ථ වීමටද, "බෞද්ධ දර්ශණය" පිරිණිවන් පෑමටද නියමිතය. සත්‍යය කටුක හා තමන් හිත් දරා සිටින මව් කිරිත් සමඟ උරා බිව් අදහස්ද සමඟ විද දරා ගැනීමට අපහසු නමුත් ඔබ අද අත් විදින්නේ එම විද්‍යාවේ මහෝඝ්‍යත්වයයි. අද ඔබ බොහෝ දෙනෙකු සුවසේ සිටින්නේ විද්‍යාත්මක ක්‍රමයට සොයාගත් වෛද්‍ය විද්‍යාත්මක දැණුමේ පිහිටෙනි, සයිබර් අවකාශයේ අවිද්‍යාත්මක කෙබර ඇද බාන්නේ පරිගණක හා තොරතුරු තාක්ෂණයේ පිහිවෙනි. එසේ නොමැතිව නාථ දෙවියන් වෙතින් අන් ක්‍රමයකට සොයාගත් දැණුමින් හා නිපැයුම් වලින් නොවේ.

    ReplyDelete
  52. ආචාර්යවරයෙකුට ලැබිය යුතු නිසි ගව්රුවය කතන්දරකරයාගෙන් ලැබිල නැති එක පිළිබද කනගාටුයි.

    ReplyDelete
  53. ඔය සමලිංගිකත්වය වගේ දේවල් තනි සාධකයකින් තීරණය කරන්න පුළුවන් දේවල්ද ? ඕවට ගොඩක් සාධක බලපානවා.සමලින්ගිකත්වයට එකම හේතුව පෙර ආත්මයේ වෙනස් ලිංගයක ඉපදීම විතරක්ම කියල උපකල්පනය කරලා ඒක ඔප්පුකරන්න මෝහනයෙන් උදාහරණ දක්වනවා කියන්නේ මහා මෝඩ වැඩක්.හුගක් මෝහන විශාරදයෝ කරන්නේ තමන්ට ඕන දේවල් මෝහනයට ලක්වන පුද්ගලයාගෙන් අහගන්න දගලන ඒකනේ.මෝහනයෙන් කියවේන ඒවා ගැන බටහිර විද්‍යාවෙත් එච්චර පිලිගැනීමක් නැහැ.(හැබය් මෝහන ක්‍රියාවලිය සත්‍යක්.ඒ ගැන විවාදයක් නැහැ.එමගින් යම්යම් මානසික තත්ත්ව සුවකිරීමත් කරන්න පුළුවන්.)මෝහනය වෙච්ච අය කියන ඒවගෙන් සීයට අනුවක්ම පිළිගන්න අමාරු බව බලාගෙන හිටියොත් තේරෙනවා . ඉතිරි 10 ඇත්ත කියල කියන්නනේ ඔය කව්රුත් පරීක්ෂණ කරනවා ඇත්තේ.පුද්ගලයෙකුගේ චර්යාවක් ඔච්චර විග්‍රහ කරන්න පුලුවන්නම් මනොවිද්යාවක් දියුනුවේවිද?

    ReplyDelete
  54. @ චනුක වත්තේගම

    /විද්‍යාත්මක ක්‍රමයට අමතරව තවත් ක්‍රම තිබේය කීම නම් තමන් කියන දේ ඔප්පු කරන්නට බැරි තක්කඩියන්ගේ සුලබ නිදහසට කාරණාවකි./

    හරියට හරි චානුක.. මිත්‍යාවන් විශ්වාස කරන තක්කඩින් යැපෙන්නේ ඒවා ඔප්පු කිරීමට උත්සාහ කිරීමෙන් නොව "ඒක නැති බව කියන්නේ කොහොමද?" කියන ප්‍රශ්නය ඇසීමෙනුයි.

    බර්ට්‍රන් රසල් "රසල්ස් ටී පොට්" යනුවෙන් මනාව පිලිතුරු දී ඇත්තේ මෙයටයි. උනන්දුවක් දක්වන්නෙකුට විකිපීඩියාවේ http://en.wikipedia.org/wiki/Russell's_teapot යටතේ කියවිය හැක.

    @Observer;
    කොවූර්ගේ පොත් කීපයක් තියෙනවා. අවුරුදු 5 විතර ඇතුලත පොත් කීපයක් පලවුනා සරසවි ප්‍රකාශන විදියට. අන්තිම එක තමයි කොවූර් සිතිවිලි (මනෝ ප්‍රනාන්දු ). මම හිතන්නෙ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයෙදි හොයා ගන්න පුලුවන් වෙයි මේ හැම පොතක්ම.

    - සනාථ

    ReplyDelete
  55. Mama homosexual kenek. mata tiyana prashne mohanayen meka hoda karanna puluwanda kiyala. hitha haiya karan hageem wenas karanna puluwan kiyana kathawa boruwak.

    ReplyDelete
  56. @Chanuka Wattegama

    මෝහනය තුල කියන දේවල් බොහේමයක් හිතලු හා ආශාවලින් ගහන වූ ඒවා. ඒ සිතේ හැටි. ඒත් එහෙමයි කියලා මෝහනය තුල කියවන සෑම දේම වැරදිය කියා නිගමනයකට එළඹිය නොහැක.

    ReplyDelete
  57. Anonymousඑක්ක මම එකඟයි...සමලිoගිකතාව එහෙම එන එකක් වෙන්න බෑ..මම හිතන්නේ ඒක මේ ආත්මයෙදීම කුඩා කල අත්දැකීම් එක්ක එන එකක්.මානසික ව්‍යාධියක්...මම මේක කියවපු තැන දාන්න බෑ...ඒක සභ්‍ය නෑ..

    ReplyDelete
  58. කොහොම උනත් කතන්දරගේ අදහසත් එක්ක මම එකඟ වෙනවා. ග්‍රැන්විල් තුමා මේ ගැන කියලා තියන එකම ලිපිය මෙය පමණක් නම් මේ ගැන එතුමා හරියට නොදැනයි නිගමනයකට ඇවිත් තියෙන්නේ කියල මට හිතෙනවා. සමහරු කියන විදිහට සත්තු වෙලා හිටිය අය මේ ආත්මයෙත් ඒ හැසිරිම් තියෙන්න ඕන කියනවනම් එක මෝඩ තර්කයක් මොකද අපි හැදී වැඩෙන්නේ ශිෂ්ට සමාජයක් එක්ක නිසා මිනිසුන් තමන්ගේ ප්‍රාතමික ලක්ෂණ වෙනස් කර ගන්නවා ජීවත් වන සමාජයට උවමනා විදිහට. ජාන වලින් විතරක් පරපුරෙන් පරපුරට ලක්ෂණ ගෙන යනවා කියන එකත් මටනම් හිතෙන්නේ වැරදියි කියලා.මොකද සරීර ලක්ෂණ එකවගේ උනාට ගතිගුණ හැසිරීම සම්පුරණයෙන් වෙනස් මිනිස්සු තමයි වැඩි පුර ලෝකේ ඉන්නේ. සම ලිංගික තාවයට ග්‍රැන්විල් තුමා කියන එකත් එක කාරණයක් වෙන්න පුළුවන්. සමහර විට මේ තත්වය මේ ආත්මයේ අතර මගදී ඇති උන අත්දැකීම් නිසාත් ඇති වෙලා තියනවා මම දැකලා තියනවා. උදා හරණයක් විදිහට හිර ගෙවල් වගේ තැනක මිනිසුන්ගේ ලිංගික අවශ්‍යතාවන් කෙසේ හෝ ඉටුකර ගැනීමට යාමෙන් පසු කාලීනව මේ තත්වය ඇති වෙන්න පුළුවන්.
    සම ලිංගික චරියා මිනිසුන් අතර පමණක් නොව සතුන් අතරත් තිබෙන බව ජාලය ගවේෂණය කලොත් බලා ගන්න පුළුවන්. මේ සඳහා ආත්මයෙන් ආත්මයට ගෙන එන කර්ම ශක්තිය මුලීක වෙනවා යයි මගේ මතය. මොලයේ සිදුවන රසායනීක වෙනස් කම් සෑම විටම පරිසරයට අවශ්‍ය විදිහට සිද්ද වෙන්නේ නැ. මේ දේවල් ක්‍රියාත්මක වන වෙනත් ශක්තියක් ඇති බවයි මගේ හැගීම. යම් යම් පරිසර තත්වයන් මෙවැනි කාරණා සඳහා බලපාන අයුරු මම නිරීක්ෂනය කර තියෙනවා. සමහර පරිසර පද්දතීන් වලදී මෙම තත්වය වැඩි වීමත් සමහර තැනකදී මෙයට විරුද්ද තත්වය වැඩි වීමත් දක්නට පුළුවන්. උදා හරණයක් ලෙස වියලි කලාපයේ සමහර ප්‍රදේශ වල අනියම් සම්බන්දතා ඉහල අගයක් ගන්නවා. එය තත්වය සාමානය දෙයක් ලෙස සලකන පිරිසුත් මම දැක තියනවා. එහිදී අධ්‍යාපන, මුදල්,සමාජ තත්වය වගේ දේවල් බලපෑමක් කර නොමැති බවත් මා දැක තිබුනා. මම හිතන්නේ එතනදී පරිසරය තමයි එම තත්වයට ප්‍රදාන හේතුව උනේ කියලා. ගොඩක් දෙනෙක් හනිමුන් නුවර එලියට නොයන්න හේතුවත් ඕක වෙන්න ඇති.

    ඒ වගේම කොළඹ වගේ සමහර ජනාකීර්ණ ප්‍රදේශ වල මේ තත්වය බහුලයි. මේක අලුත් දෙයක් නෙවෙයි. අතීතයේ ඉඳන්ම අපේ සමාජයේ මේ තත්වයන් තිබුනා නමුත් ඒවා සැම විටම පැවතුනේ රහස් ලෙසයි. මට හිතෙන්නේ අද වෙන විට ජන අනුපාතයත් එක්ක බැලුවොත් තත්වය වර්ධනය වෙලා නෑ කියලයි. වෙලා තියෙන්නේ අපි අදහස් විවුර්තව කතා කිරීම වැඩි වීම පමණයි.
    මට හිතෙන්නේ මේ හැම දේම ලෝකේ පැවැත්මට අවශ්‍ය දේවල් කියලයි. " දූරියං සමහරුන්ට ගඳයි සමහරුන්ට සුවඳයි" ඔක්කොටම සුවඳ උනානම් එතන ලොකු ප්‍රශ්නයක් නේද.
    මොනවා උනත් හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියලයි මගෙත් මතය.
    සමහර විට සොබහවදර්මයා ජනගහනය පාලනය කරන්න යොදන උපක්‍රමයක්ද දන්නේ නැ.

    ReplyDelete
  59. දෙයක් ස්වාභාවික වූ පලියටම යහපත් නොවේ.

    ReplyDelete
  60. චින්තක පල්ලියගුරු මහත්තයෝ යහපත් බව අයහපත් බව තම තමන්ට අනු‍ව නොව තේරුම් ගන්නේ. නේද? අනික සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යයි කියල කියන්න තරම්වත් අවශ්‍ය නැති සාමාන්‍ය ලිංගික චර්යාවක් විතරයි. ඒකේ අරුමයක් නැහැ නැත.

    ReplyDelete
  61. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි.
    බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.

    read more

    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
  62. මෙය බල්ලාගේ වැඩේ බුරුව කිරීමක් දැයි මට සිතේ. න්‍යෂ්ටික විද්‍යාව, මනෝ විද්‍යාව, ජිව විද්‍යාව යනු විෂයයන් තුනකි. සමලිංගිකත්වය හරි හෝ වැරදි වේවා එය උප්තෙන් ඇති නොවන දෙයකි. ඉතා සුළුතර අවස්ථාවන්හිදී හෝමෝන විපර්යාස නිසා පුද්ගලයෙක්ය් සමලිංගික විය හැක. නමුත් බොහෝ සමලිංගිකයන් පාරිසරික හේතු නිසා සමලිංගික වේ ; දෙමාපිය හැසිරීම / කුඩා කල සිදු වූ ලිංගික අතවර ඒවා වේ.

    දෙයක් ස්වභාවික වූ පලියටම හොඳ නොවේ යන්නට මම එකග වෙමි.කුඩා ළමයින් කෙරෙහි ඇති ලිංගික ආශාව, මල මුත්‍ර කෙරේ ඇති ලිංගික ආශාවන්, මල මිනි සමග වලට ලිංගික ආකර්ෂණය (necrophelia), සතුන් හා ලිංගිකව එක වීම වැනි කාරණා ස්විභාවික ප්‍රවනතවයන්ය. නමුත් ඒවා "හරි" යයි පැවසෙන්නේ නැත.

    ReplyDelete
  63. මොනවා කියන්නද හිතාගන්න බැ.මොනවා වුණත් එහෙම අය කොන් කරන එක,පිලිකුල් කරන එක,නින්දා අපහස කරන එක නම් වැරදි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.