Monday 29 March 2010

කතන්දරකාරයා දිව්‍යලෝකෙ ගිය හැටි විස්තරය: ද ලාස්ට් එපිසෝඩ් - Day trip to the heaven: Last episode


මතකයි නේද මෙතෙක් කතාව?

ඔන්න අර අපේ ඒකෝන්කාරය පොරගෙ ඊලඟ වීඩියෝ එක ෆිල්ම් කරන්න එනවයි කියන කලවානේ පන්සලේ බිතු සිතුවම් වල ඉන්න දිව්‍යාංගනාවන් දැකල මටත් හිතුන නන්ද කුමාරය වගෙ මේ නවදැලි හේනෙම ඉන්නෙ නැතුව පොඩ්ඩක් දිව්‍යලෝකෙ පැත්තෙ ගිහින් බලල එන්න.

කවියෙන ලියවුනු, මගේ ගමන් විස්තරේ මුල් කොටස, දිව්‍යලෝකෙ ගැන මූලික පරිසර වර්ණනාවක්, මෙතනින් බලන්න පුළුවනි.

දෙවෙනි කොටසින් මං කියන්නෙ දිව්‍යලෝකෙ දෙවිගොල්ල රන් කරන ඔරැකල් 10g ඩේටාබේස් එක ගැනයි. අපේ පින් පව් සේරම ලියවෙන්නෙ ඒකෙ.

එදා මං එහෙ යන දවසෙ දිව්‍යලෝකෙ මහ රජ්ජුරුවන් එහෙ කලාකරුවන්ට පොඩි පැදුරු සාජ්ජයක්. දෙයියො ඉන්වයිට් කලා, මාත් ඉතිං පොඩි ජින් එකක් වත්කරගෙන පැදුරට සෙට්වුනා. ඒ විස්තරය මෙතනින් බලන්න.

අද මගේ දිව්‍යලෝක ගමන් විස්තරයෙ අවසාන කොටසයි.

***

පැදුරට සෙට්වෙලා මං බලන කොට කවුද මේ මියුසික් කාරයො කියල, මෙන්න බොලේ අපි අඳුනන දෙන්නෙක්ම!

වීනාවක් නිකට යට තද කර අල්ලං
ගුත්තිලකාරයා පෙන්නුව හොඳ සෙල්ලං
මූසිලකාරයා වී නැත තව සල්ලං
සංගීතයට බත්වත් නොම කති බල්ලං

***

පැදුරෙ ඉඳන් එක දිගටම සින්දු කියන එකක් ලේසි පාසු වැඩක් නෙමේනෙ. ඉන්ධන තියෙන තරමට තමයි කොයි හපුතල් කන්දත් නගින්න පුළුවන්.

සින්දු වතුර බීමේ උවමනා වෙනා
පැදුරු සාජ්ජය මදකට නතර වුනා
ලොකු අඩුවක් සභාවේ හොඳ හැටි පෙනුනා
දෙවිපති ගෙන් විමසීමට මට හිතුනා

මෙතන නළුමන්ට්ස් ලා, නිලිමන්ට්ස් ලා, කලාකාරයො, වන්දිබට්ටයො, කාරියකරවන ආරියරත්නල සේරම පිරිල හිටියත් මට නං පැදුරු සාජ්ජෙට සෙට් වෙලා හිටිය අයගෙ ලොකුම ලොකු අඩුවක් පෙනී ගියා.

***

මං කෙලින්ම ගිහින් ඇහැව්ව මහ එකාගෙන්ම.

සල්ලි නමින් මනු ලොව කවුරුත් දනිතී
මල්ලි ඔබේ අද මෙම සබයෙහි නොමැතී
කොතැනකදෝ ඒ මහ උත්තම ගුණැතී
ඔබෙ සොහොයුරා දකිනට අප සැම කැමතී

දෙයියන්ගෙ මල්ලි පේන්න හිටියෙ නැති එක නං එතන ටක් ගලා කැපිල පෙණුන. මොන ලොක්කද ඉතිං තමන්ගෙ මල්ලිලව පිරිවරාගෙන ඉන්නෙ නැත්තෙ?

***

මේක ඇහැව්ව විතරයි, මෙන්න බොලේ අපේ දෙයිය පොරට නැග්ග නහුතෙටම.

මගෙ ඒ පැනෙන් දෙවිපතිදුට තරහ ගියා
රැව්වා මදෙස මා දා අළු කරන නියා
"උදය සවස නමදින අත් මුදුන් තියා
දැන ගනු නරය! ඒ මා හැදු මගේ පියා!"

***

මළ සේක! කිව්වළු. කව්ද දෙයියනේ ඔය කතාවක් දැනං හිටියෙ? අපි හිතාගෙන හිටියෙ සල්ලි කියන්නෙ දෙයියං ගෙ මල්ලි කියලනෙ. දැං බැලින්නං මේ තාත්තය කියන්නෙ!

මනු ලොව දනන් දෙවියන් වැඳ පුදන්නේ
දෙවියෝ සල්ලි පිහිටෙනි නිති රැකෙන්නේ
කුමටද අතර මැදියෙකු මත යැපෙන්නේ
සල්ලි වලට මින්මතු මා වඳින්නේ

සාදු, සාදු, සාදු !!!

***

මේකෙන් ඉතිං එකක් පැහැදිලියි. සල්ලි කියන්නෙ දෙයියංගෙ තාත්ත නං, ඒ කියන්නෙ, දෙයියංව ජාතක කරල, හදල, වඩල, ලොකු මහත් කළෙත් "සල්ලි" කියන එක නේද?

තවත් කතන්දරයකින් හැකි විගස හමුවෙමු!

කතන්දරකාරයා

35 comments:

  1. හපොයි. දෙයියන්ගෙ ජාතකේ අදනෙ දැන ගත්තෙ

    ReplyDelete
  2. වෙරි නයිස්.. නියමයි!!!!!!

    ReplyDelete
  3. එක දිනයකදි දෙව් ලොව තතු ගෙන ආව
    කහටක් නැතිව කවියෙන් ඒ ගැන කීව
    දැන් දෙවියන්ට නොවඳින මේ කකා ව
    "සල්ලී" ‍රැකදෙන්න හැම මොහොතක දීම

    ReplyDelete
  4. කරුණක් කියමි මා මිතුරේ අහගන්න
    හදවත නුඹේ විමසා මෙය දැන ගන්න
    දෙවියන් වුවත් මුදලට එය බැහැ ගන්න
    දෙන්නේ අපියි පිං දෙවියනි දැන ගන්න

    ReplyDelete
  5. @ Wath
    පින් දෙන විටදි දෙවියන් හට හුදී දනා
    පින් ගිනුමකට ඒ සැම පින් එකතු වෙනා
    මාසික වැටුප ලෙස දෙවි කැල සියළු දෙනා
    "පින් පඩි" ලබන හැටි දුටු මට දැනුදු හිනා

    ReplyDelete
  6. @ චේජනා:
    ආශිර්වාදයට ස්තුතියි!

    දෙව් ලොව සැප ගන්න යන්නට ආසාවේ
    කතන්දර බලන අය කෙල ගිල්ලාවේ
    කරුණක් කියමි හිරු බැස යන හෝරාවේ
    සල්ලි අණට කොයි ජගතත් අවනත වේ

    ReplyDelete
  7. කතිර හිගන්නුන් මගෙ මතකෙට ආවා
    දෙවියන් ඔවුන් හා සම වෙයි මට හිතුනා
    ඔබ හා මගේ "පිං" , "කතිරෙන්" දිවි ගෙවනා
    මඩු වලිගෙන් තැලූවත් මදි හුදී ජනා

    ReplyDelete
  8. @ වත්

    වත් පිළිවෙත් ගුණදම් නිති රකිනවද?
    වත් පොහොසත් කම් ගැන හෙම බලනවද?
    වත්සුණු, කොකුම්, අංජන වත උලනවද?
    වත් ඔබ කවුද, දැන්වත් මට කියනවද?

    ReplyDelete
  9. මනු ලොව සැපත දෙවු ලෝකේ කොහෙ වේද
    දෙවු සුරබඹුන් බිහි කෙරුවේ අප නේද
    මා සිටිනා සුර ලොව ඔබ දන්නේද
    සත පහ නැතත් සුර පුරයයි මගෙ නිවස

    ReplyDelete
  10. වත් පිළිවෙත් ගුණදම් නිති රකින්නෙමි
    වත් පොහොසත් කම් ගැන නොමබලන්නෙමි
    වත්සුණුල කොකුම්ල අංජන වත උලන්නෙමි
    ඔබ සොයනා දෙවගන මම නොවන්නෙමි

    ReplyDelete
  11. මනු ලොව සැපත දෙවු ලෝකෙ කොහිවේද
    සෙවියන් බඹුන් මැව්වේ මේ අප නොවෙද
    මා සිටිනා සුරපුර ඔබ දන්නේද
    සත පහ නැතත් සුරපුරයයි මගෙ නිවස

    ReplyDelete
  12. සලා නෙතු පියන් සඟවා බැළුම් නුරා
    සලා නිතඹ ලෙලවා සුරඟනක යුරා
    සලා සෙමෙර කවියෙන් හද පවුර ඉරා
    සලා මසිත යන්නෙද ඔබ කොයිබ කරා?

    ReplyDelete
  13. සල්ලි අණට අවනත වන හුදී දනා
    මැරෙන දිනදි ඒ ගැන තැවෙමින් මියෙනා
    හොඳ හිත මිතුරුදම ‍රැස්කරගත් සුදනා
    කවදා වුවද හිත සතුටින් ගමන යනා

    ReplyDelete
  14. සල්ලි අණට අවනත වන හුදී දනා
    මැරෙන දිනදි ඒ ගැන තැවෙමින් මියෙනා
    හොඳ හිත මිතුරුදම ‍රැස්කරගත් සුදනා
    කවදා වුවද හිත සතුටින් ගමන යනා

    ReplyDelete
  15. @ Wath
    මුහුදේ ගඟේ අහසේ හෝ මත දෙරණා
    කොහෙදෝ සිටන් කවි බැඳ මා වෙත එවනා
    මහදේ කොණක දැන් කුකුසක් පිළිසිඳුණා
    ඔබ දෝ ලඳේ මාතර ගජමන් නෝනා

    ReplyDelete
  16. @ චේජනා
    යන දින ආ විටදි කවුරුත් ලඟ නැතිය
    හිසවෙත සෙවන කොයි කවදත් තම අතය
    ඇති නම් කාසි මිතුරන් ලොව හැම තැනය
    මගෙ දිවි ගෙවෙන්නේ ඒ අණ පිළිපැදය

    ReplyDelete
  17. සලා නෙතු පියන් කදුළින් පිරී ගිය
    සලා නිතඹ වයසින් මුහුකුරා ගිය
    ලියා කවිය ඔබ අසලින් තබා ගිය
    (වත්)සලා මමයි නාදුනනා කුමාරිය

    ReplyDelete
  18. මුහුදේ නොවේ පොළවේ මා වෙසෙන්නෙමි
    මාතර සිටන් පද වැල් කවි කරන්නෙමි
    ඔබේ හිතේ ටජ් මහලක් තනන්නෙමි
    අවසර දෙන්න මා යළි මෙහි නොඑන්නෙමි

    ReplyDelete
  19. @ වත්සලා

    දුරු රට ඉඳන් මගෙ අඩවිය වෙතට වැදී
    ලිව් කව් වලට තුති පුදනට වචන මදී
    යලි දිනයක දි හමුවෙන තුරු සිතෙහි රුඳී
    ඉනු මැන වත්සලාවනි මාතර වොරැඳී

    ReplyDelete
  20. බැළුමට මුත් කතා සැමදා මෙන් ආවේ
    කිවුමට වදන් නැති හදියකි සිදුවූවේ
    කිසිදින නොදු‍ටු කවි මඩුවකි අද වූවේ
    මැද්දට නොපැන මේ අන්තිමටයි ලීවේ

    කතා වගෙම කවි ටික රසයෙන් සාරයි
    සටහන් තැබූ අයගෙත් අදහස් "මාරයි"
    කවි පද බඳින්නට ඔබ නම් හරි සූරයි
    ඔබේ රසික සිත සක් දෙවිඳුට බාරයි

    ReplyDelete
  21. පිස්සු හැදෙයි..
    යළි හොද වෙයි... කිවුවළු.

    මෙතන නියම කතන්දරෙ තියෙන්නේ ප්‍රතිචාර වල නෙව.
    චික් විතරක් මම පරක්කු උනා. නැත්නම් අපේ වත්ට.. පොඩි සපෝට් එකක් දෙන්න තිබුනා.
    ඇත්තටම දෙන්නම නියම දක්ෂයෝ...

    ReplyDelete
  22. pissu hadenawa appaa . . me kavi tika nam patta . . .

    ReplyDelete
  23. උන්නැහෙ ලියා ගිය කවියත් දැන් දුටවා
    ඒත් ඉතින් දැන් නම් එහි පල නැතිවා
    කකා ගෙ රසික සිත "සල්ලී" වෙත ආවා
    ඒකත් ඉතින් "සල්ලි" ට බාරම වේවා

    (කකා, උඩ කවිය ලියල දැම්මට පස්සෙ චුට්ටක් වෙනස් කරන්න වුනා..)

    ReplyDelete
  24. පට්ටම, පට්ටම,පට්ටම කවි ටික. කියවද්දි මයිල් කෙලින් වෙනවා නොවැ. අදයි ඔක්කො​ම කියෝල ඉවර කලේ. ඔයානං මාර කයි කතා කාරයෙක්. හැම කතාවකටම කවියක් දෙකක් ඈඩ් කොලොත් මොකද?

    ReplyDelete
  25. මල්ලි වගේ වැඩ කාරයි වගේ දැනේ
    සල්ලි ගහේ උඩ අතු අග සිටිනු පෙනේ
    පුල්ලි ගොනයි ලොරි බාගෙයි වගේ අනේ
    මල්ලි හොදයි අයියයි මට එපා උනේ

    ReplyDelete
  26. කතන්දර කාරයා හංගපු ටික....

    කරා ගොසින් දෙව් ලොව පිනවන්ට නෙත
    නුරා බැලුම් හෙළමින් දෙව් ළියන් වෙත
    හොරා ලෙසින් අල්ලා එකියකගෙ අත
    පුරා මුහුණ වැදුණලු දෙක තුනක් කැත

    ReplyDelete
  27. @ පිස්සු හුටං, උන්නැහේ, මාරයා, දුකා, ගීතික, බුද්ධි සහ අන් සියළු දෙනාටම

    සුරලොව ගොස් එන්න යන්ට පෙර දාක
    මනු කුමරියක් මගෙ නිවසට වැඩි සේක
    දුටූ සඳ සුරඟනන්ගේ අවකෙලි නරක
    මගෙ කුමරිගෙ අගේ දැනුණා මට හණික

    සුරඟන වුවද ඒ අඹුවකි අනුන්නේ
    කුමටද මට එවැනි අය, නැත ඔබින්නේ
    සුපුරුදු කුසුම් සුවඳින් සිත පිරෙන්නේ
    පරසතු මලින් නැත මා රොන් පතන්නේ

    ReplyDelete
  28. කකා ලිව්ව අවසන් කවි පදය අසා
    දෙව්පුර ලියන් වැනුමන් ගිය ලෙසිනි ගසා
    සක් දෙවි තුමන් දැන් දැන් සුර පුරය වසා
    ලන්නට නොහැකි නැත නුඹෙ කුමරියට ඇසා.... ;))

    ReplyDelete
  29. සුරලොව ගොසින් ආපසු මනු ලොව ආව
    කතා සහෝ රජ වැඩකරුවෙක්නෙ බොල
    බ්ලොගේ හා කමෙන්ට වල ඇති කවි දැක මෙමට
    පිස්සු හැදී ආයෙත් හැදුනෙමි මුන්ගේ කවි වලට ...;)

    ReplyDelete
  30. මල සේක හැමෝම කවියෙන් උත්තර බඳින්නෙ.දැන් ඉතින් මොකද කරන්නෙ මම,කයි පද කරේ ගහ ගෙන කයිය පද බැඳ ගෙන ඔහේ බලා ඉන්නම්.

    ReplyDelete
  31. හිහි .......

    ReplyDelete
  32. ORACLE 10 G huuuuk heeeek hik hik

    ReplyDelete
  33. Love to read again & again........ :-)

    ReplyDelete
  34. හි හි.... දෙපාරක් විතර කියෙව්වා ඉස්සෙල්ල අහුවුන වෙලාවෙත්...
    මේපාරත් මුල ඉදලම කියෝගෙන ගියා....

    මල් හතයි කයි මඩුව..ඇත්තමයි මට කයි ලියන්න බැරි එක ගැන .....දුකාාායි..... හි හි

    ReplyDelete
  35. ආයෙත් කියෙව්වා.... සොඳුරු අතීතය....!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.