Friday, 31 August 2012

හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න? සතියේ පඬි වදන-2 : Voltaire no more!


මැස්ලෝ ගේ, මර්ෆී ගේ සහ පීටර් ගේ තියරි දන්න කියන අය නම් බ්ලොග් අවකාසේ එමටයි.

ඒ වගේම වෝල්ටෙයා කියන නමත් පොත්පත් කියෝලා තියෙනවා නම් අහලා තියෙන්න ඕනෑ. පොර දාහත්වෙනි සියවසේ ප්‍රංශයේ හිටපු දාර්ශනිකයෙක්. නිදහස් චින්තකයෙක්. සමාජ සාධාරණය ගැන කතා කරපු පොරක්.

වැඩි විස්තර ඕනැ නම් මෙතනින් බලන්න. http://en.wikipedia.org/wiki/Voltaire

වෝල්ටෙයාර් මොන දාර්ශනික මතවාද එදා ඉදිරිපත් කළාද කියලා අපි නොදන්නවා වුනාට මෙන්න මේ කතාව නං අහලා තියෙනවා නේද?

       I do not agree with what you have to say, but I will defend to the death your right to say it.

අයි ඩූ නොට් ඇග්‍රී විත් වට් යූ හැව් ටු සේ, බට් අයි විල් ඩිෆෙන්ඩ් ටු ද ඩෙත් යුවර් රයිට් ටු සේ ඉට්.

මම ඔබේ මතය සමහ එකඟ නොවෙතත් ඔබට එම මතය දැරීමට ඇති අයිතිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරමි.

සමහරු නං කියනවා ඔය කතාව වෝලටෙයා ඇත්තටම කියපු එකක් නොවෙයි පොර හිටියා නං මෙන්න මෙහෙම කියයි කියලා පොර ගේ ලේකම් පස්සේ කියපු කතාවත් ය කියලා.

මොකා කීවත් ඒ කතාව හරිම සිරා එකක්.

මාත් පොඩි කාලේ ඉඳලාම අද වෙනතුරුම විශ්වාස කරන එක කාරණයක් තමයි අපේ මතය මොකක් වුනත් අන් අයගේ මතයට ගරු කරන්න ඕනෑ ය, ඒ මතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕනෑ ය කියන එක.

අපි විශ්වාස කරන සාධාරණ සමාජයේ එක අඩිතාලමක් තමයි ඒ සංකල්පය.

විවිධ මතවාද ගැටීමෙන් ඇතිවෙන විසංවාදයෙන් තමයි නිවරද මග හෙළි-පෙහෙළි වෙන්නේ.

නමුත් රටේ ලෝකේ වෙන්නෙ ඕක නොවෙයි නේ. මත ගැටුමෙන් කෙසේ වෙතත් අවි ගැටුමෙන් තමයි බලය රඳවා ගන්න පුළුවන්. විකල්ප මත දරන්නන්ට ඉතිං සොරි ඩොට් කොම් තමයි!

සමාජයක් වශයෙනුත් අපි එහෙමයි. පුද්ගලයෝ වශයෙනුත් අපි එහෙමයි. මොකද අපි කවුරුත් ලේ මස් ඇට නහර ලේ තියෙන කාබන් බේස්ඩ් බයිපොඩ්ස් ලා නේ.

අපිට පෙන්නන්නම බැරි දෙයක් තමයි අපේ මතයට විරුද්ධ මත වෙනත් අය දැරීම. ඒ මදිවාට ඒවා තමන්ගේ ම බ්ලොග් එකේ ලිවීම ඊටත් වඩා දරුණු වැඩක්.

මෙන්න මං විසංවාදය ගැන සඳහන් කරමින් ලියපු අළුත් අවුරුදු සුභ පැතුම් කවියක්.

ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
වසරක් උදාවේවා සැනසුම පිරුණ


මෙන්න ඒ ගැන මට ලැබුණු අවංක ප්‍රශංසාවක්: මෙන්න පාර

-කතන්තරකාරයා

ප/ලි:
මීලඟ සතියේ පඬිවදන - "ඒදණ්ඩේ යන්න උපදෙස්"

(Image: http://en.wikipedia.org/wiki/Voltaire)

Wednesday, 29 August 2012

කූනිස්සෙකු ගේ මතකය - Memory and Fuzzy Logic


අපේ මොලේ කියන්නේ කොම්පීටර් එකක් නම්, ඒක ඩිසයින් කරපු එකා මාර සිරා ෆසී ලොජික්කාරයෙක් වෙන්න ඕනෑ.

මොකද මේකේ හාඩ් එකේ අපි සේව් කරගන්නේ මොන මොනවාද, දවස පුරා රෑම් එකේ තිබුණාට රෑට නිදාගන්න ස්විච් ඕෆ් කළාම මකලා දාන්නේ මොනවාද කියන කාරණා පිටුපස්සේ තියෙන්නේ විස්තර කරන්න බැරි තරමට ෆසීම ෆසී ලොජික් (Fuzzy Logic) එකක්.

ඉතාම වැදගත් දේවල් අමතක වෙලා සුපියල් දාස් ගණං පාඩු වෙනවා. මතකය හරිගස්සා ගන්න කරණ උත්සාහවලට හරස් වෙන්නේ ද අමතක වීමමයි (මතකද මං ලියු මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ කියන කතන්දරේ?) ඒක එහෙම වුණාට ඒ අතරේ කිසිම වැදගත්කමක් නැති ට්‍රිවියල් දේවල් දශක ගණනාවක් හිතේ රැඳී තියෙනවා. ඒ විතරක් නොවෙයි විටින් විට මතක් වෙනවා.

මං හතේ පන්තියේ ඉගෙන ගනිද්දී වෙච්ච මෙන්න මේ සිද්ධිය මට තාමත් මතක ඇයි කියන එක මටම හිතා ගන්න බෑ!

ඔන්න හතේ පන්තියේ ළමයින්ව අධ්‍යාපන ගමණක් එක්කරගෙන යන්න සංවිධානය කළා ඉස්කෝළෙන්. මගේ පන්තියේ හිටිය ජයශාන්ත වගේම ජයතිස්සත්, අල්ලපු පන්තියේ හිටපු නාලන්ද පියතිලකත් මේ ගමණ යන්න ඇති. අර ලව් ලෙටර් සිද්ධියට සම්බන්ධ පබසරා නම් වෙන ඉස්කෝළෙක මේ කාලේ වෙනකොට.

උදේ හයටයි බස් එක ඉස්කෝලේ ලඟින් පිටත්වෙන්න නියමිත වුනේ. අම්මා හඳලා දුන්නු බත්මුලත් එක්ක තාත්තා මාව අපේ ගේ ළඟින් මහ පාන්දර යන බස් එකේ මාව එක්කරගෙන ගියා ඉස්කෝලෙට.

ඒ දවස්වල බත් මුල් කිව්වාම දන්නවානේ? ගින්නෙන් තවපු කෙසෙල් කොලේක පරිප්පු තෙම්පරාදුවයි, සීනි සම්බොලෙයි, කරෝල බැදුමයි, මැල්ලුමයි වගේ ඒවා එක්ක අදටත් හද කිති කැවෙන රස සාගරයක්!

අපේ අධ්‍යාපන ගමන ගියේ පුත්තලමේ සිමෙන්ති ෆැක්ටේරිය බලන්නයි. අපේ සමාජ අධ්‍යයන ගුරුවරයා මේ ගමනේ මාර්ග විස්තරය සහ නරඹන තැන්වල විස්තර තියෙන කොල දෙකක් රෝනියෝ කරළා අපට බෙදලා දුන්නා මතකයි උදේම. පොර ඇරුණාම මේ ගමන ගිය අනිත් පිරිමි ගුරුවරු තමයි අපේ අංශය භාර ප්‍රධානියා වුණු ටර්පන්ටයින් සහ සරඹ සහ සෞඛ්‍ය ගුරුවරයා වුණු චන්ද්‍රසිරි.

මේ සම්පූර්ණ ගමණෙන් මට හොඳට මතක මෙන්න මෙච්චරයි.

ඔන්න අපි බත්මුල් දිග ඇරගෙන බත් කනවා පුත්තලමේ දී.

ගමනේ මුළ ඉඳලාම කයිය ගහමින් බස් එකේ ඉස්සරහා සීට් එකේ ගිය ටර්පන්ටයින් චන්ද්‍රසිරි දෙන්නා බත් කෑවෙත් මං හිටපු හරියේමයි.

බත් පාර්සලය දිග ඇරගෙන කන ගමන් ටර්පන්ටයින් මෙහෙම කිව්වා චන්ද්‍රසිරි ට.

"මේකේ හාල්මැස්සෝ තෙල්දාලා තියෙනවා, ඕකේත් තියෙනවාද?"

"නෑ, මේකේ තියෙන්නේ ඉස්සෝ" චන්ද්‍රසිරි කිව්වා.

දෙබස එතනම නතර වුණා. දෙන්නා මුනිවතින් කෑම කෑවා.

එච්චරයි!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් මේ සිද්ධිය මෙච්චර කල් ගිහිල්ලාත් මගේ හිතේ රුඳිලා තියෙන්නේ ඇයි? අඩු වශයෙන් කතන්දරයක් ලියන්න පුළුවන් එකක් නං ඒත් කමක් නෑ!


(image: http://www.cartoonstock.com/directory/f/fuzzy_logic.asp)

Monday, 27 August 2012

අධ්‍යාපන අර්බුදයේ ගැඹුර කොච්චරද? මෙච්චරයි! - How deep is the education crisis? This deep!


යූ ටියුබ් එකේ වීඩියෝ ක්ලිප් එකක් බලමින් ඉන්න කොට පරණ කතන්දරයක් මතක් වුණා.

මේ වීඩියෝ ක්ලිප් එකේ ලින්ක් එක මට ඊ-මේල් එකකින් එව්වේ යුනිවසිටිකාරයෙක්වෙන සිඩ්නි සිතුවිලි බ්ලොග් එක ලියන ප්‍රියන්ත ෆොන්සේකා යි.

දැන් බලමු වීඩියෝ ක්ලිප් එක.



අද ලංකාවේ අධ්‍යාපනයේ තියෙන අර්බුදය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? දීර්ඝ කාලයක් තිස්සේ නිසි පරිදි ආයෝජනයක් නොකිරීමේ පල විපාක තමයි.

වැඩේ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් මං මුලින්ම විශ්ව විද්‍යාලයකට ගිය කාලෙත් ඔය අර්බුදේ තිබුණා. ඒ ගැන කතා බහ කළා. වාද කළා. ප්‍රශ්නය ඔද්දල් වෙවී ඉදිරියටම ගියා.

උං හිටියත් එච්චරයි. උං ගිහින් මුං ආවත් එච්චරයි.

දැන් මෙන්න මට මතක් වුණු කතන්දරේ.

ඔන්න අපි ඒ කාලේ මේ අධ්‍යාපනයේ අර්බුදය ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කළා. ඒ දවස්වල කැම්පස් එක දින නියමයක් නැතුව වහලා දාලා හින්දා අපි නුවර පැත්තේ විශාල ශාලාවකයි මේ සම්මන්ත්‍රණය පැවැත්තුවේ.

නලින් ද සිල්වා ලොක්කාට මං ගිහින් ආරාධනා කළාට පොර මුලින් හා එන්නම් කීවාට පස්සේ ආවේ නෑ.

ඒ දවස්වල විපස්සයේ හිටිය වර්ණපාලකාරයා නං එක පයින් කැමති වෙලා ආවා. පොරට ආරාධනා කරන්න ගියේ මායි මගේ සුමිත්‍රයෙකුයි. මගේ ඒ සුමිතුරා තමයි මේ කතන්දරයේ කතානායකයා.

සම්මන්ත්‍රණය සංවිධානය කරන්න සාකච්ඡාකරන වෙලේ කවුරු හරි නොවැදගතෙක්ව මූලාසනයේ තියමු කියලා අපි කතා වුණා. මූලාසනයට තියෙන්නේ ඉතිං කතාකරන දේශකයින්ව හඳුන්වා දෙන එක විතරයි නේ.

ඔන්න ඉතිං ඒ තියරිය අනුව මායි එදා මූලාසනේ. අපේ කැම්පස් එක වෙනුවෙන් කතා කරන්න ඔන්න මං සුමිතුරාව හඳුන්වා දුන්නා.

පොර කතා කරන්න යන්නේ අධ්‍යාපනයේ අර්බුදය ගැනයි!

"ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර සහෝදරියනි, අද මේ සම්මන්ත්‍රණයේ දී ඔබ අමතා කතා කරන්නට මට ආරාධනා කිරීම ගැන මුලාසනයේ සිටින කතන්දරකාරයාට මා ස්තුති කරන්න කැමතියි". පොර කතාව පටන් ගත්තා.

"මා අද කතාකරන්නට යන්නේ අපේ රටේ අධ්‍යාපනය අද මුහුණ දී තිබෙන අර්බුදය ගැනයි. මේ අධ්‍යාපන අර්බුදය ඉතාම ගැඹුරු එකක්. මේ අර්බුදය කෙතරම් ගැඹුරුද කියනවා නම් ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර, සහෝදරියනි,..."

ඔන්න ඔතන දී තමයි අපේ පොරට ටිකක් වචන හොර වුනේ, ඒත් පොර ඇරියේ නෑ.

"මේ අර්බුදය කෙතරම් ගැඹුරුද කියනවා නම්, ඉතාම ගැඹුරුයි, කොටින්ම මෙහි ගැඹුර මනින්න බෑ! අන්න ඒ තරමට ගැඹුරු අර්බුදයක තමයි අද අපේ රටේ අධ්‍යාපනය වැටිලා තියෙන්නේ."

මගේ සුමිතුරා ඒ තමන් වැටුණු අර්බුදයෙන් නම් ගොඩ ආවා ඒ විදියට.

හැබැයි එදා ඉඳලා අපි කැම්පස් එකෙන් අවුට්වෙන තුරුම පොරට අපෙන් ගැලවිල්ලක් වුනේ නෑ. පොරව දැක්ක ගමන් අපි අහන්නේ:

"මචං උඹ අරකේ ගැඹුර දැන් මැනලා ඉවරද?"

"මචං ගැඹුර හරියටම දැන ගත්තු දවසකට අපිට කියපං හරිද?" කියලයි.

-කතන්දරකාරයා

ප/ලි:
මිත්‍රයා නං දැන් ආණ්ඩුවේ තරමක ලොක්කෙක්.

මේ කතන්දර බ්ලොග් එක සමහර ලොක්කොත් කියවන බව දන්නවා වුනත් මේ ලොක්කා නං කියවනවාද කියලා දන්නේ නෑ. බලමු!

ප/ප/ලි
අධ්‍යාපනයේ අර්බුදයට මූලික හේතුව නම් කාලයක් තිස්සේ පැවති ආණ්ඩු විසින් නිසි පරිදි ආයෝජනය නොකිරීමයි. විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ මේ ආයෝජනය සිදුකරන්න රජයේ මුදල් ප්‍රතිපාදන නොලැබෙන නිසා ඇති විසඳුම නම් පුද්ගලික අරමුදල් ලබා ගැනීමයි. මේ පිළිබඳ මා ලියූ "ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ, මෙන්න මේකය! දැවෙන ප්‍රශ්ණයකට කතන්දරකාරයා ගෙන් පිදුරු ගොඩක්!! - Private money for higher education industry" ලිපිය මෙන්න.
http://kathandara.blogspot.com.au/2012/01/private-money-for-higher-education.html

Saturday, 25 August 2012

හික් හික් හික් කුරුක් කුරුක් - Sundae Ispashal Axetra


බ්ලොග් ලෝකයේ හිනා වෙන විදි දෙක තුනක් තියෙනවා නේ.
ලොල්,
බිපෙසි,
හිකිස්
කියන්නේ ඉන් කීපයක්.

මං ඕවායින් වැඩියෙන්ම කැමති "හිකිස්" කියන එකටයි. ඒකට හේතුව තමයි මං පොඩි කාලේ අපේ ගෙවල් පැත්තේ නැගලා ගිය හිනාවෙන ක්‍රමයක් ඊට සමාන නිසා.

නාලන්ද පියතිලක තමයි මේ ක්‍රමය මට කියලා දුන්නේ. පොර ගේ මස්සිනා ජීත් සිරිතිලකත් මේ ක්‍රමයට තමයි ඒ දවස්වල හිනා වුනේ.

මෙන්න මෙහෙම.

"හික් හික් හික් කුරුක් කුරුක්!"

ඔය කෑල්ල කියලා හිනා වෙනවාත් එක්කම මෙන්න මෙහෙමත් කියනවා.

"බාකිටි බක්, බක්!"

මොකක්හරි ඒ අදාල විහිළුව අල්ලලා ගියේ නැති අය විරෝධතාවය දක්වලා හිනාවෙන්නේ මෙහෙමයි.

"සේං තාං බූලා!"

තවත් ඔය අන්තිමට එක වගේ කෑලි නං හොඩක් තිබුණා ඒ දවස්වල. සමර ඒවා නං තාමත් තියෙනවා ජනවහරේ.
  • ඩිඟිටි ඩිඟාරේ
  • අම්මට සිරි
  • ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි
මුලිං කියපු හිනාවෙන කෑලි මට මතක් වුනේ පත්තරේක දැකපු පොඩි නිවුස් අයිටම් එකක් හින්දයි.

මෙන්න පත්තර කෑල්ල.


මේක "අවිවාහක ඉන්දියන් අයිටීකාරයෙක්" ගේ අමුතුම කේස් එකක් ගැන කරපු පරීක්‍ෂණයක් ගැන විස්තරයක්. කියෝලා බලන්න.

වැඩි විස්තර මෙතනින්.

http://health.newsplurk.com/2012/06/man-plagued-by-porn-induced-headaches_30.html

-කතන්දරකාරයා

ප/ලි:
කාලෙකට පස්සේ අද යන්තම් මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට කතන්දර දැනුම් සාගරෙන් කොටසක් එකතු කරන්න ඉඩ ලැබුණා.



(image: http://health.newsplurk.com/2012/06/man-plagued-by-porn-induced-headaches_30.html)

Thursday, 23 August 2012

සතියේ පඬි වැකිය - Nothing else to do today!


"ආයුබෝවන්" යන සිංහල ආශිර්වාදය ක‍්‍රම ක‍්‍රමයෙන් අප අතරින් ගිලිහෙමින් පවතී. එය අද වන විට සම්ප‍්‍රදානුකූල උත්සව අවස්ථාවන්ට පමණක් සීමා වී ඇත. ඒ වෙනුවට අද අපි, "How are you?" යන්නේ පරිවර්තනයක් ලෙස සැලකිය හැකි, "කොහොමද?" යන අර්ථ විරහිත පදය යොදා ගන්නට පුරුදු වී ඇත්තෙමු. ජාතික ඇඳුමට වඩා කලිසම ඇඟට පහසු වූවා සේම, "කොහොමද?" යන්න දිවට පහසු වූවා සේය.

බොහෝ විට "ආ-ඉ-බෝං" කියා උච්චාරණය කෙරෙන, "ආයුබෝවන්" යන පදයේ අප දන්නා පරිදි තේරුම නම් ඔබේ ආයුෂ වැඩි වේවා යන්නයි. මෙය ඉතා උසස් පැතුමකි. ආශිර්වාදයකි.

ජීවිතයේ අගය, ජීවත් වීමේ අගය, ඉතාමත් හොඳින් දැනෙන්නේ, ජීවිතය අවසාන වීමට ඔන්න මෙන්න කියා තිබී ඉන් ගොඩ ආ විටය. අවුරුදු සියයක් ජීවත්වීමට අවශ්‍යතාවයක් මෙන්ම දිරියක් ද එවිට ඇතිවේ. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මෙවැනි මරණමංචක අත්දැකීමක් ලැබ, ඒ ගැන අන් අයට පවසන්නට ඉඩ ලැබෙන්නේ අප අතරින් කිහිප දෙනෙකුට පමණි.

තමන් ගේ ආයු බෝ කර ගන්නට අවශ්‍ය නම්, තම ශරීර සෞඛ්‍යය ගැන තරමක හෝ සැලකිල්ලක් දැක්විය යුතුය. අසනීපයක් හැදුණ විට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම පමණක් මින් අදහස් නොවේ. නිසි වෛද්‍ය පරීක්‍ෂණ නිසි කලට කිරීම මෙන්ම පොදුවේ තම ශරීර සෞඛ්‍යය ගැන සු-සකී‍්‍රය (pro-active) ලෙස කටයුතු කිරීමද අත්‍යාවශ්‍ය වේ. මේ කරුණු අප අසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. අනන්ත වාරයක් අසා ඇත්තෙමු. සමහර විටෙක, මද උනන්දුවක් ඇතිකර ගන්නෙමු. නමුත් අවාසනාවකට මෙන් මද කලකින් ඒ සියල්ල අමතක වී යයි.

හොඳ ශරීර සෞඛ්‍යය, පිරිසිදු වාතය මෙනි. අප අවට වාතය පිරිසිදුව තිබෙන තාක් කල් අප ඒ ගැන කිසි ලෙසක හෝ නොසිතා, ඔහේ ආශ්වාස ප‍්‍රාශ්වාස කරමින් සිටිමු. පිරිසිදු වාතය නැතුව ගිය විටය, එහි අගය දැනෙන්නේ. ඒ ලෙසින්ම, අසනීපයක් නැතුව සිටින තාක් කල් අපි ඒ ගැන නොසිතා, කෙළිදෙලෙන් කල් ගෙවන්නෙමු. හොඳ ශරීර සෞඛ්‍යය නැතුව ගිය විට, එහි අගය දැනේ.

ගද්‍ය හෝ වේවා, පද්‍ය හෝ වේවා, රංග , නර්තන, නූර්ති, වාදන, ගායන හෝ වේවා, මොනයම් හෝ සංස්කෘතික අංගයක රස හොඳින් විඳින්නට වුවද, හොඳ ශරීර සෞඛ්‍යයක් තිබිය යුතු බව මගේ අත්දැකීමයි.

සති අන්තයේ උණ සෙම්ප‍්‍රතිශ්‍යාව බෝකර ගත් මා අද ජනප‍්‍රිය හයවෙනි දවසේ ද ඉන් පීඩා විඳිමින් පසුවෙමි.

මට සුව ප‍්‍රාර්ථනා කළ සැමට මෙන්ම උණ සෙම්ප‍්‍රතිශ්‍යාව වැඩිවී "නිව්මෝනියාව" වැළදේවා යැයි පැතූ ඇනෝනිමස්කාරයාට ද මගේ අවංක ආදර ස්තුතිය මෙයින් පිරිනමමි.

ඔබ සැමට ආයු-බෝ-වේවා!!!

-කතන්දරකාරයා


Wednesday, 22 August 2012

එක්සිබිෂන් මාසම්, බුක් ලිස්ට් සාදම් : Help me with my book list for September


සැත්තැම්බරේ ලඟ එනවා. පොත් කාවෝ දඟලනවා!

මට මතකයි මං අටේ පන්තියේ විතර ඉන්න කාලේ අපේ පුංචම්මා එක සැත්තැම්බරේක මාව එක්කා ගෙන ගොහින් ගුණසේනේ පොත් සේල් එකෙන් පොත් අරං දුන්නා.

දැන් කාලේ නං සැත්තැම්බරේට තියෙන පොත් ප්‍රදර්ශනේ හෙවත් බුක් සේල් එකට යන්නනේ කවුරුත් මග බලාගෙන ඉන්නේ.

ඉතිං මටත් හිතුණා මේ පාර බීඇම්අයිසීඇච් එක පැත්තේ ගියොත් ගන්න ඕනෑ පොත් ලයිස්තුවක් හදන්න.

මට ගන්න ඕනෑ අළුත් ඔරිජිනල් සිංහල පොත්. පරිවර්තන ගන්නවා නම් ගන්නේ ඉංගිරිසි නොවන මුල් කෘතිවල ඒවා නම් විතරයි.

බෙංගාලි නවකතා කීපෙක මුල් පරිවර්තන තියෙනවාය කියලාත් ලඟදී ආරංචි වුණා, ඒ පරිවර්තිකාව මිය ගිය වෙලේ. ඒ පොත් ටිකත් හොයාගන්න ඕනෑ.

මගේ ලයිස්තුවේ දැනට තියෙන්නේ පොත් දෙක තුනයි. දන්න කියන අයගේ උදව්වෙන් ලයිස්තුව දික් වේවිය කියා හිතෙනවා.

1. අර මිහිරි සීනු නාදය - ලියනගේ අමරකීර්ති
2. ගුරු ගීතය නම් පරිවර්තනය
3. ඔබ සමග - පරාක්‍රම කොඩිතුවක්කු
4. චුම්බන කන්ද - ජයතිලක කම්මැල්වීර

මේ ලයිස්තුව දික්කර ගන්න පොඩි හෙල්ප් එකක් දෙන මෙන් ඉල්ලමි.

-කතන්දරකාරයා

ප/ලි:
පහුගිය සැත්තැම්බරේ මං මේ කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර පල කළා සාහිත්ත මාසය වෙනුවෙන්. මෙදා පාරත් ඒක කරන්නයි හිතාගෙන ඉන්නේ.

Monday, 20 August 2012

පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....


එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණෝ හිරු නොබසින අධිරාජයේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින් කල් යවනා කාලයේ, ඉන්දීය සයුරේ කඳුළු බිඳුව නම් වූ විරුදාවලි ලද එක්තරා කොදෙව්වක බස්නාහිර පලාතේ සියනෑ කෝරළයේ පරගස්දෙනිය නම්වූ පසල් දනව්වේ විසුවා වූ කෙළෙඹි පුත්‍රයෙකි.

තම බිරින්දෑ සමග කාලයක් තිස්සේ පවුල් කෑවා වුවද දරුවෙකු නොමැති වූ නිසා ඔහු විසුවේ තරමක කණස්සලෙන් බව අද අපට සිතිය හැක.

මේ කාරණය නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ මේ අඹුසැමි යුවල අතර නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, හැල හැලැප්පීම්, වලි හෝ කචල් තිබුණේ දැයි පාරම්පරික ප්‍රවාදයෙහි සඳහන් නොවේ.

එසේ වතුදු මේ කෙළෙඹි පුත්‍රයාට තම බිරිඳ ගේ කණිටු සොහොයුරිය සමහ යම් පහිරු පාසානයක්, අනියම් සබඳකමක් ඇති කරගන්නට මූලික වූ යම් යම් කාරණා තියෙන්නට ඇත.

එකල්හි මේ ධර්මද්වීපයෙහි ප්‍රීතිය, මිතුරිය, කොණ්ඩොම්ය, මෝනිං ආෆ්ටර් ෆිල්ය යනාදී විවිධාකාර උපත්පාලන ක්‍රම නොතිබුණි. එසේ තිබුණේ වුවද, මේ පටලැවිල්ලට ඒවා අවැසි නොවන්නට ඇත.

මෙසේ කාලයක් කොටු පණිමින් සිටියායින් අනතුරුව, තම අනියම් බිරිඳ හෙවත් ස්පෙයාවීලය ගැබ්ගත් කල්හී අප කෙළෙඹි පුත්‍රයාණෝ කල්පනාකරන්නේ මා මේ නූපන් දරුද, උන් මෑණියන්ද දෙඇස මෙන් රකින්නෙමියි සිතා අදිටන් කොට ගෙන තම පසල් දනව්වේ අනිත් කෙලවර ගෙපැලක් අටවා තම ගැබ්බර පෙම්බරිය එහි පදිංචි කරාවාලූහ.

මෙසේ දසමස් ඇවෑමෙන් පින්වත් පුත් කුමරුවෙක් එමව්කුසෙන් මෙලොවට ජනිත විය. හේ බුද්ධදාස ලෙසින් නම් ලද්දේය.

තම පියා සපයා දී මව උයා පිහා දෙන අහරින් මනාව පෝෂණය ලද එකුමරු කෙමේ කෙමෙන් වැඩි පුෂ්ටිමත් දරුවෙක් බවට පත්විය. ගමේ පාසලේ ගුරුන් ගේ සිත් දිනා අකුරු උගත්තේය.

මෙලෙස තව කලක් ගත විය.

ආරෝහ පරිනාහ උත්තුංග දේහයෙන්ද, මනා ඡවි කළ්‍යාණයෙන්ද, පිරිපුන් සඳක්වන් පින්වන්ත මුහුණෙන්ද යුතුවූ අප බුද්ධදාස තරුණ තෙමේ ජන්මාන්තර පුරුද්දක් නිසා දෝ කල්පනා කලේ මහණ දම් පිරීමටයි.

බුද්ධදාස කුමරා වාසය කළ පසල් දනව් ග්‍රාමයේ තිබූ පන්සල වනාහී තායිලන්ත නිකායේ අස්ගිරි චැප්ටරයට අයත් වූවකි. මෙහි මහණ දම පුරන්නට වරම් ලැබෙන්නේ උභය කුල පාරිශුද්ධ නම් පමණි. එනම් මව්පිය දෙපල ගොවිගම කුලයේ විය යුතුය.

එපමණක් නොව පැටිකිරියද පාරිශුද්ධ විය යුතුය.

අප කතානායක බුද්ධදාසයන්ට නොතිබුණේ මේ දෙවැනි සුදුසු කමයි.

සිය මව සිය පියාගේ නීත්‍යානුකූල බිරිඳ නොවූ හෙයින් ගමේ පන්සලේ සංඝරාජලාට අනුව බුද්ධදාස යනු අවජාතකයෙක් විය.

එදා සුනීතලා, සෝපාකලා, අංගුලිමාලලා මහණ දම් පිරුවේද, නන්දලා, ආනන්දලා, රාහුලලා සමග එකම සාසනයේ, එකම දෙව්දම් වෙහෙරේ, එකම අනාථපිණ්ඩිකස්සාරාමයේ බව මෙකී මහණුන්ට අමතක වී තිබුණි.

එයින් උකටල වූයේ අපේ බුද්ධදාසයන් නොවේ.

බුද්ධදාස තම මැණියන් සමග විසූ පසල්දනව්වට ගව්වක් දුරින් අල්ලපු ග්‍රාමයේ පිහිටි පන්සල අයත් වුයේ රාමඤ්ඤ නිකායටය. මේ නිකාය වනාහී පෙරකී තායිලන්ත නිකාය මෙන් කුල මල වත ගොත මත මහණකම දෙන නිකායක් නොවේ. එහෙයින් බුද්ධදාසයන් ගේ මහණදම් පුරණ ප්‍රාර්ථනය ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ විය. හේ පරගස්දෙනියේ බුද්ධවංශ නමින් පැවැදි දිවියට ඇතුලත් විය.

එතැන් සිට මෙම වෘතාන්තය ඉතා කෙටියෙන් පවසන්නේ නම් මෙසේය.

මනා ළෙස තම පිරිවෙන් අධ්‍යාපනය නිමවා ප්‍රාචීන පණ්ඩිතාදී උපාධි ලැබූ බුද්ධවංශ හිමියෝ පසු කලෙක ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුලත්ව එහිදී ශ්‍රාස්ත්‍රවේදී සහ ශ්‍රාස්ත්‍රපති උපාධි දිනා යලි සිරිලකට වැඩම කොට පරිවේණාධිපතිවරයෙක් ලෙස සිය සඟ පරපුරටද, මධුර ධර්ම කථිකයෙක් ලෙස සිය උපාසක උපාසිකා පරපුරටද සේවය සලසමින් වැඩ ඉඳ, සංඝ නායක තනතුරකින්ද පිදුම් ලදුව, පසු කලෙක තම ආයුෂහරණය වූ කල්හී අපවත්වී වදාලහ.

-කතන්දරකාරයා

ප/ලි:
විසිවන සියවස මුල් කාලයේ පැවති සාසනය ගැන විස්තර දැන ගැනීමට පියදාස සිරිසේන ලියූ විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය නමැති කෘතිය කියවන්න.

ප/ප/ලි:
කාලයකට පසු මගේ වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුවෙන් එකක් ලියුවෙමි.

(image: http://www.lakehouse.lk/budusarana/2010/05/27/tmp.asp?ID=fea06)

Saturday, 18 August 2012

W3Lanka බ්ලොගයට මොකද වුනේ? ඇත්ත හැක් කිරීමක් ද, ප්‍රචාරක උපක්‍රමයක් ද? Whither W3Lanka?


අජිත් පැරකුම් ලියූ W3Lanka බ්ලොගය 2009 ජූනි මස අග සිට ලංකා දේශපාලනය පිළිබඳ විචාරයක යෙදුණු එකකි.

එදා සිට මේ වසරේ අගෝස්තු මුලදී තමන් ගේ බ්ලොග් ගමන වෙනස් කරන්නට යන බව කියා තාක්‍ෂණික උපදෙස් ඉල්ලා ලිපිය දෙකක් පලකළ දිනය වෙනවිට W3Lanka හි විවිධ සාමාජ දේශපාලන විචාර සහිත ලිපි 2,100 කට වඩා පලවී තිබුණි. තමන් ගැන හෝ අඩු වශයෙන් තමන් ලියූ දේශපාලන නවකතාව ගැන හෝ අජිත් W3Lanka බ්ලොගයේ ලිව්වේ ඉතා අවම ලිපි ගණනකි.

අජිත් පැරකුම් ලියූ ශාස්තෘ නමැති නවකතාව ගැන මා මගේ බ්ලොගයේ දෙවරක්ම ලියූවෙමි.

මුලින්ම ඒ පොතේ එළිදැක්වීමේ උත්සවය ගැනය.

දෙවනුව පොතේ පිටපතක් මා මිලට ගත් හැටි සහ අජිත් හමුවීම පිළිබඳවය.

අජිත් පැරකුම් ට දේශපාලන සතුරන් සිටින බවත්, මා අජිත් පැරකුම් ගේ පොත ගැන ලිවීම ඔවුන් නොරුස්සන බවත් මට ඒ දෙවාරයේ දී ම මනා ලෙස පැහැදිලිවිය.

අද උදේ මගේ බ්ලොග් රෝල පිරික්සා බලන මා දුටුවේ මෙන්න මේ පුවතයි.

W3Lanka දැන් අපේ අතේ! පැරාට අනිච්ඡාවත සංඛාරා! @#$%^&*()_+|<>?,./



දැන් මට ඇති ප්‍රශ්නය මෙයයි.

කලකට ඉහත බියොන්ඩ් ෆ්‍රේම් බ්ලොගයට වුණා සේ W3Lanka බ්ලොගයත් ඇත්තටම හැක් කරලා ද?

නැත්තම් මේ අජිත් පැරකුම් එළි දක්වන්නට යන අළුත් ආකාරයේ වෙබ් අඩවියේ ප්‍රචාරක වැඩපිළිවෙලේ කොටසක් ද?

දන්නෝ දනිති. සෙස්සෝ නොදනිති!

-කතන්දරකාරයා

ප/ලි
මේ හැකර් ලිපියේ හොඳම කෑල්ල නම් බ්ලොගය පමණක් නොව බ්ලොගය ලියූ පුද්ගලයාව ද හැක් කර ඇති බව කියා තිබීමයි.

Friday, 17 August 2012

ගුඩ් ඇනෝලා වෙනුවෙන් කතන්දරයක්: මා දුටු සුන්දරතම සිහිනය - The most beautiful dream I have ever seen!


මා මෙතෙක් දැක ඇති සුන්දරතම සිහිනය මෙසේය.

මා වැතිර සිටියේ සවිමත් ලෝහමය ඇඳක් මතුපිට දමා තිබූ සුවපහසු මෙට්ටයක් මතය. එහි සුදු පැහැති ඇතිරිල්ලක් එලා තිබුණි. මා හිස රැඳී තිබුනේද ඉතා සුව පහසු වූ සුදු කවරයක් දැමූ කොට්ටයකය.

විවිධ වයර් සහ ටියුබ් ඒ මේ අද ඇද බැඳ තිබුණද ඒවායින් මේ සුන්දර සිහිනයට කිසිදු බාධාවක් වූ බවක් නොපෙනුණි.

මා සිටියේ සිවිලිම දෙස බලාගෙනය. මගේ මුළු මහත් සිහිනයම ඉතා අලංකාර ලෙස මැවුණේ ඒ සිවිලිමේය.

මගේ දෑස් වැසී තිබුණේ යැයි මම නොසිතමි. ඇස් වසා කොයි ලෙසකින් සිහින දකින්නද?

මේ සිහිනය ඇරඹුනේ කෙසේද යන්න හෝ එය අවසාන වූයේ කෙලෙසකද යන්න හෝ පිළිබඳව කිසිදු තොරතුරක් අද මගේ මතකයේ නැත.

මට මතක මගේ සිහිනය පමණකි.

එය පාට පාට සිහිනයක් විය.

මිනිස් ඇසින් දැකිය හැකි යැයි කියනු ලබන වර්ණ සංඛ්‍යාව කෙසේ වෙතත් RGB ත්‍රිත්වය මගින් මැවිය හැකි මුළු වර්ණාවලිය වන 256*256*256=16,777,256 සංඛ්‍යාවෙන් දෙකක් හැර ඉතිරි සියළු වර්ණ මගේ ඒ සිහිනයෙහි විය.

ටෙක්නි කලර්, ඊට්ස්මන් වර්ණ, සමනල වර්ණ, වෛවර්ණ විසිතුරු රටා මා ඇස් ඉදිරියේ ඇති සිවිලිමෙහි මැවෙමින්, නෙක රූ සදමින් ගලා යයි. නොනැවතී ගලා යයි. වර්ණ වෙනස් වෙමින් දිව යයි.

විටෙක එහි මැවෙන්නේ විවිධ ලියවැල් මල් කැටයම් රටාය. තවත් විටෙක සුවිසල් පර්සියානු පලස්වල ඇති චක්‍රාකාර රටාය. තවත් මොහොතකින් එය නූතනවාදී ජ්‍යාමිතික රටාවක් බවට පෙරැලේ.

මා සංස්කරනය කරණ සඟරාවේ, ඊලඟ කලාපයේ මුල් පිටුව සඳහා මේ වර්ණවත් මෝස්තරයක් යොදා ගත යුතු යැයි මට සිතේ. ඒ සඳහා මා මේ රටා පිටපත් කරගත යුතු බව මට සිහිනයෙන්ම වැටහේ.

වාසනාවකට මෙන් එය ඉතා ලෙහෙසි පහසු කටයුත්තකි. මා දෙනෙත් ඉදිරියේ මේ රූ රටා මැවෙන්නේ සිවිලිම පුරා පැතුරුණු දැවැන්ත ද්‍රව්‍ය ස්ඵටික දර්ශන තලයකය. එය මෙහෙයවෙන්නේ එදා මට නොපෙනෙනු මහා පරිගනකයක් මගින් විය යුතුය.

මා කළ යුතුව ඇත්තේ තිරයේ නොනැවතී දිවයන දර්ශනයෙන් මට අවැසි කොටස් වෙන්කර පිටපත් කර ගැනීමයි. මා ශරීරය ද විවිධ වයර සහ නාල මගින් ඒ පද්ධතියටම සම්බන්ධ වී ඇති නිසා, මා එක්වරක් ඇසිපිය හෙලූ විට තිරයේ දිවෙන දර්ශනය පිටපත් වීම ඇරඹේ. නැවත වරක් නෙතුපිය හෙලූ විට, එයින් පිටපත් කිරීම අවසාන වී පිටපත ක්ලිප් බෝඩයේ තාවකාලිකව ගබඩා වේ.

ඊලඟට මා කළ යුතුව ඇත්තේ දෙනෙත් වසාගෙනම ඒ පිටපත් කළ කොටස මගේ යූඑස්බීයට ඇද දැමීමයි. දෙනෙත තිරයේ කොනක ඇති යූඑස්බී අයිකනය උඩට ගෙනවිත් දෑස විවර කළ විට පිටපත එහි ගබඩා වේ.

මේ මා වසර 2003 දී රුපියක් හාරදහසකටත් වඩා වියදම් කර මිළට ගත් යූඑස්බී කූරයි. එහි දැවැන්ත ධාරිතාව වන 128 MB පිරෙන්නටම මම මා දුටු සුන්දර වෛවර්්ණ සිහින කැබලි ගබඩා කර ගතිමි.

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තෙන්ම ඔය උඩින් ඇත්තේ කතන්දරය නොව ඇත්ත කතන්දරයේ ප/ලියයි.

ප/ප/ලි:
මෙය ගුඩ් ඇනෝලා වෙනුවෙන් පලකෙරෙන කතන්දරයකි. නෝටි ඇනෝලා වෙනුවෙන් මා ලියා පල කළ කතන්දරය මෙන්න. කණ හාරන හැටි එදා සහ අද.

(image: http://www.layoutsparks.com/1/125911/wild-colors-abstract-image.html)

Tuesday, 14 August 2012

නෝටි ඇනෝ ලා වෙනුවෙන් අද ස්පැෂල් කතන්දරයක් : කන හාරන හැටි එදා සහ අද - Removing Ear Wax : Yesteryear and Today


නව ද්වාරයෙනී ගලනා වු ඕජස් මේ කුණූ සිරුරා යැයි පැරණි ගීතයක කියවේ. මෙය එන්නේ අහවලා ගයන සංසාරේ භවේ දුකා (සම්බෝලයි බතුයි කකා) නමැති ගීතයේ මැද හරියේය. (අහවලා යනු මයිකල් පීරීස් යැයි සිතන්නෝ මා ලියූ කතන්දර දෙකහමාර බලන්න)

මේ ගීතයට අනුව මිනිස් සිරුරේ ස්ථාන නවයකින් ඕජස් ගලන්නේ ලු. ඒවා මොනවාදැයි සොයා බැලීම මා හිතාදර නෝටි ඇනෝලා ට බාර කරමි.

මා අද කියන්නට යන්නේ ඉහත කී එක් ද්වාරයකට සම්බන්ධ, මෙතෙක් සිංහල බ්ලොග් අවකාශයේ දී මා දන්නා තරමින් කතාබහට ලක් නොවුණු, කලාඳුරු පිළිබඳවය.

කලාඳුරු යනු ඇසෙන් එලියට එන කබ සේම කණෙන් ශ්‍රාවයවන අපද්‍රව්‍යයකි. තරමක් දුඟදැති ඝණ තලපයක් බඳු වූ කලාඳුරු ඉංගිරිසියෙන් හැඳින්වෙන ආකාරයට නම් ඉටි වර්ගයකි.

කලාඳුරුවෝ නමින් කුඩා කෘමීන් ප්‍රභේදයක් ඉන්නා බවක් ද මගේ මතකයේ ඇත. මා මේ කියන්නේ කෝඳුරුවන් ගැන නොවේ. ඊට වඩා විශාල බඹරු වර්ගයක් ගැනය. එසේම කලාඳුරු නමින් කුඩා බෙහෙත් පැලෑටියක් ද තිබෙනවා විය හැකියැයි මගේ මතකය කියයි.

කණෙන් ඉබේ පිටත ගලන මේ කලාඳුරු නම් අපද්‍රව්‍යය කණෙන් ඉවත් කළ යුතුය. එක් දිනක් අපේ දහම් පාසලේ ගුරුවරයා මේ සඳහා සුදුසුම වේලාව නෑමෙන් පසු බව අපට කීවේය.

ඒ කාලයේ අපේ වැඩිහිටියන් කණ සුද්ද කර කලාඳුරු ඉවත් කෙරුවේ කන්හැන්ද නම්වූ උපකරණයයේ ආධාරයෙනි. කුඩා කම්බි කැබැල්ලක හැඩය ගත් කන්හැන්දේ අග හැන්දක ආකාරයට සකසා ඇත. ඒ කොන කන තුලට සීරුවෙන් දමා කරකවමින් කණ තුල ඇති කලාඳුරු අපද්‍රව්‍යය ඉවත් කිරීම කළ යුතුය.


කන්හැන්ද සමහම එකට අමුණා තිබූ අනෙක් උපකරණය වූයේ දත් හාරන කටුවයි. අපේ තාත්තාට තඹ පැහැයෙන් යුතු කන්හැඳි-දත්කටු යුවලක් විය. ආච්චී ලඟ නම් තිබුණේ රිදී පැහැති කණ්හැන්දක් සහ දත් කටුවකි.

කන්හැන්දකින් කණ හෑරීම වනාහී කුඩා ළමුන් විසින් නොකළ යුතු තරමක් අන්තරාදායක ක්‍රියාවකි. ඒ, පොඩ්ඩක් අත වැරදුණ හොත් කණේ අභ්‍යන්තරය තුවාල විය හැකි බැවිණි.

කුඩා ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා කණ සුද්ද කිරීමට සුදුසුම ක්‍රමය වන්නේ කන්හැඳි නොව දෙකෙලවර පුළුන් රැඳවූ ප්ලාස්ටික් ඉරටු කැබලිවන කොට්න් බඩ්ස් පාවිච්චියයි.

මා මේ කොට්න් බඩ්ස් මුලින්ම පාවිච්චි කළේ පස්තාච්චී කුපාඩි වැඩ සඳහා තායිලන්තයේ ගොස් සිටියදීය. ඊට පෙර මා මේ කර්තව්‍යය සඳහා බොහෝවිට යොදා ගත්තේ පේපර් ක්ලිප් එකකි. ඒවායේ දෙපැත්තේ ඇති සුමට කොටස කලඳුරු හෑරීම සඳහාම සදා ඇති සේ දැනේ!

එසේ වුවද, මුලින්ම කලාඳුරු හෑරීම සඳහා කොට්න් බඩ්ස් භාවිතා කළ දින පටන් මා ආපසු නොහැරුණෙමි. කොට්න් බඩ්ස්වල සුමුදු කපු කෙඳි කණේ දෙපැත්ත පිරිමදින විට ඇතිවන කිතිය ඉතා ආශ්වාදජනක වේ!

-කතන්දරකාරයා

ප/ලි:
පසුගිය දින කිහිපය තුල මා වෙනුවෙන් වෙහෙස මහන්සී වී කාලය, ශ්‍රමය, කිලෝ බයිට් සහ සූටි රුපියක් පහේ ඒවා කැප කළ සියළු නෝටි ඇනෝලා වෙනුවෙන් මේ ලිපිය අද පල කරමි.

නෝටි ඇනෝනිමස්කාරයිනි, ඔබ සැමට ස්තුතියි!


(images: http://www.ebay.com/itm/Sterling-Silver-earpick-toothpick-oral-ear-health-care-/260711111268
http://www.gangfeng.cc/en/product51.htm)

Sunday, 12 August 2012

කැකිරි, පිපිඤ්ඤා, චීන පටස්, රතිඤ්ඤ සහ මිලියනය - Supercalifragilisticexpialidocious


දැනට අවුරුදු විස්සකට විතර ඉස්සර ආණ්ඩුවෙන් හෝ ගාලා ගුරු පත්වීම් දුන්නා. මේ අළුත් ගුරුවරු හුඟ දෙනා බොහෝ විට ඒ-ලෙවල් කරලා විවිධ හේතු නිසා එතනින් ඉස්සරහට යන්න බැරුව නතර වුණු අය.

උගන්නනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි නේ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන අයට විෂය කරුණු වගේම ඉගැන්වීමේ ක්‍රමවේදය ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. ඒ දැනුම දෙන්න තමයි ගුරු පුහුණුව තියෙන්නේ.

මේ මුලින් කියපු නවක ගුරුවරුන් ගැන ආපු මුලිකම චෝදනවා තමයි ඉගැන්වීමේ ක්‍රම ගැන තියා උගන්වන දේවල් ගැනවත් දැනුමක් නැතිය කියන එක.

ඔන්න ඒ දවස්වල පැතුරුණු රසවත් කතාවක් තමයි මේක.

ළමයෙක් පිපිඤ්ඤා කියලා ලියන්නේ කොහොමද කියලා මේ එක ටීචර් කෙනෙක්ගෙන් ඇහැව්වාම ඒ ටීචර් කියලා කැකිරි කියලා ලියන්න කියලා. මොකද අර කොම්පඤ්ඤ වීදියේ පඤ්ඤාසේනව අල්ල ගත්තු ට්‍රැෆික් පොලිස්කාරයා වගේ මේ ටීචරුත් ඤ-යන්න ලියන්න දන්නේ නැහැල්ලු.

ඔය කතාවේම තව වර්ෂන් එකක කියවුනේ රතිඤ්ඤා කියලා ලියන විදිය ඇහැව්වාම ටීචර් කිව්වලු චීන පටස් කියලා ලියන්නය කියලා.

මං මුලින් හිතුවේ ඒ කතා සේරම මේ ප්‍රබන්ධ කරපු ඒවාය කියලා.

මගේ ඒ අදහස වෙනස් කරගන්න වුනේ මගේ පුංචි අම්මාට එයා අඳුණන චූටි ටීචර් කෙනෙක් කියපු මේ කතාව ඇහැව්වාට පස්සේයි.

මේ කියන ටීචර් ඒ දවස්වල උගන්නලා තියෙන්නේ කඳුරටටත් නැති, පහත රටටත් නැති, ඒ දෙක අතරමග නගරයක ඉස්කෝලෙකයි.

මේ වෙනකොට ලංකාවේ මිලියන්, බිලියන් භාවිතය ජනමාධ්‍යවලින් හොඳට පතුරුවලා තරමක් නැගලා යන කාලේ. දවසක් ඉස්කෝලේ දී ළමයෙක් අපේ මේ ටීචර්ගෙන් අහලා ටීචර් මිලියනයට බින්දු කීයද කියලා.

මේ මනුස්සයා ඒක දැනගෙන ඉඳලා නෑ!

"ඉතිං මොකද මං කරන්නේ අක්කේ?", මේ සිද්ධිය විස්තර කරමින් ටීචර් මගේ පුංචි අම්මාට කියනවාලු, "මං කිව්වා, අනේ අනේ මේ හතේ පන්තියේ ඉන්න ළමයෙක් ඕකවත් දන්නේ නැද්ද? ඕක මේ තුනේ පන්තියේ ගණිත ප්‍රශ්ණයක් නේ. හෙට ඉස්කෝලේ එනකොට කොහොම හරි ඕක හොයාගෙන එන්න. නැත්තං ප්‍රින්සිපල් ගාවට අරිනවා කියලා".

"මාත් එදා ගෙදර ගිය ගමන්ම ඔය මිලියන්, බිලියන් සේරගේම බින්දු කීයද කියලා ඉගෙන ගත්තා අක්කේ!"

බින්දු ගාන දන්නේ නැති වුණාට මේ ටීචර්ට ස්ථානෝචිත ප්‍රඤ්ඤාව ප්‍රක්ඥාව ප්‍රඤ්ඥාව නුවණ නම් තිබිලා තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි:
මං 2011 ඔක්තෝම්බර් 14 දා පෝස්ට් එකක් දැම්මා "ලස්සෙට කොඩිය නං බිලියනේට දාන්නේ මොකක්ද? - Millions and Billions" කියලා. ඒක දැම්මේ මේ බ්ලොග් එකේ හිට්කවුන්ටරය ඒ වෙනකොට මිලියන් බාගේ පන්නපු එකටත් සම්බන්ධවයි.

අද නං එහෙම එකක් නෑ, හරිය?

(image: http://alicebroughton.blogspot.com.au/2010/11/itap-lecture-week-5-story-development-3.html)

Friday, 10 August 2012

අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!


අරුණී ශපීරෝ යනු සිංහල බ්ලොග් අවකාශයේ නම රැන්දූ වනිතාවකි. මා භාවිතාකරන භාෂාවෙන් පොර ළමයෙක් යැයි කිව හැක. වරෙක මම ඇයව සිංහල බ්ලොග් ලොවේ සුවිශේෂී තනතුරකට ද යෝජනා කළෙමි. වරෙක මම ඇයට හොඳ පාඩමක් උගන්වන්නට ද හැදුවෙමි.

අරුණී ශපීරෝ ගේ බ්ලොගය විදග්ධ ලිපිවලින් පිරී ඇත. ඇය බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකි. විශ්ව දැනුම සිංහලෙන් බෙදන්නීය. කොටින්ම ඇය ඇවිදින විශ්ව කෝෂයක් බඳුය.

ඒ මා ඇය ගැන අවංකවම සිතන ආකාරයයි.

මා පොඩි කාලයේ උගත් "පූජාච පූජනීයානං!" යන මංගල කරුණට අනුව යමින් මා ඇයට ගරු කරමි.

බ්ලොග් ලිවීමට අමතරව අරුණී ශපීරෝ ගේ සහ මගේ සුළු හෝ සමානකම් ඇත්තේ ඒ කිහිපයක් පමණි.

අපි දෙදෙනාම කැලණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධකම් ඇත්තෝ වෙමු. එකිනොකට වෙනස් හේතුමත වුවද අපි දෙදෙනාම ආචාර්ය උපාධි අතහැර දැමූ අයවෙමු.

එහෙත් අරුණී ශපීරෝ සහ මා අතර ඇති අසමානකම් පෙරකී සමානකම්වලට වඩා ප්‍රභල ඒවා වේ.

අරුණී ශපීරෝ විදග්ධ බ්ලොගයක් ලියන්නීය. මම මුග්ධ බ්ලොගයක් ලියමි.

ඇගේ බ්ලොගයේ පලවෙන බොහෝ දේශපාලන මතවාද සහ ඇතැම් සිතුම් පැතුම් මට ඉතා දුරස්තර වේ.

මේ සියල්ල ලියුවේ, අරුණී ශපීරෝ ගේ එක් ලිපියකට මා දැමූ කමෙන්ටුවක් ඇය වාරණය කර, "මුග්ධ ප්‍රතිචාර වලට මේ අඩවියේ තව දුරටත් ඉඩකඩ ලබා දෙන්නේ නැතිබව කරුණාවෙන් සලකන්න" යැයි කියා ඇති බව මගේ හයිකු කතන්දරයට ඇනෝනිමස් කමෙන්ටුවක් දැමූ අයෙක් කියා තිබීමයි.

අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට!

අරුණී ශපීරෝ ගේ ඒ ලිපිය ලියවී තිබුණේ යුදෙව් ජාතිකයින් ගැනය. විවිධ මර්ධන මැද යුදෙව්වන් ජාතියක් සේ නැගී සිට දසත විසිර දියුණු වූ අයුරු ඇය එහි ලා විස්තර කර ඇත.

යුදෙව්වන් ගැන මා මුලින්ම ඇසුවේ මගේ අංකල් කෙනෙකුගෙනි. ඔහු එකල ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වූ ජිමී කාටර් විරෝධියෙක් විය. කාටර්ට විරුද්ධව රිපබ්ලිකන් පක්‍ෂයෙන් තරග වැදුණු රොනල්ඩ් රේගන් වීරත්වයේ ලා සැලකීය.

ලංකාවේ පසල් දනව්වක රාජ්‍ය සේවයේ පහලම තලයේ රැකියාවක් කල මගේ අංකල් මෙලෙස එලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පොලිටික්ස් ගැණ එතරම් උනන්දු වූයේ ඇයි ද යන්න මට අද ද ප්‍රශ්නයකි. මට එදා කාටර් සහ රේගන් යනු විදෙස් නම් දෙකක් පමණක් විය.

නමුත් මගේ අංකල් ට එය එසේ නොවීය.

ඔහු උග්‍ර රේගන් පාක්‍ෂිකයෙක් වූයේ ජනාධිපති අපේක්‍ෂක රේගන් ගේ යෝජිත විදේශ ප්‍රතිපත්තිය, එවකට ජනාධිපති කාටර් ගේ ප්‍රතිපත්තියට වඩා යුදෙව්වන්ට හිතකර එකක් වීම නිසාය. (මගේ අංකල් ලා ගේ හයි කොලිටිය බලනු මැන!)

මේ අංකල් දැන් මිය ගොසිනි (ඔහුට නිවන් සැප පතමි).

අරුණී ශපීරො ගේ යුදෙව්වන් පිළිබඳ ලිපිය කියවූ මට එක්වරම සිහිවුනේ මගේ ඒ අංකල් ගැන කතාවයි. ඉතින් මා ඒ ගැන ඉතා සංක්‍ෂිප්ත සටහනක් මගේ පයතිචාරය ලෙස එහි ලූ වෙමි.

අරුණී ශපීරෝ ඒ ප්‍රතිචාරය වාරණය කර ඇති නිසා මට එය එලෙසම මෙහි යෙදීමට නොහැක. මගේ මතකයේ හැටියට එය මෙලෙස විය.

     "මගේ අංකල් කෙනෙක් හිටියා කාටර්ට බණින, රේගන්ට වඳින. ඒ රේගන් ගේ විදේශ ප්‍රතිපත්තිය යුදෙව්වන්ට වඩා පක්‍ෂපාත නිසයි.

අද මගේ අංකල් ජීවත්ව හිටියා නම් ඔබාමට බණිනු ඇති, රොම්නිට වඳිනු ඇති, චාල්ටන් හෙස්ටන් මළ දා අඬනු ඇති!”

මුග්ධ ප්‍රතිචාරයක් යැයි අරුණී ශපීරෝ වාරණය කර ඇත්තේ අන්න ඒ ප්‍රතිචාරයයි.

අරුණී ශපීරෝ ගේ විදග්ධ චින්තනයට සාපේක්‍ෂව මගේ කමෙන්ටුව ඇයට මුග්ධ එකක් ලෙස පෙනෙන්නට ඇත.

නමුත් සත්‍යය නම්, මා ඒ ලියුවේ මගේ සිතට එවෙලේ ආ අවංක සිතුවිල්ල බවයි.

කෙසේ හෝ අරුණී ශපීරෝ ගේ සිත රිදීමක් හෝ මා ගැණ අමනාපයක් ඇතිවී තිබෙන බවට පෙනී ගිය නිසා මම අද උදෑසන පහත ප්‍රතිචාරය එහි ඇතුලත් කළෙමි.

     "මා මෙතන ලියූවේ ලිපිය කියවූ විට මගේ සිතට ආ අවංක සිතුවිල්ලයි. එහි ඔබට හෝ අන් කිසිවෙකුට අපහාසයක් තිබුණේ නැත.

ඔබේ රාමුවට අනුව එය මුග්ධ එකක් වන්නේ මගේ අඳ බාලකම නිසාය. එය මගේ වරදකි.

මගේ කමෙන්ටුව පල නොකිරීම ඔබේ අයිතියකි.

මගේ කමෙන්ටුව කියවීමෙන් ඔබ අපහසුතාවයකට පත් වූ වා නම් මට සමාවන්න.

ස්තුතියි."

මේ දෙවන කමෙන්ටුව වාරණය නොවී අනුමත වෙනු ඇතැයි සිතමි.

අරුණී ශපීරෝ සමග මගේ අමනාපයක් නැත.

මා මුලින් කියූ පුජාච පූජනීයානං කරුණ සඳහන් මංගල සූතයයේම මෙලෙස එයි.

"අසේවනාච බාලානං!"

අරුණී ශපීරෝ මගේ මුල් කමෙන්ටුව වාරණය කර මා ඇගේ බ්ලොගයෙන් දුරස්කර ඇත්තේ ඒ නිසාය.

අපි දෙදෙනාම අනුගමනය කරන්නේ එකම මංගල සූතයයි. ඉදින් මා කෙලෙස නම් ඇගේ වරදක් දකින්නද?

-කතන්දරකාරයා

(image: http://polarbearstale.blogspot.com.au/2011/06/queen-elizabeths-locket-ring-ca1575.html)

Thursday, 9 August 2012

සිංහල බුද්ධාගම, සිංහල සුනාමි සහ සිංහල හයිකු - Short but tall...!!!


මං මේ සිංහල හයිකු කියලා කිව්වේ අර "සිංහල බුද්ධාගම", "සිංහල සුනාමි" වගේ අර්ථයෙන්, හරිය?

ඒ කියන්නේ ආරම්භය නොරටක වුනත්, ඒ රටෙන් මෙරටට නම ඇවිත් මෙරටේ පදිංචි වෙච්ච නිසා.

හයිකු කියන්නේ කෙටි කවි වර්ගයක්. ආරම්භය ජපානය.

මෙහෙම කවි ජාතියක් මේ ලෝකේ තියෙනවාය කියලා දැනගන්න කලිනුත් මං කෙටි කවි ලිව්වා. ඒවායේ ආකෘතිය වුනේ පද දෙකක්, එකිනෙක හා අර්ථයෙන් සමානව හෝ අසමානව ගැලපීම සහ පද බිඳීමෙන් ගැලපීමයි.

මෙන්න බලන්න මං ඒ ආකෘතියෙන් ලියපු පොඩි පහේ බූට් කවියක්.
http://kathandara.blogspot.com.au/2011/10/my-cure-little-slender-loris.html

ඔතන පොඩියි කියලා කිව්වේ කවිය හොඳේ? බූට් එක නොවෙයි!

මං මේ ලඟඳී පලකරපු පැරණි රසාංග සහ නව රිද්ම කවියත් ඔය උඩ ලින්ක් කරලා තියෙන බූට් කවියේම ඊට වඩා ලොකු එකක්.

එතන ලොකුයි කියලා කිව්වේ කවිය හොඳේ? මෙතන බූට් එක පොඩි එකක්!

හයිකු කවි ගැන මං මුලින්න කියෝලා-කරලා දැන ගත්තේ පසුගිය සහස්‍රකයේදී යි. අනූවේ දශකයේ අග භාගයේ විතර.

ඒත් ඉතිං අපිට ඇහැකියැ ඔරිජිනල් ජැපනීස් කියවන්න. මං බැලුවේ ජපං හයිකු කයිවල ඉංගිරිසි පරිවර්තන තියෙන පොතක්.

මට අද මතක විදියට ඔරිජිනල් ජපන් හයිකුවල ප්‍රධාන ලක්‍ෂණ තුනක් තියෙනවා.

  • මේ කවි සියල්ලම මූලිකව පරිසරය ගැන ලියවුණු ඒවා වීම
  • කවියක මාත්‍රා ගණන 17 ක් වීම සහ බොහෝ විට මාත්‍රා 5, 7 සහ 5 විදියට කොටස් තුනකින් සමන්විත වීම
  • කවියක අදහස් දෙකක් අඩංගුයි. ඒ එක්කම මේ අදහස් දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා.

මාලතී කල්පනා පරිවර්තනය කරපු ජපන් හයිකු බලන්න පුළුවනි බුන්දියේ.

මීට අවුරුදු හත අටකට කලින් මාත් ලිව්වා සිංහල හයිකු කීපයක්.

දැන් කියවන්න ඒවා.

1.    හිමිදිරියේ තනපත් අග
දා බිඳු?
පිනි බිඳු!

2.    සිසිල් වැසි මාරුතය
නගන බියකරු
හූ හඬ!

3.    හිරු නිදිය රැය මැද
අඳුරුය
මා හද ගැබ

4.    වියලි දර ඉපල්
අවුලති සැනෙන්
ගින්දර

5.    දිදුලන තරු කැට ද
සඳුද
බලවත්?

6.    මහ වැසි මැද
පාවේ
විසිතුරු නෙක කුඩ

7.    ගිනියම් වැලිකතර
සීතල ඇයිද
මහ රෑ?

මේවා සිංහල හයිකු වෙන්නේ මං සිංහලෙන් ලියපු හින්දාම නොවෙයි.

ඔරිජිනල් හයිකු ලියන ජපන් නීති රීති වැඩිය තකන්නේ නැතුව ඔහේ ලියපු හින්දායි.

-කතන්දරකාරයා

ප/ලි:
නැ

නො

(image: http://www.theflyper.com/users_luiz27_gigs_write-you-a-Haiku-Freeform-Style-Poem-from-a-photo)

Monday, 6 August 2012

පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics


ජගත් ජේ එදිරිසිංහ ගේ නවතම කෘතිය වන "අදිසි" නවකතාව කියවා හමාර කළ මා සිතට සිතුවිලි ත්‍රිත්වයක් ම ගලා ආවේය.

ඉන් පළමු සිතුවිල්ල නම්, අපේ ලාංකීය සමාජයේ තත්කාලීන අවගමනයට බලපාන තීරණාත්මක සාධකයවන දූෂිත දේශපාලනයේ කසල ගොඩ පිළිබඳව ඇති වූ ජුගුප්සාව, සංවේගය සහ කෝපය සම්මිශ්‍රිත එකකි.

දෙවැනි සිතුවිල්ල වූයේ, කෙතරම් අප්‍රසන්න අන්තර්ගතයක් වූයේ වුවද, ජගත් ජේ එදිරිසිංහ තම "අදිසි" නවකතාව තුලින් ඒ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳව මේ කතාන්දරය අපට ඉදිරිපත් කිරීමේ සමාජමය වැදගත්කම පිළිබඳව ඇතිවූ ප්‍රසාදජනක එකකි.

මා සිතට ගලා ආ තෙවැනි සිතුවිල්ල වූයේ, ජගත් ජේ එදිරිසිංහ මේ නවකතාව කෙතරම් තාත්විකව නිර්මාණය කර තිබේද යන්නත්, එනිසා ම "අදිසි" නවකතාව සඳහා කිසියම් ආකාරයක සාහිත්‍ය සම්මානයක් හිමි විය යුතු නොවේදෝ යි යන්නයි.

ඇතැම් කාලයක, ඇතැම් දේශයක විසුවා යැයි කියනු ලබන අවංක දේශපාලකයෙකු ගැන ඉඳහිට අපට අසන්නට ලැබුණේ වුවද, පක්‍ෂ දේශපාලනය යනු මඩ ගොහොරුවක් ය, කසල පිරි පතහක් ය යන්න සර්වලෝක, සර්වකාලීන සත්‍යයකි.

අදින් අඩ සියවසකටත් වඩා ඉහත කාලයයේ වුවද ලංකාවේ දේශපාලනය වනාහී දූෂිතව තිබූ එකක් බව "හතර අපායට යන්නට අවැසි නම් ලංකාවේ අගමැති කම එක දිනයකට කර බලන්න" යන අරුතින් යුතු කවියක් පූජ්‍ය යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම තමන් විසින් පරිවර්තනය කරන ලද කාව්‍ය ග්‍රන්ථයක ඇතුලත් කිරීමත්, ඒ කරගත්තාවූ පාප කර්මයේ බලයෙන් දෝ එම පුස්තකය රාජ්‍ය මර්ධනයට හසුව තහනම් වීමත් ගැන සිතන විට හොඳින් පෙනේ.

දේශපාලන පලිගැනීම් වනාහී දුෂ්කර පලාතකට කෙරෙන ස්ථාන මාරුවක් වැනි සරල ක්‍රියාවකට සහ දුෂණ යනු කරවල හෝ පරිප්පු රාත්තලකට වැනි සිල්ලර කටයුත්තකට බොහෝ විට සීමා වී තිබුණු ඒ යුගයෙන් ඇරඹුණු අපේ සමාජයේ බිඳ වැටීම 1980 සිට අති ධාවනාකාරී ගමනක යමින් මිනීමැරුම්, අතුරුදහන්කිරීම් සහ මිලියන ගණනින් පිල්ලි යැවීම් තත්වය දක්වා අද වෙනවිට අති මහත් ප්‍රගතියක් ලබා ඇත.

"හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස්" නියමය මනාව අනුගමනය කරන අද දේශපාලකයෝ උදේ වරුවේ සමන්මල් වට්ටි රැගෙන රුවන්වැලි සෑය වන්දනා කිරීමටත් හවස් යාමයේ රා කල හතක් පෙවූ මැරයින් යවා ජේතවනාරාමයට ගල් ගැසීමටත් එක සේ සමත්හු ය.

මිරිසවැටිය අග්ගලාවක් හෝ කොණ්ඩ කැවුමක් ලෙස සලකා අනුභව කිරීම ද ඔවුනට සරල දෙයකි.

දේශපාලන විරුද්ධවාදීන්ට හිමිවන්නේ දඹකොළපටුනට ස්ථාන මාරුවක් නොව කැරකෝප්පුවට කෙටි පාරකි.

අද පරම්පරාවේ දේශපාලකයින් දුෂණයෙන් අයථා ලෙස රැස්කර ගන්නා රන් කහවණු මැනීමට විශාල ප්‍රමාණයේ කුරුණි ඇවැසි වේ.

ජගත් එදිරිසිංහ ගේ "අදිසි" නවකතාවෙන් නිරාවරණය කෙරෙන්නේ පසුගිය දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයක් හා සමගාමීව දිග හැරෙන කොළඹ නගරාසන්න පෙදෙසක වෙසෙන සුවිශේෂී චරිත කිහිපයක නිරුවතයි.

සුනන්ද නගරබද වත්තක වෙසෙන හිතහොඳ චණ්ඩියෙකි. ඔහු ගේ සහයෝගයෙන් පෙර මැතිවරණයකින් ජයගත් රණසිංහ දේශපාලන ඉණිමගේ ඉහලට නැගීමට වැර දරයි. ඒ ගමනේ ජය තහවුරු කරගැනීම සඳහා අනිවාර්ය තත්කාලීන අවශ්‍යතාවයක්වන විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරතවීමට සුනන්ද ගේ සහය තවදුරටත් නො ලැබෙන හෙයින් රණසිංහ හමුදාවෙන් පැන එන අජිත් තම මැර පිරිසට එකතුකර ගනියි. අජිත් ගේ නැගෙණිය සමදරා සුනන්ද ගේ පෙම්වතිය වන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.

දුෂණය සහ භීෂණය මත යැපෙමින් තම මැතිවරණය මෙහෙයවන රණසිංහ ට ඒ සඳහා සහය ලැබෙන්නේ නාගරික ලුම්පන් පන්තියෙන් පමණක් නොවේ. ධනපති පන්තිය හා සභායට යන වාමවාදී නායකයින් නිසා බිම් මට්ටමේ වාමාංශික කේඩරයින් ට ද රණසිංහට කඩේ යමින් පෝස්ටර් අලවන්නටත්, වේදිකා ගොඩ නංවන්නටත් සිදුවේ.

සිය දේශපලාන අරමුණු වෙනුවෙන් පන්සලට පවා බෝම්බ ගසන රණසිංහ, ඒ ආනන්තර්ය පාප කරමය හේතුවෙන් දෝ ඡන්දයෙන් පැරදුණු කළ ඒ අඩුව පුරවන්නට කල්යල් බලා පවතින ක්‍රමයට අනුගතවෙන්නේ සමදරා ය.

මේ ප්‍රභල කතා වස්තුවේ මට ඇති එකම නොගැලපීම නම් ජගත් ජේ එදිරිසිංහ, නවකතාවේ ප්‍රධාන චරිතයක් වෙන සුනන්ද නම් හිත හොඳ චණ්ඩියා ට කරන ශ්වේතවර්ණාලේපයයි. ඒ සමගම ස්ත්‍රී සොඬ රණසිංහ ව හැරදා යන ඔහුගේ තරුණ බිරිඳ සමග මැරවර සුනන්ද අරඹන නීති විරෝධී හෝටල් ව්‍යාපාරය ද, ජගත් ජේ එදිරිසිංහ ගේ සානුකම්පික සුදු බුරුසුවට අසුවේ.

ළමා වියේ පටන් ලේඛක උණ සන්නිපාතයෙන් පීඩා විඳි ජගත් ජේ එදිරිසිංහ මේ වන විට නවකතා පහක් ඇතුළු මුද්‍රිත ග්‍රන්ථ අටක කතුවරයෙකි. එවැනි පලපුරුදු අශ්වාරෝහකයෙකුගෙන් බලාපොරොත්තු විය යුතු ලෙසටම "අදිසි" නවකතාව සඳහා ජගත් උපයෝගී කරගෙන ඇති භාෂා විලාශය ප්‍රභල එකකි. නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත්කර ඇති ආකෘතියද ආකර්ශනීය වේ.

කොටින්ම "අදිසි" කියවන අපට හැඟෙන්නේ මෙය ප්‍රබන්ධයක් කියා නොවේ. එය එතරම්ම තාත්වික ය.

"අදිසි" නවකතාව තුලින් ජගත් ජේ එදිරිසිංහ නොදැනුවත්වම වාගේ අපට උලුප්පා පෙන්වන තවත් පාඩමක් ඇත. එනම්, පීඩිත පන්තිවල සියළු සටන් ඉතිහාසය පුරා නිසැකවම පරාජය වී ඇත්තේ නිරායාසයෙන්ම සිදුවන පාලක පන්තිය හා සභාගයට යැමේ පාවාදීම නිසා බවයි.

ජගත් ජේ එදිරිසිංහ ගේ "අදිසි" නවකතාව කියවන ඔබේ සිතට මා මුලින් සඳහන් කළ සිතුවිලි ත්‍රිත්වයට අමතරව සිව්වැනි සිතුවිල්ලක් ද නැගුණහොත් එය කෙලෙස වේ දැයි මම මදකට සිතුවෙමි.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගැලවේවා යැයි ප්‍රාර්ථනයක් ඔබ සිතට නැගුණහොත්, එය අපේ ජීවිත කාලයේ ඉටු නොවන නිසරු පැතුමක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගලවා ගනිමි යැයි අධිෂ්ඨානයක් ඔබ සිතට නැගුණ හොත් එය අතිශය එඩිතර ගමණක මුලාරම්භය විය හැකි බව කිව හැක. නමුත් මින් වසර කිහිපයකට කලින් ජගත් ජේ එදිරිසිංහ සිය "ගිම්හාන සුළඟ" නවකතාවෙන් අපට කිවු පරිදි එවන් ගමණක අවසානය තත්කාලීන ව්‍යවහාරික භාෂාවෙන් අප "සොරි ඩොට් කොම්" ලෙස හඳුන්වන තත්වය වෙනු ඇත. මක් නිසාද යත්, ඉතිහාසය පුරාම සිංහ සෙයියාවෙන් එවන් ගමන් ආරම්භ කළ වුන් එක්කෝ පවතින දුෂිත ක්‍රමය මගින් ඉවත්කර දමන්නට යෙදුණු අතර එයින් බේරී ඉතිරි වූවෝ ඔවුන් විසින්ම පසු කලෙක තම දිශානතිය උඩුයටිකුරු කරගන්නා ලදුව හිමින් සීරුවේ පවතින ක්‍රමය හා අනුගත වූ බැවිණි.


දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයකි

Saturday, 4 August 2012

ලයික් සහ ලොල්-කතන්දර කීපයක් ඉතා කෙටියෙන් - From LIKE to LoL


අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට පරණ කතන්දර කීපයක්ම ඉතාමත් සංක්‍ෂිප්තව කෙටියෙන් දාන්නයි යන්නේ. වැඩි විස්තර නෑ.

මෙන්න බඩුව.



ඉස්සර නං ඕකට මං පස්ට ලයික්. ජීවිතේ එක පාරක් නොවෙයි දෙතුන් පාරක්ම.

දැන් නං ඉතිං ඇහෙනකොටත් ලොලේ ලොල්.

ඒ මොනවා වුනත් මෙන්න ගී පද.

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ

මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේ දෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේ දෝ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලකින් පසු මා දුටූවේ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලකින් පසු මා දුටූයේ
ඔබේ පෙම් වදන් නෑ

හිතේ නැද්ද ඔබ ගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ

දැන් ඒ සින්දුව ඇහෙනකොටත් ලොලේ ලොල් මොකද දන්නවාද?

ඒ සින්දුව කියපු ජෝතිපාලමනේ මෙන්න මේ සින්දුවත් කියන්නේ.



මෙන්න ඒකේ සම්පූර්ණ පදමාලාව

බඹර වගේ ඇත තවම විසේ
බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

යහළු වෙලා හිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
යහළු වෙලා හිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල් මුල් ආවත් බය නෑ බය නෑ
ගල් මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

පැතුම් සැබෑවන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ
පැතුම් සැබෑවන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ

බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

-කතන්දරකාරයා

ප/ලි:
ආහ්, අමතක වුනා, ලයික්, ලොල් විතරක් නෙමෙයි ඇයි බිපෙසි?

මේ ලයික්, ලොල්, බිපෙසි කතා අර සාමා ළමයා නං දන්නේම නෑ.

Thursday, 2 August 2012

සැක නොම කළෙමි මම රැවටුනෙමි - Politics in a parallel universe!


නේම් ඩ්‍රොපින් කියන්නේ සාමාන්‍ය විදියට කතා බහක යෙදිල ඉන්න ගමන ඒ මැද්දට ජනප්‍රිය පුද්ගලයෙකු ගේ නමක් ඇදලා ගන්න එකටයි.

ඒ විදියට ලොක්කන් අඳුණනවා වගේ හිතෙන්න කතා කළාම ඔහේලා අපි වගේ සොක්කන්ට පොඩි පහේ පොරත්වයක් ආරූඪ කරගන්න පුළුවනි.

හැබැයි, අරුණි ෂැපීරෝට හොඳ පාඩමක් උගන්වමි, පොඩි කුමාරිහාමිට ලොකු පිළිතුරක් තියා මහින්ද රාජපක්‍ෂට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය වගේ කතන්දර මං ලිව්වේ නං ඒ නේම් ඩ්‍රොපින් වලට නොවෙයි. වෙනත් හේතු නිසායි.

නේම් ඩ්‍රොපින් සඳහාම මං ලියපු කතන්දරේ තමයි සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි කියන එක.

ඒ කතන්දරේට නිමිත්ත වුනේ සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ එක සින්දුවක තියෙන

මම දැනගතිමි
මම සැක කළෙමි

කියන පද පේලියයි.

ඒ අනුසාරයෙන්, ඒ පද පේලියේ විරුද්ධාර්ථය එන්න තමයි මං අද කතන්දරේට මාත්‍යකාව දැම්මේ!

අපි හුඟ දෙනෙක් වගේ මං නවකතා කියවන්න කැමතියි. ඒත් නවකතාවක් තියෙන්න ඕනෑ එක දිගට කියවාඝෙන යන්න. සතියකට හරි මාසෙකට හරි එක කොටසක් ගානේ කියවන එක නං එච්චර රසාස්වාදයක් ලැබෙන ක්‍රමයක් නොවෙයි.

ඔය හේතුව හින්දාම මං මේ බ්ලොග් අවකාශයේ කොටස් වශයෙන් පලවෙන නවකතා කියෝලා තියෙන්නේ නං හරිම අඩුවෙන්. ඒවායින් බොහොමයක් කියෙව්වෙත් අන්තිම කොටස පළවුණාට පස්සේ එක හුස්මටයි. සමහරු පීඩීඑෆ් කරලාත් දානවානේ සේරම එකපාර කියවන්න.

නමුත් මේ ලඟදී මට අළුතින් ඇරඹුණු නවකතාවක් කියවන්නයි කියලා ආරාඵනයක් ආවාම මං එසැනින් ගියා ඒක බලන්න. ඒකට හේතු දෙකක් තිබුණා.

1. මේ නවකතාව අපේ ලෝකෙට සමාන්තර වෙනත් සක්වලක, ඒ කියන්නේ පැරලල් යුනිවර්ස් එකක සිද්ධීන් විස්තර වෙන එකක් කියලයි ඇරයුම එක්ක ආපු ඇරඹුම කෑල්ලේ තිබුණේ.

2. නවකතාවේ එන පසුබිම, චරිත, සිදුවීම් සේරම අපි දන්න කියන දේවල් වීම සහ විශාල වශයෙන් දේශපාලන චරිත සහ සිදුවීම් වීම

මේ නවකතාවේ නම : සමනළ විප්ලවය
ලියන්නේ අපි නොදන්න කෙනෙක්.

ඉතිං මං ඒ බ්ලොග් එක බලන්න ගියේ අර විදුසර පත්තරේ යන කෙටිකතාවක් වගේ විද්‍යා ප්‍රභන්ධයක් බලන්නයි. මේක දේශපාලන නවකතාවක් ය කියලා පැහැදිලිවම කියලා තිබුණත් මං හිතවේ මේ කියන සමාන්දර ලෝකයේ දේශපාලනය අපි දන්න මඩ ගොහොරුවට වඩා වෙනස් එකක් වේය කියලයි.

කොටස් දෙක තුනක් කියෝලත් මට මං හෙව්ව අර කියන විද්‍යා පුභන්ධ ගතිය දැනුනේ නෑ.

මං දාපු කමෙන්ට්වලට උත්තර එනකොට තමයි මට ටිකෙන් ටික කේස් එක තේරුණේ.

සැක නොම කළෙමි
මම රැවටුනෙමි

සමනළ විප්ළවය කියන්නේ දේශපාලන නවකතාවක්.

අපි දන්න කියන දේශපාලු චරිත ගැන මේ කතාවේ සඳහන් වෙනවා කෙලින්ම. හැබැයි පොඩ්ඩක් වයර් මාරු කරලායි තියෙන්නේ. ඇයි මේ කතාව දුවන්නේ අර සමාන්තර සක්වල අනන්ත සංඛ්‍යාවෙන් එකකනේ.

උදාහරණ විදියට කියනවා නං, චන්ද්‍රිකා තුන්වෙනි පාරට ජනාධිපති. මහින්ද තාම බුද්ධ සාසන ඇමති. සුනාමිය ඇවිල්ල නෑ වගේ. කදිරගාමර් තමයි අගමැති. ඔබාමා සහ ෆොන්සේකා මැරෙනවා. ප්‍රභාකරන් රිටයර් වෙලා දියවැඩියාව නිසා. හැබැයි චාල්ස් කුමාරයා ගේම් එක ගෙනියනවා.

අර පැරලල් යුනිවර්ස් ය කියලා ඇහැව්වාම මං බලාපොරොත්තු වුණු සංඛීර්ණත්වය අතහැරියාම මේක කියවන් යන්න පුළුවන් හොඳ ඉන්ටරෙස්ටින් නවකතාවක්.

හොඳම දේ තමයි, එක කොටසක් කියෝලා සතියක් ඉන්න ඕනෑ නෑ ඉරිදා පත්තරේ යන නවකතාව බලනවා වගේ. අපි නොදන්න ලේඛකයා දවසකට එක කොටසක් ගානේ වගේ පලකරනවා. දැනටමත් කොටස් හයක් ද කොහෙද දාලා!

කවුද කියලා අපි නොදන්නවා වුණාට මේ නවකතාවේ රචකයා නං දේශපාලනය ගැන ඉතාම හොඳ පරිචයක් තියෙන බූවෙක් බවයි පේන්නේ.

නවකතාවේ ආකෘතිය, ඉදිරිපත් කිරීම සහ භාෂාව හැසිරවීමත් පට්ට!

යන්න, කියවන්න, ඇරඹුමේ සිට ඉස්සරහට.

http://samanalaviplavaya.wordpress.com/2012/07/27/butterflyrevolution0/

-කතන්දරකාරයා

ප/ලි
මට මේකේ ඇල්ලුවේ නැති එක දෙයක් තියෙනවා.

සමනල විප්ලවය පලවෙන්නේ WordPress බ්ලොග් එකකයි.

අපේ හිතවත් ආචාර්ය මීවනපලානේ ජයරත්නාභිදාන වර්ගපූර්ණිකාවේ කියපු විදියට ටැබූ සබ්ජෙක්ට්ස් වගේ දේශපාලනය ගැන ලියපු බ්ලොග්කාරයින්ට කෙලවුනේ ඔය WordPress භාවිතා කල නිසයි.

මාරයා, සඳරූ, මංතුමා වගේ අය තාමත් නැගලා යන්නේ අපි ගූ-ගල් පාවිච්චි කරන නිසයි.

මේක අපි දන්නවා වුණාට, අපි නොදන්න මේ සමනල විප්ලවය ලේඛකයා දන්න බවක් පේන්නේ නෑ.

(image: http://samanalaviplavaya.wordpress.com/2012/07/27/butterflyrevolution0/)