Sunday, 30 September 2012

වැස්සට වාගේ ගොඩ වැදුණා! - චූට්ටං ඡායාරූප කතන්දරයක් : A picture story


හායි මෙයාලා...!

පහුගිය දවසක වැස්සට වාගේ තැනකට ගොඩ වැදුණා.

මෙන්න එතනදී ගත්තු ඡායාරූප දෙක තුනක්.







එච්චරයි හොඳේ.

බායි මෙයාලා!

අපරාදේ සුපියල් පහ නේද? සොරි වෙන්න ඕනෑ.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න එතනදී ගත්තු පොත.

මේකේ චිත්තරපටිය මෙතනින් බලන්න.
http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/

(image: http://www.sl-spirit.com/)

Saturday, 29 September 2012

බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages


සාදු කියන්න පින්වතුනී,
සාදු, සාදු, සාදූ

මංතුමා ඉතිං තායිලන්තේදී මහණ වෙස් අරගෙන පවා හිටිය පොරක් නේ, ඒ හින්දා අද මේ පෝය දවසේ හිතුණා පොඩි බණ පදයක් (දෙකක්, තුනක්) කියලා දාන්න.

හැබැයි ඉතිං මේවා අපි නොදන්න ඒවාත් නොවෙයි, බණමත් නොවෙයි.

වැඩි විස්තර මොකටද? අපි කෙලින්ම කවියට බහිමු!

අනවබෝධය

දුකින් පිරි ජීවිතේ සුවය ආදරයයැයි
සිතා මුසපත් ලෙසින්
ආදරෙන් බැඳෙද්දී
නොසිතුණිද කිසි විටෙක
ප්‍රේමතී ජායතී ශෝකෝ?

පැමිණි දුක් පැණි රසයි මුසාබස් දොඩාලා
හැඟුම්බර සිත සිතම රවටවා ගනිද්දී
නොසිතුණිද කිසි විටෙක
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග?

දොලොස් මසකට පසුව ඉරිතලා බිඳෙන්නට
සිත් දෙකක් ආදරේ මාළිගා තනද්දී
නොසිතුණිද කිසි විටෙක
සබ්බේ සංඛාරා අනිච්ඡා?

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි
නිකිණි පෝයටත් බණ පදයක් දාන්නං කෝ!

(image: http://www.inspirational-friendship-poems.com/love-and-sad-poems.html)

Friday, 28 September 2012

පරණ කෝට්, පරණ කෝට් - Two thoughts about love


මේවා පරණ කේස්, නැවත නැවතත් රී-සයිකල් කරනවා.

කාලයක් තිබුණා මගේ ජීවිතයෙන් කොටසක් බස් හෝල්ට්වල ගෙවුණු. ඒක සතුට මෙන්ම දුකත් පිරුණු කාලයක්.

ඉතින් ඔහොම බස් හෝල්ට්වල රස්තියාදුවෙන වෙලාවල්වලදී ජීවිතේ ගැනත් නොයෙකුත් දේවල් හිතෙනවා.

මේවා ඒ අවුරුදු විසි එකේ දී දාර්ශනික සිතුවලි කියලයි හිතුණේ. දැන් කියවන අයට නං මෙළෝ රහක් නැතිය කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා.

මෙන්න ඔය කියන කාලේ ලියපු කවියක්. ඇත්තටම නං කවි දෙකක්.

ආදරය ගැන කවි දෙකක්

1.
පැය ගණනාවක් දුක් විඳ
බස් රිය දුම්රිය ඇතුලේ
අවසානයෙදී
ඇය දැක සැනසෙන
තත්පර ගණනද
මොක්සුව ගෙන දෙන
මහා භද්‍රයකි!

2.
හෙලවෙන කණුගොඩ
හිල්වුණු වහලය
මලකඩ සමගින් දිරාපත්ව ඇති
බස් නැවතුම් පොළ
රජ මැදුරක් විය


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා


(image: http://www.trekearth.com/gallery/Asia/Sri_Lanka/North/Eastern/Colombo/photo395694.htm)

Thursday, 27 September 2012

ලෝක විනාශය කවදා ද? (ලව් කේස් එකකි) - End of the world : A young lovers point of view


ලෝක විනාශය වෙන්නේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා.

මං පොඩි කාලේ අපේ සීයා නං කිව්වේ කල්පාන්තයේදී සූර්යයන් හත් දෙනෙක් පායන දවසේ ලෝකෙට බඩු සෙට් වෙනවා කියලයි.

හැබැයි අපේ සීයා නම් ඒකට බය වුනේ නෑ.

මොකද සෑහෙන්න කල් තියෙනවානේ!

පස්සෙන් පහු ආරංචි වුණා මායා කෂ්ටිය ගේ කැලැන්ඩර් එක ඉවරවෙන දවසේදී අපිට වැඩේ සෙට් වෙනවාය කියලා.

මං අවුරුදු විසි එකේ දී ලියපු මේ කවියෙනුත් කියවෙන්නේ ලෝක විනාශයට කිට්ටු කේස් එකක් ගැනයි.

ලෝකාන්තය

ගිනියම් වූ හිරු
වියරු සිනාවෙන් මුව සරසාගෙන
ලොවම දවාලයි
වියලි සුලං රැල්
මරුවෙකු විලසින් දූවිලි පිසගෙන
කුරිරු ලෙස හමයි
වැට අද්දර පිපි
නිදිකුම්බා මල
පෙති අකුලාගෙන බලා සිටින්නේ
සිසිලස අහිමිව

ගත
සිත
කකියයි

මුව මත හසරැල් නැත
සුසුමන් මිස

සත් දිනකින් නැත ඇය හමුවූයේ
සත් දිනකින් නැත
හසුනක් ලැබුනේ
සත් දිනකින් නැත
පිණි බිඳුවක්වත්
පොළොවට වැටුණේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා



(image: http://econintersect.com/b2evolution/blog2.php/2012/06/17/the-end-of-the-world-as-we-know-it)

Tuesday, 25 September 2012

පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?


මං ඊයේ දෙහිවලින් 119 ක නැගිලා මහරගම පැත්තට එන කොට එකපාරටම බස් එකේ හිටිය සෙනග ගොඩෙන් බාගයක් විතර නිකං බහින්න වගේ සෙට් වුණා.

හැබැයි තත්පරෙන් ආපහු වාඩි වෙලා සැට්ල් වුණා.

පස්සේ බැලින්නම් මේ පන්සල් කේස් එකක්. අර ශ්‍රද්ධාවද, බට්ටිය ද මොකක්ද එක පෙන්නන්නයි සීට්වල ඉඳන් ඉන්න අය ලාවට වගේ පස්ස උස්සන්නේ.

හිටගෙන ඉන්න අසරණයින් ගේ නං කොහොමටත් පස්ස ඉස්සිලා නේ තියෙන්නේ!

තවත් විනාඩි පහකින් විතර පාරෙන් අනිත් පැත්තේ සාමාන්‍ය තර්ඩ් ක්ලාස් පන්සලක් පහු වුණා. මෙතන මං තර්ඩ් ක්ලාස් කිව්වේ බස් එකේ ඉඳන් හිටපු එකෙක්වත් පස්ස ඉස්සුවේ නැති හින්දයි.

මං නං කවදාකවත් පස්ස උස්සන්නේ නෑ තර්ඩ් ක්ලාස්, සැකන්ඩ් ක්ලාස් තියා ෆර්ස්ට් ක්ලාස් පන්සලක් ළඟදීවත්.

මෙතන ෆර්ස්ට් ක්ලාස් කියන්නේ පස්ස උස්සනවාට අමතරව පඬුරු පාක්කුඩම් දාන තැන්වලටයි.

ඔය 119 දෙහිවල-මහරගම ගමන නිසා මට මතක් වුණේ මං කැම්පස් ඉන්න කාලේ ලියපු කවියක්.

මෙතනදී කම්පෙයා වෙන්නේ ගැටඹේ පන්සලයි, තව ටිකක් නුවර පැත්තට වෙන්න පාරෙන් අනිත් පැත්තේ තියෙන පන්සලයි. ඔය දෙවෙනි එක ඒ කාලේ දුප්පත් පාට පොඩි පන්සලක්. පස්සේ නං ටිකක් පොර වැටිලා දළු දාලා ආවා.

කතන්දරේ ඒකයි. දැන් මෙන්න කයි-කතන්දරේ අනිත් කෑල්ල, එනම් කවිය.

මේක පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ යද්දී ලියවුණු කවියක්.

ශ්‍රද්ධාව

ගැටඹේ පන්සල පසුවෙද්දී
නැගිටිති සුදනෝ
දෑතම බැඳගෙන
ශ්‍රද්ධා සීලය හිසෙහි තබාගෙන
පඬුරු පුදති
පින් ලබන සිත් ඇතිව

සැතපුම් කාලක් ගෙවීයන්න පෙර
දුප්පත් පෙනුමැති
පන්සල පසුවෙයි

නිහඬය නිසලය
බස් රිය සුදනෝ
නැත සම්මාදම්

පසුපස බොදුකම හංගා
බලා සිටිති හිස් අහස දිහා


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි:
පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ මාර්ග අංකය මොකක්ද? ඒක 484 ද?

(image: http://www.weloveitstudio.com/tripbag/thingstosee.php?seeid=9)

Monday, 24 September 2012

කාලයේ ආපස්සට යන්න පුළුවන් නම්? - The joy a letter can bring


නෙට් එකෙන් ඈත් වෙලා, බ්ලොග්කොහොලික් තත්වය මැඩගෙන මං කාලයේ රේඛාව දිගේ ආපස්සට ගියා.

ඉතිං එතකොට තමයි ඊ-මේල් වෙනුවට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ.

තවත් ආපස්සට ගියොත් ලියුම් යුගේට යැවෙනවා. මං කලින් කයි-කතන්දරයකින් කිව්වා වගේ ලියුමක් යවලා උත්තර එනකං බලාගෙන ඉන්න කොට තියෙනව සනීපේ අද දන්නේ කීයෙන් කී දෙනාද?

මේ කවියත් ලියුමක් නිමිත්ත කරගත් එකක්.

ජීවිතයේ සැබෑ කතාව

ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
එවන හසුනකින්
සීතල වැඩි වී
රුධිරය ගල් වී
මා මියගොස් දිගු කලක් විය යුතුයි

ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසාලන්නේ

පෙළකට ඈඳුණු පබළු වැලක් සේ
අකුරු පිරුණු සෙනෙහසේ හසුන් පත්
මවෙත ලැබෙන සඳ
මුළු ලෝකෙම දේ අමතක කරළා
සිනා නැගිය හැක

ලොව සොඳුරුම දේ ආදරයයි!


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි:
සාහිත්‍ය මාසය ඉවර වෙන්නත් ලඟයි, නේද? තව සතියයි!


(image: http://lovewallpapershotpicures.blogspot.com/2012/01/beautiful-love-wallpapers.html)

Saturday, 22 September 2012

බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous


"ගුඩ් ඩේ ඕල්, මයි නේම් ඊස් කතන්දරකාරයා ඇන්ඩ් අයෑම් ඒ බ්ලොග්කොහොලික්.

අයි හෑව් බීන් ට්‍රයින් ටු ගිව් අප් බ්ලොගින් ෆෝ අබවුට් ත්‍රී මන්ත්ස් නව් ඇන්ඩ් හෑව් ෆයිනලි රියලයිස්ඩ් දැට් අයෑම් ඇඩික්ටඩ් ටු බ්ලොගින්."

ඔන්න ඕක තමයි සත්‍යය.

බොරුවට තමන් ගේ සිත තමන්ම රවට්ටා ගන්න ට්‍රයි කළාට ඔන්න ඕක තමයි සත්‍යය.

ඇඩික්ටඩ්, ඇඩික්ටඩ්, ඇබ්බැහි වෙලා!

බේරිල්ලක් නෑ, ගැළවිල්ලක් නෑ.

කරත්ත රෝදේ වගේ පස්සෙන් ම එනවා. චක්කංව වහතෝ පදං!

උදේ පාන්දර නැගිට්ට වෙලේ කුණු කෙල පිටින්ම බ්ලොග් එකට ආපු කමෙන්ට් බලන්න හිතෙන්නේ,
බ්ලොග් රෝලේ අළුතින් මොන මොනවා අප්ඩේට් වෙලාද කියලා චෙක් කරන්න හිතෙන්නේ,
පැයෙන් පැයට ආපහු බලන්න හිතෙන්නේ,

වෙන අනං මනං වැඩ, පවුලේ වැඩ, ගම්සබා වැඩ තිබුණාට ඒවා පැත්තකට දාලා දවසක් ඇර දවසක්වත් පෝස්ට් එකක් දාන්න හිතෙන්නේ,

මේ බ්ලොග්කොහොලික් ඇබ්බැහි වීම නිසයි.

මේකට බේතක් ආයුර්වේද, සිද්ධායුර්වේද, ඇලපති, හෝමියෝපති ලා ලඟ තියා ගණපති ගාවවත් තියෙනවා ද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි:
දන්න වෙදකමක් තියෙනවා නම් ඒ ගැන කියලා පෝස්ට් එකක් දාලා මේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දාන්න, ප්ලීස්.

(image: http://doctoranonymous.blogspot.com/2007_06_01_archive.html)

Thursday, 20 September 2012

නෙට් නැති දෙදිනක ජොලිය - Two days without Internet, oh, what a feeling!


අන්තිමට කතන්දරයක් දැම්මේ - සැප්තැම්බර් 17 දා! ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං නැතුව ගෙඩි දවස් දෙකක් ම ගෙවුණා!

අම්මේ, ඒකේ තිබුණු ජොලිය...!!!

මුල් පැය විසිහතරේ නිදා ගත්තේම නෑ. ලැප්ටොප් එකක් ලඟින් ගියේ නෑ. ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං තියෙනවාද, නැද්ද කියලා බැලුවේවත් නෑ.

ඒකටත් එක්ක මූවීස් හතරක් ම බැලුවා.

දෙවෙනි දවසේ පැය විසිහතරෙන් වැඩි වෙලාවක් නිදා ගත්තා. අනිත් පැය කිහිපය නිදිකිරා වැටෙමින් හිටියා.

ඇත්තටම මේ අන්තර්ජාලයෙන් කෙටි කාලයකට හරි එහෙමවත් බේරිලා ඉන්න ලැබුණු එක ලොකු දෙයක්.

මාර සනීපයක් දැනෙන්නේ, හිතට වගේම ඇඟටත්.

තවත් දවස් දෙක තුනක්වත් මේ දැළෙන් බේරිලා ඉන්න පුළුවනි නම්...

එහෙනං කවදා හරි දවසක නැවත හමුවෙන තෙක් ආයුබෝවන්!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මගේ මූවි මැරතන් එක.
1. මෙන් ඉන් බ්ලැක්-3
2. මෙරිගෝල්ඩ් හොටේල්
3. ෆාදර් ඔෆ් ඉන්වෙන්ෂන්
4. හින්දි චිත්‍රපටියක් (නම මතක නැත-කාලවකවානු තුනක, 1915, 1960, 2010, එකම කොල්ලයි, එකම කෙල්ලෝ දෙන්නයි ඉන්න කතා කෑලි තුනක්)

ප/ප/ලි:
බුදු අම්මෝ, වට් එ කොයින්සිඩන්ස්. සමනල විප්ලවය ලේඛකයා ගේ සහ මගේ ග්‍රහචාරය එක වගේ!
http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/



(image: http://www.123rf.com/photo_9692486_man-tangled-in-a-web-of-the-internet.html)

Monday, 17 September 2012

එහෙමත් කාලයක් තිබුණා! - That was the time that was!


ඇත්තටම දැන් නං හිතා ගන්නත් බෑ, නමුත් එහෙම කාලයකුත් තිබුණා.

ගම් පලාතේම ටෙලිෆෝන් තියෙන්නේ ටවුමේ තැපැල් කන්තෝරුවේ විතරයි.

මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ඊ-මේල්, ස්කයිපි ගැන අහලා තිබුණේ ටයිම් ට්‍රැවල් කරලා ආපහු ඇවිල්ලා හිටපු අය විතරයි.

හැම දේටම ලියුම්. එහෙම නැත්තං ටැලිග්‍රෑම්. ගමට ලියුම් අරං බයිසිකලෙන් එන පියුං කාරයා නිකං දෙයියෙක් වගේ පොරක්.

මෙන්න ඒ කාලේ ලියපු කවියක්.

බවුන් වැඩීම

සීතල පිණිපොද වරුසා මැඩගෙන
වෙළට ඉහල කඳුවැටිය දිහාවෙන්
අළුයම හිරු රැස් කැරලි නැගෙද්දී
බලාපොරොත්තුව
සිතෙහි පිබිද එයි පියුමක් විලසින්
අදවත් ලිපියක් ඒ වී දෝ?

පිබිඳුණු හිරු රැස් වලළු විහිදමින්
කන්දෙන් ගොඩවී වෙළට උඩින් විත්
ටික ටික ලොව උණුසුම පතුරද්දී
බලාපොරොත්තුව
සිතෙහි දැඩිව ඇත තව ටික මොහොතයි
අදවත් ලිපියක් ඒ වී දෝ?

සෙවනැලි මකමින් දා බිඳු ගෙනෙමින්
වැඩිවුණු හිරු ගෙමිදුළටම අවුදින්
ඔච්චම් දෑසින් බලා සිටිද්දී
බලාපොරොත්තුව
කැඩී බිඳී යයි සුසුමන් සමගින්
හෙටවත් ලිපියක් ඒ වී දෝ?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.sundayobserver.lk/2011/12/18/jun08.asp)

Sunday, 16 September 2012

බැලූන්වලින් සොමිය ලබන්නෝ - Balloon Fetish, what the....?


අපි පොඩි කාලේ චිත්‍රකතාවක් ගියා මොකක්ද මන්දා පත්තරේක, ඒ කතාවේ නම ප්ලාස්ටික් ආදරේ.

මේකේ තිබුණේ, අර රෙදි සාප්පුවල සාරි ගවුම් අන්දලා ෂෝ කේස් ඇතුලේ දාලා තියෙන ප්ලාස්ටික් පිළිරුවකට ආදරය කරපු මිනිහෙක් ගැනයි.

මේක ආදරයක් ද, ෆෙටීෂ් එකක් ද මන්දා? මොනවා වුණත් පොර ඒ ඉටි රූපේ දිහා බලාගෙන ඉඳලා වින්දනයක් ලැබුවාය කියලායි පෙනුනේ.

ප්ලාස්ටික් සිහින කතාව ඉවර වුනේ කොහොමද කියලා නං මට මතක නෑ. මොකද, කතාව අතරමගදී මං ලොකු ළමයෙක් වෙලා චිත්‍රකතා බලන එක අත හැරලා දාපු හින්දා!

ඔය කතාව මට මතක් වුනේ මේ ගිය මාසේ පත්තරයක් බලමින් ඉන්න වෙලේ ඇස ගිය පොඩි නිවුස් අයිටම් එකක් හින්දයි.
මෙන්න ඒ පත්තර කෑල්ල.



වැඩි විස්තර කියවන්න මෙතනින්. ඡායාරූපත් තියෙනවා!
http://www.dailymail.co.uk/news/article-2181284/Dave-Collines-Man-balloon-fetish-sleeps-kisses-sticks-shirt.html

මේ නිවුස් එකේ කියවෙන හැටියට, ඇමෙරිකාවේ ආකන්සාස්වල ඉන්න ඩේව් කොලින්ස් කියන පොරට වින්දනය එන්නේ රබර් බැලූම් බෝල වලින් ලු!

පොර බැලුම් එක්ක කරන්න කැමතිම දේවල් තමයි, බැලුම් කමිසය අස්සේ දාගෙන ඉඳීම, බැලුම්වලට උම්මා දීම සහ රෑට බැලුම් තුරුලුකරං නින්දට යෑම.

ඩේව් ගේ මේ බැලුම් සුරපුරේ බැලුං හැටපන්දාහක් ම තියෙනවාය කියලයි කියන්නේ.

සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලෙස අද පලවෙන කතන්දර දැනුම් සාගරෙන් බිඳක් මෙයින් නිමයි.

කියවූ ඔබ සැමට ස්තුතියි!

-කතන්දරකාරයා

ප/ලි:
පස්මහ බැලුම් මොනවාදැයි දන්නවාද?

(image: http://www.dailymail.co.uk/news/article-2181284/Dave-Collines-Man-balloon-fetish-sleeps-kisses-sticks-shirt.html)

Friday, 14 September 2012

රත්නායක මහත්තයලා ගේ දානේ ගෙදරදී බණ ඇසුවෙමි - Heading for a chair!


අප කුඩා කල ගමේ පන්සලේ බණ අසන්නට යෑම අපි සිරිතක් ලෙස කළෙමු. ගමේ පන්සල යැයි කිව්වාට එය ඇත්තටම අල්ලපු ගමේ පන්සලයි. නමුත් අපේ ගමේ කෙලවර පිහිටි අවසාන ඉඩමේ විසූ අපට එය අපේම පන්සල විය.

කොහොමටත්, පුරාණ රජමහා විහාරයක් වූ මේ පස්සලේ හතර පේරුවෙන් එකකට අපේ ඔෆීෂියල් ගම ද ඇතුලත් වුණු නිසා එහි අවුලක් තිබුණේ නැත.

සරොං ඇඳගෙන පන්සල් ආ යුතුය කියා නාලන්ද පියතිලකගෙන් මට අවවාද ලැබුණේ මේ පන්සලේදී බවද මතක් කරමි.

පන්සලේ බණ මඩුව වනාහී එකතු කිරීමේ ලකුණක හැඩය ගත් ජ්‍යාමිතිකව සමමිතික අක්‍ෂ හතරකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි සිව් කොණින් ම ඇතුලත පැමිණිය හැකි වූ අතර ගොඩනැගිල්ලේ හරි මැද බණ දේශකයා සඳහා වූ වේදිකාව පිහිටියේය.

එය හරි හතරුස් වූ අතර පඩි කිහිපයක් නැග සිව් පසින්ම ඒ කරා ලඟා වීමට හැකි විය.

මේ වේදිකාවේ දේශකයාට අමතරව තවත් දහ දෙනෙකුට පමණ බිම වාඩි වී බණ ඇසීමට ඉඩකඩ තිබුණි. මුළු බණ මඩුව තුළම වූයේ එකම එක පුටුවකි. එය දේශකයා සඳහා වූ ආසනයයි.

හාමුදුරුවෝ එහි සිට බණ කියන විට බණ මඩුවේ බිම හිඳගෙන ඉන්නා සියළු උපාසක උපාසිකාවන් ට ඔහුව මනාව පෙනේ.

පන්සලේ බණ වාරයට දිවයිනේ නොයෙකුත් පළාත්වලින් විචිත්‍ර ධර්ම කථිකයෝ එහි වැඩියහ. දම් දෙසූහ.

උපාසක උපාසිකාවෝ වේදිකාව පහලින් දේශකයාගේ මුහුණ පෙනෙන මානයේ හිඳ බණ ඇසූහ.

පසු කලෙකදී මෙන් ගම්වල ජීවන රටාව ටෙලිනාට්‍යවලින් පාලනය නොවූ එකල පන්සලේ බණ අසා අම්මාත් මල්ලිලා දෙදෙනාත් සමග මා ආපසු නිවසට එන්නේ ඉඳුණු කජු පුහුලන් බිම වැටෙනා යාමයේ ය.

මට ඒ මිහිරි අතීතය යළි සිහිවුණේ පසුගිය දිනෙක අපේ රත්නායක මහත්තයාගේ නිවසේ පැවැත්වුණු දානමය පුන්‍යකර්මයකට සහභාගීවන්නට ගිය අවස්ථාවේය.

එදින දානය අවසානයේ හාමුදුරුවෝ ධර්ම දේශනාවක් කිරීමට සැරසුණු අතර අපි සියළු දෙනාම පාහේ සාලයේ එලා තිබූ ප්ලාස්ටික් පැදුරු මත වාඩි වූයෙමු.

මේ අතරතුර එතැනට කුඩා ප්‍රමාණයේ පුටු දෙකක් ගෙනෙන ලදී. එහි වාඩි වූයේ අපේ හිතවතෙකුගේ දෙමව්පිය යුවලයි. වයස හැත්තෑ ගණං පසුකරමින් ඉන්නා ඒ දෙපලට තවදුරටත් දණ හිස් නමා බිම වාඩිවීම තරමක ප්‍රශ්නයක් වෙන නිසා ඔව්හූ මෙලෙස කුඩා පුටුවල වාඩි වෙති.

ඒ දුටු මට සිතුණේ මෙන්න මේ කාරණයයි.

තවත් වසර තිහකින් පමණ මෙවැනි දානයක් පැවැත්වෙන දිනයකදී අද මේ ස්ථානයේ ඉන්නා කුඩා දරුවන් හැර අන් සියළු දෙනාම වයස්ගත අය වෙන නිසා එදිනට මේ ආකාරයේ පුටු විස්සක් පමණ අවශ්‍ය නොවේද?

සරත් සහ චතුෂකුමාර දෙපල විසින් මේ නොබෝදා අපට සිහිකර දුන් පරිදි බවුන් වඩා සත්‍යාවබෝධ කරගැනීමට නොහැකි වූ නිසා තම ගුරුවරුන් විසින් එලවණු ලැබූ චුල්ල පන්ථක නම් ස්ථවිරයෝ බුදුන් දුන් සුදු රෙදි කැබැල්ලක් පිරිමැද අනිත්‍යය මෙනෙහි කර රහත් පල ලැබුවා සේ මම එලෙස අපේ මිනිස් ජීවිතවල අස්ථිරත්වය අවබෝධකොට ගතිමි.

සාදු, සාදු, සාදු!

-කතන්දරකාරයා

ප/ලි:
බණ අසමින් එකත්පස්ව සිටි මා දැක හඳුණාගත් පණ්ඩිත හාමුදුරුවෝ පසුව මා අමතා "මහත්තයාට නම් මහන දම් පුරන්න පටන්ගන්න වැඩි අමාරුවක් නෑ!" යැයි වදාළේය.

ඒ බණ දේශනාවේ කොටසක් නොවේ.

පිලියන්දල හන්දියේ බාබර්කාරයා ගේ නම්බර් සීරෝ කට් එක දා කපා දමා ඉන් නොනැවතී රේසරයකින් ද බූ ගා දැමූ මගේ තට්ටයට කළ සරදමක් පමණි.

(image: http://www.panoramio.com/photo/53610393)

Thursday, 13 September 2012

තවත් පඬිවදනක් (කෙමිස්ට්‍රි අරහං අයට නොවේ!) - A Chemistry lesson


මට මේ ළඟදී හම්බ වුණා හද්ද පරණ සටහන් පොතක්. මේක මං ඒ ලෙවල් කරන කාලේ ලියපු එක කවි එකතුවක්. අර ඇන්තලොජි ඔෆ් පොයම්ස් කියන්නේ. අන්න ඒවායිං එකක්.

මට පරණ පවක් පළ දීලා නිරපරාදේ දෙවෙනි පාරට ඒ-ලෙවල් කරන්න වුණු කතාව කලින් දවසක කිව්වානේ. මේ කාලයේ දවස් හයක් ඇතුලත ලියපු කවි (වගේ ඒවා) හැට තුනක් මේ පොතේ තියෙනවා.

පොතේ නම- වසන්ත පුර්ව නිර්මාන සංග්‍රහය හෙවත් සය දිනක සටහන්.

මෙන්න ඒකේ මං ලියලා තියෙන කවියක් උණ පුරුකක දාලා, ඇද ඇරලා, දිග හැරලා, මං අද හදාගත්තු පඬිවදනක්.

රසායන විද්‍යා පාඩමකි

ජිවිතය සැදී ඇත්තේ
දුක් සුසුම්
සෝ තැවුල්
කනගාටුව
පරාජය
කඳුළු බිඳු
ඉකි බිඳුම්
නම් වූ අපි හොඳින් හඳුනන මූල ද්‍රව්‍යයන්ගෙන් ය.

ජීවිතය කැඩුණු බිඳුණු පසු ඒ මූල ද්‍රව්‍ය බවට පෙරළේ.

යළිදු ජීවිත සංයෝගය හදා ගත හැක්කේ ඒ මූල ද්‍රව්‍යවලින් පමණකි.

සතුට
සැනසුම
මිහිර
යනුවෙන් හැඳින්වෙන්නේ අස්ථායි සංයෝග කීපයක් පමණි.

ඉතා සුළු කම්පනයකින් පවා ඒ සංයෝග බිඳී ගොස්
දුක් සුසුම්
සෝ තැවුල්
කනගාටුව
පරාජය
කඳුළු බිඳු
ඉකි බිඳුම්
යනාදී වූ
මූල ද්‍රව්‍යවලට පෙරළේ.


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න පඬිවදන-1: Nothing else to do today!

පඬිවදන-2: හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න?

තවත් කෙමිස්ට්‍රි කවියක්: http://kathandara.blogspot.com.au/2012/09/point-of-no-return.html

(image: http://www.bazaardesigns.com/6958-basic-nature-elements/)

Tuesday, 11 September 2012

ප්‍රොජෙක්ට් මීටිමේ දී ලියූ සංයුක්ත මෙව්වා එකක් - What a boring meeting!


සංයුක්ත කවි කියන ඒවා මං මුලින්ම දැක්කේ අජිත් තිලකසේන ගේ පොතකිනුයි. ඔය උඩින් තියෙන්නේ ඒවායින් එකක්.

මෑත කාලයේ දී බූන්දියෙන් අච්චු ගහපු අක්‍ෂර සෙනඟ පොතෙත් සංයුක්ත කවි කීපයක් ම පළකරළා තිබුණා.

අද සාහිත්‍ය මාසයේ මගේ කයි-කතන්දර ෂෙනාරය යටතේ මං පළකරන්නේ මං දැන් අවුරුදු තුනකට විතර කලින් හදපු සංයුක්ත කවියක්.

මේක හැදුණේ මාර බෝරිං ප්‍රොජෙක්ට් මීටිමක පැයක් වාත වෙන්න වෙච්ච වෙලාවකයි.



කලින් දවසක කියපු කතාවක් ආයේ කියනවා නම්, සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්නයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://dileepaj.blogspot.com.au/2012/02/blog-post.html)

Monday, 10 September 2012

ඒ ලෙවල් කරපු කාලේ කේස් එකක් - Point of no return?


මං ඒ ලෙවල් කරපු අවුරුද්දේ විභාග ප්‍රතිපල එන්නත් කලින් අපිට ඊලඟ විභාගෙට සෙට් වෙන්න වුණා. ඒක නං මහ එපාම කරපු වැඩක්.

අන්තිමේදී ඒ දෙවෙනි පාර කරපු දේවල්වලින් කිසිම වැඩක් නැතුව ගියා.

අපදාරේ!

ඒ මොනවා වුනත් අවුරුදු ගාණක් මහන්සි වෙලා, ඉස්කෝලේ ගිහින්, ටියුෂන් ගිහින්, ගණං හදලා, පොත් කියෝලා අන්තිමේදී විභාගේ ඉවර වුණාම නිකං ඩීටොක්ස් වුණා වගේ තමයි. ආපහු පුරුදු ජීවිතේට පුරුදු වෙන එකත් සෑහෙන්න අමාරු වැඩක්.

මෙන්න ඒ ගැන මං අවුරුදු දහ අටයි මාස හතරේ දී ලියපු කවියක්.

කළ නොහැකි පරිවර්තනයක්?

පාසලේදී ඉගෙන ගතිමි
ඔක්සිකරණ පරිවර්තන
ඔක්සිහරණ පරිවර්තන

වනපොත් කෙරුවෙමි දින දින
පරිවර්තන කරනා හැටි

මධ්‍යසාර අම්ල බවට
අම්ලය කීටෝන බවට
කීටෝනය පෙරලූවෙමි
යළිදු මධ්‍යසාර බවට

පීනෝලය ඇල්කොහොලෙට
ඇල්කොහොලය පීනෝලෙට
තුත්තනායගම් දමලා
ආපසු බෙන්සීන් බවට

සියළු දේම වනපොත් කර
විභාගයට ඒ ලිව්වෙමි
එතුවක් කල් සිතේ තිබුණු
සියළු දේම හිස් කෙරුවෙමි

පරිවර්තන ඉගෙන ගන්න
කලින් උන්නු මගේ තත්වෙට
මාවම පෙරළා ගන්නට
යාන්ත්‍රණය අමතක වී
ගොළු වීලා බලා හිඳිමි


(උසස් පෙළ විභාගය නිමවා ගන්ධබ්බ ජීවිතයක් ගතකරමින් සිටි කාලයේ ලියන ලදුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "සයදිනක සටහන් - වසන්ත පූර්ව නිර්මාණ සංග්‍රහය" කෘතියට අඩංගු කරන ලදී)

මෙන්න තවත් ඒ වගේ ඒ-ලෙවල් කාලේ කයියක්!
අවකලනය සහ අවනීතිය: http://kathandara.blogspot.com.au/2010/03/level.html

-කතන්තරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


(image: http://www.brilliantdreams.com/product/famous-dreams.htm)

Saturday, 8 September 2012

ඒ කාලේ අපි සහ මේ කාලේ චීන්නු - Oh, my goat!


ඔය උඩින් දාලා තියෙන පින්තුරේ මං මේ ඊයේ හවස බලපු පත්තරේක ගිය නිවුස් එකක්.

ඒකේ තියෙන්නේ ලොකු චීනේ ඉන්න චීන විස්ස විජ්ජාල කොල්ලන් කෙල්ලන් ගැන පුදුම හිතෙන කතන්දරයක්. උඩ ඉමේජ් එක පැහැදිලි නැති අයට සහ වැඩි විස්තර ඕනෑ අයට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවනි.

http://www.dailymail.co.uk/news/article-2199381/Chinese-students-break-university-night-grab-best-seats-days-lecture.html

අනිත් අයට මෙන්න සරල සිංහල අනුවර්තනයක්.

චීනයේ ෂැන්ඩොන් ප්‍රාන්තයේ තියෙන ෂින්ඩාවෝ විශ්ව විද්‍යාලයේ දේශනවලට එතන ඉගෙන ගන්න කොල්ලන්, කෙල්ලන් ගෙන් කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවාද කියනවා නම්, පහුවදා ලෙක්චර්ස්වලට හොඳ සීට් එකක් අල්ලා ගන්න සමහරු කලින් දවසේ රෑ එළිවෙන තුරු දොර ලඟ නිදාගන්නවා ලු.

ඒ අතරේ ඊටත් වඩා ගැට්ටක් තියෙන සෙට් එකක් ජනෙල් කඩාගෙන ඇතුලට පැනලා!

මේ නිවුස් අයිටම් එක දැකපු ගමන් මට මතක් වුනේ මං පේරාදෙනිය කම්මලේ හිටිය තුන්වෙනි අවුරුද්දේ ලියපු කවියක්.

තුන්වෙනි අවුරුද්ද ලබපු ගමන් මං හිතුවා සෙකන්ඩ් ඉයර් එකේ වගේ නැතුව හැම දේශනයකටම යනවාය කියලා. නමුත් විවිධ බාහිර වැඩ නිසා ලෙක්චර්ස් කට්වෙන්න පටන් ගත්තා. ඉතිං මං කෙරුවේ දිනපොතේ ඒ කට් වෙන ලෙක්චර්ස් ගාන ගණං තියන එකයි.

හැබැයි අන්තිමේදී එකතුව සීය පැන්නාම මං ඒ වැඩේ අත හැරලා දැම්මා!

මෙන්න ඒ කාලේ මං ලියපු සංයුක්ත කවියක්, මාතෘකාව දේශන.

සංයුක්ත කවි තියෙන්නේ ගායනා කරන්න, කියවන්න නොවෙයි, බලන්නයි. සංයුක්ත කවි ගැන දන්නේ නැති අය මේ සටහන බලන්න.

http://kathandara.blogspot.com.au/2011/10/composite-poetry.html


     දේශන

     .
     .
     .
     .
     .
     කළු ද?                                               
     .
     .
     .
     .
     .
     සුදු ද?
     .
     .
     .
     .
     
     



(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

Friday, 7 September 2012

චක්කරේ ආපහු මුල් තැනටම? - Back to square one!


දැන් අර අට ලෝ දහම කියන එක තියෙනවා නේද?

ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ ටිකයි.

සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංශා, යස, අයස කියන සෙට් එක එකක් පස්සේ එකක් අපිට සෙට් වෙනවා. හරියට අර කන්දකට පස්සේ පල්ලමක් එනවා වගේ.

කාලයක් ජොලියේ හිටියායින් පස්සේ මොකක් හරි වාත කේස් එකක සෙට් වෙලා චාටර් වෙන්න වෙනවාමයි. බැක් ටු ස්ක්ව්‍යා වන් කියන්නේ ඔන්න ඕකටයි.

හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි.

අන්න ඒකයි අද කතන්දරය.

මෙන්න අද කයිය.

ඉනික්බිතිව එළඹියේ වසන්තයයි

රුදුරු විලාසෙන් ගිණිගෙන දැවෙනා
කුරිරු ලෝකයෙන් පැන දුවනා සඳ
මියුරු සිනාවෙන් කෝල කතාවෙන්
සොඳුරු රුවෙන් යුතු ඔබ මුණ ගැසුණා

කුසුම් පිපී හිනැහුණු ඒ මොහොතේ
සිතුම් දහක් සිත පැන නැගුණා
පෙරුම් පුරා සිටි වදන් ගලද්දී
පැතුම් හදවතේ පිළිසිඳුණා


ඔය කෑලි දෙකම එකතු කළාම තමයි කයි-කතන්දරය හැදෙන්නේ.

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.fantasticfailures.com/?p=37)

Wednesday, 5 September 2012

ඇදුරුතුමාට තද වෙලා ලු! ඉතිං මට පාන් යැ? - Phone ethics


අපි කෝල් එකක් ගන්න අංක ඔබන කොට අපි දන්නවා කාටද මේ කතා කරන්නේ කියලා.

නමුත් කෝල් එක ලැබෙන කෙනාට කාගෙන්ද මේ කෝල් එක එන්නේ කියලා අපි කියන්නේ නැතුව දැනගන්න නම්:

-එක්කෝ, කෝල් එක එන්නේ මොබයිල් ෆෝන් එකකට ඇඩ්‍රස් පොතේ තියෙන කෙනෙකුගෙන් වෙන්න ඕනෑ
-නැත්තම්, ලෑන්ඩ් ලයින් එකේ කෝල් එක එන අංකය පෙන්වන පහසුකම තිබිලා අංකය අදුනා ගන්න හැකි වෙන්න ඕනෑ.

මෙහෙම නොවෙන අවස්ථාවලදී සහ විශේෂයෙන් ම අපේ හොඳම හිතවතෙකුට කතා කරන විට දී හැර තමන් කවුද කියලා හඳුන්වලා දීලා කතාව පටන් ගැනීම කෝල් එක ගත්තු කෙනා ගේ යුතුකමයි.

සමහරු ඉන්නවා කතාව පටන් ගන්නේ මෙහෙමයි.

"ආ, මේ මම කතා කරන්නේ, කොහොමද අර වැඩේ?"

හරියට අපිට දිවැස් තියෙනවා වාගේ.

තවත් සමහරු ගෙවල්වලට, ඔෆිස් එකට කෝල් කරලා කතාව පටන් ගන්නේම "ඔය කවුද කතා කරන්නේ?" කියලා අහලයි.

එහෙම නෙමෙයි, සාමාන්‍ය දුරකතන සදාචාරය තමයි, මගේ නම අහවලා, මං කතා කරන්නේ අහවල් තැන ඉඳලා, මේ අර අහවල් කාරණය ගැනයි කියලා විස්තර කරලා කතාව අරඹන එක.

එහෙම කළේ නැති වුණොත් කෝල් එකට උත්තර දෙන කෙනාට අයිතියක් තියෙනවා කවුද කතාකරන්නේ කියලා අහන්න.

ඕක සිංහලෙන් අහන්නේ නැතුව, ඔෆීසියකදී වගේ නං, "මේ අයි නෝ හූ ඊස් ස්පීකින් දෙයා ප්ලීස්?" කියලා ඇහැව්වාම වැඩේ ෂේප්.

ඔය සේරම කිව්වේ අද කතන්දරේට ප්‍රවිෂ්ඨයක් විදියටයි.

ඔන්න මං එක්තරා විශ්ව විද්‍යාල තිප්පොළක සේවය කරන කාලේ අපේ අංශයට තිබුණේ ටෙලිෆෝන් දෙකයි. එකක් ලොක්කා ගේ කාමරේ තිබුණා. අනෙක අපි සෙස්සන් ගේ චූටි, චූටි බාබර් සාප්පු කාමර තියෙන හරියේ මැදින් තියලා තිබුණා. මේ දෙකට ඉන්ටර්කොම්. පිටට කෝල් ගන්න ස්විච්බෝඩ් එකට කතා කරන්ණ ඕනෑ.

ඔන්න එක දවසක් හවස හතරහමාරට විතර ලොක්කාගේ ෆෝන් එකේ රිංග්ස් යන්න පටන් ගත්තා. ලොක්කා කොළඹ ගිහින් තාම ඇවිල්ලා නෑ. අනිත් සොක්කෝ ගෙවල්වලට ගිහින් වැඩ හමාර කරළා. මං විතරයි හිටියේ මුළු දෙපාර්තමේන්තුවේම.
ඉතිං මං ගිහින් කෝල් එකට ආන්සර් කළා.

මම: හලෝ
එහා පැත්තේ ඉන්න බූවා: හලෝ මුණවීර මහත්තයා ඉන්නවාද?
මම: මුණවීර මහත්තයා මේ වෙලාවේ නෑ
බූවා: මුණවීර මහත්තයා කීයටද එන්නේ?
මම: ඒක නං මං දන්නේ නෑ

දැනගත්තත් කියන්න මගේ අදහසක් තිබුණේ නෑ. මොකටද මේ නන්නාදුණන කෙනෙකුට බොසා ගේ යන එන විස්තර දෙන්නේ.

බූවා: කවුද ඔය කතා කරන්නේ?

යකෝ මේක හරි වැඩක් නේ? තමන් කවුද කියලා කියන්නේ නැතුව, අනුන්ගේ විස්තර අහන සිරිතක් තියෙනවද? මට ටිකක් තද වුණා!

මම: ඒක කියන්න ඉස්සෙල්ලා ඔය කවුද කතා කරන්නේ කියලා කිව්වා නං හොඳයි නේද?

"දඩාස්!"

ඒ තමයි එහා පැත්තෙන් කතා කරපු බූවාට තද වෙලා කෝල් එක කට් කරපු සද්දේ.

ඉතිං මට මොකද? මං මගේ බාබර් සාප්පුවට ගිහින් මගේ වැඩේ පටන් ගත්තා.

ටික වෙලාවකට පස්සේ තමයි මට මීටර් වුනේ, ඒ කවුද කතා කළේ, ඇයි පොරට මගේ ඒ ප්‍රශ්නයට එච්චර තද වුනේ කියලා.

ඒ කතා කරළා තියෙන්නේ අපේ ඇදුරුතුමෙක්.
නිකම්ම නිකං ඇදුරෙක් නොවෙයි මහැදුරෙක්.
නිකම්ම නිකං මහැදුරෙක් නොවෙයි අපේ උපකුලපති මහැදුරු මාරපනකාරයා!

පොර ගේ විස්ස විජ්ජාල නිල වාහනයේ අපේ ලොක්කාවත් ගෙදර එක්කරගෙන එන්න සෙට් වෙන්නයි ඒ කතා කරළා තියෙන්නේ.

පොර ගේ කට හඬින් මං ඒ කවුද කියලා අඳුණාගන්නේ නැතුව පොරට තව ෆෝන් එතික්ස් මතක් කරළා දුන්නු එකට තමයි අර තද වෙලා තියෙන්නේ.

ඉතිං මට පාන් යැ?

-කතන්දරකාරයා

ප/ලි:
ඔය "ඉතිං මට පාන් යැ?" කෑල්ල මං අහුලා ගත්තේ සමනල විප්ලවය බ්ලොග් එකෙන්.


(image: http://www.gingerchai.com/2011/11/23/tring-tring-who-is-calling/)

Tuesday, 4 September 2012

කවියෙන් පණිවිඩ ඇරීම - Message in a Poem


කවියෙන් පණිවිඩ අරිනවා කියන එක මේ අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි.

කාලිදාස කියන ඉන්දියානු කවියා තමන්ගේ පෙම්වතියට ශෝක පණිවිඩයක් යවලා තියෙන්නේ මේඝ දූතය කියන කාව්‍ය නිර්මාණයෙන්. පණිවිඩකරුවා වලාකුළක්.

හංස, ගිරා, සැළලිහිණි වගේ සිංහල සංදේශ කාව්‍ය ලියවෙලා තියෙන්නේත් එක එකාට පණිවිඩ අරින්නයි සත්තු අතේ.

"දිලීප පොඩි පුතු" ගේ තාත්තා කරුණාරත්න අබේසේකර, දිලීපලැයි අම්මට පණිවිඩයක් යවලා තියෙන්නේත් සින්දුවකින්, ඒ සින්දුව තමයි "එන්න මදනලේ - ගොස් පවසන්න දුක මගේ".

එහෙව් එකේ අපිටත් නරකද පණිවිඩයක් යවන්න කවියකින්. හැබැයි ඉතිං අපිට කොහෙන්ද ඔය සොෆිස්ටිකේටඩ් දූතයෝ? නිකම්ම කවිය ලියලා ප්‍රදර්ශනයක කරනවා මිසක්.

ආයාචනයක්

අඩිතාලම සවි නොවූ නිසාවෙන්
අකලට වියැකී ගරා වැටී ගිය
ප්‍රථම ප්‍රේමයේ නටඹුන් අබියස
තවමත් මුනිවත රකින ළඳේ

හැරදා මිය ගිය අතීත සැමරුම්
හද පාරවනා සිත පාරවනා
ඔබේ ආදරය අයැදින හදකට
ලැගුම් දෙනු මැනවි ඔබේ හදේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


(image: http://www.indianetzone.com/36/kalidasa_indian_litterateur.htm)

Sunday, 2 September 2012

අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day


විවිධ හේතු නිසා අද මට මගේ තාත්තාව සිහිවුණා. පුතාගෙනුත්, දුවගෙනුත් ආදරය සමග තෑගි, උම්මා සහ කඩ්ල්ස් ලැබීම එයින් එක හේතුවක්.

ලෝකේ සදාකාලික පොදු නියමයක් තමයි අපේ තාත්තලා ගේ පරම්පරාව අපිට වඩා වෙනස් ය කියන එක. ඒක අපේ තාත්තලාට, අපිට වගේම අපේ දරුවන්ටත් පොදු දෙයක්.

අපේ තාත්තලා ළමයින්ට ඇති ආදරය පෙන්නුවේ උම්මා දීලා, බදා ගෙන කඩ්ල්ස් දීලා, හුරතල් කරලා නෙමෙයි.

දුරින් ඉඳලා, හිනාවකින් සංග්‍රහ කරලා, ඔළුව අත ගාලා, හොඳයි කියලා වගේ සරල දේවලින් තමයි ඒ පරම්පරාවේ අය දරුවන්ට තමන්ගේ ආදරය පෙන්නුවේ.

පොඩි කාලේ තාත්තා ගේ සරමේ ඔන්චිල්ලා පැද්දාට පස්සේ මං තාත්තාට තුරුළු වෙලා හිටිය දවසක් මට මතක නෑ.

මං හිතන්නේ කාලයත් එක්කම සේරම වෙනස් වෙනවා. අපේ පරම්පරාවේ තාත්තලා ඊට වෙනස්.

තාත්තා ගැන මං කතන්දර කීපයක්ම ලියල තියෙනවා, නමුත් ඒවායින් වැඩි හරියක් දුකෙන් ලියපු ඒවා.

මෙන්න පොඩ්ඩක් හරි ජොලියක් තියෙන එකම කතාවට පාර.
http://kathandara.blogspot.com.au/2009/11/blog-post_11.html

තාත්තා ගැන සඳහන් වෙන ඉතාමත් පැරණි සින්දුවක නව ගායනයක් අද අහන්න ලැබුණා. මේ පෝස්ට් එක ලියවෙන්නේ ඒ සින්දුව හින්දායි.

මේ සින්දුව අක්කයි, නංගියි අතර දෙබසක්. අන්තිමේ දී තාත්තාත් සම්බන්ධ වෙනවා.

මෙන්න ගී පද.

පුංචී නංගී එයි දැන් තාත්ත අපේ
පුංචී නංගී එයි දැන් තාත්ත අපේ
ඔව් අක්කේ ඇත්තක්මයි කිව්වේ
ඔව් අක්කේ ඇත්තක්මයි කිව්වේ
අර එන්නේ තාත්තා අපේ
පුංචී නංගී එයි දැන් තාත්ත අපේ

ටොෆී සීනි බෝල චොකලට් තාත්තා අතේ තිබේ
ටොෆී සීනි බෝල චොකලට් තාත්තා අතේ තිබේ
හා, හා මගෙ හොඳ අක්කට චොකලට් තමයි අගේ
හා, හා මගෙ හොඳ අක්කට චොකලට් තමයි අගේ
ඇයි පුංචි නංගි කළබළ තාත්ත මෙ ආවනේ
ඇයි පුංචි නංගි කළබළ තාත්ත මෙ ආවනේ
ටොෆි සීනි බෝල ඉල්ලගන්න නොකර කරදරේ
ටොෆි සීනි බෝල ඉල්ල ගන්න නොකර කරදරේ

මාගෙ දෝනී අක්කට සහා අයියට දෙන්න පංගුවක් ඔයින්
මාගෙ දෝනී අක්කට සහා අයියට දෙන්න පංගුවක් ඔයින්

අම්ම ගැහැව්ව තාත්ත මට
කාරි නැ දූට අම්ම ආදරෙයි
අම්ම ගැහැව්ව තාත්ත මට
කාරි නැ දූට අම්ම ආදරෙයි

ආල පාන තාත්තාට දිගායු හා හැම සැපත්වෙවා
ආල පාන තාත්තාට දිගායු හා හැම සැපත්වෙවා
හා එන්න එන්න නංගී තාත්තාට වඳින්න

වුද්ධිකාරෝ අලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජ මජ්ඣං සුපතිට්ඨං
පීතුපාදං නමාමහං

වුද්ධිකාරෝ අලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජ මජ්ඣං සුපතිට්ඨං
පීතුපාදං නමාමහං

සාදු, සාදු!

මේ සින්දුවේ ට්‍රැක් එක ක් ලැබුණු වහාම මෙතනට දාන්නම් හද ගී පොත ලියන තිස්ස දොඩංගොඩ ගේ උදව්වෙන් මෙන්න දැම්මා.



-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරය මගේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා ප්‍රයාමයේ තවත් එක පියවරකි.

Saturday, 1 September 2012

කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!


ලිට්රේචර් කියලා කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් මාර සිරා ගේම් එකක් තියෙනවා, කවුද දන්නේ? මේක දිනන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනෑ. අන්තිමට මං ලිට්රේචර් සෙල්ලං කෙරුවේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර දවසකයි.

හැබැයි අපි සාමාන්‍යයෙන් ලිච්රේචර් කියන්නේ සාහිත්‍යයට නේ. අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට සාහිත්‍යය වෙනනම විෂයයක් විදියට ඉගෙන ගන්න නොලැබුනත්, දෙකේ පන්තියේ පොතේ තිබුණු ඩෙංකුටු පෙරහැර කවිය, තුනේ හතරේ පහේ පන්තිවල පද්‍යා රසය පොත්, පහේ පොතේ තිබුණු සුබලයා ගේ පින කතාව වගේ ඒවායින් අපේ සාහිත්‍යය ගැන ඇල්ම ඇතිවුණාය කියලා හිතෙනවා.

අද සිට ඇරඹෙන සැප්තැම්බරය අපේ රටේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදියටයි පනස් ගණංවල ඉඳලා. ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පටන් ගත්තා "කයි-කතන්දර" කියලා අළුත් ෂෙනාරයක කතන්දර පල කරන්න.

ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.

අන්තිමේදි මට මේ කයි-කතන්දර කොච්චර නැගලා ගියාද කියනවා නං, අපේ ඔබාමා දැන් සැප්තැම්බර් ඉවරයි, ඔක්තෝම්බර් උදාවුණා කියලා මට දැනුම් දෙන තුරුම මං කයි කතන්දර දාගෙන ගියා.

ගිය අවුරුද්දේ කයි-කතන්දර විදියට මං දැම්මේ මං පේරාදෙනිය තිප්පොලේ හිටිය මුල් අවුරුදු දෙකේ ලියපු කවි ටිකයි.

මේ අවුරුද්දේ හිතන් ඉන්නේ තුන්වන සහ හතරවෙනි අවුරුදු දෙකේ ලියපු කවි ඇතුලත් කරලා කයි-කතන්දර ගොතන්නයි.

කවි ලියනවා ගැන කිව්වාම මට මතක් වුනා මං පරණ ශ්‍රී සඟරාවක කියවපු කතන්දරයක්.

ඔන්න යාළුවෝ හතර දෙනෙක් ගමණක් යනවාලු. මේ අය ඉස්සරහින් ඇවිත් තියෙනවා කකුලක් නැති මනුස්සයෙක්.

අපේ සදාචාරය අනුව මේ වගේ අය කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ "කොටා" කියන සුරතල් නාමයෙන්. මේ හතර දෙනා දැකලා මේ කොටා පාර තිබුණු වලක වැටෙනවා.

දැන් ඉතිං මොකද කරන්න තියෙන හොඳම දේ?

ඔව්, අන්න ඒක තමයි!

යාළුවෝ හතර දෙනා කතා වුණා අපි මේ සිද්ධිය ගැන කවියක් කියමුය කියලා.

ඔන්න එකෙක් පටන් ගත්තා,

    එක දවසක් කොටා

දෙවෙනියාත් එකතු වුණා,

    ගමනක් යන කලටා

තුන් වෙනියා ගේ වාරය,

    වැටුණි ඌ වලටා

දැන් අන්තිමයා ගේ වාරය, නමුත් ඉතිං මුළු සිද්ධියම කවි පද තුනෙන් කියවිලා ඉවරයි.

ඒ කියලා කවිය සම්පුර්ණ වෙන්නේ නෑ නේ පද හතරක් නැතුව. පොරත් අත ඇරියේ නෑ. අන්තිම පදේ එකතු කළා මෙන්න මෙහෙම.

    හුටා!

දැන් මෙන්න ඒ අසහාය සාහිත්‍ය නිර්මාණය සම්පූර්ණයෙන්ම.

එක දවසක් කොටා
ගමනක් යන කලටා
වැටුණි ඌ වලටා
හුටා!


-කතන්දරකාරයා

ප/ලි:
මං ආපහු කයි-කතන්දර ලියනවාය කියලා දැක්කාම සමහරුන්ට ඔය අන්තිම පදේ කියවෙන්න ඉඩ තියෙනවා.


(image: http://www.lakehousebookshop.com/pdesc.php?id=599)