Wednesday 11 April 2012

පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records


මව් පාර්ශවයේ මුත්තණුවන්ගෙන් කතන්දරකාරයාට හිමි වූ මහා බලසම්පන්න, මහා අනුහස් සහිත නවරත්න මුදු රාජයා ගැන කතන්දරය කියවූ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ තොමෝ "කතී, ඔයාට ඔයාගේ තාත්තාගේ පරම්පරාවෙන් ලැබුණු උදැල්ල ගැනත් ලියන්නකෝ, ඩාල්!" යැයි මගෙන් ඉල්ලා සිටියහ.

එතුමිය ගේ ඉල්ලීමක් කෙලෙසක නම් මංතුමා පැහැර හරින්නද?

එනිසා මෙසේ ලියමි.

මේ කියන උදැල්ල එසේ මෙසේ එකක් නොවේ. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික භාණ්ඩයකි. කොටින්ම අර කැවුතුකාගාරයෙන් සුදුවෑන්කරණය වුණු කඩු වෙනුවට එතැන තියන්නට පවා හොඳ එකකි.

මේ උදැල්ල මිලට ගන්නා ලද්දේ මගේ පිය පාරශවයේ සීයා විසින් මින් අවුරුදු සීයකට පමණ පෙර දිනයක බව මා අසා ඇත. ඒ එංගල්තයේ ෂෙෆීල්ඩ් නගරයේ පිහිටා තිබූ මහා කම්මලක නිපදවන ලද කිඹුලා ලකුණ දරණ මහානර්ඝ උදළු තලය සඳහා මිට කපා ගන්නා ලද්දේ එවකට බද්දට දී තිබූ නිසා බදුවත්ත නමින් හැඳින්වුණු අක්කර දෙකහමාරක පමණ ඉඩමේ කොනක පිහිටි ගසකිනි.

සීයා කලෙක රජයේ සේවයේ යෙදුනද, පසුව ඉන් අස්වී ගමට විත් ගොවිතැන් කර තම ජීවිකාව සපයා ගත්තේය. සීයාගේ ගොවිතැන වූයේ බුලත්ය. කුඹුරු කරන ලද්දේ ආච්චී විසිනි.

සීයා විසින් තම බුලත් වගාව සඳහා භාවිතාකරන ලද මේ උදැල්ල ඔහු මිලදී ගත් දිනයෙන් වසර පනහකට පමණ පසුව අපේ තාත්තාට හිමිවිය.

තාත්තා නම් කිසිදු ගොවිතැනක් කළ අයෙක් නොවේ. නමුත් ඔහු සති කිහිපයකට වරක් මේ උදැල්ලෙන් මිදුලේ තණකොල කපා දැම්මේය. අපේ ගෙවත්තේ බතල සහ මයියොක්කා යනාදිය හිටවීම සඳහා අම්මා ද මේ උදැල්ල භාවිතා කරනවා මා දැක ඇත.

තාත්තා ගේ ලොකු පුතා වශයෙන් මේ උදැල්ල දැන් හිමි මංතුමාටයි.

මං කරන ගොවිතැනක් නැත. තණකොල කපනවා වෙනුවට වවමි. නමුත් විටින් විට මට මේ උදැල්ලෙන් විවිධ ප්‍රයෝජන තිබේ. ඒ මල් පාත්ති සැකසීමටය.

මගෙන් පසුව මේ උදැල්ලේ හිමිකරුවන්නේ මගේ දහ හැවිරිදි පුත්‍ර රත්නයයි.

කොල්ලා නං තවම මේ උදැල්ල උස්සා බලාවත් නැත. නමුදු, තම පිය පාර්ශවයෙන් තමන්ට හිමිවන්නට නියමිත මේ ඓතිහාසික උදළු රාජයා මගේ පුතා විසින් මගේ මුණුපුරෙකුටද මතු දිනයක උරුම කර දෙන බවට මට කිසි සැකයක් නැත.

මේ අරුම පුදුම උදැල්ල කැවුතුකාගාරයේ තියන්නට පවා සුදුසු ඓතිහාසික උදැල්ලක් බව මා මුලින්ම කිව්වේ ඒ නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
මෙතරම් කලක් මේ උදැල්ල පැවතීමට හේතුව නම් මගේ සීයා ද, තාත්තා ද, මා ද මේ පාරම්පරික වස්තුව මනාව නඩත්තුකරමින් රැක බලාගැනීමයි.

මගේ සීයා මේ උදැල්ලේ තලය ගෙවෙන හැමවරකම අළුත් ම අළුත් කිඹුලා ලකුණ දරණ උදළු තලයක් යොදා උදැල්ලේ නඩත්තු කටයුතු කළේය. උදළු මිට කැඩුණු හැම වරකදීම වත්ත පල්ලෙහා ගසකින් කපා ගන්නා ලද ඉස්තරම් මිටක් ඒ සඳහා යෙදීය.

තාත්තා නං පාවිච්චි කලේ එංගල්නතයේ ෂෙෆීල්ඩ්හි සාදන ලද කිඹුලා ලකුණ දරණ උදළු තල නොවේ. යක්කල නිපදවූ ලංලෝ ලකුණ දරණ ලද උදළු තලය. උදළු මිට නම් එක් වරක් පමණ වත්තෙන්ම සපයාගන්නා නමුත් පසුව ගනේමුල්ලේ කඩේකින් ගෙන එන ලදී.

මංතුමා නං මේ ලඟදී යෙදුවේ වත්තේ ගසකින් කපාගන්නා ලද මිටකි. උදළු තලය නම් අපේ සදාකාලික පාපමිතුරු දේශය වන කොණ්ඩේ බැඳපු රටෙන් ආනයනය කරන ලද්දකි.

(image: http://www4.schoolnet.lk/edusoft/agriculture/grade-12_13/more.php?sub=Mamoty&main=main7)

29 comments:

  1. පලි කෑල්ලෙ අන්තිම ඡේද තුනෙන් අපූරුම අපූරු කතාවක් කියැවෙනවා නොවැ..

    ReplyDelete
  2. Replies
    1. අයියෝ බුරාට දෙවෙනි වෙලා නේ!
      ----දැන්වීමකි-----
      මිත්‍රවරුනි, මම ප්‍රහේලිකාවක් හැදුව.වෙලාව තියෙනව නම් විසඳන්න බලන්න.
      http://meeghaya.wordpress.com/2012/04/10/%E0%B6%B8%E0%B7%9A%E0%B6%9D%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%9A/

      Delete
  3. මේක නම් එසේ මෙසේ උදැල්ලක් නොවෙන බව නම් බැලු බැල්මට පේනවා. රක්ෂණයක් කාරිය ගත්තේ නැද්ද? මම කීවේ උදැල්ලට. :D

    ReplyDelete
  4. "මගේ සීයා මේ උදැල්ලේ තලය ගෙවෙන හැමවරකම අළුත් ම අළුත් කිඹුලා ලකුණ දරණ උදළු තලයක් යොදා උදැල්ලේ නඩත්තු කටයුතු කළේය. උදළු මිට කැඩුණු හැම වරකදීම වත්ත පල්ලෙහා ගසකින් කපා ගන්නා ලද ඉස්තරම් මිටක් ඒ සඳහා යෙදීය."

    හික්...හික්..

    ReplyDelete
  5. ඓතිහාසික උදැල්ලක් නම් මෙහෙම තොරතුරු දාන එක හරි නෑ. අහවලා දැක්ක නම් ඉස්සුවා. බිලි පූජාවක් කරන්නලුනෙ. කඩුව මොකද උදැල්ල මොකද?

    ReplyDelete
    Replies
    1. අනේ මචං අහිංසක මාව අල්ලගන්න එපා ඔය වැඩ වලට... උදැල්ල ඕනෙ නම් මං කකාගෙන් ඉල්ලගන්නව නෙ.. :D

      Delete
    2. ඒ වට ගන්නේ රජවරුන්ගේ කඩු මිසක් හුදී ජනතාවගේ උදලු නෙවෙයි (ඒකාලේ රජවරුත් යටත් වැසියන්ට වවාගෙන කාපන් කියලා ,උන් දුක් මහන්සියෙන් වවන එකෙන් කොටහක් අරන් භාණ්ඩාගාර පුරවපු එකේ රජවරු ගාව කොයින්ද උදලු )

      ඒ නිසා කකා ට උදැල්ල ගැන නම් බය වෙන්න දෙයක් නැ

      Delete
  6. මං හිතුව. අර පිහියකුත් තිබුනලුනෙ ඔය විදියෙ.

    ReplyDelete
  7. හොඳ වෙලාවට පලිය දැම්මෙ, නැත්නං අද රෑට ගෙදෙට්ට හොරු පනිනව ෂුවර්.

    ReplyDelete
  8. උදැල්ල මෙච්චර කලක් පැවතීමේ රහස මේකද කියල අහන්න එද්දී ඒක ප.ලි යේ දාල!

    ReplyDelete
  9. කතන්දරේ ඔය උදැල්ල අලුත් කරන සීන් එක නම් සෑහෙන පරණ විහිලු කතාවක්. මම අහලා තියෙන්නෙ ආර්. එල්. ස්පිට්ල් දොස්තර මහත්තයාගෙ වර්ෂන් එක. (බෞද්ධාලෝක මාවතේ තිබුණ එතුමාගෙ ගෙදර වත්තෙ පාවිච්චි කරපු උදැල්ල ගැන)

    හැබැයි කතන්දර උන්නැහේ ලස්සනට ඒක තමන්ගෙ උදැල්ලට ගලපලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ප.ලි කොටසෙන් කතාව කියපු හැටි සිරා! ඒක කිව්වෙ නැත්තම් ඔය උදැල්ල අද රෑම හොරු උස්සනවා ෂුවර්!

      Delete
    2. මම මේ කතාව මුලින්ම ඇහුවේ අමරසෝම සමරක්කොඩි ගේ ගුවන්විදුලි නාට්‍යයක.

      Delete
  10. එහෙනං ඒකයි රහස ඈ...

    ReplyDelete
  11. අවුරුදු සීයක් පරණ උදැල්ල බිත්තියේ එල්ලලා මල් පූජා කරමින් හිටියද කියල අහන්න හිතනකොටම ප.ලි. දැකීමෙන් යථා තත්වය අවබෝධ කර ගත්තෙමි.
    සමහර අය වාහන මිලට ගන්නේද ඔය කෙරේමටමය. එහෙත්, අපි කළොත් ඒවා ගස් යන වැඩ ය.

    ReplyDelete
  12. එතකොට කතී කතාට ආමන්ත්‍රණය කොරන්නේ පරිප්පුවා (ඩාල්) කියලද. එතකොට පුරුෂාධිපත්තෙද මොකක්ද එකට අප්ෂෙට් නේද. උදැල්ල මේන්ටේන් කොරන එක බොහොම හොඳය, කුඹුරේ කොටන්නේ උදැල්ලෙන් නිසාය

    ReplyDelete
  13. ප.ලි.යෙන් ලස්සන කතාවක් කියවෙනව නේද?????

    ප.ලි.
    පරිප්පුවා ???? හැක් හැක්

    ReplyDelete
  14. පලි කොටසේ වැදගත්කම වටහා ගතිමි!

    ReplyDelete
  15. අපේ ගෙදර නම් හද්ද පරන දේවල් එමට තියනවා . මම ඒවා කීවොත් ක.කා.ට ඇපත් නෑ . වැඩිය ඕන්නෑ මම එක උදාහණයක් ගන්නම්

    අපේ වැසිකිලි වල දැන් පරම් පරා පහක් තිස්සේ භාවිතයට ගන්නවා . තාම පිරුනේ නෑ . !

    ReplyDelete
    Replies
    1. කකාගෙ වැසිකිළි වලත් 2009 ජූලි මාසෙ ඉඳන් පුරවන්න පටන් ගත්තත් තාම පිරිල නෑ. :-)

      Delete
  16. දැන් මේවා මෙහෙම ලියලා හදිසියේ උදැල්ල අතුරුදන් උනොත් අර කඩු වගේ අපි කියමු ඔබාමගේ වත්ත සුද්ද කරන්න ගෙනිච්චා කියලා..

    ReplyDelete
  17. ලොල් අපරාදෙනේ බ්ලොගයට දැම්මේ.

    ReplyDelete
  18. 'උදැල්ල දානවා' කියන එකත් මතක් උනා

    ReplyDelete
  19. මේක යකාගෙ උදැල්ලක්නෙ බොල........

    ReplyDelete
  20. Kasu, Please check your spam folder for my comment. My comments have a tendency to go to spam folder even after being punished. Thanks dude.

    henryblogwalker the Dude

    ReplyDelete
  21. එතකොට ආච්චි තනියෙන්මද කුඹුර කොටා ගත්තෙ..? වෙන්න බෑ... සමහරවිට සීය පැංසොං ගියාටපස්සෙ වෙන්ටෑ....?

    X-Porter

    ReplyDelete
  22. හ්ම්.අපේ ගෙදරත් ඉස්සර තිබුන ඔන්න ඔහොම රජ කාලෙ පොරවක්...අහ් තව මොකක්ද හැරමිටියකුත්.....

    ReplyDelete
  23. කතාව පරණ එකක් උනාට ලස්සනට රේන්ද අල්ලලා.ඔබ හරිම දක්ෂයි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.