Thursday 3 February 2011

රුපියල් පහේ කාසියේ බලයෙන් පිටරට සවාරියක්...!!!


මේ කතන්දරේ මගේ සිහියට ආවේ පෙරේදා තුට්ටු දෙකේ කතාවක් පබ්ලිෂ් කරන වෙලාවෙයි.

තුට්ටු දෙකේ කතන්දරේ දී මං ඇහැව්වේ, මං පොඩි කාලේ ලංකාවේ භාවිතයේ තිබුණු 'හරි හතරැස් නමුත් කොන් රවුම් හැඩයේ' ශත පහේ කාසිය හින්දා 'ශත පහ' කියලා සුරතල් නමක් වැටිල තිබුණු මගේ මිත්තරයා වගේ උන්ට, දැන් ඒ ජාතියේ ශත පහක් බේතකටවත් හොයා ගන්න නැති කාලයේ,මොන නම දාන්නද කියලයි.

මේකට හොඳම උත්තරේ දීලා තිබුනේ 'බීට්ල්'. මූණ හතරුස් උන්ට 'අයි-පෑඩ්' කියලා නම දාන්නයි ඒ යෝජනාව. හැබැයි, ඒක හරියන්නේ මූණ හතරැස් වුණාට ටිකක් විතර දිග උන්ට විතරයි.

එදා කියපු විදියට අපි පොඩි කාලේ තිබුණු, ශතේ, දෙකේ, පහේ, දහයේ කාසි ක්‍රමක්‍රමයෙන් අභාවයට ගියාට පස්සේ, අපි අතරට ආවා රුපියල් දෙකේ සහ පහේ ඒවා.

මේ අළුත් කාසි දෙකෙන් රුපියල් පහේ කාසිය තමයි මගේ හිතට හොඳට අල්ලලා ගියේ. පොඩියි, බරයි, ඝණකමයි, හොඳ ප්‍රමිතියක් තියෙනවා කියලා හිතුණා. අනික ඒක ලස්සන තඹ පාටකින් තමයි හදලා තිබුනේ.

හැබැයි ඉතිං, රුපියල් පහේ කාසි වලට ආස වුණා කියලා ඒ දවස්වල කරන්න දෙයක් තිබුනේ නෑ. ගෙදරින් දෙන ගාන හූල්ල, හූල්ලා වියදම් කරනවා මිසක. නමුත්, පස්සෙන් පහු තිප්පොලේ දඬුවම ගෙවිලා ජොබ් කට්ටකට පැන ගන්න ලැබුණට පස්සේ ඒ සේරම වෙනස් වුණා.

මං පටන් ගත්තා අර ලස්සන තඹ පාට රුපියල් පහේ කාසි එකතු කරන්න.

කඩේකින් හරි, බස් එකකින් හරි, රුපියල් පහේ කාසියක් අතට ආපු ගමන් කරන්නේ පොකැට් එකේ දාගෙන ඉඳලා, නවාතැනට ගිය ගමන් ඒක ලාච්චුවට දානවා. අතට ආපු එකම රුපියල් පහේ කාසියක්වත් වියදම් කලේ නෑ!

මේ දවස්වල අපිට පඩි ලැබුනේ අතට. ලියුම් කවරෙක දාලා. ඒකේ උඩ නම ලියලා. මාසේ විසිපස් වෙනිදට පඩි පැකට් එක අරගෙන සාක්කුවට දා ගන්නවා, ඊ-ලඟ මාසේ පඩිය ලැබෙන කල් ඒක වියදම් කරනවා.

තනිකඩ ජීවිතේ නේ.

මට පොඩි කාලේ තැපැල් කන්තෝරුවෙන් ගත්තු ජාතික ඉතිරිකිරීමේ බැංකු පොත හැර වෙන බැංකු ගිනුම් තිබුණෙත් නෑ. ඒ පොත තිබුණෙත් අම්ම ගාව. දහඅට පැන්න ගමන් ගිහින් ඒකෙ තිබුණු සල්ලි අරගෙන කලිසම් දෙකක් මැහැව්ව හින්දා ඒකෙ ඉතුරුවෙලා තිබුනේ රුපියල් දහයයි මට මතක විදියට. ඉතිං බැංකු එක්ක මගේ ආශ්‍රයක් තිබ්බේ නෑ.

ඉතිං, මේ මාසේ පඩිය එන කොට පහුගිය මාසේ පඩි පැකට් එක ඉවර වෙන විදියටයි වියදම් කලේ. කෑමට, බීමට, ගමනට, මාසෙකට පාරක් ගෙදර යනකොට බඩු අරං යන්න, පොත් ගන්න, මූවීස් බලන්න. අම්මටයි, මල්ලිල දෙන්නට ත් පඩියෙන් කාලකට වැඩියෙන් දුන්නා.

ඔන්න බොලේ ඔය අතරේ මට අර හැමදාම කියල, කියල එපා වෙලා තියෙන පස්තාච්චි කුපාඩි වැඩේට යන්න සෙට් වුණා.

මගේ සිස්සස්සේ කොටසක් විදියට, ප්ලේන් ටිකට් එක ලැබෙනවා. එහේ ඉන්න මාසෙකට පාරක් බාට් වලින් පඩිත් දෙනවාය කියලා තිබුණා. ඒත් ඉතිං, ඒ සල්ලි හම්බ වෙනකං දවසක් දෙකක් ජීවත් වෙන්නත් ඕනැ. ඒකට ඩොලර් කීපයක් බැංකුවකින් ගන්න ඕනැ වුණා. අළුතින් ඇඳුම් ගන්න නං ඕනැ වුනේ නෑ. එහෙ ගිහිල්ලා ෆොරීන් බඩු ගන්න පුළුවන් නේ. නමුත් තියෙන ඇඳුම් ටික දාගෙන යන්න හරි හමං ට්‍රැවලින් බෑග් එකක් වත් තිබුනේ නෑ.

මේ සේරම කරන්න ඒ මාසේ හම්බ වෙන පඩිය මදි. ඉස්සර වගේ ගෙදරින් ඉල්ලන්නත් බෑනේ. දැන් තිප්පොලෙන් කැපිලත් අවුරුදු දෙක හමාරක් වෙලා!

ඔන්න මගේ සිහියට ආවේ මගේ රුපියල් පහේ කාසි එකතුව. ගැනල බැලින්නං, බුදු අම්මෝ මාසේ පඩිය විතර ගාණක් එතන තිබුණා.

ඒක දැකපු මගේ මූණ රුපියල් පහේ කාසියක් වගේ වෙන්න ඇති.

ඒ සල්ලි වලින් හොඳ රෝද තියෙන ට්‍රැවලින් බෑග් එකක් ගත්තා විතරක් නෙමේ, සතියක් විතර ජීවත් වෙන්න ඩොලර් ගන්නත් එතන සල්ලි තිබුණා.

අන්න බලන්න රුපියල් පහේ වටිනාකම!

-කතන්දරකාරයා

ප/ලි
මේ කතන්දරේ කියවපු අළුත ජොබ් වලට ගිය, තනිකඩ කොල්ලන් ට කෙල්ලන් ට මං දෙන අවවාදය මේකයි.

දැන් ඔය ලඟදී ම එනවාය කියනවා නේද, අළුතින් රුපියල් පන්දාහේ නෝට්ටු?

ඒවා ආපු දා ඉඳලා, අතට එන එක පන්දාහේ කොලයක් වත් වියදම් කරන්න එපා. කෙලින්ම දාන්න බැංකුවේ ලාච්චුවට!

ඔබට ආශ්චර්යමත්, සුභ අනාගතයක් ලැබෙනවා සිකුරුයි!

32 comments:

  1. මටත් කාලයක් තිබුනනෙ ඔය පහේ කාසි එකතු කරන පිස්සුවක්.. :)

    ReplyDelete
  2. කතාව කියවගන ගිහින් ඉවර උනාම හිතුනා තව ටිකක් කියවන්න තිබුනානම් හොඳයි කියලා.

    කතන්දර බඳින්න කලින් හොඳ ලමයෙක් නේද? ඒත් රුපියල් පහේ ඒවා එකතු කලා කීවට පඩිය කීයද කියලා තිබුනේ නෑනේ.

    ReplyDelete
  3. ඔහෙ හිටු..මාත් ඔය පහේ කැළි ටිකක් ගැන කියන්න කට හදාගෙන උන්නේ..අදම බැරි වෙයි..හැබැයි පිළි වෙලට කියන කොට හෙට නැත්තං අනිද්දා ඒ කොටහා කියන්න ලැඛෙයි..

    ReplyDelete
  4. මගුලක් කථාකරනව, එතකොට පඩියම ලාච්චුවට දාලා නෙව.....

    ඔහොම එකවුන්ට් එකක් තියෙනව මගෙත්, පොඩි දුරාචාර වැඩකට පිළියමක් හැටියට. ඒත් ඉතින් උද්ධමනයේ මිලත් එක්ක හිස් වෙනවා බලං ඉන්දැද්දි.... සමහර කාලෙට ඍන...

    ReplyDelete
  5. අදහසනම් හොඳයි කතන්දර. ඒත් ඉතින් මාසේ ඉතිරි ටික ගෙවන එකයි ප්‍රශ්නේ...
    සුභ දවසක්..

    ReplyDelete
  6. පහුගිය දවස්වල මමත් "එකේ" කාසි කැටයකට දාලා එකතුකරා. බැලුවම ඒකෙත් ලොකු ගානක් තිබ්බා.අර අභය දාන පිංකමට ගත්තෙත් ඒ සල්ලි වලින් කොටසක් තමයි.
    හැබැයි එකේ කාසි කිව්වෙ " දිරාම් එකේ" කාසි!!!

    ReplyDelete
  7. අර රුපියල් පහේ එව්වයින් කතන්දර අච්චර දේවල් කලා නං කැමති කෙනෙක්ට මුන්නැහේගෙ වයස හොයාගන්න බැරිවෙන එකක් නෑ. හැබැයි අර පන්දාහෙ නෝට්‍ටු වැඩේ නං එලම කිරි. මං බලං ඉන්නෙ එලියට දානකං රාජපක්ෂ උන්නැහේ.

    ReplyDelete
  8. මට මතකයි ඔය රත්තරන් පාට පගේ කාසිය ආපු කාලේ. කසු වගේ කට්ටිය ඕක විනෝදාංශයක් විදිහට එකතු කරපු කිරිල්ලට පහේ කාසියක් බේතකටවත් හොයාගන්න බැරි උනා ඒ කාලේ, මොකද හැම එක්කෙනාම මේව වියදම් කරන්නෙ නැතිව එකතු කරන හින්දා.

    ඒ දවස්වල කතාවකුත් පැතිරුනා වගේ මතකයි, ඔය කාසියේ හදලා තියෙන්නෙ මැද්දේ පොඩි රත්තරන් කෑල්ලක් ඔබ්බවලා කියලා. මම අහපු විදිහට සමහරු මේඅ කාසි උණු කරලා රත්තරන් හොයන්නත් ගියා.

    අන්තිමට ආණ්ඩුව ප්‍රකාශයක් කලා වගේ මතකයි, මේ කාසිය හදලා තියෙන්නෙ රුපියලක්වත් වත් වටිනාකම නැති ලෝහයකින්ය කියලා.

    හැබැයි මමත් මේ ඉන්නෙ රුපියල් 5000 නෝට්ටු ටිකක් එකතු කරලා තියන්න අපේ පොඩි එවුන්ගෙ පොඩි එවුන්ට සෙල්ලම් කඩ දාන කාලෙට පාවිච්චි කරන්න.

    ReplyDelete
  9. දැන්නං ඔය වගේ පහේ කාසි එකතු කරලා පොල් ගෙඩියක් ගන්න පුලුවන්

    ReplyDelete
  10. මාත් කාලයක් පහේ කාසි කැටේකට දාන්න පුරුදුවෙලා හිටිය. ඒකෙන් ඉතින් මතක හිටින වැඩක්නම් ගන්න බැරිවුනා හැබැයි! අපේ අම්ම ඕක ගිහිල්ල බැංකුවට දානවනෙ අප්පා!

    ReplyDelete
  11. අම්මෝ මහින්ද මාම 5000 එළියට දායිද දන්නෙ නෑ.
    වෙනද ආසාවට හරි මොණරු 10 - 15 ක් හම්බ වෙනකොට දැන් ඉටින් කොළ 2-3යි නෙ. ගණන් කරේ ගන්නනම් ලේසි වෙයි.
    එතකොට ඉතිරි කරන්නත් ලේසි වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
  12. මුදල් එකතු කරල ගොඩ ගහල වැඩක් නැහැ... සල්ලි , විශේෂයෙන් පොඩි සල්ලි එකතු කරන්න හොද නැහැ කැට වල් වල... මුදල් වල වටිනාකම වැඩි වෙන්න නම් ඒවා සංසරණයට එකතු වෙන්න ඕනි..

    බැංකුවෙ දැම්මට නම් කමක් නැහැ මොකද ඒවා බැංකු පොත ඇතුලෙ පුස් කකා තියෙන්නෙ නැහැ නෙ. ඒවා සංසරණයට එකතු වෙනවා...භාවිත වෙනව.

    මට මතකයි අපේ ආච්චිඅමමැලැයි අම්ම නැති වුන (මැරුණ) වෙලාවේ එක බාප්ප කෙනෙක් ඇවිත් ගේ පෙරලල ඒ ආච්චිඅම්මැලැයි අම්ම එකතු කරපු සල්ලි හෙවුව. ඒත් හමුබුනෙ නැහැ. ඒත් පස්සෙන් පහු ඒ ගේ අපට අයිති වුනාම (කෑගල්ල පැත්තෙ ) අපි ඒ ගෙට තිබ්බ වරිච්චි බිත්ති , ගොම මැටි ගාපු බිම සහිත පුංචි කෑල්ලක් කැඩුන ගේ වෙනස් කරන්න හිතාන...

    ඔන්න හොඳේ අපේ තාත්තගෙ පින කියන්නේ ,

    ගොම මැටි තට්ටු දෙක තුනක් කැඩිල ගිහින් පිම මතු වෙන කොට මෙන්න බොලේ තැනින් තැනින් මතු වෙනව පුංචි හට්ටි මුට්ටි... මොනාද දන්නව ද ආච්චිලැයිඅම්ම ඒ කියන්නේ තාත්තගේ ආච්චි නිධන් කරපු එකතු කරපු සල්ලි....

    මට නම් ඊට වඩා සතුටු දෙයක් ඒ ගෙයි වරිච්චි බිත්ති අතරේ තිබිල හම්බුනා... අපොයි .මත් මතක් වෙන කොට මත් වෙච්චි ගානයි ඔන්න. මොනාද දන්නවද වරිච්චි බිත්ති අතර තිබිල හම්බ වුනේ මෙන්න මේ තරම් විතර විශාල හෙණ පත මී මැසි වදයක්.... අම්මෝ ... ඒවැයි රහ...කාලා කාලා මත් වෙලා නිදාගත්ත.මට ඒ වෙන කොට වයස 6ක් විතර ඇති මයෙ හිතේ....

    හැබැයි කෝමෙන් කොමෙන් හරි මේ වග අර නපුරු බාප්පොච්චට ආරංචි වෙලා ආවා නේද සරම් කොටෙත් උස්සන් පංගුව ඉල්ලන්න. මම නම් කීවා ඔන්න මී ඉටි ටික ඇති ඔන්නෑම නම් අරන් යන්න කියල....

    බලන්නකො ඒකෙත් හැටි ...එකතු කරේ කවුරු වුනත් ලැබිය යුත්තාට නොව හැමදේම ලැබෙන්නේ... මේ මං කීවේ මී පැණි ගැන....

    ReplyDelete
  13. අපේ කට්ටිය සමරුන් ගේ මැත්ස් හොරයි වගේ ද කියලා සැක හිතුණු නිසා මෙන්න සරලව ගනං හිලව් - තවත් වැඩි විස්තරත් එක්ක.

    මං අවූරුද්දක් ඇතුලත, එක මාසෙක පඩියක් එකතු කළා රුපියල් පහේ කාසි වලින්. ඒ කියන්නේ මාසෙකට පඩියෙන් 8% ඉතුරු කරලා. ගෙදරට දුන්නු 25% ගියාම, නවාතැනට, කෑමට, බීමට, ගමනට, විනෝදාංශවලට අනිත් 66% ගිහිල්ලා.

    ඒ ඉතුරු කරපු පහේ කාසියි, අන්තිම මාසේ පඩියයි යන්තං ඇති වුණා බෑග් එකක් ගන්නයි, තායිලන්තේ සතියක් ඉන්න ඩොලර් ගන්නයි.

    ReplyDelete
  14. අනේ මංදා..දුවන කෝච්චිවලට ඛෙල්ල තියන එක මගේ පුරුද්දක් වෙලාද මංදා..
    ඒත් ඉතුරු එකක් තියෙන්න එපැයි..කෝ ඒ එක..?

    ReplyDelete
  15. මමත් හැමදාම පොඩිසල්ලි එකතු කරනව කාලෙකින් ගනන් කලාම හොඳ ගානක් ඉතුරුයි.
    ඔය පහේ කාසි වලින් මාල හදනවලුනෙ කට්ටිය. අම්මේ කතන්දර මහ පොහොසතෙක්නෙ 5000 කොලෙ ගනන් ගන්නේ 5කාසිය ගානට හොක්ස්.........

    ReplyDelete
  16. තව පුරස්නයක්..කෝ එතකොට ඉතිරි හතර..මං අහන්නේ අවුරුද්දටම..?

    ReplyDelete
  17. හ්ම්.. මෙහෙම දෙයක් තියනවා. මුදල් නෝට්ටු කාසි වලට වටිනාකමක් තියෙන්නේ සංසරණය වෙන මොහෙතේ විතරයි නේද? අනිත් වෙලාවට නිකං ලොහ හරි කොල හරි කෑල්ලක් විතරයිනේ. හැබැයි සකසුරුවමට නම් කැටයක් වගේ පාවිච්චිය හොඳයි. හැබැයි නිතිපතා ඒකෙ තියන ඒව බැංකුවට දාන්න ඕන. ලංකාවේ තියන ්කාසි වලින් වැඩිම ප්‍රමාණය තියෙන්නේ පිංකැට වල කියල දවසක් ඔය මහ බැංකුවේ ලොකුම පොරක් කිව්වා. තව දෙයක් අද රුපියල් 1000කින් බඩුවක් ගන්නෙ නැතුව හෙට ගන්නවා කියල රුපියල් 1000 හෙට වෙනකන් තියාගත්තොත් ඒ බඩුව හෙට රුපිල් 1000ට ගන්න ලැබෙන්නෙ නෑ. ඒක නිසා හොඳම දේ තමයි හදිසියකට ගන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරන් ඉතිරි මුදල් ආයෝජනයකට යොදවන එක.

    ReplyDelete
  18. ////මං අවූරුද්දක් ඇතුලත, එක මාසෙක පඩියක් එකතු කළා රුපියල් පහේ කාසි වලින්. ඒ කියන්නේ මාසෙකට පඩියෙන් 8% ඉතුරු කරලා. ගෙදරට දුන්නු 25% ගියාම, නවාතැනට, කෑමට, බීමට, ගමනට, විනෝදාංශවලට අනිත් 66% ගිහිල්ලා.////

    What happened to the remaining 1%.

    Also (8 X 12 = 96).

    8.3333..., 25 (since 1/4), 66.6666... ???? (if so this should be 67 not 66).

    ඔහොම වැඩ අපටත් වෙනව. ආසන්න සන්ඛ්යාවට වැටයුවම අන්තිමටම එකතුව වැරදෙනව. එහෙම වෙලාවට මොකද කරන්න ඔනි?

    ReplyDelete
  19. අපෙ අයියත් ඔය වැඩෙ කලා.. එකියන්නෙ 5 කාසි එකතුකරන 1ක...
    එත් එක කවදාවත් පිරෙන්නෙ නැ..
    මට පුලුවන් ක‍ටුවකින් ගන්න.......

    එත් මට තෙරෙන කලෙ ආවම එක පිරුන... මොකද මම එක හාරන 1ක නැවැත්තුව...
    ක.සු. කියනව වගෙ මගෙ අයිය එක කඩල මාලයක් ගත්ත.....

    මටත් රු.100ක් දුන්න...

    දැන්නම් ඉතුරුකරන 1ක ඉස්සරට වඩා හොදයි... මොකද රුපියලෙ අගය වැඩි වෙනවනෙ...
    $ ගිනුම් තියන අයට තමයි මෙදවස්වල පාඩු

    ReplyDelete
  20. මතකද අර එන්.එම්.පෙරේරා මුදල් ඇමති කාලේ 100, 50, කොළ අවලංගු කරලා අලුතින් නිකුත් කලා. මිනිස්සු සල්ලි ගෙවල් වල ඉතුරු කරන එකෙන් වැඩක් නැහැ, සංසරණය වෙන්න ඕනේ කියල. කාලයක් දුන්න සල්ලි බැංකු වලට දාන්න, ඊට පස්සේ සල්ලි ඕනේ වුනාම බැංකු වලින් නිකුත් කලේ අලුත් නෝට්ටු. මිනිස්සු පෝලිමේ ගිහිල්ල බැංකු වල දැම්මේ, අර ඉතින් ගෙවල් වල පෙට්ටගම් අස්සේ, මෙට්ට අස්සේ, මෙකී නොකී තැන වල හංගගෙන උන්නු 50, 100, කොළ. ඊට වඩා ඉහල කොලයක් ඒ කාලේ තිබුනෙත් නැහැ.
    ඔය බැංකු වල වැඩ කටයුතු ගැන දැනුමක් තේරුමක් නැති ආතම්ම කෙනෙක් එයාගේ තරුණ මුණුපුරාට දුන්න හංගල ඉතුරු කොරාගෙන හිටිය 50,100, ටික බැංකුවට දාන්න.අතම්මට කවදාවත් බැංකු ගිණුමක් නොතිබුන නිසා කොල්ල, ආතම්මත් එක්කම එලිය වැටෙන්නත් කලින් ගිහිල්ල පෝලිමේ මුලින්ම ඉඳල බැංකුව ඇරිය ගමන් ,බැංකු ගිණුමක් (තමන්ගෙ) නමට ඇරල ආතම්මගේ සල්ලි ටික ලෝබ නැතුව තැන්පත් කලා.ටික දවසක් ගියාම ආතම්මට සල්ලි ටිකක් ඕනේ වෙලා මුණුපුරාට කිව්වම මිනිහ ආතම්මවත් එක්කගෙනම බැංකුවට ගීයා. ආතම්මව පුටුවකින් වාඩි කොරෝල කවුන්ටරේට ගිහින් මොනවද ටිකක් වෙලා කතා කර කර ඉඳල ඇවිත් ආතම්මට කිව්වා "එදා ආතම්ම දැක්කනේ හිටපු සෙනග,අපිට පස්සේ සල්ලි දාපු කෂ්ටියගේ සල්ලි වලට ආතම්මගේ සල්ලි යට වෙලා, ආතම්මගේ සල්ලි ගන්න තව අව්රුද්දක් වත් යය් කියලය් බැංකුවේ මහත්තුරු කියන්නෙ"

    ReplyDelete
  21. නියමයි අයියා අවවාදයනම්. මාත් කාලෙක ඉඳන් බස් එකෙන් ඉතුරු වෙන මාරු සල්ලි හැමදාම වගේ පොඩි ටින් එකකට දානවා. දැන් නම් ඒක මට තනියෙන් උස්සන්නත් බැහැ වගේ.කවදා හරි ඒක පිරෙනකම්ම සල්ලි දාලා මගේ බැංකු පොතට දාගන්න තමා හිතන් ඉන්නේ.

    දැනටත් දෙයියනේ කියලා පොත් දෙකකම බඩු හෑව්.

    ReplyDelete
  22. මටත් පොඩි කථාවක් මතක් උනා(කතාට මල පනීද දන්නෙ නෑ)අපි campus ඉන්න කාලේ පොඩි කැලෑ tour එකක් දැම්ම නකල්ස් කන්දට. රෑ දෙකක් නැවතිලා එනසාල් වාඩියක. අන්තිම දවස වෙනකොට ගෙනිච්ච කෑම "බීම" ඔක්කොම ඉවරවෙලා අනථයො වගේ උනා. කැලෙන් එලියට එන්නම දවසක් යනචා. එදා නම් හිතුන කොච්චර සල්ලි තිබුනත් වටිනාකමක් තියෙනවද කියල.
    ප.ලි.(හිකස්)/ මේ කථාව උනේ මීට අවු 10-11 පෙර.

    ReplyDelete
  23. @All
    බුදු අම්මෝ, මේ කමෙන්ටු ටික එකතු කරා නං වෙනම බ්ලොග් එකක් හදන්න තිබුණ.

    මාරයා යි ඇනෝ නංගියි නං, අංක ගණිතය දන්න බව ඔප්පු කරලා තියෙනවා.

    ඒ එක්කම, මං ඒ දවස්වල රුපියල් පහේ ඒවා මගේ ලාච්චුවට දැම්මට මං කිව්වේ නෑ අළුතින් එන පන්දාහේ කොල ටික තමන්ගේ ලාච්චචුවට දාන්න කියල. මං කියල තියෙන්නේ බැංකුවේ ලාච්චුවට දාන්න කියලයි.

    කොහොම හරි පන්දාහේ කොල විස්සක් විතර එකතු කරගත්ත නං නරක් වෙලා තියෙයි!!!

    ReplyDelete
  24. @All

    කවුරුත් දැකල නෑ නේද තවමත් අළුතින් එන පන්දාහේ කොලේ? හික්ස්!

    ReplyDelete
  25. 5000, ගුරුල‍යි නාගරාක්ශයි පිටිපස්සෙ ඉන්නෙ

    FB එකෙ බලන්න ඔක්කොම් අලුත් නෝට්ටු තියනව. 5000 tag kara

    ReplyDelete
  26. මමත් පහේ කාසි එකතු කරනවෝ... :D

    ReplyDelete
  27. මමත් කාසි බර එකතු කලා. . . . මම එකතු කලේ . . . කාසි නිශ්පාදනය කල අනුපිලිවෙලට. ඒ කියන්නෙ . . . රුපියලේ කාසි නං, ඒව අලුතින් නිකුත් කරපු හැම අවුරුද්දකම ඒව . . . . ඒ විදියට. ඔය ගැන මම සටහනකුත් තියා ගත්ත.
    දැං ඔහොම එකතු කරගෙන ගියා කියමුකො . . . මම එක සැරයක් මාස 2ක් විතර ගෙදරින් පිට හිටිය පොඩි පොඩි වැඩ වගේකට. . . . මගෙ ආදරනීය මලය . . . අර සල්ලි ඔක්කොගෙම සිගරට් බීල . . . අපොයි දෙයියනේ මගෙ අවුරුදු 98ක මහන්සිය . . . .

    ReplyDelete
  28. පන්දාහේ නෝට්ටු පින්තූර මෙතැනින් බලන්න පුළුවන්:
    http://www.newsfirst.lk/index.php?option=com_content&view=article&id=16034:rs-5000-denomination-in-new-series-of-currency-notes-&catid=1:latest-news&Itemid=18

    ReplyDelete
  29. මං දැං මේ රටේ මාරු කාසි අවුරුදු හතරක් විතර තිස්සෙ එකතු කරල ලංකාවෙ රුපියල් වලින් දහ අට දාහක් විතර හැදිල තීනව කිව්වොත්!
    ගණං ගන්න එපා, මෙහේ කාසියක් ඔහේ රුපියල් තිහක් වටිනව!

    ReplyDelete
  30. ඔය පහේ කාසියයි, එංගලන්තේ පවුමේ කාසියයි, බරෙන් හා ප්‍රමාණයෙන් ටිකක් එක සමානයි. අපේ 'අයියල' ඕව මෙහෙ ඉස්සර ෆෝන් බූත් වලට දාන්න , සල්ලි දෙද්දී පවුමේ කාසි එක්ක කවලම් කරල දෙන්න එහෙම පුරුදු වෙලා හිටිය කියල කට්ටිය කතාවට කියනව.

    ReplyDelete
  31. @මුහුදු කොල්ලකාරයා,
    කතාවට කියනව නෙවෙයි, ඒ කතාව ඇත්ත.. අපේ අයියලා ඔහොම වැඩද කරන්නෙ.. :)

    ReplyDelete
  32. mamanam hama maru kasiyakma thiyagannawa ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.