Monday, 7 February 2011

කම් හෝම් -විමලා


මේකත් කතන්දරකාරයා පස්තාච්චි කුපාඩි කාලේ කතාවක්. හැබැයි කලින් ඒ කාලේ ගැන මං ලියපු වෙනත් කතන්දරවලට වැඩි සම්බන්ධයක් නං නෑ.

ඔය මං නිතරම කියන පස්තාච්චි ආයතනය හෙවත් පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුෂන් එක තිබුනේ තායිලන්තයේ බැංකොක් නුවර උතුරු පලාතේ ඉස්සර එයාපෝට් එක තිබුණු ඩොන් මුවංග් පැත්තේ.

අපි සිලෝන් එකට ලංකාව කියනවා වගේ තායිලන්තේ අය තමන් ගේ රටට කියන්නේ සියම් කියලයි.

ඔය සිලෝන් එකේ තියෙන සියම් නිකාය කියන සෙක්ට් එකට ඒ නම ඇවිල්ලා තියෙන්නෙත් ලංකාවේ මහනකම නැති භංගස්ථාන වෙලා ගිය කාලෙකද කොහෙද තායිලන්තයෙන් උපසම්පදාව ගත්තු හින්දා. හැබැයි එහේ අස්ගිරිය, මල්වත්ත කියල ස්ථාන නාම නං එහෙ නැහැ මගේ හිතේ.

තායිලන්තය බහුතර බෞද්ධ රටක්. පන්සල් හැම තැනම වගේ තියෙනවා. සමහර පැරණි නගර වලට ගියාම නිකං පොලොන්රුවෙ වගේ නටබුන් වෙච්ච පන්සල් අඩියෙන් අඩියට.

ඒ සේරම සියම් නිකායේ පන්සල් වෙන්න ඕනැ!

ඉස්සර ලංකාවේ නං එක ගම් හතරකට පන්සල් තිබුනේ එකයි නේ. අර මට සරොං ඇඳං යන්න කියල නාලන්ද අණ කරපු අපේ ගමේ පන්සල, රජ මහා විහාරයක්. ඒක තිබුනේ අල්ලපු ගමේ. අපි තමයි පන්සලේ දායකයින්ගේ උතුරු පේරුව. හතර පේරුවක්ම තිබුණා පන්සලට අයිති.

ඒකට දැං අපේ අම්ම ලා ඉන්න ගමේ පයින් යන දුර, ඒ කියන්නේ කිලෝ මීටරයක් ඇතුලත, පන්සල් තුනක් තියෙනවා. පිං කරන්න ඉඩකඩ වැඩියි ඉස්සරට වඩා. නිකං හරියට තායිලන්තෙ වගේ.

මං තායි පන්සලකට ගිය ගමනකදි අල්ලපු ෆොටෝ ටිකක් කලින් දවසක දැම්මා මතකද?

සිලෝන් එකේ ඉඳලා තායිලන්තේ වන්දනාවට යන්නේ බිස්නස් කාරයෝ විතරක් නෙමේ. හාමුදුරුවරුත් වඩිනවා. අපේ හිටපු සුදන්ත සාදුත් (මතකනේ තරිඳු?) අන්තිමේ දී එහේ ගිහින් නේ අතුරුදහන් වුනේ!

හැබැයි ඉතිං, මේ විදියට තායිලන්තේ යන සිලෝන් එකේ සියම් නිකායේ හාමුදුරුවරුන්ට වෙනවා එයාපෝට් එකේ දී ම තනි උරහිස වහන සිවුර වෙනස් කරලා උරහිස් දෙකම වැහෙන්න අඳින්න. මොකද තායිලන්තේ ඉන්න සියම් නිකායේ හාමුදුරුවරු සිවුර අඳින්නේ ඒ විදියටයි.

සිවුරෙන් දෙවුරම වැහෙන හින්දාද කොහෙද, ඒ තායිලන්තේ ඉන්න සියම් හාමුදුරුවරු කට්ටිය "අම්මා බුදු වේවා!" වගේ දහම් පාඨ අත් ගොබ වල නං පච්ච කොටාගන්නේ නෑ. හොඳට පේන තැනක එපායැ පච්ච කොටාගන්න.

ඉතිං ඔය සියම් එකේ ඉන්න කාලේ දවසක් මට පණිවිඩයක් ලැබුණා අපි දන්න කියන හාමුදුරු නමක් සිලෝන් එකේ ඉඳලා සියම් දේශයට වන්දනාවේ එනවාය කියලා. මාත් ඉතිං එයාපෝට් එකට ගියා සාදු ව මුණ ගැහෙන්න. එදා මේ කියන විමලානන්ද හාමුදුවෝ තමයි මට කීවේ ඔය කලින් මං ලියපු දෙවුර වහන්න වෙන කතාව.

විමලානන්ද හාමුදුරුවෝ සති දෙකකින් ලංකාවට වඩිනවාය කියපු දවසේ ඔන්න මං ආයෙත් ගියා එයාපෝට් එකට. මං හිතුවේ සාදු අතේ ලංකාවෙන් තැපැල් කරන් ලියුං ටිකකුයි, ගෙදරට චොක්ලට් පැකට් එකකුයි යවන්න.

ගිහිං බැලින්නං, අපේ සාදු ආපසු ගමන සතියකින් කල් දාලා, ඒ අතර කාලයේ මැලේසියාවත් වන්දනාමාන කරගෙන එන්න යන්න ප්ලෑන් එකක් ගහලා.

හාමුදුරුවෝ මැලේසියා වේ ඉඳලා ආපසු තායිලන්තෙට වැඩම කරන දවසේ මං ගියා, සාදු නතරවෙලා ඉන්නවාය කියපු පන්සල ට. ඒක තිබුනේ, බැංකොක්වල දකුණු ප්‍රදේශයේ තැනකයි.

පැය ගානක් රස්තියාදු වුනත් අනේ අපේ විමලානන්ද සාදු වැඩියේ නෑ. ඒ දවස්වල මොබයිල්, එස්එම්එස්, ඊ-මේල් හෙමත් නෑනේ. සිගප්පූරුවේ ඉඳලා, එහෙන්ම සිලෝන් එකට ගියාද?, නැත්තං බුරුමේ වගේ රටකට වැඩියා ද? දන්නේ නැති හින්දා මං ඉතිං එදාත් අරං ගිය චොක්ලට් එක කකා ආපහු ගියා පස්තාච්චි කුපාඩි ආයතනයට.

ඔන්න ටික දවසක් ගියා. මං සති අන්තයේ දවල් වරුවක හොඳ ක්‍රෑමක් දාගෙන ඉන්න වෙලේ, මෙන්න බොලේ මගේ කාමරයේ දොරට ගහපි සෙකුරිටි පොරක්.

"යූ හෑව් අ කේබල්!" ඌ කියපි!

කේබල් කියන්නේ රටකින් රටකට යවන ටෙලිගිරැං වලට නේ.

මං පපුව ගැහි, ගැහී ගියා සෙක්කා එක්ක උංගේ ඔෆිස් එකට. එදා සති අන්තය නිසා, තැපැල් වැඩ නෑ. සෙක්කෝ තමයි ඉන්-චාර්ජ් ඔෆ් කේබල්ස්. මං හිතුවේ ගෙදරින් හදිසි පණිවිඩයක් තමයි කියලයි. අසනීපයක් ද, කරදරයක් ද, බුදු අම්මෝ.

ඔන්න ඉතිං ටෙලිග්‍රෑම් එක කඩලා බැලින්නම් මෙන්න තිබුණු පණිවිඩය.

"කම් හෝම්. -විමලා"

මට මේක අංඩර දෙමලයක්. කවුද මේ විමලා. මගේ අම්මත් නෙමෙයි. ඇන්ටි කෙනෙක්වත් නෑ විමලා කියලා. සිලෝන් එකේ ඉන්න කාලේ උන්මාද චිත්‍රසේන දැකලා පිස්සු හැදුණු කෙනෙකුට විමලා වගේ නමක් තියෙන්න විදියක් නෑනේ, සිංහල නං පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙන නිසා.

අනික, එහෙම උන්මාද චිත්‍රසේන ටයිප් එකේ මැටර් එකක් වුනත් ඇයි කම් හෝම් කියලා කියන්නේ මේ හදිස්සියේ කේබල් එකක් එවලා. වැඩේ චාටර් වෙලාද?

මොනව වුනත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ!

මට එදා හැදුණු හෙඩ්-ඒක් එක දවස් ගාණක් තිබ්බා. සතියකින් විතර තිබුණු එක්සෑම් එකෙන් පස්සේ ඇරිල ගියා. ඊටත් පස්සේ මුළු එපිසෝඩ් එකම අමතක වෙලා ගියා.

ඔහොම කාලයක් ගිහින්, ක්ලෝක් ඇඳලා ෆොටෝ එහෙම අරං, සේරම අකුලගෙන ආපහු සිලෝන් එකට ආවට පස්සේ දවසක, අපේ විමලානන්ද හාමුදුරුවෝ මුලිච්චි වුණා.

කතන්දර කුමාර, එදා මං මැලේසියාවෙන් ගියානේ සිංගප්පූරුවට, එහෙත් සතියක් ඉඳලයි ආපහු තායිලන්තෙට ඇවිත් ගෙදර ආවේ. මං එන්න කලින් එහෙදි ටෙලිග්‍රෑම් එකක් එව්වා, ලැබුණද? සාදු ඇහැව්ව මගෙන්.

ඔන්න එතකොටයි මට වැඩේ තේරුනේ.

ගෙදර යනවා. විමල. කියන ටෙලිග්‍රෑම් එක තමයි මට ඇවිත් තියෙන්නේ ඉංගිරිසියෙන් කම් හෝම්, විමලා. කියලා.

පණිවිඩේ කියවල කලබල වෙච්ච හින්දයි, සෙක්ක ගොයිය කේබල් එකක් ගැන කියපු හින්දයි මට එදා පෙනිල නෑ මේ ටෙලිග්‍රෑම් එක ඇවිත් තියෙන්නේ බැංකොක් වලම වෙනත් උප නගරයකින් කියන එක.

-කතන්දරකාරයා

24 comments:

  1. කේබල් හෙවත් ටෙලිග්රූම් ගැන නම් හිනා යන කතා ගොඩයි. මොකද ජංගම දුරකතන,එස්එම්එස්, ඊමේල් මේ මොක තිබ්බත් තාමත් ඉතින් රජයේ ආයතන වල ටෙලිග්රෑම් එකට සෑහෙන පිළිගැනීමක් තියෙනවා.

    ලංකාවේ නම් ඉතින් වෙන්නේ , එවන අන්තයේ ඉන්න පුද්ගලය ලියල එවල දේ නෙමෙයි ලබන්නාට අවසානයේ දී ලැබෙන්නේ..

    ReplyDelete
  2. කම් හෝම් ලොල්

    ReplyDelete
  3. ජොලි ගුඩ්..

    ‍"මේබල්ල බනබදා දාඑනවාමස් සිනා මොරිස්" කියලා ටැලිගැරැං එකකුත් කාටදෝ ලැබුනලුනෙ..

    ReplyDelete
  4. එක්දාස් නවසිය තිස් ගණන් වල අබ්දුල් කියලා මනුස්සයෙක් (වෙළෙඳ ව්‍යාපාරිකයෙක්) ලංකාණ්ඩුවේ තැපැල් දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් පවරන්ට ගියාලු. මේකයි සිද්දිය.

    අබ්දුල්ට ටැලිගැරං එකක් ලැබෙනවා දුර පළාතක ඉන්නා අතිජාත මිත්‍රයකුගෙන් Come on Saturday කියලා. මේ දෙන්නා නිතර පවුල් එක්ක හමු වී පොඩි විනෝදයක් ගන්නා සිරිතක් තිබුණා. ඉතින් අබ්දුල් සති අන්තයේදී සියළු වැඩ නවතා පවුලත් එක්ක යනවා මිතුරා හම්බවෙන්න. යනකොට මිතුරා නැහැ. ගෙවල් වහ දාල ගිහිල්ලා අබ්දුල්ගේ ගෙදර.

    මොකද මනුස්සයා යවපු ඔරිජිනල් ටැලිගැරං එකේ ලියලා තිබිලා තියෙන්නෙ Coming on Saturday කියලා.

    මේ සිද්දියෙන් පස්සෙලු ටැලිගැරං පෝර්මයට වගන්තියක් එක්කළේ "පණිවිඩය යැවීමේදී සිදුවන වැරදි වෙනුවෙන් වග කියනු නොලැබේ." කියලා.

    මොබයිල්, SMS, ඊ-මේල් බහුල මේ කාලයේ වුණත් ලංකාවේ දිනකට අවම වශයෙන් තවමත් ටැලිගැරං 12,000ක් යැවෙනවාලු. පොඩ්ඩක් හිතුවොත් ඇයි කියලා හිතා ගන්ට බැරිමත් නැහැ. වත් නම් ෂුවර් එකටම දන්නවා ඇති.

    - Taboo

    ReplyDelete
  5. මී ඇස් දෙක පල්ල ඇත්තමය් මේ ටලිගිරන් එක මගෙ ඇස් දෙකෙන්ම දැක්ක.
    "බඩ යමි,සිගේරා"
    එවල තිබුනේ මීගමුවේ තැපැල් කන්තෝරුවෙන්, කුරුනෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ කර්මාන්ත ඉංජිනේරු මහත්තයට. සිගේරා කියන්නේ "නෝ පේ" නිමාඩු පප්පෙක්, දඬුවන් මාරුවීමකට එවල තිබුනෙ, වැඩට එනවට වැඩිය නොඑනව වැඩිය්.

    තව ලංකාවේ පුතෙක් මැද පෙරදිග තාත්තට යවපු,කේබල් ග්රෑම් එකක කතාවකුත් කස්ටිය අහල ඇති.ක.ශු.ගුධ වාත කතා,කක්ක කතා ලිව්වට, මේක අමුවෙම්ම දාන්න බැහැ කොමෙන්ට් තීරුවෙවත්. දන්නා අයට මතක් වෙය් මේ ඉඟියෙන්.
    "ඉලෙච්ට්‍රික් ...., අම්මට ..කම් ඉමීදිඅටලී."

    ReplyDelete
  6. ටෙලිග්‍රෑම් කියද්දි මටත් පොඩි කථාවක් මතක් උනා(මේක කට්ටිය දන්නවත් ඇති)
    දවසක් මනුස්සයෙක් මැරිලා දැන් ගමේ ගෙදරට massage එකක් යවන්න ඕනි වෙලා (අර කිව්ව වගෙ phone හෙම නැති කාලේ)පොරකට කිව්වලු telegram එකක් යවන්න කියලා. හැබැයි ගෙදර නෝන Heart patient කෙ‍නෙක් ඒනිසා එක පාරම කියන්න එපා කිව්වලු.
    මූ Post office එකට ගිහින් බැලුවම අතේ තියෙන ගාන මදිලු විස්තර ලියන්න. පොර කල්පනා කරලා මෙහෙම ගැහුවලු
    "විමලදාසට අන්තිමයි භූමදානය අනිද්දා"

    ReplyDelete
  7. මරු සීන් එක.. "කම් හෝම්-විමලා" හිහ්...හිහ්...

    ReplyDelete
  8. අපි පොඩි කාලෙ නම් ටැලිකරං එකක් එනව කියන්නෙ මිනිස්සු බයවෙන දෙයක්.

    ReplyDelete
  9. "අම්මට කෙලඋනා වහාම වරෙන්"
    අම්මට කැලැඋන වහාම වරෙන්

    ReplyDelete
  10. මෙන්න 1ක කොමාවෙන් මිනිමරන හැටි..
    මමත් අහල තියනව.. ඇත්තද දන්නෙ නැ..

    "සරදියල් ම්රන්න, එපා නිදහස් කරන්න"
    "සරදියල් මරන්න එපා, නිදහස් කරන්න"

    ReplyDelete
  11. මේක මම අහපු කතාවක්. ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔය සරදියෙල් ව අල්ලගත්තු වෙලාවෙ මිනිහව මරණීය දණ්ඩනයට නියම උනානේ. නමුත් එංගලන්තෙ ඒ දවස් වලල හිටපු රැජිනට හෝ රජතුමාට මිනිහව බලන්ඩ ඕන වෙලා තියෙනව කවුද මේ රොබින් හුඩ් වගේ ඩයල් එක කියල බලාගන්ඩ. ඉතින් ලංකාවට පණිවිඩයක් ( ඔය ටෙලිග්‍රෑම් වගේ එකක් ) එවල මෙහෙම. Kill him not. Save him. කියල නමුත් ඕක ඇවිල්ල තියෙන්නෙ, Kill him. Not save him. කියලලු.

    ReplyDelete
  12. මම දැක්ක ගමන් හිතුවෙ සාදු මොඩ් වෙලා නම මාරු කරල කියල

    ReplyDelete
  13. කොයි තරම් පහසුකම් තිබුනත් රජයේ කාර්යාල වල තවමත් "අසනීපයි නිවාඩු අයදිමි" ටෙලිග්රෑම් වලින් අඩුවක් නැහැ.

    //ලංකාවේ දිනකට අවම වශයෙන් තවමත් ටැලිගැරං 12,000ක් යැවෙනවාලු.//

    මෙතනින් හරි අඩකට වඩා ඒ වගේ අසනීප රජයේ සේවකයන් වෙන්න පුලුවන්.
    මොකද කියනව නම් , දුරකතනයෙන් දැනුම් දීල " මට අද එන්න බැහැ " කියල කීවත් යම් යම් අවස්ථාවලදි එහෙම දැන්වූ බවට ලිඛිත සාක්ෂියක් නැති විම නිලධාරියාට හානි දායක වෙන්න පුලුවන්.

    අනිත් කාර‍ණය තමයි. හදිසියේ දින නියමයක් නැතිව ‍හෝ ඉදිරි දිනයකට කල් තබන රජයේ නොයෙකුත් කටයුතු දැනුම් දිමට තවමත් ටෙලිග්රෑම් හෙවත් විදුලි පණිවිඩ භාවිත වෙනවා.

    දුරකතන හරහා වාචික දැනුම් දීම් නොකෙරෙනවා කියල මම කියනව නෙමෙයි. ඒත් වාචික උපදෙස් පරිදි ලිඛිත උපදේසයකුත් යැවෙන එක වඩා හොදයි කියල හිතනව ඇති.

    අනික තැපෑලත් රජයේ බොහොම අමාරුවෙන් දුවන ආයතනයක් නොව , ඉතින් රජයේ සේවකයන් හැටියට කඩන් වැටෙන ආයතන ගොඩදෑමත් යුතුකමක් කියන යහපත් චේතනාවත් ඔතන ඇති .

    ReplyDelete
  14. "ඒ දවස්වල මොබයිල්, එස්එම්එස්, ඊ-මේල් හෙමත් නෑනේ."

    තිබුනානම් ඉතින් පස්තාච්චි කෙසේ වෙතත්, එක්කෝ කතන්දර තාය්ලන්තේ පදිංචිවෙලා නැත්නම් සංසාරේ කලකිරිලා මහනවෙලා.

    ReplyDelete
  15. නිතර වරදින දෙයක් නේද ටෙලිග්‍රාම් කෙරුවාව......

    ReplyDelete
  16. මේක මටම සිද්ධ වුන ඇත්ත කතාවක්. මම එතකොට හයේ පන්තියෙ විතර.මම ඉගෙනගත්තෙ, ඒ කාලෙ මෝචරිය,වය්ද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරය එහෙම කිට්ටුව තිබුන ඉස්කෝලෙක. නැවතිලා හිටියේ ඉස්කෝලේ නේවාසිකාගාරේ. දවසක් රෑ 8-9 ට විතර මේට්‍රන් මාව එක්කගෙන ගිහින් "විසිටර්ස් පාලර්" එකේ වාඩි වෙලා ඉන්න කෙනෙක්ව ජනේලයකින් පෙන්නල ඇහුව මම එයාව අඳුරනවද කියල. අපේ මාම, අම්මගේ මල්ලි හිටියෙ. මම නෑ කම කිව්වට පස්සෙ, මටය් මාමාටය් කතා කරන්න ඉඩ දීල, මේට්‍රන් මට කිව්ව ගෙදර යන්න ලැස්ති වෙන්න කියල. ඒ කාලෙ සතියේ මැද්දේ දවසක ගෙදර යන්න ලැබෙනව කියන්නේ ස්වීප් එකක් ඇදුන වගේ. ඇඳුමක් දෙකක් බැග් එකට දාගන්නකොට මේට්‍රන් ඇවිල්ල කිව්ව සුදු කලිසමකුය්, සුදු ෂර්ට් එකකුය් දාගන්න කියල.කොළඹ ඉඳල ගම්පහට එනකම්ම, මාමගෙය් driver ගෙය් අනන් මනං කතා අතරේ මගෙත් එක්කත් වචන කීපයක් මාම කතා කළා යන්තම් මතකය්. ගෙදරට හැරෙන හන්දියේ සුදු කොඩියක් දැකල මාම ඒ ගැනත් මොකද්ද driver ට කිව්ව. ගෙදර ගියාට පස්සෙ විස්තරේ දැනගත්තෙ.අම්ම මාමට ටෙලිග්රාම් එකක් යවල "Husband admitted to hospital" කියල, ඒක ගිහින් තියෙන්නෙ "Husband expired at hospital" කියල. ඉතින් මාම රත්නපුරේ ඉඳල ටෙලිග්රාම් ඒක හම්බු වුන ගමන්ම පිටත් වෙලා, වැඩි හොඳට මාවත් ඒ ගමන්ම ගෙදර එක්කගෙන ආව. කොහොම හරි මාව දවසකට පස්සෙ ආපහු බෝඩිමට ගිහින් දැම්ම.ඉස්කෝලේ බැප්ටිස්ට් ඉස්කෝලයක්, මාව ගෙදර ගෙනිච්ච දවසට පහුවදා උදේ විශේෂ ඇසෙම්බ්ලි එකක් තියල අපේ තාත්ත වෙනුවෙන් යාඥාවකුත් පවත්වල තියෙනව. තාත්තා තව අවරුදු 50 කට වැඩිය ජීවත් වුනා.

    ReplyDelete
  17. හොඳ කතා ටික. තෑන්ක්ස් පීපල්.

    ඔය මේ බල්ල කතාව ශ්‍රී සඟරාවේ ගියේ මෙහෙමයි.
    මේ බල්ල බන බදා දතු නටවා රිය පොලට එනවා.

    ReplyDelete
  18. සමහර වෙලාවට ටෙලිග්‍රෑම් එක අදාල කෙන අතට පත්වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

    ReplyDelete
  19. nadeeka liyanagamage8 February 2011 at 18:29

    hari honday

    ReplyDelete
  20. Thai people do not call their country Siam any more. They call it "Prathet Thai". They call the capital city, "Krungthep Mahanakhorn", not Bangkok.

    ReplyDelete
  21. අපේ තාත්තා තැපැල් මහත්තයා නිසා ඔය ගැන අද්දැකීම් එමටයි!

    හැබැයි ඒ කාලේ අපේ තාත්තගේ තැපැල් කන්තෝරුවේ ටෙලිපෝන් එකක් තිබුනේ නෑ.

    ටෙලි ග්රැම් එක අපේ කන්තෝරුව ලග තියෙන ටෙලිපෝන් තියෙන වෙන කන්තෝරුවකටයි එන්නෙ. ඒක අරං කව්රු හරි අපේ කන්තෝරුවට එනවා. ඒ වෙලාවට අපේ තැපැල් මහත්තයා රණවීර මාමා ගෙදර ගිහිල්ල නං තාත්තා බයිසිකලේ අරං ඒක දෙන්න යනවා. ඒ වෙලාවට මොන වැඩේ තිබ්බත් මම තාත්තා එක්ක සයිකලේ නැගලා ඒක දෙන්න යන්නෙ විශේෂ හේතුවක් හින්දා.

    තාත්තා ටෙලිගැරැම් අයිතිකාරයගෙ ගෙදර ගිහිල්ලා "නැන්දලාට ටෙලිග්රැම් එකක් ඇවිල්ලා" කිව්වම ඒ මිනිස්සු අතේ තියෙන දේවල් හලාගෙන ඔලුවෙ කම්මුලේ අත් ගහගෙන "අනේ අපේ මහත්තාම ඕක කියවන්නකෝ " කියලා බය වෙලා, පස්සෙ "හම්මේ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ" කියලා කියන හැටි බලන එක ඒකාලේ හරි ජොලි වැඩක් නිසා.

    එකදවසක් මමත් ටෙලිග්රැම් එකක් කියොවල දිලා හරි වැඩක් උනා.

    ReplyDelete
  22. තායිලන්තේ එහෙමත් නැත්නම් සියම් රටින් වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ උනන්දුව නිසා උපසම්පදාව අරන් ආපු නිසා සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලි නිකාය කියලා නිකායක් ඇතිවුණා.

    ඒ නිකායේ භික්ෂූන් වහන්සේලා හිටිය පන්සල් අනුව ස්ථානීයා බෙදීමක් විදිහට තමා මල්වත්ත, අස්ගිරිය කියලා පාර්ශව දෙකක් ඇතිවුණේ.

    තායිලන්තය එහෙමත් නැත්නම් සියම් රටේ අපේ රටේ පස්සේ කාලේ වුණා වගේ උපසම්පදාව නැතිවුණු කාලෙක ලංකාවට වැඩම කරලා ක්‍රි.ව 1452 දී සියම් හාමුදුරුවරු කණ්ඩායමක් උපසම්පදා වුණා. ඒ පිරිස "සීහළ සංඝ" කියලා නිකායක් ආරම්භ කරලා තියෙනවා

    ReplyDelete
  23. මේ කතන්දරේ අද තමයි දැක්කේ. ඉතින් මටත් හිතුනා ටෙලිග්‍රෑම් කතවක් කියන්න. පරක්කු වැඩිද මන්දා. මගේ යාළුවෙක් ඉන්නවා එයාට අපි ආමන්ත්‍රනය කරන්නේ "හුන්නා" කියලා, වාසගම කෙටි කරලා. දවසක් මේ පොර යාළුවෙකුට ටෙලිග්‍රෑම් එකක් ගහන්න ගිහින් ලඟ තැපැල් කන්තෝරුවට තව යාළුවෙක් එක්ක. ඉතින් පෝරමේ ලියලා තැපැල් මහත්තයාට දුන්නාලු. මිනිහා ඒක අරන් බලලා ආපහු අපේ පොරට දමලා ගහලා කියපි "කුණුහරුප ටෙලිග්‍රෑම් වල ගහන්න බැරිබව දන්නේ නැද්ද" කියලා. පොර ලියලා තියෙන්නේ "ලබන බදාදා කොළඹ එනවා - හුන්නා" කියලා ලියපු එක දැකලා තියන්නේ වෙන විධියකට.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.