ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 24 June 2010
සිංහලෙන් ඉංගිරිසියට
ගිලිහෙන මතකය අතරින් අවුරුදු කීපයක් පරණ සිද්ධියක් මතක් වුනා අද උදේ. ඒ රසවතිය බ්ලොග් එක ලියන හෂිත ළමය බූන්දි ලයිව් එකේ දාපු ප්‍රශ්ණයක් නිසයි.
හෂිත අහපු ප්‍රශ්ණය මෙන්න මේ වගේ එකක්.
"වතුර කියන්නේ වෝටර් කියන ඉංගිරිසි වචනයේ වාත්තු කිරීමක් ද? නැත්තං වතුර කියන වචනය ඉංගිරිසියට පෙරලිලා වෝටර් කියන වචනය හැදුනද?"
අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ මේක නං හරිම උභතෝකෝටිකයක්.
අපි දන්න හුඟක් වචන තියෙනව ඒවා ඉංගිරිසි භාෂාවෙන් අපේ රටට ඇවිල්ල ඊට පස්සෙ සිංහලීකරණය වුනු ඒව. නිතර පාවිච්චි වෙන පෑන, පැන්සල, කෝප්පය, ජොග්ගුව ඒ වගේ වචනයි.
ඒ එක්කම, කෙලින්ම තේරෙන්නේ නැතිවුනත් රිද්මය කියන වචනයත් ඉංගිරිසි "රිදම්" එකෙන් ආපු එකක් මං හිතන්නේ.
සිංහලෙන් ඉංගිරිසියට ගිය වචන නැත්තෙමත් නෑ.
මං දන්න පලමුවෙනි උදාහරණය තමයි, අස්වැද්දුමයිස්. සිංහලෙන් අස්වද්දනවා කියන සම්පූර්ණ තේරුම තියෙන තනි ඉංගිරිසි වචනයක් නැති නිසා ඔය වචනේ හැදුණයි කියලයි අපේ තාත්ත මං පොඩි කාලෙ මට කියල දුන්නේ.
තේරුම මොකක් වුනත් ඇනකොණ්ඩා කියන වචනයත් සිංහලෙන් තමයි ඉංගිරිසියට ගිහින් තියෙන්නේ. සිංහලෙන් පිඹුරෙකුට "හෙණ කඳයා" කියනව අහං හිටපු සුද්දෙක් දකුණු අමෙරිකාව පැත්තේ ජලාශ්‍රිතව ඉන්න තඩි සර්පයෝ වර්ගයකට ඒ නම දාල. හෙණ කඳයා කියන එක සුද්දගෙ කණ අස්සෙන් ගිහින් කටින් මතුවෙලා වෙනිං කං වලට වැදිලා පැතිරෙන කොට තමයි හෙණ කඳයා, ඇනකඩයා, ඇනකොණ්ඩා වෙලා තියෙන්නේ.
ඉංගිරිසියට ගිය සංස්කෘත භාෂාවේ වචන නං සෑහෙන ගානක් තියෙනව. හොඳම උදාහරණ තමයි, අවතාර්, කර්ම, නිර්වාණ, ගුරු, පන්ඩිට් වගේ ඒවා.
ඒ වචන සිංහල භාෂාවෙත් තියෙන නිසා, සිංහලෙන් ඉංගිරිසියට ගිහිල්ල කියල හිතෙන්නත් ඉඩ තියෙනව, හරියට අර සුනිල් ආරියරත්න ලියපු දොළ ළඟ ගුරුපාර දිගේ සින්දුව වගේ.
මේ එක නිසා මං අද දාන්න හිටපු අත්තනගල්ලේ කතන්දරේ ටයිප් කරගන්න වෙලාව නැතුව ගියා. හෙට බලමු.
කතන්දරකාරයා
ප/ලි:
බුන්දි ලයිව් එකේ හෂිත ගේ ප්‍රශ්ණයට ආපු එක පිලිතුරක තිබුණු කතාවක් මේ.
අපි දන්නා පරිදි, කොකිස් කියන වචනේ සිංහල ට ඇවිත් තියෙන්නේ ලන්දේසි කුකීස් කියන වචනයෙන්.
කව්දෝ පණ්ඩිතයෙක් කිව්වලු, කොකිස් කියන නම ඇවිත් තියෙන්නේ කොකිස් හදන්නේ කොක්කකින් අල්ලලා උස්සලා හින්ද කියලා.
මේ කතාව අහපු එතුමා ගේ ශිෂ්‍යයෙක් ඇහැව්වලු, "එතකොට සෑර් පකිස් කියන වචනේ හැදිල තියෙන්නේ කොහොමද?" කියලා!
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteඇහුවෙත් අද පිඹුරට හෙන කඳයා කියනව කියල. ඔය වචනය අහල තිබුනට සතා දැන ගත්තේ අද.
ReplyDeleteප/ලි
එහෙම බැලුවොත් පකිස්ථානය හැදුනේ කොහොමද දනුනෙනෑ නේද?
සංස්කෘතයෙන් ඉංගිරිසියට හැරී මුල් ස්වරූපය වෙනස් කර ගත් වචන පවා කලාතුරෙකින් හමුවෙනවා. Juggernaut එක උදාහරණයක්. මෙය තැනී ඇත්තේ සංස්කෘත 'ජගත්නාත්' පදය ඇසුරින්.
ReplyDeleteජගත්නාත් (දියනාත්) යනු 'ලොව දිනූ' යන අර්ථය දෙනවා. මෙය ගෞතමයන්ට සේම හින්දු දෙවියන්ටද / ආගමික ශාස්තෘවරුන්ටද භාවිතා වී තිබෙනවා.
ණයට ගත්ත වචන හැම භාෂාවකම තියෙනවා. ඒත් ඉංග්‍රීසි සහ සිංහල භාෂාවල තියෙන බොහොමයක් සමාන කම් වලට හේතුව එකම භාෂා පවුලකට අයත් වීම. එකේ සිට දහයට ඉලක්කම් වල ඇති සමාන කම හොඳ උදාහරණයක්. සිංහල භාෂාවේ පරිණාමය සහ යුරෝපීය භාෂාවලට ඇති නෑකම ගැන හොඳ විග්‍රහයක් තියෙනවා Asiff Hussein ගේ Zeylanica කියන පොතේ.
ReplyDeleteසිංහලෙන් හෙණකඳයා කියන්නෙනම් පිඹුරට නොවෙයි, ඇහැටුල්ලා වගේ සර්පයෙකුට.
හ්ම් මේ බාෂාවනම් මරුතමා අනේ..... මේක නැත්තම් ඉතින් මිනිස්සු කතාකොරල හමාරයි නොවෑ. ඉංගිරිසියෙන් සිංහලට ආවත් සිංහලෙන් ඉංගිරිසියට ගියත් ඉතින් ඒකෙන් වෙන්නෙ බාෂාව කියන එකට තව වචනයක් එකතුවෙලා බාෂාව කියන එක පෝෂනය වෙන එකනේ....... කකා ඇත්තටම මේක ගැනත් කතා කොරපු එක හොඳා. මං මේ දැන් කල්පනා කොලන්නේ ඇත්තටම හෙනකඳයා කියන්නෙ මොකාටද කියල.......
ReplyDeleteහ්හ්ම්ම්.., බූන්දියේ කොකිස් හැදිච්ච හැටි පහදලා දීලා තිබ්බා නෙව අපූරුවට. මට ඒක කියවලා හොඳටම හිනා. එතනනම් ඒ වචනය හැදුනු හැටි කිව්ව පණ්ඩිතයාගේ නමත් තිබ්බා වගේ මතකයි.
ReplyDelete:D
This comment has been removed by the author.
ReplyDelete"භාෂාවක් වර්ධනය වෙන්නේ නව වචන බිහි වීමෙන්. එම අවස්ථාවේ නොයෙක් භාෂාවලින් ආභාෂය ලබන එක අවශ්යම දෙයක්" ඔය වාක්යෙ පිරිසිදු සිංහලට වැඩිය අහුල ගත්ත වචන වැඩියි. බහුතරයක් සංස්කෘත හා මලයාලම්! කොහෙත් එකයි, අඩු තරමෙ හීබෘ, ග්‍රීක් උනත් අද පිරිසිදු භාෂා නෙමෙයි.
ReplyDeleteමම හිතන්නේ මානවයා කතාකරන්න පුලුවන්වෙන්න පරිනාමය වුන ගමන්ම හදාගන්න ඕනෑ වචනයක් තමා H2O වලට අදාල වචනය ඕක වෙන භාෂාවකින් ආවා කියල කියන්න අමාරුයි. සමහරවිට ඉංගිරිස් කාරයත් සිංහලයත් එකම ඔරිජින් එකකින් ඇවිල්ලද දන්නෑ. දැන් බලන්න හිංදියෙන් ඕකට කියන්නේ පානී කියල . අපි පානීය ජලය කියල කියන්නේ බොන වතුරටනේ. ඒත් හිංදියෙන් ඕන වතුරක් පානී.
ReplyDeleteමට මතක් වුනා යාලුවො දෙන්නෙක් මුණ දීපු සිද්සියක් ඉංදියාවෙදි .පොරවල් දෙන්නා ඉංදියාවෙ හෝටලයකින්කෑම කන ගමන්මිනරල් වෝටර් ඉල්ලලා වේටර්ගෙන්.වේටර්ට මේක තේරිලා නෑ. මුංදෙන්න සිංහලෙන් මෙහෙම කියාගත්තලු"මූට මේවතුර බෝතලේගැන කොහොම කියන්නද නමන්ද' කියල. මේක ඇහුන වේටර්" ආං...පානික්කි බෝතල්" කියල දුවල ගිහිං වතුර බෝතල්දෙකක් ගෙනාවලු.
යි අපේ හේන කියන වචනෙන් තමා මම හිතන විදිහට Chena කියන ඉන්ග්‍රිසි වචනේ හැදුනේ.තව වචන කීපයක් තිබ්බා...මතක් උනොත් දාන්නම්.
ReplyDeletehttp://www.encyclo.co.uk/define/Chena
සියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteමං හිතුවේ හෙන කඳයා කියන්නේ තඩි මහත සර්පයෙක් කියලයි. පිඹුරා නේද ලංකාවේ ලොකුම සර්පයා?
පානී වෙනුවට ජලය කියලා වෙච්ච තවකතාවක් මං ලිව්වා මෙතනඃ
http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.html
ඇනකොන්ඩා හැදිල තියෙන්නෙ හෙනකදයා කියන වචනෙන් තමයි! මමත් අහල තියනවා!!
ReplyDeleteAs far as I know "asweddumisation" doesn't get qualified as an English word. Please check any dictionary to verify.
ReplyDeleteBut there are better examples such as "Bo tree".
ඒ වගේම බැරි බැරි ගාය තමා ඉංග්‍රීසියෙන් Beri Beri කියන ලෙඩේට දාලා තියෙන්නේ...
ReplyDeleteඉංග්‍රීසි භාෂාවේ pariah කියලා වචනයක් තියනෙවා. එකේ තේරුම සමාජයෙන් කොන් කල තැනැත්තා වගේ එකක්. ඒ වගේම අයිතිකාරයෙක් නැති අයාලේ යන බල්ලන්ට ඉංග්‍රීසියෙන් කියනවා pariah dog කියලා. මේවත් මම හිතන්නේ සිංහලෙන් ආපු වචන. ඒ වගේම සක්විති කේස් එකෙන් පස්සේ ඉංග්‍රීසියට අලුත් වචනයක් එකතු උනා sakvithaization කියලා. Hikz.....
ReplyDelete