ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 13 June 2010
කොට කලිසං ඇන්ද සකලබුජං - අද කෝ?
"සිව් සිත් කව්" කියන රසික සූරියආරච්චි ලියපු කවි එකතුව මං කැමතිම කවි පොතක්. ඒකෙ ගිය කවියක් දෙකක් මං කලිනුත් උපුටා දක්වලා තියෙනව.
ඊයෙ පොඩි පහේ පාටියකට (පොඩිත් නෑ බලාගෙන ගියාම) ගිහින් ඇවිත් නිදාගන්න කොට උදේ පාන්දර දෙකහාමාර වුනා. පාටියෙදි "භාග්‍යවන්තයෙක්" වුණු හින්දා දවසම වගේ නිදාගත්තා.
ඒ කම්මැලි කම හින්දාම මට හිතුනා මේ රසික ලියපු "සකලබුජං" කවිය උපුටලා දාන්න.
මේ මං කැමතිම කවියක්. මේ වගේ පෞද්ගලික අත්දැකීම් නැතිවුනත්, හොඳට හිතන වදින කවියක් බව නං කියන්න පුළුවන්.
කියවලා බලන්න කෝ!
====================================================
සකලබුජං
වයස හතෙ අටේ පටං
කොට කලිසම ඉනේ බැදං
අපේ ගෙදර බැල මෙහෙවර
කරපු කොලූ සකලබුජං
අම්මෙක් නැති සකලබුජං
අප්පෙක් නැති සකලබුජං
මං පාසැල් ගොස් එනතුරු
ගෙදර හිටිය සකලබුජං
අම්ම කියයි පොල් ගාපං
අක්ක කියයි අතු ගාපං
දිය ඇදපං දර පලපං
හැම දේටම සකලබුජං
නිදි මැරුවා සකලබුජං
ටොකු කෑවා සකලබුජං
ළමා දිවිය බැල මෙහෙයට
දිය කෙරුවා සකලබුජං
තිස් වසකට පෙර දිනයක
අපේ අතින් වුන වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං
රසික සූරියආරච්චි
====================================================
ඒ එක්කම මට මතක් වෙන්නේ ඉලංගරත්නගේ අඹ යහළුවෝ නවකතාවයි.
සකලබුජං ලා ගෙන් සමාව ඉල්ලා ඇති අයත් සිටීද?
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
හරියට බැලුවොත් අපි හැමෝම සකලබුජංල තමයි. උපන්දා ඉඳන් මැරෙනකල්ම දැන හෝ නොදැන කරන්නෙ කාට හරි කඩේ යන එකයි, දර පලන එකයි නෙමේද මං අහන්නෙ..
ReplyDeleteභාග්යවන්තයකු වීම ඒ අවස්තාවෙදි සතුටක් උනත් දීර්ඝකාලීනව බලනවිට කාලකන්ණියකු වීම අගනේය. නැතිනම් " වදින තැන ගෙවී" සැමවිට බෝධිසත්වයකු වීමට ඉඩ තිබේ.
ඇත්ත තමයි කතාව...
ReplyDeleteඑහෙම අයත් ඉන්නව නම් ලොකු දෙයක් :D
පොඩි කාලෙදි මටත් කිව්වෙ සකල බුජං කියල. උදේ පාන්දරම අම්මා මාව ඇහරවන්නෙ කඩේට ගිහිල්ල පාන් රාත්තලක් අරගෙන එන්න කියල. නැගිට්ටෙ නැතිනම් ඉතින් එක්කො වේවැල් පාරක් එහෙම නැතිනම් වතුර පාරක් ෂුවර්. ඉස්ස්කොලේ ගිහිල්ල ආපු හැටියෙ ආපහු කඩේ යන්න ඕනෙ අම්මට සිරිකත, නවලිය, තරුණි පත්තර ටික ගෙනැල්ල දෙන්න. හවසට කඩේ යන්න වෙන්නෙ තේ බොන්න බනිස් ගේන්න, සීනි 500 ක් ගේන්න, එහෙම නැතිනම් කිරි පිටි පැකට් එකක් ගේන්න්න. හිටපු ගමන් නැන්දල මාව කඩේ යවනව සන්සිල්ක් පැකට් එකක් අරගෙන එන්න හරි ලක්ස් කෑල්ලක් අරගෙන එන්න හරි. අනේ අනිච්චං . . . .
ReplyDeleteසකල බුජං .... මට ළඟඳි පාරෙදි අහම්බෙන් වගේ සකල බුජං ලගේ මෑණියන් මුන ගැහුන... ඇය හිටියෙ හරිම ජැන්ඩ් 5ට ඇඳල ... ඒ විතරක්ද කතාවේ තිබ්බ උජාරුව...අපේ ගෙදර නම් සකල බුජං කෙනෙක් හිටියෙ නැහැ.. ඒත් ලොකු තාප්පෙන් වට කරපු එහා වත්තෙ තියන ගෙදර තමයි මේ කියන සකල බුජං හිටියෙ...
ReplyDeleteඉස්සර අපිත් එක්ක හොරෙන් ඈවිත් සෙල්ලම් කරපු හැටි මට තාම මතකයි....
කොහොම කොහොම හරි දවසක් පරිවාස හා ළමා රක්ෂණයෙන් ඈවිත් සකල බුජංව එක්ක ගිහින් තිබ්බ අපි ඉස්කෝලෙ ගිය දවසක....
ඊට පස්සෙ ටික දවසක් යනකම් සකලබුජං නැති පාලුව දැනුනත් කරදඩු උස්මහත් වෙනකොට ක්‍රමයෙන් සකල බුජංව අමතක වුනා...
ඉස්සර එහා ගෙදරට ඉදල හිටල ඈවිත් ඈස් වල කඳුළු පුරෝගෙන යන සකල බුජංලගේ මෑණියන් මට හොදට මතකයි.
ඔදා ඈගේ ඈස්වල දිදුලපු කඳුළු වෙනුවට අද තිබ්බෙ අහංකාර ආඩම්බරයක්...
මම ඈහුව කොහොමද දැන් සකලබුජංට කියල...
"ආ.. මයෙ සුදු පුතා ගැනද අහන්නේ.." "කොලුව දැන් ඉන්නේ කොළඹ""මාත් මේ එහෙ ඉඳල මගෙ මලයගෙ මළ තෙදරට ආව ගමන්... "කියල පටන් ගත්ත ඈගේ කතාව මා නොහිතුව විදිහට දිග් ගැස්සුනා...
කොහොමින් කොහොමහරි... දැන් සුදු පුතා නොහොත් සකල බුජංට අපූරු වාහනයකුත් ඒ වගේම අපුරු නෝන මහත්තැන් කෙනෙකුත් දෙමහල් නිවසකුත් ඈති බව තමයි සාරාංශය...
හිතට සතුටක් වගේම පුංචි දුකකුත් ආවා... ඒ මොකද දන්නවද.. අපේ ගම් පලාත් වල දැන් සකල බුජංල නැති වුනත් ... ඉස්සර සකල බුජං නොහොත් දැන් සුදු පුතාලගේ ගෙදර සකල බුජං කෙනෙක් ඉන්නවදෝ කියල මට හිතුන නිසයි ඒ.....
This comment has been removed by the author.
ReplyDeleteමේලොකෙ සකල බුජංලා බිහිවෙන එක නවත්තන්න කාටද පුලුවන්.
ReplyDeleteමොන නීති රීති දැම්මත් දරාගන්න බැරි අගහිඟකම් එත්දි ඒ අසරණ ළමයින්ගෙ දෙමාපියො එයාලව සකල බුජංල කරල මහත්තයො කියන කස්ටිය ගාවට එවනවා.
එයාල ඇත්තටම මහත්මා ගති තියෙන මහත්වරුද ??
ඒ බවනම් පේනව පත්තරයක් අතට ගත්තම ( පලකරන්නෙ ටිකයි පලනොකෙරෙන එව්ව කොච්චරක්ද කියල කවුද දන්නෙ ? )
ඒ අතින් බලුවම අපි කොයිතරම් වාසනවන්තද ? හ්ම්............
ReplyDeleteඅපේ ගෙදර හිටිය සකලබුජංල දෙන්නෙක්. දෙන්නම ගෙනාවේ මාත් එක්ක සෙල්ලම් කරන්න. ළඟ ඉස්කෝලෙටත් ගියා පියසිරියට හොඳට ඉගෙනගන්නත පුලුවං. මම එක්ක හිටියොත් ඒ කොල්ලො නරක් වෙනව කියල දෙන්නම ගමේ යවල තමයි මැනික අක්කව ගෙනාවේ.
ReplyDeleteපවුල් ප්‍රශ්න නිසා ගමේ යන එක නැවතුනා. ඒ නිසා උන් දෙන්නට මොනව උනාද දන්නෙ නෑ. පියසිරියනම් බැංකුවක ඉහළ නිළධාරියෙක් කියල දූෂමාන ආරංචියක් නම් ආවා.
උන් දෙන්න ගමේ යැව්වෙ, අපේ අම්ම උන්ටත් අපිට වගේම ආදරේ නිසා. මට මතකයි මම දවසක් එකෙක්ට ගහල අඬන කොට අම්මත් ඇඬුව.
පරණ ළමා සිංදු කොච්චර ඇහුණත් මේ සිංදුව ඇහෙන්නේ නැත්තේ ස්වයං වාරනයක් නිසාද නැත්නං තහනං කරල නිසාද දන්නෑ. පොඩිකාලේ අපිත් ඔය සිංදුව කීවට ඒකෙ තියෙන දුක්බර පැත්ත අපිට තේරුනේ නෑ. වැඩිහිටියො අපට කිව්වෙත් නෑ.
ReplyDeleteමාත් පොඩිතාලේ ඔය සකල බුජං කොට කලිසන් වගේ කවියක් අහල තියනවා යන්තම් යන්තම් මතකයි. ඒත් අද තමා මුලු කවි පංතියම ඇහුවේ. මේ සකල බුජං ල ඉස්සරත් හිටියා, දැනුත් ඉන්නවා, අපේ ආකල්ප වෙනස් නොවුනොත් හෙටත් ඉඳීවි. පවු අපි මොනව හරි කරමු අපට පුළුවන් තරමින් වත්.
ReplyDeletewow දැන්නෙ දැක්කේ hit ලක්‍ෂයත් පැනලනේ. සුභ පැතුම් මගෙනුත්
ReplyDeleteඔය සකල බුජං ලාට හරියට අදරය කරුණාව දුන්නහම , යහගුණ අතින් මෙ අය අනිත් මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉස්සරහාට යනවා. එවගෙම තමයි අනිත් පැත්තත්. මම ගොඩාක් ආදරය කරන, ගෞරව කරන චරිතයක් මගෙ පවුල වටා ඉන්නවා. එයා පොඩි කාලෙ අපෙ අයියාත් එක්ක ඉන්න ගෙදරට ගෙනාපු කෙනෙක්, දැනටත් ගුණය අතින් මම එතරම් හොද කෙනෙක් ව දැකලා නැහැ.
ReplyDeleteතැන් තැන් වල තවමත් සකබුජන්ලා ඉතිරිව ඇත.....කාගේ වරදද?
ReplyDelete@ priyantha.ඒබී
ReplyDeleteඔරිජිනල් එක කවියක් නෙවේ.සිංදුවක්.
@priyantha.ඒබී said..."
ReplyDeletewow දැන්නෙ දැක්කේ hit ලක්‍ෂයත් පැනලනේ. සුභ පැතුම් මගෙනුත්
maath me kiyanna haduwa vitharayi . . .
KK ta jaya wewaa . . . !!!!
හ්හ්ම්ම්.. රසික සූරියආරච්චි ගැන නම් බොහෝ දේ අහලා තිබ්බට, ඔය කියන පොත කියවා නැත.. හැබැයි කියවන්නට අදහසක් ඇත.
ReplyDeleteකෝක නමුත් අපූරු කවිය..
:D
සකල බුජන් සින්දුව අහපු පලවෙනි දවසේ ,ම මම හිතුවා මේ අසරණ පොඩි දරුවගේ වද වේදනා නේද මිනිස්සු රස කර කර අහන්නේ ළමයි තාලෙට නටන්නේ කියලා. අපි බවුද්දයෝ උනාට මහා ලොකු බවුද්ද ගෙවල් කීයක නම් නොදරුවෝ මෙහෙකාර සේවේ යෙදෙනවාද ?
ReplyDeleteඉස්සර අපේ තාත්තත් වෙලාවකට මට "සකලබුජං කොට කලිසම්" කියලා හිනාවෙනවා. ඒ කාලෙ ඒක හරිම විනෝදයක්. මම ඔය සිංදුවෙ මුල පදේ විතරයි සෑහෙන කාලයක් තිස්සෙ දැනගෙන හිටියෙ. ඒත් දවසක් මේ ළමා ගීතයේ ගායිකාව රූපවාහිණී වැඩසටහනක මේ ගීතය ලියැවුණු හැටි ගැනත් කියලා ගීතය ගායනා කළා. එදා මට ඇඬුණා. ගොරවනකොට බයවුණාම තුරුල් කරගන්න කවුරුත් නැති අවුරුදු අටක පොඩි එකෙක් කන් දෙක අතින් තද කරගෙන ගුලිවෙලා ඉන්න හැටි මට මැවිලා පෙනුනා.
ReplyDelete