Tuesday 26 November 2013

මිදුලේ බුදුන් සහ ගේ ඇතුලේ බුදුන් - A few sketches on personal shrines


මෙන්න මුලින් ම තුන් තේරවිල්ලක්.

"බුදු කුස්සිය"

මං දන්නා පිළිතුර පසුව දාන්නම්.

අද මං ලියන්න යන්නේ කතන්දරයක්ම නොවෙයි. පසුව කතන්දර කීපයකටම පාදක කරගන්න පුළුවන් පොඩි සටහන් කීපයක්.


1.
අපි පොඩි කාලේ පාසල් නිවාඩුවට අම්මගේ දෙමව්පියන් ගේ නිවසට යනවා. සාමාන්‍යයෙන් අවුරුද්දට දෙපාරක් විතර.

ආච්චිලා ගේ ගෙදර මිදුලේ ඉස්සරහින් පැත්කට වෙන්න තියෙනවා කණු හතරක් උඩ හිටවපු පොඩි ගෙදරක් වගේ එකක්. ඒකට දැල්වලින් හදපු දොරක් තියෙනවා.

මේ පොඩි ගෙදර තමයි "බුදු පැල", එහෙමත් නැත්තං "බුදු කුටිය". හැමදාම හවසට ආච්චී මේ අට්ටාලය ඇතුලේ තියෙන බුදු පිළිමය ඉස්සරහා පොල් තෙල් පානක් පත්තු කරලා, මල් පුජා කරලා, පන්සිල් අරගෙන අනෙකුත් ගාථා යනාදිය කියලා වඳිනවා.


2.
මේ දවස්වල අපි පදිංචි වෙලා හිටියේ තාත්තා ගේ මහ ගෙදරයි. ඒ නිවසේත් මිදුල ඉස්සරහා පැත්තකට වෙන්න තනි ගල් කණුවක් තිබුණා. ඒ කණුව උඩ කලකට පෙර "බුදු කුටියක්" තියෙන්න ඇති. නමුත් මට මතක ඇති කාලය වෙන කොට ඒක හිස් කණුවක් විතරයි.

මං කොළඹ පාසල් යන කාලයේ කාලයේ අපේ ආච්චී වත්තේ පොල් කඩවා මිදුලේ ගොඩක් ගසා තිබුණා පසුවදා ලෙළි ගස්සවා පොල් මුදළාලි කෙනෙකුට විකිණීමට. ආච්චී ගේ ආදායම වුනේ මේ පොල් විකුණා ලැබෙන සුළු මුදළයි.

නමුත් එදා රෑම මේ පොල් ගොඩෙන් වැඩි හරියක් හොරෙන් ගෙන ගොස් තිබුණා.

මේ සොරකම නිසා ආච්චී කොයි තරම් දුක් වුණාද කිවහොත් ඇය පසුවදා රාත්‍රියේ අර කණුව උඩ පානක් පත්තු කර හතරවරම් දෙවිවරුන්ට කණ්ණලවු කරමින් පොල් හොරකම් කළ අයට පළි ගසන්නට පටන් ගත්තා. ඇය මේ වැඩේ සතියක් පමණම කළා. ඊට පසුත් අර පහන ඒ කණුව උඩ දැල්වුණා මට මතකයි.


3.

කතන්දර හාමිනේ ලා ගේ මහ ගෙදර තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් එකක්.

ඒ ගෙදර සුද්ද ගේ කාලේ හැදු එකක්. එහි කෑම කාමරය වටා යන කොරිඩෝරයේ එක් කොනක ඉතා කුඩා කාමරයක් පිහිටා තිබුණා. මෙය තමයි ඔවුන් "බුදු මැදුර" ලෙස පාවිච්චි කලේ. හැමදාම හවසට නැන්දම්මා මේ කුටිය තුල තිබුුණු බුදු පිළිමයට මල් තබා වැඳ පාන් පත්තු කර පන්සිල් ගැනීම යනාදිය කරනවා.

මං හිතන විදියට මේ කාමරය සුද්දා ගේ කාලේ භාවිතා කෙරුණේ කොහු ආදී නිවස පිරිසිදු කරන උපකරණ තැබීමට (broom closet) විය යුතුයි.


4.

දිගු කාලයක් මහ ගෙදර පදිංචිව සිටි අපේ තාත්තා පසුව අළුතින් නිවසක් තනා එහි පදිංචියට ගියා. මේ නිවසේ මිදුලේ "බුදු කුටියක්" හෝ නිවස තුල "බුදු මැදුරක්" හෝ සැකසුනේ නෑ.

ඒ වෙනුවට සාලයෙන් නිවස තුලට පිවිසෙන ආරුක්කුවට උඩින් බුදු පිළිමයක් සවි කෙරුණා. නමුත් එහි කිසිදා පොත් තෙල් පහන් දැලවුණේ නෑ.

ඒ වෙනුවට බුදු පිළිමයට යටින් සෑදුණු වක්‍රාකාර හෝල්ඩරයක දිගැටි විදුලි බුබුලක් සවි කෙරුණා. මේ දිගැටි බුබුල දැල්වූ විට එයින් නිරූපනය වුනේ සැලෙමින් දැල්වෙන පහන් සිළුවක්.

මේ පහන නිවෙන්නේ ලංවීම කෂ්ටිය අප හා අමනාප වූ දිනට විතරයි. මහ දවාලේත් එය දැල්වුණා.

පසුව කාලයක සමහර නිවෙස්වල මේ නිවෙස් තුල කෙරෙන පහන් දැල්වීම් සඳහා PLC වලින් දුවන LED බුබුලු සහිත පුවරු ද භාවිතා කෙරෙනු මා දැක තියෙනවා.


මේ කෙටි සටහන් කිහිපයක් පමණයි. තව ටික කාලයකින් මේ ඇසුරෙන් කතන්දර කීපයක්ම ලියන්නට හැකිවේවි!

-කතන්දරකාරයා

ප/ලි:
"බුදු කුස්සිය" - තුන් තේරවිල්ලට පිළිතුර දන්නවාද? මං දන්නා පිළිතුර පසුව දාන්නම්.


(images: copyright reserved, KK)

39 comments:

  1. මම දන්නා තේරුම මෙහෙමයි... බුදු නම් මුනි, කුස්සිය නම් පැල, මුනි පැල - පැණි මුල...

    අපේ ගෙදරත් එළියේ කණුවක් උඩ තිබ්බ බුදු කුටිය, කලකට පස්සේ රාක්කයක් වෙලා ගේ ඇතුලට ආවා...

    ReplyDelete
  2. බුදු = මුණි,
    කුස්සිය = පැළ
    මුණිපැළ
    පැණිමුළ

    ReplyDelete
  3. කකා කොහෙන්ද අර දකුණු පැත්තේ තියෙන පින්තූරේ ගත්තේ ,ඒ විදිහේ හිටි පිළිමයක් නම් මම දැකලා නෑ මීට කලින්

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      පොළොන්නරුවෙ ගල් විහාරෙ තීන්නෙ ඔය වගේ හිටි පිළිමයක්.

      Delete
    2. උඹ පොළොන්නරුවේ ගල් විහාරෙට ගිහිල්ල නැද්ද?

      Delete
    3. තිවංක පිළිමය වගේ නේද?
      http://1.bp.blogspot.com/-qeDN4YmDWnM/UaAJyiGmg5I/AAAAAAAAJCs/qZtqqd9wmEI/s1600/SAM_0734.JPG

      Delete
    4. ඔයා වීරවංශගෙ නෑ කෙනෙක් ද?

      Delete
    5. මචංලා ගල් විහාරේ තියෙන්නේ මේ වගේ පිළිමයක් නෙවෙයි (තිසර & ඉන්දික) ගල් විහාරේ තියෙන පිළිමෙට වඩා වෙනස්. ගල් විහාර පිළිමේ තනිකෙලින් තියෙන පිළිමයක්. මේක වම් පාදය මදක් නැවිලා තියෙන්නේ. අනික තමයි සිව්ර ගල් විහාර පිළිම සිව්ර ඇත බාහුවේ ඉඳන් කෙලින්ම පහලට වැටෙන සිව්රක්.මේක වඩා ළඟ ගල් විහාර් පිළිමයට වඩා තිවංක පිළිමයට. පලවෙනි ඇනෝ හරි.

      Delete
    6. ඉවාන්, ගල් විහාරෙ තීන්නෙත් එක කකුලක් නවපු හිටි පිළිමයක්. මතක නැත්තන් අයො ගූගල් කරල බලන්න. මේක ගල් විහාර පිළිමෙම අසාර්ථක කොපියක්. තවන්ක පිළිමගෙයි හරි පිළිමයක් නෑනෙ අත් එක්කම.

      Delete
    7. මතකයේ හැටියට මේ බුදු පිළිමය අපට ඥාතියෙක් දුන් එකකි. මහරගම පැත්තේ කඩවල බලන්න.

      Delete
    8. ගල් විහාරේ තියෙන පිළිමේ එක තැනකින් නවුන පිළිමයක්
      පොලොන්නරුව ලංකාතිලක පිළිම ගෙයි තියෙන්නේ තැන දෙකකින් නැවුන පිලිමයක්ලු
      තුන් තැනකින් නැවුන පිළිමේ තමයි අපි කව්රුත් දන්නා තිවංක පිළිමය

      Delete
  4. ට්‍රිප් එකේ විස්තර දාන්න කකා.... අපි කකාගෙ නයා බලන්න ආසාවෙන් ඉන්නේ...

    ReplyDelete
  5. බුදු = මුනි
    කුස්සිය = පැල
    මුනිපැල => පැනිමුල

    ReplyDelete
  6. //පහන් දැල්වීම් සඳහා PLC වලින් දුවන LED බුබුලු සහිත පුවරු ද භාවිතා කෙරෙනු මා දැක තියෙනවා.//
    PLC ද PIC ද? PLC මගින් කරන්න පුළුවන් නමුත් එහෙම එකක් කරොත් වැඩකරන තැනින් PLC එකක් හොරකම් කරපු මැවිසුරුවෙක් වෙන්න ඕන නැත්නම් ඔය වැඩේ ට හරියන්නේ PIC නේ. දැන්නම් raspberry pi මගිනුත් ඔය වැඩේ කරන මල්ලිලා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඇති.

      මා මේ කියන්නේ ගෙදරදී සකසන ඒවා නොවේ. කඩෙන් ගෙනත් හයි කරන විවිධ වර්ණ රටා මවන බුබුලු පේලි සහිත පුවරු ගැනයි.

      Delete
    2. කඩෙන් ගෙනත් හයි කරන බෝඩ් වල තියෙන්නෙ PIC. PLC එකක් ලංකාවෙ නං අවම වශයෙන් රු.70000ක් වෙනව පොඩිම ප්‍රමාණයෙන්. ඒව පාවිච්චි කරන්නෙ යන්ත්‍ර සූත්‍ර ප්‍රෝග්‍රෑම් කරන්න. අපේ මහත්තයාගේ ව්‍යාපාරය ඔය හා තදින්ම බැදී තිබෙන නිසයි මාත් දන්නෙ.

      Delete
  7. කියෙව්වා... පස්සේ කමෙන්ට් කරන්නම් !

    ReplyDelete
    Replies
    1. මම නේද එක..
      මන් එක හුරේ....
      එක දාලා ගිහින් දැන් තමයි කියවුවේ ,,
      අනේ මට මේක කියවද්දී අමතක වෙලා තිබ්බ සමහර දේවල් මතක් වුණා.
      හ්ම්ම් මාත්..

      Delete
    2. හ්ම්ම් ..තව ටිකක් හිතන්න ඕන…
      දෙන්න තව ටිකක් කල්..
      පසුව එමි! :D

      Delete
    3. පටන් ගත්තා විතරයි නේද ?
      හිතේ මාර ෆීලින් ගොඩක් දුන්නා. සිරාවටම කදුළු ආව.

      Delete
    4. අනේ අනේ ඇනෝ ,,මේ මං මාතලන්ට ඕක ඇත්තටමයි කිවේ අනේ ,,හි හි

      Delete
  8. අපේ ගෙදරත් ගේ ඇතුලෙම තියෙනවා බුදු සාදුට පහන් පත්තු කරන්න.. තාත්තා එළියේ දෙවියන්ට රෑ 9 ට විතර පහනක් පත්තු කරනවා වෙනම කුටිරියක.
    අනේ මන්දා මම දෙයියන්ගේ පහන නම් පත්තු කරන්නේ නැහැ. බුදු සාදුගේනම් වෙලාවකට පත්තු කරනවා. පින්තුරේ වගේ පිලිමනම් නැහැ. තියෙන්නේ සාමධි පිළිමයේ හැඩය තියෙන සුදු පාට පිළිම.

    ReplyDelete
  9. බුදු බැතිය හිත් වලත් තියෙනවනම්, ඔය ලාම්පු වලට වඩා කොච්චර ආළෝකයක් විහිදුවයිද...? මම නම් මේවා අනුමත කරන්නේ නෑ.. බුදුන් නිශ්ප්‍රභා කරපු දේවල් මේ..

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි මාතලන් ගස් ගල් වලට වැදීමෙන් පලක් නැතැයි කී බුදුන් ගේ රැවක් ගලින් නෙලා ඊට වැද වැටෙන තත්වයකට ශිෂ්ඨාචාරය පත්ව ඇත

      Delete
  10. ටිකක් හිතන්න ඕන පොස්ට් එකක්..
    ඔය කාරණා හතරේ මේ වගේ අංශ 3 ක් තියනවා.
    ර්ර්ාරණ ලංකාව කියන්නෙ ප්රාබදේශිය වශයෙන් සංස්කෘතික විෂමතා රාශියක් පවතින රටක්. මීට පැහැදිලි උදාහරණයක් වන්නේ කථන භාෂාව සමහර විට මේ පිළිබද කවුරුන් හෝ බ්ලොග් එකක පොස්ටුවක් දමලත් ඇති.
    මේ කියන සංස්කෘතික විෂමතාව ආගමටත් එක විදියට බලපා ඇති ආකාරයක් දැකගත හැකියි.
    සමහර ප්ර්දේශවල බුදු පහණ නිවස තුල දැල්වීම නුසුදුසු යයි මතයක් පවතින අතර. තවත් සමහර ප්රටදේශ වල දෙවියන් උදෙසා තබන පහණ නිවස තුල දැල්වීම සිදු නොකරයි.
    තවද නිවස තුල හෝ නිවසින් පිටත තබන පහනෙහි දිශාව පිලිබ‍දව බොහෝ පෙදෙස් වල සැලකිල්ලක් දක්වයි. විශේෂයෙන්ම බස්නාහිර දිශාවට මුහුණලා කිනම් පහණක් හෝ නොදල්වයි.
    තමන්ට අයහපතක් අසාධාරණයක් සිදු වූ අවස්ථාවල නොපෙනෙන බලවේගවල පිහිට පැතීම මිනිසුන් තුල බොහෝවිට දක්නට හැකි ලක්ෂණයක් වෙයි.
    මෙම බලවේගයන් පිළිබඳව ගොඩනැගුණු අතිශෝක්තියෙන් යුතු කරුණු, කතන්දර සූක්ෂම ලෙසින් පතුරුවාහරිමින් ඒ පිළිබඳ මිනිසුන් තුල දැඩි විශ්වාසයක් ගොඩනැගීමට කට්ටඩි ගුරා ලා සමත්ව ඇත. (රොඩී දැහන, මාතර ගුරුකම්, මැණික්හින්නේ ගුරුකම් - කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ රස කතන්දර ආදී....)
    මිනිස්සු තමන්ට උනුදේට පිළිසරණක් පතාගෙන දෙයියන්ට පහන් පත්තු කරනවා බැරිම උනොත් සීනිගම ගිහින් මිරිස් කරලක් හරි අඹරණවා....
    ලොකේ වෙනස්වීමත් එක්ක ඒ කාලෙ ඉදන් ආපු සංස්කෘතික අංග ක්රතම ක්ර්මයෙන් ගිලිහිලා යනවා නැත්නම් මිනිස්සුන්ට තියන කාර්යබහුලත්වය නිසා ඒවා අමතක කරල පහසු විදියක් සොයාගන්න යනවා. එහෙම නැත්නම් මුදලාලිලා විසින් ඒ අංගයට ආදේශකයක් විදියට තමන්ගේ භාණ්ඩේ ඉදිරිපත් කරනවා.
    උදාහරණයක් ලෙස වෙසක් උත්සවය ගන්න පුළුවන් අතීතයේ හදපු පහණ් කූඩුව අද කඩෙන් ගන්න තත්වයට පත් වෙලා.. උණගස් පුවක් ගස් සියගානක් කපලා මාස ගානක් හදපු තොරණ අද ඩිජිටල් තොරණ බවට පත් වෙලා..
    ඉතින් මේව්වා මෙහෙම වෙනස් වෙද්දී ගෙදර තියෙන බුදු පහණට බල්බ් එකක් ආදේශවීම පුදුමයක් නෙවෙයි.
    අර බුදු කුස්සිය කියන්නෙ නම් මම අහල තියෙන විදියට පැණිමුලට

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුතියි.

      කාලයත් සමගම සිරිත් වෙනස් වීම විය යුතු දෙයක්. අදහස් පවා අළුත් වෙනවා. හණමිටි කියන කතාව තියෙන්නේ ඒ ගැන විස්තර කීරීමටයි.

      Delete
  11. පහනට පොල් තෙල් දාන්නේ කොහොමද පොල් තෙල් ලීටරයක්‌ රුපියල් එකසිය ගානකින් වැඩි වුනා නේද?
    ඒ නිසා LED හොඳයි.
    අපේ ගෙදරත් බුදු කුටියක්‌ නම් නෑ.

    ReplyDelete
  12. මිදුලේ තියෙන පහන් කණුවෙන් දෙවියෙක්ව නෙමෙයිද යදින්නෙ?
    අපේ ගෙදර නම් ඒ වගෙ කතාවක් මතක. බුදු පිළිම හා මල් පැන් තියන්නෙ ගේ අස්සේ.

    ReplyDelete
  13. ඒකෙ වරදක් මම නං දකින් නෑ කකා..
    හිතේ ශ්‍රද්ධාව තියනව නං පහනෞත් එකයි බල්බ් ත් එකයි පත්තු නොකලත් එකයි.
    අනුන්ට ගින්දර දෙන් නැතුව සාධ‍රනව හරි හම්බු කොරං පුලුවං හැටියට අනුන්ටත් උපකාරයක් කරං ජීවත් වෙනව්නං ඒ මනුස්සය ඕව නොකරත් කාරි නෑ !!

    ReplyDelete
  14. බුදුන්,දහම්, සඟුන් සරණ යන්න පහනක් පත්තු කරන්නම ඕනේ නෑ කියන එකයි මගේ අදහස....

    ඉස්සර ගෙවල් වල බුදු පහන පත්තු කලේ එලියේ.. දැන්නම් එහෙම දකින්න ලැබෙනවා අඩුයි...

    මේ ඇසුරෙන් ලියවෙන කතා ටිකත් ඉක්මනින්ම කියවන්න අපි බලාගෙන ඉන්නව හොඳේ...

    ReplyDelete
  15. බුදු පිළිමයක් නම් තියෙනවා...පහනක් පත්තු කරන්නේ නැහැ....සමහරක් දේවල් හරියට කරන්න බැරිනිසා තවත් බොරුවක් නොකර ඉන්නවා.

    ReplyDelete
  16. K@#$*+$&&%**%##@@%%*%$#@P^

    ReplyDelete
    Replies
    1. 4d0 84LU K4k474 M4d4 94H4NN4 3P4 h4r1D4

      Delete
  17. මහගෙදර නම් බුදු කුටියක් තිබුන ,වටේට සේපාලිකා,පිච්ච,වතු සුද්ද මල් ගස් වවපු.
    10 හ දෙනකු විතර පැදුරු එලල පන්සිල් ගන්න පුළුවන් ලෙසට හදපු.

    ReplyDelete
  18. අපෙ ගෙවල් කෙනෙක් බොහෝම වියදම් කරලා බුදුගෙයක් හැදුවා වත්තේ කොනක . ඒක බොහොම ලස්සනයි . ටයිල් අල්ලලා ලැයිට් දාලා තිබුනා. බුදුගෙයි ඇතුලේ සෑහෙන්න වට්නා පිලිම දේව රූප ගොඩක් තිබුනා .. මුල් කාලේ හිතේ භක්තියෙන් ඒ බුදුගෙට ගිහින් වැන්ඳ අපේ අසල්වැසියා පස්සේ පස්සේ ඒ බුදුගෙයි ඇතුලට අඩිය තියෙනකොටම ආරූඪ වෙන්න පටන්ගත්තා .. සරම කඩාගෙන පරලවෙලා නටලා සාස්තරත් කියලා .. පස්සේ ඒ බුදු කුටිය දේවාලයක් බවට මොඩිෆයි කලා .. බුදු පිලිම අඩු වුණ එකයි දේව රූප වැඩි වෙච්ච එකයි විතරය් වුණේ .. දැන් සෑහෙන්න හෙනගක් එතනට යනවා ..කොහොමද වැඩ ?

    ReplyDelete
  19. බුද ගුරු ශනිට හිමි හැම ඒ දවස්වල
    මේ සන්හිදේ එළියක් ඇත සවස්කල
    (පද අමතකයි ) මිදෙනට බාරයක්කල
    සැමදෙන එතැන රැස්වෙති ගමගේවල්වල

    ReplyDelete
    Replies
    1. බුද ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
      මේ සංහිඳේ එළියක් ඇත සවස්කල
      ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්කල
      හැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල්වල

      විමලරත්න කුමාරගම
      අයියනායක කවි පන්තිය -
      (සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 10 - 11 වසර--ඒකාලේ)

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.