Friday 9 November 2012

ප්ලාස්ටික් කිඹුලා - Remember reading this?


"ලොකු පුතා ලැහැස්ති වෙන්න" මගේ මව කියනු මට ඇසේ. "අපි තව ටිකකින් ආච්චිලා ගේ ගෙදර යනවා!"

තුන් වසරැති බාල සොයුරා සමග මා මිදුලේ සෙල්ලම් කරමින් සිටි ස්ථානයට දිව එන ඇය ඔහු රැගෙන නිවස තුලට යයි. ඒ මල්ලීව ගමනට සූදානම් කිරීමට බව මට හැෙඟ්. මගේ වාරයට තව කල් ඇත.

එක් වසරැති බිළිඳා නිවස තුල තද නින්දේය. ටික වේලාවකින් ඔහු හඬන මිහිරි නාදය නොඇසුණි.

මල්ලී සමග සෙල්ලමේ යෙදීමට මා කැමතිම ස්ථානය වූයේ ගල් බොරලූ වැලි පිරුණු මිදුලේ කොණක තිබූ කිසි දිනක පල දරා නොමැති රඹුටන් ගස යට සෙවණයි. අප දෙදෙනා අතර වයස පරතරය යාන්තමින් මාස දහතුනක් විය. අපේ සෙල්ලම් කිරීම සමහර විටෙක අවසාන වූයේ දබරයෙනි. අම්මා අකමැති වූයේ ද ඒ අවසානයටයි.

තව වසරකින් පමණ බිළිඳා ද ලොකු මහත් වී අප හා එක්වණු ඇති බව මම දනිමි.

මුහුණ කට සෝදවා අළුත් ඇඳුමින් සරසවන ලද මල්ලී නිවසින් එළියට එයි. නිවස පිටුපස පිහිටි ලිඳ අසල සිට අම්මා නැවත මට අඬ ගසයි. බිළිඳා නෑවීම සඳහා ඇය ලිඳෙන් ඇද ගන්නා වතුරින් බේසමක් පුරවනු මට යාන්තමට පෙනේ.

"ලොකු පුතා එන්න, මූණ හෝදන්න!" අම්මා නැවතත් මට කතා කරයි. මෙවර ඇගේ කට හෙඬ් ඇත්තේ මද කෝපයකි. එය මා ගැන ඇතිවුණු කෝපයක්ම පමණක්ද?

මම කිඹුලා දෙස නැවත බලමි. මේ අම්මා මාස කිහිපයක කලින් දිනයක මාබිම පොලෙන් මට මිළදී ගෙන දුන් කොල පැහැති ප්ලාස්ටික් කිඹුලාය.

කිඹුලා ගේ ගෙල වටා බැඳ ඇති පරණ ඉලාස්ටික් පටියද එහි අනෙක් කෙළවර ගැට ගැසුණු ගල් කැටයද මට පෙනේ. ඒ මගේ ශූර ක‍්‍රියාවක ප‍්‍රතිඵලයකි. ඇත්තම කිවහොත් මල්ලී ද මේ ගැට දැමීම සඳහා මට උදව් කළේය.

මම කිඹුලා ද, ඉලාස්ටික් පටිය සහ ගල් කැටය ද අතට ගෙන හැකි වෙර දමා නැවතත් රඹුටන් ගසේ අතු දෙසට ඉහලට විසි කරමි. මල්ලී සමග මා කලින් උත්සාහ කළ කිහිප වතාවේම සිදුවූවාක් මෙන් ඒ සියල්ල මෙවරද බිම පතිත වෙයි.

මම උත්සාහය අත නොහරිමි. උත්සාහවන්තයා තනිවම උත්සාහ කළ තෙවන වතාවේ ජය ගනී. මගේ කුඩා සිතට ඇති වන්නේ මහා ප‍්‍රීතියකි.

මම ඒ ප‍්‍රීතිමත් සිතෙන් යුතුව ලිඳ දෙසට දිවයමි. තව දුරටත් පමා වූවොත් අම්මාගෙන් තට්ටමට පොඩි පහරක් ලැබෙන්නටද ඉඩ ඇත.

ඇඟ සෝදාගෙන නිවස තුලට ගොස් අළුත් ඇඳුමින් සැරසෙන මට දක්නට ලැබෙන්නේ අපේ අනෙක් ඇඳුම් සියල්ලම සූට්කේස් තුල අසුරා ඇති බවයි. කුස්සියද අස්කර එහි තිබූ බඩුමුට්ටු විවිධ කූඩා සහ මළු තුල බහා ඇත.

"අපි අද ඉඳලා ඔයාගේ ආච්චිලා ගේ ගෙදර පදිංචියට යනවා" අම්මා කියයි. "අපි ආයේ මේ ගෙදරට එන්නේ නෑ!" ඇගේ කටහෙඬ් ඇත්තේ ශෝකයකි.

ඒ මේ කුලී නිවස හැරයාම ගැන ඇති වුණු දුකක් ද නැතිනම් පියාගේ මහගෙදර ඥාතීන් හා ජීවත්වීමට යාම පිළිබඳව ඇතිවූ දුකක් ද යැයි මට නොතේරේ. එය ඒ දෙකෙහි සම්මිශ‍්‍රනයක් වෙන්නට ඇත.

මා පසුව දැනගත් පරිදි අප ඒ දිනවල සිටි කුලී නිවස පිහිටා තිබුණේ පියාගේ සේවා ස්ථානය අසල අක්කර දෙකක පමණ පොල්වත්තක් මැදය. මේ සිදුවීමට කීප දිනකට කලියෙන් එක්තරා රාත‍්‍රියක පොල්වත්තට පැමිණි හොරු කීප දෙනක් ගස්වලින් පොල් කඩා ඇත. ඔවුන් එය කර ඇත්තේ නිහඬව හොරුන් මෙන් නොව මහ හඬින් කතාවේ යෙදෙමිනි. කුඩා ළමුන් තිදෙනෙක් සහ බිරිඳ සමග මේ නිවසේ සිටීම ආරක්‍ෂාකාරී නොවන බව මගේ පියාට වැටහෙන්නට ඇත.

ඔහු මේ ප‍්‍රදේශයේ පදිංචිව සිටියේ සේවා ස්ථානය ආසන්න නිසා වුවද පියාගේ මහ ගෙදර පිහිටියේ ද සැතපුම් දහයක් පමණ නුදුරිනි. හැකි විගස මහ ගෙදර ගොස් පදිංචි වීමට පියා තීරණය කර ඇත්තේ එහෙයිනි.

කුඩා ලොරියක් ද ඒ පසුපස කාරයක්ද මිදුළට එයි. මේ හන්දියේ කඬේ කුලී රථයයි. මගේ පියා ඉන් බසින අතර තරුණයෝ දෙදෙනෙක් ලොරිය පසුපස සිට බිමට පණිති. පැය භාගයක් පමණ කාලයක් ඇතුලත අපේ සියළු චංචල දේපල, එනම් ඇඳන් දෙකක්, අල්මාරියක්, ලියන මේසයක්, කෑම මේසයක් සහ පුටු කිපයක්, කුස්සියේ බඩු සහ සූට්කේස් කීපයක් ලොරිය තුලට ද, කුලී රථයේ ඩිකිය තුලට ද පැටවේ.

අපේ පවුල රැගත් කාරය පොල්වත්ත මැදින් කෙමෙන් කෙමෙන් මහාමාර්ගය දෙසට ඇදේ. ලොරියද අප පිටුපසය.

අම්මා ඇගේ තෙත්වුණු ඇස් කුඩා ලේන්සුවකින් පිස දමයි. මම පිටුපස හැරී පොල්වත්ත මැද පිහිටි අපේ කුලී නිවස දෙස බලමි. මිදුලේ කෙළවර ඇති රඹුටන් ගස මගේ නෙත ගැටේ.

"මගේ කිඹුලා! මගේ කොලපාට ප්ලාස්ටික් කිඹුලා!!" මම කෑ ගසමි. "අනේ ඌ රඹුටන් ගහ උඩ, අයියෝ!"
කිසිවෙකුට මගේ කෑ ගැසීම නොඇසේ.

කුලී රථය පොල්වත්තෙන් නික්ම මහාමාර්ගයට පිවිසෙයි. මට තව දුරටත් රඹුටන් ගස නොපෙනේ.

ඇත්තටම මට කිසිවක් පැහැදිලිව නොපෙනේ. මා වටා ඇති සියලූ දේ ම බොඳවී ඇත.

කතන්දරකාරයා

ප/ලි
ඔරිජිනල් කතන්දරය සඳහා මෙතන බලන්න.
http://kathandara.blogspot.com.au/2012/11/there-is-crocodile-up-in-tree.html

>(image: http://www2.crayola.com/educators/lesson_plans/printer.cfm?id=1276)

15 comments:

  1. //"මගේ කිඹුලා! මගේ කොලපාට ප්ලාස්ටික් කිඹුලා!!" මම කෑ ගසමි. "අනේ ඌ රඹුටන් ගහ උඩ, අයියෝ!" //

    හන්දියේ බේකරියෙන් කිඹුලෙක් අරන් දෙන්නම්.

    ReplyDelete
  2. අද කතාව හොඳට රස වින්දා...:D

    ReplyDelete
  3. kaka, is there a crocodile in your pants?

    (this is an advertisement)

    ReplyDelete
  4. Nice Story. We love this kind of Stories,
    Crocodile Tears...!!!

    :D :D

    ReplyDelete
  5. ඉංගිරිස් කතාව කියෙව්වේ නෑ කම්මලිකමට... අපි ඉතින් සිංහලට මුල් තැන දෙන මිනිස්සුනේ... අගේ ඇති කතාව... මේ කිඹුලාගෙ පින්තුරෙන් නම් කතාවට හානියක් වගේ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  6. මරු කතාව.හැම එකක්ම කියවනවා....

    ReplyDelete
  7. ඇති යාන්තන් අපි ගැන හිතලා කතාව සිංහලෙන් ලිව්වා. ස්තුතියි කකා.
    ප.ලි. - ඒක නෙමේ. කකා දැන් මහැඳුරු ද සුළු ඇඳුරුද. දැන් නම් මහඳුරු කෙනෙක් වෙලා ඇති මහිතේ.

    ReplyDelete
  8. අද කතාව නම් හරිම ලස්සනයි කාකා මල්ලී. හොඳට රස වින්ඳා. අපිවත් ඉතින් කුඩා කාලෙට ගෙනිච්චා වාගෙ.

    ReplyDelete
  9. අපූරුයි කාකා.විශිෂ්ටයි. දෑස් තෙත් කෙරුවා. අද නම් අව්‍යාජ ලියැවුමක්.

    ReplyDelete
  10. මේ විධියම සිද්ධියක් මටත් වුණා...
    අනුරාධපුරේ අපි හිටියෙත් කුලී ගෙදරක. අපේ ගේ ගාව හිටියේ මගේ යාළුවා.. මම එතකොට පහ වසරේ.. අපි ගේ අතෑරල එන්න මාසෙකට කළින් (එතකොට අපි එනව කියල ප්ලෑන් කරල තිබුණේ නෑ) මගෙ යාළුවා ඇවිත් කියුව 'බං මම හීනයක් දැක්ක උඹල අපිව දාල යනව.. මම වාහනේ පස්සෙං අඬාගෙන ගෙන දුවගෙන එනව' කියල. ඊට මාසෙකට පස්සෙ අපි ආව.........

    ReplyDelete
  11. මේ කතාව එදත් කියෙව්වනේ කකා

    ReplyDelete
  12. සිත් පුරා රස විඳීමි
    වන්දනා ගමනක් ගොස් ලොකු පුතා එකතු කරගත් අමු වෙරළු අහුරක් මගේ නොසැලකිල්ල නිසා ඔහුට අහිමි විය.
    ඒ වැරැද්ද නිවැරදි කරන්නට ලැබුනේ නැත.
    ඔහුගේ කඳුළු ගුලිද දෑස් පුරා එකතුවී තිබෙනු එදා දුටුවෙමි

    කසූ අලුත් තැනක පදිංචියට ගියාද?
    එහෙම නැත්නම් දරුවෙක් මල්ලෙක්වත් ඈත තැනක නවත්තල ආවද?
    සාංකාවක ලකුණුද මේ?

    ReplyDelete
  13. පොඩි ළමයින්ට වැදගත් දේවල් සමහර විට අපට නොදනිම මග ඇරෙනවා . කුලී ගෙවල් වල හිටි අපත් විටින් විට ඔයවගේ ළමා මතක දමා ගියා .

    මැටි බිත්ති කුහර වල සැඟවූ වස්තුව සොයා යන අපු මතකද . අපිත් ඒ වගේ ඉඳ හිට පරණ බිත්ති කුහර සොයන යනවා . කකා මේ ගියා වගේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.