Sunday 4 July 2010

ඕනෙ නං ඉගෙන ගන්න, එපා නං ඉගෙන ගන්න



කාලෙකට ඉස්සර මං ක්‍රිකට් තරග විස්තර ප්‍රචාරයක් අහං ඉන්න කොට ජාත්‍යන්තර නිවේදකයෙක් මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

"ඉස්සර අපි ටෙස්ට් ගහන කොට, ටොස් එක දිනුවොත් මුලින්ම බැට් කරනවා. පිච් එක ගැන ප්‍රශ්ණයක් තියෙනවා නම්, ඒ ගැණ සාකච්ඡා කරනවා, ඉන් පස්සේ බැට් කරනවා."

ඒක නිකං "ඌ මට ගහනවා, මට ඌ ගහනවා" වගේ කතාවක්.

මට මේ වෙලේ මතකයට එන්නේ මං පොඩි කාලේ (හයේ සිට නමය දක්වා) ඉගෙන ගත්තු ඉස්කෝලේ හිටපු විද්‍යා ගුරුතුමා.

ළමයින්ට නිරපරාදේ දඬුවම් කරන ගුරුවරුන් අතර මෙතුමා දෙවියෙක් වගේ. ඕනෑ දෙයක් ඉතිං සාපේක්‍ෂකයි නේ.

පොර නිතරම කියන වාක්‍යයක් තමයි මෙන්න මේක.

"ඕනෙ නං ඉගෙන ගන්න, එපා නං ඉගෙන ගන්න."

මුලින්ම විහිළුවක් වගේ පෙනුනට ඒක ගැඹුරු අර්ථයක් තිබුණු එකක්. අදටත් ගැලපෙනවා මටත් ඔබටත් අපි හැමෝටම.

ජීවිතේ සමහර දේවල් වලට ඔප්ෂන්ස් නෑ. හොයන්න යන්නත් ඕනෑ නෑ. එක අරමුණෙන් වැඩ කරන්න ඕනෑ.

මෙන්න අපේ මේ ගුරුතුමා ගැන තව පොඩි කතන්දර අරික්කාල් දෙකක්.

මෑන්ස් අපිට ඉගැන්නුවේ විද්‍යාව. පොර ලැබ් එකේ හතර වටේම කළු කඩදාසි අලෝලා, කාචයක් මගින් නෙගටිව් කෑලි වලින් අපිට ස්ලයිඩ් ෂෝ පෙන්නනවා ඒ දවස්වල. අපි මුලින්ම දැකපු ඩොකියුමෙන්ටරි ඒවා තමයි. ඒ එක්කම පොර ෆෝටෝ, පින්තූර අරගෙන ලිපි හදලා මහා ප්‍රදර්ශණ වගේ ඒවා තියෙනවා හැම සතියේම වගේ ප්‍රධාන බිල්ඩිමේ කොරිඩෝර් එකේ. ඒවායිනුත් අපි සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා.

ඉතිං ඔය ප්‍රදර්ශන පුවරු එල්ලන්න පොරට තනියම බැහැ නිසා ඒ අහලින් පහලින් යන කීප දෙනෙක්ව උදව්වට ගන්නවා. හැමෝම කැමැත්තෙන් උදව් දෙනවා. ජොලිම කෑල්ල මේකයි, වැඩේ සේරම ඉවර වුනාම පොර අර උදව් කරන අයට කියනවා මෙන්න මෙහෙම.

"දැන් නිදහස්, යන්න පුළුවනි."

එතකොට තමයි අපිට තේරෙන්නේ මෙච්චර වෙලා අපි කරලා තියෙන්නේ ස්වේච්ඡා සේවයක් නෙමේ, වහල් සේවයක් කියලා!!!

අනිත් අරික්කාල මේකයි.

අපේ නමේ පන්තයේ විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදය තිබුනේ මිනිස් ප්‍රජනන පද්ධතිය ගැනයි. හොද ඩයග්‍රෑම් හෙමත් තිබුණා. අපි ආසාවෙන් හිටියේ පොර ඒ පාඩම විස්තර කරන කං. මෑන්ස් කලේම නෑනේ ඒ පාඩම.

මුලින් ම කිව්වා කරන්නේ නෑ කියලා. ඇත්තටම කළෙත් නෑ.

-කතන්දරකාරයා

15 comments:

  1. අපේ කසූ මැත කොරපු නිසා අර පාඩම කවදාවත් ඉගෙන ගන්න වෙන්න නැතුව ඇති නේද? :)

    ReplyDelete
  2. විද්‍යාව නම් මතක් කොරන්න එපා......අපේ විද්‍යා ගුරුතුමා ටිකක් විතර සැර පරුෂයි....අවුල කියනේ මිනිහා අපිට වැඩිය ඇම්ඩන් කෙනෙක්.....අපේ ඉස්කොලේ සමිති සමාගම් වල රැස්වීම් තියෙන්නේ විවේක කාලෙයේ....ඉතින් ඔවාට යන එවුන් විනාඩි 5ක් 10ක් අනිවාර්යෙනම පරක්කු වෙනවා......හැබැයි මෙයත් එක්ක ඒවා බෑ....පරක්කු වුනොත් ලියුමක් අනිවා....නැත්නම් එලියේ තමා...දවසක් එකෙක් විනාඩි 15 විතර පරක්කුවෙලා එනවා....ඉතින් සර් ඇහුවා..."කොහෙද අයිසේ හිටියේ"."මූත් ගොනා වගෙ කිව්වා කැන්ටිමේ කියල"...."ඇත්තද, එහෙමනම් වහාම කැන්ටිමෙන් ලියුමක් අරන් එනවා"...කියලා අරූව බැනලා එලවා ගත්ත"....ඊට පස්සෙ අරු යනකන් ඉඳලා අපිට කියනව..."අර යකා පට්ට මෝඩයෙක්නෙ, කැන්ටිමෙන් ලියුම දෙනවද කියල"......

    ReplyDelete
  3. අමුතුවෙන් ඒ පාඩම කරන්න දෙයක් තියනවද?. කට්ටිය ඒ වනෙකොටත් පාඩම කියවලා තේරුම් ඇරගෙන්ත් ඉන්න ඇති. සර් ඒක දන්නවා නොවැ

    ReplyDelete
  4. හයියෝ ගුරා දන්නව ලමෝ මිනිහට වඩා පාඩම දන්නව කියල....

    ReplyDelete
  5. ළමයි ඉන්න තාත්තලට අලුතෙන් මොනව කියල දෙන්නද කියල හිතෙන්න ඇති එකයි මග හරින්න ඇත්තෙ

    ReplyDelete
  6. ගුරාත් මරු, ලමයින් ඊට හපන් !!!

    ReplyDelete
  7. mata me blog eka ahuwune sathi dekakata withara uda...eda indala vivekaya hambawena haema welawakama kiyawanawa...mara sira kathandara tikak...thama okkama posts kiyawanda baeri wuna (kanthadara tika witharak neme, ita hariyanda honda comments tikakuth thiyanawane)

    igena ganna eka gaena kiwwa hinda off-topic prashnayak ahanawa..tharaha wenda epa. "miyemwa raekemwa" kiyana sinhala expression eke theruma kawuruhari paehidili karala denawada?

    godak isthuthiy...unicode nathuwa liwwata samawenna.

    ReplyDelete
  8. මේක දැකල මට මතක් උනේ අපේ 9 වසරේ ගණන් උගන්වපු සර් හැමවෙලේම කියන කතාවක් .කවුරුහරි මොනවහරි වැරදි වැඩක් කරපු ගමන් ඒ සර් කියනව " ළමයා ඔයා දන්නවනේ මම හොදට හොදයි නරකට ඊටත් වඩා හොදයි කියල .

    ReplyDelete
  9. මටත් ඕං හෙට සම්මුඛ පරීක්ෂණයක් තියෙනව විද්‍යා උපාධි ගුරු. ඒත් ඉතින් ප්‍රාථමිකේ උගන්නන්න දුන්නත් හා කියන්න ඕන ලු...

    ReplyDelete
  10. @All
    සියළු දෙනාටම ස්තුතියි.
    මේ විද්‍යා ගුරුතුමා කාටවත් බැන්නෙ නෑ, ගැහැව්වෙ නෑ. ඒ අතින් ආදර්ශමත් ගුරුවරයෙක්.

    @Sarpa
    මියෙම්වා රැකෙම්වා කියන්නේ කම් ඕ ගෝ චිකාගෝ වගේ කියමනක්. දිවි පරදුවට තියල සටන් වදින්න කලින් කියන කියමනක්, මං දන්න විදියට.

    @Wath
    සම්මුඛ පරීක්‍ෂණයෙන් ජය පතමි. සියළුම ගුරු පත්වීම් සඳහා උපාධියක් සහ අධ්‍යාපන ඩිප්ලෝමාවක් අවම සුදුසුකම කළ යුතුයි.

    ReplyDelete
  11. ඔය මිනිස් ප්‍රජනන පද්ධතිය ගැන මමත් පොඩි කතාවක් ලිව්වා.. ඉස්කෝලේ කලේ වෙච්ච සිද්දියක්.. පොඩ්ඩක් ගිහින් බලන්නකෝ..

    http://www.rehanworld.info/?p=341

    ReplyDelete
  12. @Sarpa
    ඕක මමනම් අහල තියෙන්නේ රැකෙම්වා මියෙම්වා කියල
    පුළුවන් වුනොත් ආරක්‍ෂා වෙනවා බැරිනම් මැරිල හරි වැඩේ අවසන් කරනව වගේ අදහසක් මං හිතන්නේ. හරිම තේරුම ඒකමද කයන්න අමාරුයි.

    ReplyDelete
  13. කතන්දරකාරයා, priyantha.ඒබී -- පැහැදිලි කිරීම් වලට ස්තුතියි... දැන් තේරනව ... ඉස්සර කියවපු පොතක (දැන් නම මතක නෑ) තිබිල ඔය වචන දෙක අහුලගත්තේ, මෙච්චරකල් ඕක මගේ මීටරේට අහුවුනේ නෑ ... පුදුමයි :) ...

    ReplyDelete
  14. ඔය අන්තිමට තිබ්බ විද්යා පාඩම අපටත් කලේ නෑ අපරාදේ ඒ කාලේ අපිට ඔය සම්බන්දව මාර ප්‍රස්න තිබ්බේ. සර් ඔය කතාව අපිට ඒ වාරය පටන් ගද්දිම කිව්ව කිව්ව වගේම ඉගැන්නුවෙ නෑනෙ :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.