Friday, 30 November 2012

කෙහෙද බං ඔය හිත තියෙන්නේ? - A sad story!


ඔය හිත කියන මෙව්ව එක තියෙනවා නේද? උදේ හවා අපි ඔය හිත ගැන හිතෙන් හිතුවාට ඕක කොහේ තියෙවාද? කොයි හැඩයේද කියලා මෙලෝ සතෙක් දන්නේ නැති අවයවයක්.

අපි මොලෙන් හිතුවාට හිත කියන්නේ මොලේ නොවෙයි. මොලේ කියන්නේ හිත නොවෙයි.

ඒ විකාර කෙසේ වෙතත්, කවි ලියද්දී නං හිත කියන වචනේ නැතුවම බෑ.

මෙන්න මං කැම්පස් එකේ තුන්වෙනි වසරේදී ලියපු කවියක්. මේකේ මාතෘකාවට තමයි මං හරිම කැමති!

හිත කිව්වා හදවත අමතා

පැමිණි දුක් අම රසයි කියමින්
සිතම සිත රැවටුවද රහසින්
අති රසත් තිත්තව දැනෙන සඳ
අරළු බුළු ගැන කියනු කවරෙද?

අරුත් සුන් බව සිතට දැනුණද
යලිත් මොහොතක සුවය සොයලා
උපැස් යුවලක් තුලින් බැලුමුත්
අදත් ලෝකය යටිකුරුව ඇත

සොහොන් කොත මත තවත් වරෙකට
හදක් ගල් වුණු වෙලාවේ
අපේ පාළුව ඉවසගමු අපි
ඉදිං හද හුදකලාවේ!


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් එළිදක්වන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

(image: http://www.vajrayana.com.au/blog/?p=31)

Wednesday, 28 November 2012

මුලින් හිනා යයි, හැබැයි පස්සේ දුකයි - News from America


දැන් සතියකට දෙකකට ඉස්සර පත්තර කඩමාල්ලක දැක්ක පොඩි නිවුස් කෑල්ලක් දැකලා මට මුලින් හිනා ගියා. හැබැයි පස්සේ දුක හිතුණා.

මේකයි කතාව.

පහුගිය දවස්වල ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණු ජනාධිපතිවරණයේ දී තමන් ගේ මිනිහා ඡන්දේ නොදුන්නාය කියලා තද වෙච්ච වයිෆර් පරාණයක්, අර අහිංසකයාව කාර් එකට යට කරලා මරන්න හදලා.

පොරව මාරාන්තික අනතුරු සහිතව රෝහල්ගත කරලා.

මේක බොරුවක් නෙමෙයි. මේ බලන්න පත්තර කෑල්ල.


මෙන්න වැඩි විස්තර.
http://www.dailymail.co.uk/news/article-2235205/Husband-run-wife-Holly-Solomon-voting-permanently-disfigured.html

හොලී සොලමන් ට මේ තද වෙලා තියෙන්නේ තමන් ඡන්දේ දුන්නු රොම්නිකාරයාව පරද්දවලා ඔබාමා මාමා දිනපු නිසා ලු.

යා දෙක නොරත රත, සමග පෑහීමක් නැත කියලා කවුදෝ කියලා තියෙන්නේ මේ හින්දයි.

මං කලින් දවසක කියපු මේ කතන්දරෙත් ඕන්නං ආපහු බලන්න.
http://kathandara.blogspot.com/2012/04/politics-and-marriage.html

ලංකාවෙත් මෙහෙම කේස් තියෙනවා!?

-කතන්දරකාරයා


(image: http://www.dailymail.co.uk/news/article-2235205/Husband-run-wife-Holly-Solomon-voting-permanently-disfigured.html)

Monday, 26 November 2012

සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?


මීට අවුරුදු තුනකට විතර කලින් නැන්දලා ගේ ගෙදර ගිය වෙලාවක පොඩි ළමයි විභාග ප්‍රශ්න පත්‍රවලට ලියපු උත්තර වගයක් ගැන පොඩි පොඩි කතන්දර ටිකක් අහන්න ලැබුණා.

ඉන් එකක් තමයි මේක.

සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි?
එක ළමයෙක් දීලා තිබුණාය කියන උත්තරය මේකයි.
ගෙවල් කුලී ගෙවන්නට බැරි නිසාය.

එදා අහපු අනිත් කතන්දර දෙක තුනට මෙන්න පාර.
http://kathandara.blogspot.com.au/2010/01/blog-post_21.html

බුද්ධ ධර්මය ඉතා ගැඹුරුයි. සමහර අපේ අයියලා ඒකේ අයිතිකාරයෝ වෙන්න හැදුවට නිසි ධර්මාවබෝධයක් නෑ. තමන් ගේ ධාරිතා ප්‍රශ්න නිසා හොඳ අවබෝධයක් ලබාගන්න විදියකුත් නෑ.

තම තම නැණ පමණින් කියලා කියන්නේ ඒ හින්දනේ!

ඉතිං ඒ වගේ අවබෝධයක් නැති අය ඔය විභාග ප්‍රශ්නය සහ උත්තරයේ කතාවට ෆුල් වලි දානවා.

ඔය උත්තරේ මට නම් තියෙන එකම සුළු වරද තමයි, එතන ගෙවල් කුලී ගෙවන්න බැරි නිසාය කියන්නේ නැතිකමකට නොවෙයි, කුලී ගෙවන්න අකමැති නිසයි. ඒ දෝශය හැරෙන්න උත්තරේ හරි.

ගැඹුරු දහම් කරුණු නොතේරෙන අයගේ ප්‍රයෝජනය සඳහා මං මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

ගිහි ගෙය කියන්නේ අපි මේ ගතකරන ලෞකික සමාජ ජීවිතය නේ. මේ ගිහි ගෙයි ඉන්න කොට විවිධ ආශා, අවශ්‍යතා, උවමනාකම් තියෙනවා. බැමි, භාධක තියෙනවා.

මේ සේරම දේ ඉංගිරිසියෙන් කියනවා නං හරිම ටැක්සින් කියලා කියන්න පුළුවනි. අන්න ඒ දේවල් තමයි මෙතන ගෙවල් කුලී කියලා සංකේතවත් වෙන්නේ.

සිදුහත් ගිහිගෙය අතහැර ගියේ ඒ තවදුරටත් ඒ කුලී ගෙවන්නට තිබුණු තදබල අකමැත්ත නිසයි. අභිනික්මන කියලා හැදින්වෙන්නේ අන්න ඒ නික්ම යාමයි.

එදා නේරංජාව ක්‍රොස් කරපු තැන ඉඳලා, එක එක ස්පොට්වල අවුරුදු හයක්ම චාටර් වෙවී රස්ටිෆයින් වෙච්ච හින්දා සිදුහත් ට ඒ කාලේ ගෙවල් කුලී ගෙවන්න නං වුනේ නෑ.

අන්තිමේ දී මාරයා එක්ක ඩුවට් එකේදී ඌට බැස්ටිය දීලා, තන්හා, රතී, රඟා සෙට් එකටත් බම්බු ගහගන්න කියලා, සම්මා සම්බුද්ධත්වය ලබාගත්තු මොහොතේම අපේ බුදු සාදු ගත්කටටම කීවේ ගෙවල් කුලී ගෙවනවා තියා ආයේ ගෙයක් දොරක් ගැන කිසිම අදහසක් නැති බවයි.

මේ බලන්න.

"අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුනගේහං නකාහසි
සබ්බාතේ ඵාසුකාභග්ගා
ගහකූටං විසං ඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මක්‍ධගාති."

නිකං නෙමේ මුළු ගෙදරට ම ගේම දීලා සුනු විසුණු කරලා දාලා!

සාදු, සාදු, සාදු!

-කතන්දරකාරයා

ප/ලි:
මේ බිත්තර කට්ට හැර තවත් බිත්තර කටු තිබේද?

(image: http://en.wikipedia.org/wiki/Oil_lamp)

Saturday, 24 November 2012

අයියෝ අදත් කයියක්! - Oh, no, not again!


කවි වලට සමහර පොරවල් කැමති නෑ. ඒ කෂ්ටියට ඉතිං අදත් තියෙන්නේ අර සොරි ඩොට් කොම් සයිට් එකට යන්නයි. බයි, බායි.

මෙන්න අනිත් අයට අද කවියක්.

මිතුරු අඳුර

සඳ පළුව දුක් විඳින තරු නොමැති මේ රැයේ
හද කොනක මා ගැනම දුකක් කඳුලක් නැගේ
මගේ දුක මට හොඳයි නුඹ කුමට හඬන්නද
මා අඳුරු ලොව අතැර සැඟවියන් මුදු සඳේ

පෙර ලොවක පැතූ ලෙස හමු වෙලා වෙන් වෙලා
ඒ ගෙවපු පව මදිද යලිත් ඇයි හමුවුනේ
සුසුම් කඳුලැළි සමඟ නැවත මා තනි වෙලා
සසර සුපුරුදු ලෙසද අදත් අප වෙන් වුනේ

ගිනි පෙනෙලි බැට වැදී දරදඬුයි සිත මගේ
කණමැදිරි එලිය මැද ගෙවමි අද ජීවිතේ
ඇත තවම හද දිරිය සිත එකතු කරන්නට
නැතත් අද දිනේ හෙට යලිත් හිරු පායතේ


-කතන්දරකාරයා

(image: http://wallpaper-hit.blogspot.com.au/2010/08/wallpaper-dark-adstract.html)

Thursday, 22 November 2012

වැඩි විස්තර පසුවට - More details to follow


ජිවිතේ දුක, දුක, දුක අතර පොඩි ජොලියක් දැනෙන අවස්ථාත් තියෙනවානේ. මේක ඒ වගේ වෙලාවකදී ලියවුණු එකක්.

හෙට වසන්තය උදාවේ

සලිත වෙයි සිත - කිති කවා හද
පුබුදුවයි පෙම් හැඟුම් සමුදා
ලලිත ඔබ වත - නිති සරා සඳ
පරදවයි සොමි කැළුම් විහිදා

සිතා ඔබ ගැන - බවුන් වඩමින
ඉඳින්නට හැක දින ගනන්
ගොතා කවි සනසමින් මා-මන
දකින්නෙමි සුබ සිහිනයන්

පැතුම් ඉටු වෙන - හැගුම් සැනසෙන
දිනක් නුදුරෙම උදාවේ
සිතුම් විලසෙන - පියුම් පිබිදෙන
වසත් කල හෙට සිනාවේ


-කතන්දරකාරයා

ප/ලි:
මේක ඇත්තටම වෙන්ඩ සින්දුවක්. වැඩි විස්තර පසුවට!
http://kathandara.blogspot.com/2014/03/yet-another-dream-comes-true.html

(image: http://www.collegefashion.net/trends/the-top-5-hottest-colors-for-spring-2011/)

Tuesday, 20 November 2012

මගේම වගේ (තවත්) බ්ලොග් එකක් - Another identity revealed?


නොදන්න නමකින් ලියන එක විදියක බ්ලොග් එකක් දැක්කාම ඒක ලියන්නේ කවුද කියලා හොයන එක අපේ බ්ලොග් ලෝකයේ සිරිතක්.

මේ කතන්දර බ්ලොග් එක ලියන්න පටන් ගත්තු කාලේ ඉඳලාම, බිස්නස් කාඩ් පවා මුද්‍රණය කරලා හම්බවෙන හම්බවෙන අයට බෙදන මගේ අනන්‍යතාවය හෙළිකරන්නට කාලෙකට ඉස්සර කීප දෙනෙක් පොර කෑවා.

පුදුමයකට වගේ ඒ සේරම ඈයෝ ඇනෝලා! ඒක නං වෙනමම සලකා බැලිය යුතු කාරණයක්.

ආරූඩ නම්වලින් ලියන බ්ලොග්කාරයින් ගේ සැබෑ නම් හොයාගෙන යද්දී අහක යන මිනිස්සුන්වත් අහුවෙනවා.

උදාහරණයක් විදියට "ටිකක් හිනාවෙන්න" ලියන අභීත වරක් ලිව්වා ටැබූ සබ්ජෙක්ට්ස් කියන (දැන් අතුරුදහන්) බ්ලොගය ලියන්නේ කතන්දරකාරයාද කියලා ප්‍රශ්න කරන ලිපියක්.

පහුගිය දිනවල ඇරඹිලා දැන් සෑහෙන විප්ලවයක් කරගෙන යන සමනල විප්ලවය බ්ලොගයත් ලියන්නේ මංතුමාය කියලා මයියා විතරක් නොවෙයි මාතලන් ගොයියා පවා හිතාගෙන ඉන්නවාය කියලා පහුගිය දවස්වල දාලා තිබුණු කමෙන්ට්ස් වලින් පෙනුණා!

එහෙම හිතෙන්න ප්‍රධාන හේතුව නම්, මං සමනල විප්ලවය බ්ලොගයේ මුල් කාලේ ඒක හඳුන්වා දෙමින් දාපු ලිපියට අමතරව ඒ මුල් කාලේ ලිපිවලට මං දාලා තියෙන කමෙන්ට්ස් නිසා වෙන්න ඕනෑ.

අද මං මේ හදන්නේ ඉහත කියපු තර්කය හරි නම්, ඒ ආකාරයෙන්ම මගේ ම එකක් කියලා කට ඇරලා කියන්න පුළුවන් වෙන බ්ලොග් එකක් අඳුන්වා දෙන්නයි.

ඒක තමයි, "මම නොදන්නෙමි". ලියන්නේ, "මම වනාහී නොදන්නේ වෙමි.
[http://mama-nodannekmi.blogspot.com/]

මෙන්න ලිපි මාලාවෙන් ටිකක්.
1. ෴ ප්‍රස්ථාවන ෴ [http://mama-nodannekmi.blogspot.com/2012/04/blog-post_24.html]

2. බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී කියන අයට [http://mama-nodannekmi.blogspot.com/2012/04/blog-post_26.html]

3. බලු සීලය සහ ගොං සීලය [http://mama-nodannekmi.blogspot.com/2012/04/01.html]

4. වැඩකරන ජනතාවගේ සැබෑ මැයි විරුවා කවුද? [http://mama-nodannekmi.blogspot.com/2012/05/blog-post.html]

5. මම නම් අභිමානවත් හෙලයෙක්, ඔබ? [http://mama-nodannekmi.blogspot.com/2012/06/blog-post_24.html]

6. හොඳට නරකට දෙකට කටමය [http://mama-nodannekmi.blogspot.com/2012/06/blog-post_18.html]

මේ හැම ලිපියකටම වගේ කමෙන්ට් කරලා තියෙන්නේ මං විතරයි.

ඒ හින්දා තමයි, මේ මම නොදන්නෙමි බ්ලොගය ලියන්නේත් මංතුමා ම ද කියලා සැකයක් ඇතිවෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තටම මටත් ඔය සැකේ ඇති වෙනවා වෙලාවකට.

Monday, 19 November 2012

උඹලට නම් ප්‍රශ්නයක් නෑනේ, මචං? - Beats all logic!


ඒ ලෙවල් ලියන්න කලින් ඉඳලාම මගේ හිතේ වැඩ කරපු ලොකුම ප්‍රශ්නයක් තමයි පේරාදෙනියේ ද, කටුබැද්දේ ද යන්නේ කියන එක.

මං එදා ඒ තීරණය ගත්තු හැටිත්, අද කාලේ ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කොල්ලෙකුට ඒ තීරණය ගන්න උදව්වෙන ඉඟි කීපයකුත් එක්ක කතන්දරයක් මං කලින් දවසක ලිව්ව නිසා නැවත අද කියන්න යන්නේ නෑ.

තමන් ගේ දුවට විශ්ව විද්‍යාලේ යන්න ගෙදරින් පිට නතරවෙන්න වෙනවාය කියලා අඬ-අඬ හිටපු ඇන්ටි කෙනෙකුට මං දුන්නු අවවාදයත් මේ කතාවට අදාලයි.

කොහොම හරි ඉතිං මං පේරාදෙනි ගියා!

පේරාදෙනිය සැලකෙන්නේ නේවාසික විශ්ව විද්‍යාලයක් කියලනේ. ඔතනට ඉගෙන ගන්න එන කොල්ලන්ට කෙල්ලන්ට නතරවෙන්න නේවාසිකාගාර රාශියක් විශ්ව විද්‍යාල භූමිය පුරා හදලා තියෙනවා.

අනාදිමත් කාලයකට කලින් නම් පේරාදෙනියට ඇතුල්වෙන හැමෝටම මේ විශ්ව විද්‍යාලවල ඉඩ තියෙන්න ඇති.

ජනගහනයේ වර්ධනයත් එක්කම පේරාදෙනියට ඇතුලත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිකරලා තිබුණත්, ඒ වේගයෙන් ශිෂ්‍ය නේවාසිකාගාර හදලා නොතිබුණු නිසා අපි යන කාලේ සෙකන්ඩ් ඉයර් එකේ කොල්ලන්ට නේවාසිකාගාර නවාතැන් ලැබුණේ නෑ.

අපිට සිද්දවුනේ විශ්ව විද්‍යාලයට පිටින් නවාතැනක් හොයා ගන්නයි.

අපි නතරවුනේ ඊරියගම කියන ගමේ. ඒ ගතකළ කාලයත් හරිම විනෝදබර කාලයක්.

සෙකන්ඩ් ඉයර් එකේ විභාගේ ඉවර කරළා අපි ගෙදර ගියේ බෝඩිම අයිති අංකල්ටයි ඇන්ටිටයි ගුඩ් බායි කියලයි. ඊලඟ අවුරුද්දේ ෆැකල්ටි එක ළඟම තියෙන අක්බාර් හෝල් එකේ නතරවෙන්න මං ඇප්ලයි කරළයි තිබුණේ.

දුර පලාත්වලින් පේරාදෙනියට ඇවිල්ලා හිටපු අපිට තිබුණු ඔය නවාතැන්, කෑම-බීම ප්‍රශ්නේ තිබුණේ නෑ නුවර පැත්තේ ගම්වල හිටපු අපේ බැචාලාට. ෆර්ස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේ උන් අපූරුවට ගෙදර ඉඳලා ආවා, ගියා.

දවාලට අපි අක්බාර් එකේ ගෙඩි ගෝවා මැල්ලුම, මුං ඇට සහ හං-මස් හොඳි එක්ක ඇට ලොකු හාලේ බත් ගිලිද්දී ඒ සමහර පොරවල් ගෙදරින් ගෙනාපු රසමසවුලු කෑවා.

හැබැයි විවිධ හේතු නිසා මේ අයගෙන් හුඟ දෙනෙක් ප්ලෑන් කළා තුන්වෙනි වසරේ ඉඳලා ඉතුරු අවුරුදු දෙක විශ්ව විද්‍යාලය ඇතුලේ නතර වෙන්න.

සෙකන්ඩ් ඉයර් එකේ විභාගේ ඉවරවෙලා මං කෙලින්ම ගියේ ඒ දවස්වල ටේ‍රනිං හිටපු ඉඳිකිරීමේ ව්‍යාපෘති වැඩ බිමටයි.

තර්ඩ් ඉයර් එක පටන්ගන්න තව මාසයකටත් වඩා කල් තිබුණා.

ඔහොම ඉන්න අතරේ තමයි අපිට හෙණ ගහන්නා වගේ ආරංචි වුනේ තර්ඩ් ඉයර් එකේදීත් අපිට නේවාසිකාගාර නොදෙන බව.

ආපසු විශ්ව විද්‍යාලය පටන් ගන්න කලින් සති අන්තයේ මං වැඩ බිමෙන් සමු අරඝෙන ගෙදතර යන ගමන් නුවරින් බැස්සා.

සඳුදා ඉඳන් නතර වෙන්න තැනක් හොයාගන්නත් එපායැ?

නුවරදී මට හම්බ වුණා මගේ බැචෙක්. පොරගේ ගම නුවර පලාතේමයි. ගෙදර ඉඳලා තමයි යුනිවසිටි ආවේ. පොර මාව දැකලා කතා බහ කෙරුවේ හරිම දුකෙන් වගේ.

"මාර අප්සෙට් එක මචං!" පොර කිව්වා.

"ඇයි මක්වුණාද?"

"ඇයි උඹට ආවේ නැද්ද මචං ලියුම? මේ පාර තර්ඩ් ඉයර් එකේ කොල්ලන්ටත් හෝල්ස් දෙන්නේ නැතිලු!"

"ඔව්, ඔව්, මට ආරංචියි, ඒකමයි මං අද මේ නුවර ආවේ ගෙදර යන ගමන්."

"හරි අප්සෙට් මචං මට නං!"

"මොනව කරන්නද බං, ඉඩ නැත්තං, මවන්නයැ?"

"ඔව් බං, ඒත් ඉතිං මට තමයි කෙලවෙන්නේ, උඹලට නං ප්‍රශ්නයක් නෑනේ?"

"මොකක්....?"

"නෑ, මං කිව්වේ, උඹලට නං මචං ප්‍රශ්නයක් නෑනේ, අර ඊරියගම බෝඩිම තියෙනවානේ!"

එතකොට පොරටයි සැබෑ ප්‍රශ්නය තියෙන්නේ! කාට කියන්නද? මං මුවින් නොබැණ හිටියා.

-කතන්දරකාරයා


(image: http://www.panoramio.com/photo/43483276)

Saturday, 17 November 2012

හා, හා, එන්න පෝලිමේ - WTF is this?


තාමත් කතන්දර බ්ලොගේ ඉන්ටවල් එක තමයි දුවන්නේ.

අද අපි පොඩි ට්‍රිපක් යනවා. ආපසු එන්නේ ඉරිදා රාත්‍රියේ.

සමහරුන්ට මේ ඉන්ටවල් එකේ රටකජු කෑම ගැන තද වෙලා වගේ පේනවා ලැබුණු කඟෙන්ට්ස් වලින්.

අර සමනල විප්ලවයේ චරිත් කියනවා වගේ මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි.

"ඉතින් මට පාන්ද?"

බ්ලොග්කාරයින්ට කියලා තවත් ජීවිතයකුත් තියෙනවා නේ!

මෙන්න අද ප්‍රහේලිකාව.

මේ මොකක්ද?


කියමු බලන්න!

-කතන්දරකාරයා

ප/ලි
ඉරිදා රාත්‍රියේ හමුවෙමු. නැත්තං සඳුදා උදේ!

(image: http://samanalaviplavaya.wordpress.com/)

Friday, 16 November 2012

ඉන්ටිබල් එකේ රටකජු කමු - Ice chocs anyone? (UPDATED)


මේ දවස්වල කතන්දර බ්ලොග් එකේ ඉන්ටිබල් එක, ඒ කියන්නේ ඉන්ටර්වල් එක එහෙම නැත්තං ඉන්ටර්මිෂන් එක.

මේ වගේ වෙලාවල් තියෙන්නේ ඔන්න ඔහේ රටකජු ටිකක් හෙම කාලා ඊලඟ සෙෂන් එක පටන් ගන්න කං බලා ඉන්න එකයි.

සමනල විප්ලවය ලියන ද රයිටර් ලේඛකයා නං කරන්නේ යු ටියුබ් එකේ තියෙන දිග චිත්‍රපටියක ලින්ක් එකක් එම්බෙඩ් කරලා දාන එකයි.

මංතුමා කරන්නේ ෆොටෝ දාන එක, ෆොටෝ මගින් තේරවිලි අහන එක.

මුලින්ම ඉතා ප්‍රසිද්ධ නළුවෙකු ගේ තරුණ කාලේ ෆොටෝ එකක් දැම්මා.

ඊලඟට අප්‍රසිද්ධ නළුවෙකු ගේ ෆොටෝ එකක් දැම්මා.

මේ එයා ගැන විස්තරය. [http://kathandara.blogspot.com.au/2012/11/upatissa-who-you-may-well-ask.html]

ඊළඟට දැම්මේ වෙන්ඩ නළුවෙකුගේ රේසි ෆොටෝස් කීපයක්. ඒකට නං ගැල්ළමයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

මෙන්න අද ෆොටෝ තේරවිල්ල.

මේ මොකක්ද?


මෙන්න තවත් ෆොටෝ එකක්.


කොකිස් අච්චුවක් නං නෙමේ!

උත්තරය අද හවසට.

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න විසඳුම

අර කවුද මන්දා ඇනෝවෙක් කියලා, ලින්ක් දාලා තියෙනවා වගේ මේක ඇපල් කෑලිවලට කපන උපකරණයක්.

පළමුව ඇපලයක් ගන්න.


උපකරණය ඒ මත තබා තද කරන්න.


කැපෙනු ඇත.


කෑලි කෑ පසු මැද කෑල්ල ඉතුරු වේ.


මෙන්න ඒක.


විසඳුම දුන් ඇනෝවාට ස්තුතියි.

(http://theconnectome.wordpress.com/2011/08/29/a-brief-intermission/)

Wednesday, 14 November 2012

තවත් නළු බට්ටෙක් - Yet another actor (posing for some racy photos)


මේ සතියේම මගේ වැඩේ නළුවන් ගේ ෆොටෝ දාන එකයි. පහුගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ෆොටෝ එක දාපු නළුවා කවුද කියලා දැකපු හුඟ දෙනෙක් ටක් ගාලා අඳුණා ගත්තා.

හැබැයි සඳුදා දාපු ෆොටෝ එක කාගෙද කියලා නං මගේ හෝඩුවාවල් නැත්තං කාටවත් අඳුණා ගන්න වෙන්නේ නෑ.

ඒ කවුද කියලා අඟහරුවාදා කිව්වා නේ.

මෙන්න අදත් නළුවෙකු ගේ ෆොටෝ කීපයක්.

මේ නළුවා විවිධාකාරයේ රංගන අවස්ථා ඉදිරිපත් කරමින් ඉන්න මොහොතකයි මේ ෆොටෝ ටික අල්ලලා තියෙන්නේ.

මේ එක එක ෆොටෝවලින් නිරූපනය වෙන්නේ මොනවා වගේ අවස්ථාද කියලා බලමු.

1.


2.


3.


4.


5.


6.


7.


ඔය අන්තිම (හත් වෙනි) ෆොටෝ එක නං ඇනෝ කෙනෙක් එක්ක සුහද කතා බහක යෙදෙන අවස්ථාවක් නිරූපනය කෙරෙන එකක් මට පේන විදියට.

-කතන්දරකාරයා

ප/ලි:

Tuesday, 13 November 2012

නළුවා ගේ රහස එළිවේ - Upatissa Who? You may well ask!


ඊයේ පින්තූර තේරවිල්ලේ විසඳුමයි මේ.

ඔය උඩින් තියෙන්නේ පොර ගේ සති කීපෙකට කලින් ගත්තු ෆොටෝ එකක්. දැන් මතකයි නේද මේ නළුවා කවුද කියලා.

මේ තමයි උපතිස්ස බාලසූරිය.

අර ඇන් කොම්පැනි කියන දේශපාලන විශේෂාංගී රූපවාහිනී නාටකයේ යූඇම්පී නායක රනිල්ට රඟපාන නළුවා.

මං දන්න තරමට පොර හොඳ හැකියාවක් තියෙන නළුවෙක්. නමුත් ලේසියෙන් මතක හිටින විදියේ චරිතයක් ලැබුණේ නෑ, චිත්‍රපටියක හෝ ටෙලියක හෝ.

අන්තිමේදී පොර ජනප්‍රිය වුනේ කොමඩි චරිතයක් තුලිනුයි.

උපතිස්ස බාලසූරිය මං දන්න තරමින් ජැක්සන් ඇන්තනි ගේ ක්ලාස් මේට් කෙනෙක්. පාසල් කාලේ ඉඳලාම වේදිකා නාට්‍යවල රඟපෑවා.

ඉගෙන ගත්තේ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ. එතනින් කැලණිය විවියට ගියා. ඒ අස්සේම දැව සංස්ථාවේ සේවයට ගියා. තාමත් එතන ජොබ් එකක් තමයි පොර කරන්නේ.

පහුගිය දවසක යක්කල දී මට අහම්බෙන් වගේ පොරව මුණ ගැසුණා. ජැක්සන් ඇන්තනිව ඉන්ටර්වීව් කෙරුවා වගේ උපතිස්ස බාලසූරියව නිසි ලෙස ඉන්ටර්වීව් කරන්න නං මට කාලයක් තිබුණේ නෑ.

දන්න කියන කරුණු ටික තමයි ඔය උඩින් ලිව්වේ.

ඇන් කොම්පැනි ආශ්‍රයෙන් වේදිකා නාට්‍යයක් කරන්න යනවාය වගේ කතාවකුත් පොර කිව්වා.

-කතන්දරකාරයා

ප/ලි:
නැවත කතන්දරයකින් හමුවෙමු.

Monday, 12 November 2012

හොඳයි මේ කවුද එහෙනම්? - Yesterday's one was easy, but who do you think is this?

ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මං දාපු "මේ කවුද" ෆොටෝ එක බහුතරයක් පිරිස ටක් ගාලා ටක්කෙටම අඳුනා ගත්තා.

අද වැඩේ නම් එච්චර ලේසි වෙන්නේ නෑ.

මෙන්න ෆොටෝ එක.


අඳුනාගන්න පහසු වෙන්න මෙන්න ක්ලූස් (හෝඩුවාවල්) කීපයක්.

1. මොහුද නළුවෙකි.

2. කමල් ගේ සමකාලීනයෙකි.

3. නමුත් එතරම් චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය සංඛ්‍යාවක රඟ පා නැත.

4. අද නමක් දිනා ඇත්තේ විකට නළුවෙකු ලෙසයි. මුළු රටම දන්නා චරිතයක් ලෙස රඟපායි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙවර ඊයේ මෙන් කමෙන්ටු මොඩරේට් කර නොමැත. ඒ නිවරද උත්තරය දීම ඊයේ මෙන් පහසු නොවන නිසාය.

ප/ප/ලි:
මෙන්න තවත් උදව් කීපයක්.
මේ නළුවා රඟ පෑ සියළුම ටෙලි අධ්‍යක්‍ෂණය කර ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරිය. නමුත් ඒ සියල්ල ඉතා සුළු චරිතවිය.

මෑතකදී සිකුරු හතේ ද ඉතා සුළු ජවනිකාවක් කරනවා දුටුවෙමි.

නමුත් මේ කාලයේ ඔහු එක්තරා නාලිකාවක යන අමුතුම ආකාරයේ වැඩ සටහනක අපි කවුරුද් හොඳින් අසා දැක ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකු ළෙස රඟපායි.

අද ඔහු ගේ හැඩ රුව වෙනස්ය. දැන් මැදිවියට පැමිණි ඇති නිසාවෙනි.

මේ ෆොටෝ එක තිබුණු පත්තර කෑල්ලේ ඔහු ගේ නම නොතිබුණා නම් මට ඔහු හඳුණා ගන්නට නොහැකි වනු ඇත.

මට දැන් දින කිහිපයකට උඩ දී යක්කලදී හමුවිය. ඒ නිසයි මේ පෝස්ට් එක වැටුනේ.

ප/ප/ප/ලි:
මෙන්න විස්තරේ.
http://kathandara.blogspot.com.au/2012/11/upatissa-who-you-may-well-ask.html

Sunday, 11 November 2012

කවුද මේ? සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක්! - Flash from the past

අද වැඩි විස්තර නෑ. සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක් විතරයි.

මේක පරණ පත්තර කෑල්ලකින් හොයා ගත් ඡායාරූපයක්.



කවුද මේ?

-කතන්දරකාරයා

ප/ලි:
මීට වඩා අමාරු එකක් හෙට.
http://kathandara.blogspot.com.au/2012/11/yesterdays-one-was-easy-but-who-do-you.html

ප/ප/ලි:
මේවන විට බහුතරයක් පිරිස නිවරදි පිළිතුර ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙමි!

ප/ප/ප/ලි:

ඔව්!

අද බහුතරයක් දෙනා ටක්කෙටම කියා ඇති පරිදි මේ ඉන්නේ ඒ කියන නළුවා තමයි.

මෙයා ගේ නම ඒ.ඒ. කමල් හෙවත් කමල් අද්දර ආරච්චි. මුලින්ම චිත්‍රපටියක රඟපාලා තියෙන්නේ සාගරයක් මැද කියන පොලිටිකල් මූවි එකේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ගේ චරිතය.

මං පොරව දැකලා තියෙනවා හොඳ වේදිකා නළුවෙක් විදිහටත්. ඇයි දඬුබස්නාමානය, වෙදහාමිනේ වගේ ටෙලිනාට්‍ය?
පොර දමයන්ති ජයසූරිය එක්ක කියන උන්මාද වූ ප්‍රේමාදරේ කියන සින්දුව නිසා ගායකයෙකු විදියටත් ජනප්‍රිය වුණා.
පහුගිය කාලේ ටීවී එකේ රියලිටි ෂෝ එකක් ඉදිරිපත් කළාද කොහෙද කියාත් මතකයක් තියෙනවා.

දැන් අවුරුදු කීපෙකට කලින් මං සඟරාවක ආටිකල් එකක් සඳහා පොරව ඉන්ටර්වීව් කළා.

එදා මං පොරගෙන් ඇහැව්වා මෙහෙම.

"මං කමල්ව හදුන්වන්න ඕනෑ වේදිකා නළුවෙක් ලෙසද, සිනමා නළුවෙක් ලෙසද, ටෙලි නාට්‍ය නළුවෙක් ලෙසද නැත්නම් ගායකයෙක් ලෙසද?"

පොර කිව්වේ මෙහෙමයි.

"මං ඔය මොකෙක්වත් නොවෙයි. මං වේදිකා නාට්‍යයක, චිත්‍රපටියක, ටෙලි නාට්‍යයක රඟපාපු, ගීතයක් ගායනා කරපු කාලයක් මතක නෑ!"


Friday, 9 November 2012

ප්ලාස්ටික් කිඹුලා - Remember reading this?


"ලොකු පුතා ලැහැස්ති වෙන්න" මගේ මව කියනු මට ඇසේ. "අපි තව ටිකකින් ආච්චිලා ගේ ගෙදර යනවා!"

තුන් වසරැති බාල සොයුරා සමග මා මිදුලේ සෙල්ලම් කරමින් සිටි ස්ථානයට දිව එන ඇය ඔහු රැගෙන නිවස තුලට යයි. ඒ මල්ලීව ගමනට සූදානම් කිරීමට බව මට හැෙඟ්. මගේ වාරයට තව කල් ඇත.

එක් වසරැති බිළිඳා නිවස තුල තද නින්දේය. ටික වේලාවකින් ඔහු හඬන මිහිරි නාදය නොඇසුණි.

මල්ලී සමග සෙල්ලමේ යෙදීමට මා කැමතිම ස්ථානය වූයේ ගල් බොරලූ වැලි පිරුණු මිදුලේ කොණක තිබූ කිසි දිනක පල දරා නොමැති රඹුටන් ගස යට සෙවණයි. අප දෙදෙනා අතර වයස පරතරය යාන්තමින් මාස දහතුනක් විය. අපේ සෙල්ලම් කිරීම සමහර විටෙක අවසාන වූයේ දබරයෙනි. අම්මා අකමැති වූයේ ද ඒ අවසානයටයි.

තව වසරකින් පමණ බිළිඳා ද ලොකු මහත් වී අප හා එක්වණු ඇති බව මම දනිමි.

මුහුණ කට සෝදවා අළුත් ඇඳුමින් සරසවන ලද මල්ලී නිවසින් එළියට එයි. නිවස පිටුපස පිහිටි ලිඳ අසල සිට අම්මා නැවත මට අඬ ගසයි. බිළිඳා නෑවීම සඳහා ඇය ලිඳෙන් ඇද ගන්නා වතුරින් බේසමක් පුරවනු මට යාන්තමට පෙනේ.

"ලොකු පුතා එන්න, මූණ හෝදන්න!" අම්මා නැවතත් මට කතා කරයි. මෙවර ඇගේ කට හෙඬ් ඇත්තේ මද කෝපයකි. එය මා ගැන ඇතිවුණු කෝපයක්ම පමණක්ද?

මම කිඹුලා දෙස නැවත බලමි. මේ අම්මා මාස කිහිපයක කලින් දිනයක මාබිම පොලෙන් මට මිළදී ගෙන දුන් කොල පැහැති ප්ලාස්ටික් කිඹුලාය.

කිඹුලා ගේ ගෙල වටා බැඳ ඇති පරණ ඉලාස්ටික් පටියද එහි අනෙක් කෙළවර ගැට ගැසුණු ගල් කැටයද මට පෙනේ. ඒ මගේ ශූර ක‍්‍රියාවක ප‍්‍රතිඵලයකි. ඇත්තම කිවහොත් මල්ලී ද මේ ගැට දැමීම සඳහා මට උදව් කළේය.

මම කිඹුලා ද, ඉලාස්ටික් පටිය සහ ගල් කැටය ද අතට ගෙන හැකි වෙර දමා නැවතත් රඹුටන් ගසේ අතු දෙසට ඉහලට විසි කරමි. මල්ලී සමග මා කලින් උත්සාහ කළ කිහිප වතාවේම සිදුවූවාක් මෙන් ඒ සියල්ල මෙවරද බිම පතිත වෙයි.

මම උත්සාහය අත නොහරිමි. උත්සාහවන්තයා තනිවම උත්සාහ කළ තෙවන වතාවේ ජය ගනී. මගේ කුඩා සිතට ඇති වන්නේ මහා ප‍්‍රීතියකි.

මම ඒ ප‍්‍රීතිමත් සිතෙන් යුතුව ලිඳ දෙසට දිවයමි. තව දුරටත් පමා වූවොත් අම්මාගෙන් තට්ටමට පොඩි පහරක් ලැබෙන්නටද ඉඩ ඇත.

ඇඟ සෝදාගෙන නිවස තුලට ගොස් අළුත් ඇඳුමින් සැරසෙන මට දක්නට ලැබෙන්නේ අපේ අනෙක් ඇඳුම් සියල්ලම සූට්කේස් තුල අසුරා ඇති බවයි. කුස්සියද අස්කර එහි තිබූ බඩුමුට්ටු විවිධ කූඩා සහ මළු තුල බහා ඇත.

"අපි අද ඉඳලා ඔයාගේ ආච්චිලා ගේ ගෙදර පදිංචියට යනවා" අම්මා කියයි. "අපි ආයේ මේ ගෙදරට එන්නේ නෑ!" ඇගේ කටහෙඬ් ඇත්තේ ශෝකයකි.

ඒ මේ කුලී නිවස හැරයාම ගැන ඇති වුණු දුකක් ද නැතිනම් පියාගේ මහගෙදර ඥාතීන් හා ජීවත්වීමට යාම පිළිබඳව ඇතිවූ දුකක් ද යැයි මට නොතේරේ. එය ඒ දෙකෙහි සම්මිශ‍්‍රනයක් වෙන්නට ඇත.

මා පසුව දැනගත් පරිදි අප ඒ දිනවල සිටි කුලී නිවස පිහිටා තිබුණේ පියාගේ සේවා ස්ථානය අසල අක්කර දෙකක පමණ පොල්වත්තක් මැදය. මේ සිදුවීමට කීප දිනකට කලියෙන් එක්තරා රාත‍්‍රියක පොල්වත්තට පැමිණි හොරු කීප දෙනක් ගස්වලින් පොල් කඩා ඇත. ඔවුන් එය කර ඇත්තේ නිහඬව හොරුන් මෙන් නොව මහ හඬින් කතාවේ යෙදෙමිනි. කුඩා ළමුන් තිදෙනෙක් සහ බිරිඳ සමග මේ නිවසේ සිටීම ආරක්‍ෂාකාරී නොවන බව මගේ පියාට වැටහෙන්නට ඇත.

ඔහු මේ ප‍්‍රදේශයේ පදිංචිව සිටියේ සේවා ස්ථානය ආසන්න නිසා වුවද පියාගේ මහ ගෙදර පිහිටියේ ද සැතපුම් දහයක් පමණ නුදුරිනි. හැකි විගස මහ ගෙදර ගොස් පදිංචි වීමට පියා තීරණය කර ඇත්තේ එහෙයිනි.

කුඩා ලොරියක් ද ඒ පසුපස කාරයක්ද මිදුළට එයි. මේ හන්දියේ කඬේ කුලී රථයයි. මගේ පියා ඉන් බසින අතර තරුණයෝ දෙදෙනෙක් ලොරිය පසුපස සිට බිමට පණිති. පැය භාගයක් පමණ කාලයක් ඇතුලත අපේ සියළු චංචල දේපල, එනම් ඇඳන් දෙකක්, අල්මාරියක්, ලියන මේසයක්, කෑම මේසයක් සහ පුටු කිපයක්, කුස්සියේ බඩු සහ සූට්කේස් කීපයක් ලොරිය තුලට ද, කුලී රථයේ ඩිකිය තුලට ද පැටවේ.

අපේ පවුල රැගත් කාරය පොල්වත්ත මැදින් කෙමෙන් කෙමෙන් මහාමාර්ගය දෙසට ඇදේ. ලොරියද අප පිටුපසය.

අම්මා ඇගේ තෙත්වුණු ඇස් කුඩා ලේන්සුවකින් පිස දමයි. මම පිටුපස හැරී පොල්වත්ත මැද පිහිටි අපේ කුලී නිවස දෙස බලමි. මිදුලේ කෙළවර ඇති රඹුටන් ගස මගේ නෙත ගැටේ.

"මගේ කිඹුලා! මගේ කොලපාට ප්ලාස්ටික් කිඹුලා!!" මම කෑ ගසමි. "අනේ ඌ රඹුටන් ගහ උඩ, අයියෝ!"
කිසිවෙකුට මගේ කෑ ගැසීම නොඇසේ.

කුලී රථය පොල්වත්තෙන් නික්ම මහාමාර්ගයට පිවිසෙයි. මට තව දුරටත් රඹුටන් ගස නොපෙනේ.

ඇත්තටම මට කිසිවක් පැහැදිලිව නොපෙනේ. මා වටා ඇති සියලූ දේ ම බොඳවී ඇත.

කතන්දරකාරයා

ප/ලි
ඔරිජිනල් කතන්දරය සඳහා මෙතන බලන්න.
http://kathandara.blogspot.com.au/2012/11/there-is-crocodile-up-in-tree.html

>(image: http://www2.crayola.com/educators/lesson_plans/printer.cfm?id=1276)

Wednesday, 7 November 2012

ඔබාමා පෙන්ටගන් එකේ ලොකු පුටුව තමන් ගේ මල්ලීට දුන්නාද? - A page from my January 2009 Diary


එදා 2008 ඡන්දෙන් දිනපු ඔබාමා 2009 ජනවාරියේ දිවුරුම් දුන්නු දවසේ මං ඒ ගැන කයි කීපයක් ලිව්වා.

අද පොර ආපහු දිනපු බව ඇහුණු වෙලේ ඒ කවි ටික නැවත පාරක් කියවන්න හිතුණා. මේවා ලියලා ටික දවසකට පස්සේ ලැබුණ ඉල්ලීමකට අනුව කැනඩාවේ සඟරාවක පලකරන්න යවපු වෙලේ කත්තුරු ලා බය වෙලා පොඩ්ඩක් සැන්සර් කළා. ඒ කතන්දරේට ලින්ක් එකක් යටින් දාලා ඇති.

ඊට කලින් මෙන්න කවි ටික.

ඔබාමා චූන් එකෙන් ඔබ්බට

ඔබමා බරක් එක්සත් ජනපදයේ
ජනපති විලස දිවුරුම් දුන් අද දිනයේ
නෙත නැගි තුටු කඳුළු පිස දා ලහි ලහියේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරියේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

බලයට එන්න පෙර නිදහස භාෂණයේ
පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තනයේ
තම පණ වුවද දෙන්නයි සැරසී සිටියේ
අමතක වේ ද බලයට පත් වූ හැටියේ

ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

වදකාගාර ගන්තනමෝ බටලන්ද
වැලලු මිනී අබු-ග්‍රේ සූරියකන්ද
දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

සේරු අටක් ඇට හැම ගෙට එවන්නට
නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
සමුර්දියක් ජන-සවියක් දෙවන්නට
දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේද
රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේද
චෞර රජා ලෙස හොඳ නම හිමිවේද
පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යා ද

විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ


(ජනවාරි 2009)

මෙන්න උඩින් කියපු කතාවට ලින්ක් එක.
http://kathandara.blogspot.com.au/2011/03/kathandara-kaaraya-learns-lesson-again.html

-කතන්දරකාරයා

ප/ලි
ඇමරිකන් ජනාධිපතිවරණය ගැන ඇහෙන කොට මට මතක් වෙන්නේම අපේ අංකල් කෙනෙක්. ඒ ගැන ලියන්න ගිහින් මං නාගත්තු හැටි මෙතනින් කියවන්න.

අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!
http://kathandara.blogspot.com.au/2012/08/to-aruni-shapiro-with-love.html


Tuesday, 6 November 2012

පෙම්වතිය ගේ මරණය - This should not happen to anyone


මරණයක් ගැන අහන්න ලැබීම කියන්නේ මාර දුක හිතෙන කේස් එකක්.

ඒ මැරිලා තියෙන්නේ තමන් ගේ පෙම්වතිය නම්?

කියලා වැඩක් නෑ නේද?

ඒ දවස්වල අපේ සීනියර් පොරක් (අපේ කාලේ අයියලා හිටියේ නැත!) ගඟෙන් එගොඩ කෙල්ලෙක් එක්ක යනවා මං දැකලා තියෙනවා.

කෙට්ටු උස, දිග ඇස් තියෙන, කළු ස්ටේ‍ර්ට් කොට කොණ්ඩයක් තියෙන ගෑල්ළමයෙක්ව හිතේ මවා ගන්න.

අන්න ඒ වගේ තමයි මේ කියන පෙම්වතිය.

හදිසියේම එක දවසක ආරංචි වුණා ඒ ළමයා මිය ගියාය කියලා.

මට මාර දුකක් දැණුනේ. ඒ එක්කම මට හිතුනේ අපේ සීනියර් පොරට කොච්චර දුකක් දැනෙනවා ඇතිද කියලයි.

සනත් නන්දසිරි ගයන "එදා මෙදා තුර කඳුලට විවරවු" කියන සින්දුවේ කියවෙන්නේත් මේ වගේ දුක්බර කේස් එකක්.

මේ සිද්ධියෙන් ටික කලකට පස්සේ මා අතින් ලියවුණු කවියක් මෙන්න.

පෙම්වතිය ගේ මරණය

ඈත එපිට එක් සුන්දර උදයක
මා නෙත හමුවී
ලැජ්ජාවෙන් බිමවෙත යොමුවුණු ඒ
මා හද සැනසූ
මා සිත නැලවූ
     නිල් මහනෙල් පෙති
     සුන්දර නෙත් යුග
වැසී සදහටම
යලි නොඇරෙන්නට

කුරිරු ලෝකයෙන් හෙම්බත්වීලා
මා දුක්වෙන සඳ
සිසිල් දිය පොදක් සේ වූ වදනින්
මුහුණ පුරා විහිදුණු මදහාසෙන්
මා සුවපත් කළ
මට සැනසුම දුන්
     නා දළු තොල් පෙති
     මුතු ඇට දත් පෙල
වැසී සදහටම
යලි නොඇරෙන්නට!


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් එළිදක්වන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
එවැනි දුකක් කිසිවෙකුටත් නොලැබේවා!

(image: http://www.freshflowersandgifts.com.au/white-sympathy-flower-wreath-224.asp)

Sunday, 4 November 2012

There is a crocodile up in a tree - රඹුටන් ගහේ කිඹුලා


"Putha, Get ready!" my mother tells me "We are going to your grandparents place soon". She then grabs my three year old younger brother by hand and rushes inside the house probably to get him ready first. The baby must be sleeping inside the house; there is no crying for sometimes now.

I like to play with my younger brother in the front yard full of sand and pebbles under the tall Rambutan tree that never bears any fruit. Sometimes we get into fights – after all I am just thirteen months older than him - and my mother does not like that at all. The baby is just a baby turning two in a few months time. He too can join us when he grows a bit more.

My brother comes out dressed up. My mother calls me again from the well in the backyard. I can see she is pulling water out and filling a tub for my wash.

My mother calls me again.

I look at the crocodile. The green coloured toy my mother got me from the village fair. I see the thick string that is tied to its neck and the stone attached at the other end – all my handy work – amply supported by my brother. I pick the crocodile and throw it up in the air towards the canopy of the Rambutan tree. It falls back to the ground. I succeed in my third attempt.

The crocodile now hangs from a tiny branch of the tree with the string wound around it.

I run towards the well; I must get there before my mother gets angry.

After the wash, while getting into fresh clothes inside the house, I see all our clothes are packed up in a few suitcases. The kitchen is clean and all items neatly packed as well.

"We are going to be living with your grandparents from today" my mother says "we are not coming back to this house ever again". She sounds sad. Sad to leave this house or sad to move in with her in laws I cannot say. May be it is a mixture of both.

A lorry and then a car pull up into the front yard. I recognise the hire car. My father gets out of the car and a couple of guys jump out of the lorry. Within half an hour or so all our belongings – a couple of beds, 'an almirah', a study table, the dining table, a few chairs, the lounge suit, kitchen stuff and the suitcases – are all inside the lorry or in the 'dicky' of the car.

The car pulls away from the front yard with the lorry following us. My mother is rubbing her wet eyes off. I take the last look at this tiny house in the middle of about two acres of coconut plantation. My eyes catch the Rambutan tree.

“My crocodile!” I shout, “my crocodile, on the top of the Rambutan tree!!”.

No one seems to hear. The car leaves the property. I cannot see the Rambutan tree anymore.

I cannot see anything. My eyes are blurred.

-Kathandarakaraya

සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් ලෙස ප්‍රකාශිතයි!

Glossary:
Putha = Son
Rambutan = A fruit tree grown in tropical regions
Almirah = A wooden cupboard used for clothes
Dicky = Car boot

(image: http://tapirgal.blogspot.com.au/2009/08/plastic-toy-australian-crocodile.html)

Friday, 2 November 2012

බලහත්කාරයෙන් හිරු පුබුදාලිය හැකිද ? : Determination!


හැමදාම කවි පලකරන කොට කයි-කතන්දර කියලා නම් කරලා කවියට උඩින් කතන්දර දාන එකේ අද හිතුණා කයිය විතරක් දාන්න.

ඒ මේ කවියට උඩින් කතන්දරයක් ලියන්න බැරිකමක් හින්දා නොවෙයි.

සමහර විට නිදාගෙන ඉන්න දේශපාලන සත්වයෝ කලබොල වුණොත් හෙම පස්සෙන් පහු මේකේ කතන්දරේ ලියන්නත් වේවි.

එතකං මෙන්න කවිය.

අවබෝධය

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායනතුරු සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ
හි
රු
පු
බු
දා
හෙට මුළු ලෝකය
එළිය කළ යුතුය


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල. පසුව වූ දිගු කවියකින් කොටසකි. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට වෙනම කෙටි කවියක් ලෙස අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
පස්සෙම ලියන්නම්!

(image: http://newsjunkiepost.com/2011/02/13/global-revolution-will-the-many-finally-triumph-over-the-few/)