Monday 10 January 2011

මැනර්ස් ටිකක් කෝප්පේ ඉතුරු කරමු!


මං පොඩි කාලෙ මට හොඳට මතකයි, අපේ සීය කන්න ගියාම මුලින්ම කරන්නේ බත්, මාළුපිනි ටිකක් අනල එක කටක් විතර ප්‍රමාණයක් පිඟානේ පැත්තකට කරන එක. හරියට අර බුද්ධ පූජාව අයින් කරනවා වගේ දානේ ගෙදරක.

ඉතිං ඔය මුල් බත් කට පිඟානේ ඉතුරු කරනවා මිසක් සීයා කවදාකවත් කන්නේ නෑ, පස්සෙ පිඟානට තව බතුයි හොදියි බෙදාගෙන කෑවත්.

මං මුලින් හිතුවේ සීය ඔය විදියට පොඩ්ඩක් පිඟානේ ඉතුරු කරන්නේ කාල ඉවරවෙලා පිඟාන හෝදන වැඩෙන් ෂේප් වෙන්න කියලයි.

මං ඉතිං පොඩි ළමයෙක් හින්ද නොදන්න කමට නේ එහෙම හිතුනේ.

සීය ඒ බත් කටක් ඉතුරු කරන්නේ ඉස්සෙල්ලාම බත් කට දන් දෙන චේතනාවෙන්.

සීය කාල ඉවරවෙලා පිඟාන තියල ගියාට පස්සේ, ඒ බත් කට බල්ල ගේ කෑම එකට එකතු කරලා පිඟාන හෝදනවා කවුරු හරි ගෙදර ඉන්න කෙනෙක්.

තවත් මං පොඩි කාලේ මගේ පොඩි කමට කරපු වැරදි දෙයක් තමයි, කාගේද ගෙදරකට ගිය වෙලේ මට දුන්නු ක්‍රීම් සෝඩා වීදුරුව බින්දුවක්වත් ඉතුරු නොවෙන්නම බීල දාපු එක.

එහෙම නෙමේ ලු කරන්ඩ ඕනේ. වීදුරුවේ අඩියේ චුට්ටක් ඉතුරු කරන්න ඕනෑ ලු.

ඒව තමයි මැනර්ස් කියන්නේ!

ඉතිං, දැනුත් පිට ගෙදරකට ගිහින් තේ එකක් හෙම බොන්න දුන්නහම මං පොඩ්ඩක් ඉතුරු කරනවා. කෝප්පෙ හෝදන කොට ඒ ටික හේදිලා යනව ඇති සින්ක් එකෙන් පහලට.

මේ වැඩේ නාස්තියක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. කොටින්ම තේ දහනමයක් විතර බොන කොට විසිවෙනි තේ එක කෙලින්ම වීසි කරනවා වගේ වැඩක්.

අපේ මැනර්ස් වලින් හොඳම එකක් වෙන මේ තේ මැනර්ස් එකේ වැදගත්කම ගැන කාරණා දෙකක් මට හිතාගන්න පුළුවනි.

මේ ආකාරයට තේ කෝප්පයේ ටිකක් ඉතුරු කීරීම තුලින්:
1. තේ කෝප්පේ අඩියේ තැන්පත් වී තියෙන්නට පුළුවන් තේ මණ්ඩි කටට ඇවිත් කට සවුත්තු වීමෙන් වැලකීමට ලැබෙනවා.

2. තේ කෝප්පේ අඩියේ දිය නොවී තියෙන්නට පුළුවන් සීනි වලින් සහ එනිසාම දියවැඩියාව වැනි රෝගවලින් වැලකෙන්නට ලැබෙනවා.

තවත් හේතු තියෙනවාද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි
රස්පුටින් ගේ වයින් වලට වගේ තේ එකකට වස දැම්මොත් ඒවා තේ එකේ උඩින් පාවෙනවා නේද?

ප/ප/ලි
බ්ලොග් ලියන කොට අනුගමනය කළ යුතු මැනර්ස් වලින් එකක් මෙන්න.

අනෙකුත් බ්ලොග්කාරයින් ගේ බ්ලොග් වල පලවෙන අදහස් ගැන විවේචන ඒ ඒ බ්ලොග්වල මිසක තමන් ගේ බ්ලොග් එකේ නො ලියන්න.

තවත් "බ්ලොගින් මැනර්ස්" තියෙනවාද මන්දා?

26 comments:

  1. අකුණු ගගහ වැස්සක් වැහැල පෑව්ව වගේ.

    ReplyDelete
  2. ඔය බත් කන්න කලින් පොඩ්ඩක් අයින් කරන වැඩේ අපටත් පොඩි කාලෙ කියලා දීලා තිබුණා. එහෙම කලාම කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නෙ නැතිලු.

    ReplyDelete
  3. අසභ්‍ය වදන් භාවිතා කරමින් බ්ලොග්කරුවන්ට බැනීමෙන් වැලකී සිටීමත් බ්ලොග් මැනර්ස් වලට අදාලයි මම හිතන්නේ

    ReplyDelete
  4. කතන්දරත් මොනවා හරි අල්ලාගත්තොත් ලේසියෙන් අත අරිනා කෙනෙක් නෙමෙයිනේ!!!

    ReplyDelete
  5. මමත් පොඩි කාලේ අම්මලා කියලා දීලා ඔය විදිහට 'මැනර්ස්' ඉතිරි කරන පුරුද්දක් තිබ්බලු. ඒ විතරක් නන් මදෑ, අම්මලගෙ කෝප්පවලටත් එබිලා හොරෙන් කියනවලු "පොඩ්ඩක් ඉතිරි කරන්ඩ" කියලා.
    ඒත් තේ හදපු මනුස්සයාගෙ සතුට තමන් හදපු තේ එක බින්දුවක්වත් ඉතිරි නොකර බීලා තියනව දකින එක කියලා දැන්නම් හිතෙනවා. ඒ හින්දා බොන්ඩම බැරිනම් විතරයි ඉතිරිකරන්නෙ. රහට තිබ්බොත්නම් ඉතින් මොන මැනර්ස් ද කියලා ගුඩුස් ගුඩුස් ගාලා ඇරලා දානවා.

    ReplyDelete
  6. තේ වල මැනස්වල තේරුමක් තිබුනට බීම ජාති වල මැනස් තියන එකේ තේරුමක් නැහැනේ
    මට අපි ඒලෙවල් කාලෙ කරපු වැඩක් මතක් වුනා. අපි "මන්ද හේලි"ගේ ආච්චිගේ මල ගෙදර ගියපු වෙලාවේ දුන්නේ කොඩියල් වගේ ජාතියක්. අපේ අයගේ ඉතුරුවුන මැනස් ටික එක වීදුරුවකට දාලා (බොහොම අමාරුවෙන් තමයි වීදුරුව පුරව ගත්තේ) එවෙලෙ එතන නොහිටපු එකෙකුට (අශ්වින්) කතා කරලා "මචං උඹ බීම බිව්වද එකක් වැඩියි" කියල දුන්න. පොරත් "ආ බිව්වෙ නෑ බං" කියල ඒක බීල ඉවර වෙලා "මේ දෙවෙනි එක" කියල පොරවගේ කිව්වා.
    විද්‍යාතමක් පැනය:
    එසේ තේ එක උඩ වස පාවෙන්නේ නම් එසේ වීමට හේතුව කුමක්ද?
    මම නම් දන්නෑ

    ReplyDelete
  7. සීයටත් උගන්නන් මැනර්ස් එකක් තියනවා මට නම් - තමන් කාපු පිඟාන අනුන්ට හෝදන්න තියන එක නරක පුරුද්දක්. පිටතැනක දි යම් යම් හේතු කාරණා උඩ බැරි වෙනවා. ඒත් තමන්ගෙ ගෙදරදි තමන් කාපු පිඟාන තමන් සෝදන්න ඕනි බව සීය දන්නෙ නැතිව ඇති.

    කත්දර එහෙම නැතිව ඇති කියල අනුමාන කරනවා....

    බ්ලොග් ලෝකේ ඉන්න අයට "මොන මැනර්ස් " ද කතන්දර මහත්තයෝ.... (මහත්තයා / සර් කියන එකත් දැන් යල් පැන ගිය මැනර්ස් වගේ )

    කොමෙන්ට් නොකර ඉන්න හිතුවට. පරණ යාළුකම් අතහරින්න තරම් හිත හයිය නැහැ. . .

    තේ එකේ උඩින් වස පාවුනාට .... අන්තිමටත් ඒ වස ටික ඉතිරි වෙනව කියලයි මම හිතන්නේ... දන්න කෙනෙක් ඉන්නව නම් කියලා දෙන්න....

    ReplyDelete
  8. ඔය කවුරුවත් අරක්කු බොනකොට එහෙම ඔය මැනර්ස් ඉතුරු කරන්නෙ නෑ නේද?

    ReplyDelete
  9. "තේ කෝප්පේ අඩියේ දිය නොවී තියෙන්නට පුළුවන් සීනි වලින් සහ එනිසාම දියවැඩියාව වැනි රෝගවලින් වැලකෙන්නට ලැබෙනවා."

    Evidence please>>>>>>>>>

    ReplyDelete
  10. Taboo must have hit the nail on its head. Ha ha...

    "අනෙකුත් බ්ලොග්කාරයින් ගේ බ්ලොග් වල පලවෙන අදහස් ගැන විවේචන ඒ ඒ බ්ලොග්වල මිසක තමන් ගේ බ්ලොග් එකේ නො ලියන්න."

    ReplyDelete
  11. අනුගමණය කළ හැකි නම් තවත් හොඳ බ්ලොග් පුරුදු කිහිපයක්.

    1. අන්වර්ථ නාම වලින් තමන්ගේම බ්ලොග් එකේම කමෙන්ට් නොකිරීම.

    2. කතන්දරයක් කියාගෙන යන්නේ නම් එය හොඳම හරියේදී 'මතු සම්බන්ධ' කිරීමෙන් වැලැකීම.

    3. කමෙන්ට් දැමීම හැකිතාක් පහසු කිරීම. (අපේ සමහර blogspot බ්ලොග්කරුවන් තවම තේරුම් ගෙන නැහැ ඒවාට wordpress ID වලින් කමෙන්ට් කරන්ට අපට ඇති අපහසුව. මා පහුගිය දවසක රංගගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න මිනිත්තු දහයකට වඩා උත්සාහ කරලා අත ඇරලා දැම්මා.)

    4. අනවශ්‍ය add-on වලින් පුරවා ගෙන බ්ලොග් එක පිවිසීමට අපහසු කිරීම. (මාරයා නම් කර තිබුණා මෙසේ පිවිසීමට අපහසු අඩවි කිහිපයක්. මා ඊට 'බ්ලොග් ගඩොල්' එක් කරනවා.)

    තව මතක් උණොත් කියන්නම්.

    - Taboo

    ReplyDelete
  12. මෙන්න තවත් බ්ලොගින් මැනර් මැනර් එකක්:

    * කතන්දරයක් එහෙමපිටින්ම කියල ඉවර නොකර ප.ලි , ප.ප.ලි , අටුවා. ටීකා වලත් ටික ටික ඉතිරි කිරීම

    ReplyDelete
  13. මේ යන විධියටනම් බ්ලොගින් නොකර ඉන්න වෙන්නේ. මැනර්ස් ගැන හිතන්න වෙනවනේ.

    ReplyDelete
  14. අරක්කු බොනකොටනම් මැනර්ස් තියාගන්නෙ නෑ නේද? හික්..

    ReplyDelete
  15. ඇයි අනේ තව වැදගත්ම මැනස් දෙකක්ම අමතකවෙලානේ.

    1) ලියන්න මෙලෝ මල දානයක් නැතිවෙලාවට අහරෙන් මෙහෙන් වාක්‍යක් දෙකක් ගලපලා වාක්‍ය 10 කින් විතර මෙලෝ රහක් නැති
    ලොවට වැඩක් නැති වාක්‍යරචනාවක් හදලා ඒකෙ වචනෙන් වචනෙට පරණ පෝස්ට් වලට ලින්ක් දාල, කට්ටිය ඇවිස්සෙන මාතෘකාවක්
    දාල පබ්ලිෂ් කරන එක.

    2)කාගෙ හරි හොඳ හිට් වෙන ලිපියක් දැකපුවෙලාවට ඒ ලිපියේ තියන වචනයක් යන්තමින්හරි ගෑවිලා යන තමන්ගෙ පෝස්ට් එකකට
    ලින්ක් එකත් එක්ක කමෙන්ට් එකක් ඒ බ්ලොග් එකේ දැමීම (කමෙන්ට් එක යන්තං තනි වාක්‍යක් විතර).

    ReplyDelete
  16. මැනර්ස් වලට උදාහරණ, කෑම කටක්, තේ උගුරක් ඉතුරු කරන එකනේ...

    එහෙම බැළුවාම කතන්දරෙත් චුට්ටක් හරි නොකියා ඉතුරු කරන එකත් ඒ වර්ගයේම මැනර්ස් එකක් වෙන්න ඕනෙ නේද හිතුණා.

    මේ බීම ඉතුරු කරන, කෑම ඉතුරු කරන වැඩේ, විශේෂයෙන් කාගෙ හරි ගෙදරක ගියාම, මම හිතන්නේ නම්, "අපෝ අපිත් හොඳට කනබොන ඈයො" කියල පෙන්නන්න කරන දෙයක් කියලයි මට හිතෙන්නෙ.

    ඒ අවු අස්සෙ මතක් උනේ කොකාගෙයි නරියගෙයි ගෙවල් දෙකේ සංග්‍රහ වෙච්ච හැටි....

    මල් හතයි පින්තූරෙ නම්. පාර්ලිමේන්තුවෙන් ද හොයාගත්තෙ?

    -ලොකු

    ReplyDelete
  17. කසූ මොකද බොලේ මේ හිටපු ගමන් ෆුල් ඇග්‍රසිව් වෙලා...?

    ReplyDelete
  18. ඔය manners ඕන වෙන්නේ තේ කප්ස් වලට හැදුවහම! Tea pot එකක් හැදුවනම් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වක්කරගෙන බොනවිට manners ඉතුරු කිරීමක් වෙන්නේ නැහැ !

    ReplyDelete
  19. මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ මචන්.

    මොනව වුනත් මචන් හිත රිදිලා වගේ නම් මෛත්‍රී භාවනාව කරපන්.

    දවසෙන් දෙකෙන් වැඩේ ගොඩ.

    අත්දුටුයි ප්‍රත්‍යක්ශයි . .

    ReplyDelete
  20. පලවෙනි බත් කට දන් දෙන සීයා කාපු පිඟාන හෝදන්න තව කෙනෙකුට තියන වැඩෙත් හරියට...බලු බෙට්ට කාලා බලලා බලු බෙට්ටක් තමයි මචං පාගන්නැතුව අයින් වෙලා යං... කිව්වා වගේ වැඩක් තමයි...

    අවංකව හිතට ආපු දේ කිව්වේ ඕං...කතන්දර සීයට අගෞරවයකට නෙමෙයි...බස් එකේදි හාමුදුරුවන්ට දුන්න උත්තරෙන් සීයා එල කොල්ලෙක් කියලා තේරුම් ගත්තා...

    ReplyDelete
  21. මට මේ ඊයේ පෙරේදා හිතුනේ මේ බ්ලොග් අස්සේ ඉන්නෙත් අර ලිඳ ළඟ සංගමේ ඈයෝමයි කියලා.

    නන්නත්තාර වෙච්ච ඈයොන්ට අපේ බණ මොකටද අයියේ...

    ReplyDelete
  22. ඔය මැනස් තියෙන්නෙ එක එක සංස්කෘති එක්ක බද්ධවෙලා. සීය බත් ගුලිය පැත්තකින් තියන්නෙ තමංගෙ කෑම එකෙන් තව කෙනෙකුට කන්න බත් කටක් දුන්න කියල හිතට දැනෙන සන්‍තෝසෙ හන්ද.

    මුස්ලිම් ජතිකයෙක් නම් ගොඩක් වෙලාවට අන්තිම බත් ඇටේ වෙනකං කනව. එ කෑම වීසිකරන එක පවක් කියල උගන්නල තියෙන හින්ද වෙන්න ඇති [මං හරියටම හේතුව නං දන්නෙ නෑ] මොකද ඒ අයගෙ මුල් තියෙන මැදපෙරදිග දැන් වගේ ආහාර සුලභ නැතිවෙන්න ඇතිනෙ.

    හැබැයි තේ කෝප්පෙ හරි බීම වීදුරුවෙ හරි අඩියෙ ඩිංගක් ඉතුරු කරන්නෙ සමහර වෙලාවට අඩියෙම තියෙන ඩිංග කටට හලාගන්න උඩබලං කෝප්පෙ කටට නවාගන්න එක කැත හන්ද වෙන්නත් පුළුවන්. මොකද කට පුංචි කෝප්ප, වීදුරු වලින් කෙලින් බලං බොනකොට නහයෙ වදිනවන කෝප්ප ගැට්ට. ගෙදරදි නං ඕක ගානක් නෑ, උඩබලං හරි ඇරල දානව අන්තිම ඩිංගත්.

    ReplyDelete
  23. "අනෙකුත් බ්ලොග්කාරයින් ගේ බ්ලොග් වල පලවෙන අදහස් ගැන විවේචන ඒ ඒ බ්ලොග්වල මිසක තමන් ගේ බ්ලොග් එකේ නො ලියන්න."

    බ්ලොග්වලට ලින්ක් වැඩි කර ගන්න ඕනැ නම් අනුගමනය කළ හැකි ක්‍රමයක් තමයි කමෙන්ටු පළ නො කිරීම. එතකොට කාට හරි උත්තර දෙන්න, අදහස් පළ කරන්න ඕනැ නම් තමන්‍ගේ බ්ලොගයේ කරන්න වෙනවා. ලින්ක් එකක් අනිවාර්යයෙන් ම දෙන්න වෙනවා.

    ReplyDelete
  24. @All
    එහෙනං, හිතුව වගේම බිස්නස් ඇස් යූෂුවල්. වලි නැති කොමෙන්ට්ස් නැතුව නිකං මොකක්කද වගේද මන්දා?

    සියළු දෙනාටම ස්තුතියි.

    හෙට උදේ හයට බිස්නස් කන්ටිනියුඩ්!

    ReplyDelete
  25. මම නම් ඉස්සර පොඩි කාලේ අවුරුද්දට නෑගම් ගියාම දෙන කොකිස් එහෙම සාක්කුවේ දාගෙන එනවා. ඔය බීම බීමේ ප්‍රශ්නෙත් එහෙමයි පස්සෙ අම්ම බනින්න බනින්න ලැජ්ජ හිතිල තමයි නැවැත්තුවේ..
    තේ වල වස පාවෙනවද මන්ද හැබැයි ප්ව්වුනොත් ගොඩ තම උඩ ටික හලල රස්පුටින් වහ බීල කිව්වා වගේ හොඳයි කිව්වැකි.

    ReplyDelete
  26. අපේ විදුහල්පති තුමා දවසක් අපිට මැනර්(ස්) උගන්නද්දි කිව්වෙ නම් ... තමන්ගෙ ඉඳුල් පිඟාන වත් හෝදන්න බැරි කෙනා කොයිතරම් උගතෙක් උනත් වැඩක් නෑ කියලයි ... සීයට ගහපු හින්ට් එකක් නෙවෙයි, ඒ කාලෙ උදවිය ඉතින් රෙස්පොට් එකට හිටපු අයනෙ ...

    බ්ලොගින් ගැන කිව්වොත්:
    * කෙනෙක් යම් බ්ලොග් අඩවියක් පරිශීලණය කිරීමෙන් යම් දෙයක් ලබා ගත්තොත් (දැණුම / සතුට) කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නෙපා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.