Friday 20 August 2010

ගෙදර එක්ක තරහ වීම (ඔහෙලැයි-අපේ කාලේ කතාවක්)


කාලෙකට ඉස්සර මං ලිව්ව කතන්දරයක් ගෙදර එක්ක තරහ වුණා කියල මතකද?

කතන්දරෙන් කියවුනේ අපේ අම්ම ඉස්කෝලෙ යන කාලෙ පන්තියෙ හිටපු යාළුවෙක් එයාගෙ අම්ම හරි තාත්ත හරි වගේ ගෙදර කෙනෙක් එක්ක තරහ වුණාම කරන අපූරු වැඩේ ගැණයි.

අද කතන්දරෙත්, ගෙදර එක්ක තරහවීමක් ගැනයි. හැබැයි මේ කතන්දරේ තියෙන එක වෙනසක් තමයි මේක අපේ කාලයේ කතන්දරයක් වීම.

ඉතිං කතන්දරේ පටන් ගන්නේ අපි ඒ ලෙවල්ස් කරපු කාලෙදී.

ඔන්න අර සුද්දට පාර කියල ටික කාලෙකට පස්සෙ ඒ ලෙවල්ස් කරල විසිරිලා ගියා. මම් තුමාට නං ඉතිං පහුකාලෙක අර කූප්‍රසිද්ධ තිප්පොලට සෙට් වෙනතුරුම ගන්ධබ්බ ජීවිතයකට සෙට් වෙන්නයි වුනේ.

නමුත් අපිට එහෙම වුනාට සමහරුන්ට හොඳ කැරියර් ඇඩ්වයිස් හම්බවෙනවනේ. අපේ පන්තියෙ හිටපු ගංගානාත් සූරියවසම් කියන පොර අපි හැමෝටම වඩා සූක්‍ෂ්ම විදියට වැඩ කරල, ඒ ලෙවල්ස් කරන්න කලියෙන්ම ඇප්ලයි කරලයි තිබුණෙ තාක්‍ෂණික ඩිප්ලෝමා කෝස් එකකට. විභාගෙ ඉවර වෙලා සතියෙන් දෙකෙන් පොර ඒ කෝස් එක පටන් ගත්ත.

අපි රිසල්ට්ස් එනකං බලං ඉන්නව. රිසල්ට්ස් එන්න කලින් මෙන්න බොලේ ඊලඟ අවුරුද්දේ විභාගෙටත් ඇප්ලයි කරන්න වුණා. මුල් විභාගෙ ප්‍රතිඵල ඇවිල්ල සේරම එකලාසයක් වෙනකොට අපි දෙවෙනි විභාගෙටත් ලියල ඉවරයි. පොයි පොත්වලටගිය ල්ලි!

ඒ අතර අපේ පොර ළමයා කෝස් එකේ සාර්ථක දෙවෙනි අවුරුද්දට පිය නැගුවා.

කොහොමින් කොහෙමින් හරි මං තාමත් දෙමව්පියන්ගෙන් යැපෙමින් ඉන්න කාලෙ ගංගානාත් සූරියවසම් ලංකාවෙ ලොකුම ප්‍රයිවේට් කොම්පැණියක වැඩට ගියා.

ගංගානාත්ල අපි දන්න කාලෙ ඉඳලම හිටියෙ ගෙවල් කුලියට. ගම නං කෑගල්ලෙ පැත්තෙ මගෙ හිතේ. පොරගේ තාත්තාගේ ජොබ් එක ලංකාවේ තැනින් තැනට මාරුවෙන එකක්. දැං ඉතිං, පුතත් හොඳ ජොබ් එකකට ගිය නිසා ඔන්න කට්ටිය ගෙයක් හදන්න පටන් ගත්ත.

අපේ පොර වැඩ කරපු කොම්පැණිය කොච්චර හොඳ එකක්ද කියනව නං ඒකෙන් නිවාස ණය ගන්න පුළුවන්. ඉතිං ගංගානාත් කාරයත් සෑහෙන්න ණයක් අරගෙන වැඩේට සම්මාදං වුණා.

ඒ වගේ ණයක් ගන්න තියෙන අනිවාර්ය කොන්දේසිය තමයි ඉඩමත්, ගෙයත් ණයකරුවාගේ නමට තිබීම. ඒකේ අවුලක් වුනේ නෑ. තාත්තා මුල්වෙලා වැඩේ කලත්, ඉඩම ගත්තේ ගංගානාත් ගේ නමටයි. සල්ලිත් වැඩි හරිය දැම්මෙ අපේ පොර නේ!

කොහොමටත් පවුලේ හිටියේ අයියයි නංගියි විතරයි. අයියා ඒ වෙනකොට ඈත පලාතක ජොබ් එකක්. නංගිට මගුලක් ජෝඩු වෙලයි හිටියේ.

දැං ඔන්න ටික කාලෙකින් කට්ටියම අළුත් ගෙදර පදිංචියට ගියා.

මේ වෙන කොට අපේ පොරක් හොඳ කෑල්ලක් එක්ක සෙට්වෙලා ප්‍රේම සාගරයේ පීන පීන දියඹුං ගහ ගහ තමයි හිටියේ. ඕක කණිං කොනෙං ආරංචි වුණාම මිස්ටර් සූරියවසම්ට, ඒ කියන්නේ අපේ පොරගේ තාත්තා ට මල පැන්නා.

"හුහ්, ඕකුන් එක්ක පුළුවන්ද අපිට පෑහෙන්න!"

කතාවෙ ඉතුරු හරිය කෙටියෙන් මෙහෙමයි.

ගෙදර විරෝධතාවය නොතකා අපේ පොර අර කෙල්ලව කසාද බැන්දා. මනමාලිව ගෙදරට ගේන්න බෑනේ. ඉතිං මොකද කරන්නේ ඇනෙක්සියක් කුලියට අරං පදිංචියට ගියා.

එදා ඉඳලා ඉතිං ලක්‍ෂ ගාණක නිවාස ණයේ වාරිකයයි, පොලියයි ගෙවනවා මෙහෙන්.

ඇනෙක්සියට කුලිය දාස් ගාණක් ගෙවනවා අනිත් පැත්තෙන්.

ඔන්න අපේ කාලයේ ගෙදර එක්ක තරහා වීම ගැන කතන්දරේ!

මේ කතන්දරේ, අපේ අම්මලාගේ කාලේ කතන්දරේට වැඩිය තියෙන අනිත් වෙනස තමයි, මේක කියවලා හිනාවෙනවා ද අඬනවා ද කියන එක හිතාගන්න බැරිවීම.

-කතන්දරකාරයා

ප/ලි

ළමයිනේ ගෙදර එක්ක තරහ වෙන්න හෙම එපා හොඳේ.

මං අපේ දූවටයි, පුතාටයි කියන්නෙත් ඔය ටිකම තමයි.

23 comments:

  1. අපි නම් වැරදිලාවත් ගෙදර එක්ක තරහ වෙන්නේ නෑ. ගෙදර අය තරහ උනත් බලෙන්ම යාළුවෙනවා. බැලුවම ගංගානාත් මාර පොරක්නේ. කතන්දරටත් මාර යාළුවෝනේ ඉඳල තියෙන්නේ. එහෙම එකේ මේ වගේ කතන්දර දාහක් උනත් ලියන්න දේ ඇතිනේ.
    සුබ දවසක්!!

    ReplyDelete
  2. ඔය පෑහෙන සීන් එක අපේ එකෙකුටත් තිබුන.. ඌත් දැන් ඇනෙක්ස් එකක ඉන්නෙ. උගේ වෑන් එක ගෙදර තියෙන්නෙ. මොකද ඇනෙක්ස් එකට පාකින් නෑ..කොළඹ ඉතින් ඇනෙක්ස් එකක් පාකින් එක්ක ගන්න අමාරුයි නෙව. උගේ වෑන් එක ගෙදර. ඌ බස් එකේ වැඩට යනවා.. ලීසිං එක ගෙවනවා!

    ReplyDelete
  3. ඒක කියෙවුවහම දෙපැත්තෙන්ම හිනා යනව...

    ReplyDelete
  4. බු හා හා. ඕක තමයි කියන්නෙ දෙමව්පියන්ගේ හිත් රිදෙව්වම ඒක පල දෙනවා කියලා. දැක්කනේ.. දිට්ඨ ධම්මවේදනීය කර්ම. :-p
    කතන්දර අයියණ්ඩි, මම ඔයාගෙ කතා හැමදාම කියවනවා. සංයමයකින් යුතුව රස කතා ලියන හැටි හරි ශෝක්.

    ReplyDelete
  5. අද ප/ලි කොටස බොහොම වටිනවා අයියේ

    ReplyDelete
  6. වැදගත් ලිපියක්....උපදේශයට ස්තූතියි.ගෙදර එක්ක තරහා නොවී සිටීමට මමත් තීරණය කලෙමි.
    හැබෑටම මටත් තේරුම් ගන්න බැරිවුනා මේ කතාවට හිනාවෙනවාද නැතිනම් අඬනවාද කියන එක.කමක් නෑ...මුකුත් ඕනි නෑ.එතකොට වැඩේ ෂේප්.....

    ReplyDelete
  7. මොනවා උනත් ගංගානාත් හොඳ
    එකෙක්.

    ReplyDelete
  8. මෙහෙම කියන කොට තරහ වෙන්නෙ අකොහොමද..හෙ

    ReplyDelete
  9. අපි නම් හොඳ ළමයි...
    ජීවිතේට ගෙදර එක්ක තරහා වෙන්නේ නැහැ...
    මොකද කඩේ කෑම වල රහ බලන්ඩ අකමැති හින්දා...
    කොහොමද ටිකිරි මොලේ....
    හික්.. හික්...

    ReplyDelete
  10. අනේ මන්දා... කවුරු හරිද කියන්න මට තේරෙන්නේ නෑ. අකමැති වෙන්න හේතුවක් තියෙන්න ඕනෙනේ.
    නමුත් ඉතින් ඔච්චර අල කරගන්න එක නම් අවුල්...

    ReplyDelete
  11. අද පසුව ලියමි කොටස අප වැන්නවුන්ට මතුයම් දිනයක දී ප්‍රයෝජන වීමට ඉඩ ඈති නිසා ඒ කොටස කතන්දරෙත් එක්කම සොයා ගැනීමට පහසු වනසේ බුක්මාක් කොර ගතිමි.

    ReplyDelete
  12. මට නම් පේන්නේ පොරගෙ තාත්තා ගේ යටි කූට්‍ටු ගේමක් වගේ,

    ReplyDelete
  13. දෙමවුපියන්ගේ ආදරෙත් unconditional නැහැ කියන එක තමයි ඕකෙන් තේරෙන්නේ. ඒ සම්බන්දතාවයත් give and take ජාතියේ එකක්.

    ReplyDelete
  14. මධ්‍යස්ථයි. උත්තරයක් හිතාගන්න බැහැ

    ReplyDelete
  15. පවු අසරණයා.... මටත් වෙන්නේ ඕකම තමා කවද හරී....

    ReplyDelete
  16. හපෝයි මෙහෙමත් වෙනවාද?
    කාලෙකින් මේ පැත්තේ ආවේ...
    ඒක නෙමෙයි පියතුමා හෙම කොහොමද කතන්දර සූරින්ගේ?

    ReplyDelete
  17. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියල තියෙනවා...

    මතුපිටින් බැලුවහම නම් හිනා යන කතාවක්!
    ඒත්....
    කොච්චර ලොකු රස්සාවක් කලත් දහස් ගණන් වලින් ණය වාරිකයකුයි... ආයේ ගෙවල් කුලියකුයි ගෙවන එක මොන තරම් අමාරු දෙයක් ද කියල දන්නෙ ඒ තත්වයෙම ඉන්න කෙනෙක් විතරයි...
    ඔක්කොටම වඩා ශෝචනීය දේ තමන් හදාගත්ත ගෙදර තමන්ට ඉන්ඩ නොහැකි වීම...

    ගංඟානාත් හොඳ එකෙක් බව පැහැදිලියි... එහෙම නැත්නම් වෙන එකෙක් කරන්නෙ ඒ ගෙදරින් දෙමව්පියන්ව එළවල දාලා තමන් ඒ ගෙදරට යන එක... කොල්ල කැඳත් රැවුලත් බේරගන්න ගිහින් ලොකු කරදරයකයි වැටිල තියෙන්නෙ...

    දෙමව්පියොත් මීට වඩා සංවේදීව දරුවන්ගෙ ප්‍රශ්න දිහා බලනවනම් කොච්චර හොඳද ?

    ReplyDelete
  18. කතන්දර...
    දරුවන්ට ගෙදර එක්ක තරහ නොවී ඉන්න කියන පාඩම අසාධාරණයි. තමුන්ගෙම දරුවා උනත් අනෙක් එකාට උගන්නන්ඩ කලින් තමුන් ඉගෙන ගන්න එක වටිනවා නේද? මට නං මිස්ට සූරියවසම් කෙනෙක් නොවී ඉන්ඩ පුළුවන්කම සේරටම වඩා වටිනවා.

    ReplyDelete
  19. ඔව් මේක දුක්බර කතාවක්. ගංගානාත් ට පොඩ්ඩක් දුෂ්කරක්‍රියා කරන්න වුණා තමයි. වලියෙන් ඝෙදර ඉන්න බෑනේ බැඳපු ගෑනිත් එක්ක.

    මං හිතන්නේ පස්සේ වලි ෂේප් වෙලා කෂ්ටිය සමගි සමාදාන වුනා.

    කොහොමටත් සීයා කෙනෙක් වුණාම සූරියවසම් මහත්තයලා ටිකක් කරුණාවන්ත වෙනවනේ.

    මේකේ අනිත් පැත්තේ (විලෝමය) කතන්දරත් එමටයි. ලියන්නං එකක් පසු කාලෙක.

    සියළු දෙනාටම ස්තුතියි.

    අර අගෝසිතු 22 ඉරිදා කතන්දරයක් දාන්නේ නෑ. අගෝස්තු මාසයේ දවසක් ඇර දවසක් කතන්දර පලකළා. ලබන සතියේ සිට සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර බලාපොරොත්තුවන්න.

    සති අන්තයේ බෝල බෝල මැටි වැඩ තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක වෙනමම බ්ලොග් එකකින් කියනත් පොඩි අතහසක් ආවා, මොකද කියන්නේ?

    සඳුදා (23) උදේ 8ඃ00 ට හමුවෙමු.

    ReplyDelete
  20. මරු කතාව.... ගෙදර එක්ක තරහ වෙන්නෙ ඇයි...?

    ReplyDelete
  21. කතන්දර අයියාගේ යෝජනාව බොහොම හොඳයි,, අපිට ඉගෙන ගන්න දේවල් එමට ඇති,,, අලුත් බ්ලොග් එක එනතුරු මග බලන් සිටිමු !!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.