Monday 2 August 2010

කඳුළු කතන්දර - මිසිස් දාබරේ


මිසිස් දාබරේ මං මුලින් ම දකින කාලෙ එයා අවුරුදු හැටක විතර මැදි වියේ කාන්තාවක්.

අපේ ඥාති යුවලක් කුලියට පදිංචි වී සිටි ඇනෙක්සියේ හිමිකාරිය වූයේ මිසිස් දාබරේ. ඉතිං මං ඉඳල හිටල එහේ ගිය වෙලාවලට දාබරේ නෝනව දකිනව. සිංහලට වඩා ඉංගිරිසිය හුරු, කතෝලික ආගම අදහන හොඳ කරුණාවන්ත මනුස්සයෙක්. මං ඒ ලෙවල්ස් ගොඩ දැම්ම බව අහල මට විෂ් කරල කාඩ් එකකුත් එව්ව.

ඇනක්සියෙ මහ ගෙදර මිසිස් දාබරේ හිටියෙ තනියම වගේ. ඇත්තටම ගෙදර හිටියෙ එයා ඇරුණහම හිටියෙ අවුරුදු පහලොවක විතර පොඩි කොල්ලෙක් විතරයි. සකලබුජං කේස් එකක්. ඒ කියන්නෙ බාල වයස්කාරයෙක්. ඒ කාලෙ ඒ පිළිබඳ නීති එච්චර තද නෑ. කවුරුත් ගනං ගන්නෙත් නෑ.

මිසිස් දාබරේ ගෙ එකම පුතා ඇමරිකාවෙයි කියල අපේ ඥාතියා කිව්ව. මිස්ට දාබරේ කෙනෙක් හිටියෙ නෑ. ඇත්තටම කියනවා නම් මිසිස් දාබරේ වැන්දඹුවක්. මිස්ට දාබරේ මැරිල ඒ වෙනකොට අවුරුදු ගාණක් වෙලා.

මිසිස් දාබරේ වැන්දඹුවක් වුනු, ඒ කියන්නෙ මිස්ට දාබරේ අවසන් ගමන් ගිය එක මං අහල තියෙන නරකම කතාවක්. සෑහෙන්න දුක හිතෙන, ඒ වගේම මුළු ලෝකය ගැනම කලකිරීමක් ඇතිවෙන කතාවක්.

මිසිස් දාබරේ ගෙන අපේ ඥාති යුවල දැන ගෙන, ඒ ගොල්ලොලන්ගෙන් මං දැනගත් විදියට කතාව මේකයි.

දාබරේ ජෝඩුවයි, පුතයි, තවත් පවුල් කීපයක් එක්ක කට්ටියක් එක්ක කොළඹ ඉඳලා ත්‍රිකුණාමලය පැත්තේ විනෝද සංචාරක් ගියා. මේ අතරේ තමයි යාපනේ පොලිටිකල් ප්‍රශ්ණයක් නිසා ලංකාවේ අනිත් පලාත්වල දෙමල කලබල පටන්ගත්තේ. ඉතිං ඔන්න සේරම අකුලගෙන ආපහු කොළඹ එන්න පටන් ගත්තා.

මේ කියන කාලේ ඔය පැත්තේ පාරවල් වගේම වාහන වුනත් අද වගේ හොඳ නෑනේ.

ඉතිං, අවාසනාවට වගේ දාබරේලාගේ කාර් එක කැඩුණා. ඕක වෙලා තියෙන්නේ පදවිය හරියේ. රටේ තත්වයක් හොඳ නැති නිසා, කට්ටියම කතාවුණා කරන්න තියෙන හොඳම වැඩේ තමයි කාන්තා පක්‍ෂයයි, ළමයින්වයි හොඳ වාහනවල කොළඹට එවලා, මිස්ට දාබරේයි තව දෙන්නෙකුයි විතර නතරවෙලා වාහනේ හදාගෙන පස්සේ ගෙදර එන එක කියලා.

මිසිස් දාබරෙයි, අතදරු පොඩි පුතයි ගෙදර ආවා. දවසක් ගියා. දෙකක් ගියා. මිස්ට දාබරේවත්, එයා එක්ක වාහනේ හදාගන්න නතරවුණු සිවලිංගම් කියන යාළුවවත්, ෆර්නෑන්ඩු කියන යාළුවවත් කවුරුවත්ම ආපහු ආවේ නෑ.

මං හිතන විදියට(*) වෙන්න ඇත්තෙ මෙන්න මෙහෙමයි.

ඔන්න කාරෙක අටවගෙන යාළුවො තුන්දෙනා කොළඹ පැත්තට ඩ්‍රයිව් කරං එනව.

හදිස්සියෙම පාර මැදට පැන්න පොළු මුගුරු ගත්තු දාමරික රංචුවක් කාරෙක නවත්තනව.

"අඩෝ! මේකෙ ඉන්නවද පර දෙමළු හෙම?" එක දාමරිකයෙක් දොර ඇරල අහනව.

"නෝ, නෝ, වී ආ ඕල් සිංහලීස්!" මිස්ට දාබරේ උත්තර දෙනව.

සිවලිංගම් කට අරින්නෙ නෑ.

මිස්ට දාබරේටත් සිංහල හොඳට බෑ. ඉංගිරිසියෙනුයි කතා කරන්නෙ.

"අඩෝ, තෝ පර දෙමලෙක් නේද? තෝ අපි ට බොරු කරන්න හදනව නේද?"

"නෑ, නෑ, මං සිංහලීස්!"

"එහෙනං කියපිය බලන්න බුදුන් වදින ගාථාව!"

මිස්ට දාබරේ කතෝලික බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. ෆර්නෑන්ඩුත් එහෙමයි. අනික මේ දෙන්නම මහ කළු සිංහලයෝ. අර "කිං වලගම්බා" වගේ.

ඔය අව් අස්සෙ සිවලිංගම් දෙමල බව හොඳටම වැටහෙන්න ඇති.

"මෙන්න දෙමළු තුන්දෙනෙක් පැනල යනෝ.. ..!!!"

ඉතිං, මිස්ට දාබරේවත්, සිවලිංගම්වත්, ෆර්නෑන්ඩුවත් කවුරුවත්ම ආපහු ආවේ නෑ.

දාල පිච්චිලා ගිය කාර් එකක සැකිල්ල විතරක් පදවිය හරියෙ තිබිල හම්බවෙලා තියෙනව.

සමහර විට විශ්වාස කරන්න අමාරුයි වගේ නේද? මේක ඇත්ත කතාවක්. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අද ඊයෙ නෙමෙයි, 1958 ජාතිවාදී කලබල කාලෙයි.

අර සුනිල් ආරියරත්න උන්නැහේ හදපු, ගාමිණී ෆොන්සේකා නඩරාජා ට රඟපාපු "සරුංගලේ" කියන මූවි එකට පාදක වෙලා තිබුණෙ ඒ 1958 කෝලාහල කාලෙයි.

-කතන්දරකාරයා

(*)
ඔය කවුරුවත් නොදන්න දෙබස ලියන්න මං කරුණු හොයා ගත්තෙ වෙනත් මූලාශ්‍රවලින්.

කවුරු හරි කියවල තියෙනවද පී.එම්. ජයතිලක වගේ නමක් තියෙන කෙනෙක් ඔය 58 කළබල කාලය පාදක කරගෙන ලියපු නවකතා පොත?

29 comments:

  1. හපෙ අප්පෙ.. 58 දිත් එහෙම උනාද.. මම අදමයි ඇහුවෙ.. :(

    ReplyDelete
  2. හපෝ එපා වෙනවා... උදේන්ම අවුල් වහේ :(

    ReplyDelete
  3. මදෑ කොලා.. අද දවසම දුකින් තමයි...

    සරුංගලේ නම් මම බලල තියනව. පොත ගැන නම් මතකයක් නැහැ..

    ReplyDelete
  4. ෴ ගිනිදැල් ෴ ද පොත....

    ReplyDelete
  5. සරුංගලය නම් බලා ඇත.....දුක හිතෙනවා.....ඒත්...:(

    ReplyDelete
  6. ඇයි කතන්දර අර ටෙලි නාට්‍ය ... මොකක්ද අප්පා නම මකත නැහැ සින්දුව නම් මතකයි...

    සුවඳයි මල් සුවඳසේ
    මිහිරියි මී පැණි වගේ
    ජීවත් වෙන්න ආසයි
    සැමදාම හිමිදිරිය සේ

    ඒ ටෙලියත් යුද්ධයේ අතුරු කතාවක්. එහි අවසානයත් මගේ හිත නම් සසල කරා....සබීතා පෙරේරා ලූෂන් බුලත්සිංහල සහ කමල් අද්දරආරච්චි රගපෑව... ටෙටෙ නාට්‍යයේ නම නම් මතක නැහැ...

    යුද්ධය නැති එක නම් කොච්චර දෙයක්ද ? ඒත් මේ වගේ කතා තව බොහෝ කාලයක් සිත් වල රැදේවි...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ආදර කතාව කියන ෆිල්ම් එකද? ඒකෙ තිබුනා "සුනිල් වලා කුලින් පාවෙලා... " කියලා ලස්සන සින්දුවක්.
      කොහොම වුනත් එද 58 78 සහ 83 න් ඒ පරම්පාර්වේ සහ ඊට බාල පරම්පරාව ඉවත් වුනත්, ඊටත් පස්සෙ ආපු වුන් ( යකෝ 58 ත් එහෙම වුනාද කියලා අහන අය ) ගෙ පරම්පරාවට් ජාතිවාදී ටොපිය ලේසියෙන් කවත හැකි. ඒක කරන්නේ අර පියවර තුනකින් ජිරාෆ් කෙනෙක් ෆ්‍රිජ් එකක් ඇට්තුලට දාන සිස්ටම් එකටමයි.
      මුලින් කියනවා බුද්දාගමේ අය ව බලෙන් ආගම් වලට හරවනවා කියලා
      ඊට පස්සෙ කියනවා බුද්දාගම රකින්න ඕන කියලා
      ඊට ප්ස්සෙ කියනවා ඒක රකින්න ඉන්නෙ සින්හලයා විතරයි කියලා
      ඊට පස්සෙ කියනවා සින්හලයාට ඕන විදියට අනිත් අය ඉන්න ඕන කියලා
      දැන් අර ආගමට හරවන කට්ටිය ඇර දෙමල, හින්දු, කිතුනු, ඉස්ලාම්, මැලේ බර්ගර් ඔක්කොමලා විරුද්ද කුලකයට දානවා.
      ඊට පස්සේ ඉතින් ඔය බුදු රුවක් තියන තුවායක් වගේ භUතික අයිටම් කීපයක් හරහා කොර වෙන්න වැඩේ දෙනවා. ඊට පස්සෙ ගිනි තියාගන්න සෙල්ලම්, ඒවාට සාදු කියන අයට ඊලඟට දකින්න ලැබෙයි බෝම්බ බැඳගන නෝ ලිමිට් එකට යන අය.
      එතකොට වැඩේ කම්ප්ලීට් !

      Delete
  7. වත්..

    ටෙලිය- ඇසල කලුවර
    අධ්‍යක්ශණය- ජැක්සන් ඇන්තනි
    සංගීතය - කේමදාස මාස්ටර්

    ඔහොම තමා මතක

    ගයන්නේ - සමන්ත පෙරේරා - ඉන්දිකා උපමාලි (හෝ ඉන්ද්‍රචාපා බුලත්සිංහල)

    ඒක මරු සින්දුව..:)

    ReplyDelete
  8. 85 නේද?

    ReplyDelete
  9. තවත් සංවේදී සත්‍ය කතාවක්...මේවගේ දේවල් කොච්චරවෙලා ඇතිද?
    දැන්නම් මේවගේ දේවල් ඇත්තෙම නැති තරම්.
    ඒ හන්දම අපේ උදවියට මේවා මතක් කරල,මේවා වල තියෙන දුක තේරුම් කරලදෙනඑක හොදයි,ආයේ මේවගේ දේවල් සිදුනොවෙන්න.මෙකද අපිට දවස් හතෙන් සේරම අමතක වෙනවනේ....

    ReplyDelete
  10. "උඹ සිංහලනම් කියපන් බුදුන් වදින ගාථාව...." කතන්දර මේ දුක හිතෙන කතාව ලිව්වේ අපිට අඬ අඬ හිනාවෙන්ටද හිනාවෙවී අඬන්ටද?
    ඔය 83 කලබල දවස්වල හොඳට සිංහල කතා කරත් දෙමළෙක් කියල සැක හිතුනොත් කියන්නවලු "බාල්දිය" කියපන් කියල... කොච්චර හොඳට සිංහල කතා කරත් දෙමළ මිනිස්සුන්ට ඕක කියවෙන්නේ "පාල්දිය" කියලයි... අනේ ඕක කියපු ගමන් මිනිහව මරනවලු... කොච්චර දුරට ඇත්තද දන්නේ නෑ ඔය කතාව...
    මම කතන්දර පිටුව බලන්ටු දා ඉඳලම කමෙන්ට් දානවා... අද නම නොදා ඉන්ට කියල හිතුනා...

    ReplyDelete
  11. Hmmm atta thama duka hithena kathawak. oya de karapu ayath kathawa dana gaththa nam duk wevi.Api deyak karathdi prashne anith manussayage patten balanne nathi eke waradda thama owata hethuwa. matath mathaka widihata GINIDAL thama potha.

    Samawenna one mage singlish walata thama mata converter eka install karaganna bari una. mama blog kiyawanna gatte langadi. oya hamogema blogs asawen kiyawanawa .......

    NIsh

    ReplyDelete
  12. කෝ උදේ පාන්දර මම දාපු කොමෙන්ටුව

    ReplyDelete
  13. @ වැම්පයර්
    ස්තූතියි වැම් ...

    @ priyantha.ඒබී
    ඒක තමයි මම බැලුව කෝ කියල...

    ReplyDelete
  14. අද කමෙන්ට් දැමීමේ ප්‍රශ්ණයක් තියෙන බව පෙනේ. මං 1958 කළබල ගැණ ලින්ක් එකක් දාන්න හැදුවා උදේ වරුවේ. බැරිවුනා.

    මෙන්න ඒක.
    http://en.wikipedia.org/wiki/1958_riots_in_Ceylon

    ReplyDelete
  15. ඛේදජනකයි. කාට කාටත් හොඳ සිහිය පිහිටුවාගන්න උදව් වෙන කතන්දරයක්, අද වගේ කාලෙක.

    ReplyDelete
  16. සියළු දෙනාටම ස්තුතියි.

    මෙතනදි ඇතිවන දුකේ කොටස් දෙක තුනක් තියෙනව වගේ නේද?

    මිසිස් දාබරේයි, පොඩි පුතයි ගැණ දුක. දැන් මේ පුතා අවුරුදු 55ක විතර පොරක් විය යුතුයි.

    මිනිස්සු තුන් දෙනෙක් මැරුණ එක ගැණ දුක.

    අනික සිංහල මිනිහෙක් මැරුණ එක ගැන දුක, ඒක ටිකක් අනිත් දුක් වලට වැඩිය ලොකුයි වගේද?

    අනේ මන්දා?

    ReplyDelete
  17. අර තුන්වෙනි දුකෙත් කෑලි ගොඩක් තියෙනවා. මේක මිත්‍රප්‍රහාරයක් එකක් නිසා වෙනම දුකක්. සතුරු ප්‍රහාරයක් උනානම්.... අනේ මන්දා.

    ReplyDelete
  18. මං ඔය දුකේ කොටස් ගැන ලියුවේ මේකයි.

    මේ කතාව වෙන තැනක කියද්දි අපේ කෙනෙක් කියනව මෙන්න මෙහෙම.

    "අනේ බලන්න කෝ අර දෙමල මනුස්සයෙකුත් නැග්ගනේ ඒ වාහනේටම. අපරාදේ!"

    ReplyDelete
  19. කතන්දර මුලටම ශ්‍රී දාපුවම 58 සිද්ධියක් වග දැනුනා. බාල්දිය/වාල්දිය ටෙස්ට් එක සෑම දෙමල/සිංහල, මුස්ලිම්/සිංහල කෝලහාලයක දීම පාවිච්චි කල එකක්ය අසා තියෙන්නෙ. අසූතුන 58 දුන්නු බේත නැවත කල්යල් බලා පත අට එකට සිඳවා පෙවීමක්.

    අසූ තුනේ සිද්ධිය දවස් වල ලංකාවට ගිහින් ආපු උසස් අධ්‍යාපනය හැදෑරූ එකෙක් පුරසාරමක් කිව්වා මතකයි. බොරැල්ල හන්දියේ දි දෙමළ මිනිහෙකුට පිහියෙන් ඇනලා මරපු සිංහල වීරයෙකුට අතට අත දුන්නා කියලා. මේකා පහු කලක හෙළ උරුමයේ මුල්ම නායක කට්ටලයට අයත් වූ සමාජ විද්‍යා සරසවි ඇදුරෙක් ගේ පුතෙක්...!

    ReplyDelete
  20. ඔය කාලේ කතා ගොඩාක් මම අහලා තියෙනවා.

    දෙමළ පොරක් සිංහල අයගෙන් බේරිලා යන්න හිතාගෙන හාමුදුරු කෙනෙක් වගේ සිවුරක් ඇඳගෙන යද්දී සිංහල කට්ටියකට අහුවුණා.

    සිංහල කට්ටියත් හාමුදුරු කෙනෙක් නිසා වැදලා කාරියේ ඇහුවාලු අවසර හාමුදුරුවනේ බැහැරක වඩිනවා වගේ කියලා. දෙමළ පොරත් ඔළුව වනලා ෂේප් වෙන්නේ නැතිව එක චූන් වෙලා කිව්වාලු.

    ඔව් මහත්තයෝ අද වණක් [බණ] හෙට දානේ කියලා. ඒකෙන් මේ දෙමළ කෙනෙක් කියලා දැනගෙන සබ්බුව හම්බුණාලු

    ReplyDelete
  21. @ Hasitha
    මම ඕක අහල තියෙන්නේ ඇයි ප(බ)ලන්නේ ෂැකද? කියල ඇහුවා කියල. තව ඔය වගේ කතා ගොඩක් තියනවා. කොහොම උනත් ඔය වගේ සමහරු අහිංසක ක්‍රම වලින් ඒ කාලේ බේරෙන්න හදල තියනවා ඇත්තටමත්

    ReplyDelete
  22. දෙමල ස්ංහල හැමොම ජිවත් වෙන්න කව්මති... එහම වෙන්නත් ඔන...
    මම නම් හිතන්නෙ දෙමල දෙශපාලුවො විසින් සාමාන්‍ය මිනිස්සුන්ට දිපු දෙයක් කියල....
    මිනිස්සුන්ගෙ හිත් වල විසබිජ දාන්නෙ දෙශපාලුවො.... අන්තිමට උං නායකයො වෙනව...
    පව් අනෙ අහිංසක පොඩි මිනිස්සු...
    සිංහල දෙමල 2ක ම 1යි..........
    අර 50 ට 50 ගැන හරියට දන්න කෙනක් ඉනවනම් කියන්න කොවිස්තර....
    එත් යුද්දය තාවකලිකව වහන් ඉන්නවට වැඩිය ඉවරයක් වෙන 1ක හොදයි මටනම් හිතෙන්නෙ.... ඔය කලෙම යුද්දයක් කරල ඉවරවෙලතිබ්බනම් කි දෙනෙක්ව බේරෙනවද?
    මෙව කතාකරන අපි හරි අහින්සකයි නෙද?
    අපි පව් නෙද?

    ReplyDelete
  23. ඉන්දික සහෝගෙ කතාවත් ඇත්ත.
    අපේ සමහර අය මහ ලොකුවට සිංහල බෞද්ධයෝ කියල ලේබල් ගහගත්තට කරන්නේ මහ තිරිසන් අමන වැඩ. 58ත් එහෙමයි. දැනුත් එහෙමයි.

    ReplyDelete
  24. මීට උඩින් comments 23 ක් තිබෙනවා. එව්වා බලපුවම නම් ....., අනේ අපොය් i ...., මේ රටේ ඉන්නේ කොයි තරම් සාදාරන ,අහින්සක, මානුෂික ,නීති ගරුක , යුක්ති ගරුක කතන්දර කාරයෝද ? කතන්දර අහන අයද ? කියා හිතෙනවා. හැබැය්... එහෙව් රටේ වෙන දේවල් දැක්කම නම් .......
    ..............මේක කුහකකමද?
    "අනේ අපි නෑ ඕවට... අපට් කතන්දර අහා අහා ඉමු... ඔය ඔහොම දුක හිතෙන ඒවත් ඉද හිට කියන්න. ඔයාගෙත් සංවේදීකම එලියට එනවා . එතකොට අපේ සාදරනකමත් එලි දක්වන්න පුළුවන්...... කියන අදහසද ?

    ReplyDelete
  25. dekapu hodama comment eka 'prince'ge weldone

    ReplyDelete
  26. ශ්‍රී හල්තාල් කිව්වෙ මේ කලබලේටද?

    ReplyDelete
  27. 56 ජාතිවාදය අවුස්සලා ඡන්දය දිනූ බණ්ඩාරනායක වැපිරූ වී අස්වැන්න තමා 58 කෝලාහලය.ටාසි විට්ටච්චි මේ ගැන ලියූ පොඩි ළිහිණි පොතක් තිබ්බා නම මතක නෑ.

    83 මොරටුව කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ කොල්ලෙක් හිටියා වේඅලායුදන් කියලා. පවුලේ එකම කොල්ලා. දරුවෙක් ලැබෙන්න කියලා කතරගම දෙවියන්ට බාර වුනාට පස්සෙ ඉපදුනු එකා හින්දා තමා ඌ ට වේලායුදන් කියලා නම දාලා තියෙන්නේ, අනිත් හැමෝම වගේ මොරටුවේ කැම්පස් එකේ කොල්ලන්ව රිෆියුජි කෑම්ප් වලට එක්ක යන්න කොල්ලො ත් බලධාරීන්ත් ක්‍රියා කලා.

    සතියකට පස්සෙ ඊලඟ සිකුරාදා, වෙලායුදන් පොඩ්ඩක් එලියට ගිහින් එන්න කියලා කෑම්ප් එකෙන් ගියා, ඒ අතර තමයි කොලඹට කොටි ආවා කියන කතාව පැතිරුනේ. වෙලායුදන් ට මොනවා වුනාද කවුරුත් දන්නේ නෑ. එච්චරයි. කවුද කිව්වා දුවනවා දැක්කා කියලා, ඒත් ෂුවර් නෑ.

    සර්පයා තාම ස්මහර්න්ගේ හිතේ නැතුවා නෙවෙයි, අනිත් අතට මේවා නොදන්න එවුන්ගේ හිතේ නයි බිත්තර තියනවා, ඒවා පුපුරන්න බැරි කමකුත් නෑ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.