Wednesday 29 December 2010

කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!


බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටේ දුවේ උඹට නැත කාරිය

ඔය විරිදු පදේ අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු විරිදු පෙලක කොටසක්.

දැං ඔය සාරි කිව්වාම ජාති දෙකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් සාරිය කියන්නේ ඉන්දියානු සාරියටයි. ඒ කියන්නේ අර අනාදිමත් කාලෙක ජයා බහදූරිලා, හේම මාලිනී ලා වගේ අය හින්දි චිත්‍රපටිවල ඇඳපු සාරියයි. දැන් ඉන්න හින්දි නිලියෝ නං අඳින්නේ අමුතුම සාරි ජාතියක්. තාමත් සෝනියා ගාන්ධි ලා අඳින්නේ ඒ පරණ සාරියම තමයි.

සිංහල සාරියට කියන්නේ ඔසරිය කියලයි. අර මාල හතක් දාන්නේ ඒ ඔසරිය අඳින කොටයි.

අපේ ආච්චී, අම්ම ගේ අම්මා ඇන්දේ ඔසරිය. එයාගේ ගම හොරණ පැත්තේ. හැබැයි අපේ අම්මා අපි ලොකු කාලේ වෙනකම්ම ඇන්දේ ඉන්දියානු සාරියයි.

කොළඹ පැත්තේ ඉපදුණු අනිත් ආච්චී, තාත්තා ගේ අම්මා, ඇන්දේ ඉන්දියානු සාරිය. එයා ගේ දූවරු, අපේ නැන්දලා, ඇන්දෙත් ඒ ඇඳුම ම යි.

කතන්දර හාමිනේ නං සාරි අඳින්නෙම නෑ හා සමානයි. අපේ වෙඩිම දවසෙයි, හෝම් කමින් එක දවසෙයි ඇන්දට පස්සේ ආයෙ සාරියක් ඇන්දේ මාස හයකට විතර පස්සේ යාළුවෙකු ගේ මගුල් ගෙදරක යන්නයි.

මං හා හා පුරා කියල එයාට තෑග්ගකට අරං දුන්නු සාරිය නං එයා කවදාවත් ඇන්දෙ නෑ!

මේ අපි බඳින්න ඉස්සර කාලේ. ඒ සාරිය ටික දවසකින්ම මාත් අඳුනන ඇන්ටි කෙනෙකුට තෑගි දුන්නා මං කඩෙන් ගන්න කොට දාල දුන්නු බ්‍රව්න් පේපර් බෑග් එකේ තියෙද්දීම.

මල් පොඩි වැඩියි කියන්නෙ!

අනේ පව් කතන්දරකාරයා නේද?

එතකොට ඒ ඇන්ටිට ඒ මල් පොඩි වැඩි නැද්ද, අනේ මන්දා?

මගේ ඒ දවස්වල මාසෙක පඩියෙන් පහෙන් එකක් ම (20%) දීල සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුවයි ඒ තෑග්ග ගත්තෙ.

ඒ පාඩුව ගැන හිතේ ඇතිවුණු දුකයි, තෑග්ග රිජෙක්ට් වීම ගැන දුකයි දෙකම වසං කරගෙන, තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නේ දෝ කියල මං ඔන්න ඔහේ හිත හදා ගත්ත.

-කතන්දරකාරයා

ප/ලි
මං ලියන්න ගියේ මේ කතන්දරේ නෙමෙයි, වෙන එකක්. ලියන්න ගියේ සුදු සාරි ඇඳීම ගැනයි. ලියවුනේ කහ සාරිය ගැනයි.
සුදු සාරි කතාව ඊලඟට බලාපොරොත්තු වන්න.

ඒක සුදු කොඩි කතන්දරේට වඩා ඒක වෙනස් එකක්.

56 comments:

  1. ඕව ඔහොම තමා කකා.. එක්කො මල් පොඩි වැඩියි, නැත්තං මල් ලොකු වැඩියි, ඒත් නැත්තං බෝඩරේ තද වැඩියි, ඒ මොකුත් නැත්තං බෝඩරේ පැටර්න් එක අල්ලන්නෙ නෑ.. හිකිස්.. :)

    ReplyDelete
  2. ඉතින් හාමිනේට ලොකු මල් තියෙන සාරියක් අරන්දෙන්න තිබුණනෙ ඊට පස්සෙ වත්,,, මල් විතරක් නෙවෙයි වගේ පාටත් හරි නැතුව ඇති- කහ පාට

    ReplyDelete
  3. ඔය තෑගි කාරිය දීලා ගැහැණ් උදවියව සතුටු කරන එක හරි අමාරු කාරියක් කියනවා නොවැ. ඒ උදවියට මොකක් අරන් දුන්නත් පොඩි හරි ඇදයක් තියනවාලු. හැබැයි එයාලා ගිහින් තෝර ගන්න ඒවායේ කිසිම වැරැද්දක් නෑ කියලයිලු එයාලා කියන්නේ.
    ('ලු' කියලා තියෙන්නේ ඇයි කියලා දන්නවානේ)

    ReplyDelete
  4. සාරි ගැන නම් මොනවත් දන්නේ නෑ. ඒ නිසා කිසිවක් නොකියා ඉන්නම්....

    ReplyDelete
  5. මම හිතන්නේ මම ටියුබ් ලයිට්. :(

    දවසේ ප්‍රශ්නය.
    කොල්ලන්ට තේරෙන්නෙ නැති කතාව එකල කොල්ලෙක් වූ කසූට තේරුනේ කොහොමද? (නොතේරුනානම් කසූ මේක දාන්නෙ නෑනේ, හොඳ කොල්ලා.. තව ටික දවසකින් කතන්දර සීයා :p මම ඇහුවේ ඒකාලේත් තේරිලා වගේ කියල දැනුන නිසා)

    -කාංචන

    ReplyDelete
  6. හැබෑට මල් පොඩි වැඩි වුනාම හැලෙනවද ඇඳගෙන යද්දී....?

    ReplyDelete
  7. කහසාරිය ගැන දැන් කතන්දර ලියනව වැඩී කියල මට හිතෙනවා...

    හිහි මාත් ලගදිම කහසාරියක් වෙයි....

    ආහ්... මම නම් ඕන සාරියකට කැමති...ලොකු මල්, පොඩි මල්, තනි පාට, විචිත්‍ර ... හැබැයි ඉතින් අත්යන්ත්‍ර සාරි තමයි හොඳම හා ලස්සනම . කතන්දරගේ කහසාරියගේ ප්‍රතිවිරුද්ධ කෙනෙක් තමයි මම. සාරි ගොඩයි.

    ReplyDelete
  8. නෑ නෑ! සාරියේ මොස්තරෙයි පාටයි හිතට අල්ලන්නේ නැතුව ඇති. අපේ ගෙදරින් නම් මට ඇඳුම් අරන් දෙන ඒක නවත්තල ගොඩාක් කල්. එක්කරගෙන ගිහින් අරන් දෙනවා මිසක්. :D

    ReplyDelete
  9. සුදු සාරි ගැන කීවේ.... අර සුදු සාරි අඳින සුප්‍රසිද්ධ කාන්තාව ගැන එහෙම නෙමෙයි නේද? පිරිමි අයව වශි කරන ... අර අර කාන්තාව...

    ReplyDelete
  10. මම නම් දන්නේ ඔසරිය ගැන විතරයි. හැබැයි මේ කියන්නේ මොකක්ද කියලා මට නම් තේරුනේම නෑ.

    ReplyDelete
  11. කතන්දර මේ දවස් ටිකේම කහ සාරි ගැන ලියනවා වැඩී..

    ReplyDelete
  12. @Buratheno

    අනේද කියන්නේ!

    ReplyDelete
  13. @හරි-පිණිපලස
    කහ සාරිය=සහකාරිය

    ReplyDelete
  14. @පූසා
    ලූ, ලූ කිව්වට මේ පූස් පැටියත් දන්න දේවල්!

    ReplyDelete
  15. @ප්‍රියන්ත
    අන්න, ඔහේට මොලේ තියෙන බව පේනවා.

    ReplyDelete
  16. @කාංචන දිනූක
    අනේ පුතේ - එදත් තේරුනේ නෑ, අදත් තේරෙන්නේ නෑ.
    දැන් නං ඉතිං සාරි අරං දීමක් නැති නිසා - තේරෙන්න අවශ්‍යත් නෑ.

    ReplyDelete
  17. @කැන්ඩි
    මං කිව්වේ කොල්ලන්ට තේරෙන්නේ නෑ කියලා!

    ReplyDelete
  18. @වත්
    ඔහේ නං ඉතිං, හැඟ මාසෙකම පඩි දාට සාරියක් ගන්නව ඇතිනේ?
    කතන්දර හාමිනේ වැඩට සාරි අඳින්නේ නැති නිසා, සාරිවලින් අහවල් පලක් යැ?
    වත් නෝනා හොඳ කහ සාරියක් වේවා යයි පතමි!

    ReplyDelete
  19. @ජනනි
    ජනනි ට ඔය තේරිලා තියෙන්නේ. අනේ අපි කොහොමද ඕවා දන්නේ?
    ඔබටත් හොඳ සාරි ලැබේවා!

    ReplyDelete
  20. @පොඩි කුමාරිහාමි
    ඔය කුමාරිහාමිලා ඉතිං ඔහොරිය නේන්නං අඳින්නේ, අපි නොදන්නවැයි?
    හැබෑටම ඉතිං ඉඳලා හිටලාවත් සාරියක් අඳින්නව හිතෙන්නේ නැද්ද අවසර?

    ReplyDelete
  21. @sameerausa
    Good observation, mate! ඔය තේරිලා තියෙන්නේ.

    ReplyDelete
  22. කොහොමින් කොහොම හරි අන්තිමෙට ලියලා තියෙන්නේ සහකාරිය ගෑනයි

    ReplyDelete
  23. @ඉලංදාරියා
    සහකාරිය ගැණ නැතුව කා ගැන ලියන්නද කොල්ලෝ?

    ReplyDelete
  24. සාරිය අඳිනවා කීවම දැන්නම් පේන්නේ ඔය පිංතුරයේ තියෙන සාරිය නැමැති රෙද්ද ඇදීමක් විතරයි. මමත් හාමිනේට ඉස්ඉස්සරල අරංදුන්න සාරියනම් බොහොම අගේ කලා. දැන් ඒවගැන කතාකොරල වැඩක් නැහැ. එක අතකින් කතන්දර හාමිනේ මුලින්ම ඇත්ත කීවඑක ගැන සතුටුවෙන්නයි කකාට තියෙන්නේ.

    ReplyDelete
  25. මගේ බිරින්දැ අඳිනව ඔසරිය බලන්න ආසයි. හරිම නීට් එකට.......
    සාරි වල රඟේ බලන්න යන්න සාරියක් ගන්න ඉන්දියන් සාරි කඩේකට.
    බුදු අම්මෝ තියෙන category ගොඩ.....
    සාරියක් ගන්න ඕන කිව්වහම අහන පුරස්න කන්දරාව.....

    ReplyDelete
  26. අපේ ගම හාමිනේගේ නම් විනෝදාංශය තමයි සාරි එකතු කිරීම. සාරි අඳින්නෙ නම් හරිම කලාතුරකින්. එහෙම අඳින්න ඕනෙ උනහම ගිහිල්ල අලුතෙන් සාරියක් අරෙගෙන අඳිනවා මිසක් අර කලින් ගත්තු සාරි දිහා ඇහැක් අරලවත් බලන්නෙ නැහැ...!

    ReplyDelete
  27. වෙඩිමකට මිසක් ආසාවකට වෙන ගමනක් යන්න සාරි අඳින්නෙ නැති හන්ද අපෙ හාමිනේ නං රත්තරං :)

    ReplyDelete
  28. කතන්දර සීයත් දන්න දේවල්. සීයා කිව්වා කියලා තරහා වෙයිද මන්දා.......

    ReplyDelete
  29. මේ ආතේ... දැන් ඔයිට වැඩිය හොද එකකුත් අපේ අය අදිනවා නේද?

    අර වල් සාරි..

    ReplyDelete
  30. මට පේන්නේ වත් ට ත් සාරියක් ඕන වෙලා වගේ. කතන්දරට තිබ්බෙ ඒක වත් ට දෙන්න. ඒක නෙමෙයි කතන්දර ඔයාට කහ සාරිය දුන්න එකක් වෙන කෙනකුට දුන්නා නම් මොනවා වෙවිද?

    ReplyDelete
  31. @serendipity
    ඒක ඇත්ත.
    හැබැයි, මං බැන්දට පස්සෙත් හාමිනේ ට සාරි දෙක තුනක්ම අරං දුන්නා.
    ඊට පස්සෙ, නෝ ජෝක්ස්.

    ReplyDelete
  32. @Heeniyata
    ඉන්දියාවේ සාරි ගන්න එක වෙනම කතන්දර ගොඩක්!
    ඒත් ඉන්දියාවේ කොහෙන්ද බොලේ ඔහොරි?

    ReplyDelete
  33. @දුමී
    ඔය සාරි කියන ජාතිය හෝදන්නෙත් නෑ නේද? අඩු වශයෙන් ඩෙනිම් කලිසං තරම් වත්?

    ReplyDelete
  34. @nawamamwatha
    සාරි නිතරම අඳින්නේ නැති අයට ඕක පටලෝගන්න මාර වෙලාවක් යන්නේ!

    ReplyDelete
  35. @chanaka
    සීය වෙන්න කල් තියෙනව පුතෝ. තාම ළමයි පොඩි උන්.

    ReplyDelete
  36. @Amila
    හ්හා, නියම කතාව.
    ඇත්තටම ලංකාවේ හුඟක් තරුණ ගෑණු නිකං අම්රිට්සාර් වලින් ගොඩ බැස්ස වගෙයි නේද?

    ReplyDelete
  37. @Dinesh_Silva

    මේක තමයි the comment of the day!
    තෑන්ක්ස්.

    ReplyDelete
  38. කොහොමත් අනිත් ඇඳුම් වලට එච්චරම හැඩ නැති ගෑනු උදවියත් සාරි ඇන්ඳම ලස්සනට පේනවලු නෙ. හැබැයි අනිත් දවසෙ එක්කගෙනම ගිහින් ‍තෝර ගන්න කිවුව නම් නරකද (දැනටමත් ඒක වෙන්න ඇති කරන්නෙ)

    ReplyDelete
  39. @R4NG4
    අපොයි ඔව්, ඒක ඉගෙන ගෙන ගොඩක් කල්.
    මේ ලඟදීත් දෙහිවල පල්ලු එකට ගිහින් මං පැය ගානක් කාර් එකේ පොත් බැලුවා. සාරි තෝරන්න විතරයැ, ඇයි බ්ලවුස් මහන්න දෙන්න, ෆිට් ඕන් කරන්න, ගන්න යන්න...

    ReplyDelete
  40. කතන්දර වගේ මාත් ඇන ගත්තේ පර්ෆියුම් දීලා. අවංකව ම හොඳ නැති බව කිව්ව එකට මං තවමත් ස්තුති වන්ත වෙනවා, මොකද නැත්නම් තවමත් නානවනෙ. එදායින් පස්සේ මං කඩේ ගෙදර ගේන්නේ නැතිව එයාව එක්ක යනවා කඩේට. සර්ප්‍රයිස් හැටියට කරන්නේ එයාගේ හිතේ තියෙන ආසාම කඩ වලට එක්ක යන එක මිසක් තෑගි වලින් සර්ප්‍රයිස් කරන එක නොවේ.

    හැබැයි රිස්කි වැඩක්. ඒත් අපේ නෝනා නම් මං ගැන හිතලා මුළු කඩේම ගෙදර ගේන්නේ නෑ.

    සාරි අඳින එක ලේසි නැති නිසාත් දේශීය කමට දක්වන ලැදියාව නිසාත් අපේ නෝනා ගවුම් වගේ අඳින්න පුළුවන් ක්‍රමයක් හොයා ගත්තා. ඉන්ස්ටන්ට්. යන්නේ විනාඩි පහයි.

    ReplyDelete
  41. හිකිස්.. මමනං ඕකට ප්‍රතිකර්මයක් හොයාගත්තා.. අපේ (වෙන්‍ට) හාමිනේට තෑග්ගක් දෙන්න ඕනවුනාම මම කරන්නෙ ජුවලරි මොනා හරි අරන් දීලා ශේප් වෙන එක.. කවදාවත් ඒවයෙ වැරැද්දක් කියලා නෑ.. සල්ලි ටිකක් වැඩිපුර වියදං වෙනවනං තමයි.. ඒ වගෙද මගෙ කාලය ඉතිරිවීම සහ හිත නොරිදීම.. සාරි සහ පර්ෆියුම් වලට වඩා ලේසියි, හරිම සිම්පල් ප්ලෑන් එකක්..

    ReplyDelete
  42. @සුජීව
    මං නං කරන්නේ හාමිනේට credit card එකෙන් bills ගෙවන්න කියා, මාසේ අග අපේ ජොයින්ට් එකවුන්ට් එකෙන් බිල ඝෙවන එකයි.

    ReplyDelete
  43. @බුරාතෙනෝ,
    මෙන්න බොලේ සල්ලි කාරයෙක්!
    අපිටත් ඇහැකි, හැබැයි ඉතිං, Stone adn String තමයි!

    ReplyDelete
  44. කතන්දර හාමිනේ නම් මාර වාසනාවන්තයි නිතර සාරි අඳින්න වෙන්නේ නැති නිසා
    අර තෑග්ග රිජෙක්ට් වුනු එක නම් ටිකක් පව් වැඩේ ....

    ReplyDelete
  45. @ZIGzag
    පව් නේන්නං, ඇඬෙන වැඩක් නේ ඒක!

    ReplyDelete
  46. @All
    Many thanks guys.
    මේ කතන්දරේ බලල ප්‍රතිචාර දක්වපු අට ගොඩ දෙනෙකුට නොහිතුන දෙයක් තමයි, මාසේ පඩියෙන් 20%ක් කියන්නේ කොච්චාර ලොකු ගාණක් ද කියන එක.

    සුදු සාරියේ ශෝකය හෙට උදේ 6.00 ට බලන්න!

    ReplyDelete
  47. හිකිස්.. සල්ලි තියෙනවටම නෙවෙයි කකා.. මාසෙ පඩියෙං බරගානක් ඒකට යටවෙනව තමා.. ඒ වගෙද පවුලෙ සාමය ආරක්ෂාවෙන එකයි මගෙ කාලය ඉතිරිවෙන එකයි.. it's worth spending that much money. afterall, it's not everyday :)

    ReplyDelete
  48. දෙයියනේ කියල සාතන්ට ඔය කරදර මුකුත් නෑ.... තියෙන ප්‍රස්න මදිවටද තව ප්‍රස්න දාගන්නෙ... අයෙ පිස්සුවක් ඇතෑ....

    ReplyDelete
  49. [[මේ කතන්දරේ බලල ප්‍රතිචාර දක්වපු අට ගොඩ දෙනෙකුට නොහිතුන දෙයක් තමයි, මාසේ පඩියෙන් 20%ක් කියන්නේ කොච්චාර ලොකු ගාණක් ද කියන එක.]]

    අවුරුදු පහළොවකට විතර ඉස්සර සිවිල් ඉන්ජිනේරුවෙකුගේ වැටුප සළකා, ඔය සාරිය රුපියල් 2000ක් [+/-1000] විතර වන්නට ඇතැයි සිතා ගත්තා

    ReplyDelete
  50. @Sujeewa Kokawala
    කාලය, දේශය, කුලය, වැරදි ගොඩයි.

    ඒත් ගාන නෙමේ වැදගත් දේ ප්‍රතිශතයයි.

    මෙහෙම හිතන්න, අද ඔබේ පඩිය කීයද? එයින් 20% ක් කීයද?

    දැන් මේ මුදලින් ඔබ සාරියක් තෑගි දෙන්න ගත්තා යැයි හිතන්න.

    ReplyDelete
  51. @කතන්දර;

    ඔබේ සිත් වේදනාව අපට ද දැනේ.

    [කියන විදිහට] මගේ "සැර" කම [ගෙදර විතරයි - ඒකත් එයා කිව්වට පට්ට බොරු] නිසාත් ඇගේ අනුකම්පාව නිසාත් මා නම් ඔය වගේදේවල් අපේ නෝනාට කොහොම හරි අන්දනවා. මේ ළඟදී එයා වෙඩින් related සාරි ඔක්කොම මිනිත්තු පහෙන් අඳින විදිහට සකස් කළෙත් මේ නිසාමයි.

    ReplyDelete
  52. කතන්දරෙයි comments ටිකයි සෝක්.

    ReplyDelete
  53. අපේ හාමිනෙත් සාරි ගන්න ගියාම මුලු කඩේම බිමට හලලා හිතට හරි නෑ කියලා එන්න හදනකොට ඩමියට දාලා තියෙන එක දැක්කම ඒ සාරිය ගලෝගෙන එන ජාතියේ හික්ස්

    ReplyDelete
  54. සාරිය.. හරියට ඇන්ඳම ඇඟේ හැඩය ලස්සනට පේන.. ඔයා හංගන්න ඕන තැන් හංඟලා ... පෙන්නන්න ඕන තැන් අපූරුවට පෙන්නන.. අඩි 51/2 කට වැඩි රෙද්දක්...
    ඕන්න ‍තෝරන එකනම් ලස්සනටම කරන්න පුලුවන් පිරිමින්ටම තමා.. පොඩ්ඩක් කම්මැලි නැතුව පැය 1/2ක් විතර සාරි කඩේක ගෙවන එක විතරයි කරන්න ඕන..
    හැබැයි කොළඹ වගේ පලාතක, සාරි අඳින එක හූඳයි ඔය office එකක වගේ වාඩිවෙලා වැඩ කරනවානම්.. නැත්නම් දාඩිය දාගෙන..එහෙට මෙහෙට දුවන jobs කරන අයට ඉතින් jeans එකක් විතර හොඳ ඇඳුමක් තවත් නෑ...

    ReplyDelete
  55. මමනම් ඔය විරිදු පෙල අහලා තියෙන්නෙ මුල් පදේ බාරිය නෙමේ ආරිය කියලා.

    ReplyDelete
  56. Gift Card ekak dunnanam hari ne!!!!!!!!!!!!!!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.