Sunday 28 February 2010

තේ එකක් බොමුද මචං?


අඳුණන ගෙදරකට ගිහිං කතාබස් කරකර හිටියට තේ එකක් වත් හම්බ වුනේ නැත්තං, කරන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් ගැන සඳහන් කරල මං ලිව්ව කතන්දරේ මතකනේ?

ඕක කියවපු දිනේෂ් සිල්වා කිව්ව පොර දන්නව කියල එක දවසක් තේ හම්බ වුනේ නැති වුනහම පහුවදා ප්ලාස් එකක තේ අරං ගිහිං ගෙදර අයට දුන්න කෙනෙක් ගැන!

දුකා ලියල තිබුණ පොර නං කරන්නේ මේ ගෙදර සීනි තේකොල හෙම ඉවර වෙලා වගේ නේද කියල අහන එකයි කියල.

අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ, ලංකාවෙ අපි කවුරුත් තේ බොන්න හරි කැමතියි. ගෙදරට ආපු කෙනෙකුට තේ එකක් හදල දෙන එක, මගදි හම්බ වෙච්ච යාළුවෙකුට කඩේකින් තේ එකක් අරං දෙන එක හොඳ ආගන්තුක සත්කාරයක්. මිත්‍රත්වයේ සංකේතයක්!
අද මං කියන්න යන කතන්දරයත් ඒ වගේ එකක්.

මේක සිද්ද වුනේ තුම්මුල්ල හන්දිය හරියෙ තිප්පොලකදියි. අපේ බ්ලොග්කාරයො වෙන චමිල, ශාකුන්තල ඇතුළු අය දැන් කරක් ගහන පැත්තනෙ ඕක. ටැබූ විෂයය බාර ගුරුතුමාත් හරිම කැමතියි තුම්මුල්ලෙ තිප්පොල ගැන කතන්දරවලට.

මං පොඩි අධ්‍යාපන වැඩකට සෙට් වෙලා හිටිය කාලෙ මුණ ගැහිල යාළුවුනු පොරක් හිටිය. ඔන්න අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක් මට පොර හම්බවුණා ඔය තුම්මුල්ල හරියෙදි ම මිනිහගෙ ඔෆිස් එකට කිට්ටුව. ඔය කොම්පීටර් බිල්ඩිම හරියෙදි. ඉතිං ටිකක් වෙලා ආගිය තොරතුරු කතා කර ඉඳල මං ඇහැව්ව මොනව හරි බොමු නේද කියල. පස්සෙ මං පොරටයි මටයි ගත්ත එතන තිබුනු ස්පොට් එකකින් හයිලන්ඩ් කිරි පැකට් දෙකක්. (එතන තේ තිබුනෙ නෑ මයෙ හිතේ).

තවත් ටික කාලෙකට පස්සෙ මට පොරව ආයෙත් හම්බ වුනා, ඒ පාරෙන් එහා පැත්තෙ තියෙන සෙනේට් බිල්ඩින් එක හරියෙදි. මං ඒක පිටිපස්සෙ තියෙන බිල්ඩිමේ පොඩි අර්ථශාස්ත්‍ර වැඩකටයි ගිහිනුයි හිටියෙ. පොරව මං එදා එක්කරගෙන ගිහින් එතන කැන්ටිමෙන් වඩේ යි තේයි අරං දුන්න. ඒකත් ආගන්තුකයාගෙන් පදිංචිකාරයාට සංග්‍රහයක්.

හැබැයි ඔය දෙපාරම මට පොරව හමුවුනේ පොර ගේ සේවා ස්ථානය හරියෙදි වුනාට එළිමහන් තැන් වලයි.

අවුරුදු දෙකක් විතර ගෙවිල ගියා. ඔන්න මට සිද්ධවුනා එක දවසක් තුම්මුල්ලෙ තිප්පොලේ පැය දෙක තුනක් කල් මරන්න. ඒ හවස් වරුවෙ මං ගියා පොර ගෙ ඔෆීස් එකටම.

වෙලාවත් තිබුන හින්ද පැයක් විතර කල් මර මර ආගිය තොරතුරු කතා කර කර හිටිය. හැබැයි පොර නෙමේ කටක් ඇරල මට තේ එකක් බොන්න යන්න කතා කලේ.

මාත් එදා වෙනකොට හිතං හිටියෙ ආයෙ නං, ආගන්තුකයාගෙන්, පදිංචිකරුවාට සංග්‍රහ කරන්නේ නෑ කියලයි.

ඉතිං පස්සෙ, අපි දෙන්නම පහල බැස්ස. පොරට බායි කියල යන ගමං මං ලඟ තිබුණු අර ලොකු කැන්ටිමෙන් තේ එකක් බීල මං යන ගමන ගියා.

කතන්දරකාරයා

11 comments:

  1. හොඳ වැඩේ..ඕකුන්ට ඔහොම නෙවෙයි කරන්න ඕනෑ... ඌට යන්න ඇරලා පෙන්නම කිරි එකක් අරන් බිව්වනම් තමා නියම... වැඩේ කියන්නේ ඕකුන් වාගේ එවුන් තමා "ආගන්තුක සත්කාරය...", "අපේ කම..." වගේ ඒවා ගැන ප්‍රසිද්ධ දේශන පවත්වන්නෙත්... අර සුනිල් එඩිරිසිංහ ගේ සිංදුවක් තියෙන්නේ "ගුරුළු වෙස් දරා, ඉදිබු ගමනේ යන්නා... " කියලා.. අන්න ඒ බජාර් එකේ කට්ටිය....

    ReplyDelete
  2. තුම්මුල්ල (තුන්+මුල්ල) ගැන කතා එමටයි. මෙන්න කියන්න පුළුවන් ඒවා කීපයක්.

    1. "මේ මැයි ගහ යට දවසක් දා - වැස්සට අපි උන්නා" කියන මිල්ටන් මල්ලව ආරච්චිගේ ජනප්‍රිය ගීතයට පාදක වන මැයි ගස් ඇත්තේ තුම්මුල්ලේ.

    2. තුම්මුල්ලේ දැනට ඇති ද්විත්ව වටරවුම (Double Roundabout) වෙනුවට කාලයකට ඉහත තිබුණේ තනි වටරවුමක්ලු. (මාත් දැකලා නැහැ. අහලා තියෙනවා පමණයි.) මේ දිනවල එතැන හැමදාම වාහන තදබදේලු. අද වගේ නෙවෙයි හැට ගණන් වල වාහන තදබදයක් කියන්නේ කලාතුරෙකින් සිදුවන දෙයක්. ඊට විසඳුමක් හැටියට තමයි දේශීය ඉංජිනේරුවන් විසින් මේ ද්විත්ව වටරවුම (Double Roundabout) යෝජනා කොට තියෙන්නේ. ඒ වෙනකොට එහෙම දෙයක් ලෝකේ කොතැනකවත් තිබුණේ නැතිලු. මේ නිසා ඊට විරුද්ධව විශාල හඬක් ඇතිවුනාලු. මේ විරෝධය යටපත් කරගෙන තමයි තුම්මුල්ලේ ද්විත්ව වටරවුම හදලා තියෙන්නේ. නමුත් හදපු දා ඉඳන් කලින් තිබුණු තදබදය නැතිවුනාලු.

    3. එක් යුගයක තුම්මුල්ල සංකේතවත් කළ දෙයක් තමා එහි වූ බුදුපිළිමය. අද වගේ හන්දියක් හන්දියක් ගානේ බුදුපිළිම නැති කාලේ මේ ප්‍රසිද්ධ බුදු පිළිමයක්. කරුණාතිලක හඳුවල ඒ ගැන කවියකුත් ලියා තිබෙනවා මතකයි. නමුත් මේ බුදු පිළිමය අද නෑ. දැන් ඒ වෙනුවට ඇත්තේ ඊට කුඩා බුදුපිළිමයක්. පරණ චිත්‍රපටවල (මට මතක හැටියට හාරලක්ෂේ) අර පරණ පිළිමය දකින්න පිළිවන්.

    4. අන්තිමට මේ මට රැග් සීසන් එකේ මුහුණ දෙන්න වෙච්චි දෙයක්.

    ජ්‍යෙෂ්ඨ උත්තමයා: ඒයි කියපන් බලන්න තුම්මුල්ල තියෙන්නෙ කොහෙද කියලා?

    මම (බයෙන් බයෙන්): බම්බලපිටියට පොඩ්ඩක් මෙහායින්නේ...

    ජ්‍යෙෂ්ඨ උත්තමයා: @#$%^&*, තෝ දන්න @#$%^&*. තුම්මුල්ල තියෙන්නෙ @#$%^&*! තොපි මොනවද ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තෙ?

    (ලියන්නෙ නෑ. හිතාගන්න පුළුවන්නෙ.)

    ReplyDelete
  3. අනේ කතන්දරට වෙලා තියෙන දේ පව් අනේ.

    ReplyDelete
  4. කතන්දරට කරල තියෙන වැඩේ නම් කැතයි.

    ReplyDelete
  5. හ්ම්.......කතන්දරට ප්‍රතිචාර නොදැක්වූවාට ඔයාගේ හැම කතාවම මං කියෙව්වා....කතන්දරට තේ කතානම් බොහෝමයි නේද? .........

    ReplyDelete
  6. oya wage welawata issara kiyana kawiyak thiyenawa menna mehema,

    Kopamana adu padu thibunath ape gedara
    me wage welawata bonawa thee wathura
    ehema deyak nethuwado me gedara
    denawda bonna weeduruwak el wathura

    ReplyDelete
  7. කතන්දරට තේ කතා ගොඩයි නේද?...comment නොදැම්මත් ඔයාගේ හැම ලිපියක්ම කියවනවා.....

    ReplyDelete
  8. @ තිස්ස දොඩන්ගොඩ
    උගේ වරද නෙමේ මගේ නොලැබීම. හැමෝම සීවලි හාමුදුරුවරු නෙමේනේ.

    @ටැබූ
    තුම්මුල්ලේ කතාව දැකලා මේක මතක් වුනා. දැකල තියෙනවද Australia සිතියම. රටේ දකුණේ යටින් තියෙන තැස්මේනියා දූපත ගැන මොකද හිතෙන්නේ?

    @සන්ධ්‍යා
    බිව්වත් අනේ යම ලෝකේ ගිනි වතුර
    බොන්නට එපා දුදනන්ගෙන් තේ වතුර

    @ All
    කොමෙන්ට්ස් වලට ස්තුති වේවා!

    ReplyDelete
  9. ඔන්න ඔන්න, කතන්දරකාරයාට අපිව අමතක වෙලා නෙව! අපිත් කැරකැවෙන්නෙ තුන්මුල්ලෙම තමා! ;)

    ‍මේ හරිය මරු ප්ලේස් එක. ටිකක් වාහන තදබදය අඩු නිස්කලංක නිවාඩු දවසක් වගේ‍ නං. මේ තුන්මුල්ල හරියෙත්, ඒ අවටත් එහෙ මෙහෙ කැරකැවෙනකොට පුදුම නිදහසක් දැනෙනව. :)

    ReplyDelete
  10. අනේ මට මේ පෝස්ට් එක මඟ ඇරිල...

    ඇත්ත ඇත්ත ....සමහරු ඔහොම තමයි.. ඒත් සමහර විට එයාගේ අතේ සල්ලි නැති වෙන්න ඇති නේද? අපිත් එහෙම අසරණ වෙන අවස්ථා නැත්තෙම නැහැ නේ...

    ReplyDelete
  11. මම ඒ යාලුවා කියලා හිතා ගනිංකෝ, උඹ එනවට ඌ කැමති නැත්නම් ඌ කරන්නේ ඒක තමා....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.