Saturday 28 November 2009

[කතන්දර] - යුග දිවියක් "ගායනා කිරීම"....?


අරුම පුදුම මාතෘකාවක් නේද? යුග දිවියක් කොහොමද ගායනා කරන්නේ?

ඒක ම තමයි ප්‍රශ්ණය. ඒක ම තමයි අද කතන්දරයත්.

අර මගේ ඉන්දියන් උපාධිකාර යාළුවා මතකයි නේද? නෑ, නෑ, ගෙදරින් උපන් දින සුභපැතුම් කාඩ් එකක් ලැබුණු ඉන්දියන් කාරයා නෙමේ. අර අරක්කු ඕනා කෝක් වානා කතාවෙ ප්‍රධාන චරිතය. මතකයිනේ? අන්න මෑන්ස් තමයි අද කතන්දරේ ප්‍රධාන චරිතයත්. එදා කියන්න අමතක වුනා - පොරගෙ නම දුමින්ද. දුමින්ද සිරිවීර.

ඔන්න අපේ පොඩි පාටියක් තිබුණා. කිහිප දෙනෙක් වෙන්වී රට යෑම නිමිත්තෙන්. අපේ පොරත් එක් කෙනෙක්.

එදා හවස කට්ටියම පාටියට සෙට් වුනා. දුමින්ද ආවෙ තමන්ගෙ ප්‍රියම්භිකාවත් එක්කයි. පොර බැඳල ඒ වෙන කොට අවුරුද්දක් විතර ඇති මයෙ හිතේ.

දුමින්ද මියුසික් වලට කැමති කෙනෙක්. කී බෝඩ් එක ගහන්න පුළුවන් ඉතා හොඳට. ගායනයටත් හැකියාවටත් වඩා යන උනන්දුවක් තියෙනව.

ඉතිං ඔන්න, බීමෙන්, කෑමෙන් පස්සෙ සින්දු කියන වෙලාවත් ආව. දෙතුන් දෙනෙක් ඉස්සරහට ගිහින් මයික් එකත් අරගෙන සින්දු කිව්ව. මට හොදට මතකයි සුදාකරන් කියන අපේ යාපනෙන් ආපු හිතවතා කිව්ව "අකුරු මැකී නෑ" කියන සින්දුව නිකං ඇට්ටි හැලෙන්න. කොහොමටත් පරණ හෝඩි පොතේ වාක්‍ය ඒ විදියටම තියෙන හින්ද ද කොහෙද අකුරක් වත් වැරුද්දුවෙ නැහැ.

ඔන්න දුමින්ද ගෙ ටර්න් එක ආව. පොර ලස්සනට කිව්ව මා බාල කාලේ කියන සින්දුව.

ඒක ඉවර වුනාට පස්සෙ හැමෝම සුපුරුදු පරිදි වන් මෝ, වන් මෝ කියල කෑ ගහන්න ගත්ත. කොහොමටත් විස්කි පදමට ඇවිල්ල ඒ වෙලාව වෙනකොට බීපු උන්ගෙ.

ඔන්න අපේ එකෙක් කියපි එහෙනං දුමින්ද සුරංගි එක්ක යුග ගීතයක් ම කියන්න කියල. සුරංගි කියන්නෙ දුමියගෙ වයිෆරේ.

ඒක ඇහුණු මෙන්න බොලේ දුමින්ද කාරය මයික් එකෙන් මහ හයියෙං කිව්ව, "ආ! යුග ගීතයක් කියන්න අවුරුදු බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනැ නෙ. අපි බැඳල තාම අවුරුද්දක් වත් ගියේ නෑ. දැන්ම ම මොන යුග ගීත ද?" කියල.

අපි බැරිවුනා විනාඩි ගාණක් යනකං දුමින්ද කිව්ව හරුපෙ තේරුම් ගන්න.

ඔන්න තේරුණාට පස්සෙ මල පනින්න හිනා හැමෝටම.

කතාව මෙහෙමයි. දුමින්ද කොහොමටත් කඩු කාරයා. පොර ඉගෙන ගෙන තිබුණෙත් ඉන්දියාවෙනෙ? ඉතිං මෑන් දන්නෙ නෑ "යුග ගීතයක්" කියන එකේ තේරුම. ඒ හින්ද පොරට අපේ ඉල්ලීම ඇහිල තේරුම් අරං තියෙන්නෙ යුග ගීතයක් කියල නෙමේ, "යුග දිවියක්" කියලයි.

ඒ මදිවට පොර යුග දිවිය කියන යෙදුමේ සැබෑ තේරුමත් හරියට දැනගෙන ඉඳල නෑ. සමහර විට දෙමව්පියන් ගෙ අවුරුදු විසිපහේ යුග දිවි සංවත්සරය ගැන මතක් වෙන්න ඇති. ඒකයි පොර අර කිව්වෙ යුග දිවියක් වෙන්න බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනෑනෙ කියල.

ඔන්න ඔහොමයි දුමින්ද යුග දිවියක් ගායනා කළේ!!!

දැන් අවුරුදු කිහිපයක් ගිහිල්ලත් අපිට තමවත් හිනා ඔය කතාව මතක්වෙන කොට.

කතන්දර කාරයා
දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

[ SBU කට්ටියගේ හමුවීම : 2009, දෙසැම්බර් මස, 19වැනි සෙනසුරාදා, උදේ 11am සිට සවස 3වන තුරු. Excel World හිදී.]

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

3 comments:

  1. මම පුංචි කාලේ හිතන් හිටියේ යුග ගීත ගායනා කරන්නේ නෝනයි මහත්තයයි (කසාද බැදපු) විතරයි කියලා.. පස්සෙයි ඕවා හරියට තේරුනේ.

    ReplyDelete
  2. මම පුංචි කාලේ හරියට තිබ්බා පොඩි පොඩි සිංදු පොත්... ඒවා තනි වර්ණයකින් මුද්‍රිත ඒවා...ලස්සනක් නැහැ හරිම ගොරහැඩියි...ඒ කාලේ හැටියට ඒවා ඉස්තරම් වෙන්නැති ඒ වැඩිහිටි අයට...

    මට අකුරු කියවන්න පුළුවන් වුන අලුතම මට මේ වගේ සිංදුපොත් මහ ගොඩක් ගෙදර රාක්කෙක තිබිලා අහුවුනා..ඒවා තාත්තාගේ...

    ඔය සමහර සිංදු වල ගැ පි ගැ පි කියල ලියල තිබ්බේ ඇයි කියල මට පුදුම ප්‍රශ්නයක් ඇතිවුනා හොඳට මතකයි‍...මම කීප දෙනෙක්ගෙන්ම ඇහුවත් එක්කල ඒත් කවුරුවත් මට හරි උත්තරයක් දුන්නද කියල මතකයක් නම් නැහැ.

    ReplyDelete
  3. නැහැ නැහැ මට තේරුන විදිහට නම් යුග ගීතය කියලා ඒ ඔබගේ මිතුරා අරන් තියෙන්නේ වෙන අරුතක් වෙන්න ඇති. යුග කියන වදනට තේරුම් දෙකක් තියෙනවානේ.

    යුග = DUAL

    යුග = ERA

    ඉතිං යුගයක් ගෙවෙන්න ඕනේ යුග ගීතයක් ගයන්න නම්..........

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.