Friday 24 May 2013

මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore!


අද වෙසක් පෝ දින වෙනුවෙන් මා මින් වසර තුනකට පමණ පෙර ලියන ලද ලිපියක සංස්කරණය කරන ලද කොටසක් පල කෙරේ.
බසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
උදෙන් සිල් ගනිමු හවසට බියර් බොමු
කටෙන් දිවෙන් නොම ගෑවෙන බොරු කියමු!


කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලය සැලකෙන්නේ බෞද්ධ පාසලක් හැටියට ය.

මෙයට හේතුව නම් ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට යටත්ව තිබූ සමයේ ඔවුන් ගේ අනුදැනුම ද ඇතිව මිෂනාරිවරුන් පවත්වාගෙන යමින් තිබූ කතෝලික හා කි‍්‍රස්තියානි ආගමික විද්‍යාලයන් ට විකල්පයක් ලෙස ආනන්ද, මහින්ද, ධර්මරාජ, මියුසියස් යනාදී පාසල් සමූහය බෞද්ධ පවුල්වල සිසුන් ට ආගමික පසුබිම ද සහිතව හොඳ ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා තිබූ හෙයිනි.

ලංකාවේ ප‍්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ ආගම එක් විෂයයක් ලෙස සැලකේ. මා මුලින් උගත් උගත් කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයේ සහ ගලහිටියාව මැදි විදුහලේ මේ සඳහා තිබුණේ එක් තේරීමක්, එනම් බුද්ධාගම, පමණකි.

නිසැකවම, ආගම විෂයය යනු, චිත‍්‍ර, නැටුම් සහ සංගීතය ලෙස විකල්ප තුනක් තිබූ සෞන්දර්ය විෂයය හෝ කෘෂිකර්මය, වඩුවැඩ, ලෝහ වැඩ, මැටි වැඩ, පේෂකර්මය යනාදී විකල්ප රාශියක් තිබූ ප‍්‍රාග් වෘත්තීය විෂයය වැන්නක් සේ නොසැලකුනු බව පැහැදිලිය.

එසේ විකල්ප තිබුණේ වුවද, පරම්පරානුගත බුද්ධාගම්කාරයින් වූ අප තෝරාගන්නේ බුද්ධාගම බවට කිසිදු සැකයක් නැත.

එසේ වුවද, තුන්වන ශ්‍රේණියේ දී අප ආගම විෂයයක් ලෙස පාසැලේ දී ඉගෙනීම ඇරඹු සමයේ මගේ පන්තියේ සිටි එකම කතෝලික සිසුවා නම්, අන් විකල්ප විෂයයන් තිබුණා නම්, එවැනි විකල්පයක් තෝරා ගැනීමට ඉඩ තිබුණි. විකල්ප නොතිබුණු කල ඔහු ට ද සිදුවුණේ බහුතරය හා එක්ව බුද්ධාගම ඉගෙන ගැනීමයි.

අපේ නිවෙස් වලට නුදුරින් ම කතෝලික පාසලක් තිබුණේ බස් රථ දෙකකින් යා යුතු වූ බොල්ලතේ බව ද කිව යුතුය. මගේ පියා සේවය කළේ මේ පාසලේ ය. ඔහු පාන්දර 5:45 ට නිවසින් පිටත් වෙයි.

හොඳින් කල්පනා කර බලන කළ මා මිතුරු කතෝලික සිසුවාට විකල්ප කිහිපයක් ම තිබුණි.

එනම්,

1. එක්කෝ හැතැප්ම දෙකේ නීතියෙන් බුරුලක් ගත හැකිනම් බොල්ලතේ කතෝලික පාසලට ඇතුළත් වීම
හෝ නැත්නම්
2. සිය පවුල ද සමග බොල්ලතේ පදිංචියට යෑම
හෝ නැත්නම්
3. ගමේ පාසලේ බුද්ධාගම ඉගෙන ගැනීමය!

කෙසේ වුවද ඔහු ගමේ පාසලේ ම රැඳෙමින් බුද්ධාගම උගත්තේය. විභාග ද සමත් විය. උදෑසන පන්සිල් ගනිද්දී ද සවස ”යෝවද තම්පව” කියද්දී ද නිහඬව සිටියහ. එපමණකි.

සෑම රජයේ පාසලකම මෙන්ම ආනන්දයේ ද උදෑසන පන්සිල් ගැනීම සිරිතයි. පස්මහල් උසස් පෙළ විද්‍යා ගොඩනැගිල්ල අසල මේ වතාවත වතාවත පැවැත්වුණේ ගුරුවර භික්‍ෂුවක ගේ මූලිකත්වයෙනි. එය ශබ්ද විකාශන පද්ධතිය මගින් මුළු පාසල පුරාම විසුරුවා හරින ලදී. පන්ති කාමර වලින් පිටත රැුස්වෙන සිසුවෝ පන්සිල් ගත්හ. සිංහලෙන් සහ ඉංගිරිසියෙන් පාසල් ප‍්‍රවෘත්ති වලට ද, සතියකට වරක් පමණ පැවැත්වුණු අනෙකුත් අනුශාසනා වලට ද සවන් දුන්හ.

මා එකොළොස් වන ශ්‍රේණියේ උගන්නා කාලයේ දිනක් එවැනි අනුශාසනාවක් කළ හාමුදුරුනමක් අප දිනපතාම පන්සිල් ගත යුත්තේ ඇයි දැයි පහදා දෙමින් කථා කළහ.

නමුත් අවාසනාවකට මෙන් මේ දේශනය අවසානයේ මට හොඳින් පැහැදිලි වූයේ දිනපතාම පන්සිල් ගැනීම නිෂ්ඵල කි‍්‍රයාවක් බවයි. එතෙක් පාසල් දිනවල පන්සිල් ගත් මම එතැන් සිට පන්සිල් නොගත්තෙමි.

මේ තීරණය ගැනීමට මූලික හේතුව වූ මගේ සිත තුළ ඉපිද සිත ජයගත් තර්කය වූයේ පන්සිල් යනු තමන් විසින් තමන්ටම දෙන පෞද්ගලික පොරොන්දුවක් නිසාත්, එහි නාමික අගයක් මිස අන් වැදගත්කමක් නැති නිසාත්, පන්සිල් ගැනීමෙන් හෝ පන්සිල් පිළිපැදීමෙන් හෙවත් පව් නොකර සිටීමෙන් අමුතුවෙන් ලැබෙන පිනක් නොමැති නිසාත් යන විවිධ කරුණු නිසා පන්සිල් ගැනීම අනවශ්‍ය කි‍්‍රයාවක් ය යන්නයි.

අවශ්‍ය වනුයේ පව් නොකර සිටීමයි. එයිනුත් ඉදිරියට ගොස් හැකි පමණ පුණ්‍ය කර්ම සිදුකිරීමයි. පන්සිල් නොගෙන සිටීමෙන් නොවෙන පවක්, අප පන්සිල් සමාදන් වී පසුව ඒ සිල් බිඳීමෙන් වෙතොත් එය පුදුමයක් නොවේ.

අනිත් අතර බිඳෙන බව දැන දැනම කුමට ඒ සිල් සමාදන් වන්නේද? හවස රහමෙර බොන්නෙකු උදයේ කුමකට නම් "සුරාමේරය මජ්ඣපමා" කියන්නේ ද?

එදා පටන් මම අනෙකුත් ළමුන් අත් ඔසවා බැඳගෙන පන්සිල් පද කියද්දී, අත් පහළම තබා පහසුවෙන් සිටිමින් මුනිවත රැක්කෙමි. නොදන්නා අයෙකු වූවා නම් මා අබෞද්ධ යයි සිතනු නොඅනුමාන ය.

එදා මා ඇරඹූ පිළිවෙත තවමත් අනුගමනය කරමි. එනම්, මා බොරු පොරොන්දු දෙන්නෙක් නොවී කල් යවමි.

එදා අවසාන දිනයට පන්සිල් ගත් දින සිට කැඩුණු සිල් පද කැඩී ඇත. රැකුණු සිල් පද රැකී ඇත.

-කතන්දරකාරයා

ප/ලි:
ඉරිදා ට බලාපොරොත්තු වෙන්න. මගේ පන්සිල් පිළිවෙතට අපේ සීයා වලියක් ඇද්ද හැටි ගැන කතන්දරය.









32 comments:

  1. ඔබ කියා ඇති දෙය මමද අනුමත කරමි.

    ReplyDelete
  2. SADHU, SADHU, SADHU.

    ReplyDelete
  3. ගිහියෙකුට පංච ශීලය කොපමණ වෙලා ආරක්ෂා කර ගත හැකිදැයි යන්න ප්‍රශ්නයක් වුවත්, එය කැඩෙන තුරු වත් පංච ශීලයේ පිහිටිය යුතුයි. මොහොතක් හෝ පන්සිල් ආරක්ෂා කිරීම ගිහියාට කල හැකි දෙයි.

    ReplyDelete
  4. ළිපියට වඩා කයිය නම් මල් මසුරන් කතෝ.... උපරිමයි...

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් නොලිය ඒ පද හතර දැම්මත් මසුරං.

      Delete
    2. පද හතරක් විතරක් ඇයි?
      මෙන්න මුළු කවි පන්තියම කියවන්න.
      http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html

      Delete
  5. පාසල් කාලයේදි නම් පන්සිල් සමාදන් වීම කලේ ඔහේ කරන්නන් වාලේ. තේරුමක් ගැන හිතුවේ නැහැ...

    කල්ගත වුනාට පස්සෙ ඔය ගැන එක එක දේවල් හිතුනා. මගේ නම් අදහස පන්සිල් සමාදන් වීම කියන්නේ අධිෂ්ඨානයක් වගේ එකක් මිසක පොරොන්දුවක් නෙවෙයි කියන එකයි. පොරොන්දු කියලා හිතුවත් තමන්ටම දෙන පොරොන්දු කොහොමත් අධිෂ්ඨාන වගේ නෙ. ඒ වගේම හිතුණු දෙයක් තමයි... තුන්වෙනි, පස්වෙනි සිල්පද එකේ දෙකේ පංති වල පොඩි ළමයි කියන්න ඕනෙද කියන එක. කොයි ආගම, සමාජ සම්මත අනුව ගත්තත් ප්‍රාණ ඝාතය, සොරකම, මුසාවාදය වැරදියිනෙ. කාමයේ වැරදි හැසිරීම මොකක්ද කියන එක ගැන නම් සෑහෙන කතාබහ තියනවනේ.. රාජ්ගෙ නවාතැනේත් මේ ගැන කතාවෙනවා මේ දවස්වල. සුරාමේරය නම් මම වැරැද්දක් කියලා හිතන්නේ නෑ.

    අවුරුදු බර ගාණකින් පන්සිල් අරන් නෑ තමයි.....

    ReplyDelete
  6. කතන්දර අපේ ඉස්කෝලේ කෙනෙක් කියලා දැනගත්තේ අදයි නේ මම. මම නම් අයින් උනේ ගිය අවුරුද්දේ. එත් පස්මහල් උසස් පෙළ "විද්‍යා ගොඩනැගිල්ල" දැන් එහෙම එකක් නෑ. පස්මහල් දෙකෙන් මුවර් එක තියෙන එක අපි අයින් වෙනකන්ම තිබ්බේ 7-8-9 පන්ති. අනිත් එකේ නැටුම්,සංගීත, IT, චිත්‍ර වගේ ඒවා. මුවර් බිල්ඩින් එකනම් ආයෙත් හදනවා දැන් එක පිපිරිලා හින්දා බිත්ති!

    ReplyDelete
  7. ආනන්දේ තමයි ඉස්කෝලේ කියන පොතේ කවර්පේජ් එක මේ පින්තූරයටත් දාලා. කකා, මේ තරමටම භංගවූ නිර්මාණශීලිත්වයෙන් පෙලෙන්නේ ඇයි... ???

    ReplyDelete
  8. ඉස්කෝලේ යන කාලෙන් පස්සේ කකා කලේම සිල් බිඳින එක නේ !
    තාමත් සිල් පද කඩනවා නේ.
    කකා සුරාමේරයත් කරනවා.

    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. මේ වෙසක් පුන් පොහෝ දිනයේදිවත් ඔබේ 'එක වීමේ ' තෘෂ්ණාවෙන් සහ මෝහයෙන් දුරුවන්නට උත්සාහ කරන්න.

      Delete
    2. මම එක කියා දැමීමෙන් එක් බ්ලොග් කරුවෙක් ගේ තුන්වන සිල් පදය කැඩුනි.... ඔබත් කකාගේ තුන් වන සිල් පදය කැඩීමට අර අදින බව පෙනේ.....

      Delete
  9. මේවා කතන්දරද? බ්ලොග් එකේ title එක කයිවාරු කියලා මාරු කලොත් නරකද?

    ReplyDelete
  10. ඊ.ඩබ්ලිව් අදිකාරම් මහත්තයාත් මේ හා සමාන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා නේද ?

    ReplyDelete
  11. from 6:00 a.m. to 11:00 a.m.
    NO Comments yet !!!!

    ReplyDelete
  12. සුළුතර ප්‍රජාවන්ට අයත් මිනිසුන්ට බහුතර ප්‍රජාවගේ ආධිපත්‍යයට යට නො වී ජීවත් වන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිසුන්ට අවබෝධයක් තිබිය යුතුයි. අර තුනේ පන්තියේ සිසුවාට බුද්ධ ධර්මය ගැන ලැබුණු අවබෝධය බහුතරයේ අයට ක්‍රිස්තු ධර්මය ගැන ලැබුණේ නැහැ නේ ද?

    කියවන්න දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?

    ReplyDelete
  13. කියන හදන අදහස නම් හරි.හෝද හෝද මඩේ දාල වැඩක් නැහැ තමයි.වෙසක් දවසේ මේවා කියන එකත් හරිද මන්දා.නමුත් ටික දෙනෙක් හරි මේ ප්‍රෝඩාවෙන් මිදෙනවා නම් ඩිංගක් පව් සිද්ද උනත් මොකද...? කමෙන්ට් කිරීම හේතුවෙන් අපිටත් මේ පව්/පින් වල යම් ඵලයක් ලැබේවි නේද කකා...?

    ReplyDelete
  14. මේ සටහන ඔබේ පොතෙන් කියවා තිබුණා.. දිනපතා පොරොන්දු දී ඒවා කඩා දමමින් පසුදාටත් ඒ පොරොන්දුම දෙන එකට වඩා ඔබේ ක්‍රියාව හොඳයි..අනේ අපි රකින පන්සිල්..

    ReplyDelete
  15. මමත් කකාගේ ක්‍රමය අනුගමනය කරන්නෙක්මි, ගොඩක් දෙනා අදුනනොගත්ත දෙයක් තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්වල දුන්නේ දර්ශනයක්(තමන් තුලින් තමන්ව සොයාගන්න විදියක්) මිස ආගමක්(ඇදහිල්ලක්) නොවෙයි කියන එක(ගොඩක් දෙනා දේවත්වය එක්ක බැදුණු සංකල්ප බුදුදහමට ආදේශ කරලා තියෙනවා ඒක නිසා තමයි විබාග එහෙම ලංවෙද්දි ජීවිතේට පන්සලකට නොයන එවුන් පන්සල් යන්නේ, ඒ වගේම සල්ලි දීලා සෝවාන් ඵල රහත් ඵල ලබාගන්න හදන්නේ ),ආගම් වල තියෙන දේවල් යතාර්ථයෙන් කොච්චර ඇතද කියල තේරෙන්නේ ඒ වගේ පරිසරයක හිටියම ඒවායේ වෙන්නේ කරන්නේ මොනවද කියල දැක්කම(මම අන්‍යාගමික පාසලකට ගියේ),ඒක නිසා තමන් තමන්ට වංචා කරගන්නේ නැතුව ඉන්න නම් කකා කරනවා වගේ මේ වගේ දේවල් අපිට කරන්න වෙනවා.

    ReplyDelete
  16. මම පොඩි එකා සන්දියේ ආච්චි එක්ක පන්සිල් ගනිද්දී ඉදලම,කාමේ සූ සහ සුරාමේරය ගාථ කියද්දී මගේ ශරීරෙට පොඩි කිචියක් දැනුන.
    මම ලොකු වුනාම පන්සිල් ගැනිල්ල නවත්වල "හොද" වැඩ විතරක් කරන්න ගත්ත.

    ReplyDelete
  17. තෙරුවන් සරණයි!

    ReplyDelete
  18. බෞද්ධයා ගේ නිත්‍ය ශීලය වන පන්සිල් සමාදන් වීමෙන් ද පන්සිල් රැකීමෙන් ද පුද්ගලිකව තමාට ද පොදුවේ සමාජයට ද යහපතක් වේද නැත් ද යන්න විමසා ඒ අනුව ක්‍රියා කිරීමේ අවුලක් නැත.
    මට සිතෙන්නේ දිනපතා පන්සිල් සමාදන් වීමෙන් පස්පවින් වැලකීමේ පොරොන්දුව යලි යලිත් සිහිපත්වීම නිසා එය රැකීමට ඇති පෙලඹීම වැඩි වන බවයි.
    සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

    ReplyDelete
  19. රැඩිකල් බෞද්ධ.

    ReplyDelete
  20. ඊ.ඩබ් අදිකාරම් මහතාත් මේ පිළිවෙතම අනුගමනය කලා පන්සිල් සම්බන්ධයෙන්...ඔහුගෙ තර්කය වුණේ එක වරක් පන්සිල් ගැනීමෙන් පසු පන්සිල් පද කඩ නොකළා නම් නැවත පන්සිල් ගැනීම අනවශ්‍ය බවයි.

    ReplyDelete
  21. මමත් මේ පන්සිල් නොගෙන සිටීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන කෙනෙක්. ඒකට අනිත් සාමාන්‍ය මිනිස්සු දක්වන ප්‍රතිචාරෙ උපේක්ෂා සහගතව ඉවසාගෙන ඉන්නව ඇරෙන්න හේතු කරුණු දක්වන්න යන්නේ නැහැ.

    ReplyDelete
  22. දිග කතාවක් වචන දෙකෙන් කියන්නම් කතන්දර අයියා: එකඟ නැහැ. මේ ගැන කෙස් පැලෙන වාද විවාද කරන්නට සූදානම් ආගම් පිස්සොත් ඇති; මා ඒ ගොඩේ නොවන නිසාත්, කෙනෙකුගේ ආගමික පිළිවෙතෙහි අයිතිය ඔහු හෝ ඇය පමණක් සතු පෞද්ගලික දෙයක් වන නිසාත්, මේ ගැන වැඩි දෙයක් කියන්න අදහසක් නැහැ.

    මේ ගැන හොඳ විග්‍රහයක් පැලෑනේ සිරි වජිරඥාන හිමියෝ කරලා තිබුණා. වෙලාවක් තිබ්බොත් සබැඳිය හොයාගෙන පළ කරන්නම්.

    ප/ලි/ උදෑසන වතාවත් ගැන මගේ අත්දැකීම අනුව නම්, කකා සහෝ කරන මේ විස්තරය නම් අදාළ වන්නේ මා උපදින්නටත් පෙර බව පෙනේ. :D

    ReplyDelete
  23. ක/කා ,

    තමන් ලද මුලික දැනුම පදනම් කරගනිමින් සමාජයේ පවතින සම්මතයන්ට අභියෝග කරමින් අලුත් ආකාරයට සිතීම ගැටවර වියේදී හැම දෙනෙකුටම හිතෙන දෙයක්. පසුකාලීනව කියවීමෙන්, මිතුරන් ඇසුරින් සහ අද්දැකීම ලබාගැනීමෙන් එම දැනුම යථාවත් කරගන්නා අය පරිණතවූ (maturity) අයෙක් ලෙස සමාජය පිලිගන්නවා.අයෙක් නිකම්ම වයසට ගිය පලියටම පරිපුර්න වෙන්නේ නැ.එහෙම අය හඳුන්වන්නේ ඉඩෝරයට ඉහ නිකට පැහුණ අය වශයෙන්ය. මට හිතෙන විදියට ඔබත් එවැන්නෙක්.

    දෛනිකව පන්සිල් ගැනිම විවේචනය කරන ඔබ ත්‍රිපිටකයේ පන්සිල් ගැන ඇති සුත්‍ර කියවා තිබේද?වංචනික කෙලෙස් 1500 ගැන රෙනුකානේ නායක හාමුදුරුවන්ගේ විග්‍රය කියවා තිබේද? පුද්ගලයන් නොදැනම ඔවුන්ගේ සිත් තුලින් පැන නගින ආශ්‍රව 4 ගැන විග්‍රහය කියවා තිබේද? මහා රහතන් වහන්සේ නමක් අනුගමනය කරමින් පන්සිල් රැකියා යුතු යයි සුත්‍ර දේශනා වන්හි කියවෙන බව ඔබ කියවා තිබේද?

    එසේ කියවා ඇත්නම් ඔබගේ තර්කය අදාළ සුත්‍ර පාඨ වලින් ඉදිරිපත් කරන්න. එහෙම නැතුව නිකම් ප්‍රලාප ලියන්න එපා.ඒවා කියවන්නයි උත්තර ලියන්නයි කාලය මෙන්ම විදුලියද වය වෙනවා. බුදුන් වහන්සේ, සදහම,සඟුන් වහන්සේලා ගැන ඔබ ලියා ඇති නරුම ලිපි ඔක්කොම මා කියවෙව්වා.අපහාස කිරීමේ චේතනාවෙන්ම ඒවා ලියා ඇතැයි නිගමනය කිරීමට මා ඉක්මන් වන්නේ නැ.මට තේරෙන්නේ ඔබ තවමත් ක්ෂණ සම්පත නොලැබුන අනුකම්පා කල යුතු අසරණයෙක් බවයි. හැසිරීම පිලිබඳ විනය අතින් අග්‍රස්තානයට පත්, එසේ අග තනතුර ලැබීමට කල්ප ගණනක් පෙරුම් පිරු පටාචාරා මහා රහතුන් මෙහෙණින් වහන්සේ පළමුවෙන්ම බුදුන් වහන්සේ ඉදිරියට ඉදිරියට පැමිණියේ අමු හෙලුවැල්ලෙන්නේ. ඉති ඔබ වැන්නෙකු ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. /කල්ප ගණනක් පෙරුම් පිරු පටාචාරා මහා රහතුන් මෙහෙණින් වහන්සේ පළමුවෙන්ම බුදුන් වහන්සේ ඉදිරියට ඉදිරියට පැමිණියේ අමු හෙලුවැල්ලෙන්නේ./

      wmk, 'ඉතින් ඔබ වැන්නකු ගැන කවර කතාද' කියලා පුලුවන් නම් ඇත්ත උදාහරනයක් දෙන්න. මේ පටාචාරාගෙ කතාව හිතලුවක් නේද? ඔබ ඇත්තටම මේ කතා විශ්වාස කරනවාද? කල්ප ගානක් පෙරුම් පිරූ...? පරිණතවූ (matured) අයෙක් "පටාචාරා කල්ප ගානක් පෙරුම් පිරූවා" යැයි විශ්වාස කරන එකම විහිලුවක්! පරිනත වූ බෞද්ධයන් පවා මේවා කතා ලෙසයි ගනන් ගන්නේ....

      සනාත

      Delete
    2. මිතුර,
      කර්නල් ආනන්ද වීරසේකර ආනන්ද භික්ෂු නමින් බුද්ධන්ගලදී මහණවී බන භාවනා කරන බව ඔබ නොදන්නවායයි නොසිතමි.තායිලන්තයේ සාමාන්‍ය කාන්තාවක් (මහණවී) බුදු දහමින් සැනසුම ලද හැටි කියවෙන "රහත් මෙහෙණි"පොත සිංහලට පරිවර්තනය කලේ උන්වහන්සේ විසිනි. (නොමිලේ බෙදා දෙන මෙම පොත අන්තර් ජාලයේද ඇත)
      ( කර්නල් ආනන්ද වීරසේකර 71 කැරැල්ල මැඩු හැටි දන්නෝ දනිති)

      Delete
    3. වීරසේකර කවදා හෝ අංගුලිමාල ට ඇන්දා නම් ඒ 88/89 කාලයේ නේද?

      එලියකන්දේ වධකයෙකුත් පසුව මහණ වුනාලු.

      Delete
  24. Kaka. Oyage katha hondai. adahas thama prashnya.
    වසර පණහකටත් වඩා කාලයක් රහමෙර ඇසුරු කර තිබූ Kakage ගේ මොලේ kisima deyak වටහා ගැනීමට අවශ්යො නියුරෝන ශෛල ඉතුරු වී netha

    ReplyDelete
  25. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 30
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 21

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.