Saturday 31 July 2010

අද එතැන් සිට ---- කතන්දර දාහක් ලියන්න පුළුවන් හොඳ ක්‍රමයක්


පරම්පරාවකට කලින් කාලෙක හිටිය හොඳම තීරු ලිපි රචකයෙකු, කාටූන් ශිල්පියෙකු සහ උපහාස රචකයෙකු තමයි තෙන්නකෝන්.

පොර ලියපු පොඩි එකාගේ ලියුම කියන තීරු ලිපිය අසමසම එකක්. තෙන්නකෝන් ම ලියල ඇඳපු, අම්ම, තාත්ත, අයිය, අක්ඛ, නංගි, මල්ලි, ආච්චි, සීය, බල්ල යනාදී පිරිවර ඉන්නා ලොකු පවුලක උපහාස කතා තියෙන කාටූන් එක, සමාජ සමයං, තාමත් පලවෙනවා. දැං නං ඒක ලියල අඳින්නේ දයා රාජපක්‍ෂ.

තෙන්නකෝන් ලියපු තවත් තීරු ලිපියක් තමයි - "අනේ ඌ නොහිටියා නං!" කියන එක. මේ කතාවල තිබුනේ අපි දන්න ඊසොප් ගේ වගේ සත්තු ඉන්න උපදේශණාත්මක කතාවක් අතර ගෙන ඒකේ අග වෙනස් කරල ඉස්සරහට ලියාගෙන යන එක. උදාහරණයක් ලෙස "කපුටා ගේ කටින් කේජු කෑල්ල පහලට වෙටෙන කොට, නරියා එතන නොහිටියා නං?" වගේ මාතෘකා.

මේ ජාතියෙම පොර ලියපු තව කතා සෙට් එකක් තමයි - අපි දන්න ජනකතා වගේ ඒවගේ දෙවන කොටසක් ලිවීම. උදාහරණයක් විදියට "යකෙක් කන්න බඩගිණියි" කියන කතාවේ යකා ආපහු ගියාට පස්සෙ වෙන දේවල් හෙම.

මට මේ සේරම කතන්දර මතකයට ආවේ සම්පත් බණ්ඩාර කියන කතන්දර බ්ලොග් එකේ පාඨකයෙක් ලියල එවල තියෙන මෙන්න මේ කතන්දරේ දැක්කහමයි.

=========================================================
මෙන්න මේකයි සම්පත් බණ්ඩාර එවල තියෙන කතාව......
=========================================================
අර දර කපන්න කැලේට ගිහින් දර කපද්දි පොරව ගගට වැ‍ටුන සිද්දිය මම හිතන්නෙ හැමොම වගේ අහල තියනව. දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

මේ දර කපන්නගෙ කතාවෙ දෙවෙනි කොටස...

ඉතින් අන්තිමට දර කපන්නට පොරෝ තුනක් ම හම්බ උනානෙ. ඒ කියන්නෙ මිනිහගෙ අවංක කම ගැන පැහැදිලා දෙයියො දුන්නනෙ. ඉතින් මිනිහත් අවංක, අහිංසක, නිහතමානී මනුස්සය නිසා වැඩිය උඩ පනින්ඩ දගලන්ඩ ගියේ නෑ. පාඩුවෙ පරන රස්සාවම කරගෙන ඉන්නව. හැබැයි ඉතින් රත්තරන්, රිදී පොරෝ දේක විකුනල ගත්ත සල්ලිවලින් හොද ලස්සන පොඩි ගේකුයි (මිනිහ මොල කාරය, දන්නව ලොකු ගෙවල් හදන්ඩ ගියොත් ඇනෙනව කියල) දර අදින්ඩ කරත්තෙකුයි එහෙම අරගෙන ටිකක් පිලිවෙලකට ඉන්නව. හැබැයි කරන්නෙ පරන රස්සවමයි.

ඉතින් ඔහොම ඉන්නකොට දැන් ගෙදරට අඩු "වලළු දාපු අතක්" තමයි. කෙල්ලො නම් වැහි වැහැල ලු මිනිහ බදින්ඩ. (ඇයි සල්ලි කාරයනෙ) ඒ උනාට මිනිහ පුලුවන් තරම් හොයල බලල හොද දෑවැද්දකුත් ඒක්ක පට්ට කෑල්ලක් බැන්දලු. දැන් සෙරම හරි කියල තමයි මිනිහ හිතාගෙන ඉදල තියෙන්නෙ.

ඉති ඔහොම ටික කාලයක් යද්දි (වැඩි කල් නෑ හය මාසයයි....??????? නෑ..නෑ...බබෙක් නෙවෙයි) හැමෝටම වෙනව වගෙ මෑන්ටත් හිතුනලු මේක කරගත්ත මෝඩකම කියල.

වෙන මොකුත් හින්ද නෙමෙයි, කොයි වෙලාවෙත්:

"කොහෙද යන්නෙ?"
"ඇයි යන්නෙ?"
"කාත් එක්කද යන්නෙ?"
"ඇයි තනියෙන් යන්නෙ?",
"කීයටද එන්නෙ?"
"බ්ලා....බ්ලා....බ්ලා..."

ගොඩයි ලු.

අපිට වගේ නෙවෙයිනෙ, මිනිහට මේක පුරුදු නැති නිසා මල වදයක් වෙලා.

ඔහොම ටික දවසක් යනකොට යනකොට අනවශ්්‍ය දේවලුත් අහන්ඩ පටන් ගත්ත ලු.

"මේ.... මම මේ අහන්ඩමයි හිටියෙ... ඔයා දර කපන එක විතරනෙ රස්සාවකට කරන්නෙ. ඉතින් කොහොමද මෙච්චර සල්ලි හබ්බ කරේ...?"

ඉතින් මිනිහත් ඕකට උත්තර දෙන්නෙ නැතිව හැමදාම මග අරිනව ලු. අන්තිමට දවසක් උත්තර නොදී මගාරින්ඩ බැරිම උනා ලු. අනේ අර අහින්සකය සේරම විස්තරේ කියලා වයිෆ් එක්ක.

ඉවරයි! දැන් දන්නවනෙ කට්ටිය මොකද වෙන්නෙ කියල?

දැන් "අනේ මට එතන බලන්ඩ යන්ඩ ඕනෑ!" කියල මල වදයක් දෙනවලු වයිෆ්.

අන්තිමට බේරගන්ඩම බැරි තැන "හරි යමු පෙන්නන්ඩ " කිවුව විතරලු මෙන්න විනාඩි පහෙන් ඇදගෙනත් ඉවරයිලු.

කොහොම කොහොම හරි තැන හොයාගෙන ගිහිල්ල. දැන් වයිෆ්ට මාර ආතල් ලු. දැන් ඉතින් අයෙ ප්‍රශ්න වැලයිලු.

"ආනේ, මෙතනද?"
"ඔයට ෂුවර් ද?"
"කොතන ගහ ද?"
"දෙයිය ආවෙ කොහෙන්ද?"
"කොයි පැත්තෙන්ද?"

අන්තිම ප්‍රශ්ණය: "පොරව වැ‍ටුනෙ කොතනින්ද...?" කියල අහපුවම දර කපන්න කිව්වලු "මෙන්න මෙතනින්" කියල.

එතකොටම "හානේ, මෙතනින්ද?" කියල ගඟට නැමුන ලු. කකුල ලිස්සුව ලු.

"ජබොක්....!!!"

වයිෆ් ගඟේ ලු. මලා! (නෑ තම මලේ නෑ).

මොනව කිවුවත් කලත් වයිෆ් නෙ. දුකට, සැපට, මොකට උනත් අසනීපයක් උනත් ආදරෙන් බලගන්නෙ වයිෆ් නේද?
කියල මිනිහට එකපාරටම මතක්වෙලා. (අපි වගේමයි පොරත්) ඔලුවෙ අත් දෙක ගගහ අඩනව ලු.

"අනේ, මොකක්ද මේ උනේ?"

"මගෙ රත්තරං වස්තූව, මගෙ මැණික, පැටියෝ..." කිය කිය දැන් මර ල‍තෝනි දෙනව ලු.

ඔන්න මිනිහගෙ වෙලාව හොදකම කියන්නෙ, දෙයියා අදත් ඉන්නව ලු වෙලවට ලඟ පාතම. මොකද සීන් එක කියල බලනව ලු දෙයියො දැන්.

"ආ! මෙ අර මනුස්සයනෙ. හරි අවංක මනුස්සය. මොකද දන්නෙ නෑ, මේ පාර වෙලා තියෙන්නෙ" කියල ආවලු ලඟට.

දෙයියො දැක්ක ගමන් මිනිහට දෙයියෙක් දැක්ක වගේ හැපී ලු (ඈ, දෙයියෙක් නේන්නං ආවෙ).

ඉතින් දෙයිය අහනව ලු - "ඒ පාර මොකද දරුවා?"

"අනේ දෙයියනේ විස්තරේ පස්සෙ කියන්නම්. වයිෆ් ගගට වැ‍ටුනා. ඉක්මනට ගොඩට ගත්තෙ නැත්තම් මැරෙයි!"

ඉතින් දෙයිය ඇහැව්වෙ නෑ ලු මොකද පැනල බේරගන්නෙ නැත්තෙ කියල. මොකද එය දන්නවනෙ මෙයාට පීනන්ඩ බෑ කියල.

හැබැයි දෙයියන්ට හිතුන ලු මිනිහා තාම අවංකද කියල බලන්ඩ ඕන කියල. ජබොක් කියල ගගට පැන්නලු. පැනල ටික වෙලාවකින් ගොඩට අරගෙන එනවලු ගෑනු කෙනෙක්ව.

හැබැයි වයිෆ් නෙවෙයි ලු. ඒත් "ජැකොලින් ෆර්ඩිනැන්ඩස්" වගේ ලස්සනයි ලු. දෙවියො හිතුවලු මිනිහ අවංක නිසා මෙ ගෑනුකෙනා නෙවේයි මගෙ වයිෆ් කියයි කියල.

හැබැයි වෙල තියෙන්නෙ වෙන දෙයක්!

"මෙයාද වයිෆ්?" කියල ඇහැව්වලු. මිනිහ පැනපු ගමන් බදාගත්තලු අර ගෑනිව.

"අනේ බොහෝම පිං දෙවියනේ! මේ තමයි මගෙ වයිෆ්".

දෙයියන්ට ෆුල් අප්සට් ලු.

"ඕක තමයි මිනිස්සුන්ගෙ තියන කැත ගතිය. සල්ලි භාගෙ හම්බ උනාම අවංක කම වගේ හොද හතිගුන උන්ට අමතක වෙනව නේද? මටනම් හරිම කනගා‍ටුයි උඔ ගැන. උඔ දුප්පත්කමට ඉන්න කාලෙ උඔ කොච්චර හොඳද? සල්ලි ලැබුන ගමන්ම උඔ වෙනස්වුනා නේද? ඉස්සර වගේ දැං උඹ අවංක නෑ. ලස්සන ගෑනියෙක් පෙන්නපු ගමන්ම උඹ පැනල ඒක බදාගත්ත නේද?" කියල ඇහුවලු.

එතකොට දර කපන්නා කියනවලු:

"අනේ නෑ දෙයියනේ, ඔබ වහන්සේට මම කිව්වනම් මේ මගේ ගෑනි නෙවේයි කියල ඔබ වහන්සේ තව ගෑනියක් ගෙනත් පෙන්නයි. මම ඒ ගෑනිත් නෙවෙයි කිව්වනම් ඔබ වහන්සේ මගෙ ඈත්ත ගෑනිව ගෙනත් පෙන්නයි. මට මේ එක ගෑනියෙක් එක්කම ඉන්ඩ අමරුයි.මම කොහොමද දේයියනේ ගෑනු තුන්දෙනෙක් එක්ක ඉන්නෙ. ඒකයි මම දුන්න මුල ගෑනිවම බර ගත්තේ"

එතකොටලු දෙයියන්ට තේරුනේ සීන් එක.

=========================================================

දැන් තේරුණා නේද කතන්දර දාහක් ලියන්න පුළුවන් හොඳ ක්‍රමය. ගන්න පරණ ජනකතාවක්. ඒඛෙ දෙවෙනි කොටසක් ලියන්න මුල් කතන්දරේ තියෙන සේරම දේවල් ප්‍රශ්ණයට ලක් කරමින්.

මේක තමන්ගේ රචනා ශක්තිය වැඩි දියුණු කරගන්නත් හොඳ ක්‍රමයක්.

හැබැයි මේ කතාව සම්පත් බණ්ඩාර ගේ නිර්මාණයක් නං වෙන්න බෑ. මං මේක කලින් අහල තියෙනවා. ජැකොලයින් ෆර්නැන්ඩස් කියන නම විතරයි අළුත්!

-කතන්දරකාරයා

19 comments:

  1. මාත් අහල තියෙනවා..හැබැයි ලියල තියන විදිය හොඳයි..

    ReplyDelete
  2. Taboo Subjects31 July 2010 at 13:30

    කතන්දර දාහක් ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. අමිත අබේසේකර මහත්තය කාලෙකට කලින් The Island පත්තරේට දවස ගානෙ This is my Island කියල ලියපු කතා එකතු කරල පොතක් ගහල තියෙනවා. අවුරුදු තුනක් බ්ලොග් ලියන්න කතන්දර එතැන!

    - Taboo

    ReplyDelete
  3. ෂා.. කතන්දරෙත් මරු. කතන්දර හදන්න කියලා දුන්න ක්‍රමේ මරේ මරු.. ට්‍රයි කොරලා බලන්න ඕන.. තැන්කූ වේවා..!!

    ReplyDelete
  4. මානිගෙ තීරුවත් හොඳයි. හැබැයි ඒ අදාල කාලෙ රටේ වාතාවරණය දැනගෙන ඉන්න ඕනෙ කතන්දරේ තේරුම් ගන්නනම්

    ReplyDelete
  5. Taboo Subjects31 July 2010 at 13:55

    තෙන්නකෝනුන් ගැනත් කතන්දර බොහෝමැයි. මේ එකක්.

    ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියකු වගේම දක්ෂ කවියෙක්.

    තෙන්නකෝන් තරුණ කාලෙ වසර ගණනාවක් කළ පෙම කඩා වැටෙනවා. ඉන් ටික කලකට පසු ඔහුගේ පැරණි ආදරවන්තිය විවාහ වන්නට යනවාය කියන ආරංචිය ඈත පළාතක උගන්වන ඔහුට ලියා එවන්නේ තමන් උපකාරයක් කරනවාය හිතන 'මිතුරෙක්'. මේක අහපු තෙන්නකෝන්ට මල පැනලා දෙනව කවියෙන්ම උත්තරයක් හැරෙන තැපෑලෙන්ම.

    කරුමෙට මුල් පද දෙක මතක නෑ. ඒකෙන් කියැවෙන්නෙ මොන වැඩ තිබුණත් ඒව දාල මඟුලට එනවය කියල. අන්තිම පද දෙකින් කියන්නේ එහෙම ඇවිල්ලා කරන දේ.

    උගේ අත ගත් ඈත් කනවා - ඇගේ අතගත් ඌත් කනවා
    මේක මට ලිව් තෝත් කාලා - ක්රුමි නාසක බේත් බොනවා

    ReplyDelete
  6. Re-mix එකක් වුනත් මරු කතාව......:D.

    ReplyDelete
  7. මම නම් කලින් අහල නේ මේ වෙර්ශන් එක... එල.

    ReplyDelete
  8. එක එක ව(ර්)ශන් තියෙන තව පරන කතා තියෙනව කසු.. අර ඉබ්බ උඩින් ගිය හැටි, ඉබ්බයි හාවයි රේස් දුවපු හැටි වගේ.. ඒවත් ලියන්න...

    ReplyDelete
  9. මම මේ කල්පනා කළේ, අද කතන්දරෙයි, පින්තූරෙයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා
    හැබෑට තේරුනේ නැහැ නොවැ අයියේ ?

    ReplyDelete
  10. කතාවෙ තියෙන නිළියද ඉන්නෙ?

    ReplyDelete
  11. මේක මං ලියපු කතාවක් නෙමේ.

    මං ලියන්නේ රියල් කතන්දර, ඒ කියන්නේ සත්‍ය සිද්ධි මත පදනම් වුනු කතන්දර විතරයි.

    මේ කතාව මට ලියා ටයිප් කර එව්වේ සම්පත් බණ්ඩාර කියන බ්ලොග් පාඨකයෙක්.

    ඔය උඩින් තියෙන ෆොටෝ එක Witches of Eastwick කියන ෆිල්ම් එකෙන්. ජැක් නිකොල්සන්, Cherr සහ තවත් නිලියන් දෙන්නෙක්. මන්තරකාරයෙකුයි, එයා ගේ බිරින්දෑවරු තුන්දෙනයි.

    ReplyDelete
  12. ඉස්සර දිවයිනේ ගියා හොඳ කාලීන දේශපාලන උපහාසාත්මක තීරුවක් කිං බානට් කියලා. ඒක මානී ගේ එක තරං ප්‍රබුද්ධ එකක් නෙමේ. හැබැයි හොඳ ජොලි කෑලි තිබුණා.

    අමිත අබේසේකර මුලින් ලිව්වේ තමන් දන්න කතා. පස්සේ පත්තරේ පාඨකයෝ කතා ලියල එවන්ණ පටන් ගත්තා මට වුනා වගේ. ඉතිං, අන්තිමේදී මිනිහා නිකං වගේ පඩි ගත්තා අනුන්ගේ කතා දාලා. අමිතගේ තීරුවට ලියපු කෙනෙක් තමයි අම්බලන්ගොඩයා (බුද්ධික).

    ReplyDelete
  13. සියළු දෙනාටම ස්තුතියි.

    මං හිත සසල කරන කතාවක් ලියල තියෙනවා "මිසිස් දාබරේ" කියලා. ඒක තමයි මීලඟට දාන්න ඉන්නේ සඳුද දිහාට.

    ReplyDelete
  14. කතා අළුතෙන් ලියන එකත් සිරා වැඩක් වගේ. බලමුකෝ කවුද මේ වැඩේ මුලින්ම පටන් ගන්නේ කියලා :)

    ReplyDelete
  15. Sampath Bandara1 August 2010 at 00:11

    මෙන්න..........
    මා............රයි ආ............
    මම හිතුව කතන්දරට මේ පෝස්ට් එක අමතකවෙලා කියල.
    බොහොම ස්තූතියි පෝස්ට් එක දැම්මට කතන්දරගෙ බ්ලොග් එකේ..

    ReplyDelete
  16. මාත් ඕක කලින් අහල තියනවා. මටත් ඔය ජැකොලයින් ෆර්නැන්ඩස් කියන නම විතරයි අළුත්. ක්‍රමය නම් හොඳයි. බලමුකො නේ මොකද වෙන්නේ කියල.

    ReplyDelete
  17. කකා මේ වෙනකම් සාර්ථකයි
    ;-)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.