Sunday 17 July 2011

පැළඳ කඩු කස්තාන ගමට නම්බුව ගේන අපේ ආරච්චිල මැතිඳා වීරයා - විජේරත්න වරකාගොඩ සමග හෝරාවක් :: Wijerathna Warakagoda talks to KK


මෙන්න සන්ඩේ ඇක්ස්ට්රාම ස්පැෂල් සීරීස් එකේ මගේ තවත් නේම් ඩ්රොපින් කතන්දරයක්.

බැද්දගේ ගැන, ඇන්තනි ගැන දාපු කතන්දර පෝස්ට් වගේම මේකත් ඉන්ටර්වීව් එකක් ආශ්‍රයෙන් 2008 දී සඟරාවක් සඳහා ලියපු එකක්.


මෝඩයාගේ පෙට්ටිය ලෙසින් හැඳින්වෙන ටෙලිවිෂනය සිරි ලංකාව ආක්රමණය කර මුළු මහත් ජන සමාජයේ ජීවන රටාවම වෙළඳ දැන්වීම් අතරට ඔබා ඇති විනාඩි පහේ ටෙලිනාට්යය කෑලි අතරේ අතරමං කරවන්න ට පෙර ගම්බද නගරබද වෙනසක් නොමැතිව බහුතරයක් සිංහල ජනතාව අතර පැතීරී තිබූ එක්තරා සුන්දර ඇබ්බැහිවීමක් විය.

එය නම් සඳුදා දිනවල රාත්‍රී අටයි තිහට ගුවන් විදුලි යන්ත්‍රය වටා එක් රොක් වීමයි. ඒ වෙනත් කර්තව්‍යයක් සඳහා නොව මුවන්පැලැස්ස නමැති ගුවන් විදුලි නාට්යය ශ්‍රවනය කිරීමටයි.

නිදහසට පෙර සමයේ, පිටිසර කැලෑබද ගම්මානයක එදිනෙදා ජන ජීවිතය වටා ගෙතී තිබුණු අපූරු කතාවක් වූ මුවන්පැලැස්ස නාටකයේ දී අප හමුවූ, කදිරා, පිනා, වෙද මාමා, නාමලී, එතනහාමී යනාදී විවිධ ගැමි චරිත අතර කැපී පෙනුනු එක් ප්‍රධාන චරිතයක් වූයේ ගමේ ආරච්චිල ගේ චරිතයයි.

ඔහු රාජ නීතියේ නමින් ගමේ අසරණයින් ට තම ආධිපත්යය පෙන්වා ඔවුන් තැලීය, පෙලීය.

නමුත් ගමේ දඩබ්බරයා වූ කදිරා වැන්නන් ඉදිරියේ බියගුල්ලෙක් විය.

හුදෙක් ම කළු චරිතයක් බවට හැඳින්විය හැකි ආරච්චිල, එය එසේ වූවද, මුවන්පැලැස්ස ගමේ වීරයින් ගේ, පණ්ඩිතයින් ගේ චරිත පරදවා ශ්‍රාවක ජනතාව අතර වඩාත් ජනප්රිය චරිතය බවට පත්වූයේ වෙන කිසිදු කරුණක් නිසා නොව එම ආරච්චිල චරිතයට තම හඬ මුසු කොට පණ පෙවූ විජේරත්න වරකාගොඩ නමැති කලාකරුවා නිසා බව කීම කිසිසේත් ම අතිශයෝක්තියක් නොවේ.

පසු කළෙක කෝරළේ මහත්තයා ලෙස උසස්වීම් ලබා තම ඇඹෙනිය වූ මැණිකේ ද සමග ලොව දීර්ඝතම ගුවන් විදුලි නාටකයේ රඟපා වාර්තා පිහිටුවමින් අදත් ගුවන් විදුලියෙන් ලක් වැසියන් පිනවන විජේරත්න වරකාගොඩ ගුවන් විදුලිය, වේදිකාව, රූපවාහිණිය පමණක් නොව රිදී තිරය ද සමතික්‍රමණය කළ අග්‍ර ගණයේ නළුවෙකි, ගායකයෙකි, කලාකරුවෙකි.

වරකාගොඩ කලාකරුවා හෙවත් මුවන්පැළැස්සේ කෝරළේ මහත්තයා කළුබෝවිල නගරයේ දී එක් වරක් නොව දෙවරක් ම හමුවීමටත්, ඔහු හා සුහද සාකච්ඡාවක් පැවැත්වීමටත් මට 2008 ජනවාරියේ දී වරම් ලැබුනි.

මේ අපේ කතා බහේ දී මා දැනගත් තොරතුරු යි.

වර්ෂ 1933 දී කුරුණෑගල උපත ලැබූ විජේරත්න වරකාගොඩ, ශාන්ත ආනා විදුහල, ආනන්ද විදුහල හරහා මුලින් ලංකා බැංකුව ට එක් වුනත් පසුව 1956 දී පොලිස් සේවයට බැදුණි. පසුව 1964 දී වානේ සංස්ථාවේ සේවයට ගිය ඔහු 1976 දී චිත්‍රපට සංස්ථාවට බැඳී 1982 දී විදෙස් සේවයට යන තුරුම එහි සේවය කළේය. තමා හැම විටම කලා කටයුතු වල යෙදුනේ වෙනත් පුර්ණකාලීන රැකියාවක යෙදෙමින් බව ඔහු මා හා වැඩිදුරටත් පැවසීය.

විජේරත්න කලාකරුවා මුලින්ම වේදිකාවට පිවිසුනේ 1963 “අජාසත්ත නාඩගමේ” බිම්බිසාර චරිතය රඟපාමිනුයි. මේ ප්‍රථම රංගනය සඳහාම ඔහුට හොඳම ශෛලිගත නළුවා සඳහා වූ අග්‍රාණ්ඩුකාර සම්මානය හිමිවුනි.

ඉන්පසු හෙන්රි ජයසේනගේ “කුවේණි”, “තවත් උදෑසනක්”, “අපට පුතේ මගක් නැතේ”, “හුණු වටයේ කතාව” සහ “දිරිය මව සහ ඇගේ දරුවෝ” නාට්යවල ද, “මනමේ” නාට්ය යේ දිසාපාමොක් සහ වැදි රජු චරිත වලින් පටන් ගෙන සරත්චන්ද්‍රයන් ගේ “සිංහබාහු”, “පේමතෝ ජායතී ශෝකෝ”, “මහාසාර”, “ලෝම හංස” සහ “කපුවා කපෝති” නාට්ය වලද ඔහු 1964 සිට 80 දශකය දක්වා ම දිගටම රඟපෑවේය.

විජේරත්න වරකාගොඩ මුලින් ම සිනමා නළුවෙකු වුනේ රොබින් තම්පෝ ගේ “සුහද දිවි පිදුම” චිත්‍රපටයේ නීතිඥයෙකු ලෙස කල රඟ පෑමෙනි. තම්පෝ ගේ තවත් චිත්‍රපට කිහිපයක ද ලෙස්ටර් ගේ “ගම් පෙරලියේ” ද රඟපෑ ඔහුගේ සිනමා දිවියේ උච්චස්ථානය වූයේ අමරනාත් ජයතිලක ගේ “අරුණට පෙර” ප්‍රධාන චරිතය රඟපෑම සඳහා හොඳම නළුවා සම්මානය ලැබීමයි.

දක්ෂකම නිසාම නොව මූලික වශයෙන් හැඳුනුම්කම් මත චරිතාංග වලට නළු නිළියන් තෝරන සිංහල සිනමාවේ යලිත් එවැනි ප්‍රභල රංගනයක් ඉදිරිපත් කිරීම සඳහා සුදුසු ප්‍රධාන චරිතයක් වරකාගොඩ නළුවාට නොලැබීම සමස්ත සිංහල සිනමාවේ ම දුර්භාග්‍යයක් බව කිව යුතුම වේ.

ඞී.බී. සුරනිමල අධ්‍යක්ෂණය කළ මහපොල ප්‍රචාරක ටෙලි වෘතාන්තයක් වූ “සඳමාලී ගේ කතාවේ” රඟපාමින් පුංචි තිරයට පිවිසි විජේරත්න වරකාගොඩ තමන් ගේ සුපුරුදු දක්ෂකම් “එක ගෙයි කුරුල්ලෝ” හි පියා ගේ චරිතය වන් ප්‍රභල චරිත මගින් අපට පෙන්වූවේ ය. ඔහු රඟපෑ, “දූ දරුවෝ”, “නෑදෑයෝ”, “සත්පුර වැසියෝ” යනා දී රූපවාහිනී මාලා නාටක ද ඉතා ජනප්‍රිය විය. ඒ සමගම ඔහු රූපවාහිනී හඬ කැවීම් ශිල්පියෙක් ලෙසට ද කාලයක් තිස්සේ කටයුතු කර කර තිබේ.

විජේරත්න වරකාගොඩ ගැයූ “රඟහල අඩ අඳුරේ”, “මැණිකේ හිනැහෙනවා”, “මිහිරි සිහිනයක දැවටුන” යනාදී ගීත අදත් එදා මෙන් ම ජනප්‍රියයි.

විශ්‍රාම සුවයෙන් පසුවීම කෙසේ වෙතත් ඔහු අදත් සිනමා, ගුවන් විදුලි, රූපවාහිනී යනාදී මාධ්ය වලට තම දායකත්වය නො අඩුව ලබා දෙයි. ඔහු ගේ නවතම සිනමා රඟපෑම (2008) වන්නේ සෝමරත්න රාමනායක ගේ “සතියකට මට රට බාර දෙන්න” නමැති ප්‍රහසනය යි.

ඔහු ගේ ප්‍රිය බිරිය චිත්‍රාත් ජනප්‍රිය චරිතාංග නිලියකි. ඔවුන් දෙපල ගේ පුත් ජනනාත් විශාරද සංගීතඥයෙකි, ප්වීන බෙර වාදකයෙකි. දියණිය වින්ධ්යා‍ නැටුම් ශිල්පිණියකි. ඇය මේ දිනවල (2008) චන්න විජේවර්ධන ගේ නාට්ය කණ්ඩායමේ කටයුතු කරයි. දරු දෙපලම සෞන්දර්ය උපාධිධාරීහු වෙති.

විජේරත්න වරකාගොඩ කලාකරුවා ට දිගාසිරි පතමි.


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

20 comments:

  1. මම් ආස කරනම කලා කරුවෙක්.
    මුවන් පැලැස්ස අහනකොට කෙලින්ම මතක් වෙන්නේ කෝරලේ මහත්තයාව. ඊට පස්සේ වරකාගොඩ මහත්තයාව.
    දවසක් පත්තරේක තිබ්බා දැක්කා ඔය කෙනා කවදාවත් ඉස්පිරිතාලෙකින් බේත් ගන්න බෙලා නෑලු. ඒ තරමටම නිරෝගි කෙනෙක් ලු.

    ReplyDelete
  2. අදනේ මේ තරම් විස්තරයක් දැන ගත්තේ.... අපේ පැත්තේ ඉපදුන කෙනෙක් වෙලත්....

    බැංකුවෙන් අයින් වෙලා ඇයි දන්නේ නැ පොලිසියට ගියේ...

    ReplyDelete
  3. මාත් ඉතා ප්‍රිය කරන දක්ෂ කලාකරුවෙක්.
    අය්ය කීව ගීත තුනම හරිම ලස්සනයි. ඒ අතරින් "මිහිරි සිහිනයක දැවටුන" මේ ගීය මෙතුමාගේ කියලා අදයි දැනගත්තේ.ඔන්න ඉතුරු පද ටිකත් දම්මා. කකා අය්යාට මාගේ ප්‍රණාමය.

    ...මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
    ඔබ මට මතකයි...ඔබ මට මතකයි...

    අඳුර මැදින් ලසඳ ලෙසින්..ඔබ ආ හැටි මතකයි...
    කදුල මැදින් සුසුම් මැදින් ඔබ ගිය හැටි මතකයි..
    මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ...//
    .......
    වැසුන විමන් විවර උනේ ඔබ වෙනුවෙන් පමනයි
    කැකුලු පිපී පරව ගියා.. සුවද අදත් මතකයි..
    මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ...//

    ReplyDelete
  4. මමත් හරිම ආස කරන කලාකරුවෙක්... අපේ අම්මලාගේ පැත්තෙන් පොඩි නෑ කමකුත් තියේ...

    ReplyDelete
  5. උන්නෑහේ විතරක්යෑ.. කුටුම්බයම කලා කෙතක්.. රස සාගරයක්.. 4 දෙනාම හරි ප්‍රසන්න පුද්ගලයෝ.. මේ වාසනා ගුණ පිහිටන්නේ.. කළාතුරකින්.. බැංකුව කෙසේ වෙතත් පොලොස් හමුදාවේ සිටිය කතා වකුත් අහල තියෙනව..

    මුවන්පැලැස්ස කියන්නෙ ඒ කාළේ මිනිස්සුන්ගේ ජීවිතය.. කෝරළේ මහත්තතය කියන්නෙ.. මුවන්පැලැස්ස.. තව කතාවක් ගියා මොණරතැන්නෙයි කියල.. මේක සිනමාවට නැගුව.. ලස්සන සිංදු සැට් එකක් ඒකේ තිබුනේ.. එකක් තමයි ටී ඇම් කියන 'සෙවනේ කුඹුක් සෙවනේ" කියන ගීතය.

    ඔන්න ගොයියෝ කෝරළේ මහත්තය යනව රූපවාහිනියෙ.. බලන්න පුළුවන් අප්පිරිය නෑ...

    ReplyDelete
  6. කවදාවත් මගෙන් වචනයක් අහගෙන නැති කෙනෙක්..මුවන්පැලැස්ස පොතක් කියෙව්වා මතකයි පොඩි කාලේ..මේක කියෙව්වට පස්සේ අයෙමත් පොත හොයාගෙන කියවන්න හිතුනනේ ;)

    ReplyDelete
  7. @ All
    ඔය ෆොටෝ එක ප්‍රොෆෙෂනල් වැඩක් නෙමේ. මංතුමා ම තමයි ගත්තේ. පේනවා නේද ෂැඩෝ එක.

    වරකාගොඩ නිවස පිහිටා තියෙන්නේ කළුබෝවිල හොස්පිටිතාලේ අයිනේ (නුගේගොඩ පැත්තේ) තියෙන පාර දිගේම ගියාමයි.

    මුන්නැහේව මට 2009 දෙසැම්බරයේ දී රූපවාහිනී කෝෂරේෂමේ දී ත් මුණ ගැහුනා. එදාත් වචනයක් දෙකක් කතා කරන්න ලැබුණා.

    ReplyDelete
  8. පොඩි කාලෙ අපිත් මුවන් පැලස්ස අහන්නෙ හරිම ආශාවෙන්. පස්සෙ මෝඩ පෙට්ටිය ආවත් ඒව අපේ ගම් වලට එන්න කාලයක් ගත වුණා. ඒ වුණත් එදා ගුවන් විදුලියේ නාලිකා දෙකක් විතරක් අපිට ඇහුණත් ඒවා ඉහළම මට්ටමක තිබුණ.
    වි‍පේරත්න වරකාගොඩ මාත් ඉතාම ප්‍රිය කරන නඵවෙක්. ගායකයෙක්. වේදිකා නාට්‍ය වල ඔහුගේ භූමිකාව අතිවිශිෂ්ඨයි.
    මෙදා සැරේ සාකච්ඡාවක් විදියට නෙවෙයි නේද පල කරල තියෙන්නෙ. ඒකත් නරක නෑ.

    ReplyDelete
  9. ජනතාව ඉස්සෙල්ලම රූපවාහිනිය වටේ රොක් වෙන්නෙ ශ්රවව්යි දෘෂ්යන මාධ්යේයේ අපූර්වත්වය නිසා මිස ගුණාත්මක වශයෙන් හොඳ නිසා නොවෙයි. මුවන් පැළැස්ස වුනත් වෙළඳ සමාගමක අනුග්රාාහකත්වයෙන් තමයි කෙරුණෙ. (ලින්ටන්ස් ඉදිරිපත් කරයි -මියුසික් ලින්ටන් ටකටක ලින්ටන් ටකටක) ඒත් මාධ්ය ප්ර බලත්වය නිසා වෙළඳ සමාගම් වැඩි නැඹුරුවක් දැක්වූවේ රූපවාහිනියට. අන්තිමට ඒක වෙළඳ දැන්වීම් වලටම යටවුනා. නැත්නම් රූපවාහිනියටත් පුළුවන්කම තිබුනා ගුවන් විදුලිය වගේ හොඳ තැනක රැ‍ඳෙන්න.
    අද වෙනකොට මම හිතන්නේ ඔය දෙකම බොහෝ දුරට එක වගේ. ඒත් ගුවන් විදුලිය තවම රූපවාහිනිය තරමටම වෙළෙන්දාට යට වෙලා නෑ.

    ReplyDelete
  10. ඔන්න බලන්න කෝරලේ මහත්තයාට හඬ කවන්නේ විජේරත්න වරකාගොඩ කියලා මම දන්නේ අදයි ...

    අපේ සීයා ඔය කතාව මුල ඉඳන්ම අන්න ගත්ත නිසා මටත් යාන්තමට ඔය කතාව මතකයි .. දැන්නම් ඉවරද මන්දා ?

    ReplyDelete
  11. මට නම් වැඩියම මතක [රඟහල වලිය යන්න කලින්] "කොස්වතු කන්දේ රොසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහලයි" ගීතය [මං හරි නේද කතන්දර - පොර නේ කියන්නේ?]

    ReplyDelete
  12. කතන්දර, මේ සින්දුව හොයාගන්න බැරි වෙයි ද? එම් එස් ප්‍රනාන්දුගෙ නේද?

    ReplyDelete
  13. @Sujeewa Kokawala
    කොස් වතුකන්දේ රොසලින් නැන්දාගේ ගීතය
    රෝහන බැද්දගේ මහතාගේ ගීයක්..

    ReplyDelete
  14. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    අදින් ඇරඹෙන සතිය ඔබ සැමට වාසනාවන්ත එකක් වේවා!

    ශනිදාවක් වත් ඇදේවා!

    ReplyDelete
  15. @ Gimhani
    Thanks.
    ෆැටී ෆ්‍රොග් කාරයා නිතරම සින්දු ටපලා ගන්නවා. මං උන්දෑට ඊ-මේල් එකක් දැම්මා just a while ago.

    ReplyDelete
  16. හප්පා මං සින්දු පටලගෙන නේ.

    ReplyDelete
  17. @හිස් අහස(සඳරු)
    මට මතක විදිහට මුවන්පැලැස්ස තාමත් යනවා ........

    ReplyDelete
  18. නිහතමානි කලාකරුවෝ නේද....ආඩම්බරයක් රටටම ඔය වගේ අය....

    ReplyDelete
  19. මුවන්පෑලස්සෙ කෝරලේ මහත්තයා කියන්නෙ මට නම් කවදාවත් අමතක නොවෙන චරිතයක්. අපි පුන්චි කාලෙ සතිය පුරාම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මුවන්පෑලෑස්ස බලන්නෙ කොයි වෙලාවෙද කියල. නාමලී, කොමලී, කදිරා, පිනා, වෙද මාමා, සුදු බන්ඩා.. තාම මගෙ හිතේ ජීවත් වෙනවා. තවත් අමතක නොකල හෑකි කෙනෙක් තමයි නාට්ය ලියපු මුදලිනායක සෝමරත්න මහත්තය. ( සමා වෙන්න..මුද්‍රන දෝශ වලට..හරියට ෆොන්ට් එක යොදාගන්න තවම දන්නෙ නෑ)..ආ..ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව..අපේ නෑන්ද කෙනෙකුයි මාමා කෙනෙකුයි හිටිය..අපි කිව්වෙ කෝරලේ මහත්තයයි මෑනිකෙයි කියල....
    කෝරලේ මහත්තයට ජය වේවා!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.