Thursday 31 March 2011

අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා


අයියයි, මල්ලියි දෙන්නෙක් එකම වාසගම තියෙන ආරූඪ නම් දාගෙන මල් කඩන්න ගිය හැටි ගැන කතන්දරයක් මං කාලෙකට ඉස්සෙල්ලා ලිව්වා මතකයි නේද?

හැබැයි මේ අද කතන්දරේ නම්, ඊට හාත්පසින් ම වෙනස් එකක්.

මේ කතන්දරේ එන මල්ලි තමයි අර මහාචාර්ය පියරත්න. තමන් ගේ ප්‍රිය බිරිඳගෙන් අති විශේෂ තෑග්ගක් ලබපු පොර. අයියා තමයි, පොර ගේ ම එක් කුසේ උපන් අයියා.

ඉතිං මේ අයියයි මල්ලියි දෙන්නා අහසට පොළොව වගේ දෙන්නෙක්.

අයිය උසස් පෙලට කෙරුවේ බයෝ. ඒ පින් බලෙන් පේරාදෙනියේ ගිහින් පස්සේ ඇත්ගොව්වෙක් වුණා.
මල්ලී උසස් පෙලට කෙරුවේ මැත්ස්. ඒ පව පටිසන් දීලා මොරටුවේ ගිහින් මේ කියන කාලේ වෙනකොට යකඩ තලන කම්මලකයි කල් මැරුවේ.

අයියා හිටියේ කොළඹට සෑහෙන්න දුරින්.
මල්ලී හිටියේ කොළඹට සෑහෙන්න නුදුරින්.

අයියා මේ වෙන කොට බැඳලා නෑ.
මල්ලී මේ වෙන කොට බැඳලා.

අයියා ගමේ යන්නේ මාසෙකට පාරයි.
මල්ලී හැම සතියේම ගමේ යනවා.

අයියා හොඳ අහිංසක පොර.

ඔන්න දවසක් මල්ලී වැඩ කර කර ඉන්න අතරේ කෝල් එකක් ආවා. ෆැක්ටරියේ ඉස්සරහ සෙකුරිටි ඔෆිස් එකෙන්.

මල්ලිව හම්බ වෙන්න අමුත්තෙක් ඇවිත්.

ඉතිං පොර ගියා කවුද කියල බලන්න. බැලින්නම්, දන්න අඳුණන කෙනෙක් නං නෙමේ.

"මේ පියරත්න නේද?" අමුත්තා කිව්වා. "මං දයාරත්න ගේ හොඳ යාළුවෙක්, නම සුමනේ, අයියා සමහර විට මං ගැන කියලා ඇති නේද?"

පියරත්න ට හරියටම මතක තිබුනේ නෑ. අයිය ට කොච්චර යාළුවෝ ඉන්නවද?

"මල්ලී, මායි දයා යි එකට කැම්පස් එකේ හිටියා. දැන් මං වැඩ කරන්නේත් නුවරඑලියේ මයි. දයා ගිය සුමානේ ගෙදර ආවේත් මගේ කාර් එකේ තමයි."

"ආ ඇත්තද? හොඳයි! හොඳයි!!" පියරත්න කිව්වා.

"මල්ලි බලනව ඇති නේද, ඇයි මං මේ පැත්තේ කියලා. මල්ලී මං හදිසි වැඩකට කොළඹ ආපු ගමන් මේ හෝමාගම යනවා. ඒ අතරේ මාර වැඩේ නේ වුනේ. මගේ කාර් එක මග හිටියා, පොඩි එන්ජින් ට්‍රබල් එකක් කියලයි හිතුවේ. මේ හන්දියේ ගරාජ් එකට දාලා බැලින්නං ක්ලච් ප්ලේට් එක ගිහින්."

"ඒක දාන්න රුපියල් පන්දාහක් යනවා. මගේ බැංකු කාඩ් එකත් ගෙදර දාලා ඇවිල්ලා. මල්ලී ගාව තියෙනව නං ලෝන් එකක් ගන්න පුළුවන් ද? මං දයා අතේ ලබන සුමානේ ගෙදර එවන්නම්!"

අයියා ගේ මෙච්චර හොඳ යාළුවෙක් වෙන මේ සුමනේ අමාරුවේ වැටුණාම උදව්වක් නොකර කොහොමද?

පියරත්න කලේ, එවෙලේ පර්ස් එකේ තිබුණු රුපියල් තුන්දාහම සුමනේ ට දෙන එකයි.

සුමනේ පියරත්න ට අනේක වාරයක් ස්තුති කරලා, මේ සති අන්තයේ දයාරත්න අතේ සල්ලි නුවරඑලියේ ඉඳලා එවන්නම් කියා නැවතත් පොරොන්දු වෙලා යන්න ගියා.

ඒ සති අන්තයේ කොහොමටත් පියරත්න ගෙදර යන්නයි හිටියේ.

සෙනසුරාදා ගෙදර යන කොට, අයියා සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියේම ඇවිත්.

"සුමනේ කියලා මල්ලි එක්ක වැඩ කරන යාළුවෙක් මට හම්බ වුනා නුවරඑලියේ දී" අයියා කිව්වා.

"මිනිහට පොඩි කරදරයක් වෙලා, කාර් එක කැඩිලා, හින්දයි මාව හම්බවෙන්න ආවේ. මල්ලී අතේ එවන්නං කියලා, කාර් එක හදන්න මගෙන් රුපියක් තුන්දාහක් ඉල්ල ගෙන ගියා."

ඔන්න ඔහොමයි අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා කතන්දරේ ඉවර වෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඉතිං, පියරත්න මල්ලී, දයාරත්න අයියට රුපියල් තුන්දාහක් දුන්නා. දයාරත්න අයියා, පියරත්න මල්ලී ට රුපියල් තුන්දාහක් දුන්නා.

දෙන්න ගේ ණය ගණුදෙනුව එහෙමයි බේරා ගත්තේ. දැන් දෙන්නට දෙන්නා ණය නැහැ.

මාත් ණයකාරයෙක් නෙමේ බව දන්නවානේ?


(image: http://www2.capilanou.ca/services/athletics/campus-recreation/ultimate.html)

11 comments:

  1. හප්පට සිරි ඌ දෙන්නගෙම හොඳ යාළුවෙක්නේ බලාගෙන යද්දී...

    ReplyDelete
  2. අපූරු අතමාරුව අපිටත් බැරිද දන්නේ නෑ ඕවගේ ගනුදෙනුවක් කර ගන්න ඔය අයියගෙනුයි මල්ලිගෙනුයි..

    ReplyDelete
  3. ලොල්ය... අනේ මෙහෙම උන්. අයි හත්දෙයියනෙ අලි දක්කන්න හරි බයෝ නනෙද කරල තියෙන්නෙ..? අනික යකඩ තලන්න හරි මැත්ස්නෙ කරල තියෙන්නෙ. මෙහෙමත් උන්...

    ReplyDelete
  4. ණය මාරුව ඈරගත්ත හෑටිනම් නියමයි...........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  5. හික්....අපේ පොඩි එකාට මම කියලා තියෙනේ මගේ නම කියාගෙනෙ එක මුකලන් බස්සෙකුට වත් සත පහක් දෙන්න එපා, පුලුවන් නම් උගෙන් කඩා ගනින් කියලා... :)

    ReplyDelete
  6. හපොයි යකෝඅ මෙහෙමත් උන් නේද..?

    ReplyDelete
  7. මුන් දෙන්නගෙ ඇඩ්‍රස් එක දෙන්නකො මටත් කීයක් හරි ඉල්ල ගන්න

    ReplyDelete
  8. ටොපික් එක දැක්ක ගමන් මම හිතුවේ පිට කොටුවේ සීන් එකක් කියලා....

    ReplyDelete
  9. වෙලාවට තමයි තව සහෝදරයෙක් නොහිටියේ . තුන් දෙනෙක් උන්න්නනම් එහෙම ඔය වගේ ලස්ස්නට හුවමාරු කරගෙන ණය පියවගන්න ලැබෙන්නේ නෑ . කොයි තරම් ට්‍රයි කරත් අයියයි මල්ලියි සල්ලි මාරු කරගන්න හැටි මට හිතෙන් මවා ගන්න බෑ නේ

    ReplyDelete
  10. ෂා...මමත් ලඟදි බ්ලොග් වලින් අඳුනගත්තු, කවදාවත් දැකල නැති,
    යාලුවෙක් වැඩ කරන තැනට ගිහින් හමු වුනා(ජාඇල පැත්තෙ) සෙකියුරිටි එකෙන් විසිටර්ස් පාස් එකක් එහෙම අරගෙන පොරව හම්බ වෙන්න ඇතුලට ගියෙ. මේ කතාව කලින් කියවල තිබුන නං කීයක් හරි කොටා ගන්න ට්‍රය් එකක් දෙන්න තිබ්බ.

    ReplyDelete
  11. @All

    ප්‍රතිචාරවලට ස්තුතියි. කාල වේලා මදිවුණු නිසා ප්‍රති උත්තර බඳින්න බැරි වුණා.

    ඩෙඩ් ලයින් දෙකක් තියෙනවා -සඟරා ලිපිය වලට. ඒවත් කරන්න එපායැ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.