Friday 9 July 2010

අපූරු කොලිටි කොන්ට්‍රෝලර්ස් ලා


මේක මං ඉස් ඉස්සෙල්ලාම රස්සාවට ගිය කොම්පැනියේ සිද්ධියක්. අවුරුදු ගානකට පස්සේ මගේ මතකයට නැගුනේ ඊයෙ කියපු විචාරකයෝ සහ විවේචකයෝ කතන්දරේ නිසයි.

මේ කොම්පැනියේ සිය ගානක් කෙල්ලෝ, කොල්ලෝ වැඩ කළා. කෙල්ලෝ තමයි අති බහුතරය. දුර පලාත් වලිනුත් ඇවිත් හිටියා කට්ටිය.

මේ අර ශනිදා ලොතරැයියක් රුපියල් දහය කාලේ. මෙතන වැඩ කරපු කෙල්ලන්ට කොල්ලන්ට සාමාන්‍යයෙන් පඩි ලැබුනේ රුපියල් දාහයි. දවසකට පැට අට ගානේ සතියකට දවස් හයක් වැඩ. කෙල්ලෝ බහුතරයක් කලේ මහන එකයි. වෙන නොයෙකුත් වෙනත් වැඩත් තිබුණා, කපන, මදින, පැක් කරන අංශවල. කොල්ලෝ නම් මහන අංශේ හැර අනිකුත් හැම තැනම වැඩ කළා.

අළුතින් වැඩට එන කෙල්ලන්ට මුලින්ම තියෙන්නේ පුහුණුවක්. මාසයක් විතර කාලයක්. මේ කාලේ ගෙවීම අඩුයි මයෙ හිතේ.

මේ අධිවේගී මැෂින් වලින් මහන එක ලේසි වැඩක් නෙමේ. මාත් පැය දෙකක් තුනක් ට්‍රයි කරලා තියෙනවා මෙතන ජොබ් එකට ගිය මුල් දවස්වල.

හොඳට මහන්න පුළුවන් අයව ගන්නවා කෙලින්ම සේවයට අර කියපු රුපියල් දාහේ පඩියට. මහන්න බැරි අයව දාලා තිබුණා, ඔය මහපු ඇඳුම් වල නූල් කපන්න වගේ වැඩ වලට. පඩිය සියයට දහයක් විතර අඩුයි.

ඔහොම යන කොට ඔන්න එක දවසක් කොම්පැනියේ ලොක්කා ආවා රට ඉඳලා.

අපේ නිෂ්පාදනවල කොලිටිය අඩුයි කියා පාරිභෝගික මතයක් ගොඩ නැගෙනවාලු. කොලිටිය තව උසස් කළ යුතු බව මහා රැස්වීමක් තියලා ලොක්කා ප්‍රකාශ කළා. ඕඩර්ස් නැතිවුනොත් හැමෝටම බඩුනේ.

ඉතිං පාලනාධිකාරිය වහාම ක්‍රියත්මක වුනා. හැම අංශයකම, හැම මහන ලයින් එකකම කොලිටිය රකින්න, වැඩි කරන්න පියවර ගත්තා.

මහන අංශ වල හිටපු නූල් කපන, අස්පස් කරන කෙල්ලෝ ටික වහාම කොලිටි චෙකර්ස් ලා විදියට නම් කළා. මේ අය ඇන්ද රෝස පාට යුනිෆෝම් එක වෙනුවට රතුම රතු පාට අළුත් යුනිෆෝම් එකක් දුන්නා. රතු පාට දැම්මේ හැමෝටම හොඳින් පේන්නයි.

හොඳම ජොලි වැඩේ වුනේ ඊට පස්සේ. කොම්පැනියේ අළුත් අවශ්‍යතාවය වන කොලිටිය වැඩි දියුණු කිරීමේ අරමුණ නිසාම අර කොලිටි චෙකර්ස් ලා ගේ පඩිය රුපියල් දෙසීයකින් වැඩි කළා!

මල සේක කිව්වලු.

හොඳට මහන්න පුළුවන් අයට වඩා, මහන්න බැරුව training එක ෆේල් වුනු උන්ට සියයට විස්සක් පඩි වැඩියි!

කොලිටි කොන්ට්‍රොල් කෙරුවාවත් නරක නෑ නේද?

කතන්දරකාරයා

15 comments:

  1. ඒත් මචං ඔඹට රුපියල් දෙසීයකින් පඩි වැඩි වෙච්ච එක ගැන සතුටු නැද්ද ? ඒ දෙසීයෙන් උඹ මොනවද කලේ ?

    ReplyDelete
  2. හෆොයි.....හැබැයි ඕක ඉතින් අපේ රටේ නම් හැම තැනම වාගෙ වෙන දෙයක් නේ...වැඩ කොරන එවුන්ට බොරු බෑ නොවැ....ඉතින් බොරු කොරන එකෙක් තමා හරියන්නේ.....වැඩ නැති තැන් වලට......:D..

    ReplyDelete
  3. අනුන්ගේ වැරදි හොයන්ට අපේ මිනිහා තරම් දස්සයෙක් නෑනේ.

    ReplyDelete
  4. කොලිටි කොන්ට්‍රෝල් ගැන කතාවක් ඉතාම කෙටියෙන් කියන්නම්. මේක ඊ මේල් එකක ආපු එකක් දන්න අයත් ඇති. මේ නොදන්න අයට
    එක සබන් කොම්පැනියක out put එකට හිස් සබන් පෙට්ටි එන්න ගත්තලු. මේ ගැන කම්‍ප්ලේන් ආපු නිසා මැනේජ්මන්ට් එක කොලිටි කොන්ට්‍රෝල් ඉන්ජිනියර් කෙනෙක් ගත්තලු. පොර production line එකේ x-Ray scanners 2ක් දාල මොනිටර් කරන්න දෙන්නකේ දැම්මලු. දැන් ප්‍රශ්නය ඉවරයි. ඕකම පොඩි සබන් කොම්පැනියකට වුනාලු ඕකෙ කොකටත් කියල හිටියෙ එකම ඉංජිනියර් කෙනයි. පොරට මේකට පොලූෂන් එක හොයන්න දුන්නලු ඔය කොම්පැනියට එකේ x-Ray scanners වලට මිලියන ගණන් වියදම් කරන්න බෑ. ඉතින් පොර කලේ සබන් පෙට්ටි line එකේ ඇවිත් වැටෙන තැන ලොකු Industrial fan එකක් හයිකලා. දැන් හිස් පෙට්ටි හුළගට ගසාගෙන ඈතට යනවා බර අඩු නිසා. සබන් තියන ඒවා දිගටම line එකේ යනවා. කොහොමද පොරගෙ කොලිටි කොන්ට්‍රෝල්. කොලිටි කොන්ට්‍රෝල් ගැන අද කතාව නිසා මම මේක ලිව්වේ.

    ReplyDelete
  5. Taboo Subjects9 July 2010 at 08:58

    ඕක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ.

    A/L පාස් වෙච්චි එකා ඊට පස්සෙ මෙඩිකල් කොලේජ් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් වෙනවා.

    A/L වත් කර ගන්න බැරි, ග්‍රාමසේවක කම ඇර වෙන මොන ඉලව්වක් වත් කරලා නැති මෛත්‍රිපාල සිරිසේන සෞඛ්‍ය ඇමති කරලා දානව එහෙම ආපු ඩොක්ටර්ස්ලා පාලනය කරන්න.

    කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද?

    ReplyDelete
  6. හැම තැනම ඔහොම තමා අදටත්.. දන්න එකා පැත්තක.. නොදන්න එකා වැඩ..

    ReplyDelete
  7. සුදුස්සාට සුදුසු තැන ලැබුණේ කොතැනද?

    ReplyDelete
  8. ලංකාවේ නම් කොතැනත් ඔහොම තමයි..
    නොදන්න එකා තමයි වැඩ්ඩා වෙන්නෙ.

    ReplyDelete
  9. පුදුමයක් නැහ මචන්. ලංකාවෙ සුදුස්සාට සුදුසු තැන ලැබුනෙ හරිම කලාතුරකින් නේ. එහෙම නැත්තනම් අද මේ රට මෙහෙම තියෙයිද...

    ReplyDelete
  10. රෝහනදීර සීයා9 July 2010 at 13:28

    යකෝ කොලුවනේ, අර මහා දිරේසපිරේමියා රට වෙනුවෙන් ජීවිතේ දෙන්න යනව. තොපි ටික ඒක ගාණක් වත් නැතුව බූත කතන්දර කිය කියා ඉන්නව. තොපිට ජාති ආලයක් කියලා බම්බුවක් නැද්ද හැබෑටම?. තොපේ ඇඟේ ලේ උණුවෙන්නේ නැද්ද හැබෑට ඒ මහා දිරේසපිරේමියා රට වෙනුවෙන් කරන පරිත්යාගෙ දැකලා. තොපිට ලැජ්ජා නැද්ද මේ විදියට රටට දොරෝහී වෙන්න?

    ReplyDelete
  11. Q.C වෙනුවට Q.A ආදේශකරගැනීමයි වෙන්න ඕනෙ. ඒත් අවාසනාවකට වගේ තාම අපේ බහුතරයක් පාලනයට තමයි කැමති. ඒක පාලිතයන්ගෙ ජම්ම ගතිය වෙන්න ඇති,ඒකනෙ මෙච්ච්‍ර පාලනය කරන්න පාලකයොම හොයන්නෙ, පාලකයන්ටම ගෙවන්නෙ.

    ReplyDelete
  12. meeka kathandara ge ,kathawe quality check ekak. Anthimata kiyala thiyenawane QC lata padiya 20% wadiy kiyala. eeka 10% neda? Mahana ayata Rs1000, ethakota mahanna bari ayata eeta 10% adui, eekiyanne RS. 900. ookata 200 ekathu unaama 1100. dan QC lata mahana ayata wada 10% padi wadiy. :) mata kathaawa therunu widihata oya kiwwe. harida manda..... -Ruk

    ReplyDelete
  13. @All
    සියළු දෙනාටම ස්තූතියි.

    මෙන්න ඇනෝ (රුක්) ට උත්තරේ.

    ඔයාත් හරි මාත් හරි. ඔයාත් වැරදියි මාත් වැරදියි.

    නුල් කපපු අයව කොලිටි චෙකර්ස් කරලා පඩි වැඩි කලේ 300 කින්, ඒ කියන්නේ 1200 කට.

    එහෙම නැත්තං මහන අයට වඩා 20%ක් වැඩි පඩියකට.
    නුල් කපන අයගේ පඩිය 33% කින් වැඩි වුනා.

    ඔයා ලඟ හිටියානං මං චොකලට් ෆ්‍රොග් එකක් වත් දෙනවා.

    ReplyDelete
  14. ටැබූ ගෙ කතාව නම් අමූලික ඇත්ත .. මේක ඉතින් සිරි ලංකාවනෙ ...

    ReplyDelete
  15. වැඩ දන්න අය වැඩ කරනවා.
    වැඩ බැරි අය වැඩ කරන්න උගන්වනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.