Monday 18 April 2011

කතන්දරකාරයා චීන ක්‍රමයෙන් සුගන්ධිකා ගේ XXX හොයපු හැටි - A Chinese method to find XXX of females


චීනකණ්ණාඩිය (චීනක්කණ්ණාඩිය ලෙසින් උච්චාරණය කරන්න) කියන්නේ ඈත තියෙන දේවල් හොයා ගන්න පුළුවන් දුරේක්‍ෂයට.

චීන කටු චිකිත්සාව කියන්නේ නිල අල්ලා ඉඳිකටු ගහලා ලෙඩ සනීප කරන ක්‍රමේකට.

චීන අඩි කියන්නේ පුරාණ සටන් ක්‍රමයකට.

අද මං මේ කියන්න යන්නේ වෙනත් පුරාණ චීන ක්‍රමයක් උපයෝගී කරගෙන කතන්දරකාරයා ගේ සුගන්ධිකා කියන ලේඩීස් නෝනා ගේ XXX හොයපු විදියයි.

මේක අර රත්නායක මහත්තයා ගෑනුන් ගේ XXX හොයන විදියට වඩා සෑහෙන්න වෙනස් එකක්. මගේ පර රස්සා විජාණන ඥාණය වගේ අහම්බෙන් වගේ සෙට් වෙලා ටක්කෙටම හරිගිය දෙයක් කියලා කියන්න පුළුවන්.

සුගන්ධිකා අක්කයි, සුසිල් අයියයි අපි හොඳට දන්න ජෝඩුවක්. සුසිල් අයියා මාර ගිටාරිස්ට්. ඒකට හරියන්න සුගන්ධිකා අක්කා හොඳ වෝකලිස්ට්. සුජාතා අත්තනායක පරාදයි!

ඔන්න දැන් කාලෙකට ඉස්සර දවසක අපි දෙගොල්ලෝ මුණ ගැසුණා ප්‍රදර්ශණ භූමියකදී. ඔතන තිබුණා පොඩි ප්‍රදර්ශක කුටියක් චීන බඩු විසිතුරු බඩු තියෙන. එතෙනදි තමයි අපි දැනගත්තේ චීන කැලැන්ඩරේ ගැන.

චීන කැලැන්ඩරේ කියන්නේ අවුරුදු දොලහක නොනවතින චක්‍රයක්. හරියට අපි සූර්‍යයා වෘශ්චික, ධනු, මකර, කුම්භ වල රවුං ගහනවා වාගේ චීන කැලැන්ඩරේ අවුරුදු දොලහක සයිකල් එකක යනවා.

හැම අවුරුද්දම හැඳින්වෙන්නේ ඒ අවුරුද්ද අයිති සතෙකු ගේ නමින්. මේ සත්තු තමයි අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා, මීයා, හරකා, කොටියා, හාවා, මකරා සහ සර්පයා.

හරකා (වෘෂභ) සහ මකරා විතරයි සමානකමකට තියෙන්නේ චීන රාශිවලයි අපි දන්නා රාශිවලයි.

උදාහරණයක් විදියට ගිය අවුරුද්ද (2010) චීන කැලැන්ඩරේට අනුව කොටියා ගේ අවුරුද්ද. මේ අවුරුද්ද (2011) අයිති හාවාටයි. ලබන අවූරුද්ද මකරා ගේ.

අවුරුදු දොලහේ චක්‍රය ගතවෙලා ආපහු ඒ සත්තුන් ගේ අවුරුද්ද උදාවෙනවා. හරියට හැම මාස දොලහකටම පාරක් රවි මේසෙන් අයින් වෙලා ගොනාට අඳිනවා වාගේ.

ඉතිං මේ චීන කඩේ චීන කැලැන්ඩර් විස්තරේ බල බල ඉන්න කොට අපේ සුගන්ධිකා අක්කා කියපි

"ආනේ! මායි දුයි දෙන්නම ඉපදිලා තියෙන්නේ එකම සතාගේ අවුරුද්දේ නේ!" කියලා.

මං මුවින් නොබැන හිටියා.

හැබැයි මගේ හිත ඇතුලේ කෙලින්ම වැඩ කලේ ඒ කතාවේ හැටියට එක්කෝ දුව ඉපදිලා තියෙන්නේ අම්මාට අවුරුදු විසිහතරේ දී හරි තිස් හයේ දී හරි කියලා. ඒ එක්කම අපි අක්කා ගේ දුවගේ අවුරුදු හතේ උපන් දිනයටත් ගිහින් තිබුණා ඒ වෙනකොට. ඔය සේරම එකතු කරලා, මං රත්නායක මහත්තයට හොයනවාට වඩා ඉතා පහසුවෙන් සුගන්ධිකාගේ XXX හොයා ගත්තා.

හැබැයි මං මුවින් නොබැන හිටියා.

සුළු පටුකාලයක් නෙමෙයි අවුරුදු අටක් ම.

ඔන්න සුගන්ධිකා අක්කගෙයි, සුසිල් අයියගෙයි දුවගේ දාහතරවෙනි බර්ත් ඩේ එකට අපිට ආරාධනා කරන්න කෝල් එකක් ආවා.

"මල්ලී, ලබන සෙනසුරාදා බර්ත් ඩේ එකකට ඉන්වයිට් කරන්නයි කතා කලේ."

"කාගෙද සුගන්ධිකා අක්කගෙද?"

"නෑ අපේ දුවගේ."

"හා අපි එන්නම්, ඇයි මේ අවුරුද්දේ නේද අක්ක ගේ අර ලොකුම ලොකු බර්ත් ඩේ එක තියෙන්නේ?"

"මේ කොල්ලෝ මේ, උඹට ටොකු කන්න ඕනැද ඕවා මතක් කරලා?"

"හිකිස්!"

"ඇත්තටම බං, උඹ කොහොමද සුගන්ධිකා ගේ වයස දන්නේ?"

"මං ඒක චීන ක්‍රමයකින් හොයා ගත්තේ, මෙන්න මෙහෙම... ..."

-කතන්දරකාරයා

ප/ලි
ගෑනුන් ගේ වයසයි, මිනිස්සුන් ගේ පඩියයි අහන්න එපා කියලා පුරාණ සෘෂිවරු කියලා තියෙන බව අමතක කරන්න එපා. මෙතන XXX කියා ලියා තියෙන්නේ ඒ තහනම නිසයි!


(image: http://www.theselfishgene.com/the-12-chinese-zodiac-sign/)

27 comments:

  1. ඒකත් එහෙනං එහෙමයි ඈ.. අපි ඉතිං බොරුවටද කියන්නෙ කකා තමයි දවසකටවත් මිනිහා කියලා.. :)

    පලි: මට පොඩි ප්‍රශ්නයක් මතුවුනා.. චීනකණ්ණාඩිය කියන්නෙ දුරේක්ෂයටද..?? පොඩි දේ ලොකු කරලා බලන කණ්ණාඩියට නෙවෙයිද..??

    පපලි: අර පිංතූරෙ යටින් මොකොද KKDiscount.com කියලා තියෙන්නෙ..?? කකා Online බිස්නස් පාරක්වත් දානවද.. :)

    ReplyDelete
  2. වයස නොකියම , වයස කියන සාස්සතරේ ....

    ReplyDelete
  3. මං ඒත් කල්පනා කලේ 38වෙනි උපන්දිනේ ඔච්චර ලොකු උපන්දිනයක් උණේ කොහොමද කියලා....

    ReplyDelete
  4. කතන්දර අයියත් ගුටි කන වැඩනෙ කරන්නෙ.

    ReplyDelete
  5. ඔය සුගන්ධිකා අක්කගෙ දුවගෙ දාහතර වෙනි උපන්දිනේ තිබිලා තියෙන්නෙ මීට සෑහෙන කාලෙකට කලින් නේද? ඒකනෙ මෙහෙම කියලා තියෙන්නෙ "මේ කොල්ලෝ මේ, උඹට ටොකු කන්න ඕනැද ඕවා මතක් කරලා?" :D :D
    දැං ඉතින් කතන්දර අයියා මගෙන් අහයි මේ කතාවෙන් තේරුම් ගත්තෙ ඔච්චරමද කියලා :P

    ReplyDelete
  6. මරු සිස්ටම් එක වයස හොයන්න. වැඩේ කියන්නෙ මේ X තුන දැම්ම ගමන් කට්ටිය හි‍ටු කියල පෝස්ට් එක බලන්න එනවනේ ...

    ReplyDelete
  7. // මෙතන XXX කියා ලියා තියෙන්නේ ඒ තහනම නිසයි!//
    එහෙනම් කමක් නෑ. මං හිතුවේ වැඩියෙන් හිට්ස් ගන්න කියලයි....
    සුභ දවසක් කතන්දර..!!!

    ReplyDelete
  8. පුදුමයි කතන්දර මුවින් නොබැන බලා උන්න එක...
    හිතට අල්ලපු 'කෑල්ල'තමා (මාත් ඒකට xxx කියන්නද?)
    "රවි මේසෙන් අයින් වෙලා ගොනාට අඳිනවා" කියන ටික.

    ReplyDelete
  9. තට්ටරාළල ඉන්න තැංවල කට වෙනදටත් වැඩිය පරිසස්සං කරගන්න ඕනැ කියලා ආයෙත් තහවුරු වුනා මේ කතාවෙන්.....

    ReplyDelete
  10. ගුටි කෑවනම් තමයි වැඩේ... 50 ක කෙනෙකුට අක්කා කියනව කියන්නෙ කකා ටත් දැන් 45 පැනලා ඇති නේ...?

    ReplyDelete
  11. ඕක ලංකාවට වලංගු නැද්ද අයියේ...?

    ReplyDelete
  12. අක්කගෙ හැටවෙනි උපන්දිනේ ලඟ හින්ද නේද මේ කතාව දැන් මතක් උනේ?

    ReplyDelete
  13. අක්කේ, නංගියේ, නැන්දේ, පුංචිඅම්මේ කතන්දර කාරයාගෙන් පරිස්සම් වෙනු !

    ReplyDelete
  14. සුගන්ධිකාට නම් කතන්දර සෙට් වෙන්නේ අවුරුද්දකට සැරයයි වගේ, මම කල්පනා කලේ හැමදාම එකට ඉන්න කතන්දරහාමිනේ පට්ට ගේමක් දෙනවා ඇති කතන්දරගේ මේ ජිමික්ස් පොයින්ට්ස් වලට අහුවෙන්නේ නැතිව ඉන්න...

    ReplyDelete
  15. ඔය සුගන්ධිකාගේ XXX කීවම මේ මට හිතුනේ ... මේ මේ .. නෑ එක්කෝ ඒවා ඕන නෑ ..

    මමත් අහලා තියෙන්නේ චීනක්කන්නාඩිය කියන්නේ අත් කාචයට කියලා ! ..අර ශර්ලොක් හෝම්ස් ගාව තියන එක ...

    ReplyDelete
  16. හැබයි ඉතින් මම දේශියතවය අගයන දේශප්‍රේමියා හැටියට චීන නොවෙයි ශ්‍රී ලාංකික ක්‍රම අනුගමනය කරලා හොයා ගත්තේ කතන්දරට සත්තු හයයි අඩු කියලා ඔය ලොකුම ලොකු උපන් දිනයට.

    ReplyDelete
  17. @ All
    ළමයිනේ,

    තරහ ගන්න කාරි නෑ, අද නං හැමෝටම උත්තර බඳින්න වෙලාවක් නෑ.

    චීනක්කණ්ණාඩිය කියන්නේ ටෙලස්කෝප් එකටයි. මලලසේකර, මධුර වගේ ශබ්ධකෝෂවල බලන්න.

    කවුරු, කවූරුත් වයසට යනවා. මේ කතාවේ මූලික හරය තමයි, මිනිස්සු අවුරුදු 50 ලොකු පාටි දාලා සමරනවා වුණාට, කාන්තා පක්‍ෂය නං ඒ ගැන අමතක කරලා දාලා ඉන්නවා ය කියන එකයි.

    මං පොඩි කාලේ වසර 2000 ගැන මතක් කරලා බුදු අම්මෝ කියලා හිතුවා. දැන් ඒක ගෙවිලාත් අවුරුදු එකොලහක් ගතවෙලා!

    ස්තුතියි!

    ReplyDelete
  18. @ All
    හෙටත් කතන්දරයක් දාන්නයි ඉන්නේ.

    හැබැයි, 2011 මෙච්චර කල් දවසක් ඇර දවසක් කතා දාපු පිළිවෙල වෙනස් කරලා, සඳුදා, බදාදා සහ සිකුරාදා විතරක් කතන්දර පල කරන්නත් අදහසක් තියෙනවා.

    මොකද කියන්නේ?

    ස්තුතියි!

    ReplyDelete
  19. ආයෙම පල්ලං පොල්ල වෙනස් කරන්න වගේ හදන්නේ. මොනව කරන්නද බ්ලොග් එකක් මෙහෙම ලියන් යන එකත් ලේසි දෙයක් නෙවේ තමා. දැන් අවුරුදු 2ක්නේ.

    ReplyDelete
  20. කතන්දරට ලේසි පහසු විදිහක් ඉතින්... කොහොම ලීවත් අපි ඉතින් කියවනවා. හොඳ නම් හොඳත්. නරකතනම් නරකත් ප්‍රකාශ කරන එක තමයි අපේ රාජකාරිය.

    ReplyDelete
  21. කොහොම ලීවත් රසය එකයිනම් ..අපිට ඕන එච්චරයි

    ReplyDelete
  22. කතන්දරට ආයෙත් රයිටර් බ්ලොක් එකක් ඇවිත්වත්ද ??

    ReplyDelete
  23. කොලිටිය වෙනස් වෙන්නැත්තං දවස ගානේය,මාසෙ ගානේය අවුරුදු පතාය කියල වෙනසක් ඇතැ! ඒක හින්දා ලේසි විදිහක් තමුන්නැහේට...

    ReplyDelete
  24. @ ප්‍රියන්ත,
    @ හිස් අහස,
    @ සොඳුරු සිත,
    @ කසියා,
    @ බුද්ධි

    හොඳයි, හොඳයි, ප්‍රතිචාරවලට ස්තුතියි.

    දවසක් හැර දවසක් වෙනුවට සතියකට තුන්පාරක් කියන්නේ අවුරුද්දකට කතන්දර 182-156=26 ක වෙනසක්!

    කොලිටිය ගැන කියනවා නං, එන්න එන්න කතන්දරත් අර මෙගා ටෙලි නාට්‍යවලට වෙනවා වගේ ඇදිලා, ඇදිලා චොර වෙලා යයිද?

    මං ඕකට ඉස්සර කීවේ වැඩේ පබා වෙනවා කියලයි.

    http://kathandara.blogspot.com/2009/09/blog-post_11.html

    ReplyDelete
  25. බ්ලොග් කියෙව්වට කොමෙන්ට් දැම්මේ ඉඳල හිටල, කියවන බ්ලොග් සමහර ඒවා අතහැරුණ පහුගිය දවස් ටිකේ, දවස් 6ක් නිමාඩු තියෙනව දැන් ඉතින් ඔක්කොම ටික, අත හැරුන ඒවත් එක්කම කියවන්න ඕනෙ.

    ReplyDelete
  26. කතන්දරයෙ කයි-කතන්දර මැක්සා ආ!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.