Thursday 3 March 2011

නුඹ නාඩන් - හොඳ පාඩම් : Kathandara Kaaraya Learns a Lesson (again!)


මං පෙරේදා ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැන ලියවුණු සින්දුවක එම්පීත්‍රී එකක් එක්ක පෝස්ට් එකක් දැම්මා. ඒ සින්දුව මට ඊ-මේල් වලින් ආපු එකක් -ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීමකුත් එක්ක.

මගේ පෝස්ට් එක දාලා, ඒකට හිට්ස් 250 විතර ආවට පස්සේ ආපු කෝල් එකක් නිසා මං පෝස්ට් එකේ අන්තර්ගතය මෙන්න මේ විදියට වෙනස් කළා.

එහෙම කරන්න හේතුව මෙන්න මෙතන විස්තරාත්මකව තියෙනවා.

මේ සිද්ධියෙන් පස්සේ මට මතක් වුනේ මගේ පරණ අත්දැකීමක්.

ඔන්න දැනට අවුරුදු දෙකකට විතර කලින් මං හරියට අදුණන්නේ වත් නැති සඟරා කතෘ කෙනෙකුගෙන් මට ඊ-මේල් එකක් ආවා මගෙන් කවි ඉල්ලලා එයාගේ සඟරාවේ පල කරන්න. මේ 2009 ජනවාරි මාසේ.

දුක් සැප කුමන්දා කිව්වලු!

බරක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වුණු සිද්ධිය මතකනේ. මං ඔය ගැන ලියල තිබුණු මෙන්න මේ කවි පන්තිය ඊ-මේල් මගින් එයා ට යැව්වා, ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස.

ඔබාමා චූන් එකෙන් ඔබ්බට

ඔබමා බරක් එක්සත් ජනපද යේ
ජනපති විලස දිවුරුම් දුන් අද දින යේ
නෙත නැගි තුටු කඳුළු පිස දා ලහි ලහි යේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරි යේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

බලයට එන්න පෙර නිදහස භාෂණ යේ
පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තන යේ
තම පණ වුවද දෙන්නයි සැරසී සිටි යේ
අමතක වේ ද බලයට පත් වූ හැටි යේ

ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

වදකාගාර ගන්තනමෝ බටලන්ද
වැලලු මිනී අබු-ග්‍රේ සූරියකන්ද
දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

සේරු අටක් ඇට හැම ගෙට එවන්නට
නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
සමුර්දියක් ජන-සවියක් දෙවන්නට
දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේ ද
රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේ ද
චෞර රජා ලෙස හොඳ නම හිමිවේ ද
පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යා ද

විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ

ජනවාරි 2009


එදාම මට ස්තුති කරලා සඟරා කතෘගෙන් ඊ-මේල් එකක් ආවා පෙබරවාරි මැගසින් එකට මගේ කවිය දානවා කියලා.

හැබැයි දවස් හතරකට පස්සේ මෙන්න තව ඊ-මේල් එකක් එනවා. එඩිටෝරියල් බෝඩ් එකෙන් අකමැති වෙලා මගේ කවි පන්තියේ අන්තිම කවියට ඉස්සෙල්ලා කවිය පල කරන්න.

මොනවද හිතෙන්නේ...?

වැඩේ කියන්නේ මගේ මතකය ටිකක් හොර නිසා, මං ආයෙත් ඒ වගේම තත්වයක් ඇතිකර ගත්තානේ පෙරේදා...!!!

නුඹ නාඩන් නුඹ නාඩන් - නුඹට ඕව හොඳ පාඩම්!

-කතන්දරකාරයා

ප/ලි
වෙන්ට කතන්දර සීයේ ලිස්ට් එක දැම්ම වුණාට, අදත් දාන්නේ ඒකෙන් පිට කතන්දරයක්!

(image: http://www.facebook.com/indranama)

16 comments:

  1. ඕවා ඔහොම තමයි. සැලෙන්න නරකයි.

    ReplyDelete
  2. ඉගෙන ගත්ත පාඩම ගැනනම් මොකුත් කියන්න බෑ. ඒත් මේ ලියල තියෙන කවි පංතියනම් මරේ මරු...

    ReplyDelete
  3. හෆොයි වෙච්චි සන්තෑසියක්.....
    ඊලග එකවත් වෙන්ට 100න් 1ක් වෙන්ට ලැබේවා!!!

    ReplyDelete
  4. කතන්දරට උපහාසාත්මක කවි ලියන්න පුළුවන්නේ ලස්සනට.. නරකද මේ චන්දකාලේ පොඩි සයිඩ් බිස්නස් එකක් විදිහට අපේක්‍ෂකයොන්ට කවි ලියල දෙන්න පටන්ගත්තනම්..

    ReplyDelete
  5. වැඩිය මිනිසු බලන්නෙ ඔය සගරාවද? කතන්දර බ්ලොග් එකද?

    ReplyDelete
  6. හොඳ වැඩේ.. හොඳම වැඩේ...

    හොඳ පාඩම් මතක තියා ගන්නේ නැහැ නේ...

    ReplyDelete
  7. ඔව්ව ඔහොම තමයි....
    ඔව්ව ඔහොම තමයි....

    ReplyDelete
  8. "ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
    කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී"

    හැත්තා හතේ චන්දෙට ඉස්සෙල්ල කුරුනෑගල චන්ද රැස්වීමක් අමතන්න ආපු උතුමාණෝ, ඔරලෝසු කනුව ගාවින් ජීප් එකක යන ගමන් හොඳට ඔලුව නමල හිනාවෙලා මට අත වැනුව.මං දහ අතේ කල්පනා කළා මේ පොර මාව අඳුනන්නෙ කොහොමද කියල. ඒ කාලෙ මං බෝඩින් වෙලා හිටියෙ වැදී පත්තුවේ චන්දෙ ඉල්ලපු කුරුනෑගල පදිංචි කාරයෙකුගේ ගෙදර. අන්තිමට, එහෙම වුන බවක් මතක නැතත්, මං තීරණය කළා, අර ගෙදරට මොනවට හරි ආපු වෙලාවක මාව දකින්න ඇති, ඒ මතකෙට තමය් මාව අඳුරගත්තෙ කියල. ඒ කාලෙ, දේශපාලලගේ කපටි කම් තේරුං අරන් හිටිය හොඳටම මදි.

    ReplyDelete
  9. කල්පනාවන් සහෝ.......මුහුදේ සමහර තැන් හිතනවට වඩා ගැඹුරුයි.....

    වත් නම් හරිම සතුටින්....හනේ හනේ......

    ReplyDelete
  10. දකුණු පැත්තෙ අයිනෙ ඉන්නෙ කවුද? මට නිකම් දැකල පුරුදුයි වගේ..

    ReplyDelete
  11. එතකොට රජතුමත් ඔය ටී වී එකේ කොලුව වගේ සෙල්ලමක්ද දාල තීන්නෙ?

    ReplyDelete
  12. ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
    වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
    අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
    උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

    නියම කවියක් :)

    ReplyDelete
  13. කතන්දර අයියගේ ලස්සන කවි ටික . ඇතටමයි මචං මටනම් හිතෙන විදිහට මේ ඔබාම කාරය මුලු ලෝකෙටම බරක් . අර බුස් හිටියනම් පොඩි ආතල් එකක්වත් ගන්න තිබ්බා . හිනාවෙලා . කොහෙද මේකගේ බර විතරනේ

    අපේ අයියත් ජන්දේ ඉල්ලන නිසා ඔය මැති ඇමති වරුන් ගැන කිසිවක් නොකියමි ...මුනිවත රකිමි ..

    ReplyDelete
  14. ජනපති මලයා සේ කොටි සුණු කරලන්ට
    හැකිනම් අල්කයිදාට හොඳහැටි රිදවන්ට
    බුෂ්ගේ මලු නිසා කොන් කර දමන්නට
    ගොන්නුද යැංකියා තනතුර නොදෙන්නට

    ReplyDelete
  15. නියම කවි ටික. ඔය රස්සාව නවත්තල කවි කොල ගහල විකුනමුද? ඒක නෙමෙයි කකා. මොකද අර ඔබාමට අං තියන කෙනා දැකල පුරුදු වගේ. හැබෑටම මොකක්ද ඔය පින්තූරෙ සම්භන්දය මේකට?

    ReplyDelete
  16. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    ආයෙ නං මං අනුංගේ කවි සින්දු දාන්නේ නෑ, මගේ එව්වා විතරමයි දාන්නේ.

    ඔය ෆොටෝ එක ගත්ත තැන ලිපිනය මං දීලා තියෙනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.