Monday 21 February 2011

ඇයි ගෑනු කියන්නේ බබ්බු ද?


"කාන්තාවක් වන ඔබට පිරිමින් හා සම වැටුප් අවශ්‍ය නම් කළ යුතු හොඳම දෙය ඔබේ විදෙස් ගමන් බලපත්‍රය ද රැගෙන ශ්‍රී ලංකාව බලා පිටත් වීමයි. කාන්තාවන් ට පිරිමන් හා සම සේවයට සම වැටුප් ලැබෙන ලෝකයේ හොඳම රට එයයි."

අක්‍ෂි කුනීත දන් දීම විතරක් නෙමෙයි පොදු වශයෙන් පින ට දීම අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන් ඉන්න බව අපි කවුරුත් අහල තියෙනවා නේ. ඒ එක්කම අපි අහල තියෙන දේවල් තමයි, දූෂණය, පුවත්පත් නිදහස නැතිකම, පුවත්පත් කලාවේදීන් මරා දැමීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම සහ සිය දිවි නසා ගැනීම් අතිනුත් කාලාන්තරයක ඉඳන් තවමත් ලංකාව ඉදිරියේ ම ඉන්න බව.

ඒක පුද්ගල අරක්කු සහ කෂියා පරිබෝජනය අතිනුත් අපිට වෙන්න ඕනැ කප් එක!

දැන් ඕවයෙ සංසන්දනාත්මක සංඛ්‍යා ලේඛන ගැන මගෙන් ප්‍රශ්ණ අහන්න එන්න එපා. මොකද මං මේ ලියන්න යන්නේ ඒව ගැන නෙමෙයි.

මං ටික කාලෙකට කලින් අන්තර්ජාලයේ කියවපු ලිපියක මුල් ඡේදය තමයි ඔය උඩින් දාල තියෙන්නෙ. කාන්තාවන් ට රැකියා සඳහා සම අවස්ථා වගේම, සම සේවයට සම වැටුප තියෙන රටක් හැටියටත් ලංකාව සැලකිලි ලබනව වගෙයි පේන්නේ.

සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ලෝකේ ප්‍රථම කාන්තා රාජ්‍ය නායිකාව වුණු එකත් තාමත් ලෝකේ විවිධ රටවල්වල විටින් විට ඇහෙන ට්‍රිවියා ප්‍රශ්ණයක්.

අපි දන්නවා, පොදුවේ ගත්තහම, මිනිස් වර්ගයා ගේ ගෑනු සත්වයයි, පිරිමි සත්වයයි සමාන නැති බව ජීව විද්‍යාත්මක කාර්ය භාරය වගේම තවත් සමහර අංශ වලින්. ඕව ගැන විස්තරාත්මකව කියන්න ඩෙස්මන් මොරිස් ගේ අනුගාමික චරියා ඉන්නවානේ.

පොදුවේ ගත්තහම ශක්තිවන්තකම නිසා පිරිමින් ට ප්‍රජාවේ බලය හිමි වුණා. ඉතිං, පිරිමි ආධිපත්‍යය තවත් වැඩිවෙන විදියටයි, සමාජීය සිරිත් විරිත්, නීතිමය රාමු ගොඩ නැගුනේ.

පස්සේ කාලෙක සිදුවුණු කාන්තාවන් ට ඡන්ද බලය දීම, කාන්තාවන් ට සම තැන දීම වගේ දේවල් සුවිශේෂී සිද්ධීන් විදියට අපි සලක්නනේ ඒ නිසයි.

මේ සම්බන්ධයෙන් තිබුණු සමහර සමාජ අසාධාරණ කම්, පස්සේ නීති මගින් මග හැරුණා මට හිතෙන විදියට. උදාහරණයක් හුඟක් ඉස්සර කාලේ නිශ්චල දේපල(ඉඩ කඩම් වගේ) දූ වරුන්ට හිමිවෙලා නෑ දෙමව්පියන්ගෙන්. ඒව ගිහින් තියෙන්නේ ගමේ නතර වෙන පුතාලටයි. හරියට රජකම යනව වගේ. ගමෙන් පිට ට දීග යන දු ලා ට චංචල දේපලයි (හරක බාන වගේ) හිමිවෙලා තියෙන්නේ.

ඉස්සර කාලේ දූ ලා ට හැදෙන විදිය ගැන සුවිශේෂී අවවාද තියෙන විරිදු පවා ලියවුනේ මේ කාන්තාවන් මර්ධනය කරන සමාජ තත්වය යටතේයි. නමුත් අවාසනාවකට වගේ ලංකාව වගේ රටවල ඒ සමාජමය නීති රීති විධිවිධාන වැඩිපුරම ක්‍රියාත්මක කෙරුනේත් කාන්තාවන් අතින් ම යි.

දැන් ඉතිං නීතිය හමුවේ දූ ලා පුතා ලා ඔක්කොම සම-සමයි නේ.

ඒ වුනත් තාමත් ලංකාවේ කාන්තාවන් ට අසාධාරණ නීති තියෙනවා.

දැන් කාලෙකට කලින් මට අහන්න ලැබුණු කතාවක් තමයි, ලංකාවේ කොල්ලෙක් පිටරට ගිහිල්ලා විදේශික කෙල්ලෙක් බැන්දහම, ඒ බිරිඳට ලංකාවේ පුරවැසිභාවය ලැබුණට, ලංකාවේ කෙල්ලෙක් විදේශිකයෙක් ව බැන්දොත්, ඒ පොරට ලංකාවේ පුරවැසි භාවය ලැබෙන්නේ නෑ කියන එක.

ඒ මදිවට, අම්මා ලංකාවේ වුණු පළියට ළමයින් ට ලාංකීය පුරවැසිභාවය ලැබෙන්නේ නැතිලු. මේක විශේෂයෙන් ම බලපාන්නේ අර ලාංකික අම්මා දික්කසාද වෙලා ළමයින් එක්ක ලංකාවට ආවොත් තමයි. ළමයින් ට සල්ලි ගෙවලා වීසා අරගෙන තමයි ලංකාවේ ඉන්න වෙන්නේ. එහෙම දුක හිතෙන කේස් එකක් ගැන මට මේ ලඟදි ආරංචි වුණා.

මේ සේරම කතා මට මතක් වුනේ මීට මාස කීපයකට කලින් පිලියන්දල පැත්තේ සුපිරි වෙළඳ සැලකට අහම්බෙන් මෙන් ගොඩ නැගුණු වෙලාවෙයි. මේ ෂොප් එක ඇතුලේ වෙනම ම බෝතල් සාප්පුවක්, ඒ කියන්නේ වයින් ෂොප් එකක්, තිබුණා. නිකමට ඒකට හොට දාලා බැලින්නම් මෙන්න බොලේ ගහලා තියෙනවා "ගෑණුන් ට මත්පැන් විකුණන්නේ නෑ" ය කියලා.

මට පේන විදියට, කාන්තාවන් ට ලංකාවේ තියෙන තවත් නීතිමය අසාධාරණයක් තමයි, ඒ කියල තිබුණු විදියට, කඩේකින් මත්පැන් මිලදී ගන්න නොහැකි වීම.

ඔන්න දැන් ඉතිං බණ කියන්න එන්න එපා -අරකද, -මේකද කියලා.

මේ නීතිය නං කාන්තාවන් ගේ අයිතියක් අමු අමුවේ පැහැර ගැනීමක්. මොකා මොනවා කිව්වත් අපේ සමාජයේ පුරුෂාධිපත්‍යය පෙන්වන රෝග ලක්‍ෂණයක්.

වැඩිහිටි වයසට එළඹිලා නැති අයට මත්පැන්, සිගරට් විකුණන්නේ නැති කාරණය පැහැදිලියි. දහ අටට අඩු අය වැඩිහිටියෝ නෙමේ නේ. ඉතිං, මේ කාන්තාවන්ටත් ඒ තහනම දාලා තියෙන්නේ මොකද, ඒ ගොල්ලෝත් කිරි බොන බබ්බු ද?

මට හිතෙන විදියට, මේක සුද්ද ගේ කාලේ ඉඳලා ආපු නීතියක්. බටහිර රටවලත් ඔය වගේ අසාධාරණ නීති තිබිලා තියෙනවා විසිවන සියවසේ මැද හරියත් පන්නන කං. කාන්තාවන් ට සම අයිතිය ඉල්ලලා සටන් කරපු පුරෝගාමී කාන්තාවෝ සෑහෙන්න ෆයිට් එකක් දීලා තමයි ඒ අසාධාරණ පුරුෂෝත්තමවාදී නීති රීති අයින් කරවාගෙන තියෙන්නේ.

අපේ රටේ කාන්තාවන් මේ ගැන සම්තින් කළ යුතුයි නේද?

-කතන්දරකාරයා

ප/ලි
මේ පොස්ට් එකෙන් පරණ කතන්දර ලින්ක්ස් අඩුයි. හැබැයි ඉස්සරහට දාන්න ඉන්න කතන්දර කීපයක් ම මේ පෝස්ට් එකට සම්බන්ධ ඒවා.

ප/ප/ලි
අදම ලින්ක් කරන්න කතන්දරයක් දෙකක් මතක් වුණා!

මතකද, මහාචාර්ය ගුණරත්න ගේ අදහන්න වටින නෝනා ගේ අති විශේෂ කතන්දරේ?

ඔන්න මේ අවනීතිය නිසා වෙන අපරාධ!

(image: http://www.teacherplanet.com/resource/womensequity.php)

34 comments:

  1. ඒ මත්පැන් කතාව රටේ නීතියක් නම් වහාම ඉවත් කල යුතු එකක්, හැබැයි කාන්තා සංවිධානයක් වත් ඔය ඉල්ලීම කරන්න බයයි හිතා ගන්න පුලුවන්නෙ එහෙම එකක් ඉල්ලුවොත් වෙන දේ .

    ReplyDelete
  2. එළ කිරි..කාන්තා විමුක්තිය පිළිබද පිරිමින් කොයි තරං උනන්දුද..කොහේද සමහරු ඕවා තේරැං ගන්නේ නැහැනේ...

    ReplyDelete
  3. කතාවට 1000%ක් එකඟයි. හැබැයි ඉතින් ඔහොම නෝටිස් ගහල තිබ්බට වැඩේ කර ගන්නත් පුලුවන් - කවුන්ටරේට සල්ලි දීලා බඩු ගන්නවා, එතන ඉන්න අය්යා හරි මල්ලි හරි ඒ බඩු ගෙනිහින් තියනවා එලියෙ පාර්සල් කවුන්ටර් එකෙන්. ‍යන ගමන් ඒ ටික කලෙක්ට් කර ගන්න විතරයි තියෙන්නෙ..

    ඔය වැඩේට පොඩ්ඩ්ක් ශේප් තියරියත් ඕනෙ.. අත්දුටුවයි - නාවින්න ආර්පිකෝ!

    ReplyDelete
  4. මමත් ඔය නීතිය ගැන ගිය සතිය වෙනකම් දැනගෙන හිටියෙ නෑ. මගේ යෙහෙලියක් ඕක මට කිවුවම මම හිතුවෙ විහිලුවක් කියල.

    ReplyDelete
  5. මොකද කොල්ල මේ හදිස්සියේ . . . . . . ????

    ReplyDelete
  6. මහ පිස්සු නීතියක් අප්පා,කෙල්ලෝ පොඩ්ඩක් බීවම මොකද වෙන්නේ...මම නම් ඉතින් කොහොමත් බොන එකට මනාපයි නොවෑ...

    ReplyDelete
  7. අද තමයි ඒක දැනගත්ෙත....

    ReplyDelete
  8. කන්දා අයිති වාසිකම් වෙනුවෙන් ... ක:සු ඉදිරිපත් වෙයි....

    අපි කලු කොඩි ඔසවමු කාන්තාවන්ට හිමිතෑන ලාබාදෙමු..

    ReplyDelete
  9. යකෝ පුරුෂයන්ට තියන අයිතිවාසිකම් ගැන මොකෙක්වත් කතා කරන්නෙ නෑනෙ. නීතියෙන් පිහිට තියෙන්නෙත් කාන්තාවන්ට විතරයි. කොච්චර දේවල් තියනවද කාන්තාවන්ට පමණයි කියල බෝඩ් ගහපු. පිරිමින්ට පමණයි කියල බෝඩ් ගහපු එක තැනක් වත් තියනවද? අඩු ගානේ ටොයිලට් එකකවත්? තව කාන්තාවන්ට වෙනම බස් තියනවා, කෝච්චි පෙට්ටි තියනවත් දැකල තියනවා. කෙල්ලොන්ගේ වැඩ නිසා අසරණ වෙන කොල්ලො කොච්චර ඉන්නවද? කතා හසියද කොහෙද ඒවගේ කතාවක් දාලා තිබුනා මතකයි. ඒවගේ ඒව ගිහින් කියන්නේ කොහාටද? පොලීසියෙත් තියනවා කාන්තා මොකද්ද එකක්. කැත නැතුව තරාදිය ඒ පැත්තට බර දාලා වැඩේ වෙනවා. අනේ අපොයි. අසරණ පුරුෂයෝ. මේ ලෝකේ අයිතිවාසිකම් ඉල්ලන්න වෙලාතියෙන්නේ පුරුෂයන්ට තමයි දැන්. කාන්තාව ජෛවීයව හැඩ ගැහිච්ච විදිහක් තියනවා. ඒක පිළිගන්න බැරිව පිරිමි කරන්න යන දේ කරන්න යන නිසානේ මේ ඔක්කොම. තව ටික දවසකින් කාන්තා සංවිධාන අපිට අහවල් එක නෑ රජයෙන් නොමිලේ අහවල් එකක් කාන්තාවන්ට සැපයිය යුතුයි කිව්වත් පුදුම වෙන්න ඕන නෑ.

    ReplyDelete
  10. "සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවෙන වදන් සහිත ප්‍රතිචාර සහ වෙළඳ දැන්වීම් සහිත ප්‍රතිචාර පළ නොකෙරෙනු ඇත".
    WTF is this kasu???

    and සංගමය or සංසදය?

    ReplyDelete
  11. @තලෙස්ට්‍රෝ
    තෑන්ක්ස්. ඒක වුනේ ඉංගිරිසියෙන් මුලින් ලියා පස්සේ සිංහලට දාන්න ගිය නිසයි. Union = සංගමය.
    මේ දැන් නිවරද කළා.

    ReplyDelete
  12. එංගලන්තෙ M.C.C. "හෝම් ඔෆ් ක්‍රිකට්" කියන ග්‍රවුන්ඩ් එකේ Members ස්ටෑන්ඩ් කියන හරියට,සාමාජිකයන්ගේ නෝනලට දුවලට වත් ලඟක් වෙනකම් ඇතුල් වෙන්න අවසර දුන්නේ නැහැලු.

    ReplyDelete
  13. මෙහෙම නීතියක් තියෙනව කියල සාතන් දැනගෙන හිටියෙ නෑනෙ... මොකද ළගදි දවසක සාතන් යාළුවො එක්ක ලයිම් ජූස් බොද්දි එහා පැත්තෙ මේසෙ ඉදන් කෙල්ලො දෙන්නෙක් බෝතලයක් හිස් කලා ලස්සනට... තහනමක් තියෙන ගතියක් නම් පෙනුනෙ නෑ.... :D

    ReplyDelete
  14. මම නම් හිතන්නේ ඔය කාන්තාවන්ට මත්පැන් නොවිකුණන සුපිරි වෙළඳ සැල එහෙම කරන්න ඇත්තේ කාන්තාවගේම හොඳට . මොකද වැඩියෙන්ම ඔය සුපිරි වෙළඳසැල් වල කරක්ගහන්නේ කාන්තාවොනේ. ඉතිං ගෙදර මනුස්සයට කියන්න බැරිවෙනවනේ "අනේ ඔය ගමන් මට අරව බෝතලයකුත් ගේන්න" කියල

    ReplyDelete
  15. @All
    හොඳ කමෙන්ට්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. Thanks.

    මං මේකේ දෙවෙනි කොටසත් ලියලා තියෙන්නේ. බදාදා ට බලන්නකෝ.

    ReplyDelete
  16. සහතික ඇත්ත අයියේ කතාව. අපේ කාන්තාවන් දැම්මම පාරට බහින්න ඕනේ තමන්ටත් පිරිමින්ට වගේම මත්පැන් මිලදී ගැනීමේ අයිතිය ලබාදෙන්න කියලා! ;)

    ආ තව දෙයක්. 18 පැන්නට සිගරට් මත්පැන් මිලදී ගන්න බෑ. ඒකට 21 පනින්න ඕනේ. 18 පැනපු වෙලේ ඉඳන් අපි ඇඟිලි ගැන ගැන හිටියේ 21 පනිනකම් :D

    ReplyDelete
  17. Gahanu udaviya mathpan bawitha kirima sampoornayenma waradi wadak ayee kanthawan nemai pirimin eya kalath sampoornayen waradi...
    Sinhala Bauddha prathipaththi waleta anukulawa goda nagunu samaja sanskruthiyak athi lankawe thula mewani thahanam kirim 10000% hondai. Mokada utharithara mau padawiyata path wanneth gahanu udawiya thamai. Me akaren pirihichcha asanware lesa gahanu udaviya hasirenna giyoth eka jathiyema abaggaya.
    Kisiwiteka kanathawanta sama thana himi wiya uthu naaa namuth nisi thana labiya uthui.
    Sadacharamath deya pathurawanne puluwan widiya deyak gane liyanawanama thama honde....

    ReplyDelete
  18. අනේ මන්දා අයියටත් තියෙන්න මාර ප්‍රශ්න

    ReplyDelete
  19. ගෑනු කියන්නේ නං බබ්බු නෙමේ, ඒ වුනාට ඒ ගොල්ලෝ බබ්බු බලාගන්න හරි දක්ෂය්. Mrs Observer නං ඒ කාලෙ ඉඳලම කියන්නෙ, ලමය් තුන් දෙනෙක් ගේ වැඩ එයාට,ලොකු බබා බලා ගන්න තමය් අමාරුම කියල.

    ReplyDelete
  20. බටහිර රටවල කාන්තා නිදහස ගැන කියද්දි මට මතක් උනේ පැරා විසින් ඉතිහාස සඟරාවට පරිවර්තනය කරපු 'මායිනී දඩයම' පිළිබඳ ඉතා රසවත් ලිපියක් වූ 'යටත්විජිතකරණය හා ගෘහනීකරණය' ලිපිය. ඒකෙ ලින්ක් එක දැම්මට කමක් නෑ මං හිතන්නෙ. එතනින් ලිපියෙ කොටස් කීපයම හොයාගන්න ප්‍රළුවන් වෙයි.
    යටත්විජිතකරණය හා ගෘහනීකරණය

    (මොකද දැන් 'චරියා' මැක්කා වේගෙන යනවද?)

    ReplyDelete
  21. දැන් දැන් කාංචනට මෙච්චර තදවෙන්නෙ ඇයි?

    ReplyDelete
  22. බස් එකේදී මගේම කකුල පාගලා මටම බැනපු කාන්තාවක් නිසා . කාන්තා අයිතිවාසිකම් ගැන මතක් කරද්දී මට හිනා යනවා ...

    එල කිරි ...

    ReplyDelete
  23. @All
    සියළු දෙනාටම ස්තුතියි.

    කාංචන දිනුක කියල තියෙන කතාව අමූලික ඇත්ත.

    අපි පිරිමි කාන්තා අයිතීන් ගැණ කතා කළා ට කාන්තාවෝ එන්නේ නෑ, අපේ අයිතීන් නැතිවෙන කොට, ඒ ගැන කතාකරන්න.

    අද (පෙබරවාරි 23 බදාදා) මං දාන්නේ ඒ ගැන කතන්දරයක්. ඇත්තටම කියනව නං, කතන්දරයක් නෙමේ ප්‍රලාපයක්.

    සරම් අස්සේ ජොක්කු - බදාදා උදේ හයට බලාපොරොත්තු වෙන්න!

    ReplyDelete
  24. ආරච්චි රාළහාමි ගෙ කතාව නම් 100% හරි,ඔය සුරාව බොන එක කාටත් හොද නැ,එකෙ අයෙ ගැහනු පිරිමි බෙදයක් නැ,දැන් ඔය කවුරු කවුරුත් බොන අය ඔය මත් රකුසගෙන් ගැලවුනොත් හොදයි,ඔය ජරාව ගන්ඩ අපෙ කාන්තාවන්ට බැරි එකමයි හොද අයුබොවන්ඩ,අපෙ රටින් මත් රකුසාව පන්නන්ඩ ඔනෙ,නැතුව අපෙ රටෙ තව පක්ශෙකට ඔක පුරුදු කිරිම නොවේයි අයුබොවන්ඩ

    ReplyDelete
  25. @charmi..
    අර පිළිහුඩුවට බයවුන කෙනාගෙන් කණට කරලා ෂේප් එකේ අහගන්න. එයා දන්නවා හේතුව. :D :D

    ReplyDelete
  26. ලන්කාවෙ එක එක බාර් වලට තියෙන නීති විවිදයි. මම ඕක දන්නෙ මගෙ යාලුවෙක් ඉන්නව බාර් එකක් කරන, තව තැනක් තියෙනවා ඒක ඕපන් කරන්න තියෙන්නෙ උදේ 0700 ට වහන්න තියෙන්නෙ 2100 ට ඔන්න නීතී.

    ReplyDelete
  27. ඒ මදිවට, අම්මා ලංකාවේ වුණු පළියට ළමයින් ට ලාංකීය පුරවැසිභාවය ලැබෙන්නේ නැතිලු.
    “මේක සම්පූර්ණයෙන්ම වැරදි කථාවක්. දෙමව්පියන්ගෙන් කවරෙකු හෝ දරුවා උපදින අවස්ථාවේදී ශ්රීහ ලාංකිකයෙකු නම් එම දරුවා හටද ශ්රීක ලංකා පුරවැසිභාවය සදහා අයදුම් කිරීමට අයිතිවාසිකමක් ඇත. එය ශ්රීි ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශය මගින් හෝ විදේශයක පිහිටි ශ්රීා ලංකා තානාපති කාර්යාලයක් මගින්, නියමිත ලියකියවිලි සහ අයදුම්පත් ඉදිරිපත් කිරීම මගින් විදේශයක ශ්රීක ලාංකික දෙමව්පියනට දාව උපදින දරුවන් සදහා ශ්රීත ලාංකික පුරවැසි භාවය සදහා අයදුම්කල හැක. වැඩිවිස්තර සදහා www.immigration.gov.lk”

    ReplyDelete
  28. @yalu
    ස්තුතියි. මගේ වාක්‍යයේ "ලු" කියා දැම්මේ, මං හරියට දන්නේ නැති නිසයි.

    මං අහපු කතාවේ අම්මා පිට රට ගිහින් බැඳපු මිනිහගෙන් දික්කසාද වෙලා හෝ පැනලා හෝ ළමයි එක්ක ඇවිත් තියෙන්නේ 90 දශකයේ මුල හරියේ ළමයි අවුරුදු 10, 12 කාලේ. සෑහෙන කාලයක් වීසා පිට ඉඳලා තියෙනවා.

    ඔයා කියන විදියට උප්පැන්න ගන්න විවිධ කොන්දේසි තියෙනවා - අංක 7 බලන්න.

    ReplyDelete
  29. එළ එළ අපි කාන්තාව්ට සම අයිතිය දෙන්න ඔන හැබැයි ඉතිං ඊට පස්සේ කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ තියෙයි.:D

    ReplyDelete
  30. මේක හුඟක් කල් ගිය බ්ලොග් එකක්. නමුත් මට හිතෙනවා මගේ හිතේ තියෙනෙ දේ ලියන්න.

    රොබර්ට් ක්නොක්ස් ගේ පොත කිව් කෙනෙකුට පෙනෙයි. දැනට පරම්පරා විස්සකට පමණ ඉස්සර ලංකාවේ ගැහැනුන්ට පිරිමින්ට වඩා අයිතිවාසිකම් තිබුන වග. මම හිතන්නේ ගැහැණුන්ගේ අයිතිවාසිකම් යට වුනේ අපි සුද්දන් විසින් අපිව 'සීලාචාර' civilize කරාට පසුවයි කියා. සුද්දාට පස්සෙත් 1930ස් ගණන්වලදී අපි ගැහැණු-පිරිමි සමානාත්මව ඡන්ද බලය ලබා ගත්තේ. ඒ වකවානුවේ ඉංග්‍රීසි ගැහැනුන් ඡන්ද බලය ගත්තේ යුද්ධයට තමනුත් උදව් කලා කියා ඔප්පු කළ නිසායි.

    මේක මධ්‍යම කාලීන ඉංග්‍ර්රිසි නිසා තේරුම්ගන්න ටිකක් වෙලා යයි ඉව්සීමෙන් කියවන්න:


    Robert Knox (1681)
    In this Countrey each Man, even the greatest, hath but one Wife; but a Woman often has two Husbands. For it is lawful and common with them for two Brothers to keep house together with one Wife, and the Children do acknowledge and call both fathers.

    As it is usual to punish Men for faults committed by Imprisonment and Chains, or by making them stand with a weight on their Backs, until they do pay such a Sum of Money as is demanded: which for ordinary faults may be five or ten Shillings. So the Punishment which is inflicted upon Women, is to make them stand with a Basket of Sand upon their Heads, so long as they shall think fitting, who appoint the Punishment. Punishment by stripes is never used either to Men or Women, but only to those on whom the King Commands them to be laid.

    Privileges of Women. Lands of Inheritance which belong to Women are exempted from paying Harriots to the King. Women pay no Custom for things they carry to the Sea-Ports. Neither is any Custom paid for what is carried upon any Female Cattel, Cow or Buffalo.

    ReplyDelete
  31. මම නම් හිතන්නෙ...........මේ කතාවෙන් ඔය කාන්තාවට සම තැන ඉල්ලන උදවියට යටින් හොඳ පහරක් එල්ල වෙනව......මොකද ඔය සම තත්වෙ හැම තැනටම ගැලපෙන්නෙ නැ...

    ReplyDelete
  32. පිරිමි උබලත් අයිතිවාසිකම් නොඉල්ලා ඇයි කොටුවේ හිරවෙන්නේ? උබලා හැමදාම අඳින්නෙ එකම ඇඳුම-කලිසම. උබලත් සායවල් , ගවුම්, ස්කින්, සාරි ගහපල්ලා. හයි හීල්ස් දාපල්ලා, මේකප් දාපල්ලා, කරාබු දාපල්ලා, ඇයි බයද? පිස්සු බැල්ලියො වගෙ වැඩ කරන්න ගෑනුන්ට අයිතිවාසිකම් අරන්දෙන්න කතා කරන්නේ...! .කොල්ලෙක් කොන්ඩය වැව්වොත් , ස්ට්යිල් වුනොත් පොන්නයෙක් කියල කියන්නෙ ඇයි.? උබලම නේද කොල්ලන්ව කොටුවෙ හිර කරන්නෙ? තව ගෑනු අයිතිවාසිකම් ගැන කතා කරනවා. බලපන් කොල්ලො පාරෙ යනකොට වැද්දො වගෙ.. ඇයි ඒ? . උන්ට ලස්සන වෙන්නවත් බැරිද? කාටද අයිතිවාසිකම් නැත්තෙ කියල හෙමිහිට 2ක් දාල කල්පනා කරල බලපන්. නැත්නම් උබලගෙ අම්මලා , නන්ගිලා, අක්කලා කොල්ලො වගෙ ඇන්දගෙන යනකොට හූ කියපල්ලා? තමන් වැරදි කර කර කොල්ලො හදන්න එන හින්දා.කොල්ලෙක් වෙනස් වුනොත් කෙල්ලෙක් මොකක්ද කියන්නෙ? වලත්තයා, රස්තියාදුකාරය කියලා. ඇයි මේ කොල්ලන්ට කොටු කොටු?

    ReplyDelete
  33. pirimi kiyanne thaman gena nohithana gaanunta aathal deela kanna bonna deela daha duk widina moda harak jaathiyakda? koi gaanida salli nathi minihek marry karala kanna adinna denne? salli nathi gaanunta love karala kollo ona tharam kellonta jeevithaya denawa.....

    ReplyDelete
  34. කාන්තාවන් ගැන කතා කරන්න කාන්තාවක් විය යුතුම නැහැ. මේ ලිපියට වඩා ප්‍රතිචාර කියවන කොට කාන්තාව සම්බන්ධයෙන් ලංකාවේ බහුතර මතය හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් පීඩාවට පත්වෙන පාර්ශවයක් වෙනුවෙන් කතා කරන්න ඒ පාර්ශවයේ කෙනෙක් වෙන්නම ඕනෙ නැහැ. ඒක කාන්තාවන්ට විතරක් නෙමෙයි, සුළු ජාතීන්, සමලිංගිකයන්, ගණිකාවන් මේ ඕන කෙනෙකු වෙනුවෙන් කරන්න පුළුවන්. එහෙම බලන කොට මේ ලිපිය යම් සාධාරණයක් ඉටු කර තිබෙන බව මගේ හැඟීමයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.