Thursday, 8 May 2014

කලකට පස්සෙමි, වෙළකට බැස්සෙමි - Long time no see!


කතන්දර 1,000 ක් ලියපු මහන්සියේ හති අරින්න සතියක නිවාඩුවක් ගන්න කියලා ප්ලෑන් කළාට අන්තිමේදී ඒක සති හතරක් විතර දිගට ඇදුණා ටිකෙන් ටික.

ඔය අතරේ බ්ලොග් අවකාශයේ වලි ගැන එකෝම එක කතන්දරයක් ලියා පල කරන්න ඉඩ ලැබුණත්, අනිත් මුළු කාලයම ගත වුනේ ලිවීමේ කටයුතුවලින් මුළුමණින්ම බැහැර වෙලයි.

ඒ අතරේ ඉඳලා හිටලා දවසක, දුවන ගමන්ම ෆෝන් එකෙන් ලොග් වෙලා බ්ලොග් තුනක් හතරක් කියෝලා කමෙන්ටුවක් දෙකක් දාගත්තා. එච්චරයි.

ආපහු කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑය කියලා දැන් දවස් දෙකකට විතර කලින් දිනය හිතුවාට කලින් තිබුණු උණ ටිකක් බැහැලා බැහැලා වගේ ගතියකුත් මට දැනුණා.

මං හිතන්නේ ඒක නම් හොඳ ප්‍රවණතාවයක්!

කතන්දර බ්ලොගයේ කොල නිවාඩුව කාලේ බ්ලොග්වලට අදාලව සිදුවුණු එකම සිදුවීම තමයි "සයිබර් අවුරුදු උත්සවය" ට සහභාගී වීම.

නිවාඩුවෙන් පස්සේ මුලින්ම ලියන මේ කතන්දරේ ඒ ගැන වචනයක් දෙකක් ලියන්න ඕනැයි කියලා හිතුණා.

අවුරුද්දට නෑ ගමන් යන්න තිබුණු හින්දා මං එදා උත්සවයට ආවේ තරමක් අපහසුතා මැදය කියලා කීවොත් එය නිවරදියි.

කලින්දා රාත්‍රියේ මංතුමා හිටියේ මාතර පැත්තේ අපේ නෑදෑයෙකු ගේ අහයි.

මාතර තිබුණු රස්නේ කොච්චරද කියනවා නම් එදා මං හතර පාරක් ම නෑවා. හැබැයි ඉතිං කොළඹ ආවා කියලා වැඩි වෙනසක් වුනේ නෑ. පහුවදා තුන් පාරක්ම නාන්න වුණා!

ඉරිදා උදේම නාකියා ගෙන ඇඳ පැළැද ගෙන අංකල්ට කියලා මාව මාතර බස් නැවතුමට ඇරළවා ගත්තා. එතැනින් නැග්ගා කෙලින්ම මහරගම යන බස් එකකට. දක්‍ෂිණ (සල්ලි ගන්න - Toll Road) මාර්ගයේ උපරිම වේගය පැ.කි. 100 වුණාට බස් නං යන්නේ 90 ටත් අඩුවෙන් කියලයි මගේ ස්ටොප් වොච් එක නං පෙන්නුම් කළේ.

පන්නිපිටියෙන් බැහැලා, කෙටි පාරකින් ගෙදර ගිහින් ඊලඟට කෙරුවේ, තට්ටේ ගාලා, රැවුල ට්‍රිම් කරළා, දවසේ දෙවෙනි පාරට නාපු එකයි. ඊලඟට පොත් දාපු බෑග් එකක් ඇදගෙන බත්තරමුල්ලේ යන්න පිටත් වුණා.

අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන්න නොලැබුණත්, ඒ ගත කරපු පැය කිහිපය ඉතා ප්‍රයෝජනවත් එකක් වුණා. ඒ කලින් එහෙන් මෙහෙන් විතරක් දැනගෙන හිටිය සෑහෙන පිරිසක් මුණ ගැහිලා හඳුණා ගන්න ලැබීම නිසයි.

අතත්‍ය සයිබර් ලෝකයේ තියෙන සබඳකම්, ඒ ආකාරයට සැබෑ ලෝකයට අරගෙන ඒම එක්තරා ආකාරයක විරෝධෝක්තියක් (oxymoron) වුණත්, ඒක එච්චර වැදගත් කාරණක් නොවෙයි. කොහොමටත් මේක අර 2009, 2010 වසරවල තිබුණු බ්ලොග්කාරයින් ගේ බ්ලොග් පිළිබඳ කතාවෙන හමුවකට වඩා, බ්ලොග්කාරයින් ගේ සෝෂල් ඉවෙනට් එකක් විදියටයි නේ සංවිධානය වෙලා තිබුණේ!

මේ ආකාරයෙන් එකිනෙකා අඳුණා ගැනීමට ලොකු භාදාවක් වුණේ බොහෝ දෙනා තමන් කලින් දන්නා කියන අය සමග එකතු වෙලා කතා බහේ නිරතව සිටීමයි.

මං නං කලේ පිට්ටනිය වටේම ගිහිල්ලා එක්කෝ කෙලින්ම මාව අඳුන්වලා දීලා, නැතිනම් මගේ කාඩ් එකක් දීලා කතා කරපු එකයි. නමුත් මං හිතන්නේ නෑ සමහර අය ඒ විදියට ප්‍රොඇක්ටිව් වුණා කියලා.

අර සම්මන්ත්‍රණවලදී කරනවා වගේ හැමෝම තම තමන්ගේ නම් ලියපු කාඩ් එකක් එල්ලා ගෙන හිටියා නම් වැඩේ මීටත් වඩා ලේසි වෙන්න තිබුණා! මේක මං ගිය අවුරුද්දෙත් තැනක ලිව්වා මතකයි.

තරගවලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ නැතිවුණත්, තරගවලින් දිනපු අයට තෑගි බෙදා දෙන්නත්, එක තරගයක් විතරක් විනිශ්චය කරන්නත් මට ඉඩ ලැබුණා.

ඒ සමගම මා ලඟ තිබුණු පොත් දෙකක පිටපත් කීපයකුත් හමුවුණු අය අතරේ බෙදලා දෙන්නත් මට හැකි වුණා.

කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මං පහමාරට විතර එතැණින් ගියේ ජන ගායනා තරගය පැවැත්වෙන අතරතුරදීයි.

මං එතැන දිගටම ඉන්න පුළුවන් වුණා නම් මගේ නූතන ජන කවි ගායනා කරන්න තිබුණා නේද කියලා පාරේ දී මට හිතුණා.

දැන් වචන 500 ක් විතර ඉබේම වගේ ලියවිලා!

ඒ කියන්නේ මට අර කූප්‍රකට රයිටර්ස් බ්ලොක් එක සෙට්වෙලා නෑ වගේ. එහෙම නම්, හෙට ඉඳලා ලියන්නම් ආයෙත් කතන්දර!

-කතන්දරකාරයා

ප/ලි:
මාතෘකාවේ ඇති ව්‍යාකරණ දෝෂයට මට්ටම් පොලු නොදමා ඔහේ තියෙන්නට අරිමි!

(image: )