Monday 2 July 2012

සිංහල බ්ලොග් ලිවීම ගැන "අපි නොදන්නා ඇනෝ" ගේ මතය - Why blog? (by Anonymous)


චාමී ලියන රියර් ගේට් නොහොත් "පස්සා දොර" බ්ලොගය දන්නවා නේද? මේ ගැන මං ලිපියක් පල කලා දැන් අවුරුදු දෙකකට විතර කලින්.

පහුගිය දවසක චාමීට හදිසියේම මතක් වෙලා තමන් ගේ බ්ලොග් එකට අවුරුදු දෙකක් පිරිලා නේද කියලා. පොර ඒ ගැන ලියූ ලිපියට ප්‍රතිචාරයක් ලෙස "අපි නොදන්න ඇනෝ" කෙනෙක් සිංහල බ්ලොග් ලිවීම ගැන අදහස් දක්වලා තිබුණා.

ඒ අදහස් නැවතත් මෙතන දාලා ආපහු අවුස්සලා ගන්නයි මං මේ උත්සාහ කරන්නේ.

මෙන්න "අපි නොදන්න ඇනෝ" ගේ අදහස් ඒ ආකාරයෙන් ම.
       
බ්ලොග් කලාව ගැන ඔබේත් පොදුවේ බොහෝ දෙනකුගේත් ඇති දුර්මත කිහිපයක් පමණක් නිෂේධනයට සිතීමි.

1. බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. උදාහරණයක් හැටියට අධ්‍යාපනය, ආර්ථිකය හා ලිංගික ජීවතය යන තුනින්ම තත්‍ය ලෝකයේදී සාර්ථකත්වයක් නොලැබූ කොම්පැණියක සුළු සේවකයෙක් සලකන්න. මේ පුද්ගලයාට පොරක් විය හැක්කේ අතත්‍ය අවකාශයේදී පමණෙකි. ඔහු එතැන "පොරක්" වී අහිංසක ලෙස තම අවශ්‍යතාව සපුරා ගනී. කුමක් හෝ වහන්තරාවක් අකුරු කොට මැට්ටියන් "මං එක" කියා කමෙන්ට් දමන්නට පොරකනු බලා ස්වයං වින්දනයක් ලබයි. ඒ හැරුණු විට මහා ලොකු දෙයක් එතැන නැත.

2. අප කැමැති වුවද නැතද, අනෙකුත් ජන මාධ්‍ය වලට සාපේක්ෂව බ්ලොග් වලට ඇත්තේ අවම පාඨක පිරිසකි. එයින්ද හතරින් තුනක් වත් තමන්ද මොකක් හෝ බ්ලොග්කටුවක් ලියා ඊට හිට්ස් බලාපොරොත්තුවෙන් ඉන්නා පිරිසකි. එබැවින් ඔබේ සාර්ථකත්වය ඔබ ලබන හිට්ස් හෝ කමෙන්ට් ගණනින් නොමනින්න. සාර්ථක කමෙන්ට් ලබන/ලැබූ බ්ලොග් ගණන ඇඟිලි ගණනටත් වඩා අඩුය.

3. බ්ලොග් ලිවීමේදී ඔබට රැවුළත් කැඳත් දෙකම බේරා ගැනීමට අවශ්‍ය නම් (කතන්දර මෙන් - ඔහුද සියයට සියයක් සාර්ථක නැත.) ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා පමණක් ලියා සෑහීමකට පත්වන්න. ඒ හැරුණු විට ඇත්තක් ලිවීමේදී අනිවාර්යයෙන්ම යම් පිරිසකගේ සිත රිදේ. ජ්‍යොතිෂය මිථ්‍යාවකි. එහෙත් ඒ ප්‍රකාශය අනිවාර්යයෙන්ම ඒ මිථ්‍යාව බඩ-රස්සාව කර ගෙන ඉන්නා පිරිසගේ සිත් රිදවයි. ඉන්පසු ඔවුහු සරම් උස්සාගෙන ඇති. මේ නිසා එකක් තෝරා ගන්න. එක්කෝ විපාක ගැන නොසිතා ඇත්ත ලියන්න. නැතිනම් සුන්දර කතා ලියා ජනප්‍රිය වන්න. ඔය මාර්ග දෙකේම ගියෝ වෙති.

4. වෙනත් බොහෝ දේ සේම බ්ලොග් ලිවීමද ආර්ථික වාසි ලබන මාර්ගයක් කර ගත්තෝ වෙති. "අපි පොඩිකාලෙ හිටියෙ මෙහෙමයි; බස් හෝල්ට් වලත් නිදා ගත්තා" වැනි සූක්ෂ්ම ලෙස අනුන්ගේ අනුකම්පාව දිනා ගන්නා කතා ලියූ විට අව්‍යාජව කඳුළු උණන පිරිසක් මොවුන්ට මුදල්, විස්කි බෝතල්, කැමරා, ඉලෙක්ට්‍රොනික් ආම්පන්න තෑගි දෙති. (ගලා යන දොළින් දිය දෝතක් ගත්තත් මදෑ!) මෑතකදී අප අතරින් වියෝ වූ "ඔබා මාමා" මෙසේ අනුන්ගේ දුකේදී හිත උණු වූ පුද්ගලයෙකි. නමුත් තමා ඇඳෙගෙන සිටි ඇන්දීම ඔහු මියෙන තුරා දැන නොසිටියේය. ඒ බ්ලොග් කලාවේ ස්වරූපයයි.

5. අවසාන වශයෙන්, ඔවුන් ලියන කියන දේ කවරක් වුවද බ්ලොග් අවකාශය යනු සුපිරිසිදු මිනිසුන් ගැහැණුන් වෙසෙන තැනක් නොවේ. එහි ඇත්තේද සමාජයේ පැති කඩක්ම පමණෙකි. එබැවින් සමාජයේ ඇති සියළු දුර්ගුණ බ්ලොග් අවකාශයේද වෙයි. අද ටැබූ නැතැයි කියමින් විස්සෝප වන පිරිස විශාලය. එහෙත් ටැබූ ඉන්නා කාලයේ ඔහුට පහර ගසමින් ලියැවුණු බ්ලොග් පෝස්ට් සංඛ්‍යාව ගැන කිසිවකු කතාවක් වත් නැත.

අන්න එහෙමයි ඇනෝ ගේ අදහස් ගොන්න.

මේ හැම කාරණයක් ගැනම මට සුවිශේෂී මතයක් නැති වුණත් මගේ සූටි සුපියල් පහේ වටිනාකම මෙතන කොටලා දාන්න හිතුණා.

ඒ සඳහා භාෂා විලාසය මෙතැන් සිට වෙනස් කරමි.
       
1. මගේ අදහසට අනුව බ්ලොග් ලිවීම වනාහී විනෝදාංශයකි. හොබියකි. කොටි වල්ගයකි. නමුත් හොඳ කොටියෙකු ගේ ය.

බ්ලොග් ලිවීම ඇඩික්ටිව්ය. එදිනෙදා ජීවිතයෙන් සෑහෙන කාලයක් මේ සඳහා ගතවේ. එනිසා ලිවීම නතර කිරීම ලේසි නැත. විත්ඩ්‍රෝවල් සිම්ප්ටම්ස් ඇතිවෙනු ඇත.

නතර කළ අයට පවා පසුව විවිධ වේශයෙන් ලිවීමට සිතෙනු ඇත. කමෙන්ට් කිරීමට සිතෙනු ඇත.

පොරක් වීම යනුවෙන් "අපි නොදන්න ඇනෝ" අදහස් කරන්නේ ආත්ම තෘප්තිය නම්, ඒ ගැන මගේ විවාදයක් නැත. බ්ලොග් ලියන්නෝ ද, ලියන්නියෝ ද සැවොම මා සමග එකඟ වෙනු ඇතැයි සිතමි.


2. බ්ලොග්වලට කමෙන්ට් දමන අති බහුතරය බ්ලොග් ලියන අය බවට විවාදයක් නැත. ඒත් ලිපි නොලියන නමුත් කියවන අය ද බොහෝය. නවකතා පොත් මිලට ගෙන හෝ පුස්තකාලයෙන් හෝ මිතුරන්ගෙන් ඉල්ලා ගෙන කියවන්නේ වෙනත් නවකතාකරුවෝ පමණක් ද?

පුද්ගලිකව මා දන්නා මගේ මිතුරන් හා ඥාතීන් මගේ බ්ලොගය කියවති. ඒ හරහා ගොස් වෙනත් බ්ලොග් ද කියවති. නමුත් කමෙන්ට් නොකරති.


3. බ්ලොග්කරුවන් ලිවිය යුත්තේ තමන්ට කැමති දේය. ජනප්‍රියතාවය හිතා නොවේ.

මා හැමවිටම ලියූයේ මා කැමති දේය. "අපි නොදන්න ඇනෝ" මා ලියා ඇත්තේ "ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා" යැයි ඉඟි කරයි.

මෙය පාඨකයා නොමග යැවීමක් බව අමුතුවෙන් කියන්නට ඇවැසි නොවේ. අවශ්‍ය කෙනෙකුට මා ලියා ඇති මුලු කතන්දර ප්‍රමාණය වන 650 අතරින් කීයක් ඉහත ආකාරයේ "ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා" දැයි ගනං කර බැලිය හැක. එය කුඩා ප්‍රතිශතයක් පමණක් බව අදරුති "අපි නොදන්න ඇනෝ" ට මම පවසමි.


4. බ්ලොග් කියවන අය රවටා වාසි ලබාගත් බ්ලොග්කරුවන් ගැන "අපි නොදන්න ඇනෝ" මේ පවසන දේ එලෙස ඇන්දවීමට ලක්වූවායැයි පවසන අයට අපහාසයක් යැයි මම සිතමි. වෙනත් කිව යුතු දෙයක් මට නැත.


5. බ්ලොග් අවකාශය අපේ සමාජයේම පැතිකඩක් බව මම ද පිළිගනිමි. ඇත්ත වශයෙන්ම මා එය පැවසූයේ බස් රේඩියෝ කතා බහ තුලින් දැන් සෑහෙන කාලයකට කලිනි.

"අපි නොදන්න ඇනෝ" ගේ මේ පස්වෙනි කමෙන්ටුවේ ටැබූ ගැන කියවෙන අදහසේ ඇති පොඩි වරදක් ඇත. ටැබූ කිසිදා තමන් වෙනුවෙන් කතාකරන්නට, සටන්කරන්නට පිරිසක් තනන්නට සැදූ කෙනෙක් නොවේ. ටැබූ එලෙස අන් අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වූවා යැයි කීම ටැබූට කරන අපහාසයකි.

මගේ වැටහීමේ හැටියට බොහෝ දෙනා ටැබූ ගැන තවමත් ඇති ප්‍රසාදයට එක හේතුවක් මෙහි සඳහන් පහර ගසන්නන් මැද දිස්වූ ටැබූ ගේ නිර්භීත භූමිකාවමය.

මගේ අදහස් එසේය. "අපි නොදන්න ඇනෝ" - ඔබට ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කැමති නම් පමණක් අදහස් දක්වන්න. ප්‍රතිචාරවලට ප්‍රති පිළිතුරු දීමට මට මේ සතියේ විවේකයක් ලැබෙන්නේ නැත.


(image: http://www.zazzle.com.au/sexting+buttons)

86 comments:

  1. Mama eka

    කුමක් හෝ වහන්තරාවක් අකුරු කොට මැට්ටියන් "මං එක" කියා කමෙන්ට් දමන්නට පොරකනු බලා ස්වයං වින්දනයක් ලබයි. ඒ හැරුණු විට මහා ලොකු දෙයක් එතැන නැත.

    ReplyDelete
    Replies
    1. එතකොට මම?? එකයි දශම එක :)))))

      Delete
  2. මම දෙක. එයිනුත් කිසියම් සියුම් හා අහිංසක වින්දනයක් ලැබිය හැක. :)

    ReplyDelete
    Replies
    1. දැන් මෙතන කවුද කියන්නෙ මට තුන වෙන්න බෑ කියලා...

      Delete
    2. අපෝ පුළුවන්, මේ මම හතර වෙච්ච වගේ.

      Delete
  3. //බ්ලොග් ලියන්නෝ ද, ලියන්නියෝ ද සැවොම මා සමග එකඟ වෙනු ඇතැයි සිතමි.//

    බ්ලොග් ලියන්නන් හා ලියන්නියන් මා හා එක්වෙනු ඇතැයි සිතමි.

    සිතුවිල්ල නම් හරි. ව්‍යාකරණ වැරදියි කතන්දර. අපොයි අපේ සර් දැක්කොත් එහෙම. :)

    ReplyDelete
    Replies
    1. //මා හා එක්වෙනු// ????

      Delete
    2. ඔබ හා එක්වෙන්ට ??? :D:D:D

      Delete
    3. පොඩ්ඩීගේ වල් හිත මතුවී ඇත.

      Delete
    4. පොඩ්ඩිටත් තියෙන හදිස්සියක්......!!!!

      //...මා හා එක්වෙනු ඇතැයි සිතමි.//

      මා හා එකඟවනු ඇතැයි සිතමි.

      සර් දැක්කොත් අවුල කකා ටද? පොඩ්ඩිට ද ?

      Delete
    5. ඉතිං, ඔය එෆ්.එම්. චැනල්වල කුරුල්ලො ඒවට සිංදු ඉල්ලන්න කතා කරන හැම කෙල්ලගෙන්ම අහන්නෙ, “දැන් කවුද මේ මාත් එක්ක එකතු වෙන්නෙ“ කියල. උන්නම් ඇත්තටම කතාකරන්නෙ ෆොන් එකෙන් හැමිනෙන්න, ගෙවල්වල වැඩ නැති ගොන් කෙල්ලො අතින් ෆෝන් බිල් ගෙවන් උන් එක්ක හැමිනෙනව.

      Delete
  4. මේ හරියට කෙලින් ඉදන් කතා කරන අදහස් ටිකක් නම් ඇයි ඇනෝ කමෙන්ට් එකක් දැම්මේ.අහිංසක ලෙස් බ්ලොගයක් ලීවාම හිතූ පැතූ සම්පත් ලැබෙනවානම් හැමදාමත් බ්ලොග් ලියමි.

    ReplyDelete
  5. බලාන ගියාම බ්ලොග්වල නීර්භීතම කමෙන්ට්ස් දාන්නෙ ඇනෝලනේ. ඇනෝගෙ කමෙන්ට් මෙහෙම නම් ‘ඇනෝ බ්ලොග් එකක්‘ ලිව්ව නම් කොහොමට තියෙයි ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් ආතල් බොගට කෙලවූ එකාට සාප වේවා!!!!

      Delete
  6. අනෙකුත් ජන මාධ්‍ය වලට සාපේක්ෂව බ්ලොග් වලට ඇත්තේ අවම පාඨක පිරිසකි. //
    සිංහල බ්ලොග් වල නම් පාඨක පිරිස අඩු ඇති, නමුත් කඩ්ඩෙන් කරන බ්ලොග් ලෝකෙම බලනව.

    3. බ්ලොග්කරුවන් ලිවිය යුත්තේ තමන්ට කැමති දේය. ජනප්‍රියතාවය හිතා නොවේ. // කැමති දේ ලීවට, හිත යටින් ජනප්‍රියතාවයත් හොයනව නේද

    ReplyDelete
    Replies
    1. ජනප්‍රියතාවය යනු බොහෝ දෙනෙක් කැමති දේ නම්, මගේ අදහස එය නොවේ. මට කැමති දේ මං කැමති ආකාරයට ලිවීමයි.

      Delete
  7. එම්බා කතන්දර ගෙම්බ , තා කමෙන්ටු වලට පිළිතුරු දීම පමා කරන්න කවර නම් භීතියකටද ?

    ReplyDelete
    Replies
    1. මේකට මම උත්තරයක් දුන්නොත් මොනවා වේවිද?

      Delete
    2. මා බලා සිටින්නේ කුමාරියක් ඇවිත් මට උම්බා එකක් දෙනතුරුයි.

      Delete
  8. එකඟයි...

    ReplyDelete
  9. ඇනකොන්ඩත් ලගදිම එනවා. වෙනස් කතාබහක්, නොදකින නොසිතන පැති ගොඩක් එක්ක..

    බලන්න ඒ වෙනස..

    ReplyDelete
    Replies
    1. එලකිරි විතවුට් ඇල් ජලය... ලියපං උඹ බය නැතුව... මේ මං වගේ කොමෙන්ට් විතරක් දදා ඉන්නෙ නැතුව...

      Delete
    2. ලගදිම හම්බවෙමු...

      Delete
  10. කියපු ටිකට එකඟයි. ඒ ගැන ඇති. කකා මතුකරන විදියට නං මේ "අපි නොදන්න ඇනෝ", කකා දන්න ඇනෝ කෙනෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. කකාත් දන්නවා, උඹත් දන්නවා, මාත් දන්නවා, ඌත් දන්නවා, අවුරුදු දෙකකට ඉස්සෙල්ල ඉඳන් මේ මගුල් කියවන හැම එකාමත් දන්නවා. ඌ ඔහේ ගියාවේ..ඉන්ඩ ඇරපන් කිචිකවන්නෙ නැතුව.

      Delete
    2. //උඹත් දන්නවා//
      මම නං ගාවගන්න එපා. මම දන්නෑ. අම්මාපල්ල!

      Delete
    3. :D හයියෝ රාජ්... ඔච්චර බැරෑරුම් දිව්රුම් මොකටද මේ හුලංකීරිය දේවල් වලට......... :)

      Delete
  11. එක එක්කෙනා දරන විවිධ මතනේ . බ්ලොග් නොලියන කමෙන්ට් නොකරන සැහෙන පිරිසක් ඉන්නවා මමත් දන්නා . අපි හිතන් ඉන්නවට වඩා අන්තර්ජාල පරිහරණය වැඩියි .

    ReplyDelete
  12. අදහස් දෙකේම ගත යුතු දෑ තියෙන බව නම් පේනවා

    ReplyDelete
  13. බ්ලොග් ලිවීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ තියන වටිනාකම කියලා නිමකරන්න බෑ...පුද්ගලික ජීවිත විවේචනය ගැන එකඟ වෙන්න බෑ ...උදාහරණයකට ඔබා මාමා කළා කියන පුද්ගලික උදව්.

    ReplyDelete
  14. ඇනෝ කොමෙන්ටුවේ කියන්න තරම් වරදක් නෑ. හැබැයි අසම්පූර්ණයි. මඩ පාරවලුත් තියෙන නිසා හොදයි කියන්නත් බෑ.

    ReplyDelete
  15. බ්ලොග් ලිවීම තදින් විවේචනය කර කමෙන්ට් දැමීමෙන් ස්වයං වින්දනයක් ලබන්නන් ගැනත් අපට ලියන්නට හැකිය. මේ කමෙන්ට් කියවන්නේ බ්ලොග් කියවන සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවකි. කිසිවකු බ්ලොග් පෝස්ට් එක නොකියවා කමෙන්ට් විතරක් කියවනු ඇතැයි සිතිය නොහැකිය. ඒ නිසා, කමෙන්ට් එක දැමීමෙන් පසු ඇනෝට සිදුවන්නේ ස්වයං වින්දනය ලබා සෝදාගැනීමට හෝ පිහදාගැනීමට නොහැකි තත්වයකට පත් වීමටය.
    (පැය කීපයක් ගත වූ පසු ගඳ ගසනු ඇත.)

    ReplyDelete
  16. 1) එකඟය. නම් ගම් කීමෙන් හිත් රිදීම් විනා අන් කිසිවක් සිදු නොවේ.

    …2) මම කිසිවක් නොලියමි. හිතෙන එව්වාට පමනක් කොමෙන්ට් දමමි. මම දන්නා බොග කිවන කොමෙන්ට් නොදමන කිහිප දෙනෙක්ම ඇත.

    …3) ඇනෝ ලෙසින් පැමිනීම රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමකි. කිසි චකිතයක් නැතිව ඇට්ටි හැලෙන්නට දෙන්න හැකිය. නම පලකිරීමෙන් සතුරන් ඇතිවීම පණක් සිදුවේ.

    …4) මම දන්නේ වින්චැට් කිරිල්ලී විතරය. ඒත් කකාගේ ලින්කුවක් හරහා ගොස්ය. අද වන විට මම අළුපාට හැන්දෑව රසකර කියවමි.

    …5)මාර්ටින් වික්‍රමසින්හද මර්ක් ට්වේන්ද ජී බී සේනානායකයන්ද ඩබ් ඒ සිල්වාද ටී බී ඉලන්ගරත්නයන්ද කලේ සමාජ පැතිකඩයන් හුවා දැක් වීමය.

    …ටැබූ කවුද කකා කවුද ඇනෝ කවුද යන්න මට අදාල නැත. ඒ රසික සූරියාඅරච්චි හෝ නිර්මාල් ප්‍රනාන්දු හෝ අසංග සමරසේකර හෝ සමන්ත විජේසේන හෝ සනත් විජේවර්ධන හෝ නුවන් දිවාකර වියහැකිය. වැදගත් වන්නේ කියවන්නට යමක් ලිවීමය. බොගට මම ආස කරන්නේ පෝන් එකෙන් ඇඳේ ඉඳන් කියවිය හකි නිසාය. (ගූගල් දෙයියන්ට පහනක් වත් පත්තු කල යුතුය) ඉස්සර වගේ පොත් සොයා ලයිබ්‍රරි ගානේ රස්තියාදු වීමට කොහෙද දැන් වෙලාව...

    …දෙයියනේ කියලා ගහ මරා ගන්නේ නැතුව ලියා ගෙන ලියා ගෙන ලියා ගෙන ලියා ගෙන ලියාගෙන පලයල්ලා.

    ReplyDelete
  17. "බ්ලොග් ලිවීමේදී ඔබට රැවුළත් කැඳත් දෙකම බේරා ගැනීමට අවශ්‍ය නම් (කතන්දර මෙන් - ඔහුද සියයට සියයක් සාර්ථක නැත.) ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා පමණක් ලියා සෑහීමකට පත්වන්න. ඒ හැරුණු විට ඇත්තක් ලිවීමේදී අනිවාර්යයෙන්ම යම් පිරිසකගේ සිත රිදේ. ජ්‍යොතිෂය මිථ්‍යාවකි. එහෙත් ඒ ප්‍රකාශය අනිවාර්යයෙන්ම ඒ මිථ්‍යාව බඩ-රස්සාව කර ගෙන ඉන්නා පිරිසගේ සිත් රිදවයි. ඉන්පසු ඔවුහු සරම් උස්සාගෙන ඇති. මේ නිසා එකක් තෝරා ගන්න. එක්කෝ විපාක ගැන නොසිතා ඇත්ත ලියන්න. නැතිනම් සුන්දර කතා ලියා ජනප්‍රිය වන්න. ඔය මාර්ග දෙකේම ගියෝ වෙති"

    අසහනය, ඉරිසියාව, කුහකකම, කරුමේ, උපතින් ආ කාලකන්නි කම

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇති සැටියෙන් පිලි ගැනීමට ඇති නොහැකියාව... හෝ අකමැතිකම...

      Delete
  18. බ්ලොග් ලිවීම වනාහී විනෝදාංශයකි. හොබියකි. කොටි වල්ගයකි. නමුත් හොඳ කොටියෙකු ගේ ය

    ReplyDelete
  19. පෞගලිකව මම බ්ලොග් එක ලියන්නේ තෘප්තිය උදෙසා මිසක් , වෙන යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි... ඒකට ලැබෙන ප්‍රතිචාර, තෘප්තිය වැඩි කරවනවා මිසක් , ඒවා නැතුව තෘප්තිමත් වෙන්න බැහැ කියලා දෙයක් නැහැ....

    ReplyDelete
  20. මම කලිනුත් මේ ගැන කියල තියෙනව. පබ්ලිසිටි එක නෙගටිව් විදියට ලැබුනත් එකයි, පොසිටිව් විදියට ලැබුනත් එකයි. අපි ලියන දේ පොසිටිව් විදියට 98ක් දකින කොට නෙගටිව් විදියට දකින දෙන්නෙක් සිටීම වැරැද්දක්ද ? ඒ කියන කතා ගැනත් සලකලා බලන්න ඕන. අපේ දියුණුවට මේ දෙජාතියෙම අය වැදගත්. වැරැද්දක් පෙන්වා දෙනවානම් ඇනෝ විදියට ඇවිත් හරි කමක් නෑ. හැබැයි අපිව නටවන්න නොවෙයි. මේ වගේ නිදහස් තැනක එහෙම නැටවෙන්න අවශ්‍ය නෑ. අපිට මේවා ලියන්න විවිධාකාර පසුබිම් තියෙන්න පුළුවන්. මටනම් මේක හිත තුල කැකෑරෙන දේ එලියට දාන්න කදිම තෝතැන්නක්.

    ReplyDelete
  21. "බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. උදාහරණයක් හැටියට අධ්‍යාපනය, ආර්ථිකය හා ලිංගික ජීවතය යන තුනින්ම තත්‍ය ලෝකයේදී සාර්ථකත්වයක් නොලැබූ කොම්පැණියක සුළු සේවකයෙක් සලකන්න. මේ පුද්ගලයාට පොරක් විය හැක්කේ අතත්‍ය අවකාශයේදී පමණෙකි"

    අසහනය, ඉරිසියාව, කුහකකම, කරුමේ, උපතින් ආ කාලකන්නි කම

    ReplyDelete
  22. කකා එම කමෙන්ටුවට ප්‍රතිචාර දැක්වීමට පෙළේඹුනේ එම කමෙන්ටුවන් කකාගේ සිත රිදීමක් නිසා විය හැකියි ඒත් "අපි නොදන්න ඇනෝ"ගේ කතාවෙත් යම් තරමක් දුරට සත්‍යතාවයක් තියෙනවා.

    ReplyDelete
  23. //බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි.//

    "අපි නොදන්න ඇනෝ"....

    'පොරක්' යනු කවරෙක්ද? විග්‍රහ කරලා තියනවා මදි....තවදුරටත් විග්‍රහ කරන්න බැරිද????
    'පොරවල්' හා 'නොපොරවල්' ලියන බ්ලොග් කීපයක නම් සඳහන් කරන්න බැරිද???

    ReplyDelete
  24. http://anonymousmalli.blogspot.com/2012/07/blog-post.html

    ReplyDelete
  25. මම ටැබූ ගෙ කලෙයේ සිටම බොලොග් වලට වසග වී සිටියෙමි.ඒවා කියවීමි.දැනුදු කියවමි.සමස්තයක් ලෙස ගත් කල මම කතන්දර බ්ලොගයේ සමහර දේවල් වලට කැමති නැත.එවිට ඒවා නොකියව සිටිමි.

    "බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි."

    මේක සැබෑවකි.කතන්දර බාප්පා මෙය මැනවින් ඔප්පු කොට අවසානය.කතන්දරයාට අධෝ වාතයක් ගියත් කතන්දරයා ඒක කතාවක් කරන අතර එය රස විදීමටද පිරිසක් ඇති වී හමාරය.කතන්දරයා පාජාත වැඩ නොකරන්න ක්ෂණික ජනප්‍රිය තාවයක් සොයන අයට බනින්නට දෙයක් නැති වනු ඇත.එහෙයින් වීරයා මැරීමේ කාර්ය උදෙසා කතාන්දරය හැර වෙනකෙකු සොයා ගැනීමට සිදු වෙනවා ඇත.

    කතන්දරයාගේ හොද කතා පජාත කතා කුජීත කතා සියල්ල යන්නේ මේ බ්ලොගයේ පමණකි.ඒවා බස් අජියාගේ සින්දු මෙන් බලෙන් අස්සවන්නට දුර ගමන් බස් වල දමන්නේ ද නැත.අපි ආසම කරන ටෙලි නාට්‍ය මැදින් දමන්නේද නැත.ඉතින් අනිත් උන්ට කහනවද?(ඔක්කොම පේන්නේ ඇවිත් මේක බලන නිසා නෙවෙයිද?)

    ප.ලි ඇනොලා ලොකු දෙබස් දීමෙන් වන්නේ කාකා බාප්පා තවත් පොර වීම පමණකි.

    ReplyDelete
    Replies
    1. //කතන්දරයාගේ හොද කතා පජාත කතා කුජීත කතා සියල්ල යන්නේ මේ බ්ලොගයේ පමණකි.ඒවා බස් අජියාගේ සින්දු මෙන් බලෙන් අස්සවන්නට දුර ගමන් බස් වල දමන්නේ ද නැත.අපි ආසම කරන ටෙලි නාට්‍ය මැදින් දමන්නේද නැත.ඉතින් අනිත් උන්ට කහනවද?(ඔක්කොම පේන්නේ ඇවිත් මේක බලන නිසා නෙවෙයිද?)//

      Delete
    2. කොහොමටත් පොර නේ. පොරත්වයේ දැන් උපරිමයට ලඟයි!

      Delete
  26. "බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. උදාහරණයක් හැටියට අධ්‍යාපනය, ආර්ථිකය හා ලිංගික ජීවතය යන තුනින්ම තත්‍ය ලෝකයේදී සාර්ථකත්වයක් නොලැබූ කොම්පැණියක සුළු සේවකයෙක් සලකන්න. මේ පුද්ගලයාට පොරක් විය හැක්කේ අතත්‍ය අවකාශයේදී පමණෙකි"

    මේකට නම් කටේ මසුරන් දාන්න ඕනෙ!

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහෙටත් අහවලා ගැන ඉරිසියාද ? උඹල අපිට වැඩියේ බුවා වාසනාවන්තයි. මනුස්සයෙක් මනුස්සයෙක් වෙන්න ආචාර්ය උපාධි, ධනය හෝ ලියාපදිංචි ලිංගික ජීවිතයකට හිමිකම් කීම අවශ්‍ය නොවේ..

      Delete
    2. මට නම් හිතෙන්නෙ මේක මහ කැත වැඩක්. බ්ලොග් කියවන හැමෝම දන්න කෙනෙක් ඍජුවම ඉලක්ක වෙන විදියට මෙහෙම කතා කරන එක වැරදියි. අපි හැමෝම අනෙකගෙ පුද්ගලිකත්වයට ගරුකරන්න ඕන. සතුට, සැනසුම තියෙන්නෙ උපාධිවලවත් සල්ලිවලවත් නෙවෙයි තමා. ඕනවට වඩා සල්ලි තියන එකත් මහ වදයක්. සරලව නිදහසේ ජීවත්වෙන්න තියනවනම් කොයිතරම් දෙයක් ද?

      Delete
    3. මටත් හිතෙන්නෙ, මේක එක්කෙනෙක්ව ඉලක්ක කරගන ගහපු මඩ පාරක්.. බ්ලොග් ලෝකෙත් ඉන්නෙ ඉතින් සාමාන්‍ය ලෝකෙ ඉන්න මිනිස්සුමනෙ... ඉතින් කුහක කම පිරිලා...

      Delete
    4. කස්ස ඒ කතාවට කැමති වුනේ ඇයි කියා හිතුවාද?

      Delete
  27. ඇත්තක් නැත්තෙමත් නෑ ..!!!!

    ReplyDelete
  28. අර ඇඩික්ටඩ් කියපු එකනම් සහතික ඇත්ත.. මටත් දැන් මේක වාතයක් වෙලා ඉන්නෙ, ගැලවෙන්ඩ බැරිවෙයිද කියලත් හිතෙනවා.. නිකන් අබිං කන්ඩ ගත්තා වගේ.. විත්ඩ්‍රෝවල් සිප්ම්ටම්ස් හැදෙන්ඩ පුලුවන් කිව්වම බයත් හිතුනා..

    අනේ මංදා...

    බ්ලොග් වලින් ගැලවෙන්ඩ උපදෙස් දෙන බ්ලොග් එකක් එහෙම තියනවද ? :-)

    ReplyDelete
    Replies
    1. ඒ උපදෙස් දෙන්න දන්න අය බ්ලොග් ලෝකයෙන් ගිහින් නේ!

      Delete
  29. රියර් ගේට් එකේ කමෙන්ට් එක තමන්ගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් කරල දාලා "රාමයා" ව තවත් නෝන්ඩි කරන එක ජෙන්ට්ලිමන් කෙනෙක් කල යුතු දෙයක් නෙවෙයි නේද? කමෙන්ට් එක අන්තිම බලු වැඩක්

    ඒක පෝස්ට් එකක් විදියට දාලා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීම....???

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ටුවේ කතන්දරකාරයා යැයි සඳහන්ය. එයට ප්‍රතිචාර දැක්වීම මගේ අයිතියයි. ඔබ කියන ආකාරයේ චේතනා මට නැත.

      Delete
  30. ලියන්නෝ සහ ලියන්නියෝ අතර වෙනස පසුව පෝස්ටුවක් මගින් පහදා දීමට කැමැත්තෙමි.

    ජය !

    ReplyDelete
  31. මමනම් බ්ලොග් ලියන්නේ විනෝදාංශය සඳහා පමණයි

    ReplyDelete
  32. මම නම් ඉතින් ඔහේ ලියනවා. හිට්ස් කමෙන්ට්ස් වැටෙනකොට මගේ ලියවිල්ල ගැන මටම තේරුම්ගන්න පුළුවන්. සතුටක් ලබන්න පුළුවන්. අවංකව මම ඒ දේවල් වලට කැමතියි. කවුරු හරි මම ලියන දේ කියවලා ප්‍රයෝජනයක් ගන්න තිබ්බොත් ගන්නවා කියන දේ මට ආත්ම තෘප්තියක් ඇති කරනවා. එහෙම නැතිනම් මට බ්ලොග් ලියන්න අවශ්‍ය නෑ නේ. කොලේක තනියම ලියලා කැමති විදියකට කියවගන්න පුළුවන් නේ. ඔන්න මම දකින දේ මට අදාළ විදියට.

    ReplyDelete
  33. හ්ම්ම්ම් මේවා කියවලා ඔලුවත් අවුල් වුණා.:D :D අනේ මංදා.....

    ලියන්නෝ ලියති
    කියවනෝ කියවති
    අකමැතියෝ
    නොකියවත්වා !

    ReplyDelete
  34. ඔය ඇනෝ කාරයව පොඩ්ඩක මීට් වෙන බැරිද දන්නෙ නෑ... මට තියෙනව පොඩි ප්‍රස්න දෙක තුනකට උත්තර අහගන්න... ගානක් ගත්තත් කමක් නෑ...

    ReplyDelete
  35. බ්ලොග් ලියන්නේත් කියවන්නේත් ඒකට ආස කට්ටිය. ඉතිං ඒ ලියන හැම දෙනාවම කියවන හැම දෙනාවම එකම තාච්චියකට දමා හැදිගානවානම් ඒ එම ක්‍රියාව කරන්නාගේ දෝශයයි. කරන අයට කරන්නට ඉඩදී, ලියන්නන්ට එරෙහි, අකමැති අතිපණ්ඩිතයන්ට ඇහැ කන පියාගෙන වැඩක් බලාගෙන ඉන්නට බැරි මන්ද?

    ReplyDelete
  36. Replies
    1. අර පෙන්ටගන් එක අස්සේ තිබුණු රාවනා යානය ගැණ රහස් හෙලිකළා නේ ඒක නිසා වෙන්න ඇති!

      ;-)

      Delete
  37. //බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. //
    හරි හමන් අනන්‍යතාවයක් නොමැති "ඇනෝ" කමෙන්ට්ස් දැමීමෙන්ද යම් අයකු ලබන්නේ ස්වය0 වින්දනය ලැබීමක් වැනිවූ තෘප්තියක් බව "ඇනෝ"වත් නොදනී.

    ReplyDelete
  38. සැම දෙනාටම පොදු පිලිතුරක් දෙන්නම්.

    මා ඒ චාමී ගේ බ්ලොගයේ තිබුණු කමෙන්ටුව උපුටා මෙතන දාලා මගේ අදහසුත් දැම්මේ මට එයට යම් දෙයක් එකතු කිරීමට අවශ්‍ය වුණු නිසයි.

    අපි නොදන්න ඇනෝ ගේ කතා සමග මගේ එකඟත්වයක් නොමැති බව අමුතුවෙන් කිව යුතුව ඇති බව පෙනේ.

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  39. ඇනොට දී ඇති ප්‍රති උත්තරයට මාත් එකග වෙමි

    ReplyDelete
  40. ලියන අය කෙසේ ලිවත් කොහොම ලිවත් කියවන අයට එක ප්‍රශ්නයක් නැත්තම් ඔය ඇනොට කහන්වද?
    සින්හල බ්ලොග් කියන්නේ වෙනම සස්කෘතියක්.අඩම්බරවිය යුතු සන්ස්කෘතියක්

    ReplyDelete
  41. //"අපි නොදන්න ඇනෝ" ගේ මේ පස්වෙනි කමෙන්ටුවේ ටැබූ ගැන කියවෙන අදහසේ ඇති පොඩි වරදක් ඇත. ටැබූ කිසිදා තමන් වෙනුවෙන් කතාකරන්නට, සටන්කරන්නට පිරිසක් තනන්නට සැදූ කෙනෙක් නොවේ. ටැබූ එලෙස අන් අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වූවා යැයි කීම ටැබූට කරන අපහාසයකි.//

    කතන්දර මහත්තය දෙන හීන් නූල නැනෝ ටියුබ් වලටත් වැඩිය පොඩියි මට පේන්නෙ.

    ReplyDelete
  42. ඇනෝ හඳුනා ගන්න එක ලෙහෙසියි. මේ ඇනෝ ඇනෝලෙස ආවාට එයාට පූර්වාත්ම තියෙනවා, අනික මෙයා ඉන්නේ ඇනෝලෙස උනාට හරිම ආසයි අපි එයාව හොයා ගන්නවට.

    කොහොම වුනත් මේ ඇනෝ ගැන මට කියන්න තියෙන්නේ අපරාදේ කියලා තමා.

    අපි අදහස් සලකා බලමු. එයාගෙම අංක වලින් උත්තර.

    1. 70-77 ආණ්ඩුව වගේ මෙයාගේ ලෝකය ඉතාම සීමිත පටු කළු සුදු එකක්. ඔක්කොම බ්ලොග් ලියන්නේ පොරවෙන්න. එතකොට අර වර්ගපූර්නිකාව ලියන මී ජයරත්නයා නිකම් පොර වෙන්න වෙන්නැති පන කඩාගෙන ලියන්නේ. එතකොට ඩිෆෙන්ස් වයර් කාරයා යුද්ධේ කාලේ ලිව්වේ පොර වෙන්න වෙන්නැති [ලාංකිකයෙක් ලියු ජනප්‍රියම බ්ලෝග කියන කඩ ඉම මේ කට්ටියට හිතා ගන්න බැරි ගානට කඩපු - දවසට හිට්ස් ලක්ස ගානට - පොර ව අපි අදටත් දන්නෙවත් නැහැ]

    ඇත්තෙන්ම බ්ලොග් ලියන බහුතරය ජීවිතේ මහා ලොකු දේවල් ලබාගත්තු අය නොවේ රස්සාවක් කරගෙන ජීවත් වෙන අය. මේක ඇත්ත, හැබැයි ඊට හේතුව අර වගේ ලොකු මිනිසුන්ට බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම විනා වෙන දෙයක් නොවේ.

    2. බ්ලොග් කියන්නේ පත්තර නොවේ. පොත් ද නොවේ. බ්ලොග් කියන්නේ බ්ලොග් ය. බ්ලොග් හරහා නිව්ස් සර්වර්ස් දුවන්න පුළුවන් බව ඇත්ත. එහෙත් එසේ නොවන පුද්ගලික බ්ලොග් ලියන්නන්ගේ අරමුණ දිවයින, ලංකාදීප, ලක්බිම පත්තරවල සේල් එක පසු කිරීම නොවේ. මේක පත්තරකාරයාගේ මානසිකත්වයට ඔක්සිලියරි පාත් එකකි. මේ ලියන්නේ පත්තරේට ලියන්න බැරි අය නොවේ. එහෙත් පත්තරේට මේ කරුණු ලියන්නට උනන්දුවක් නොදෙන අයයි. ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයෝ සිටින අතර ඒ අය වෙනත් දේවල් පත්තරේට ලියති. ඒවා බ්ලොග් වල නොලියති.

    3. බ්ලොග් ලිවීමේ රැවුල හා කැඳ මොනවාද? දහ දෙනෙකුගෙන් ඇහුවොත් දහයක් අහන්නට ලැබේ.එක එක බ්ලොග් කරුවා තමන්ට ආවේනික දේවල් ගැන ලියති. ඔක්කොම කතන්දරකාරයා ලියන ඒවාම ලියන්නේ නම් බ්ලොග් අවකාශය ඒකාකාරී වනු ඇත. නැවත වරක් මී ජයරත්නයා ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා මොකුත් නොලිය මාසෙකින් ජනප්‍රිය විය. එමෙන්ම ටැබූ ද [ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා ගැන පවා] මීට වඩා හරබර කතා ලියමින් ජනප්‍රිය විය.

    ඔය අතර මා ඉතාමත් කැමති සුන්දරම ලේඛන ශයිලියක් හිමි [මගේ රේටින් වල ටොප්] රසවතිය ලියන හෂිත අබේවර්ධන අවාරෙට පෝස්ට් එක දෙකක් දමයි. කී දෙනෙක් කියවනාවාදැයි ඔහු වෝරි වන බවක් මටනම් පෙනෙන්නේ නැත.

    ඔබ කතන්දර ලියන ඒවාට අකමැති නම් නොකියවා ඉන්න, නැතිනම් කෙලින්ම මෙහි ඇවිත් කියන්න. ඔබට බ්ලොග් අවකාශය කොලිටි කොන්ට්‍රෝල් කල නොහැක. අනික ඔබ දකින යම් විදග්ධ අංශයක අඩුවක් වේ නම් ඒ අළලා ඔබ ලියන්න. අතන මෙතන හඬා වැටීමේ පලය කුමක්ද? ටික කලකට පෙර [නලිනි එන්න පෙර] සම්මත ගනයේ කෙටිකතා නොමැති නිසා එවැන්නක් කිරීම ආසාවක් මට තිබුණි. අද නලිනි ඒ අඩුව පුරවා තිබේ.

    මම අද වෙනකම් ලිව්වේ සීරියස්. කියන්න නොස්ටා කතා ලොරි ගානට තිබ්බට අද වෙනකම් මම එකක් ලියා නැහැ. විපාක ගැන නොසිතා මම ඕනතරං අදහස කෙලින්ම ලියා ඇත්තෙමි, කොමෙන්ට් කර ඇත්තෙමි. මට ඒවාට මා දරන කුඩා ජනප්‍රියත්ව අවකාශය තුල ප්‍රතිචාර ලැබී තිබේ. ආණ්ඩු විරෝධියෙක් වැනි ජීවිත තර්ජනයක් නොවන තුරු අපේ මතය [ඔබ "ඇත්ත" කියන්නේ ඔබේ මතය] කෙලින් ලිවීම ඔතරං මහා කජ්ජක් නොවේ.

    4. ඔබා රැවටීම ගැන නොදනිමි. මුදල්, විස්කි බෝතල්, කැමරා, ඉලෙක්ට්‍රොනික් ආම්පන්න තෑගි ලද අය ගැන නොදනිමි. ඒ නිසා මේ ගැන මට කතා කරන්නට බැරිය. එහෙත් මෙය අප කවුරුත් දන්නා සරල න්‍යායකි. දෙන්නට කැමති නම් ලබා ගන්නට කැමති නම්, දීම්-ගැනුම් පාලක මණ්ඩලයක් අවශ්‍ය නොවේ. ලෝකයේ බහුතරයක් ගනුදෙනු අවංකව සිදු වන ඒවා ද නොවේ.

    5. බ්ලොග් අවකාශය යනු සුපිරිසිදු මිනිසුන් ගැහැණුන් වෙසෙන තැනක් බව හෝ එහි ඇත්තේද සමාජයේ පැති කඩක් නොවන බව කියන කෙනෙක් වේ නම් ඒ බොරු කාරයෙකි.

    මම ටැබූ කියවුවෙක්මි. කොමෙන්ට් කල අයෙක්මි. කැමැත්තෙන් හුන්නෙක්මි එහෙත් එකඟ නොවූ තැන් බොහෝ ඇත. ටැබූ වහපු/වහගත්තු දවසේ මම ඔහු ගැන සාධාරණ කතාවක් කලේ යයි හිතන්නේ ඉන්නකම් එකඟ වූවාට වඩා නොවූ නිසාවෙනි.

    ටැබූ කියවන අයගෙන් සමහරු ඔහුට මඩ ගසා ලියන්නට ඇත. එහි කල කොමෙන්ටුවක මතවාදී එදිරිවීමක් විනා මා කලානම් කලේ ඔහුගේ පොස්ටුවක් [නමත් සමග] කාට හෝ මේල් කිරීම පමණි. ටබුට කැමති අය ඔහු නැතියෙන් විස්සෝප වෙනවා ඇති.

    ටැබූ අදත් සිටිය යුතු කෙනෙකු බවත් සුපිරි ලිවීමේ හැකියාවක් හා වැදගත් මාතෘකා තේරීමේ හැකියාවක් ඇති බව අදටත් සිතමි. හැබැයි ඔහු නැතියෙන් විස්සෝප වන්නෙක් නොවන්නෙමි. වෙසෙසින් පොරවල් නැති බ්ලොග් අවකාශයේ ටැබූ තවත් එකෙක් පමණි.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම මෙතන පටලා ගත් තැන නම් බ්ලොග් කියන්නේ පත්තර වලට විකල්පයක් කියා සිතීමයි. ගොසිප් ලංකා මෙසේ වීමට පිළිවන. එහෙත් පුද්ගලික බ්ලොග් යනු ඒ මිනිසුන්ගේ අදහස් ලියන තැන වේ. රියලිටි ෂෝ එකක දක්ෂම ගායකයා නොතේරීම හෝ වෙනත් දක්ෂ නළුවන් සිටියදී ජනප්‍රය නළු සම්මානය රන්ජන් [අයියාට] ලැබීම වැනි විකාර කොම්ප්ලේන් එකක් මේ ඇනෝ කරයි.

      දෙවනුව ඔහු මේ නරාවල සුද්ධ කරන ආකාරයේ අදහස් පල කරයි. සමාජ ජාල හෝ මිනිස් හැසිරීම් වලට හරි වැරැද්ද කියා දෙන ආගමික නායකයෙක් වනවාට වඩා මිනිස් ක්‍රියාකාරකම් එලෙසින් බාර ගැනීම නුසුදුසු ද?

      මට මේ ඇනෝ ගේ තිසීසය නොපෙනේ. ඔබට කීමට අවැසි චාර්මියා මහා පොරක් නොවන බවද? නැතිනම් ඌ හිඟන නෂ්ටකාමි පරාජිතයෙක් බවද? චාර්මියා මහා පොරක් කියා මම හිතන්නේ නැත. උගේ මතවාදත් එක්ක මගේ 100% පෑහීමක් ද නැත. එහෙත් මම ඌ ලියන ඒවා කියවන්නට කැමතියි. මගේ අදහසට එකඟ නොවන එකම එකා ඌ පමණක් නොවේ, එහෙත් උගේ අදහසත් මට වැදගත්ය. එපමණකි.

      මූ මට නම් පොරක් නොවේ. හොඳ ලියන්නෙක් පමණි. එයින් එහා මොන මගුලක් වත් මට අදාළ වන්නේ නැත.

      Delete
    2. [[ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයෝ සිටින අතර]]

      ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයින් සිටින අතර...

      පොඩ්ඩි ට මාට්ටු වීමට [හා එයාගෙන් මෙව්වා කතා අහගන්නට] පෙර, ඔන්‍න‍ හැදුවෝ.

      Delete
  43. ටැබූ තාමත් බ්ලොග් අවකාසයේ ඉන්නව, මීවනපලානේ ජයරත්න ලෙසට වර්ගපූර්ණිකව කරන්නෙ ටැබූ . එයාට මන් යවපු දිග මේල් එකකට ලැබුන ප්‍රතිචාරෙන් මාට්‍ටු වුණා

    ReplyDelete
  44. @චූටි බටපොලයා,
    පොඩි එකාට එහෙම කරනවද?

    ReplyDelete
  45. ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම කතන්ද්‍රකාර් පරපුරේ සියළු දෙනාගේ ස්තුතිය හිමිවේ.

    ReplyDelete
  46. [box]මාද බ්ලොග් එකක් ලියම්. නමුත් ඇනෝ කියන දේ වලට මටද එකඟ විය නොහැක. රාජකාරීමය කටයුතු අවසන්ව හෝ ඒ අතරතුර ලැබේනා විවේකයේ හෝ විවිධ ක්‍රියාකාරකම්වල අප යෙදෙනවා. බ්ලොග් කලාවත් ඉන් එකක්. සමාජයේ දකින, අසන, සිතෙන සත්‍ය වෙනුවෙන් යමක් කළ හැකිනම් එය අප කළ යුතු ය. (නමුත් බ්ලොග් විවිධ හේතුසාධක මත විවිධ ස්වරූප ගනු ලබයි.) අපි සමාජයෙන් අයිතිවාසිකම් ඉල්ලනවා සේම අපෙන්ද සමාජයට වැඩක් විය යුතුය. නමුත්, “පොරක්“ යන්න ආදේශකර ගැනීම/ආදේශ කිරීම එයට අවශ්‍ය නැත. කෙටියෙන්ම කියනවානම්, ඇනෝ දකින සමාජ රෝගයකින් පෙලෙනුයේ නැත.[/box]

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.