Sunday 17 June 2012

සු කී වෙනුවෙන් නැගුණු කඳුලක් - Aung San Suu Kyi



වයස හින්දා ද මන්දා නවද්වාරයම ඕනෑවට වඩා විවෘත වෙනවා මේ දවස්වල.

චිත්‍රපටියක, නවකතාවක දෙමව්පියෝ ගැන කියවෙන කෑලි වලට කඳුළු එන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා.

මේ ඊයේ පෙරේදා අර එලියකන්ද ගැන පොත කියවලා මං ඇඬුවේ නිකං ඊරියෙක් අඬනවා වගේ.

ඊයේ රාත්‍රියේ බුරුම ජාතික අංග් සාන් සූ කී ඔස්ලෝ නුවර නෝබල් ත්‍යාගය පිළිගැනීමේ කතාව අහගෙන ඉන්න වෙලේත් ඇහැට කඳුලක් නැගුණා.

අංග් සාන් සූ කී ගේ ඒ කතාව මීට අවුරුදු විසි එකකට කලින් කරන්න තිබුණු කතාවක්.

මං හිතන්නේ, මං විතරක් නොවෙයි, ලෝකේ හතර දිග්බාගෙම ඉන්න අහස් ගණනක් මිනිස්සු, ගෑණු කඳුළු හෙලන්න ඇති.

අවුරුදු විසි ගණනක් තිස්සේ නිවාස අඩස්සියේ ඉඳිමින්, මිලිටරි ජුන්ටාවකට විරුද්ධව සාමකාමී දේශපාලන සටනක් ගෙනගිය අංග් සාන් සූ කී ඇත්තෙන්ම ධෛර්ය සම්පන්න කාන්තාවක්.

ඇයට බුරුමයෙන් පිටවෙලා එංගලන්තයට ගිහින් දරුවන් සහ සැමියා එක්ක ජොලියේ ඉන්න හොඳටම ඉඩ තිබුණා. ඒත් ඒ සේරම අමතක කරළා, බුරුම ජනතාව වෙනුවෙන් ඇය කැපවුණු හැටි පුදුමෙණුත් පුදුමයි.

තමන්ගේ සහෝදර ජනවාවගේ මානව හිමිකම් ගැන කතාකරන අයට බටහිර ඩොලර් වෙනුවෙන් කෑ ගහනවාය කියලා අපහාස කරන අයට අංග් සාන් සූ කී හොඳ සරදමක්.

කොයි තරම් දරුණු ජුන්ටාවකට වුනත් එක්ෆයරි ඩේට් එකක් තියෙනවා. යුක්තිය, සත්‍යය ජයගන්න ඕනෑ කවදා හරි.

ඒක තමයි දැන් බුරුමයේ වෙමින් පවතින්නේ.

එහෙම නොවුණොත් අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තු දේවල් සේරම, ලොකු වෙලා හොඳ මිනිහෙක් වෙන්න කළ යුතු, නොකළ යුතු යැයි ඉගෙන ගත්තු දේවල් සේරම බොරු වෙනවා නේද?

අංග් සාන් සූ කී ගැන වැඩි විස්තර විකිපීඩියාවෙන් බලාගන්න පුළුවනි.

http://en.wikipedia.org/wiki/Aung_San_Suu_Kyi

අංග් සාන් සූ කී ඔබට ජය!

-කතන්දරකාරයා

24 comments:

  1. බුරුමයට නිදහස ලබා දෙන ගිවිසුම අවුන්සාන් සුකීගේ පියා වෙන ජෙනරාල් අවුන්සාන් අත්සන් කළේ ලංකාවේදී කියලා මතකයි

    ReplyDelete
  2. හ්ම්ම්..... ඈත්තමයි මටත් දුක හිතුනා මේ නිව්ස් එක බලලා :(

    ReplyDelete
  3. ඇත්තෙන්ම ඇය ධෛර්ය සම්පන්න කාන්තාවක්. අපේ කලාපෙ ඉන්න තක්කඩි දේශපාලකයොන්ට හොඳ ආදර්ශයක්.

    තමන්ගෙ පියා ජනරාල්වරයෙක්වෙල හිටපු, නායකත්වය දුන්නු හමුදාවකින්ම ඇයට ඒ වගේ තත්ත්වයක් උරුම වීම එක අතකට දෛවයෙ සරදමක්.

    ReplyDelete
    Replies
    1. බුරුමයෙදි පනිෂ්මන්ට් එක දුන්නෙ ජනරාල්ගෙ දරුවට.
      අපි නම් කෙළින්ම ජනරාල්ටමයි වැඩේ දුන්නෙ.

      Delete
  4. කතාව සිංහලෙන් පැවැත්වුව නම් මමත් අහනවා..

    මම අංග් සාන් සූ කී ගැන දන්නේ නැහැ කිව්වොත් හරි මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. සිංහල විතරක් දැනගෙන සිටීම අවුංග් සාන් සූ කී ගැන නොදැන සිටීමට හේතුවක් නෙවෙයි.
      ඇයි සිංහල පත්තර එහෙම කියවන්නෙම නැතිද?
      අවංක වීම ගැන නම් සතුටුයි. ඒත් මේ වගේ කෙනෙකු ගැන නොදැන සිටීම ගැන දුකයි.

      Delete
  5. ලෝකයේ කාන්තා ශක්තියට ජයම වේවා! කදුළු මැද උනත්, ඒ අභිමානවත් ගැහැණිය සැබැවින්ම වීර වරියක්.

    ReplyDelete
  6. The Lady එක අරගෙන මාස කිහිපයක්ම මේසේ උඩ තියාගෙන හිටියා නොබලා, කල් දදා. මේ පෝස්ට් එක හන්දා ඔන්න අද බලනවා.

    ReplyDelete
  7. ඒ මම බැල්වෙ නෑනේ....

    හොයාගෙනම බලන්න ඕනා මෙයාගේ ටෝක්ස් ටික...

    ReplyDelete
  8. නොබෙල් ත්‍යාගය ලැබිලත් ගොඩක් කාලයක් ගියානේ. ඒකවත් ගන්න ලැබුනෙ නෑ. ඇයට ජයවේවා.

    ReplyDelete
  9. හොඳ දෙයක් කරන්න හදන මිනිසුන්ට කොහොමත් බාධක වැඩියිනේ.ඒක ලෝකස්සොබාවය

    ReplyDelete
  10. මාත් ඒ කතාව ඇහුවා. නමුත් කඳුළු නම් සැලුවේ නැහැ. නමුත් ඔබ ඔය සටහන දැම්මාට ගොඩක් සතුටුයි. ලංකාවේ සමහරු නම් කියන්නේ "බෞද්ද බුරුම රජය" පෙරලන්න එවාපු බටහිර පිල්ලියක් තමා සුකී කියන්නේ කියා. ඔබ කියන එක්පයරි ඩේට් එක එන්න වගේ පේන්නේ මේ "බටහිර අදිරාජවාදීන්ගේ" බලපෑම නිසා මිසක් වෙන කිසිවක් නිසා නොවේ. නමුත් බුරුමයට තව ගොඩක් දුර යන්න තියනවා. තාමත් ආපසු හැරෙන්න බැරි තරම් දුරක් ඇවිල්ල නැහැ.

    ReplyDelete
  11. සුකී ඇතුලු, අසාධාරණයට එරෙහිව සටන්වදින සියල්ලන්ට සුභපතන්න මාත් එක් වෙනවා ‍.

    ReplyDelete
  12. මිලිටරි ජුන්ටාවේ වැඩ කිඩ ටික ගැන නම් දන්නවා, එත් සූ කී ආවත් ඒ තරම් වෙනසක් වේවිද කියන්න නම් බෑ. මොකද සූ කී ගේ වටේ ඉන්න අය ඉල්ලන්නේ ජුන්ටාවේ නැති නිදහස. ඒකත් ඕනෑවට වඩා ලැබුනොත් ඒ මිනිස්සු නරක් වේවි.

    ReplyDelete
  13. ඊයේ මමත් මේ ප්‍රවෘතිය බැලුවා.. ඇත්තටම ඇගේ කතාව හරිම සංවේදියි..

    ReplyDelete
  14. හැමෝටම හැමදේකටම expiry dates තියෙනවා කියලා බුදුදහමේ කියලා තියනවා. ඔය හැම ජුන්ටාවකට ඒක අදාලයි.

    ReplyDelete
  15. //කොයි තරම් දරුණු ජුන්ටාවකට වුනත් එක්ෆයරි ඩේට් එකක් තියෙනවා..// නියම ..කතාව ඒක..!!!

    ReplyDelete
  16. බුරුමයේ රොහිණ්යා මුස්ලිම් වරුන් සහ රකින්යා බෞද්ධයන් අතර ඇතිව තිබෙන ගැටුම් වලින්, මේ වන විට අවම වශයෙන් 70 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව, චීන ජන රජයේ CCTV මාධ්‍ය ආයතනය සඳහන් කරයි.. මේ ගැන බොහෝ මත ඇත.. බෞද්ධ - මුස්ලිම් පාර්ශවයන් එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගනු ලබන අතර, එයම නපුරු ලෙස ආදර්ශයට ගත් ලංකාවේ බෞද්ධයන් සහ මුස්ලිම් වරුන්ද, නිර්ධය ලෙස "අනුන්ගේ ප්‍රශ්ණයක් කර පිටට ගෙන", උනුන්ට වෛරී ප්‍රකාශ ඒ මේ අත යවනු පෙනේ.. මට නම් හිතෙන හැටියට මේ ව්‍යසනයන්ගේ වග උත්තර කරුවා ඉන්නේ වෙනම තැනකය...

    බුරුමයේ ඉතාම සුලු පිරිසක් වූ බංග්ලාදේශයේ සිට සංක්‍රමණය වූ ඉස්ලාම් ධර්මය වැළඳ ගත් මේ පිරිස "රකීන්" ජනපදයේ , ඒ හැටි ගැටුමකින් තොරව කළක් එකට සිටියහ.. සුළු, සුළු බහින් බස් වීම් තිබුණත්, මහා ගැටුම් තෙක් වර්ධනය වූයේ නැත.. චීනය සමඟ විදෙස් සබඳතා ඊනියා "සමබර-කරණයක්" කරන්නට සිතා ගත් බුරුම රජය, මුලින්ම චීනය විසින් සංවර්ධනය කරමින් පැවති "බර්හා" නම් වේල්ලේ ව්‍යාපෘතිය අත් හිටුවීම මගින් චීනයට විරෝධයක් පා, ඉන්දියාවට ලං විය.. ඉන්දියාව අද සෘජුව ආසියාවේ බටහිර ඒජන්තයාව සිටින බැවින්, ඉන්දියාව හරහා ඔවුහු බටහිර බලවතුන්ට ලංවිය..තමාට මිත්‍රත්වයේ දෑත් දිගු කරගෙන පැමිණි බුරුමයට ඇමරිකාවෙ හිලරි දුන් පළමු අවවාදය වූයේ "මැතිවරණ පැවැත්වීමක් " කරන ලෙසය.. එය අවවාදයක් නොව මාරක ලණුවක් බව "කිමන්-ෆුෂි, නෝම් චොම්ස්කි" බඳු විද්වතුන් කොපමණ කීවත්, නො-ඇසූ බුරුම රජය තෝරාගත් ප්‍රදේශ කිහිපයක පවත්වන ලද මැතිවරණයේ ප්‍රතිඵලය වූයේ, බුරුමයට කරුමයක් වූ අවුන්-සාන්-සුකී නැමැත්තිය බලය දිනා ගැනීමයි.. දැන් මේ සුකී, බලයට පත් වූ ගමන්ම, මෙතුවක් කල් තමුන්ට ඩොලර් පාතරාසය සැපයූ හිලරිලාට, බුරුමයේ සියළු දොරටු විවර කළාය.. හිලරිගේ පටන්, ඩේවිඩ් කැමරන් ඇතුලු නේටෝ රටවල නායකයන්, අලුතින් විවර වූ බුරුමයට "පතළ මහා කරුණාවෙන්" වැළ නොකැඩී රිංගන්නට වූහ.. එහෙම රිංගන කොටම වෙන්න යන අන්ත්‍රාය ඉව වැටුණු ලොව පුරා අධිරාජ්‍ය විරෝධී බලවේග රැසක්, මේ බව බුරුම රජයට දැන්වුවත්, එවිට පමා වී වැඩිය.. ගඩාෆිට වුනෙත් මේ ටිකමය.. කළක් බටහිරට එරෙහිව සෘජුව සිටි ගඩාෆි, මොකක්දෝ අමාරුවක් වැළදී අධිරාජ්‍ය වාදීන් සිප ගත්තේය.. සිප ගෙන උන්ට තම රට දොරටු විවර කර දුන්හ.. එයින් මැනවින් ප්‍රයෝජනය ගත් ඔවුහු, අවසානයේ ගඩාෆි බිලිගෙන, ලිබියාව කොල්ල කෑම ඇරඹූහ.. මේ වනාහි එහි දෙවනි ජවනිකාවක දිග හැරුම බව බුරුමයට නොවැටහිණි..

    සුකී නම් ඒජන්ත ගැහැණිය බලයට පත් වන විටම, බුරුමයට අන්ත්‍රාය එන බව අප සිතා ගතිමු... ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විටම අප ඒ දිනවල ඔබට ඒ වග පැවසීමු.. අද ඒ අනතුර ක්‍රමයෙන් දිග හැරෙනු දකින්නේ හද පිරි කණගාටුවෙනි.. ඊයේ දිනයේදී "විජේ නම්බියාර්" නම් එක්සත් ජාතීන්ගේ ඊනියා සංවිධානයේ "නියෝජිතයා" ගැටුම් ඇවිලී පවතින ප්‍රදේශයට රිංගා ඇත.. විජේ නම්බියාර් ගැන යමක් කිව්වොත්, ඉන්දියානුවෙකු වන ඔහු වතාවක් ඔත්තු බලනවාය යන චෝදනාව මත චීනයෙන් එලවා දැමූ අයෙකි.. එමෙන්ම ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ මැතිවරණ සටන් මෙහෙයවන කෝටිපති රාකේෂ් නම්බියාර්ගේ මස්සිනා කෙනෙකි.. මේ මිනිහාව බුරුමයට ඊනිය "උපදේශක" කර දැමුවේ සුකීගේ ඉල්ලීම පිටය.. ඉන්දියාවේ හොඳ හිත දිනා ගන්නට වෙහෙසෙමින් සිටි නිසාම, ඉන්දියාව හරහා බටහිරින් මරු එන බව තේරුම් ගන්න බුරුම රජයට මොළයක් නොතිබුණු නිසා 2010 වසරේදී එයට විරෝධයක් පෑවේද නැත.. ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ "උපදේශකයන්" ගේ උපදෙස් ගන්නා, ගන්නා ස්ථාවර රටවල් වැනසෙන බව තේරුම් ගන්නත් ඔවුන්ට බුද්ධියක් නොවීය.. ස්ථාවර බුරුමයට අත් වෙමින් පවතින ඉරණම අපට මහත් කණගාටුවක් ඇති කරන්නේ එහෙයිනි..

    මේ ඊනියා නියෝජිතයන් එන්නේ උන්ගේ "රාජකාරියක්" කරන්න යැයි යමෙකු සිතන්නේ නම් ඒ තරම් මෝඩ කමක් තවත් නැත.. බුරුමයේ විනාශය මෙයින් මතු ඔබට දකින්නට ලැබෙනු ඇත.. එයට මුස්ලිම්-බෞද්ධ කිසිවෙකු වග කිව යුතු නැත.. වගකිව යුත්තෝ පෙන්ටගනයේ සිටිති.. ඩවුනිං වීදියේ, බකින්ග්හැම් මාළිගාවේ සිටිති.. එනිසා අනුන්ගේ ආරවුල් කරට ගෙන, සිංහල-මුස්ලිම් දෙපිරිස් එකිනෙකාට වෛරය නොපතුරුවන ලෙස ඉල්ලා සිටිනු කැමැත්තෙමි...

    ReplyDelete
  17. බුරුම රජය මේ වනවිට ඓතිහාසික වරදක් සිදුකරමින් සිටිති...බටහිර අධිරාජ්‍යවාදීන් වනාහි කවර කළකවත් කාගේවත් "මිතුරන්" නොවෙති...ඉතිහාසය සුපරික්ෂාකාරීව බැලුවහොත්, ඔවුහු තමන්ට විකල්ප ලෙස මතු වන සියළු බලවේගයන්ට ව්‍යාජ මිත්‍රත්වයේ හස්තයක් දිගු කරති...එය තරයේ වැළඳ ගන්නා සැමට, අනෙක් අතින් මරු කැඳවති....ආසන්නතම උදාහරණය වනුයේ කර්නල් මුවමද් ගඩාෆිට අත් වූ ඉරණමය....වීරයෙකු සේ නොසැලී තම භූමියේ උරුමය සහ අනන්‍යතාවය රැකගෙන, ලිබියානුවාට ආඩම්බරයක් එක් කළ කර්නල් ගඩාෆි බටහිර අධිරාජ්‍යවාදීන්ට දොරටු විවර කළ එකම අවස්ථාව මැනවින් ග්‍රහණයට ගත් ඔවුහු ගඩාෆිගේ සංවෘත ශක්තිමත් දේශය වියවුල් කොට, අවසානයේ ගඩාෆිවත් මරා දමා, තෙල් සම්පත අමුවෙන් කොල්ල කෑම ඇරඹූහ...සෝවියට් සංගමයට සිදුවූ විපතද මෙයට සමානය...බටහිරයන්ගේ ඉලව් යෝජනා සහ සෙප්පඩ විජ්ජා ප්‍රතිසංස්කරණ පරමාදර්ශ ලෙස ගත් ගොර්බචෙෆ් සිය දේශය බිලිපූජා කළේය...තවමත් බටහිරයන්ගේ විකාර ආකෘතින්ට සහ මතු පිටින් පෙන්වන ඊනියා මානව දයාවට නොරැවටී කෙළින් සිට හිලරි ක්ලින්ටන්ලා එවන මරු අවතාර හතර මායිමට වැද්ද නොගන්නා ෆිදෙල්, චාවේස්, අහමදි නජාඩ්, ආදීහු තම දේශයන්ගේ උරුමය සුරැකිව තබා ගෙන සිටිති....සෝවියට් රුසියාව කළ අමන කම ආදර්ශයට නොගෙන, සී.අයි.ඒ කුමන්ත්‍රණ වලට "ටියන්-ආන්-මන්" බේත දුන් චීනය අද බටහිර අධිරාජ්‍යවාදීන්ව ණය වහළුන් ලෙසට ගන්නට තරම් ශක්තිමත්ව සිටිති...

    තත්වය මෙසේ තිබියදී, කළක් තිස්සේ තම දේශයට උදව් උපකාර කළ චීනය තමාව ග්‍රහණයට ගෙන ඇතැයි මුලාවූ බුරුම මිලිටරි රජය, චීනය "සමබර" කිරීමට සිතා, ඉන්දියාව සමඟ මුලින් සබඳතා ඇරඹූහ...ඉන්දියාව යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම "කළාප පරයෙකි"...වෙනත් වචන වලින් කියතොත්, කළාපීය හැඟීමකින් තොරව සිය අරමුණු උදෙසා, තම වර්ගයාම පාවා දෙන්නෙකි...මේ කළාප පරයා හරහා බුරුමය බටහිරට සමීප විය...එසේ සමීප වීමේ ප්‍රතිඵලයක් ලෙස බටහිර අධිරාජ්‍යවාදීන්ට හතර මායිමට වදින්නට අවසර ලැබිණි...මෙතෙක් කල් අසීරු වූ සී.අයි.ඒ කුමන්ත්‍රණ වලට කදිම පොටක් පෑදිනි...දැන් ඇමරිකන් අධිරාජ්‍යවාදීන් විසින් ඩොලර් බඩ ගැත්තර අවුන්-සාන්-සුකී පුටුවේ හිඳුවා ඇත....මෙතෙක් කල් බුරුමයේ උරුමය රැක ගෙන උන් මිලිටරි රජයට කළ මෝඩකම් දැන් වත් සිහිවනවා දැයි නොදනිමු...එහෙත් මෙතැනින් ඉදිරියට බුරුමය ගමන් ගන්නේ ඊනියා "දියුණුව" කරා නම් නොවන බව සක් සුදක් සේ පැහැදිලිය....රූකඩ රජයකින් නැටවෙන, දුර්වල, විනය පිරිහී ගිය දේශයක් බවට බුරුමය පත්වීමත්, බුරුමයට කඩා වදින අධිරාජ්‍යවාදීහු එම දේශය චීනයට එරෙහිව යොදා ගැනීමත් වැළැක්වීමට ප්‍රමාද වූවා වැඩි යැයි අපට සිතේ...රැංගූන් නුවර රාත්‍රී සමාජ ශාලා නීතිගත කොට විවෘත කරන්නට අවුන් සාන් සුකී අවසර දෙන ලද බව අද දිනයේ දැන ගන්නට ලැබිණි...සමාජ ශාලා සංස්කෘතියට අප විරුද්ධ නොවුණත්, බුරුමය මත් වසංගතයෙන් ඔත්පල වූ ගණිකා මඩමක තත්වයට යන පාරට හැරුණු බව නම් යන්තම් හෝ මොලයක් තිබෙන කෙනෙකුට සිතා ගැනීම අපහසු නැත...

    බුරුමයේ මේ ක්‍රියාත්මක වන තත්වය සහ ඒ හරහා බුරුමයේ අනාගතය ගැන සිතා බලා, වත්මන් ලක් ජනපතිට මා විසින් අනාගතය ගැන සිතා කරන රෙකමදාරු තුන නම්:

    1. තර්ජන හමුවේ වුවද ඇමරිකාව "හිතවතෙකු" කර ගන්නට උත්සාහ නොකරන්න... ( අවසානයේ එය ඔබටම මරු කැඳවනු ඇත...)

    2. ඉන්දියාව කිසි සේත්ම විශ්වාස නොකරන්න...කිසි විටකත් නොනැමෙන්න...

    3. දැනට සිටින සමීප මිතුරන් වඩාත් ලංකරගෙන විකල්ප බල ධ්‍රැවයට නැමෙන්න..

    ජනතාවට:

    එන්න, එන්නම වියරු වැටෙන ඇමරිකන් සහ යුරෝපා අධිරාජ්‍යවාදයට යට නොවී සිටින්නට නම්, වර්ග, ආගම්, කුල ගෝත්‍ර භේද සියල්ල පසෙකලා එක ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට පවුරක් වන්න...

    තව මාස දහයක්, දොළහක් ඇතුළත ශ්‍රී ලංකාවටත් විශාල විදෙස් තර්ජනයකට මුහුණ පෑමට සිදුවනු ඇත...

    -Damith Kethaka-

    ReplyDelete
  18. අපේ චන්ද්‍රකා මැඩම් වගේ වෙයිද මන්දා ?

    ReplyDelete
  19. Interesting post..
    I know couple of people who support Suu-Kyi here in London. One thing I noted is all of them are the elite-class of the country, not the middle class.
    So I have a feeling that Suu-Kyi and her movement is more inline with UNP in SL, close connections with west rather than asia, capitalism and western mindset.
    I'm not saying that is wrong, but applying those in asian country without adopting them may not work, specially under developed asian country.

    ReplyDelete
  20. සියළු දෙනාටම ස්තුතියි!

    මේ නම ලියන්නේ Suu Kyi වුණාට කියන්නේ සු චී (Soo Chee) කියලායි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.