Sunday, 31 October 2010

මැදපු කමිස මොකුත් නැති එකේ රහස!


මං පෙරේද පෝස්ට් කරපු මැදපු කමිස මොකුත් නැත කියන කතන්දරේ නැගල ගියා. එදා පොරොන්දු වුණු විදියට මං මේ ලියන්න යන්නේ මගේ ඇඳුම් ගොඩේ මැදපු කමිස මොකුත් නැති එකේ රහස මොකක්ද කියලයි.

එදා කිව්ව වගේ මම් තුමාවත්, කතන්දර හාමිනේවත් සාමාන්‍යයෙන් ඇඳුම් මදින්නේ නෑ. මං හිතන්නේ මං තුමා නං අවුරුද්දකට එක දවසක්වත් මැදපු කමිසයක් ඔෆිස් ඇඳන් ගිහින් නෑ.

ඇත්තම කියනවා නං මේකේ ඇති රහසක් නෑ. ඇඳුම් මැද්දොත් තමයි ආපහු මදින්න වෙන්නේ. මදින්නේ නැති ඇඳුම් ආපහු මදින්න ඕනෑ වෙන්නේ නෑ.

මං කරන්නේ වැඩ ඇරිලා ගෙදර ආපුහාම එදා ඇඳපු කමිසය උංඩි කරලා හෝදන්න තියෙන ඇඳුම් ගොඩට විසිකරන්නේ නැතුව රැක් එකේ ඉල්ලන එකයි. සති අන්තයේ කරන්නේ මායි හාමිනේයි වැඩට ඇන්ද කමිස කලිසම් වගේ හොඳ ඇඳුම් ටික වොෂින් මැෂිමේ අඩුම තීව්‍රතාවයක් තියෙන සයිකල් එකේ දාලා, හේදිලා අහවර වෙච්ච සුනංගුවෙන් ප්ලාස්ටික් හැඟර්ස්වල දාලා අව්වේ වේලා ගන්න එකයි. මේ හැඟර්ස් ගන්න පුළුවනි ආර්පිකෝ වගේ තැනකින්.

සිරස් අතට එල්ලලා තියෙන කමිස, කලිසම්වලින් වතුර බේරිලා, ඒවා වේලිලා අහවර වෙන කොට ආයේ මදින්න ඕනැ වෙන්නේ නෑ.

තවත් ඉම්පොර්ටන්ට් කරුණු දෙක තුනක් තියෙනවා.

එක: හේදිලා ඉවර වුණු ගමන් රෙදි වනන්න ඕනෑ. පරක්කු වුනොත් ඇඳුම් පොඩි වෙනවා.

දෙක: මැදපු ඇඳුම් ඉක්මනින් පොඩි වෙනවා. කවදාකවත් මැදපු නැති ඇඳුම්, සෑහෙන කාලයක් පොඩි නොවී තියාගන්න පුළුවනි.

තුන: අතින් හෝදන ඇඳුම්, මිරිකලා වතුර යවන්නේ නැතුවම හැඟර්ස්වල දාලා එල්ලලා ඩ්‍රිප් ඩ්‍රයි වෙන්න ඉඩහැරියොත් වඩාත් හොඳයි. කතන්දර හාමිනේ ගේ ඉස්තරම් වර්ගයේ බ්ලවුස් රාජිණියන්ට සලකන්නේ එහෙමයි.

ඔය දෙවෙනි කාරණයට, ඒ කියන්නේ මැදපු ඇඳුම් ඉක්මණට පොඩි වෙන්න, හේතුව මට හිතෙන විදියට ෆයිබර්ස්වල තියෙන මෙමොරි ප්‍රොපටියක් වෙන්න ඇති. එක පාරක් මැද්දොත්, ඒක මතක තියාගෙන ඉඳලා ආයෙත් මදිනකං කීකරු වෙන්නේ නෑ.

-කතන්දරකාරයා

ප/ලි
දැං ඔය මකරගේ මොලේ නිකං මාකොෆ් චේන් එකක් කියනවනේ. මගේ මොලේ නං පොයිසොන් ප්‍රොසෙස් එකකයි තියෙන්නේ.

කොටන්-පොලියෙස්ටර් ෆයිබර්ස් මොන මොන ජංජාලවල පැටලිලා ද කියලා කවුද දන්නේ?

Friday, 29 October 2010

මැදපු කමිස මොකුත් නැත!


ඔන්න දැන් අවුරුදු එකසිය පනහකට විතර කලින් ඇමෙරිකාවෙ ජනාධිපති වෙලා හිටිය ඒබ්‍රහම් ලින්කන්ව මුණ ගැහෙන්න ගියාලු දන්න අඳුනන පොරක්. ඒ යනකොට මෑන් සපත්තු කුට්ටමක් පොලිෂ් කර කර ඉන්නවලු!

මේක දැකපු හිතවතා ඇහැව්වලු ලින්කන්ගෙන් ආ, ඔහේම ද ඔහේ ගේ සපත්තු පොලිෂ් කරන්නේ කියල.

ලින්කන් ගත් කටටම කියල තියෙන්නේ ඇයි ඔහේ පොලිෂ් කරන්නේ කාගේ සපත්තුද කියලයි.
(මේ දෙන්නම දකුණෙ කට්ටිය හොඳේ? ඒකයි ඔය ඔහේ ඔහේ කියල කතාකරන්නේ).

මං ඔය කතන්දරේ කිව්වෙ වෙන කතන්දරයක් කියන්නයි.

ඔන්න මං දැන් අවුරුදු කීපෙකට කලින් රාත්‍රියක ගියා යාළුවෙකුගේ ගෙදර. මං යනකොට පොර දාඩිය දාගෙන ඇඳුම් මදිනවා. මාව දැක්ක ගමං පොර කියාපි "දැං ඉතිං අපිට මේවත් කරගන්න වෙලානේ!" කියල.

මං මුලින් හිතුවෙ පොර මේ කියන්නේ කලින් වයිෆරේ රෙදි මැදල දුන්න, දැන් මංඩලේ කචල් එකක්ද කොහෙද හින්ද පොරටම රෙදි මැදගන්න වෙලාය කියල. පස්සෙ බැලින්නං මේකයි. අපේ මෑන් එච්චර වෙනකං සතියේ ගමං බිමං වලට, වැඩට, අඳින රෙදි ටික සෝදල මද්දගෙන තියෙන්නේ ලොන්ඩරි සේවයකින්.

පුදුම වෙන්න දෙයක් නෑ. මේ තමයි අර කෝක් වානා කතාවේ මං ලියපු යාළුවා!

ලින්කන් ගේ කතාව අනිත් පැත්ත හරෝලා "ආ! ඔහේ මදින්නේ ඔහේ ගෙම රෙදිද? මම නං මදින්නේ අනුන් ගේ රෙදි" කියලා කියන්නේ නැතුව මං කිව්වේ මෙන්න මෙහෙමයි.

"මම නං රෙදි මැදපු කාලයක් මතක නෑ!"

ඒ කතාව බොරුවක් නෙමේ අමූලික ඇත්ත.

ඉඳල ඉඳල කතන්දර හාමිනේ බැගෑපත්ව ඉල්ලා හිටියොත් එතුමිය ගේ 100% කොට්න් බ්ලවුස් රාජිණියක්ව මං මැදල දෙනව. ඒ මිසක් අපේ ගෙදර නං, මම් තුමාවත්, හාමිනේවත් රෙදි මදින්නේම නෑ. මැදපු කමිස, කලිසම්, බ්ලවුස් ආදී ඇඳුම් අඳින්නෙත් නෑ.

කොටින්ම මගේ මැදපු කමිස මොකුත් නෑ!

ඔය උඩ තියෙන ෆොටෝ එක බලන්නකෝ. එකක්වත් මැදලා නෑ.

මේ කතන්දරේ කියවන හැමදාම මැදපු ඇඳුම් අඳින අයට අපි දෙන්නා හොඳ ආදර්ශයක් වේවි මයෙ හිතේ.

හොඳටම රෑ වුණා. මේ ගැන වැඩි විස්තර දවස් දෙකකින් විතර ලියන්නම්.

-කතන්දරකාරයා

ප/ලි
මේ කතන්දරේට මං දීල තියෙන ටොපික් එක කලින් අහල තියෙන අය මෙන්න මේකත් අහල ඇති.

මේ බල්ල බන බදා දාතු නටවා රිය පොලට එනවා.

Tuesday, 26 October 2010

බින්දු බින්දු දා හතර


මේ කියන්න යන දේ අපේ සහෘද සිංහල බ්ලොග්කාරයින් වෙන මගේ මරණය, මාරයාගේ හෝරාව, බූරු බබා වගේ අය විතරක් නෙමේ ඕනෑම, කන-බොන කෙනෙක් දන්න කතාවක් කියල මං හිතනව.

වෙනද වගේ වහෙං ඔරෝ නැතුව මෙන්න ගහපං පොල්ලෙන් ඔළුවට ක්‍රමයට කෙලින්ම කතාව.

දැන් ඔන්න අපි පොඩ්ඩක් සෙට් වෙච්ච බොහොමයක් වෙලාවට ඉතිං බෝතල් සහ වීදුරු ගැටෙනවා නේ. ඕනෑම බෝතලයක තියෙන, අරක්කු හෝ ජින් හෝ වයින් හෝ බියර් හෝ සේරම වීදුරුවලට දාගත්තට පස්සෙත් අඩු ගණනේ තවත් බින්දු දාහතරක් ඒ බෝතලේ ඉතුරුවෙලා තියෙනවා, තියෙනවා ම යි...!!!

කොහොමද මං දන්නේ?

ඔය කතාව මුලින්ම අහපු වෙලාවේ විශ්වාස නොකරන අය ඒක චැලේන්ජ් එකක් විදියට බාර අරගෙන මේ දැන් ඇස් ඉදිරිපිට හොඳටම හිස් කරපු බෝතලයක් උඩ යට හරවලා වීදුරුවට උඩින් අල්ලං ඉඳලා මේ තියරිය ටෙස්ට් කරලා බලනවා දෙතුන් විටක් ම දැකලා තියෙන හින්දයි.

අන්තිමටම දැක්කේ ඊයේ රෑ. ඒ බෝතලේ බින්දු දාසයක් තිබුණා.

බොරුයි කියල හිතෙනවා නං ඇහැකි වෙලාවක, ඇහැක් විදියට චැක් කරල බලන්නකෝ.

මං ඉස්සෙල්ලාම මේ කතාව දැනගත්තේ ඉංගිරිසි සම්භවයක් තියෙන කාන්තාවකගෙන්. එතන හිටිය, ලාංකිකය විතරක් නෙමේ, වියට්නෑම්කාරය, පකිස්ථාන්කාරය, ඉන්දියන්කාරි, ඕස්ටෙ‍්‍රලියන්කාරි ඇතුළු මුලු අන්තර්ජාතික වට මේසයම ඕක දැන ගෙන හිටියෙ නෑ.

එදා ඉඳල ඒ හැමෝමත් ඕය විදියට බින්දු වක්කරගන්නව ඇති.

හැබැයි මං මේ බින්දු හොයන්නේ නං වයින් වගේ ජාතිවල විතරයි. රතු හෝ කළු ලේබල් නං ඊට වැඩිය හොඳයි බෝතලේට වතුර ටිකක් දාල කරකෝල වීදුරුවට දාගන්න එක.

බියර් නං මට අරහං.

මොනව වුනත්, මේ බින්දු හොයන වැඩේ මධුලෝලී කෑදරයින් ගේ වැඩක්ම නෙමේ. සම්පත් නාස්තිය අවම කරන්න ඕනැ නේ -ලෝක ප්‍රජාවගේ යහපත උදෙසා. අන්න ඒකයි.

-කතන්දරකාරයා

Saturday, 23 October 2010

අරුණි ශපීරෝ ගෙන් පිළිතුරක්


මගේ ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද? කියන කතන්දරේ ට අරුණි ශපීරෝ මුලින් දාපු කමෙන්ට් එක ගැන සයිබර් යායේ බුද්ධි ගේ පිළිතුරට අරුණි ශපීරෝ ආයෙත් උත්තරයක් ලියාලා.

මොකක් හරි ප්‍රශ්ණයක් නිසා ඒක කමෙන්ට් එකක් විදියට දාන්න බැහැ. මට එව්වා, මටත් බෑ. ඒ නිසා මට හිතුනා ඒ පිළිතුර මේ විදියට වත් පබ්ලිෂ් කරන්න.

ස්තුතියි අරුණී!
=============================================================
From: Aruni Shapiro arunishapiro@gmail.com
Date: 2010/10/22
To: Kathandara Kaarayaa kathandara@gmail.com

කතන්දර සයිට් එකේ උත්තරයක් දාන්න ගියාම ඉඩ දෙන්න බැහැයි කියනවා. පින් අඩුවේගන යනවා ද මන්දා? :)

@බුද්ධි,

මට මෙහෙම ප්‍රශ්නයක් මේ දිනවල. මගේ අවුරුදු 15 ක බැල්ලිට දැන් ඇස් පෙනීම අඩුයි. දත් ටිකකුත් එහෙන් මෙහෙන් හැලිලා ගිහින්. ටිකක් අංශබාගය පස්සා ගාතයකට. ඇල්සයිමර්ස් වයස නිසා. කන්න බොන්න මතක් කරන්න ඕනා. ඉතින් මං වේල් හතරක් අතින් බත් හොදි අනල ගුලි කර කර කවන්නෙ. රෑට වේදනා නාශක පෙත්තක් දෙනවා.

එයා තවම ඇවිදින්න යන්න ආසයි. ඉතින් මාත් එක්ක ඇස් නොපෙනුනාට හැතැප්මක් දෙකක් හැමදාම ඇවිදිනවා. වේදනා නාශක පෙත්ත නිසා රෑට හොඳට නිදාගන උදේ වරුවේ හරි කඩිසරයි. දුකින් වේදනාවකින් ඉන්න පාටක් නැහැ. ආයෙ හවස් වෙනකොට තමා වේගෙ අඩු.

ඉතින් මං ඔය කරන ටික පින් ද?

ඌ ස්වභාව ධර්මයාට අනුව ඔය මුකුත් නොකළොත් (පින් නම් එය නොකර සිටීම) දිනයකින් දෙකකින් මරණයට පත්වෙන එක පවක් ද? පිනක් ද?

මං ඌට දුන්නු ජීවිතය නෙමෙයි නිසා මට ඒක නැතිකරන්න අයිතියක් ඇත් ද?

හරි වැඩේ, පව්-පින් කරන ස්කේල් එක කවුරුත් එහෙම ලියලා තියෙනවා ද?

කතන්දරගෙ සටහනට ආයෙත්.

ක්ෂුද්‍ර ජීවියා මැරුවම ‍කොච්චර පව් ද?
මදුරුවා මැරුවාම කොච්චර පව් ද?
තල්මසා මැරුවාම කොච්චර පව් ද?
බළු කපු‍ටු දානය දුන්නම ‍කොච්චර පින් ද?
කිරිමාතාවන්ට දානය දුන්නම කොච්චර පින් ද?
ස්වාමීන්වහන්සේලාට දානය දුන්නම කොච්චර පින් ද?

එහෙම ස්කේල් එකක් තියනවා නම් ඉතින් ඕනම වැරැද්දක් කරලා වයසට ගිහින් මැරෙන්න ඔන්න මෙන්න ළං වෙන‍කොට දාන ගොඩකුයි, ඇඟේ තියන බද්ධ කරගත හැකි සේරම අවයවයි දානය කරලා ගියොත් ඉතින් දිව්යසලෝකයට ද යන්නෙ? ඊ ළඟට හොඳ ආත්මෙකට ද යන්නෙ?

සමහර විට වයසට යද්දී දාන දෙන එක වැඩියෙන් සමහරු කරන්නෙ ඔය පව්-පින් ස්කේල් නිසා වෙන්නැති. ඉක්මනට අර තරුණ කාලේ කරපු පව් පියවන්න.

එහෙම බලනකොට, පිළිගත් දාන මාන වැඩිය කරල නැති නිසා මම පින් වැඩිය එකතු කරගෙන නැහැ. පව් නොකළාට!!!!

සමහර විට මම ගිය ආත්මෙත් පව් කරලා නැති හැඩයි!! මොකද මෙයාලා, මම මහළු වයසේ සිටියත් හරි නිරෝගීයි. දොස්තර කෙනෙක් දැක්කෙ අවුරුදු විස්සකට ඉස්සර දුව ප්ර්සූත කරන්නයි. අනික කන්න බොන්න කිසි අඩුපාඩුවකුත් නැහැ. තව ධන වස්තුව හොයාගත්තොත් ආණ්ඩුව බදු කපා ගන්න නිසාම කිසි විදියකින් ධන වස්තු වැඩි කරගන්න ආසාවකුත් නැහැ!!

ඉතින් දැන් පව් නොකර හිටියොත් ඒ ඉස්සර ආත්ම වලින් ආපු පින් දිගටම ඇදගෙන ගිහින් තවත් ආත්මයක නිරෝගී, සැප සුව ඇතුව උපදින්න බැරි ද? නැත්නම් ඒ පින් ටිකෙන් ටික අඩුවෙලා යනව ද දැන් තියන සැප නිසා? එතකොට ගෙවෙන පින්වලට දාන මාන කරල අළුත් පින් ඉන්ටරෙස්ට් එකක් හදා ගන්න වෙනවා ද?

කතන්දර කියනවා වගේ ඔක්කොම ඉතින් ඉස්සර ආත්මෙකුයි පස්සෙ ආත්මෙකුයි විශ්වාස කරනවා නම්නෙ. මං විශ්වාස කරන්නෙ මං මැරනට පස්සෙ මං නැතැයි කියල නිසා එතකොට පින්-පව් ඔක්කොම පූෆ් ගාලා ‍අහෝසි වෙලා යයි!!!

අපි මේ කතා කරන්නෙ බුද්ධාගම ද නැත්නම් හින්දු ආගම ද? බුද්ධාගම ගැන නම් හින්දු ආගමට වඩා ආත්මන් අදහන්නේ නැති මහා විප්ලවීය ආගමක් කියා බුද්ධාගමට නම වැටුනේ ඇයි?

=============================================================

පිං පව් ගැණ කියනවා නං: මේ විදියට බ්ලොග් ලියන්න, කියවන්න, මං පිං කරලා තියෙනවා කියන එක නං මට ෂුවර්.

ඒත් මගේ කතන්දරවලට එන ප්‍රතිචාරවලට මට හිතේ හැටියට පිළිතුරු ලියන්න වෙලාවක් හොයාගන්න බැරි එක නං මගේ පාරුවේ පුවක් තමයි.

-කතන්දරකාරයා

Thursday, 21 October 2010

පූරුවේ පවක්...!!!


ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද? කියල කතන්දරයක් වගේ එකක් ලියන වෙලේ මට පොඩ්ඩක් විතර බණ දහම් මතක් වුණා.

දැන් ඔය පව්, පිං දෙක එහෙම නැත්තං කර්ම තියෙනව නේද? පාලියෙන් කම්ම කියන්නෙයි, අපේ භාෂාවෙන් කරුමේ කියන්නෙයි ඒකට තමයි. හැබැයි කරුමේ කියන කොට නං එන්නේ පව් කියන අර්ථය විතරයි.

හරියට ගඳ කියනකොට දුගඳ විතරක් මතක්වෙනවා වාගේ.

මොනව වුනත් ඔය කර්ම ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදල විශ්ලේෂණය කරල තියෙනව බුදු දහමේ.

1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
2. උප පජ්ඣ වේදනීය කර්ම
3. අපරාපරිය වේදනීය කර්ම
4. අහෝසි කර්ම

ඉස්සර කාලෙ ඉඳලම පැවත ගෙන එන පෙරදිග ඥාණය අනුව අපි කරන හැම ක්‍රියාවකටම (කර්මයකටම) ප්‍රතික්‍රියාවක් තියෙනව. අර නිව්ටන් කාරය එව්රි ඇක්ෂන් හෑස් එ රියැක්ෂන් කියල භෞතික ලෝකය ගැන කිව්වෙත් ඔය කතාවම තමයි.

භෞතික ලෝකයෙන් පිටස්තර කාරණාවලදි මේ ප්‍රතික්‍රියාවලිය හැඳින්වෙන්නේ පටිසන් දීම කියලයි.

ඉස්සෙල්ල කියපු කර්ම වර්ගීකරණයට පදනම වෙලා තියෙන්නේ කර්මය පටිසන් දෙන විදියයි.

දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මේ ආත්මයේ දී ම පටිසන් දෙන කර්මවලටයි. අවිගත්තෝ අවියෙන් නැසෙති කියල කියන්නේත් මේ මත පදනම් වෙච්ච ප්‍රස්ථා පිරුලක් මට හිතෙන විදියට.

අද මේ හොඳට ඉඳල එක පාරටම වාෂ්ප වෙලා ලෝකෙන් තුරන් වෙලා යන අය, පුටුවෙන් පැදුරට හරි රජගෙදරින් සිරගෙදරට යන අයට එහෙම වෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම හින්දයි කියලයි බණ පොතේ සඳහන් වෙන්නේ.

දිට්ඨ ධම්ම වේදනීය පුණ්‍ය කර්ම පලදීමත් ඔය වගේම තමයි. අද හිරේ හිටියට හෙට සුවිශේෂී ක්‍ෂමාවක් ලැබිල හිරෙන් නිදහස් වෙන්න පුළුවන්. අද කැලේ වන සතුන් වගේ දුක් වින්දට හෙට රාජ මන්දිරවල සැප විඳින්න පුළුවන්.

උප පජ්ඣ වේදනීය කම්ම කියන්නේ මේ ආත්මේ කිසිම අවුලක් නොවී ඊලඟ ආත්මේ ඉඳල පටිසන් දෙන කර්මවලටයි. හරියට අපේ ආණ්ඩුව තියෙන කාලේ අපි කරන හොර වැඩ රාජ බලලෙං යට ගහං හිටියට, ආණ්ඩුව වෙනස් වෙලා, අද විපස්සේ හෙට බලේට ආපුවාම අපිට හිරේ විලංගුවෙ වැටෙන්න වෙනව වගේ කේස්වලටයි.

මරණින් පස්සේ චෙනත් ආත්මයක් නෑ කියල හිතන අය මේ ගැන අවුලක් ඇතිකරගන්න ඕනැ නෑ.

අපරාපරිය වේදනීය කර්ම කියල කියන්නේ මතු ඉපදෙන ආත්මයක්, ආත්මයක් පාසාම පටිසන් දෙන විදියේ කර්මවලටයි.

මතකනේ, කර්ම කියන්නේ පව් පිං දෙකටමයි. අර සීවලී හාමුදුරුවෝ පෙර ආත්මෙක බඩගින්නේ හිටි බල්ලෙකුට බත් කටක් දීලා, ඊලඟට ඉපදුණු හැම ආත්මෙම පිඟාන පිරෙන්න කෑම ලැබුණාය කියන්නේ මෙන්න මේ වගේ කර්ම හින්දායි.

ආණ්ඩු වෙනස් වෙන විදියට පාට වෙනස් කරගන්න අපේ අයත් මේ වර්ගයේ පිං කාරයෝ.

ඒ වගේම, කොච්චර මැතිවරණ ආවත් හැමදාමත් විපස්සේ ඉන්න වීමත්, එක්තරා ආකාරයක අපරාපරිය වේදනීය කර්මයක් තමයි!

අහෝසි කම්ම කියන්නේ කර්මය සිද්ධ වුනාට ඒකෙන් ප්‍රථිපලයක් නොලැබෙන කොටයි.

ඕනෑම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් හරි උප පජ්ඣ වේදනීය කර්මයක් හරි, ඉතාම ලේසියෙන් අහෝසි කර්මයක් කරගන්න පුළුවන් - පොඩි ඇනටොමිකල් අවශ්‍යතා දෙක තුනක් සපුරන්න ඇහැකි නං.

හොඳින් නම්‍යශීලි කශේරුකාවකුයි, ඇනලිටිකල් ග්ලෝබ් එක මියුට් කරපු මස්තිශ්කයකුයි, දෑත් ශක්තිමත් කරන්න තරමේ මසල් පවර් එකකුයි විතරයි අවශ්‍ය වෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි
තවත් ඇනටොමිකල් අවශ්‍යතා තියෙනවද මන්දා? දන්නෝ දනිති!

Tuesday, 19 October 2010

ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද?


මං පොඩි කාලේ අපේ ගෙදර මෙට්ටෙකට මකුණො බෝ වෙලා තිබිල, ඒ බව තේරුනේ එක දවසක් මහ රෑ දෙගොඩහරි ජාමේ.

මල්ලියි, තාත්තයි බර අවි යොදා ගන්නෙ නැතුව කරපු මකුණු සමූල ඝාතන මහා මානුෂික මෙහෙයුමට මටත් හවුල් වෙන්න වුණා.

ඔය කතාව ගැන ලිපියක් මේ ලඟදි සඟරාවක පලකරන්න ලියන කොට මට මතක්වුනේ දහම් පාසලේ දී ඉගෙන ගත්තු ලෝවැඩ සඟරාවේ එන මෙන්න මේ කවි පද දෙක.

"පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලඳා"

මේ කවිය සිහිවුනාම මට හිතුනේ හොඳ වෙලාවට මකුණන්ට මයිල් නැත්තෙ කියලා එළිච්චියන් ට වගේ.

ඒ කොහොම වුනත් මකුණෙක් මැරුවාම ලැබෙන පව අඩුයි නේද එළුවෙක් මැරුවට වඩා?

මට තේරිලා තියෙන විදියට මරණයට ලක්වෙන සතා ගේ ඇඟේ සයිස් එකට අනුලෝමව සමානුපාතිකයි සිද්ධවෙන පව. සතා පොඩි නං පව පුංචියි, සතා ලොකුවෙන්න වෙන්න පවත් ලොකු වෙනවා.

බණ අහන ගමන් උනත් මදුරුවෙක් වගේ පුංචි සතෙක්ව ඇඟට පතට නොදැනි චටස් ගාල තලල දාන්න පුළුවන් ඒ හින්දයි.

අලියෙක් මැරුවොත්, තල්මහෙක් මැරුවොත් හෙම මුළු ලෝකෙම වගේ කම්පාවෙන්නේ ඒ හින්දයි.

ඒ එක්කම ඉන්දියාවෙ දුම්රිය අනතුරකින් දෙසීය ගාණක් මැරෙන එකට වැඩිය, යූ.එස්.ඒ. වල දෙන්නෙක් මිය යාම ලොකු ඉන්ටර්නැෂනල් නිවුස් එකක් වෙන්නෙත් ඒ නිසයි.

-කතන්දරකාරයා

ප/ලි
දැන් ඔය අපි වගේ පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත් ඉතිං ඒ පරණ පව් නිසානේ. අපිට ඉතිං සොරි ඩොට් කොම් විතරයි.

ඒකටත් එක්ක ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ඉතිං කළු කොඩි තමයි රට පුරාම.

ඒ තල්මහ පොර වෙලා හිටිය කාලේ විනාස කරපු හාල්මැස්සො කන්දරාව ගැන කාටද අනේ මතක?

තල්මසුන් රකින්න ඉන්ටර්නැෂනල් වේලිං කොමිසම තිබුණට, පොඩි හාල්මැස්සන්ට ඉතිං දෙයියංගෙ පිහිටවත් නෑ.

ප/ප/ලි
ටියුබ් ලයිට් අයට- කතන්දරේ අද නෙමෙයි හෙට!

ප/ප/ප/ලි
මෙන්න දෙවෙනි කොටස - පූරුවේ පවක්!

Saturday, 16 October 2010

දේශප්‍රිය පිටරට පනී!


දැං ටික කාලෙකට කලින් මං කියෙව්වා අපූරු කෙටිකතා පොතක්. ඒකෙ නම "තිරස තරණ".

මේ පොතයි, ඒකෙ තිබුණු කෙටිකතායි මට හොඳට අල්ලලා ගිය හින්දයි මේ ගැන කතන්දර බ්ලොග් එකේ ලියන්න හිතුනෙ.

තිරස තරණ පොත අපි සාමාන්‍යයෙන් බලල තියෙන කෙටිකතා පොතකට වඩා වෙනස් එකක්. ඒ කාරණා කීපයක් ම නිසා.

මුලින්ම මේකෙ තියෙන කෙටිකතා පහළොවම ලියවිලා තියෙන්නේ එක ලේඛකයෙක් නෙමේ පහළොස් දෙනෙක්. ඒ අය සියළු දෙනාම උපන් රටෙන් පැනල මේ වෙන කොට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අයයි. ඒ මදිවට මේ කතා සේරටම පදනම් වෙලා තියෙන්නේ තමන්ගේ ම ජීවිත අත්දැකීම්. ඒ කියන්නේ මේ පොතේ තීම් එක තමයි ඕස්ට්‍රේලියානු සිංහල සංක්‍රමණික අත්දැකීම්.

ලංකාවේ ඉඳල පිටරට ගිහින් එන අයත් විවිධ නවකතා ලියනව. මේ පාර සාහිත්‍ය සම්මානයක් ලැබුණු සුමිත්‍රා රාහුබද්ද ගේ කන්දක් සේමා නවකතාවත් ඒ වගේ එකක් නේ. එහෙම වුනාට ඒව බොහෝ විට ද්විතියික මූලාශ්‍ර මත ලියවුණු ඒවා නේ. ප්‍රාථමික මූලාශ්‍ර මත කතා ලිව්වොත් ඒවා නිකං සංචාර සටහන් විතරයි.

ඒ අනුව බලන කොට පිටරට ජීවත්වෙන සිංහල මිනිස්සු තමන්ගේ අත්දැකීම මත පදනම්වෙලා තමන්ම ලියන කතා ඒ රටවල් ගැන දැන ගන්න සාපේක්‍ෂව හොඳ ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.

මේ තිරස තරණ පොතේ එක එක විදියේ රස මවන කෙටිකතා තියෙනවා. මං නං ඉතිං කැමති උත්ප්‍රාසයට නේ. ඒ හින්දා මගේ හිත ගියේ මේකෙ තියෙන ලක්‍ෂ්මන් රන්දෙනිය ලියපු කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන කියන කෙටිකතාවටයි.

මේ කෙටිකතාවේ කතානායකයා ගේ නම දේශප්‍රිය. මිනිහා කොල්ලා කාලේ ඉඳලාම කවද හරි පිටරට පනින්න ප්ලෑන් කර කර උන්නු නිසා යාළුවෝ පොරගේ නම වෙනස් කළා ලු විදේශප්‍රිය කියලා.

ඉතිං මේ දැන් විදේශයේ ජීවත්වෙන විදේශප්‍රිය ගොයියා, කප් සුවහස් කලක් පෙරුම් පුරලා, නිවාඩුවකට ආපහු ලංකාවට එන ගමන ගැනයි මේ කෙටිකතාව ගෙතිල තියෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල මිනිස්සුන්ගේ ජීවන රටාවේ එක එක පැති විස්තර වෙන කෙටිකතා සේරම පහලොවක් තියෙනවා මේ තිරස තරණ පොතේ.

පොත මුද්‍රණය කරල බෙදාහරින්නේ දයාවංශ ජයකොඩි සමාගමයි. සරසවි, ගුණසේන වගේ තැන්වලත් ඇති.

සේරටම කලින්න බලන්නකෝ ප්‍රාදේශීය සභා / නගර සභා පුස්තකාලේ තියෙනවද කියලා.

මං පොඩි කාලෙ ගිය පුස්තකාලෙ අක්කි නං මේ පොත දායි පරිවර්තන ගොඩේ. ඇයි ඉතිං, ඕස්ට්‍රේලියානු පොතක් නේ!

-කතන්දරකාරයා

ප/ලි
ඇත්තටම ප්‍රාදේශීය සභා / නගර සභා පුස්තකාලවලට මොන පොත් ද ගන්නේ කියලා තීරණය කරන්නේ කවුද? වරිපනම් බදු ගෙවන, පුස්තකාලෙ සාමාජික අපිට බැරිද මෙන්න මේ මේ පොත් ගන්න කියල රෙකමදාරු කරන්න?

Wednesday, 13 October 2010

හබරල ගාලේ කබරගොයි විවාදය


මං ඉස්ඉස්සෙලාලාම ෆුල් ඉලෙක්ෂන් ආතල් එකක් ගත්ත 1994 මහා මැතිවරණය ගැන පරණ කතන්දර කීපයක් තමයි මේ කියාගෙන යන්නේ. ධර්මිෂ්ඨ සමාජය අවසාන වේගෙන යමින් තිබුණු මේ කාලේ මං විකල්ප පත්තර බැලුවා, රුපියල් විස්සේ පෙට්‍රෝල් ගැන වාද කළා, දේශපාලන රැස්වීම් බැලුවා, ඒ එක්කම රූපවාහිනියේ වාද විවාදත් නැරඹුවා.

මේ දවස්වල ටී.එන්.එල්. එකේ පටන් අරං තිබුණු දේශපාලන විවාද වැඩ සටහනක් තමයි ජන හඬ. මං හිතන්නේ මේක තමයි අද තියෙන විවාද වැඩ සටහන්වල පුරෝගාමියා. සාමාන්ය ෆෝමැට් එක වුනේ ආණ්ඩු පස්සෙනුයි, විපස්සෙනුයි දෙන්නෙක් ඇවිත් වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදියාගේ දෙපැත්තෙන් ඉඳගෙන අහන ප්‍රශ්ණවලට උත්තර දෙමින් වාද-විවාද කරන එක.

මේ වැඩ සටහන මුලින් මෙහෙයෙව්වේ ඒ දවස්වල ලංකාදීප පත්තරේ ද කොහෙද වැඩ කරපු ආරියනන්ද දොඹගහවත්තයි.

සමහර දවස්වලට වෙන පොඩි පහේ පොරක් වැඩ බැලුව. ඒත් මං පස්සෙ කියන්න යන කාරණයක් නිසා ඒ සෙකන්ඩ් ඉන් කමාන්ඩ් කොල්ලා ගේ හරි නම දැන් මතක නෑ.

මේ ජන හඬ වැඩ සටහනේ මං බලපු විනෝදාත්මකම විවාදය තිබුනේ ඒ දවස්වල විපස්සේ ක්‍රියාකාරිකයෙක් වුණු මහින්ද යි, විජය, චන්ද්‍රිකා එක්ක දේශපාලනේ කරල පස්සේ ප්‍රේමදාසවාදියෙක් වුණු ආණ්ඩු පස්සේ ඔසී යි අතරේ.

ඔසී නං දැන් ජීවතුන් අතර නෑ. ගාමිණී මැරුණු කොටි බෝම්බෙන් පරලොව ගියා. ඒ දවස්වල හිටපු මහින්දත් දැන් ඉතිං නෑනේ. මං කියන්නේ අර මානව හිමිකම් ගැන කියන්න ජිනීවා ගිය, ආණ්ඩුවේ මිනී මැරුම් වලට විරුද්ධව පා ගමන් ගිය කෙනා ගැනයි.

ඉතිං මේ දෙන්න ගේ විවාදය නරඹල මං ෆුල් ආතල් එකක් ගත්ත එදා. මොකද දෙන්න කලේ එකිනෙකා සමග රණ්ඩු වීම තමයි පටන් ගත්තු වෙලාවේ ඉඳලා. ආරියනන්දට කිසි කොන්ට්‍රෝල් එකක් තිබුනේ නෑ. ඒ ගත්ත ඉලෙක්ෂන් ඩිබේට් ආතල් එක ඩබල් වෙලා, ට්‍රිබල් වෙලා අද අවුරුදු දාසයකට පස්සෙත් මට දැනෙන්නේ නම් වෙනම හේතුවක් හින්දයි.

මේ කියන කාලේ, ඉරිදා ලංකා පත්තරේද කොහෙද ගියා තීරු ලිපියක් පිස්සා ගේ පලාමල්ල කියලා. අද සිංහල බ්ලොග් අවකාශයේ තියෙන පලාමලු වගේම ජොලි කතා තිබුණු කොලමක් මේක.

මේ කොලම ලියපු පිස්සා, එක සතියක ලියල තිබුණා මේ ජන හඬ විවාදය ගැන. පිස්සා කියපු විදියට පත්තරකාරයෝ එහෙම නැත්තං ජර්නලිස්ට් ලා ජාති දෙකක් ඉන්නා. එක කොටසක් සැබෑ පත්තරකාරයෝ. අනිත් අය බෝතල් පත්තරකාරයෝ, එහෙම නැත්නම් බොටල් ජර්නලිස්ට් ලා. පිස්සා ට අනුව මේ ජන හඬ වැඩ සටහන ඉදිරිපත් කලේ බොටල් ජර්නලිස්ට් ලා යි.

ඉතිං එදා ඉඳං, අපේ ගෙදර කෂ්ටිය ආරියනන්දට කීවේ ලොකු බොටල් කියලයි. අර සෑකන්ඩ් ඉන් කමාන්ඩ් ට කීවේ පොඩි බොටල් කියලයි. පොඩි පොරගේ නම අද මට අමතක ඒ නිසයි.

පිස්සා ගේ පලාමල්ල කොලමේ එදා තිබුණු ජොලිම කෑල්ල මෙන්න මේකයි.

පොර මහින්දගෙයි, ඔසීගෙයි විවාදය සමාන කරල තිබුනේ හබරල ගාලක කබරගොයි දෙන්නෙක් කරන රංඩුවකටයි!

කබරයො දෙන්නෙක් ගේ බාව පහරවලින් හබරල කොල පොඩිවෙන හැටි මේ කතන්දරේ කියවෙන හුඟ දෙනෙක් දැකල නැතුව ඇති. මාත් කබරයො තනි තනිව ඉන්නව මිසක් කබර ෆයිට් එකක් දැකල තිබුනෙ නෑ.

හැබැයි පිස්සා ගේ පලාමල්ල බැලුවට පස්සේ, ඒ වෙනකොටත් හිතේ ෆෙෂ් විදියට තිබුණු ජන හඬ විවාදයේ රූප මාලාව ආවර්ජනය කරල, ඇත්තටම කබරයො දෙන්නෙක් හබරල ගාලක පොරකන හැටි මට රියලිස්ටික් විදියට හිතෙන් මවාගන්න පුළුවන් වුණා.

ඔබටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි
මං දැන් බලන්නේ කතුර කියන රූපවාහිනී දේශපාලන විවාද වැඩසටහන විතරයි. මේක හරිම හොඳ ප්‍රෝගැම් එකක්. එත් මට හිතාගන්න බැරි ඇයි හරියට එඩිට් නොකර, අර වෙළඳ දැන්වීම් යන අතරේ තුන්දෙනා නිකං කතාකරන ඒවත් පෙන්නන්නේ කියලයි.

Sunday, 10 October 2010

පෙට්‍රෝල් ලීටරයක් රුපියල් විස්සකට?


මං දැන් ලියා ගෙන යන්නේ මං මුල ඉඳල අග වෙනකං ෆලෝ කරපු මුල්ම මැතිවරණය, ඒ කියන්නේ එක්දහස් නමසිය අනූ හතරේ මහ මැතිවරණය කාලේ මගේ අත්දැකීම් ගැන කතන්දර කීපයක්. මේ කාලේ මං විකල්ප පත්තර කියෙව්වා. දේශපාලන රැස්වීම් බලන්න ගියා. රූපවාහිනියේ අළුතින් පටන්ගත් රතු ඉර වගේ දේශපාලන විවාද බැලුවා. ෆුල් ඉලෙක්ෂන් ආතල් එකක් ගත්තා.

ඔන්න දවසක් මං හවස බොරැල්ලෙන් බැස්සාම පිටකෝට්ටේ පැත්තට එන බස් එකක් ගන්න, එතන හන්දියේ මහා දේශපාලන රැස්වීමක් -විපස්සේ කස්ටියගේ.

මං සාමාන්‍යයෙන් කැමති නුගේගොඩ සුපර්මාකට් එක ලඟ තියෙන රැස්වීම් බලන්නයි. හැබැයි බොරැල්ලේ තිබුණු කීපෙකුත් බලල තියෙනවා. මං මේ කියන්න යන රැස්වීමට අමතරව බොරැල්ලේ දී බලපු පොඩි පොකට් රැස්වීමක් තමයි දැන් ලොක්කෝ වුනත්, ඒ දවස්වල සොක්කෝ වුණු චම්පකගෙයි, රතනගෙයි පරිසර පාටියේ රැස්වීමක්.

ඉතිං, මේ කියන දවසේ තිබුණු විපස්ස රැස්වීමේ මං එන වෙලේ කතාකරමින් හිටියේ ඒ දවස්වල සිරි ලංකා එකේ භාණ්ඩාගාරික වුණු කඩුවෙල කිංස්ලි. පොර තමයි, දුෂණය, භීෂණය අවසාන කරමින්, අළුතින් පත්වෙන්නට නියමිතව තිබුණු ආණ්ඩුවේ මුදල් ඇමති වෙන්න හිටියේ ඒ දවස්වල කතාවේ හැටියට.

මෙන්න මට ඇහුණ කතාවේ කොටසක්.

"අද ප්‍රෙටෝල් ලීටරයක් හදන්න යන්නේ රුපියල් දාසයයි. මේ ආණ්ඩුව ඒක විකුණන්නේ රුපියල් තිස් පහටයි. අපිට පුළුවන් ඒක රුපියල් විස්සකට දෙන්න."

මං බස් එකේ නැගල ගෙදර ගියේ කට දෙකොණින් හිනා වෙවී. ඒ යන කොට අපේ ඇන්ටි කෙනෙක් අපේ ගෙදර ඇවිත්. ඇන්ටිත් ඉතිං හොඳ සිරිලංකා කාරයෙක් තමයි ඒ දවස්වල.

මං ගෙදරදි ඔය රුපියල් විස්සේ පෙට්‍රොල් කතාව ගැන කියල හිනාවෙනව ඇහුණ අපේ ඇන්ටිට පොඩ්ඩක් විතර කේන්ති ආවා.

"ඔව්, අපේ ආණ්ඩුවක් ආවාම දෙනව තමයි රුපියල් විස්සට පෙට්‍රොල් ලීටරයක්. හදන්න යන්නේ රුපියල් දාසය නම් ඇයි ඉතිං විස්සට දෙන්න බැරි, එතන සීයට විසි පහක ලාබෙකුත් තියෙනවනේ?" අපේ ඇන්ටි කොහොමටත් ඉතිං ඔය සීයේට ගනං හදන්න දස්සයි!

මං ඉතිං ඒ දවස්වල (අදට වැඩියේ) කොල්ලා හින්ද ටිකක් හිතුන අපේ ඇන්ටි එක්ක තර්කයක් කරන්න.

"මේකනේ ඇන්ටි සිද්ධිය. මුලින්ම අපි දැන ගන්න ඕනැ, අද පෙට්‍රොල් ලීටරයක් රුපියල් දාසයට හදන්න පුළුවන් අද පවතින බොරතෙල් මිල සහ අද විනිමය අනුපාතිකය නිසා බව. හෙට ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා."

"ඊ ලඟට, අද පෙට්‍රොල් ලීටරයක් තිස්පහට විකුණලා ආණ්ඩුව ගන්න බදු මුදල් වලින් කරන වැඩ, ඒ කියන්නේ පාරවල් කැඩෙන ඒවා හදන එකවගේ වැඩ ටිකවත් කරන්නේ කොහොමද, ඒ බද්ද නැති වුනොත්?"

"ඒ සේරටමත් වැඩිය, පෙට්‍රොල් මිල අඩු වුණාම වැඩි වෙන පාරිභෝජනය නිසා වෙන පරිසර විනාශය? විදේශ විනිමය නාස්තිය? ඒවට කවුද වග කියන්නේ?"

"මට නං හිතෙන්නේ ඇන්ටි, ලංකාවට වෙන්න පුළුවන් හොඳම දේ තමයි තවත් පෙට්‍රෝල් ගණං යන එක. මේ වාහන ගොඩත් අපේ පාරවල් වලට දරන්න අමාරුයි!"

අනේ මගේ කට කහනවට කියපු ඒ තර්ක විශ්වාස කරන කෙනෙක් නෙමේ අපේ ඇන්ටි.

එයා, තමන්ගේ පරණ චැලියත් රෙපයාර් කරගෙන ගිටිය මගෙ හිතේ රුපියල් විස්සේ පෙට්‍රොල් ගහගෙන ගමන් බිමන් යන්න.

අනේ පව්!

-කතන්දරකාරයා

ප/ලි
මීලඟ කතන්දරේ, 1994 දී රූපවාහිනියේ බලපු දේශපාලන විවාදයක්.

Wednesday, 6 October 2010

විකල්ප පත්තර යුගයේ අවසානය ලඟා වූ හැටි!!!


එක්දහස් නමසිය අනූ හතරේ පැවැත්වුණු මහ මැතිවරණය මං මුළ ඉඳලම හොඳට ෆලෝ කරපු මුල්ම මැතිවරණයයි. ඊට කලින් මට මතක හැටියට 1989 ද කොහෙද තිබුණු මැතිවරණය නම් මට මිස් වුණා. ඉතිං ඒකටත් හරියන්න 1994 දී, පත්තරවල ගිය දේශපාලන ලිපි කියෙව්වා, දේශපාලන රැස්වීම් බලන්න ගියා. රූපවාහිනියේ අළුතින් පටන්ගත් රතු ඉර වගේ දේශපාලන විවාද බැලුවා.

ෆුල් ඉලෙක්ෂන් ආතල් එකක් ගත්ත කියල කියන්න පුළුවන් -අද භාෂාවෙන් කියනවා නං.

පත්තර ගැන කියනව නං, ඒ දවස්වල මගේ ප්‍රියතම පත්තර වුනේ සුනන්ද දේශප්‍රිය කතෘ වුණු, මර්ජ් එකෙන් කරපු යුක්තිය යි, වික්ටර් අයිවන් කරපු රාවය යි තමයි.

මතක තියාගන්න මේ අදට අවුරුදු දාසයකට කලින් කාලෙක කතාවක් හොඳේ. අවුරුදු දාසයක් කියන්නේ සද්දන්තයෝ, කුරුමිට්ටෝ වෙන, ලොකු අතුල ලා, වුට්ටංම, චුට්ටං අතුල ලා වෙලා යන තරමේ දීර්ඝ කාලයක්.

යුක්තිය යි, රාවය යි පත්තර දෙකම පොතේ හැටියට ඉරිදා පත්තර. ඒත්, සිකුරාදා හවස් වෙනකොට බොරැල්ලෙන් ගන්න පුළුවන්. මේ පත්තර දෙකම, සාමාන්‍යයෙන් ඉරිද පත්තර වලට වඩා කුඩා ප්‍රමාණයේ ඒවා. ඇත්තටම කියනවා නං දෙකෙන් පංගුවයි.

ඉංගිරිසියෙන් ලොකු සයිස් එකේ පත්තරවලට කියන්නේ "බ්‍රෝඩ් ෂීට්" පත්තර කියලා. පොඩි සයිස් එකේ යුක්තිය, රාවය වගේ ඒවට කිව්වේ "ටැබොලොයිඩ්" පත්තර කියලා.

හැබැයි "ටැබොලෙයිඩ් ජර්නලිසම්" කියන්නේ නම් තරමක් නෙමේ හොඳටම අපහාසාත්මක එකක්. ඒ, එංගලන්තයේ සන් වගේ ටැබොලෙයිඩ් සයිස් එකේ පත්තරවල පල කරන ජරා ලිපි නිසා ඇති වෙච්ච කැළලක් මං දන්න තරමට.

හොඳ වෙලාවට ලංකාවේ යුක්තිය සහ රාවය පත්තර වලට සිංහලෙන් කීවේ "විකල්ප පත්තර" කියලායි. ඒ, ප්‍රධාන ප්‍රවහයේ, දිවයින, ලක්බිම, සිළුමිණ වගේ පත්තරවලට වඩා විකල්ප වූ අදහස්වලට මේ පත්තරවල ඉඩ වෙන්වුණු නිසයි.

ඉතිං, මේ 1994 මැතිවරණය කලින් ඉඳලම, ඒ කාළෙ තිබුණු යූඇම්පී ආණ්ඩුව ගැන බහුතරයක් මිනිස්සුන් ගේ ප්‍රසාදය නැතුව ගිහිණුයි තිබුණෙ. ඒ හින්ද යුක්තිය, රාවය පත්තර දෙකට සෑහෙන ඉල්ලුමක් තිබුණ මට මතක හැටියට. මිලත් රුපියල් දහයක් විතර වගේ.
ඔය පත්තර දෙකේම ආණ්ඩුවේ වැරදි වැඩ, දුෂණ, සමාජ අසාධාරණකම් වගේ දේවල් ගැණ ලිපි පුරෝල තිබුණ. ආණ්ඩු විරෝධීන් මේ පත්තර කියවන්න කැමතිවුනේ ඒකයිනේ. ඒත් සාමාන්‍ය පිළිගැනීම වුනේ පුවත්පත් මර්ධනයකුත් තියෙනව කියලයි.

ඉතිං අද කතන්දරේ මේකයි.

මහ මැතිවරණය ලංවෙලා, තියෙන ආණ්ඩුව පරදිනව කියන ලකුණු පේන්න පටන් ගත්තහම, අනේ ඔය විකල්ප පත්තර විකුණලා ජීවත්වෙන අසරණ මනුස්සයෙක් හොඳටම බය වෙලා.

ඇයි දන්නවද?

අළුත් ආණ්ඩුව ආවට පස්සේ, දූෂණය, භීෂණය නතරවෙලා, සාමකාමී සිරි ලංකාවක් ගොඩ නැගෙනවනේ.

ඉතිං, එහෙම රටකට මොකටද විකල්ප අදහස් පලකරන පත්තර? විකල්ප පත්තර විකුණලා ජීවත්වෙන තමන්ගේ බඩට වදින්නයි යන්නේ!

මං හිතන්නේ මහ මැතිවරණෙන් අවුරුද්දක් යන්නත් කලින් ඒ මනුස්සය හීනෙං අවදිවෙන්න ඇති!!!

පව් නේද?

මීලඟ කතන්දරේ රුපියල් විස්සේ ප්‍රෙට්‍රල්!

කලින් කියවල නැත්තං, මගේ ධර්මිෂ්ඨ සමාජය කතන්දරේ මෙතනින් කියවන්න. ඒකත් ටිකක් මේ වගේ කතාවක්.

-කතන්දරකාරයා

ප/ලි
අවුරුදු කීපෙකට පස්සෙ බැලින්නං නිහඬ දක්‍ෂිණාංශිකයෙකු වුණු අපේ තාත්තා කියවන්නෙත් රාවය.

හැබැයි, ඒ වෙනකොට ඒක බ්‍රෝඩ්ෂීට් එකක් වෙලා තිබුණෙ මයෙ හිතේ.

Sunday, 3 October 2010

සරච්චන්ද්‍ර ගේ මනමේ වේදිකා නාට්‍යය ඔන්ලයින් අහන්න


මං දෙපාරකට කියපු මනමේ කුමාරි ගේ කන්‍යාභාවය ගැන කතන්දරේ මතකයි නේද?

මෙන්න මුල් කොටස.

මෙන්න අවසාන කොටස.

කාට හරි ඕනි නං එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මනමේ නාට්‍යයේ අහන්න, ඒ සේරම සවුන්ඩ් ට්‍රැක්ස් තියෙනවා sinhalajukebox එකේ.

මෙන්න කෙලින්ම ලින්ක් එකක්.

http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?searchstring=maname+part&action=Search&compose=1&ignorecase=1

කතන්දරකාරයා

ප/ලි
කතන්දර හාමිනේ, කොළු, කෙලී සහ මගේ පුංචි අම්මා ද සමග මාලඹේ පැත්තේ සතියක විතර ට්‍රිප් එකක් යන නිසා කතන්දර පල කිරීම ට බාධා පැමිණීමට ඉඩ ඇත.

මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් මෝඩම් සරණං ගච්ඡාමී!