Thursday 26 August 2010

බඩ දරු අම්මලා


බඩ දරු අම්මලා කියන එක ගමේ බාසාවෙ තියෙන යෙදුමක්. මේ වෙන්ඩ අම්මලාට හුදු හෙලයෙන් කියන්නේ ගැබ්බර මව්වරුන් කියලයි.

ඔන්න පොඩි අතුරු කතාවක් මතක් වුනා. අනූව දශකයේ මුල් කාලයේ පටන් ගත්තා මව්වරුන් ගේ සංගමය කියල එකක්. ඒ 1988-89 භීෂණ කාලේ තමන්ගේ දූ දරුවන් අතුරුදහන් වුනු, මරා දමන ලද අම්මලා තමන් ගේ දරුවන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න පිහිටුවා ගත්තු ප්‍රජා සංවිධානයක්.

ටැබූ සර් ගේ ලිපියක සමාලෝචනය කරපු අමරකීර්ති ගුරුන්ණාන්සෙ ගෙ අටවක පුත්තු කියන නවකතා පොතේ ඒ මව්වරුන් ගේ සංගමය ගැන සෑහෙන්න විස්තර වෙනවා.

බඩ දරු අම්මලා ට ලිඛිත භාෂාවෙන් කියවෙන්නේ ගර්භණී මාතාවන් කියලයි. ඉස්සර ලංගම බස්වල එක සීට් එකක ගහලා තිබුණා මතකයි "ගර්භණී මාතාවන්ට වෙන්කර ඇත!" කියලා. මං ඔය වචනය ඉගෙන ගත්තේ ඒ දැන්වීම කියවලා වගෙයි මට මතක.

ඒ කොහොම වුනත්, ලංගම මගම කරලා, පෞද්ගලික බස් සේවා පටන්ගත්තු කාලෙ පාවිච්චි කරපු ලංගම බස් කන්ඩෙම් කරලා විකුණන්න ගත්තා. ඒ කන්ඩෙම් කරපු බස්වලට කිව්වේ ගර්භිත බස් කියලයි.

මොන හේතුවක් නිසා හරි මට අද පවා හිතෙන්නේ ගර්භිත කියන වචනයයි, ගර්භණී කියන වචනයයි දෙකම එකම තේරුම නේද කියලයි.

ඉතිං අද කතන්දරේ මේකයි.

ගර්භණී මව්වරුන්ට සීට් වෙන් කරන්නේ ඒ අයට බස් එකේ හිටගෙන යන්න අපිට වඩා අමාරු නිසානේ. මේ බව දන්න කවුරුවුනත්, බස් එකක යනකොට බඩ දරු අම්ම කෙනෙක් නැග්ගොත් නැගිටලා සීට් එක දෙනවා.

ඕකට බෝඩ් හගලා තියෙන්න ඕනැම නෑ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් අර මව්වරුන් ගේ දිනය වගේ, එහෙම විශේෂත්වයක් කිරීම ඉතා හොඳයි.

ඔන්න දවසක් මායි මගේ යාළුවෝ හතර දෙනෙකුයි නැග්ගා අතුරුගිරියෙන් බොරැල්ලට එන බස් එකකට. මේක අර ඉස්සර තිබුණු ආසන 26මිට්ෂුබිෂි බස් එකක් පුද්ගලික බස් සේවයේ. ඉතිං අපි පස් දෙනා සුවසේ සීට්වල වාඩිවෙලා කයියයක් දාගෙන බොරැල්ලට එන්න සෙට් වුණා. අපි කට්ටියම මළ ගෙදරක, කප් ට්‍රිප් එකක්, යනවා මේ, මගේ මතකයේ හැටියට. වෙලාව යන්තම් උදේ ඔෆිස් වෙලාව පහුවුනා විතටයි.

ඔන්න බස් එක පෝරේ හරියෙ තිබුණු අර ෆිල්ම් හෝල් එක ලඟ නැවැත්තුවා. ගර්භණී මාතාවක් නැග්ගා බස් එකට. මගේ වම් පැත්තේ හිටපු යාළුවා නැගිටලා ඉඩ දුන්නා.

ඔහොම තව බස් හෝල්ට් දෙකක් විතර ගියා. මාත් නැගිටලා ඉඩ දුන්නා ඊලඟට බස් එකට නැග්ග බඩ දරු අම්මට.

කොහොම හරි බස් එක කිලෝ මීටර් තුන හතරකින් අරංගල හරියට එනකොට අපි පස්දෙනාම හිටගෙන.

පස්සෙ බැලින්නම් මොකක්ද දන්නවද කේස් එක. එදා කාසල් වීදියේ රෝහලේ ගර්භණී මව්වරුන් ගේ ක්ලිනික් එකක්.

කතන්දරකාරයා

ප/ලි
මේ ලඟදී දවසක මට ඇහුණා කෙල්ලෝ දෙන්නෙක් අතර කතා බහක්. එක කෙල්ලෙකුට කෝච්චියේ දී කවුදෝ මනුස්සයෙක් නැගිටලා සීට් එක දීලා. බඩ දරු අම්මා කෙනෙක් කියල හිතලා. බැලින්නම් මේ කෙල්ලට තියෙන්නේ දරු ගැබක් නෙමේ නිකම්ම නිකං බත් බඩක්!

මගේ කණ වැටුණු කතාබහෙන් තේරුණේ එයාගේ හිත හොඳටෝම රිදිලා ඒ වැරදි වැටහීම ගැන!

බැඳලවත් නැති කෙල්ලෙකු ගේ බඩේ දරුවෙක් ය කියල හිතන තරම් තවත් නරක අපහාසයක් තියෙනවද? ඇයි අනේ, ක්‍රම සහ විධි නොදන්න පොඩි ළමයයෙක් යෑ!

මෙන්න මං කලින් ලියපු බස් කතන්දර.

1, කාලෝ ට සීට් එක දුන්නු දා

2. ස්ථානෝචිත ප්‍රඥාව

38 comments:

  1. හැබැයි ඔය බඩ දරු අම්ම කෙනෙක් හරි කුඩා දරුවෙක් වඩාගෙන හරි කවුරු හරි බසයකට නැග්ග ගමන් හුඟක් ගෑනු අය අහක බලගන්නවා......ඇත්තටම ඒ දුක පිරිමියෙකුට වඩා තෙරෙන්නේ ගැණු කෙනෙකුට වුනාට මේක මම බොහෝ විට දැක ඇති දෙයක්...හේතුව නොදනී.......:(

    ReplyDelete
  2. අද ඇත්ත කතාව කතන්දරේද? පසු ලිපියද?

    ReplyDelete
  3. අපේ එකෙක්ටත් දවසක් උන ඔහොම සීන් එකක්. දරුවෙකුත් අරන් නැග්ග මනුස්සයෙක් මූ නැගිටල සීට් එක දුන්නම අර මනුස්සයා කැත හිනාවක් දාල වාඩි උනා. වාඩි වෙලා මල්ල අවුස්සල බෙලෙක්කයක් අරන් ආයෙ නැගිටලා..

    " අනේ මහත්තුරිනි නෝනවරුනි..... "

    ReplyDelete
  4. දැන් ඇත්තටම ගර්භනී අය අඳින්නෙ පලඳින්නෙත් සාමාන්‍ය ​අය විදිහටමනෙ. ඒක නිසා ගරිභනී කවුද/නැත්තෙ කවුද කියල හොයන්න බුදු ගේමක් දෙන්න එ​පැයි.. =/

    ReplyDelete
  5. හික්ස්...මරු කතාව.අර කෙල්ලට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති!

    ReplyDelete
  6. **මගේ කණ වැටුණු කතාබහෙන් තේරුණේ එයාගේ හිත හොඳටෝම රිදිලා ඒ වැරදි වැටහීම ගැන!

    **ඇයි අනේ, ක්‍රම සහ විධි නොදන්න පොඩි ළමයයෙක් යෑ!

    හිත රිදිලා තියෙන්නේ ක්‍රම සහ විධි නොදන්නවා කියල හිතලද දන්නේ නෑ නේද? හික් හික් ..................

    ReplyDelete
  7. පට්ටම පට්ට්....මටත් ඔය වගේ දේවල් අනන්තවත් වෙලා තියෙනවා.ඔය ඔක්කෝම වෙන්නේ මිනිස්සුගැන හිතන්න ගියහම.හිතන්නේ නැතිව අහක බලං ඉන්න උන්ට මුකුත් අවුලක් නෑ....සීට් දෙන්න ගිහින් හොදටම බැනුම් අහපු අවස්ථා අනන්තවත් තියේ.....

    ReplyDelete
  8. "බැඳලවත් නැති කෙල්ලෙකු ගේ බඩේ දරුවෙක් ය කියල හිතන තරම් තවත් නරක අපහාසයක් තියෙනවද? ඇයි අනේ, ක්‍රම සහ විධි නොදන්න පොඩි ළමයයෙක් යෑ!"

    එතනයි කතාව තියෙන්නේ...

    ReplyDelete
  9. වැඩේ කියන්නේ එහෙම කෙනෙක්ටත් ලඟට කතා කරල සීට් එක දුන්නැත්නම් නැගිටල කතා කරද්දි සීට් එක නෑ......... :( :(

    ReplyDelete
  10. මේක කියවන කොට මට ඉස්කෝලෙ කාලෙ මතක් උනා. මම ගියේ නුගේගොඩ නගරෙ තියෙන එකම පිරිමි ඉස්කෝලෙට. අපිට ඉතින් අන්තඃ පුරය වගේ ගෑණු ඉස්කෝල තුනක්ම තියෙනවනෙ නුගේගොඩ. (ඒ දවස්වල ඔය ඉන්ටර්නැෂනල් ඒව තිබුනේ නෑ ). ඉතින් අපේ එවුන් කරන්නෙ ඔය බඩ දරු අම්මලාට වෙන් කර තියෙන සීට් එක අල්ල ගන්නවා. කොහොමත් බස් එක නුගේගොඩ විනාඩි 10ක් 15ක් විතර ඉඳලනෙ යන්නෙ. ඊට පස්සෙ ඔන්න කවුරු හරි කෙල්ලෙක් නැග්ග ගමන් ආහ් . . එන්න නංගි ඇවිල්ල වාඩිවෙන්න කියල නැගිටල අර සීට් එක දෙනවා. ඉතින් බැරි වෙලා හරි අර කෙල්ල සීට් එකේ ඉඳ ගත්තොත් බයිට් ලෝකයයි. ඉතින් අර කෙල්ල බහිනකං අපේ එවුන් අහනවා "මාස කීයද ?, කොහෙටද ක්ලිනික් යන්නෙ ? තාත්තත් තාම ඉස්ස්කෝලෙ යනවද ?" , වගේ ප්‍රශ්ණ. එහෙමත් කෙල්ලෙක් තමයි ඉතින් එව්වට අටෑක් කර කර අර සීට් එකේ ඉඳගෙන යන්නෙ.

    (සමාවෙයන් කතන්දර සූරියෝ මේකෙ අතුරු කතාවක් දැම්මට )

    ReplyDelete
  11. අන්තිම ටිකේ තමයි කතාව තියෙන්නෙ.. කසූ මාතෘකා මවන එක තමයි කරන්නෙ.. ඔන්න මටත් මතක් උනා ගැබ්බර කතා ගොඩාක්......

    ReplyDelete
  12. මටත් ඔයිට සමාන සිද්ධියක් උනා. මගේ ලඟ ගෑණු කෙනෙක් හිට ගත්තා අලි බඩකුත් එක්ක. සෙනඟ පිරිලා. ගර්භණී මාතාවකට තියා අපිටවත් හිටන් යන්න අමාරුයි. මම ඉතින් එයාට සීට් එක දුන්නා. එයා එපා කීවා. මම හිනා වෙලා, කමක් නෑ කියල හිට ගත්තා. මේ ගෑණු කෙනත් ඉතින් අන්තිමේ වාඩි උනා. ඒ අපේ ගමේ බස් එක. මම කෙනාගෙ හැඩ හුරුකමුත් එක්ක අම්මට කිව්වම අම්ම කියපි, "ඒ ඒ මනුස්සයගෙ හැටි ළමයො" කියල. :(

    ReplyDelete
  13. @හේමලයා

    දුක තේරෙන නොතේරෙන කමකට නෙමේ, පිරිමි ශක්තිමත් හින්දා එයලා නැගිටලා සීට් දෙන්න අපේක්‍ෂිතයි. සමතැන එතැන නැත.

    ReplyDelete
  14. @ප්‍රියන්ත,
    තම තම නැණ පමණින් දැනගත යුතු!

    ReplyDelete
  15. @පිස්සා,

    ඒ බෙලෙක්කයක් එලියට ගන්න ඇවිස්සුවේ පිස්සාගේ පලා මල්ලද?

    සීරියස්ලි, ඒ හිනාව කැත එකක් නෙමේ, ලජ්ජාවෙන් කරපු එකක් වෙන්න ඕනැ.

    ReplyDelete
  16. @ගයන්ත
    ගර්භණී අය සාමාන්‍ය අය විදියට අඳිනවද? නැතිනං, සාමාන්‍ය අය ගර්භණී විදියට අඳිනවද මන්දා!

    ReplyDelete
  17. @බ්ලොග් ගඩොල්
    පොලව නෙමේ කෝච්චි පෙට්ටියේ අඩිය!

    ReplyDelete
  18. @සිතුවිලිමන්ඩිය

    අපි පොඩි කාලේ හිනා වුනේ, "හික්, හික්, හික්, කුරුක්, කුරුක්" කියලයි!

    ReplyDelete
  19. @හසියා

    දාන පාරමිතාව පුරණ එකත් ලේසි නෑ, මලේ!

    ReplyDelete
  20. @මාරයා
    උපැවිදි කෙනෙකුට ඉස්සරහ සීට් එක දුන්න වගේ නේද?

    ReplyDelete
  21. @හා පැටික්කි
    පව් අනේ හා පැටික්කිටත් වෙලා තියෙන දෙයක්. මං කාලෝ ෆොන්සේකාට සීට් එක දෙන්න ගිහිනුත් එහෙමයි වුනේ!

    ReplyDelete
  22. @දුමී
    කතාවට ස්තුතියි. අතුරු කතන්දර දාන්න පුළුවන් එකනේ බ්ලොග්වල තියෙන වැදගත්ම දේ!

    ReplyDelete
  23. @අභීත
    මෙන්න මගේ කතන්දරේ කියවලා අභීත කතන්දර වලින් ගැබ්බර වෙලා!!!

    ReplyDelete
  24. @ස්වප්නා
    හීනෙන් නෙමේ නේද?
    මටත් ඔය වගේ වැඩක් වුණා. මහත ගෑනු කෙනෙකුගෙන් මං ඇහැව්වා කවදද දවස කියලා.

    ReplyDelete
  25. @ALL

    කවුරු කවුරුත් ප/ලි කතන්දරේ ගැන උනන්දුයි, ඒත් ඔය උඩ තියෙන ෆොටෝ එක නං පේන්නේ නෑ වගේ!

    ReplyDelete
  26. "ඒ කන්ඩෙම් කරපු බස්වලට කිව්වේ ගර්භිත බස් කියලයි.

    මොන හේතුවක් නිසා හරි මට අද පවා හිතෙන්නේ ගර්භිත කියන වචනයයි, ගර්භණී කියන වචනයයි දෙකම එකම තේරුම නේද කියලයි."

    මට හිතෙන්නේ කතන්දර කාරයට වැරදිච්ච තැනක් තියෙනවා මේකේ. ගර්භිත නෙවේ ගර්හිත වෙන්ට ඕනේ. ගර්හිත කියන්නේ condemned කියන එකනේ

    ReplyDelete
  27. බඩ තියෙන පිරිමියෙකුට සීට් එකක් ලැබෙයිද?

    ReplyDelete
  28. @Gadflyzone
    ඇත්තටම ඒ වචනය ගර්හිත ද? මං මෙච්චර කාලයක් හිං ඉඳලා තියෙන්නේ ගර්භිත කියලානේ? Thank you.
    හැබැයි ගර්හිත කියන වචනේ කිසි හතියයක් නෑ. ගර්භිත හොඳයි වගේ!

    ReplyDelete
  29. අප්පේ මමත් උඩ ගියා හයන්නයි භයන්නයි උවමනාවෙන්ම පටලැව්වාදෝ කියා, අර රැවුලෙයි, පවුලෙයි කථා දැම්මා වාගේ....

    ගර්භිත කියන්නේ ගර්භයට පැමිණියාවූ කියන අර්ථයෙන් නේද...?
    මොනවා වුනත් Galdflyzone නමැත්තාට ඉස්තූති වන්ත විය යුතුයි නේ... මෙව්වා O/L ලියන එකෙක් එහෙම දැකලා පටලවා ගත්තොත් එහෙම...

    ReplyDelete
  30. අර ගයන්තට දීල තිබුන උත්තරේ දැක්කම මතක් වුනේ... අලුත් ඇඳුම් ඉස්ටැයිල් එකක් තියෙනව නේද... ඇන්ඳම බඩ දරු අම්මලා වගෙ පෙනෙන...

    ReplyDelete
  31. උඩින් තියෙන ෆොටෝ එක දැක්කමනම් මොකක්ද මොකක්ද වගේ දැනෙනවා...(නිකම් හිරිකිතක් වගෙ එකක්... :))

    ReplyDelete
  32. දීලත් බෑ නොදීලත් බෑ

    ReplyDelete
  33. කකා කියපු නිසා ආයෙමත් උවමනාවෙන් ෆොටෝ එක දිහා බැළුවා.. මටනං පේන්නෙ ඒකෙ ඉන්නකෙනා හරියට අපේ දුකා සහෝදරයා වගේ.. ඌට එහෙම මේවගේ දෙයක් වුනා කියලා ආරංචියක් නෑ නේද.. :)

    ReplyDelete
  34. "garhitha" bus means in english "condemned" bus. (non road worthy ) kiyana eka. me meaning eka arang hadapu ekak thamai "grahitha" kiyanne

    ReplyDelete
  35. ඔය කෙල්ලට සීට් එක දීලා තියෙන්නෙ මහරගම හරියෙදීද? 2007 දී විතර

    ReplyDelete
  36. බස් එහෙක සීට් එකක් දෙනව කියන්නෙත් සෑහෙන්න හිතන්න ඔනෙ කාරනාව්ක්

    ReplyDelete
  37. මෙක කියවගෙන යද්දි මට හිතුන එකම පුතාටත් හිතිලා.දැන් කෙල්ලෝ අදිනවා බඩ දරු අම්මලා වගේ බඩ දරු අම්මලා අදිනවා කෙල්ලෝ අදින ඇදුම්.අනේ මන්දා.
    කාලයක් තිස්සේ බ්ලොග් එක කියෙව්වත් මේක තමයි මගේ මුල්ම කොමෙන්ටුව. :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.