Tuesday 20 October 2009

බේසික්, ෆෝට්‍රාන්, ජාලිය


ඉස්කොලෙ යන කාලෙ විතරක් නෙමේ අදත් මට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමා විෂයය කරුණක් ගැන අළුත් වචන දෙක තුනක් එකපාර ඔළුවට දා ගත්තම, ඒව එකිනෙකින් වෙන් කරල හඳුන ගන්න එක.

මේක අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්. උදාහරණ විදියට, 1/2, 3/2 වගේ භාග සංඛ්‍යාවක ඉරෙන් උඩ තියෙන්නේ ලවය ද හරය ද? හෘදය වස්තුවේ උඩ කුහර කර්ණිකා ද, කෝෂිකාද? කෝණයක සයින් අගය එන්නේ විරුද්ධ පාදය කර්ණයෙන් බෙදුවාම ද, බද්ධ පාදය කර්ණයෙන් බෙදුවාම ද, ඔන්න ඔය වගේ අති සරල, නමුත් ඉතා අසීරු ප්‍රශ්ණ.

අපි හුඟ දෙනෙක් දන්නව වගේ මේව මතක තියාගන්න පොඩි පොඩි උපක්‍රම තියෙනව.

ලවය හරය කියන උභතෝකෝටිකය විසඳන්නේ ලවයට ළමයාත්, හරයට හරකාත් ආදේශ කිරීමෙන්. හරකා ගෙ පිට උඩ ළමයා මිස ළමයා ගේ පිට උඩ හරකා වෙන්න බෑනෙ. ඉතිං ජීවිතේට ලවය හරය මාරුවෙන්නෙ නෑ.

මතකද, ආවර්තිතා වගුවෙ එක් එක් මූල ද්‍රව්‍ය තියෙන පිළිවෙල මතක තියාගන්න තිබුණ උපක්‍රම. බෝතලේ ඇලී, ගැලී ඉන්නා තැලියා. නිමල්ගෙයි පද්මිගෙයි ආස්සරේ ඇන්ටි බින්දා වගේ සරල ක්‍රම.

මේ කතන්දරයත් ඔන්න ඔය ලයින් එකේ එකක්.

ඔන්න එක පන්තියක දි පාඩම යන වෙලේ, එක කොල්ලෙක් නිදා ගෙන ඉන්නව වගේ දැක්ක ගුරුවරයා එක පාරටම ඌට දමල ගැහැව්ව ප්‍රශ්ණයකින්.

හා කියනව බලන්න, මොනවද තුන්වෙනි පරම්පරාවෙ පරිගණක භාෂා වලට උදාහරණ කිහිපයක්.

අපේ යාළුව අඩ නින්දෙන් ඇහැරුණා. පොරට යාන්තං මතකයි මේකට උත්තරේ. එකක් බේසික්, තව එකක් ෆෝට්‍රාන්. තුන් වෙනි එක මොකක්ද කියල එක පාරට කටට ආවෙ නෑ.

ඔන්න, ගඟෙන් එහා පැත්තෙ ඉස්කෝලෙ කොල්ලෙක් හිටිය උගෙ නම කීර්ති. කවුරුත් පොරට කීවෙ පැස්කුවල් කියලයි, ඒ කීර්ති පැස්කුවල් කියන ගායකයා හින්දයි. පැස්කුවල් එක්ක නිතරම ගැවසුන පැස්කුවල් ගෙ හොඳම යාළුවෙක් තමා ජාලිය.

ඔන්න සර් බලන් ඉන්නව අපේ පොර උත්තර දෙනකං. එක පාරටම උත්තරේ කටට ආව.

බේසික්, ෆෝට්‍රාන්, ජාලිය!

මුළු පන්තියම හිනාවෙන කොටයි මෑන් ට තමන් ට වුනු වරද තේරුණේ.

ඉස්සර සයන්ටිෆික් වැඩ වලට පාවිච්චි කරපු කම්පියුටර් ලැන්ග්වේජ් එකක් තමයි පැස්කාල්. අපේ යාළුවා ලේසියට මේක මතක තියා ගෙන ඉඳල තියෙන්නෙ පැස්කුවෙල් කියලයි. පැස්කුවෙල් කියන්නෙ ගඟෙන් එගොඩ ඉස්කෝලෙ කොල්ලෙක් නේ. ඉතිං, නිදිමත පිටම එක පාටරම කටට ආවෙ පැස්කුවෙල් ගෙ නම නෙමේ පැස්කුවෙන්ගෙ හොඳම යාළුව ජාලිය ගෙ නම යි.

තව ටිකක් නිදිමත තිබුන නං කියයි ක්‍රිෂ්ණජිනා කියල!

-කතන්දර කාරයා

8 comments:

  1. keep it up.api kathadara digatama balanawoooooo

    ReplyDelete
  2. හික් හික් ඒක නම් හරි ජොලි වැඩේ.. එක පාරක් බුද්ධාගම උගන්නන වෙලාවක මායි යාළුවයි කයියක් දාගෙන හිටි‍යා. ඒ වෙලාවේ ළමයෙක් නැගිටලා පාඩම කියව කියව තමයි හිටියේ. එකපාරටම ටීචර් මට කිව්වා නවත්තපු තැන ඉදන් පාඩම කියවන්න කියලා. නවත්තපු තැන තියා පොතක් වත් මං ලග තිබ්බේ නැද්ද කොහෙද. කලින් දවසේ මට දතේ අමාරුවක් තිබ්බා. මං ඉතිං නැගිටලා පොඩි අහිංසක මූණක් හදාගෙන කිව්වා සොරි ටීචර් ම‍ගේ දතක් රිදෙනවා කියවන්න අමාරුයි කියලා. ඉලගට යාළුවට කියවන්න කිව්වා. ඒ වෙනකොට එයා ඉස්සරහා ළමයාගෙන් පාඩම නවත්තපු තැන අහගෙන. කොහොමද ටිකිරි මොළේ?

    ReplyDelete
  3. මලීගේ මොලේ තමයි මොලේ......

    යාළුවගේ නම බනා1 ද? :P

    ReplyDelete
  4. කාකා, මේක මමත් පාවිච්චි කරනවා. මේ technique එකට ඉංගිරිසියෙන් කියන්නේ donkey's bridge කියල. සිංහලෙන් බුරුවගේ ඒදණ්ඩ කියන්නත් පුළුවන්. හි හී... ,,ඒදණ්ඩ" ලිව්වා හරිද මන්දා??

    ReplyDelete
  5. මේකට මම දන්නා විදියට කියන්නේ Mnemonics කියලා....

    ReplyDelete
  6. ලංකාවෙ දැන් පරිඝණක විෂය උගනිනනකොට භාවිතා වෙන සිංහල වචන ඇහුවම මේ වගේ තව මොනවැයිං මොනව වෙයිද දන්නෙ නෑ 😁

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.