Wednesday 9 September 2009

අක්කිගෙ නුවණ - සුනේත්‍රා හෙවත් අවිචාර සමය


උසස් පෙල විභාගෙ කළා ට පස්සෙ මට කාලයක් ඉබාගාතෙ හැසිරෙමින් ඔහේ වාත වෙවී ඉන්න වුනු කාලයක් ආව. මේ දවස් වල දි මගේ පිහිට ට ආවේ ගම්සභා පුස්තකාලය යි.

පරණ පුරුද්දට ගම් සභාව කියල කිව්වට මේක ප්‍රාදේශීය සභාව. ඉතිං, පුස්තකාලෙ තියෙන්නෙත් අපේ ගමේ නෙමේ. හැතැප්ම දෙක හමාරක් විතර දුරින් තියෙන පුංචි ටවුමේ.

මාසයක් දෙකක් විතර කාලයක් මං ඒ පුංචි පුස්තකාලෙ පදිංචි වෙලා වගෙයි හිටියෙ. උදේ අට වෙන කොට එක්කො බස් එකේ නැත්තං සයිකලේ නැගිල යනව. දවල්ට කන්න ගෙදර එනව. කාපු ගමං ආයෙ ගිහින් හවස හයට විතර තමයි ඊළඟට ගෙදර එන්නෙ. ඔය අතරතුර කලේ උදේම දවසෙ පත්තර ටික බලනවා. ඊට පස්සෙ පොත් එකක් පස්සෙ එකක් බලනවා.

කාලෙන් කාලෙට එක එක අය පුස්තකාලය බාරව සේවය කරමින් හිටිය මට මතකයි. මේ කියන කාලෙ හිටියෙ මට වැඩිය ඔන්නම් අවුරුදු දෙක තුනක් විතර වයස කෙල්ලෙක්. පුස්තකාල සේවය ගැන ඉගෙන ගත්තු කෙනෙක් වගේ කියල නම් පෙනුනෙ නෑ. කවුරු හරි ගම්සභාවෙ ජොබ් එකට දාපු කෙනෙක් කියලයි මං හිතන්නෙ.

ඔන්න එක දවසක් මට පුස්තකාලෙ යන්න බැරි උනා එදා ආපහු ඉස්කෝලෙට ද කොහෙද ගිය හින්ද. පහුවදා උදේම ආපහු පුස්තකාලෙට ගිය ගමං මං බලන්න හැදුවේ ඊට කලින් දා පත්තර ටික. කවදාකවත් නැති විදියට වෙනද පරණ පත්තර තියෙන තැන හිස්ම හිස්.

ඊයෙ පත්තර ආවෙ නැද්ද? මං පුස්තකාලාධිපති නෝන ගෙන් ඇහැව්ව. මට ඕනැ ඊයෙ පත්තර ටික බලන්න.

අපි අළුතින් තීරණය කළා මාසයක් පරණ පත්තර අයින් කරන්න. මං පරණ පත්තර සේරම අරං ඉස්ටෝරුවට දාලයි තියෙන්නෙ එයා කිව්ව.

පරණ පත්තර නෙමේ මං හොයන්නෙ ඊයෙ එක.

ඉතිං අද ජූනි පලවෙනිද නෙ. මං ගිය මාසෙ පත්තර සේරම අයිං කලා!

කොහොමද අපේ පුස්තකාලාධිපතිතුමිය ගෙ නුවණ?

වදෙන් පොරෙන් කැමති කරවගෙන ඉස්ටෝරු කාමරේ ඇරල බැලින්නම් ඊයෙ පත්තරයි, අනිත් පත්තරයි කියල වෙනසක් නෑ සේරම එක ගොඩේ. පැය කාලක් විතර ගියා පත්තර ටික හොයා ගන්න.

මේ, ඒ නෝන ගැන ම තවත් හොඳ කතාවක්.

ඔන්න දවසක් මං උදෙන්ම පුස්තකාලෙට යන කොට එතන මහ ජරමරයක්. කබඩ් දෙක තුනේ තිබුණු පොත් සේරම මේස උඩ ගොඩ ගහලා. එදා ස්ටොක් ටේකිං. ඒ කියන්නෙ වාර්ෂික තොග ගණං බැලීමේ දිනය.

අද අපි ස්ටොක් ගන්නවා. පොත් බලන්නවත්, ගෙනියන්නවත් බැහැ පුස්තකාලාධිපතිතුමිය මට කිව්වා.

අඩු වශයෙන් පත්තර ටිකවත් බලන්න පුළුවනි නෙ කියල මං එතන රැඳුණා.

එදා පුස්තකාලාධිපතිතුමිය ගෙ සහයට නංගි කෙනෙකුත් ඇවිත්.

අපි මේ පොත් සේරම එක එක විෂයයන් වලට වෙන් කරන්න ඕනැ නංගී. ඊට පස්සෙයි ගණං කරන්නෙ.

ඒ කියන්නෙ අක්කේ?

ඒ කියන්නෙ, නවකතා, කෙටිකතා, කවි, පරිවර්තන, ඉතිහාසය, විද්‍යාව අන්න ඒ වගේ.

ඔන්න දෙන්න එකතුවෙලා වැඩේ පටන් ගත්ත. පුස්තකාලාධිපතිතුමිය ටක් ටක් ගාල වැඩේ කරගෙන යනවා. ඒත් සහයට ඉන්න පොඩි නංගිට පොඩි පොඩි ප්‍රශ්ණ.

අක්කෙ මේ පොත කොයි ගොඩට ද දාන්නෙ.

කෝ බලන්න පොතේ නම. ආ සුනේත්‍රා නේද? දාන්න ඕක ඉතිහාසය ගොඩට.

නංගි ට හරිම පුදුමයි.

අනේ අක්ක හින්ද හොඳයි. මේ සේරම පොත් ගැන දන්නවා. මට නම් හිතාගන්නවත් බැහැ.

මං මෙතන ඉන්න ගමං හුඟක් පොත් කියවනවනෙ, නංගී! එතුමිය කිව්වෙ පුංචි ආඩම්බර හිනාවකුත් එක්කයි.

ඉතිං එදායින් පස්සෙ ඩබ්ලිව්.ඒ. ද සිල්වා ලියපු සුනේත්‍රා හෙවත් අවිචාර සමය නවකතාව හමු වුනේ ඉතිහාස පොත් තියෙන තට්ටුව බලපු අයට විතරයි.

පත්තර ටික බලල මං පැය භාගයකින් විතර ගෙදර ගියා. ඒක හින්ද අනිත් පොත් තෝරපු හැටි ගැන හරියටම දන්නෙ නෑ. ඒත් සුනේත්‍රා නවකතාව වර්ගීකරණය කළ විදියට ම ගියා නම්:

ඩබ්ලිව්.ඒ. ද සිල්ව ම ලියපු හිඟන කොල්ලා, රදළ පිළිරුව නවකතා තියන්න ඇත්තෙ සමාජ විද්‍යා පොත් එක්ක, ලක්‍ෂ්මී හෙවත් නොනැසෙන රැජින පරිවර්තන ගොඩේ, පියදාස සිරිසේන ගෙ විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය බුද්ධාගම පොත් එක්ක.

මාර්ටින් වික්‍රමසිංහ ගෙ ගම් පෙරලිය දාන්න ඇත්තෙ දේශපාලන විද්‍යාව ගොඩේ වෙන්න ඕනැ.

පොලිසියෙ කෂ්ටියත් කලා ය කියන්නෙ එහෙමනෙ ජේ.වී.පී කචල් කාලෙ!

7 comments:

  1. මරේ මරු කතාව. අපරාදෙ හවස් වෙනකම්ම ඉදලා බලාගත්තත් පාඩු නෑ අක්කලා නංගිලා පොත් තෝරපු විදිය. මාර ආතල්...

    ReplyDelete
  2. කතාව ඇත්ත සමහර පුස්තකාල තියනව ගියාම නාහෙ දනව ඒතරමට පිරිසිදුයි.
    දඩ ගහන්නෙත් හරිම ක්‍රමවත් විදියට Calculator අරන් දෙන්න ඕන උපහාරයක් විදියට
    පුස්තකාලෙ යන උන්ට දෙයියන්ගෙම පිහිටයි

    ReplyDelete
  3. නියම කතන්දරේ බං . . .

    උඹේ කතන්දර හරිම ලස්සනයි කොල්ලෝ . . .

    මම නම් අතාරින්නැතුව බලනවා උඹේ කතන්දර ඔක්කොම . . .

    හැම එකටම කමෙන්ට් දාන්න බැරිවෙන එකට නම් සමාවෙන්න . . . !

    ReplyDelete
  4. "විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය බුද්ධාගම පොත් එක්ක."

    "ගම් පෙරලිය දාන්න ඇත්තෙ දේශපාලන විද්‍යාව ගොඩේ"

    නියමයිනේ.

    :D

    ReplyDelete
  5. හීහී.මරු කතාව.අපේ පුස්තකාලෙත් රාක්ක වලට පොත් තෝරලා දැම්මේ මමයි අම්මයි.එකම ප්‍රශ්නෙ ආවෙ ශේක්ස්පියර්ගේ තෝරා ගත් කෙටි කතා පොතේ කර්තෘ දාන්න යද්දියි.ශේක්ස්පියර් කතා ලිව්වට ඒ පොත ලියලා තියෙන්නෙ තව කවුද එක්කෙනෙක්.lol.

    ReplyDelete
  6. eva luna kiyana potha danna eththe saukkya ha saneeparakshawa kiyana shell eke wenna athi.(samawenna!! kawuru hari mata sinhalen comments dana heti kiyala denna)

    ReplyDelete
  7. මාර්ටින් වික්‍රමසිංහ ගෙ ගම් පෙරලිය දාන්න ඇත්තෙ දේශපාලන විද්‍යාව ගොඩේ වෙන්න ඕනැ.

    පොලිසියෙ කෂ්ටියත් කලා ය කියන්නෙ එහෙමනෙ ජේ.වී.පී කචල් කාලෙ!// මේ කතාව නම් මමත් අහලා තියෙනවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.