Tuesday, 1 April 2014

දිවිහිමියෙන් මව්බිම සුරුකීම - මොන මෝඩ, ප්‍රතිගාමී, මඤ්ඤං කතාවක්ද ඒ? - Blinded by patriotism!


ඉස්සර අපි පොඩි කාලේ නව වසරේ පාසල් යන්න අළුත් සපත්තු හෙම ගෙදරින් අරං අපිට දෙනවානම් අපිව කඩේ එක්කං යන අම්මාට තාත්තා කියන්නේ ඩී.අයි. සපත්තු අරන් දෙන්න කියලායි. මොකද හොඳ හම් සපත්තු කල් පවතිනවා ලු!

ඒත් අපි නං කැමති බාටා ගන්නයි. ඒ බාටා සපත්තු ගන්න කොට ඒ එක්ක වෛර්ණයෙන් මුද්‍රිත පාසල් කාලසටහනක් නොමිලේම ලැබෙන නිසයි. ඒ කාලසටහනේ "පළමුව බාටා දෙවනුව පාසලට" කියලා ලියලා, ඒක කාටූන් එකකින් විස්තරාත්මකව ඇඳලා තියෙනවාත් මට මතකයි.

ඔය "පළමුව බාටා දෙවනුව පාසලට" කියන වාක්‍යය තමයි බාටාකාරයෝ ඒ කාලේ උංගේ සේල්ස් ස්ලෝගන් එක විදියට දාගෙන තිබුණේ.

පස්සේ කාලෙක ලංකාවේ උදාවුණු භීම සමයේ එක දවසක මං දැක්කා මහරගම පාසලක සිසුන් වගයක් ඒ ඉස්කෝලේ බිල්ඩිමක පෝස්ටර අලෝනවා.

ඒවායේ තිබුණු එක සටන් පාඨයක් තමයි අර බාටාකාරයින්ගේ ස්ලෝගන් එකෙන් කොපි කරලා හදාගත්තු "පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම!" කියන එක.

එදා මේ පාසල් යන්න කලින් මව්බිම බේරා ගන්න ගියේ වෙන කාගෙන්වත් නොවෙයි. මූලිකවම, ඒ වෙනකොට ඇල්ටීටීඊ එක නිරායුධ කරන්න ගිහිල්ලා උන් එක්ක යුද්දෙක පැටලිලා හිටිය ඉන්දියානු සාම සාධක හමුදාවෙනුයි. හැබැයි සෑබෑ ප්‍රායෝගික සටන තිබුණේ ආ්ණඩුව කරපු යූඇම්පී එකේ උඩ ඉඳලා යට බිම්මට්ටම වෙනතුරු හිටපු අය එක්කයි. රජයේ සමහර සේවකයෝ එක්කයි. පස්සෙන් පහු, පොලිස්කාරයො ය සහ හමුදාකාරයෝ එක්කයි තමයි.

මට ඒ "පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම!" කතාව මතක් වුනේ මේ ලඟදී බ්ලොග් ලියන්න පටන් ගත්තු සී ජේ විදානේ ගේ මළදානේ බ්ලොගයේ පලවෙලා තිබුණු ගන්ධබ්බයකුගේ පෙළ මතක් කිරීම කියන සංවේදී නිර්මාණය කියවපු වෙලාවෙයි.

ඒ නිර්මාණය කියවපු නැති අයට මෙන්න නැවතත් පාර:
http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html

විදානේ ගේ කතාවේ තිබුණා වගේම, එදා මං දැකපු ඒ මහරගම පෝස්ටර අලවපු ළමයි සෙට් එකක් පස්සේ දවසක ඒ පාසල ඉදිරියේම මරලා දාලා තිබුණා කියා මට ආරංචි වුණා!

මව්බිමට ඇති ආදරය ගණිකා වෘත්තියේ යොදවලා මිනිස්සුන්ව බළල් අත් කරගත්තු එකම වාරය ඒක නොවෙයි. මව්බිම වෙනුවෙන් කියලා ඈත අතීතයේ ඉඳලාම ලංකාවේ කී දෙනෙක් නම් මිය ගිහින් ඇද්ද විවිධ වර්ගවාදී යුද්ධවල ඉත්තන් බවට පත්වෙලා.

තියෙන මව්බිම විතරක් නොවෙයි, ඇයි "වෙන්ඩ මව්බිම" හෙවත් වෙන් කරළා හදා ගන්න ගිය මව්බිම? ඒ වෙනුවෙනුත් ලාංකිකයින් ලක්‍ෂ ගාණක් මිය ගියා!

මට නං හිතෙන්නේ මෙලෝ විචාරයක් නැතුව අන්ධ භක්තියෙන් මව්බිම වෙනුවෙන්ය කියලා නිකං ෆෝම් වෙන එක මහා මෝඩ, ප්‍රතිගාමී, මඤ්ඤං වැඩක්!

ඒවාට බහුතරයක් රැවටුණු කාලයක් තියෙන්න ඇති. නමුත් දැන් නම් ඒ බූරුවෝ විකුණලා දාන්න කාලේ හරි!

මාතෘ භූමිය ද, පීතෘ භූමිය ද, අරක ද, මේක ද කියලා මංමුලාවෙන්නේ නැතුව අපි හොයලා බලන්න ඕනෑ හරි දේ මොකක්ද කියලායි. අපි සහයෝගය දෙන්න ඕනෑ ඒ හරි දෙයටයි. මව්බිම පෙන්නලා අපිට විකුණන්න යන දේ බොහෝ විට නිවරදි දෙයින් සෑහෙන්න වෙනස් දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි!

ඔය මව්බිම වෙනුවෙන් දිවි දෙන්න ඉන්න අපේ කෂ්ටියට තියෙන අනිත් ලෙඩේ තමයි සාමාන්‍යයෙන් තර්කානුකූලව හිතන විදිය අමතක වෙන එක.

මෙන්න උදාහරණ කීපයක්. මේවා මං අමුතුවෙන් කියන්න ඕනෑ දේවලුත් නොවෙයි. දැන් සාමාන්‍ය දැනුම!

යුද්ධය මුවාවෙන් ලංකාවේ අනියම් මිනීමැරුම් සිදුවුණා, ඒත් ඒ දකුණේ විතරයි.
ලංකාවේ වධකාගාර තිබුණා, ඒත් ඒ බටලන්දේ, එළියකන්දේ වගේ තැන්වල විතරයි.
ලංකාවේ මානව හිමිකම් කඩ කෙරෙනවා, ඒත් ඒ රතුපස්වල වගේ තැන්වල විතරයි.
ලංකාවේ මාධ්‍යවේදියෝ මිය යනවා, ඒත් ඒ කොළඹ විතරයි.

ඕවා ගැන හොයන්න කොමිසම් දාන්න කවුරු හරි හදනවා නම්, වහාම මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් ඉදිරිපත් විය යුතුයි! හරි වැරැද්ද මොකක්ද, යුක්තිය මොකක්ද කියන ඒවා වැදගත් නෑ!

ඒ කෙසේ වෙතත් මෙන්න මගේ අළුත්ම ස්ලෝගන් එක.

පළමුව මව්බිම, දෙවෙනුව බ්ලොග් එක!

(මං හිතන්නේ මටත් ඒක ටැපලුණා වගේ).

-කතන්දරකාරයා

ප/ලි:
පළමුව මව්බිම, දෙවෙනුව ඉගෙනුම! වගේ ඒ දවස්වල වෙනත් දේශපාලන පත්තරේක ගිය ස්ලෝගන් එකකුත් මට දැන් මතක් වුණා.

වර්ගවාදී යුද්ධයට එක ඉත්තෙක් නොදෙනු! එක ශතයක් නොදෙනු!!

(image: http://02varvara.files.wordpress.com/2013/02/00-stalingrad-mother-motherland-calls-07-02-13.jpg?w=1200&h=800)