Friday 25 September 2009

බන්ධුල ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව


පසුගිය දාක ගිෆන් භාණ්ඩ ගැන බ්ලොග් post එක ලියවුනු විදිය ගැන මට පස්සෙ පොඩි ජොලියක් ආව.

සිංහල බ්ලොග් බලන අය හුඟ දෙනෙක් ඉස්කෝලෙ දි මැත්ස් කරපු, දැන් IT කාරයො බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ? මේ කෂ්ටියට ආර්ථික විද්‍යාව කියල දෙන්න තවත් ඒ විදියෙ කතන්දරයක් දෙකක් ලියන්න ඕනි කියල මට එදාම හිතුන. මෙන්න ඒකෙ මුල් ප්‍රතිපලය.

පසුගිය දවසක බන්දුල ගුණවර්ධන කියන හිටපු ටියුෂන් මාස්ටර් එහෙම නැත්නං සයිමන් නවගත්තෙගම ගෙ නවකතාව ආශ්‍රයෙන් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කරපු සුද්දිල ගෙ කතාව චිත්‍රපටියෙ නිෂ්පාදක, එහෙමත් නැත්තං සුමිත්‍රා රාහුබද්ධ ගෙ කතාව ඇසුරෙන් පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්‍ෂණය කරපු සිරි මැදුර චිත්‍රපටියෙ නිෂ්පාදක, (මීට අමතරව, මිනිහ දුසිං දහයක් ඇමතිලා ගෙන් එක් කෙනෙක් බවත් මං දන්නවා) බඩු මිල ගැන කියල තිබුණු කතාව මතකයි නේද?

පොර කියල තිබුනෙ ඕනෙම කාලෙක පාරිභෝගිකයො වශයෙන් අපි කරන්න ඕනැ, ඒ කාලෙ ගණං ගිහිල්ල තියෙන එලවළු වෙනුවට ඒ කාලෙට ලාබෙට තියෙන එලවළු කන එක කියල යි.

මේ කතාවට පත්තරකාරයො, කාටූන් කාරයො, දේශපාලන විශ්ලේෂකයො හුඟ දෙනෙක් හිනා වුනා. ජයවර්දෙනපුර බී.කොම්. උපාධි ගත්තු ශ්‍යාම් ගනේවත්ත වගේ ආර්ථික විද්‍යාව ගැන දන්න විශේෂාංග උපකතුවරු හිටියත් දිවයින පත්තරේ බන්දුල ට සරදම් කරල කතු වැකි පවා ලිව්ව. අණුවන කම ද, ලාබ විහිළු ඕනැ කම ද මන්ද?

බන්දුල ගුණවර්ධන කිව්වෙ ඉතා සරල කතාවක්. ඇත්තටම අපි හුඟ දෙනෙක් නිරායාසයෙන් ම කරන්නෙත් ඕකම තමයි. මොකක්ද? තමන් ට ගන්න පුළුවන් බඩු ගන්න එක.

ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි අඩු සම්පත් ප්‍රමාණයක් වැඩි පිරිසක් අතර බෙදන්නෙ කොහොමද කියන එක. මේ සදහා තියෙන එතාමත් සාධාරණ ඒ වගේම ඉතාමත් අකාර්යක්‍ෂම ක්‍රමය තමයි අවශ්‍ය සියළු දෙනාටම සමානව බෙදා දීම. මේක නිකං වෙන්නෙ නෑ. රාජ්‍ය යාන්ත්‍රණයක් ඕනැ. ඉතිං අකාර්යක්‍ෂමතාවය, දූෂණය, කළුකඩ අනිවාර්්‍යයෙන්ම බලපානව.

මේ ප්‍රශ්ණෙට තියෙන හොඳම විසඳුම තමයි භාණ්ඩයකට පාරිභෝගිකයන්ගෙන් තියෙන ඉල්ලුම සහ භාණ්ඩයේ නිෂ්පාදකයො කරන සැපයුම අනුව වෙළද පොලේ ගණුදෙනු මගින් වැඩේ වෙන්න දෙන එක. අනිවාර්්‍යයෙන්ම ඒක අසාධාරණ ක්‍රමයක්. භාණ්ඩයක සැපයුම අඩුවෙන කොට මිල ඉහල ගිහින් ඒක දරන්න හැකි ටික දෙනෙකුට විතරයි ගන්න පුළුවන් වෙන්නෙ. සල්ලි නැති අයට හුලං තමයි. නමුත් වැඩේ කාර්යක්‍ෂමව වෙනව. ආණ්ඩුවට තියෙන්නෙ කූල් එකේ ටැක්ස් එක එකතු කරගන්න විතරයි. ඒකෙන් පුළුවන් දුප්පත් අයට සහන දෙන්න.

දැන් බන්දුල ගුණවර්ධන කිව්වෙ ගනං ගිය එලවළු වෙනුවට ඒ කාලෙට ලාබ එලවළු ගන්න කියලනෙ. මේක විශේෂයෙන් ම එලවළු, පලතුරු වගේ සීසනල් (සෘතුමය) භාණ්ඩ වලට බලපාන දෙයක්. සමහර එලවළු ජාතිත් එහෙමයි. අඹ වාරෙට සප්ලයි එක වැඩියි. ඉතිං මිල අඩුයි. හුඟ දෙනෙකුට අඹ කන්න පුළුවන්. අවාරෙට අඹ හිඟයි. ඇත්තටම හොයා ගන්නත් නෑ. ඒ කාලෙටත් අඹ වාරෙ වගේ අඹ කන්න ගියොත් අඹ ඉන්දියාවෙන් ගෙන්නලා ගෙඩියක් රැපියල් දාහට විතර දෙන්නයි වෙන්නෙ. හොඳම වැඩේ අඹ නැතුව වෙන පලතුරු කන එකයි.

මේ විදියටම, ඕනෑම එලවළුවක් ගනං කාලෙට (අවාරෙට), ඒ වෙනුවට ඒ වාරෙ හොඳට වැවෙන එලවළු කන්න පුළුවන්. එකක් අනිකට ආදේශ කරන්න පුළුවන් කොච්චර එලවළු ජාති තියෙනව ද රටේ? මේවට කියනව අනුපූරක භාණ්ඩ කියල මට මතක හැටියට.

හැබැයි ඉතිං, පරිප්පු වෙනුවට මුං ඇට කන්න බැරි, අර්තාපල් වෙනුවට බතල කන්න බැරි උන්නැහෙලට නං මේව කරන්න බෑ.
පත්තරකාරයො හිනාවුනාට, බන්දුල කිව්වත් නොකිව්වත් අපි සාමාන්‍ය මිනිස්සු හැමදාම කරන්නෙ ඕක තමා. ගිහාන් කාරය ගෙ ඩොට් එල් කේ ඩෝමේන් ගණං හින්දනෙ අපේ කෂ්ටිය හුඟ දෙනෙක් ඩොට් කොම් නැත්තං ඩොට් නෙට් ගන්නෙ.

අවසාන වශයෙන් එකක් කියන්න ඕනෑ. බන්දුල කාරයගෙයි මගෙයි කිසිම සම්බන්ධයක් නෑ. ජීවිතේට මං මිනිහව ඇස් දෙකෙං දැකල තියෙන්නෙ එකම එක දවසයි. ඒ අවුරුදු දහයකට විතර කලින් පොර ඉන්ටර්කූලර් එකක යනව නුගේගොඩ හරියෙ. මං හිටියෙ අනිත් පැත්තට යන 138 බස් එකක.

කතන්දර කාරයා

I am in Facebook now. Search for and add KATHANDARA as a friend.

මගේ පරණ කතන්දර මෙතනින් කියවන්න. http://kathandara.blogspot.com/

මට කෙලින්ම ඊ-මෙල් එවනවා නම්: kathandara@blogspot.com

6 comments:

  1. මනුස්සයා ඇමති කෙනෙක් වෙන්න කලින් බොහෝම සුන්දර මනුස්සයෙක් . . .(වුනාට පස්සෙත් එහෙමද දන්නෙ නෑ . . .ඒ වුනාට ටියුශන් නතර කරල දෙශපාලනේට ගිය නිසා පෙර තරම් සුන්දර මනුස්සයෙක් නෙමෙයි කියල උප කල්පනය කරනවා. . )

    ඉගෙන ගන්න මුදල් නැති සිසුවෙක් හෝ සිසුවියක් අම්ම හෝ තාත්තා එක්ක ගිහින් සර්ව මුන ගැහිලා ආර්ථික අපහසුතා ගැන කිව්වොත් ඒ වෙලාවෙම ෆ්‍රී කාර්ඩ් එකක් එකෙක් දෙනවා අවුරුදු දෙකම නිකම් ඉගෙන ගන්න . . ඒ වගේම ඔහුගේ හිතවතුන්ගේ දරුවන්ටත් එහෙමයි . . .

    කාටූන් කාරයෝ මොනවා කිව්වත් දක්ශ හිත හොඳ මනුස්සයෙක් . . . රටට අවෂ්‍ය මනුස්සයෙක් . . . ප්‍රායෝගික දේශපාලනේට නොගිහින් උපදෙශකයෙක් විදිහට විතරක් ඔහුට ඉන්න තිබුනා . . .

    ReplyDelete
  2. මෙතැන ප්‍රශ්නේ මේකයි.

    වෙන කෙනෙක් කියනවනම් මේ කතාව 100%ක් හරි. කිසිම තර්කයක් නෑ. නමුත් දරණ පදවිය අනුව බන්ධුල ගුණවර්ධනට මෙහෙම කියන්න හැකියාවක් නෑ.

    වෙළෙඳ හා පාරිභෝගික ඇමති හැටියට ඔහු මහජන මුදලින් වැටුප් ලබන්නේ වෙළඳපළ කාර්යක්ෂ්ම කර පාරිභෝගිකයාට පහසු මිළක මිළ ගණන් තබා ගැනීම සඳහා. රටේ පරිප්පු නිෂ්පාදනය පහළ බැහැලා මිළ ඉහළ යනව නම් ඔහුගෙ රාජකාරිය වෙන රටකින් පරිප්පු ගෙන්වන්න කටයුතු කිරීම. මේ කියන්නෙ රජයෙන් එය සිදුවිය යුතුයි කියන එක නෙවෙයි. නමුත් වෙළඳ ඇමතිවරයා හැටියට පාරිභෝගිකයාට වාසිවන ලෙස අන්තර්ජාතික වෙළඳාම් කටයුතු ලිහිල් කිරීම ඔහුගේ රාජකාරියෙ කොටසක්. නැත්නම් අපට වෙළධ ඇමති කෙනෙක් මොන කෙහෙල්මලකටද?

    ReplyDelete
  3. කතන්දර පුතේ..
    ශුද්ධ ආර්ථික විද්‍යාවෙන් කළ හැකි විග්‍රහයට සීමා වීම බන්දුල ගේ තක්කඩි කම... මීට එහා ආර්ථික විද්‍යාව දියුනු වෙලා නමුත් ලංකාවෙ අස්ස විජ්ජාල මේවායේ පර්යේෂණ කරන්නෙ නැහැ..
    මූල්‍ය හෝ වෙනත් පටු තැනකින් අල්ලාගෙන ශේප් වෙනවා..

    අපේ මී ආච්චිත් දැනං උන්නු 'ආදෙශනය' කරන්න ඇමතියෙක් මක්කටද? අපේ මී ආච්චි කළ දේ විග්‍රහ කිරීම විතරයි ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව කරන්නෙ.

    රජයේ හා අනෙක් අයගේ මැදිහත් වීම හදාරන ආර්ථික විද්‍යාවක් තියෙනවා.. උසස් උසස් පෙළ විෂයය මාලාවට අහු නොවෙන ‘පොලිටිකල් ඉකොනොමික්ස්’ කියන්නෙ එම ක්ෂෙත්‍රයට...
    ඔයා ලස්සනට කරන කතන්දර කීම දිගටම කරන්න.. ඒක තමයි ඔයාගෙ තරඟකාරී වාසිය.. සිංහල බ්ලොග් බලන අය IT කාරයෝ පමණක් කියලා වැරදි උපකල්පන වලට යන එකත් සුදුසු නැහැ...

    බන්දුල වෙන්න ගිහින් භාග න්‍යායන් කියන්න යන්න එපා.. අපරාදෙ..ඔයාට කට්ටිය ‘සූරියප්පෙරුම’ කියයි..

    ඉතාමත් ආදරෙන්..
    කිරිමාමා

    ReplyDelete
  4. ඕක උපාහාසයට ලක් වුනේ "ඇමතිටත් කරන්න පුළුවන් ඕක කියන එක විතරක් නං ආර්ථික ඇමති කමෙන් තියන වැඩේ මොකක්ද" වගේ අදහසකින්. ‍රැට ගමන් බිමන් යන්න බැරි තරමට හොරු මංකොල්ල කාරයො ඉන්නව නං, "‍රැට ගමං නොයා දවල්ට යන්න" කියල හැමෝම කිව්වත්, පොලිස්පති තුමාත් ඕක කිව්වොත් මල පනිනවනෙ.

    ReplyDelete
  5. සමහරු ආණ්ඩුවට බනිනවා. සමහරු විපක්ෂයට බනිනවා. ගොඩක් අය දෙගොල්ලන්ටම බනිනවා. කිසිම කෙනෙක් මුන්ව පත් කරන්න කතිර ගහන මෝඩ හැත්තට මුකුත් කියන්නේ නෑ. දේශපාලකයා දුෂ්ටයො. මහජනතාව අහිංසකයො.

    ලංකාව පොදුවේ ගත්තම දේශපාලනික අන්ධයන්ගෙන් පිරිල. ඒකටම හරියන දේශපාලන බ්ලොග් කාරයොයි ඒවට කමෙන්ට් දාන උනුයි. උඹලා ඔක්කොම දේශපාලකයන්ට බැන බැන ඉඳලා ඊලඟ ඡ්න්දෙදි උන්ටම කතිරේ ගහපල්ල.

    වපුරන දේම අස්වැන්න හැටියට ලැබෙනවා කියල බුදු හාමුදුරුවොයි, ජේසුස් වහන්සෙයි දෙන්නම කිව්වෙ කට කහනවට නෙමේ. ගහන කතිරෙ හැටියට හැමෝටම කතිරෙ වැටෙයි.

    ඉතාම ආදරයෙන් කතා කාරයගෙන් ඉල්ල හිටින්නේ හිරිකිත නැතුව කියවන්න පුලුවන් මේ බ්ලොග් එකඑ දේශපාලන ගූ තවරා නොගන්න ලෙසයි.

    ReplyDelete
  6. මට මතක හැටියට ඕකට තමා මාකට් ඉක්විලිබ්‍රියම් කියන්නේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.