Monday 27 July 2009

සුදා ල ගෙ කඩේ ප්‍රේමේ


පසුගිය දවසක කව්දෝ එවපු ඊ-මේල් එකක තිබුන ලංකාවේ අවුරුදු පහක විතර පොඩි ළමයෙක් කියපු සින්දුවක් ගැන. යූ ටියුබ් ලින්ක් එකකුත් තිබුන. ගිහින් බැලින්නම් අවුරුදු පහක විතර පොඩි කොල්ලෙක් රූපවාහිනී චැනලයක තිබුණු රියලිටි ෂෝ තරගයක ට සින්දුවක් කියනව.

ඒ සින්දුව "සාදු සිරීපා" කියන පරණ බුදු ගුණ ගීතයක්. මං හිතන්නෙ ඒ. ජේ. කරීම් වගේ ගායකයෙකු ගෙ එකක්.

මයික් එක උස්සගන්න බැරි තරමට පොඩි උණාට කොළු පැටිය හොඳට ඇදල පැදල සින්දුව කිව්ව. සමහර වචන උච්චාරණය කරපු විදිය ඇහුණහම මට මතක් උනේ මං පොඩි කාලෙ කියපු සින්දුවක්.

සින්දුව "ආනන්ද සාගරේ". ගායකයා ජෝතිපාල. මුල් පද ටික මෙන්න මෙහෙමයි.

"ආනන්ද සාගරේ, මගේ මැණික් ආකරේ, මගේ මැණික් ආකරේ
උදාරයි ප්‍රියේ ප්‍රේමේ, උදාරයි ප්‍රියේ"

ඔය කාලෙ වෙනකොට මං උදාරයි, ප්‍රියේ වගේ වචන දැන ගෙන හිටියෙ නැහැ. ප්‍රේමේ කියන වචනෙ නම් දන්නව. ඒක ගමේ මිනිහෙකු ගෙ නමක් නෙ. ඉතිං මං ඔය කෝරස් ලයින් එක කිව්වෙ මෙහෙමයි.

"සුදාලගෙ කඩේ ප්‍රේමේ, සුදාලගෙ කඩේ"

මට සින්දුව එහෙම කියවෙන්න මූලික හේතුව වෙන්න ඇත්තෙ මේකයි.

අපේ ගමේ කඩයක් තිබුණ. ඒකෙ අයිතිකාරයගෙ නම විලියොං ද කොහෙද. හොද පැහැපත් පෙනුමැති මිණිහෙක්. ඒ හින්ද මිනිහට කවුරුත් කතා කලේ "සුදා" කියන අන්වර්ථ නාමයෙන්. කවුරුත් ඒ කඩේ ට කිව්වෙ "සුදාලගෙ කඩේ" කියල.

සුදා ට හිටිය දූල දෙන්නෙක්. උන් දෙන්නම මට වැඩිය ලොකු පන්තිවල කෙල්ලො. ඉතිං, සුදාලගෙ කඩේ ප්‍රේමයක් ගැන නම් මට කිසිම අදහසක් තිබුණෙ නෑ.

පොඩි එවුන්ට සිංහල සින්දු වල තියෙන වචන වැරදෙන එක අහන්න දෙයක් ද, ලොකු උනුත් වරද්දන එකේ. මෙන්න උදාහරණ කීපයක්.

මිල්ටන් මල්ලවාරච්චිගෙ ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ කියන සින්දුව මගෙ යාළුවෙක් මෑතක් වෙනම්ම හිතාගෙන ඉඳල තියෙන්නෙ "ඔළුව කපාගෙන" රෑ ඝණ අඳුරේ කියලයි.

මොහිදීන් බෙග් ගෙ සින්දු වල වචන නම් මිනිහගෙ ඉන්දියානු උච්ඡාරණය හින්දම ලංකාවෙන් බාගයක්ම වරද්දගෙනයි තියෙන්නෙ.

ප්‍රේමාලෝකය නිවී ගියා කියන සින්දුවෙ එන මේඝ වලාකුළු දෙස බලනා, ඡාතකයා සේ රැවටීලා කියන කෑල්ල හුඟ දෙනෙක් තවමත් කියන්නෙ "යාචකයා" සේ රැවටීලා කියලයි. (ඡාතකයා කියන්නෙ කෑදැත්තට ලු. ඕක කෑදැත්තා සේ රැවටීලා කියල ලිව්ව නම් ඉවරයි නෙ.)

බෙග් මාස්ටර් ගේ ම පෙම් මල් මාලා සින්දුවෙ එන පියඹා ආවා ප්‍රේම කුරුල්ලා, ස්වප්න පුරේ හී කූඩු තනන්ටා කියන පදේත් හුඟක් දෙනා කියන්නෙ "රත්නපුරේ" හී කූඩු තනන්ටා කියලයි.

ඕව මොනවද? සමහරුන් ට මොහිදීන් බෙග් කියන නම ඇහෙන්නෙත් "මූදෙන් ගෙම්බෙක්" කියලනෙ.

-කතන්දරකාරයා

(image: http://www.dailynews.lk/2010/10/27/art23.asp)

19 comments:

  1. please post youtube link

    ReplyDelete
  2. anonymous@@@@1111


    mata oka pahadili naaaaaaaaaaaaaaaa

    ReplyDelete
  3. මගෙත් යාලුවෙක් හිටියා සින්දු විනාස කරන. පොර පිලිගන්නෙම නෑ සිනදුව දාලා පෙන්නනකම්ම. මේන් පොරගෙ වැඬ.
    1. "ගාලු කොටුවෙ වැව් බැම් මේ, ඈත පෙනෙන ......" - ගාලු කොටුවෙ කොහෙද බන් වැව් බැමි, එහෙ තියෙන්නෙ ගල් බැම්මක්.
    2. "අහස් යන්තරේ මට ගොඬ ගන්න බෑ ඉතින්, යන්න නුබ ගියා උගසට..." - ඌට නෙමේ හල්ක් ආවත් වැඬේ ටිකක් අමාරුයි.
    දැනට මතක් වෙනනෙ ඔච්චරයි...

    ReplyDelete
  4. හික් හික් :D මරු....

    ReplyDelete
  5. හිනා වෙලා පණ පලයන් කිව්වලු..!

    ReplyDelete
  6. මාත් ඉතිං පොඩි කාලේ "ඇපල් මලක් සින්දුව කිව්වේ මෙහෙම".

    ඔබ අඹ පැලයක් වාගේ
    ලිස්සෙන ගසක් වාගේ
    මාගේ ලුහුමිරිසට කෑවේ
    ගෙනියන්න මාගේ ගින්දරී

    හින්ස්, ඕක මම කිව්වේ ඇයි දන්නේ නෑ. කවුරු හරි විකෘති කරපු කොමටියක් වැදිලාද නැත්තං මගේ ලෙඩේ හින්දා වැරදියට අරන්ද කියලා තාම මට මීටර් නෑ.

    ReplyDelete
  7. "බෙග් මාස්ටර් ගේ ම පෙම් මල් මාලා සින්දුවෙ එන පියඹා ආවා ප්‍රේම කුරුල්ලා, ස්වප්න පුරේ හී කූඩු තනන්ටා කියන පදේත් හුඟක් දෙනා කියන්නෙ "රත්නපුරේ" හී කූඩු තනන්ටා කියලයි."
    හුඟක් අය නෙමේ කතන්දර...බෙග් මාස්ටර් ඕක කියන්නෙත් 'රත්නපුරේහී' කියලයි...! ඕන්නම් අහලම බලන්න....

    මගේ බැචාලා සින්දු මරන හැටි මට මතක් උනා...උන්, 'ඔය දෑත දෑතේ තියා' කියන එකට කියන්නෙ 'ඔය දෑස දෑතේ තියා' කියලයි...! කොහොමද වැඩේ? ඇස් ඉගිල්ලෙන සීන් එකක් නේද??

    ReplyDelete
  8. මම අද තමයි මේ blog එක මුලින්ම බැළුවෙ. කතා ටික කොයිතරම් රහද කියනවානම් එක හුස්මට පැය ගානක් කියවගෙන ගියා. සමහර ඒවා කියවනකොට මගේ අතීත සිදුවීම් මතක් වෙලා තනියම හිනාත් ගියා. කොහොම වුනත් මම කියන්න යන්නෙ මේ ලිපියෙ එන දේ ගැන මගේ අත්දැකීම් කීපයක්...

    ධර්මදාස වල්පොලගෙ සිංදුවක් තියෙනවා "මග බල බලා ඇතිය මගෙ සුදා" කියලා. ඒකෙ එක තැනක තියෙනවා "අදුරට පෙර යමි ළහි කරලා" කියලා තැනක්. ඕක මට පොඩි එකා කාලෙ ඇහෙන්නෙ "අදුරට පෙර යමි try කරලා" කියලා. ඉතිං මට මාර ප්‍රශ්නෙ කොහොමද මේ ඉංග්‍රීසි කෑල්ලක් සිංදුව මැදට ආවෙ කියලා... :D

    තව අපේ නැන්දා කෙනෙක් ඉන්නවා සිංදුවල පද වෙනස් කරන. මතකද සුනිල් එදිරිසිංහගෙ සිංදුවක් තියෙනවා "කළේ පැන් ඇත නැවුම් රහ නැත" කියලා. ඒකෙ එක තැනක තියෙනවා "පුළුස්සාගත් රොටිය කරවී මොකද මන්දා ලිපට වූයේ" කියලා තැනක්. ඕක නැන්දා කියන්නෙ "පොලුත් දාගත් රොටිය කරවී" කියලා. නැන්දා හිතලා තියෙන්නෙ රොටී හදද්දි පොල් දාන නිසා සිංදුවෙ එහෙම තමයි තියෙන්නෙ කියලා. පසුකාලෙක මම තමයි ඒක නිවැරැදිව කියලා දුන්නෙ.

    අමරදේවගෙ "මින්දද හී සර" සිංදුවෙ එන "උකුළ ලැම හස මළවි කරළිය" කියන කෑල්ල නැන්දා කියන්නෙ "උකුළ ලැම හස මන විකල් විය" කියලා. ඕක නිවැරැදි කරන්න ගිහිං මට මාර වැඩේ වුනේ. නැන්දා මගෙං අහනවා ඉතිං මොකක්ද මළවි කරළිය කියන්නෙ කියලා. හුටා තමයි, මම කොහොමද ඒක විස්තර කරන්නෙ... :D

    ReplyDelete
  9. ඔය වගේම මේ මෑතක් වෙනකල්ම " මහද නමැති වන බඹරා" කියන සින්දුවට මම හිතාගෙන හිටියෙ "මහජන මැති වන බඹරා" කියල. ඕක නිවැරදි උනේ මම සෑහෙන්න නෝන්ඩි වෙලා!

    ReplyDelete
  10. ඕවා මොනවද ? මම ජාතික ගීය ඉගෙන ගන්න කාළෙ ලංකාවේ අගමැති ඩඩ්ලි හිංදද කොහෙද මම කිව්වේ "පිළිගනූ මැන අප ඩඩ්ලී පූජා" කියල.

    ReplyDelete
  11. මොහිදින් බෙග් කියන එක 'මූදෙන් ගෙම්බෙක්' කියල ඇහෙන්නෙ කොහොමද? ඔන්න 'මුහුදෙන් ඉබ්බෙක්' කිව්වනම් හරි.
    මොනව වුනත් හරි ශෝක් කතා ටික.. :D

    ReplyDelete
  12. බෞද්ධාගමික අපි වෙනුවෙන් ගී ගැයු බෙග් මහතාට මගේ උපහාරය...

    මේ වගේ තව පෝස්ට් එකක් ඉතාම මෑතකදි කතන්දර ලීව බව මට මතකයි...

    ReplyDelete
  13. දවසක් පාරේ යනකොට කොලුවෙක් කියනව 'දෙල්ගාහේ උඩ නෑගලා ඉස්කොලේ වහලේ පෙනේ නෑට්ට කොටයි නෑට්ට කොටයි නෑට්ට කොටයි // ඒක ඒකාලේ ජනප්‍රිය හින්ට්දි සින්දුවක්.......

    ReplyDelete
  14. අදයි මේ * එක කියෙව්වෙ... නියම කතා ටික....

    අපේ මාමා පොඩිකාලෙ "පිදුරු හෙවිකල පැල්පතේ" කියන සින්දුව කියන්නෙ "පිදුරු දෙවිගල " කියලලු....

    ඇයි මම ලුණු දෙහි සිංදුවේ "පණ වාගේ ලොවේ ඉන්නේ" කෑල්ල "පණ ආගේ" කියලලු කියන්නෙ...

    අපේ මල්ලි "සොමියට වරෙන් පුතා අඟුරු ගාලා නෑ දොරේ " කියපු හැටිනම් මට මතකයි.......

    ReplyDelete
  15. අදයි මට මේක කියවන්න ලැබුනෙ... මොහිදින් බෙග් ගෙ රත්නපුරෙ කූඩු හදන කතාව ඇත්තටම මුලින්ම කියල තියෙන්නෙත් බෙග් ම තමයි. ඒ කතාව දැන් අවුරුදු 3 කට විතර කලින් ඉශාක් බෙග් ටිවි වැඩ සටහනක කිවුව

    ReplyDelete
  16. ඇයි. මගේ යාලුවෙක් කිව්වේ "පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියේ බිම වැටුනා..." කියලා

    ReplyDelete
  17. AI NANDA MALANI MAHATHMIYAGE "මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව ", KIYANNE "වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව "

    ReplyDelete
  18. 1ST Time dakke

    maru!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.