Thursday 23 July 2009

සුසන්ත සිස්සස්සෙස යනවද?

මේ සටහනේ මාතෘකාවෙ සිස්සස්සෙ කියල වැටිල තියෙන්නෙ යුනිකොඩ් වලට වැරදිලා නෙමේ. ඒ මං ලිව්ව හැටි. සිස්සස්සෙ කියන්නෙ ඇත්තටම ශිෂ්‍යත්වය කියන වචනය පොඩි ළමයෙක් ගෙ කටින් පිටවුනු විදියයි.

සුසන්ත කියන්නෙත් පොඩි ළමයෙක්. පහේ පන්තියෙ හිටියෙ. එයා පහේ පන්තියෙ ශිෂ්‍යත්ව විභාගය ට ලැහැත්ති වෙන්න ක්ලාස් එකකට ද කොහෙද යන වෙලේ, සුසන්ත ගෙ ගමේම ඉන්න ඊටත් වඩා පොඩි ළමයෙක් සුසන්තගෙන් ඒ ගැණ අහපු විදිය තමයි ඒ.
සුසන්ත සිස්සස්සෙස යනවද?

සිස්සස්සෙට ගිය සුසන්ත පාස් උනා ද නැද්ද කියල නම් මට මතක නෑ. හැබැයි ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ සුසන්ත ආපසු නොඑන්නම මේ ලෝකෙ හැර දාල ගියා.

සුසන්ත මැරුණෙ වතුරෙ ගිලිල. කොහේදෝ මන්ද නොදන්න පලාතක ගමණක් ගිය වෙලේ නාන්න ලඟ තිබුණු ගඟට ගිහින් ගග මැද්දෙ තිබුණු වලක වැටිල ගිලිල මලා. හරිම දුක්මුසු පුවතක්. යන්තම් ගැටවර වයසට ආපු ගමන් ඒ දෙමව්පියන් ට පුතා අහිමි වුණා.

සුසන්ත වාගෙ වතුරෙ ගිලිල මැරුණු කී දෙනෙක් ගැන නම් අපි අහල තියෙනවද? බාල, තරුණ, වැඩිහිටි හැම වයසෙම අය. මේ හුඟ දෙනෙක් හැබැයි පිරිමි. හැම මරණෙකම පිටිපස්සෙ තියෙන්නෙ එක වගේ කතාවක්.

යාළුවො දෙතුන් දෙනෙක් හරි නඩයක් හරි එකතු වෙලා ගමණක් ගියා ගමෙන් දුර වැඩිය නොදන්න පලාතක. කොහෙ හරි තියෙන දිය ඇල්ලක්, ජලාශයක්, වැවක්, ගඟක් විතරක් නොවේ යාන්තම් වතුර පාරක්, වේල්ලක් නැත්තං ඇනිකට් එකක් දැක්ක ගමං මේ ගොල්ලන් ට ඕනැ වෙනව නාන්න. හරියට ජීවිතේටම වතුර දැකල නෑ වගේ.

ඕකට ගමේ ගොඩේ කියනව මී හරක් ගිණියම කියල.

ඉතිං ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පණිනව වතුරට කලිසං ගලෝල යට ඇඳුම් පිටින්. අවාසනාවන්ත එකෙක්, ඔළුව පිටුපස්සෙ සුලි තුනක් තියෙන එකෙක් හෙම එතන හිටියොත් ඉතිං බඩු හරි.

ගිය ගමණත් ඉවරයි. නඩේ එකෙකුත් ඉවරයි.

ජීවිතය දුකයි, මරණය නියතයි කියන හොඳටම ඔප්පු වෙලා තියෙන තීසිසය ට තේරුමක් නැති විදියට තව තවත් උදාහරණ සැපයෙනව විතරයි.

සිස්සස්සෙස ගිය සුසන්ත වගෙ පොඩි උං මේ විදියට දියේ ගිලිල මැරෙන්නෙ නම් නිසි පරිදි වැඩිහිටියන් ගෙ අධීක්‍ෂණයක් නැති නිසයි.

ලොකු උං මැරෙන්න නම් ප්‍රධාන හේතුව තමා විනෝද ගමං යන කොට මත්පැන් පානය කරන එක. ටිකක් බිව්ව ගමං නයගරාවත් නිකං ගමේ ඇනිකට් එකක් වගෙ පේනව ඇති.

මේ වගේ අවාසනාවන්ත විදියට ගෑණු මැරෙනව අඩු ඇයි කියල හිතා ගන්න පුළුවන් නේද?

පිරිමින්ට වගෙ එක පාරටම ඇඳගෙන ඉන්න සාරි ගවුම් ගලවලා යට ඇඳුම පිටින් වතුරට බහින්න පුලුවනි යැ ගෑනුන් ට?

නාන්න නන් නාන්න නෝනා, නොනා නොනා නේන්න නෝනා!

නන්දා මාලනී ඕනැ එකක් කියා ගත්තාවෙ.

11 comments:

  1. මාර හිනාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා

    ReplyDelete
  2. maxxxaa පහර ඒක...

    ReplyDelete
  3. [said:author]
    ඔළුව පිටුපස්සෙ සුලි තුනක් තියෙන එකෙක් හෙම එතන හිටියොත් ඉතිං බඩු හරි
    [/said]

    තේරුම ?

    ReplyDelete
  4. Supun:
    අපේ කාලෙ කතාවක් තිබුනා, ඔළුව පිටුපස්සෙ කොණ්ඩෙ සුලි දෙකකකුයි, ඉස්සරහ එකකකුයි තිබුනොත් දියේ ගිලිල මෑරෙනව කියල. සුසන්ත සුලි තිබුනද මං දන්නෙ නෑ. එයා අපේ හෙදරට ඉස්සරහ ගෙදර හිටියට, ගියේ ඬෙන ඉස්කෝලෙකට. මං හයේ පන්තියට අළුත් ඉස්කෝලෙකට ගියාම එතෙනදි හමුවුනා මහින්ද කියල යාළුවෙක්. සුලි තුන තිබුන. හතේ පන්තියෙදි වැහි දවසක වේල්ලට වැටිල මලා.

    අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්.මමත් හිතනවා!

    ReplyDelete
  6. සමාවෙන්න ඕනේ, මට හැමදාම හොඳම දේ මගඇරෙනවා. ඒක මගේ ලෙඩක්. ඉස්සරහට අනිවාර්යයෙන්ම කොහොමහරි බලනවාමයි මේ බ්ලොග් එක. නියම ලිපියක්!

    ReplyDelete
  7. පොඩිකාලෙ ගෙදරට හොරෙන් වැවක නාන්න ගිහින් මමත් ගිලුන මරනය දැක දැක යන්තම් ගොඩ ආවෙ ඒ වෙලාවෙ එතන හිටපු අය්ය කෙනෙක් නිසයි මේ කතාව කියවද්දි මට ඒ සිද්දිය මතක් උනේ..... ගිලෙන්න යද්දි මට මතක් උනේ අම්මව :(

    ReplyDelete
  8. ඕක කිව්වහම මතක් උනේ අපේ උන් නුවර ගිහිං එනකොට කරපු ව්ක්‍රමයක් ....

    ආපහු ගෙදර එන ගමනේ කට්ටියට මොකක් හරි වතුර පාරකිං නාන්න සැහෙන උවමනාවක් තිබුනා.කරුමෙට වගේ අපි බැස්ස පාරේ වෝට(ර්) ෆෝල්ස් අඩුයි.ඒ උනාට එකපාරම ලස්සන පොඩි වෝට(ර්) ෆෝල් එකක් තිබුනා පාර අයිනේ.තැන නං එච්චර ශුවර් නැති උනාට මොකද අපේ උං නැවා.
    නානකොට එතනිං යන උන් ටිකක් අමුතු විදියට බලනවා අපේ නාන සෙට් එක දිහා , අපි හිතුවේ කෙලිංම පාරට open නිසා මෙහෙම නාන එක ටිකක් awkward හින්දා කියලා.
    ටිකක් වෙලා නානකොටයි ගමේ මනුස්සයෙක් කතාකරලා කිව්වේ ඒ ඇයි කියලා.
    ලස්සනට ගලාගෙන ගියාට එතනිං එන්නේ ලැයිමක් අස්සෙන් එන සුපිරිසිදු ජලදහරාවක් කියලා දැන ගත්තේ ඊට පස්සේ තමා.
    මොනා කරන්නද ඉතිං ආයේ පාරක් වතුර පාරක් හොයාගෙන ගියා කලිං නාපු වතුර ටික හෝදගන්න.

    ReplyDelete
  9. වෙලාවට ගැහැණියක් වුනේ .......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.