Friday, 25 May 2012
ඒ වං මේ සුතං! - අයියා ද? අංකල් ද? - මේක "ලූ" කතන්දරයක් : Thus Have I Heard!
ලූ කතන්දර කියන්නේ අපි අත්නොවිඳපු නමුත් වෙනත් කෙනෙකුගෙන් අහන්නට ලැබුණු කතන්දරවලට නේ.
ඒ අර්ථයෙන් මං අද කියන්න යන්නේ ලූ කතන්දරයයක්.
මේක මට මතක් වුනේ අද උදේ කෝචචියේ එද්දී ඊ-මේල්කාරී ලියලා තිබුණු සිතුවම් සහිත රෝඩ් රේජ් කතා වස්තුව සිහියට ආපු වෙලාවේදී යි.
ඔන්න එකමත් එක රටක හිටියාලු වයසක අම්මා කෙනෙක්. මේ අම්මාට හිටියාලු හොඳ නැඩ හැඩිදැඩි පුත්තු කීප දෙනෙක් ම. පුත්තු කිව්වාට මේ ගොල්ලෝ විවාහවෙලා දරුමල්ලෝත් ඉන්න තාත්තලා.
මේ මහගෙදර අයිනේ ඉස්කෝලයක් තිබුණා. මේ බ්ලොග් අවකාශයේ තියෙන ඉස්කෝල කාලේ කොලුකම් ගැන ලියවුණු කතන්දර දිහා බැලුවාම හිතාගන්න පුළුවනිනේ ඉතිං තත්වය. මේ ඉස්කෝලෙත් හිටියා ලු වෙන තැන්වල වගේම නාහෙට අහන්නේ නැති කොල්ලෝ රෑනක්ම.
මුංගේ විනෝදාංශය වෙලා තිබුණේ ඉස්කෝලෙට අල්ලලා තිබුණු මේ වයසක අම්මා හිටපු ගෙදර තාප්පේ අයිනේ තිබුණු ගස්වලට ගල් ගහන එක. අඹ ගහක්ද දෙකක්දත් තිබුණා ලු වත්තේ.
ඒ මදිවට මේ සමහර කොල්ලෝ තාප්පෙන් පැනලා ගස්වල ගෙඩි කඩන්නත් එනවාලු. බොහෝ වෙලාවට මේ වයසක අම්මා විතරයි නේ ගෙදර ඉන්නේ.
ඉස්කෝලේ කොල්ලන්ගෙන් අම්මාට වෙන කරදරය ගැන දැනගත්තු පුතාලා දෙන්නෙක් එක දවසක් රැකලා ඉඳලා මේ තාප්පෙන් පැනපු එක කොල්ලෙක්ව අල්ලා ගත්තා.
දැන් මූට බැෂ්ටිය දෙන්නයි සූදානම. හොරකමේ ආපු අපරාධයට දඬුවම්!
වීරයා වෙැග් තාප්පෙන් පැනලා හොරා කන්න ආවට මේ කොලුවට චූ බරත් හැදෙන්න ඇති හැඩිදැඩි වැඩිහිටියන් ගේ ග්‍රහණයට අහු වුණාම.
"හුහ්, තෝ ආවද බොල මෙතන හොරා කන්න. ඉඳපිය තොට අද දෙනවා බඩ යන්න". එක පුතෙක් කිව්වාලු.
"අනේ අංකල් මට ගහන්න එපා, යන්න දෙන්න ප්ලීස්!" ඒ කොලුවාගේ ආයාචනාත්මක ඉල්ලීම.
"අංකල්? කොහොමද බොල මං තොගේ අංකල් වුනේ? මං උඹලගේ අම්මගේ හොර මිනිහාද?" හැඩිදැඩි වැඩිහිටියාට හොඳටම තදවුණා ලු!
කොලුවාට තේරුණා අංකල් කියලා ඌ කරගත්තේ මහා වරදක් ය කියලා. ඌ වහාම තමන්ගේ ආයාචනය වෙනස් කළා.
"අනේ අයියේ මට ගහන්න එපා, මට යන්න දෙන්න ප්ලීස්!"
"අයියා, කොහොමද බොල මං උඹේ අයියා වුනේ? උඹේ අම්මා අපේ තාත්තා ගේ හොර ගෑණිද?"
ඒ වං මේ සුතං!
ලූ කතන්දරය එතනින් නිමියේ ය.
-කතන්දරකාරයා
ප/ලි:
මේ ලූ කතන්දරයේ ඉතුරු ටික දන්නා කෙනෙක් ඉන්නවා නං කියනවාද, ප්ලීස්?
(image: http://atheistevolution.blogspot.com.au/2012/03/reasons-god-isnt-real-1-prayer.html)
Wednesday, 23 May 2012
ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) - Eliyakanda Torture Camp
සමහරවිට ඌරොත් අඬනවා ඇති.
ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.
වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.
එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.
මම ඊරියක් සේ ඇඬුවෙමි.
මට එලෙස ඇඬුණේ රෝහිත මුණසිංහ ලියූ "එළියකන්ද වද කඳවුර" පොත කියවද්දීය.
එළියකන්ද වද කඳවුර වනාහී 1989-90 කාලයේ මාතර ප්‍රදේශයේ තිබූ කූප්‍රකට වධකාගාරයකි. ජවිපෙ යැයි සැක කළ අය රඳවා තබාගෙන දෙතිස් වධයට ලක් කළ, මැරූ, නොමරා මැරූ හිර කඳවුරකි.
ඇමෙරිකානුවන් පවත්වාගෙන ගිය අබූග්‍රේ සහ ගන්තනමෝ වධ කඳවුරු ගැන විවිධ මාධ්‍ය ඔස්සේ අප අසා ඇති වුවද, ඊජිප්තුවේ පවත්වාගෙන ගිය වධකාගාර ගැන අප බොහෝ දෙනෙකු තවමත් නොදන්නවා විය හැක. ඒ ආකාරයටම, බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.
එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.
1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.
2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.
3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.
4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.
5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.
කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.
ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.
තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.
එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.
දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.
-කතන්දරකාරයා
ප/ලි:
නැවත කියමි. දුබල සිත් ඇත්තන්ට නොවේ!
ප/ප/ලි:
මේ වධකාගාර භූමියේ දැන් ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකි.
(image: http://rmunasinghe.voila.net/)
Monday, 21 May 2012
බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
මීට අවුරුදු දහයකට දොළහකට විතර කලින් මෝඩයා ගේ පෙට්ටියේ කොටස් වශයෙන් ගිය ටෙලියක තිබුණු කෑල්ලක් තමයි ඔය උඩින් මාතෘකාවට දාලා තියෙන්නේ.
මේ කියන සීන් එකේ තිබුනේ, හොඳටම ඩෝප් වෙච්ච එකෙක් (කතාවේ හැටියට කෙල්ලගේ අයියද කොහෙද) ඔය කවි කෑල්ල කිය කිය පාරේ වැනි වැනී යන විතරයි.
ඒ ටෙලියේ තිබුණු වෙන කිසිම දෙයක් මට අද මතක නැති වුණත්, අවුරුදු දොළහකට පස්සේත්, ඒ කවි කෑල්ල තාමත් මතකයි.
ඒකට හේතුව මංතුමා කයි-කතන්දරවලට කැමති එක විතරක්ම නෙමේ.
අද අපේ කෂ්ටිය බහුතරයක් බුද්ධාගම ප්‍රැක්ටිස් කරන විදිය ගැන මුළු කතාවම ඔය කවි දෙපදයේ ඇතුලත් වෙනවාය කියලයි මට හිතෙන්නේ. අන්න ඒකයි!
තමන් නැති කාලෙක ධර්මය ගුරුකොට සලකන්න කියලා බුදුන් කිව්වා වුණාට, අපේ කෂ්ටිය හුඟ දෙනෙක් තවමත් කරන්නේ පිළිම වන්දනාව විතරයි.
ඊලඟට, සසර කෙටිකරගන්න බැඳි ඉවත්කර ගන්නවා වෙනුවට බුද්ධාගම ගැනත් අනවශ්‍ය බැඳීමක් ඇතිකර ගන්නවා.
ඒ මදිවට තමන් බුද්ධාගමේ සෙල්ෆ් ඇපොයින්ටඩ් අයිතිකාරයෝ විදියට කටයුතු කරන්න යනවා. හරියට අර ඉස්කෝලවලට ඉන්න අයිතිකාරයෝ වගේ.
අද කතන්දරේ මෙන්න මේකයි.
ඔන්න දැන් අවුරුදු කෙකට විතර කලින් මගේ හිතවතියක් ඊ-මේල් එකක් එව්වා මං ඇතුළු දහපාලොස් දෙනෙකුට. ඒකේ තිබුණේ චූල කම්ම විභංග සූත්‍රයේ පරිවර්තනයක්ය කියන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්.
එතන බුදුහාමුදුරුවෝ සුභ කියලා තරුණයෙකුට කිව්වාය කියන කරුණුවලින් මට මෙන්න මේ වගේ අදහසක් ආවා.
1. මේ ආත්මේ පෝසත් අය පහුගිය ආත්මවල දාන දිපු අයයි. එහෙම නොකරපු අය දුප්පත්ව ඉපදිලා ඉන්නවා.
2. මේ ආත්මේ අඩුකුලේ ඉපදිලා ඉන්නේ ගිය ආත්මවල අනුන්ට ගැරහූ, අධිමාන්නෙන් හිටපු, පිදිය යුත්තන්ට පිදුවේ නැති අය. පිදිය යුත්තන්ට පුදපු අය උසස් කුලේ ඉපදිලා ඉන්නවා.
මේ කතාව මට ඇල්ලුවේ නෑ. මං මෙන්න මෙහෙම ලියලා යැව්වා.
"මේ කතාව අනුව බුදුන් මේ කොල්ලාව නොමග යවලානේ!
1. මිනිස්සු දුප්පත් පෝසත් කියන්නේ ධනය බෙදී යන අසාධාරණ ක්‍රමය නිසයි. මේ කියන විදියට රටේ ආර්ථිකය දියුණු කරන්න හැකි එකම විදිය නම් පිණට දීමයි. ඒ කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමයකට ගියොත් මුළු ලෝකයම දියුණු වෙයිද?
2. සමහරු අඩු කුලවල ඉපදෙන්නේ ඒ කුල අඩුයි කියලා අනිත් උන් සම්මත කරගෙන තියෙන නිසයි.
මේ කියන විදියට නං වැඩේ වෙන්නේ මුලින්ම දැන් අවුරුදු 2,500කට පස්සේ ඉන්දියාවේ පවා කුල භේදය සෑහෙන් නැතුව ගිහින් තියෙන්නේ මිනිස්සු එන්ණ ුණ්ණඟ හොඳ වෙලා තියෙන හින්දද? දෙවනුව, කුලභේදය නැති සමාජවල ඉපදෙන මිනිස්සු හැමෝම හොඳ වැඩ කරපු අයද?"
මෙන්න බොලේ මගේ උත්තරේ කියවපු ඒ ඊ-මේල් ලයිස්තුවේ හිටිය නෝනා කෙනෙක් මෙහෙම කියනවා.
"කවුද අනේ මේ බුදුන් ගැන පැහැදීමක් නැති කෙනා? මෙයා (මැරුණට පස්සේ්) යන තැන මට හිතාගත්තෑකි!"
ඒ නෝනා ඉතාමත් ශ්‍රද්ධාවෙන් බණ භාවනා කරන සිල්වත් ගුණවත් කෙනෙක්. ඒ ගැන මගේ විවාදයක් නෑ. හැබැයි ඒකේ තරමක් අන්තයට ගිහින් බවයි මට ඒ පිළිතුරෙන් පෙනුනේ. ඒකනේ නෝනා කියන්නේ මං ඒ සූත්‍රයේ කරුණු විවේචනය කළ එක නිසා මං අපායට යන්න පුළුවන් වගේ කතාවක්.
කොහොම හරි ලොකුම වලියකට නොගිහින් වැඩේ ෂේප් වුණා. මෙන්න ඒ ඊ-මේල් දෙබස සිංහලෙන්.
මම: "ප්‍රිය නෝනෝ, මං ඔබ තරම් දැනුමක් නොමැති වුණත් බුදු දහමේ 'ඒහි-පස්සිකෝ' ගුණය ගැන දන්නා අයෙක්. ඊ-මේලයකට පිළිතුරක් යැවූ පමණින් මගේ අවසානය තීරණය වේ නම් - අහා, කෙතරම් අගීද?"
නෝනා: "ප්‍රිය කතන්දර, 'ඒහි පස්සිකෝ ගුණය' ගැන ඔබට දැනුමක් ඇති බව අසා සතුටු වුණා. ඔබට 'පච්චත්තං වේදී තබ්බ විඥ්ඥූහී' ගැනත් දැනුමක් ඇති යැයි සිතනවා.
අප සැමට 'අරහං', 'සම්මා සම්බුද්ධෝ' සහ 'විජ්ජාචරණ සම්පන්නෝ' ගුණ ගැනද සම්පූර්ණ විශ්වාසයක් (full confidence) ඇතිනම්, අපේ බුදුරජුන් කියූ දේ ගැන විශ්වාසය (believe) ඇති කර ගැනීම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. අවබෝධයේ (enlightenment) මුල් පියවර ශ්‍රද්ධාවයි."
මම: "ප්‍රිය නොනෝ, ඔබේ පිළිතුරට ස්තුතියි. එය සැබවින්ම අගේ කරමි. විශ්වාසය (believe) යන්න මෙහිදී වැරදි වචනයකි. එය බුදු දහමට මුළුමණින්ම පිටස්තර (alien) වූ අදහසකි. මා කැමති විශ්ලේෂණයකර (analyse) අවබෝධ (understand) කරගන්නයි. මට යමක් අදහන්න (believe) යැයි කියනු ලැබුවොත්, එහි අනිවාර්යෙන්ම වැරුද්දක් හෝ තර්කානුකූල නොමැති දෙයක් තිබේ."
නෝනා: "ප්‍රිය කතන්දර, ඔබ ඇත්තටම හරි. ස්තුතියි."
මං අද කතන්දරයෙන් කියන් උත්සාහ කළ කරුණු කිහිපය මෙන්න මේවා.
1. බුදුදහමට ඇදහිල්ලක් සම්බන්ධ නෑ.
2. යම් සැකයක් ඇති නම් බුදුදහමේ ඒකට විසඳුම විශ්වාස කිරීම නොවෙයි, ප්‍රශ්ණ කිරීමයි (Antidote to doubt is not faith but enquiry).
-කතන්දරකාරයා
ප/ලි:
අනික මං දන්න තරමින් බුදුදහමට අයිතිකාරයෙක් නෑ. මං ඕක කලින් දවසක චතුරාර්ය සත්‍යය ඕපන් සෝස් සංකල්පයක්ය කියලා ලියලා තව පොඩ්ඩෙන් ගුටි කනවා.
(image: http://www.lakehouse.lk/budusarana/2010/02/28/tmp.asp?ID=fea07)
Sunday, 20 May 2012
විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?
ඔය මාතෘකාවේ තියෙන ස්පර්ශකය (අකුරු හරිද මන්දා? - අකුරු නෙමේ වචනයම වැරදිලායි තිබුණේ. ඔන්න හැදුවා. වරද පෙන්නා දුන් සැමට ඉතා ස්තුතියි) කියන වචනේ අහල පුරුදු ඇති උසස් පෙළ ගණිතය කරපු අයට. ගණිතමය අර්ථ දැක්වීම කෙසේ වෙතත් මේකේ සරල අදහස නම් නිකං ගෑවිලා යනවා කියන එකයි.
දේශපාලන පක්‍ෂ තියෙනවා නේද? මට නං ඔය එකක්වත් පෙන්නන්න බෑ. මොකද ඕවායේ ඉන්න වුන් කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහන එකයි. ගණිතමය වශයෙන් කිව්වොත් අම්බානකට සංඛීර්ණ මල්ටි ඩිමෙන්ෂන් චක්‍රාණුකූල පඨවල තමයි උන් ගමන් කරන්නේ.
මංතුමා ගැන කියනවා නං, අවුරුදු දහ අටේ දී විතර ඇති කරගත්තු දේශපාලන දිශානතිය තවම වෙනස්වෙලා නෑ. නැත්තම් එහෙම තමයි මට පේන්නේ, මට සාපේක්‍ෂව.
ඉතිං මං සරල රේඛාවක යනවා. දේශපාලන පක්‍ෂ සහ ඒවයේ පොරවල් උන්ගේ වක්‍රාණුකූල පඨවල ගමන් කරනවා.
දැන් අවුරුද්දකට දෙකකට විතර කලින් මට සම්මන්ත්‍රණයකදී හම්බවුණා විජිත ගුණරත්න කියලා කලාකාරයෙක්. පොර නාට්‍ය අධෘක්‍ෂකවරයෙක්. එදා නං මුණ ගැසුනේ "පෙරඹර" කියන පොරගේ චිත්තරපටිය හා සම්බන්ධවයි.
එතනදි මට ඉඩ ප්‍රස්ථාව ලැබුණා අර මං අනුර කුමාර දිසානයකගෙන්, අර්ජුන රණතුංගගෙන් ඇහැව්වා වගේ ප්‍රශ්නයක් අහන්න.
ඒ ප්‍රශ්ණයට ප්‍රවිශ්ඨයක් විදියට මං කියපු කරුණක් තමයි දේශපාලන පක්‍ෂ සංඛීර්ණ චක්‍රවල වැල යන අතට මැස්ස ගහද්දී සහ අපි අපේ සරල රේඛාවල යද්දී යම් යම් අවස්ථාවල අපේ ගමන් මාර්ග ස්පර්ශකය විදියට සමපාත වෙනවාය කියන එක. (මැත්ස් කරන ළමයින්ට: ඒ කියන්නේ ප්‍රථම අවකලන සංගුණකය නොහොත් අනුක්‍රමණය සමානයි ).
දඹර අමිල කියන්නේ හාමුදුරු නමක්. පොර ගේ නම මං මුලින්ම ඇහැව්වේ අර සුනාමියෙන් පස්සේ උතුරු නැගෙනහිර හා එක්වෙලා පිහිටුවන්න ගිය සුනාමි සහන මණ්ඩලවලට විරුද්ධව උපවාසයක් කරපු ජාතිවාදියෙක් හැටියටයි.
ඒ ඔහු ගේ දේශපාලන පඨයේ එදා ඔහු සිටි ලක්‍ෂයයි. ඒක මගේ රේඛීය ගමන් මගේ එදා මා සිටි ලක්‍ෂයට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ යි තිබුණේ.
මං මුල් කාලේ ලියපු, අද කතන්දර බල්න එන පාඨකයෝ බහුතරයක් කියවලා නැති "ගෙදර එක්ක තරහ වුනා" කියන ලිපියේ දඹර අමිල ගේ උපවාසය සමාන කලේ තිලීපන් ගේ සේම් සේම් ගේම් එකටයි.
ඒ එදා.
නමුත් මේ ඊයේ පෙරේදා දවසක නෙට් එකේ සැරිසරද්දී මට දකින්න ලැබුණු මේ සාකච්ඡාව මං එක එල්ලේ බැලුවා. මෙතෙන්දී නම් මගේ සරල රේඛාව දඹර අමිල ගේ සංඛීර්ණ පඨයට ස්පර්ශකයක් වෙනවා වගේ.
විනාඩි විසිපහක් තියෙනවාද?
තියෙනවා නං මෙන්න මේක බලන්න.
3D ත්‍රිමාණ - බෞද්ධ දර්ශනය සහ ආගමික සහජීවනය from Young Asia Television on Vimeo.
බුදු දහමේ හරය සහ ආගමික සහජිවනය පිළිබදව මෙම වැඩසටහන ඔස්සේ සාකචිජා කෙරේ...
Buddhism and Religious Co-existence, Ven. Dambara Amila Thero, Senior Lecturer, Sri Jayawardenapura University
මං දන්න බුද්ධාගම නං අන්න එහෙමයි.
මේ කවි පන්තියත් මතකයි නේද?
http://kathandara.blogspot.com.au/2012/05/wesak-thoughts.html
මෙත් සිතිනි. ඔබ සැමට යහපතක්ම වේවා!
-කතන්දරකාරයා
ප/ලි:
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක පොඩ්ඩක් පොලිටිකල් පොලිටිකල් වගේ. බයේ බෑ අර අහවල් කතාවට ආවා වගේ ඇනෝලා එයිද කියලා මට බැස්ටිය දෙන්න.
ඔන්න මුලින්ම කිව්වා, කවුරු ආවත් මං කරුණා මෛත්‍රියෙන් තමයි වැඩ කරන්නේ හොඳේ. ඒ හින්දා බැණලා නං වැඩක් නෑ.
Friday, 18 May 2012
කමින් කලර් ගුඩ් ගුඩ් හෙවත් පොඩි පහේ හඳුන්වා දීමක් - Introducing a new blog
මං මේ දවස්වල පරිනාමයේ පොඩ්ඩක් විතර ආපස්සට ගමන් කරලායි ඉන්නේ. ඒ කියන්නේ කතන්දර ලියන්නේ කෙලින්ම ලැප්ටොප් එකට නොවෙයි, පොඩි පොතක අත් අකුරිනුයි ලියන්නේ.
මේකට හේතුව තමයි මගේ හුරුබුහුටි අඟල් දාහතර සයිස් එකේ Acer ලැපා ගේ චාජ්කරන තැන කැඩුන එක. ඒක හදාගන්න වෙලාවක් නැති කම නිසා පරණ DELL මැෂිමකට බැස්සා. මේක කිලෝ හතරක විතර ලදරං බඩුවක්. කෝච්චියේ අරං යන්න බර වැඩියි.
අළුත් එකක් ගත්ත නං හොඳයි. ඒත් ඉතිං අපිට කෙහෙන්ද වින්චැට් කිරිල්ලියෝ?
කොහොම කොහොම හරි අතින් ලියපු කතන්දරත් මේ වෙනකොට හය හතක් තියෙනවා. නමුත් අද හිතුණා ඒ එකක්වත් නොදා වෙනමම කතන්දරයක් කියන්න ඕනෑ කියලා.
මට මතකයි මං පොඩි කාලේ ඉදළම ඩයරියක් ලිව්වා. උසස් පෙළ කළාට පස්සේ අවුරුද්ද තමයි හොඳම ලිවිල්ල ලිව්වේ. නමුත් කැම්පස් ගියාට පස්සේ ඒක ටික ටික මග හැරිලා ගියා.
තර්ඩ් ඉයර් එකේදී ලිව්වේ විවිධ හේතු නිසා කට්කරන්න වෙච්ච ලෙක්චර්ස් ගාණ විතරයි. ඒක සීය පන්නපු ගමන් දින පොත විසිකරලා දැම්මා. ෆයිනල් ඉයර් එක වෙනකොට කිසිම දින සටහනක් නොලියන ගන්ධබ්බයෙකු ගේ තත්වයකට පත්වුණා.
ආයේ ඒ දින සටහන් වැඩේ අළුගහලා පටන් ගන්න හිතුනා පස්තාච්චි කුපාඩි වැඩේ කරන්න සියම් දේශයට ගිය දවසේ. නමුත් ඒකත් එක සතියකින් කපෝති වුණා.
ඒ සේරම කිව්වේ මට ඊයේ කියවන්න ලැබුණු අළුත්ම අළුත් බ්ලොග් එකක් අඳුන්වා දෙන්නයි.
මං බ්ලොග් ලියන්න පටන්ගත්තු මුල කාලේ ඉඳලාම කීප දෙනෙක්ම මගේ බ්ලොග් එකට මුලින් කතාවක් ලියලා පස්සේ තමන්ගේ ම බ්ලොග් පටන් ගත්තා. සමහරු මගේ කතා කියෝලා කෙලින්ම ලියන්න පටන් ගත්තා කියලා කියා තිබුණා.
ඒ අයගේ බ්ලෝග්වලට අමතරව මං කියෝලා හිතවැටිලා වෙනමම පෝස්ට් දාලා හඳුන්වා දුන්නු බ්ලොග් කීපයක් තියෙනවා. එයින් එකක් තමයි චානුක ගේ සිහි සටහන්. තව එකක් චාමි ගේ රියර් ගේට්.
ඒ වගේම මුල් ලිපියෙන්ම මගේ හිත ගත්තු බ්ලොග් එකක් තමයි ප්‍රියන්ත ෆොන්සේකා ඊයේ ලියන්න පටන් අරං තියෙන සිඩ්නි සිතුවිලි.
මෙන්න සබැඳිය: http://sydneythought.blogspot.com/
ප්‍රියන්ත කියන්නේ පේරාදෙනියේ ඉගෙන ගෙන කොලඹ විශ්ව විද්‍යාලයේ රැකියාව කරන කථිකාචාර්යවරයෙක්. පොර මේ දවස්වල පස්තාච්චි කුපාඩි වැඩකට සෙට්වෙලා ඉන්නේ දුරු රටක. ඒ අත්දැකීම් තමයි පොර මේ බ්ලොග් එකේ ලියන්නේ.
මේ වෙනකොට ලිපි තුනක් ලියලා තියෙනවා. මේ මං ලියනවා වගේ කෂඩ ලැන්ග්වේජ් එකකින් නෙමේ අර කෂ්ටිය කැමති සඟරාමය භාෂාවෙන්.
වැඩේ නැගලා යයි වගේ - කමින් කලර් ගුඩ්, ගුඩ්!
හැබැයි ප්‍රියන්ත සර්ට පොඩි චැලේන්ජ් එකක් තියෙනවා. ඒක තමයි පටන් ගත්තු වැඩේ දිගටම කරගෙන යන එක.
බලමු, බලමු!
-කතන්දරකාරයා
ප/ලි:
ප්‍රියන්ත තවත් බ්ලොග් දෙකක්ම මීට කලින් පටන් අරන් තියෙනවා.
1. සිනමා කතිකා - ඒක නං ඒ දවස්වලට නතර වෙලා!
2. කවි හෙවනැල්ල
Wednesday, 16 May 2012
පොඩි කොල්ලා කාලේ කතන්දර - Some childhood memories
තවම බ්ලොග් එක නිවරදි ගියර් එකට දාන්න හිත සන්සුන් නෑ.
ඒ මදිවට හාමිනේත් රාජකාරි වැඩකට දුරු රට ගිහින්. තව දවස් දෙකතුනකිනුයි එන්නේ.
ලියපු කතන්දර පහ හයක් තිබුණත් ඒවා පල කරන්න හිතෙන්නේ නෑ. ඒ වෙනුවට මට හිතුනා කාලෙකට කලින් මං සඟරාවකට ලියපු ලිපියක් යුනිකෝඩ් කරලා දාන්න.
මේකේ භාෂා ශෛලිය වෙනස්. සොරි හොඳේ?
මියගිය මිතුරෝ
සත්ව කොට්ඨාශයක ජනගහනයේ වෙනස්කම්වලට බලපාන සාධක, කොටස් දෙකකට වර්ගීකරණය කෙරෙන බව මම දහවෙනි ශ්‍රේණියේ ජීව විද්‍යා පාඩමක දී උගත්තෙමි.
මගේ මතකයේ හැටියට මෙයින් ඝණත්ව පරායත්ත සාධක ලෙසින් හැදින්වෙන්නේ ජනගහනයේ අඩුවීම්, වැඩිවීම් ඇති කරන ස්වභාවික අනතුරු, නියඟ යනාදිය මෙන්ම සශී‍්‍රක සුබදායක පරිසරය වැනි බලපෑම් ය. ඒ සියල්ල සිදුවන්නේ ජනගහනයෙන් පරිබාහිරව වේ.
ඝණත්ව ස්වායත්ත සාධක යනුවෙන් හැඳින්වූයේ ඒ ජනගහනය තුලින්ම, එහි ඝනත්වය පාලනය කිරීම සඳහා මතුවෙන සාධක විය. එක්තරා මීයන් වර්ගයක (ජන)ගහනය වැඩි වූ විට උන් රංචු පිටින් ගොස් ගඟකට පැන දිවි හානි කර ගන්නා කතාවක් මේ හා සසඳා කියවේ. ජන පිරිස් අතර යුද කලබල ඇතිවී ජන සංහාරයන් සිදුවීම ද මේ ගොඩේම ලා වර්ග කළ හැකි බව මට එදා සිතුණි.
මේ කරුණු කෙසේ වුවද, මෙලොව උපන් අප කෙදිනක හෝ මිය යාමට නියමිතය. එහෙත් ජීවිතය ගෙවා මහලූ වයසේදී සිදුවන මරණයන් මෙන් නොව ඉන් පෙර සිදුවන අකල් මරණ වනාහී සත්‍යාවබෝධය ලත් අයෙකු වුවද කම්පා කරවන්නට හේතු විය හැකි කරුණු වේ.
ළදරු මරණ නිසා දෙමව්පියෝ කම්පා වෙති. ළමා මරණ නිසා දෙමාපියන් පමණක් නොව මිය යන දරුවන් ගේ මිතුරෝ ද කම්පනයට පත්වෙති.
මා අද සිහිපත් කරන්නට යන්නේ, කොලූ කාලේ මා ලද එවැනි දුක්බර අත්දැකීම් කිහිපයකි.
මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ හයවැන්නේ ඉගෙනුම ලබද්දී අපට වඩා ඉහළ පන්තියක සිටි ශිෂ්‍යාවක් නිවසේ ඇතිවුණු ගින්නක් නිසා මිය ගිය බවට ඉතා දුබල මතකයක් මට ඇත. එහෙත් මා මුලින්ම සැබෑ කම්පනයකට පත් කළ මරණය වූයේ හත්වැන්නේ දී සිදුවූ මා හා එකම පන්තියේ උගත් තිස්ස ගේ මරණයයි.
හයේ පන්තියේ සිටම එකට සිටියද, තිස්ස මා හා හොඳින් ම හිතවත් වූයේ, ඒ වසරේ නිවාසාන්තර කී‍්‍රඩා තරගයේ මුල් වටය පාසල් වේලාවෙන් හවස පැවැත්වූ දිනයේ මා හා පාසලේ සිට කිලෝමීටරයක් පමණ නුදුරින් පිහිටි අප නිවසට පැමිණ ආහාර ගත් දින සිටය. පාසල් විවේක කාලයේ අප නිරතවන බෝලයෙන් ගසා ගැනීමේ ක‍්‍රීඩාවේ දී අප දෙදෙනා සමහර දිනවල එකම පිළකට කී‍්‍රඩා කළෙමු.
තිස්ස ගේ මරණය පිළිබඳ ආරංචිය පාසලට පැමිණි දා, ගුරුවරුන් කීප දෙනෙකු ද සමග, ඔවුන් ගේ වියදමින්, අපේ පන්තියේ සැවොම බස් රථයකින් සෑහෙන දුරක් ගොස් ඉන් බැස, සපත්තු ගලවා කරේ රුවාගෙන, දණක් උසට තිබූ ගංවතුරේ ඇවිදගෙන ගිය හැටි අද ද මගේ මතකයේ නොමැකී පවතී.
කළු පැහැ ගැන්වුණු තිස්ස ගේ නිසල සිරුර කුඩා ප‍්‍රමාණයයේ මිනී පෙට්ටියක හොවා නිවසේ සාලයේ තබා තිබුණි. තිස්ස මිය ගොස් සිටියේ ගංවතුර බැලීමට ගොස් සිටියදී නියරකින් ලෙස්සා වැටී දියේ ගිලීමෙනි.
හිසේ පිටුපස කෙස් සුළි දෙකකට කැරකී තිබීම දියේ ගිලී මිය යාමට හේතුවන සාපයක් යැයි කියවෙන, තිස්ස නිසාම අප පන්තියේ දී අසා තිබුණු ඒ මිත්‍යා මතය, එදා අපේ පන්තියේ සියලූ දෙනාගේම සිත් සතන් තුළ යළි නොමැකෙන ලෙස පැලපදියන් වෙන්නට ඇත.
වත්මන් ෆේස් බුක් සම්ප‍්‍රදායේ මූලාරම්භය ලෙසින් සැලකිය හැකි සමරු පොත් නමවන ශ්‍රේණියේ දී පමණ අප අතරට පැමිණියේ ය. මගේ මුල් සමරු පොතේ එක් පිටුවක මෙසේ සඳහන් වෙයි.
කලකට ඉහත අප එකට ඉගෙන ගත් බව සිහිවෙන්න
විමල කියා අත්සන් තැබුවා ඔන්න
මා සමඟ කොලූ කාලේ ගතකළ මිතුරන්ගෙන් අකාලයේ අප අතහැර ගිය දෙවැන්නා විමලසේන ය. පාසල් නිවාඩු සමයක දී මියගිය ඔහු ගේ මරණය කලට වේලාවට දැනගෙන අපේ පන්තියෙන් මළගම ට සහභාගී වූයේ මා පමණකි. වයස අවුරුදු දාහතරක් වෙන්නටත් පළමුව විමලසේන එලෙස මිය ගියේ උපතින්ම ලද හදවතේ ප‍්‍රශ්ණයක් නිසා බව මගේ මතකයයි.
මල් පිරී ගිය අරලිය ගසින් පිරි අඳුරු බර සුසාන භූමියක කැපූ වළක් තුළ තැන්පත් කරනු ලැබූ විමලසේන ගේ සිරුර රැගත් මිනී පෙට්ටිය මතට චාරිත‍්‍රාණුකූලව පස් මිටක් මා දැමූයේ කඳුළු පිරි දෙනෙතින් සහ පෙර නොවූ විරූ ආකාරයකින් බරවූ හදවතකින් යුතුවය.
ඒ වන විට වැඩිහිටියන් ගේ මළගම්වලට මා සහභාගී වී තිබුණද, මේ ආකාරයේ සංවේදනාත්මක මොහොතක් මා ඉන් පෙර අත් විඳ තිබුනේ නැත.
ඉන් මාස කීපයක් ඇතුලත, මට මගේ පන්තියේ තුන්වැනි අවමගුළට ද සහභාගී වීමට සිදුවිය. නිමල් මියගොස් තිබුණේද උපතින්ම ලද ආබාධයක් නිසාය.
කුමක් හෝ කරුණක් නිසා මේ අවමගුලට ද අපේ පන්තියෙන් සහභාගී වී සිටියේ මා පමණි.
නිමල් විසූ නිවසෙන් පිටත් වූ අවමගුල් පෙරහැර හේවිසි හඬ නගමින් සැතපුම් දෙකක් පමණ දුරකින් පිහිටි සුසාන භූමියට ගමන් කළේය. මම ද සෙමින් සෙමින් ඒ පිටුපස ගමන් ගත්තෙමි. වැඩිහිටියෝ මාරුවෙන් මාරුවට මිනී පෙට්ටිය කර ගසාගෙන ගියහ. ඒ සඳහා දායකවීමට ආරාධනයක් ලබන්නට තරම් වයසක් හෝ ශක්තියක් මගෙන් ප‍්‍රදර්ශනය නොවෙන්නට ඇත.
උස් වූ බිම් කඩක පිහිටි සොහොන් බිම සිට බලන විට ඈත කුඹුරු යායක්ද, ඒ මැදින් දිවෙන දුම්රිය මාර්ගයද පෙනේ. හිරු බැස යමින් තිබුණි. සොහොන් බිමට රැස්වුණු විසි පස් දෙනෙක් පමණ වූ පිරිසක් මැද වුවද මට දැනුණේ මහා තනිකමකි.
මහ හඬින් කෑ ගසා අඬන්නට සිතුනද, මම එසේ නොකළෙමි.
පස් මිටකින් මා මිතුරා ගේ දේහය රැගත් මිනී පෙට්ටිය වසා, පෙර කී දිගු දුම්රිය මාර්ගය ඔස්සේ මා එදා නිවස කරා ගියේ වයස දාහතරක සිරුරකින් ද, ඊට වඩා මුහුකුරා ගිය මනසකින් ද යුක්තව බව අද මට සිතේ.
මරණය යනු මෙලොව ඉපදුණු අප සැමටම උරුම වූ අනිවාර්ය දෙයකි. එමෙන්ම, එය හිරු බැස යාම වැනි වූ ස්වභාවික සංසිද්ධියක් වේ. සන්ධ්‍යාවේ හිරු බැස යනවිට අපේ සිත්වලට දුකක් නොදැනෙන්නේ, හෙට උදේ යළිත් හිරු පායන බව අප සක්සුදක් සේ දන්නා නිසා නොවේද?
ඒ අනුව බලන විට, මරණයෙන් පසු කුමක් වේදැයි යන්න ගැන නිසි අවබෝධයක් ලැබුණු දිනක සිට අපට මරණය යනු තව දුරටත් දුකට හේතුවක් නොවෙනු ඇතැයි මම සිතමි.
-කතන්දරකාරයා
ප/ලි
මං සාමාන්‍යයෙන් කතන්දරවලට දාන්නේ රත්නායක මහත්තයා වගේ ආරූඪ නම්. අද නම් තියෙන්නේ ඇත්තම නම්.
(image: Google Maps)
Monday, 14 May 2012
තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද? - Remembering Sanath "Observer" Wijewardene
මීට වසර එකහමාරකට පමණ පෙර 2010 නොවැම්බර් 20 දින (හරියටම මගේ පියාගේ උපන් දිනය දා) මට නාඳුණන පුද්ගලයෙකුගෙන් ඊ-මේල් පණිවිඩයක් ලැබුණි.
මා ලියූ ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා කතන්දරයේ පසුබිම ගැන විමසමින් ඉංගිරිසියෙන් ලියවී තිබුණු ඒ ඊ-මේලය එවා තිබුනේ, තමන්ට ඊ-මේලයකින් ලැබුණු ටැබූගේ ලිපියක් ඔස්සේ හඹා ගොස් ඉන්පසුව කතන්දර බ්ලොග් අඩවියට වැරදීමකින් මෙන් පැමිණ පසුව සමස්ත සිංහල බ්ලොග් ලෝකයම සමතික්‍රමණය කළ සනත් විජේවර්ධන නමැති ලෝකයේ පුක පැත්තේ කොනේ පර්ත් නම් නගරයක වාසය කළ වයස අවුරුදු 57 ක පුද්ගලයෙකුගෙනි.
පසුව දුරකතනයෙන් එකිනෙකා අමතා ඇරඹුණු අපේ මිතුදම විවිධ බ්ලොග් සම්බන්ධ කරුණු ගැණ ඊ-මේල් මගින් කරන ලද ගනුදෙනු හරහා ඉදිරියට ඇදී ගියේය.
අද මම ඒ මිනිසා වෙනුවෙන් ඇඬූයෙමි. මගේ තාත්තා ගේ මරණය අසා නිවසට යන අතරතුර දී හැඬුවායින් පසුව මා මෙලෙස යමෙකුගේ මරණයක් ගැන ඇඬුයේ දිගු කාලයකට පසුවයි.
සනත් විජේවර්ධන හෙවත් අප කොයි කවුරුත් දන්නා පරිදි ඔබ්සෝවර් මිනිස් හිතවත්කම් කෙතරම් ප්‍රභලදැයි අපට තම මරණින් පසුවද තේරුම් කර දුන්නේ ඒ අයුරිණි.
පෙර කී පරිදි 2010 අග භාගයේදී සිංහල බ්ලොග් බලන්නට පටන්ගත් සනත් එතනින් නතර වූනේ නැත. ඔහු වහාම සිංහල අකුරු කොටන අයුරු ඉගෙනගෙන බ්ලොග් සිංහල ලෝකයේ සැරිසරමින් තම නිරීක්‍ෂණ කමෙන්ට් මගින් සනිටුහන් කරන්නට පටන් ගත්තේය. ඊලඟට ඔහු අන්තිම පේලිය සාමූහික බ්ලොගයට ලිපි ලියන්නට පටන්ගත්තා යැයි සිතමි.
එයිනුදු නොනැවතුණු සනත් පසුව තමන්ගේ ම ඔබ්සර්වර්-නීරීක්‍ෂක බ්ලොග් අඩවිය ඇරඹීය. එය රස සාගරයක් වු බව අමුතුවෙන් කිව යුතු නැත.
අපේ ඔබ්සෝවර් සිංහල බ්ලොග් ලෝකයෙන් සදහටම සමුගත් පස්වැන්නා විය යුතුයි. ඒ අයගෙන් කිහිප දෙනෙක් ගැන මා දැන සිටියෙමි.
මුලින් කුමුදු පින්තු මිය ගියේය. ඒ වෙනුවෙන් මම "ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා" කතන්දරය ලිවුවෙමි.
ඉලන්දාරියා ගේ මරණය දැන මම "මැරෙන එකත් පන යන වැඩක්" නමින් කතන්දරයක් ලියූවෙමි.
"විහඟ ගීතය" ලියූ සිඩ්නි බණ්ඩාරනායක මිය ගිය බව අප බොහෝ දෙනෙකු දැන ගත්තේ ටික දිනයකට පසුවය.
අද කිසිවෙකු නොසිතු විලස ඔබ්සෝවර් වෙනුවෙන් කතන්දරයක් ලියන්නට වාරය පැමිණ ඇත.
අපේ ජීවිතවල අනියත බව ගැන සිතා මා ලියූ "මල් නම් ජයරත්න" නම් කතන්දරයේ අපේ ගෙවත්තේ පිපී තිබුණු මල්වල ඡායාරූප පල කළෙමි.
පසු කළෙක කතන්දර හාමිනේ වත්තේ ඉදිරිපස ගසක් වටා කුඩා මල්පැල විශාල සංඛ්‍යාවක් සිටවූවාය. ඒ මල් පිපී වැනෙන හැටි පෙන්වන පහත ඡායාරූපය ගත්තේ මා ටික දිනකට ඉහදී ගත්තේ ඉදිරියේදී ලියවෙන කතන්දරයකට අවශ්‍ය වූවොත් ප්‍රයෝජනයට ගැනීමටයි.
ඉන් මාස කිහිපයකට පසුව නිවසේ ඉදිරිපසට ගිය මට දක්නට ලැබුනේ මේ දර්ශනයයි.
මල් හැර ජීවිතවල අනියත කියවෙන තවත් හොඳ උදාහරණ නැති යැයි සිතමි.
ලෝකයේ සතර අත දිනපතා මිනිසුන් මිය යති. නමුත් අපට බොහෝවිට දුක දැනෙන්නේ දන්නා කියන කෙනෙකු ගේ මරණය දැනගත් විටය. එය අකල් මරණයක් නම් දුක තවත් දැඩිය.
යමෙක් අකාලයේ මිය යාම ඥාතී හිතවතුනට දුකක්මුත්, රෝගී තත්වයකට ලක් නොවී ඒ අනිවාර්ය අවසානය ක්‍ෂණයකින් ලැබීම එක අතකට පිනක් විය හැක.
තමා බ්ලොග් කියවීමට පටන්ගැනීම ගැනත්, බ්ලොග් නීරීක්‍ෂකයෙකු ලෙස සහ බ්ලොග් රචකයෙකු බ්ලොග් ලොව කල කාරයභාරය ගැනත්, බ්ලොග් ලෝකයේදී ඇතිකරගත් මිතුරු සමාජය ගැනත් සනත් ඉතා සතුටින් සිටි බව මට ඔහුගේ දියණියගෙන් අද සවස දැනගන්නට ලැබුණි.
සනත් අවසන් ගමන ගියේ ඒ මහත් සතුටින් යුතුව බව නොඅනුමානයි.
කටහඬ පමණක් ඇසූ නොදුටු හිතවත, ඔබට නිවන් සුව ලැබේවා!
-කතන්දරකාරයා
ප/ලි:
මේ මොහොතේ මට ඔබ්සෝවර් වෙනුවෙන් කළ හැකි අවසාන උපහාරය කුමක්දැයි සිතු මට සිතුනේ ඔහු අපව හිනැස්සුවාක් මෙන් අප ද ඒ සිනහව ඉදිරියට ගෙන යා යුතු බවයි.
මගේ මේ සටහනේ මාතෘකාව "තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද?" යනුවෙන් සැකසුනේ අපේ ඔබාට උපහාර පිණිස හොඳට හිතා බලා ය.
එය මෙය කියවන සියළු දෙනාම වටහා ගනු ඇතැයි සිතමි.
(image: http://observer-nireekshaka-observer.blogspot.com)
Sunday, 13 May 2012
දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් මං ඔබ සැම වෙත කතන්දර දැනුම් සාගරයෙන් බිඳුවක් ලෙස ගෙන එන්නේ අවුරුදු නමයක කාලයක් තුල ළමුන් අනූ දෙදෙනෙකු හැදූ වයස අවුරුදු හතලිස් දෙකක අපූරු තාත්තා කෙනෙක් ගැන විස්තරයකුයි. මෙයින් ළමුන් අසූ දෙදෙනෙකු දැනට ඉපදිලා. අනිත් දහදෙනා මග එනවා.
බොරුයි කියලද හිතන්නේ?
මෙන්න මං කියවපු පත්තර කෑල්ල.
වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2130441/34-year-old-virgin-father-82-launching-free-baby-making-service.html
පොරගේ නම එඩ් හූබන්. ඕලන්දක්කාරයෙක්. මීට අවුරුදු නමයකට කලිනුයි පොර මේ නොමිලේ දරුවන් සෑදීමේ සේවාව ආරම්භ කරළා තියෙන්නේ. මේ දවස්වල එඩ් කරාරයා මාසෙකට දරුවන් නැති අම්මලා පාළහකට විතර දරුවන් ඇති අම්මලා වීමේ මාර්ගය පාදා දෙනවාලු.
පොර ගේ මේ සේවාව නීති විරෝධී එකක් නොවේ. (ඇයි බොලේ, පොතේ අත්සන් කරළා නීතියට අනුව හනිමූන් ගියොත් නේ බහු භාර්යා වරද වෙන්නේ. මෙතන කසාද බැඳීමක් ණැති නිසා නීති කැඩීමකුත් නෑ.)
එඩ් හූබන් ගේ පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර් එකත් නරක නෑ. පොර එක්ක සංසර්ගයේ යෙදෙන ලේඩීස් ලා ගෙන් 80% ම ගර්භනී වෙනවාලු!
(මං දන්නවා දැන් සමහරු කැල්කියුලේටර් ඇප් එක හොයනවා ගාණ හදන්න. මහන්සිවෙන්න එපා මෙන්න උත්තරේ. 92/0.8 = 115).
ජොලිම කතාව තමයි මෙන්න මේක.
"මං කරන මේ සේවාවෙන් වෙන්නේ මා ගැන ඇයට තියෙන ඉන්ටරෙස්ට් එක තවත් වැඩි වෙන එකයි කියලා මං යාළුවෙලා ඉන්න ගෑල්ළමයා කියනවා" කියලා එඩ් හූබන් කියනවා.
හැබැයි පොර තාම ඒ ගෑල්ළමයාව බඩදරු කරළා නං නෑ.
ඒරොප්පේ පදිංචි වෙලා හිටියට එඩ් හූබන් ලෝකේ වටේ ගිහින් නිව්සීලන්තේ වගේ දුරු රටවලත් තමන්ගේ බීජ හිටෝලා තියෙනවා. හැබැයි මේ දවස්වල පොර වැඩිපුර කරන්නේ තමන්ගේ ගෙදරට වෙලා ඉඳගෙන එහෙට ඇවිත් සේවය ලබාගන්න කාන්තාවන්ට ඇපොයින්ට්මන්ට් දෙන එකයි.
සේවායෝජයකයෝ ට්‍රැවලින් සහ බටා දෙනවානම් යලිත් සංචාරක සේවය කරන්න කැමති බව එඩ් හූබන් කියනවා.
එඩ් හූබන් මුලින් කරළා තියෙන්නේ දේශීය සායනවලට ශුක්‍රාණු දන් දීමයි. පස්සේ පොරට තේරිලා තියෙනවා ස්වාභාවිකවම දරුවන් හදාගන්න කැමති දරුවන් නැති අම්මලාගේ වෙළද පොළක් තියෙන බව.
පොරගේ හිට් රේට් එක 80%ක් විතර හොඳ වෙන්න හේතුව ප්‍රජනන පද්ධතියේ නිපදවෙන ගුක්‍රාණු ප්‍රමාණයයි (Sperm count). මිලියන් විස්සකට අඩු Sperm count එකක් කියන්නේ දරුවන් හදන්න බැරි තත්වයක්. එඩ් හූබන් ගේ Sperm count එක මිලියන් 100ක්.
"මං පුස් වෙඩි තියන්නේ නෑ!" පොර කියනවා. ජීව උණ්ඩම තමයි තුවක්කු බටෙන් එලියට එන්නේ!
මහ වෙදනා "සරුබව" කියලා ලියන්නේ මේ කේස් එක ගැනයි.
ශුක්‍රාණු බැංකුවකින් බඩු අරගෙන කෘතිම සංසේචනයක් කරගන්න සොලර් 6100 සිට 7700 දක්වා අතර ගාණක් වියදම් වෙනවාලු. හැබැයි එඩ් හූබන් ගේ සේවය නොමිලේ!
කාට හරි අවශ්‍ය නම් මෙන්න වැඩි විස්තර ගන්න පොර ගේ වෙබ් අඩවිය: http://www.spermaspender.de/
සේවායෝජකයින්ට වෙනවා තමන්ගේ නිරෝගීබවට සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බවට වෛද්‍ය සහතික ඉදිරිපත්කරන්න.
ඒ එක්කම, සේවය ලබාගන්න බලාපොරොත්තු වෙන වෙන්ඩ අම්මලාට වෙනවා තමන් ඉදිරියේදී නඩත්තු ඉල්ලන්නේ නැති බවට පොරොන්දු පත්‍රයක් අත්සන් කරන්නත්.
"ඔය පොරොන්දුපත්‍ර අත්සන් කළාට, අම්මලා පස්සේ නඩත්තු නඩු දැම්මොත් එඩ් හූබන්ට වෙන්නේ මේ ආත්මේ පුරාමත් ගෙවලා, ඊලඟ ආත්මෙත් නඩත්තු ගෙව ගෙවා ඉන්නයි!" ජර්මානු නීතිඥයෙක් කියලා තියෙනවා.
මෙන්න නැවතත් එඩ් හූබන් ගේ වෙබ් අඩවිය: http://www.spermaspender.de/
ගුඩ් ලක්.
-කතන්දරකාරයා
ප/ලි:
ඇත්තටම අම්මලා අනූ දෙදෙනා තමන්ගේ ළමයි අනූ දෙදෙනාට නඩත්තු ඉල්ලලා නඩු දැම්මොත් මේ ආඩම්බරකාර තාත්තාව බේරාගන්න අපිට මානුශික මෙහෙයුමක්වත් කරන්න වේවි!
p/p/s:
Someone just asked me whether I am publishing this article today (Sunday 13 May 2012) to celebrate the Mothers' Day!
(image: http://www.dailymail.co.uk/news/article-2130441/34-year-old-virgin-father-82-launching-free-baby-making-service.html)
Friday, 11 May 2012
එන්න, එන්න! එක්වන්න!!! අනාගත ජනනායක දේශපාලුවන් වෙනුවෙන් අපට අද කළ හැකි වැදගත් කාර්යයක් - For our future leaders!
මං ඔය උඩින් තියෙන මාතෘකාව අද කතන්දරයට දැම්මේ හොඳට හිතලා මතලා බලලායි.
මගේ අරමුණ අද මගේ රටේ ඉන්නා ජනනායක දේශපාලුවන් මා වෙනුවෙන්, අප වෙනුවෙන්, රට වෙනුවෙන් කරගෙන යන ඉතා වැදගත් කාර්යභාරය ගැන හොඳ අවබෝධයක් වැටහීමක් තියෙන සහ ඒ එක්කම අනාගතයේ ජාතියේ පිණට රටේ බිහිවෙලා අපේ මතු පරම්පරාවල නායකත්වය දෙන්න නියමිත ජන නායකයින් වෙනුවෙන් අප අද කළයුතු වැඩ කොටසට උරදෙන්න බොක්කෙන්ම කැමති පිරිසක් මේ කතන්දරේ බලන්න ගෙන්නා ගන්නයි.
එහෙම නැතුව මෙතනට අද අර වෙනදට පල කෙරෙන ජොක්කු කතන්දර, චූ කතන්දර, කක්කා කතන්දර, බැඳපු උන්ට උපදෙස්, ලව් කරන්න උපදෙස් වගේ දේවල් බලන්න ආපු අයට නං අද වෙන්නේ හිස් අතින්ම ඔය පැත්තකින් තියෙන ලින්ක් එකක් ක්ලික් කරගෙන ආපහු යන්නයි.
ඉතිං මෙතනින් ඉස්සරහට මේ කතන්දරේ කියවන්නේ ජාතිමාමක, දේශමාමක හැඟීමක් තියෙන අය විතරයි කියා මං හිතනවා.
අද ඉන්න ජනනායක දේශපාලුවෙකුට පන්දමක් ඇල්ලුවොත් ඒක මෙලොවදීම පටිසන්දෙන ආනන්තර්ය පුන්‍යකර්මයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? නමුත් මේ අනාගතයේ මේ රටේ පිණට පහලවීමට නියමිත ජනනායකයින්ට ඒ අනාගතයේ උදව් ලැබෙන විදියට අද වැඩ කරලා මොකක්ද ඇති වැඩේ නේද?
ඇත්ත. මං මේ යෝජනා කරන්න යන වැඩෙන් අපිට නම් මේ ජීවිත කාලය ඇතුලත පුද්ගලිකව ප්‍රයෝජනයක් නැති බව ඇත්ත.
ඒත්, අපිට අපේ අනාගත පරපුරට වගේම උන්ට අනාගතයේ නායකත්වය දෙන්න ඉන්න ජනනායකයින් ගැනත් වගකීමක් ඇතිබව අමතක කරන්න එපා!
අහලා තියෙනවාද මේ කවිය පන්තිය?
"මුත්තේ මොනවද ඔතන කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ"
"අඹ ඇටයක් ලැබුණා ළමයෝ මට
මෙහි ගෙන ආවා එය සිටුවන්නට"
ඒ කතාවේ ළමයා ඊලඟට සීයාගෙන් අහන්නේ ඔය හිටුවන අඹ ගහේ සීයාට ගෙඩි කන්න වෙන්නේ නෑනේ. ඉතිං ඇයි එහෙනං ඔය මහන්සි වෙන්නේ කියලයි.
සීයා දුන්නු උත්තරේ හදවත සිසිල්කරවන, සිත සනසන එකක්!
"ළමයෝ, මේ ඇටය පැලවෙලා හැදෙන ගහේ අඹ කන්න මං නොහිටියාට මොකද? අනාගතයේ ඉන්න අය කාවිනේ. අනික, අද අපි අඹ කන ගස් අපි හිටවපු ඒවායැ?"
අන්න ඒ වගේ හදවත සිසිල්කරවන, සිත සනසන යෝජනාවක් තමයි මං අද කරන්න යන්නේ.
- තමන්ගේ ගමේ හෝ සේවා ස්ථානයේ විශාල කණ්ඩායමක් විදියට එකමුතුවෙන්න.
- හැකිතරම් රත්තරන්, රිදී ආභරණ එකතුකරන්න. මුදල්ද අවශ්‍යයයි.
- ඒවා උණුකර රන් කඩු සහ රිදී කඩු හදවන්න.
- තෝරාගත් තැන්වල ඒ භාණ්ඩ නිධානයක් ලෙස වළලා දමන්න.
මොකද කියනවා නං එදා රජකාලේ සිට මේ වගේ වැලලූ නිධාන අද හාරාගෙන යන වේගය අනුව, අපේ ඉදිරි පරම්පාරාවලට සේවය කරන්නට ජාතියේ පිණට මේ රටේ පහලවීම නියමිත ජනනායකයින්ට යන එන මං නැතුව යනු ඇත.
මගේ මේ ප්‍රයත්නය එතුමන්ලා සුරුකීමට අද සිට වැඩ කිරිමටයි!
-කතන්දරකාරයා
ප/ලි:
අනාගත රජ දරුවන් ගේ සුඛිත මුදිතබාවය ගැන අද අදම සැලකිළිමත්වෙමු!
හැම ගමකම අඩු වශයෙන් එක නිධානයක් ස්ථාපනය කරමු!
(image: http://sundaytimes.lk/040201/funday/1.html)
Wednesday, 9 May 2012
ලව් ලැටර් හුටපටයක් - You are the Jury (Love letter case)
මං මේ කියාගෙන එන්නේ ආසිරි මහත්තයා ගේ සහ විශාකා නෝනා ගේ නිවසේ වැඩට ආපු සුසන්තා කෙල්ල ගේ කතන්දරයයි.
ඇත්තටම කෙල්ලගේ මුල් නම සුසන්තා නෙමෙයි ආසිරි. ඒත් ඒ නම පාවිච්චි කරන්න තියෙන පැහැදිලි ප්‍රශ්ණය නිසා කෙල්ලගේම නමේ දෙවෙනි කොටස වන සුසන්තා කියලා කියන්න පටන් අරගෙන තියෙනවා වැඩට ආපු මුල් දවසේ ඉඳලාම.
ඒ නමේ කේස් එකේ අවුලක් තියෙනවාද කියලා අදහස් දක්වපු හැම දෙනාටම ස්තුතියි.
දැන් මෙන්න ආසිරි-විශාකා යුවල ගේ නිසි අවසරයෙන් යුතුව පලකෙරෙන මේ කතාවේ දෙවෙනි කොටස.
ආසිරි-විශාකා යුවලගේ ගෙදරට අල්ලපු ගෙදර මේ කාලේ තිබිලා තියෙන්නේ බාගෙට හදලා. ඒ කියන්නේ අයිතිකාරයෝ යට තට්ටුව හදාගෙන පදිංචියට ඇවිල්ලා උඩ තට්ටුවේ වහලේ සහ කණු විතරක් එක්ක. සුසන්තා වැඩට ආපු කාලේම වගේ උඩෙ තට්ටුවේ ඉතුරු වැඩ පටන් ගත්තාලු.
ගම් පලාතකින් ආපු බාස්සුන්නැහේ කෙනෙකු සහ ගෝලයේ දෙතුන් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට තමයි මේ ගේ හදන වැඩේ බාරවෙලා තිබුණේ. මේ තුන් හතර දෙනා තාවකාලිකව පදිංචිවෙලා හිටියේ අර බාගෙට හදමින් තිබුණු උඩ තට්ටුවේමයි.
ඔහොම මාසයක් දෙකක් ගියාය කියමුකෝ.
මේ වෙනකොට විශාකා වැඩට යන්නත් පටන් අරං. බබා බලන්න පවුලේ හිතවත් ඇන්ටි කෙනෙක් උදේට එනවා. ඒ කියන්නේ ආසිරි-විශාකා යුවල උදේ වැඩට ගිහින් හවස ගෙදර එනතුරු ගෙදර ඉන්නේ ඇන්ටියි, බබයි, සුසන්තා කෙල්ලයි විතරයි.
ඔන්න එක දවසක මොකක්දෝ දෙයක් හොයන්න කුස්සිය අස්කරපු විශාකා නෝනාට හම්බවෙලා තියෙනවා ටින් එකක දාලා හංගපු ලියුං දෙක තුනක්.
කියවලා බැලින්නම් මේ අර අල්ලපු ගෙදර මේසන් වැඩට ආපු කොල්ලෙක් මේ ගෙදර ඉන්න සුසන්තා කෙල්ලට දිපු ලව් ලෙටර්!
කෙල්ලත් උත්තර ලියලා තියෙන බවයි පෙනිලා තියෙන්නේ ඒ ලියුං වලින්.
මේ ලියුම් තුන හතර විශාකාට හම්බවෙලා තියෙන්නේ එදා රාත්‍රියේ. පහුවදා උදේම විශාකා කරලා තියෙන්නේ මේකයි.
- සුසන්තාව රැගෙන ගොස් ඥාති නිවසක නැවැත්වීම. හේතුව විශාකා සහ බබා දින කිහිපයකට ගමේ යාමට නියමිත වීම. ඒ කාලයේ සුසන්තාව කොළඹ නිවසේ තියලා යන්න බෑනේ.
- වහාම පැමිණෙන ලෙස සුසන්තා ගේ තාත්තාට ටේරලිග්‍රෑම් එකක් යැවීම
- පහුවදා සුසන්තා ගේ තාත්තා පැමිණි පසු ඔහුට තත්වය විස්තර කරදී, පඩිනඩි, ගණුදෙණු බේරීම
- ඉන්පසු ඒ තාත්තාව ඥාති නිවසට රැගෙන ගොස් ඔහුට දියණිය බාර දී, ගමට යාම සඳහා පිටකොටුවේ බස් නැවතුමට ගොස් ඇරලීම
- පිරිමියෙක් සමග පෙම් සබඳතාවක් ඇතී කරගත් වරදට අවුරුදු විස්සක වැඩිහිටි තරුණියකට රැකියාව අහිමි වීම
- කිසිදු වග විභාගයක් නැතුව ඇයට සේවා ස්ථානයෙන් පිටකිරීම
- ඇගේ ලව් ලෙටර් ඇයට ලබා නොදීම
ඒක කියන්න කලින් මේ සිද්ධිය ගැන ඔහේලාට හිතෙන්නේ මක්කදැයි දැනගන්න මං කැමතියි.
-කතන්දරකාරයා
ප/ලි:
මේ සිද්ධිය වෙලා තියෙන්නේ ටැලිග්‍රෑම් එක දවසින් යන කාලේ!
(image: http://www.cloudtactix.com/quora-the-online-home-for-experts/man-with-blue-question-mark-2/)
Monday, 7 May 2012
ඔහේලා ගේ තීන්දුව කුමක්ද? (නමක වත) - You are the Jury (name change)
මෙතන ඇත්තටම ඔහේලාගෙන් තීන්දු එකක් නෙමේ දෙකක්ම අවශ්‍යයයි. එකක් අද, අනික බදදා.
මං ඉස්සෙල්ලා අද කතන්දරේ කියන්නම්. ඊට පස්සේ මේ කතාවේ කතානායක, කතානායිකා යුවල කරපු වැඩ දෙකක් ගැන පාඨක ඔබේ ප්‍රතිචාරය දෙන්න.
කතානායක මහත්තයා ගේ නම ආසිරි. නෝනා විශාකා. දෙන්නා බැඳලා ටික කාලෙකින් මේ යුවලට දරුවෙක් උපන්නා.
මාස තුන හතරක් ගෙදර ඉඳලා බබා බලා ගත්තු නෝනා ඔන්න ආපහු කන්තෝරු යන කාලය උදාවුණා.
බබාව බලාගන්න මේ ජෝඩුවගේ ඇන්ටි කෙනෙක් කැමති වුණා. ඊට අමතරව ගෙදර දොරේ උයන පිහන, අස්පස් කරන, වැඩපොළ ටික කරගන්න උදව්වෙන්න දුර ගම්පලාතකින් ගෑණු කෙනෙක්ව හොය ගත්තා බොහෙම අමාරුවෙන්.
ගෑණු කෙනෙක් කිව්වට මේ අවුරුදු විස්සක විතර තරුණියක්. ඉස්කෝලේ ඉගෙනීම අහවරකරළා, ගෙදර අම්මට උදව් වෙවී ඉඳලා අන්තිමේදී හොයා ගත්තු ජොබ් එක තමයි මේ.
මං කියෝලා තියෙන සමහර නවකතාවල, කෙටිකතාවල හෙම තිබුණා මේ විදියට ගමේ කෙල්ලෙක් නගරයේ බංගලාවක වැඩට ආපුවාම, ඒ කෙල්ලගේ ඇත්ත නම වෙනුවට මැගී, මැණිකා වගේ නමකින් කතාකරන්න පටන්ගන්නවා බංගලාවේ නෝනයි, මහත්තයයි.
මෙතනදීත් වුනේ ඒ වගේ වැඩක් තමයි.
හැබැයි පොඩි ට්විස්ට් එකක් තියෙනවා.
ඔන්න තමන් ගේ තාත්තා එක්ක කෙල්ල කොළඹ වැඩට ආවා.
"මේ ළමයගේ නම මොකක්ද?" නෝනා ඇහැව්වා.
"ආසිරි" කෙල්ල කිව්වා.
"ආ, ඇත්තද? වෙන නමක් නැද්ද?" නෝනා ඇහැව්වා.
"ආසිරි සුසන්තා කියලයි නෝනා උප්පැන්නේ තියෙන්නේ."
"හොඳයි, එහෙනං අපි මේ ළමයට ගෙදරට සුසන්තා කියලා කතා කරන්නං."
කෙල්ලගේ නං ඒ නමට වැඩි කැමැත්තක් තියෙන්න නැතුව ඇති. ඒත් නෝනයි මහත්තයයි එදා ඉඳන් කෙල්ලට කතාකරන්න පාවිච්චි කළේ සුසන්තා කියන නමයි.
උප්පැන්නේ නම තිබුණට, ආසිරි කියලා මිස, සුසන්තා කියලා ජීවිතේටම කවුරුවත් කතා කරලා නොතිබුණු නිසාද කොහෙද, කෙල්ලට කාලයක් ගියාලු සුසන්තා කියලා නම ඇහුණම ඒ තමන්ටය කියලා හිතෙන්න.
මගේ ප්‍රශ්ණය මේකයි.
එහෙම නම වෙනස් කිරීම හරිද, වැරදිද?
-කතන්දරකාරයා
ප/ලි:
කොහොම වුනත් මේ කෙල්ලගේ ජොබ් එක මාස තුන හතරකින් අවසාන කරන්න වුණා ලු. ඒ කතාව සහ ඔහෙලාගේ ඒ ගැන තීන්දුව බදදාට බලාපොරොත්තුවන්න.
(image: http://sharonscrapbook.blogspot.com.au/2009/05/professional-homemaker.html)
Sunday, 6 May 2012
ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් - Some photos sent by Taboo
ටැබූ නමෑති හිටපු බ්ලොග්කරුවා අතුරුදහන් වෙලා අවුරුද්දක් පිරීම නිමිත්තෙන් මං ලියපු කෙටි ලිපියට ලැබුනේ පුදුම ප්‍රතිචාරයක්. ඒ දවස්වල බ්ලොග් කියවපු අයට ටැබූ කවදාකවත් අමතක නොවෙන බවයි ඒකෙන් පෙනුනේ. අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියට මට හිතුනා ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් පල කරන්න. කළබල වෙන්න එපා මේ ෆොටෝවල නං කිසිම ටැබූ කමක් නෑ. අනික මේවා ටැබූ මට මේ ඊයේ පෙරේදා එවපු ඒවා නෙමේ. මීට අවුරුදු දෙකකට විතර කලින් 2010 ජූනි මාසේ එවපු ඒවා වගයක්. මං ඒ දවස්වල ලියමින් හිටිය ලව් කතන්දරවලට දාන්න කියලයි මට මේවා එව්වේ. ඔය උඩින් දාලා තියෙන්නේ එයින් එක ෆොටෝ එකක්. මෙන්න බලන්න ඉතුරු ටික. |
ප/ලි:
අළුත් කතන්දරයක් සමග සඳුදා උදේ හයට හමුවෙමු!
Friday, 4 May 2012
ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
ප්‍රීති වෙසක් එක ලැබෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අද මට හිතුණා පොඩි කවි පන්තියක් උපුටා පලකරන්න.
විතවුට් ෆර්දර් අ ඩූ සහ විතවුට් රනින් කමෙන්ට්‍රි මෙන්න ඒ කවි පන්තිය.
බසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු
ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ
උත්තමයෝ අපිය නැත කළ කිසි වරද
සත්තම දමන්නට එන්නේ කොයි කවුද
ඇත්තම වීඩියෝවල සටහන් වුවද
ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද
අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත
පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම
ගුවන් විදුලියේ හැම දිනයකම බණ
නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
මෙවන් පිනට බර දේසෙක හතර කොන
රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ
ගතේ දැවටුනද බණ පද නිරන්තර
අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර
(රචනය-රසික සූරියආරච්චි)
උපුටා ගැනීම: http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2526 වෙතින්.
- කතන්දරකාරයා
ප/ලි
අද පරණ කතන්දරවලට කිසිම ලින්ක් එකක් නැත!
(image http://www.infolanka.com/photo/vol2/Villa06.htm)
Wednesday, 2 May 2012
කසාද බැඳපු එවුන් ට තවත් උපදෙස් හෙවත් සින්ක් එකේ රැවුල් කොට - More advice for married men
කතන්දර බ්ලොගයේ පලවුණු ඒවායින් ඉහලම ප්‍රතිචාරයක් ලැබුණු පෝස්ට් දෙකක් තමයි:
1. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 0
2. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 1
ඔය පාඩම් පිළිපැදලා ජයගත්තු අයත් ඉන්නවා කියලයි පස්සේ ආරංචි වුනේ.
ඒ මොනවා වුනත් බැඳපු මිනිහා වෙච්චි, මං නං වඩාත් කැමති බැඳපු අයට උපදෙස් එක්ක මං ලියපු මෙන්න මේ ලිපිවලටයි.
1. බැඳපු අයට මල් කඩන්න උපදෙස්
2. නිරුවතින් රණ්ඩුවීම
3. සතියකට පාරක්වත් - අළුත් නීතිය
4. ගෙදර වැඩට උදව් වෙන අයට නිතිපතා කම්සැප
5. නෝනා ගේ උපන් දිනේ ගැන වැදගත් අවවාදයක්
අද මේ ලියන්න යන්නේත් ඒ හා සමානවම වැදගත් උපදෙස් කීපයක්. අදත් පසුබිම් කතන්දරේ නෑ, උපදෙස් විතරයි.
බැඳලා එක වහලක් යටට උනාට පස්සේ:
1. සරොං කලිසං ගලෝපු ගලෝපු තැන දාලා යන්න එපා
2. රෑට බාත්රූම්, ටොයිලට් ගිහින් එනකොට ලයිට් ඕෆ් කරලා එන්න
3. උදේට නැගිට්ටායින් පස්සේ පොරෝන රෙදි නවලා, කොට්ටය නිසි තැන තියලා ඇඳ හදන්න
4. බැරි වෙලාවත් තේ හදනවා නං, පරණ තේ කුඩු, තේ බෑග් උනාදිය සින්ක් එක අස්සේ දාන්න එපා. කුණු බාල්දියටම දාන්න
මේ සේරටම වැඩිය බැඳපු මිනිස්සුන්ට වැදගත් වෙන කාරණය මෙන්න මේකයි.
5. රැවුල කැපුවට පස්සේ රැවුල් කොට සින්ක් එක ඇතුලේ ඉතුරු කරන්න නං එපා රජෝ!
දිග කෙස් ගෙදර බිම තැන තැන වැටිලා තියෙනවා වාගේ නෙමෙයි රැවුල් කොටයක් දෙකක් සින්ක් එකේ තිබුණොත්.
-කතන්දරකාරයා
ප/ලි:
මේවා බොහොම අමාරුවෙන් ඉගෙනගත්තු ඒවා, ගුරු මුෂ්ටි මොකුත් නැතුවයි නොමිලේ බෙදා දෙන්නේ.
(image: http://fashiondhamaka.com/how-to-stop-razor-burn/)
Subscribe to:
Posts (Atom)