Thursday 22 December 2011

අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea


මේ අංකල් කාල් කියන්නේ කාලෝ ෆොන්සේකා සීයට ය කියල හිතන්න නම් එපා. එකක් මෙයා කාල්, කාලෝ නෙමේ. අනික මෙයා අංකල් කෙනෙක්.

අංකල් කාල් ගේ නම ඇත්තටම කාල් නෙමේ කළ්‍යාණරත්න. සමහරු ලේසියට කළ්‍යාණ කිව්වා. පස්සේ අංකල් ම කාල් කියලා නම හදාගත්තා. අර කටුබැද්දේ ප්‍රොෆෙක් හිටියේ ඇත්ත නම සමරසිංහ වගේ එකක් වුණාට සෑම් කියලා හඳුන්වන, අන්න ඒ වගේ තමයි කළ්‍යාණරත්න කාල් වුනේ.

අංකල් කාල් ගේ වැඩ නීට්. නිකං සුද්දා වගේ තමයි. අනික පොර තීරණ ගන්න බය නෑ. ඉතාමත් අවදානම් තීරණ ගන්නවා ඉතාමත්ම ක්‍ෂණිකව. වැඩේ කියන්නේ බය නැති මිනිහට යක්කුත් බයයි වගේ, අංකල්ට ලේසියෙන් වරදින්නේ නෑ.

මං කියන්න ගිය කතාවට එන්න කලින් අංකල් කාල් ගේ චරිතය අඳුණාගන්න පොඩි උදාහරණයක් කියන්නම්.

ඔන්න අංකල් එක දවසක් ගමණක් යනකොට දැකලා තියෙනවා පොඩි ඉඩං කෑල්ලක් තියෙනවා තීරුවක් වගේ. මේක දැක්ක ගමන්ම පොරට හිතිලා තියෙන්නේ ගෙයක් හදන්න නම් අපූරු තැන කියලායි.

ඒ මොහොතේම හොයලා අයිතිකාරයාව ඉඩම සල්ලිවලට ගන්න කතා කරලා. බැලින්නම් පර්චස් තිහක්. ගානත් සැරයි මේ පැත්තේ. අනික එච්චර ලොකු ඉඩමක් වැඩකුත් නෑ ගෙයක් හදන්න. හැබැයි අනික අයිතිකාරයා මුළු ඉඩම ම මිස පර්චස් දහයක කෑල්ලක් විකුණන්න කැමති වෙලා නෑ.

අංකල් කාල් ඉතිං එහෙම ලේසියෙන් අතාරින පොරක් නෙමේ. කිව්වොත් කෙරුවා. කිව්කේ-QK!

පොර කළේ කිසි බයක් නැතුව මුළු ඉඩමම ගන්න පොරොන්දු වෙලා අයිතිකාරයාට සෑහෙන ඇඩ්වාන්ස් එකකුත් දීලා ආවා. සති දෙකකින් ඉඩම ගත්තා. හැබැයි, ඒ වෙනකොට ඉඩම කෑලි තුනකට කඩලා, ඉතුරු කෑලි දෙක ගන්නත් දෙන්නෙක් සෙට් කර ගන්න අංකල් කාල් ට පුළුවන් වුණා.

අංකල් කාල් ගේ නිර්භීත වැඩ ගැන ඔය වගේ කතා ගොඩයි. ඒව පස්සට. මෙන්න දැන් තේ හදපු කතාව.

ලඟදි දවසක අංකල් කාල් ලෑ ගෙදර ඇවිත් තියෙනවා යාළුවෝ දහ දොලොස් දෙනෙක්. පොඩි රැස්වීමකට. අංකල් කාල් තමයි මේ ගමේ අන්න්‍යොධාර සංගමයේ භාණ්ඩාගාරික. ඉතිං මාසේ රැස්වීම් තියෙන්නේ අංකල් කාල් ලා ගේ ගෙදරයි.

රැස්වීම අවසානයේ ඔන්න තේ බොන වෙලාව ආවා. කට්ටිය බිස්කට් කෙසෙල් කකා ඉන්න අතරේ අංකල් කාල් තේ හදන්න පටන් ගත්තා.

කොමිටියේ කට්ටිය බහුතරයක් අංකල් කාල්ටත් වඩා නීති කාරයෝ. සමහරු තේ බොන්නේ. සමහරු කෝපි බොන්නේ. සමහරුන්ට කිරි එපා. සමහරු සීනි රහිත. සමහරු හැඳි බාගයයි. සමහරු හැන්දයි. අනෙත් අය සාමාන්‍ය ප්‍රමාණයට (ඒ කියන්නේ හැඳි දෙකයි!).

අංකල් කාල් මේ දහ දෙනා ගාවටම ගිහින් ඒ ඒ අයගේ අවශ්‍යතා අහගත්තා. නිකං නෙමේ ෆුල් ඩීටේල්ස් එක්ක.

"තේ ද, කෝපි ද?
කිරි එක්කද, කිරි නැතුවද?
සීනි කොහොමද?"

කුස්සියට ගියා. ටිකකින් ලොකු බන්දේසියක් අරං ආවා තේ කෝපි දාපු කෝප්ප පුරෝගෙන. එක එක්කෙනා ගාවට ගිහින් ආ ඔහේට මේ කෝප්පේ, ඔහේට මේ කෝප්පේ කිය කියා බෙදා ගෙන ගියා.

හැමෝම තේ, කෝපි බීලා සතුටින් විසිරී ගියා.

අංකල් ගේ වීර ක්‍රියාව දැකපු එදා එතන හිටපු අපේ සාමා නෝනා ට හරිම පුදුම හිතිලා. එයා ඕක මතක තියාගෙන ඉඳලා පස්සේ වෙලාවක අංකල් කාල් ගෙන් අහලා තියෙනවා.

මෙන්න අංකල් කාල් ගේ ක්‍රමවේදය අංකල් ගේ වචනවලින් ම.

"මෙහෙමයි සාමා. ඔතන තේ, කෝපි, කිරි එක්ක, කිරි නැතුව, සීනි නැතුව, සීනි හැඳි බාගේ, හැන්දේ, දෙකේ වගේ ඔප්ෂන්ස් එක්ක කම්බිනේෂන්ස් දාසයක් තියෙනවා. නමුත් අපේ බහුතරය බොන්නේ කිරි තේ. මට මතක තියාගන්න තියෙන්නේ කෝපි බොන දෙතුන් දෙනාවයි, කිරි නැති තේ බොන දෙතුන් දෙනාවයි විතරයි. ඕක සිම්පල් වැඩක්."

"එතකොට අංකල් සීනි හැඳි බාගේ, එකේ, දෙකේ කතා?"

"කවුද සාමා ඕවා ගැන වොරි වෙන්නේ? මං කරන්නේ හැම තේ එකකටම සීනි හැන්දක් දානවා. කෝපි වලට සාමාන්‍යයෙන් එකාමාරක් දානවා."

"එතකොට?"

"මොකුත් වෙනසක් නෑ. ඔය සීනි එක එක ගාන ඉල්ලුවාට ඔය කවුරුත් තේ එක බොනකොට ඒකේ සීනි කොච්චරක් තියෙනවාද කියලා හිතන්නේ නෑ!"

-කතන්දරකාරයා

ප/ලි:
හොඳ වෙලාවට අංකල් ගේ සමිතියේ කවුරුවත් නෑ අර අපේ සමහර මල්කාරයින් වගේ වැඩි සීනි ප්ලේන් ටී අවශ්‍ය අය!

(image: http://www.toxel.com/inspiration/2009/11/10/14-cool-tea-and-coffee-mugs/)

32 comments:

  1. අංකල් කාල්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන හැඩයි.

    ReplyDelete
  2. ටයිටල් එක දැක්කහම මං හිතුවෙ අර 'අංකල් පොජර් හැන්ග්ස් අ පික්චර්' වගේ සීන් එකක් කියලා.. අන්කල් කාල් නං වැඩ්ඩා වගේ.. :)

    ReplyDelete
  3. මාත් හිතන්නෙ කාල් අන්කල්ගෙ නිගමනේ හරි, හුඟක් අය තේ එකක රස බලන්න දන්නෙ නෑ.

    යාලුවෙක් ලඟදි දවසක් අපේ ගෙදර ඇවිත් කය්යක් ගහගෙන හිටිය. පොර මතට ටිකක් බර පුද්ගලයෙක්. ඔබීත් නැති නිසා මේ දවස් වල වැඩි පරෙස්සමට, [තිබ්බ ඒව ඉවර වුනාට පස්සෙ,] ඔබී එනකන් ගෙදර ඩ්‍රයි තියාගෙන ඉන්නෙ මං තුමා.
    ඒ කියන්නෙ 'ගෙදර බඩු නැත'

    පොරට තේ එකක් දෙන්න ගිහින් මාත් අර අනවශ්‍ය ප්‍රශ්න ඇහුව, කිරි දාලද, සීනි කොච්චරද, අනං මනං. මෑන්ස් කිව්ව වැඩි සීනි, කිරි තේ එකක්, කියල.

    මොකද වෙන්නෙ බලන්නත් එක්ක ලොකු කෝප්පෙකට තේ එකක් හදල දුන්න, සීනි හැඳි පහක් දාල.

    පොර කතා කර,කර, තේ එක බීල යන්න නැගිටින ගමන් කිව්ව, 'කාලෙකින් නියම තේ එකක් බිව්වෙ' කියල.

    පොර උපහාසෙට කිව්වද, ඇත්තට කිව්වද, මං තාම කල්පනා කරනවා.

    ReplyDelete
  4. කාල් අංකල් මාර මීටරේනේ..ඔය විදිහට තේ හදන ක්‍රමේ මාත් අත්හදා බලලා තියනවා..100%ක් සාර්ථකයි..කට්ටිය වැඩි වුනාම මතක තියාගන්න එක තමා අමාරු අප්පා...

    ReplyDelete
  5. හරි සෝක් කතාව..

    ReplyDelete
  6. ඇත්ත, ලංකාවේ කට්ටිය තේ හදන්නේ පැණි බීමක් වගේ. නමුත් නියම තේකක රසෙ එන්නේ ටික ටික සීනි නැතුව කිරි එක්ක හරි කෝපි එක්ක හරි තනිකරම තේ විතරක් හරි බිව්වම. නැත්නම් නිකම්ම නිකන් පැණි බීමක් විතරයි. තේකෙන් ලැබෙන උත්තේජනය ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
  7. කාල් අංකල්ගෙ ක්‍රමේ සෑහෙන්න වටිනවා අපිට. හැබැයි කතන්දර අයියා ඔබසවර් අංකල්ලගෙ දිහා නම් යන්න එපා. එහෙන් තේ බිව්වොත් කූඹි කාලයි මැරෙන්නෙ..

    ReplyDelete
  8. නියම අංකල් කෙනෙක් නෙ.මැනේජ්මන්ට් වලට උපන් දෙයියෙක් වගෙයි.

    ReplyDelete
  9. ලංකාවේ හැමදේම අච්චාරූ නේ. ඒ නිසා මේ කළාවත් අච්චාරුවක්. අපේ අය තේ බොන්නෙත් නෑ. කිරි බොන්නෙත් නෑ. බොන්නේ තේ හෝ කෝපී එක්ක කිරි හෝ කුඩු කල කිරි සමග සීනී හකුරු හෝ සැකරීන්. නමුත් ඒකත් හරියට හදන්න දන්නෙ කී දෙනාද. රසට දෙන්නේ කී තැනකද.

    "රත්ති තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ.."

    ReplyDelete
  10. ඔය සීන්එක ගියා අපිනොදන්න ලයිව් එකේ.

    ReplyDelete
  11. සෑම් ද මෑන් ගැන නං කතා ගොඩයි. විශේශයෙන්ම පිට රට ඉඳලා ආපු අලුත කියුං කෙරුං ගැන. වඩාත්ම ලස්සන කතාව වන්නේ කොස් ගෙඩිය ගැන කියපු එකයි. හැබෑවටම අපේ රටේ ඈයොංගෙත් හැටි.

    ReplyDelete
  12. ඕං නියම "පොරවල්"

    ReplyDelete
  13. අපි නොදන්න Live!

    ReplyDelete
  14. @රාජ්
    ඔවු මටත් මතකයි. අනිතිමට තේ බීපු කට්ටිය 'කාලෙකින් නියම තේ එකක් බිව්වේ. ආයිත් තේ බොනවා නම් මෙතෙන්ට එන්න ඕනේ' කියල යනවා. හිකිස්

    කකා අර කාල් අන්කල් ඉඩම 3 ට බෙදපු හැටිත් කියන්නකෝ

    ReplyDelete
  15. "අර කටුබැද්දේ ප්‍රොෆෙක් හිටියේ ඇත්ත නම සමරසිංහ වගේ එකක් වුණාට සෑම් කියලා හඳුන්වන"

    ඇයි "D.E.W ගුණසේකර" උත්තමය "ඩිව් ගුණසේකර" වෙලා තීන්නෙ!

    ReplyDelete
  16. මේ කතාව මම මීට කලිනුත් කොහෙන් හරි අහලා තියෙනවා. යාලුවෝ තුන් හතර දෙනෙක් හෝටලේකට ගිහින් එක එක විදිහට තේ ඉල්ලුවාම සේවක කොලුවා ඔය මැනේජ්මන්ට් සිස්ටම් එකටම තේ දුන්නා කියලා.

    ඒ වගේම දැන් ටිකකට කලින් මම කියවපු දොස්තර නලිනිගේ පෝස්ට් එකකට මාරයාත් දාලා තිබුනා එයා හාමුදුරු කාලේ එක එක අයගේ ටේස්ට්වලට තේ හඳපු හැටි :))

    ReplyDelete
  17. @ All
    විශේෂ නිවේදනයයි.
    මේ කතාව මට කියූ සාමා නෝනාවත්, අංකල් කාල්වත් ඔය කියන ටීවී ෂෝ එක නං දැකලා නැති බව මට විශ්වාසයි.

    එකම අදහස කීප දෙනෙකුට එන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  18. කකා, ඔබතුමාගේ නොම්බරේ 4318 ද?

    ReplyDelete
  19. මම නම් ඉතින් කහට තේ පමණයි.. නෝ මිල්ක් නෝ ෂුගර්. ඒ හින්දා හදන කෙනාටත් ලේසියි...බොන මටත් ලේසියි...

    ReplyDelete
  20. (Trafic Ano)
    නම කෙටි කිරීම ගැන මටත් මෙහෙම උදාහරණයක් තියෙනවා.
    අපේ එකෙක් ඉන්නව ඉන්ද්‍රරත්න කියල. පොරගෙ පෙනුම අනුව කාඩ් එකක් වැදුන සම්සුදීන් කියල. මෑන්ගෙ නම කියවන්නත් ටිකක් අමාරු නිසා කවුරුත් කිව්වෙ කාඩ් එක. පස්සෙ පස්සෙ සම්සුදීන් කියන එක සෑම් වුනා.
    අලුතින් එන මිනිස්සු කල්පනා කරනව ඉන්ද්‍රරත්න වගේ නමක් සෑම් වුනේ කොහොමද කියල.

    අන්කල් කාල් කරපු වැඩ දෙකම (තේ හැදීම හා ඉඩම ගැනීම) නියමයි.

    මං අර අපි නොදන්න ලයිව් සීන් එක යූ ටියුබ් එකේ බැලුවා. ඒකයි මේකයි සමානම නෑ. ඔය අඩු වැඩි කතා සාපේක්ෂයිනෙ.
    අපේ වැඩපොලේ තියනව අයිස් වතුර හදන තැනක්. සිංහලෙන් කියන්නෙ චිල් වෝටර් ප්ලාන්ට් එක කියල. ඉතින් මට ඉස්සෙල්ල මෙතන වැඩ කරන්න සෙට් වුනු මගෙ බැචෙක් ආපු මුල් දවස් වල එක එක මැෂින්, ප්ලාන්ට් ළඟට ගිහින් පොඩි එවෙයානස් එකක් ගනිද්දි සුපර්වයිසර් උන්නැහෙ කෙනෙක් අහල තියෙනව අයිස් වතුර ටැංකියෙ උෂ්ණත්වය කීයක් ඇත්ද කියල. අපේ බැචා අත දාල බලල කිව්වලු CENTIGRADE අංශක හතරක් පහක් වගේ ඇති කියල. ඊට පස්සේ අර සුපර්වයිසර් උන්නැහැත් අත දැම්මලු ටැංකියට. ටිකක් වෙලා බලා ඉඳල කිව්වලු, “මං හිතන්නෙ මේක තුන හමාරක්” වගේ ඇති කියල.
    සීනි කන එකත් ඔහොම තමයි.

    ReplyDelete
  21. ට්‍රැෆික් ඇනෝ,
    අංශක තුනහමාරක් ?? අංශක හතරට වඩා අඩු උනාම වතුර නිකම් sludge එක වගේ වෙන්න ගන්නවා නේද ??

    ReplyDelete
  22. අන්කල් මාරයිනේ..

    ReplyDelete
  23. hehe sha mare uncle kenek ne :D nice story

    ReplyDelete
  24. (Trafic Ano)
    @$මරුමූස් $
    නැහැ, බොහෝ වෙලාවට ඔය චිල්ඩ් වෝටර් තියෙන්නෙ අංශක 2කට විතර (අපේ ප්ලාන්ට් එක ඒ දවස්වල දුර්වලයි)

    ReplyDelete
  25. මාත් සෑහෙන්න මහන්සි වෙනවා සීනි නොදා තේ බොන්න..එත් උගුරෙන් පහලට යන්නේ නෑ නේ..

    ReplyDelete
  26. පොඩ්ඩිත් ගොඩාක් කට්ටිය ආවාම තේ, කෝපි හදන්නේ ඔහොම තමයි. අන්කල් පොඩ්ඩිගෙන් ඉගෙනගත්තද, පොඩ්ඩි අන්කල්ගෙන් ඉගෙනගත්තද දන්නේ නෑ...:D

    ReplyDelete
  27. ටී මේකිං ස්ට්‍රැටජි එක කියා දුන්නාට අංකල් කාල්ට සහ කතන්දර කාරයාට තැන්කූ!

    ReplyDelete
  28. අද නම් ලින්ක් අඩුයි වගේ

    ReplyDelete
  29. @ Kannangara
    තොතේරේ.

    මේ කියන්නේ මොන නොම්බරේ ගැනද?

    ReplyDelete
  30. @මරුමුස්:
    චිල් වෝටර් ස්ලජ් එකක් වෙන්න -2විතර වෙන්න ඔනෙ . . .සෙල්සියස් 2දි ස්ලජ් එකක් එන්නෙ නෑ

    ReplyDelete
  31. So the moral of the story is "same cup of tea would satisfy the masses but only a few would analyze and understand the underline content"

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.