Wednesday 27 April 2011

කටුබැද්දේ කැම්පස් කුකුල්ලු දෙන්නා ගේ කතාව ඉදිරියට - Two Cocks of Katubedda Campus (contd/-)





මතකනේ මං සඳුදා පටන් ගත්තු කටුබැද්දේ කුකුල්ලු දෙන්නා ගේ කයි-කතන්දරේ මෙතෙක් කොටස? මෙතනින් බලන්න ඒ මුල් කවි ටිකයි, රනින් කමෙන්ට්‍රියයි!

http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

රනින් කමෙන්ට්‍රිය දාන්නේ කවි තේරෙන්නේ නැති හුදී ජන පාඨකයින් ගේ හිත සුව පිණිසයි.

අද එදා නැවැත්වූ තැන සිට.

5. ඉතිං, රත්නෙයි, සමරෙයි කියන කටුබැද්ද කැම්පස් එකේ යාළුවෝ දෙන්නා එදා විභාග ප්‍රථිපල ආපු දවසේ පොඩ්ඩක් අනුමත වෙලා, මේ ආපහු ගෙදර යන වෙලාව.

මෙන්න යාළුවො දෙන්නා බෝඩිම බලා යන මාර්ග විස්තරයෙන් කොටසක්.

ටැක්නිකලය යාබද හන්දයෙ පිහිටී
ජෙම්රෝසය හෝටලයකි හුරු බුහුටී
පැලහූ කුකුල් මස් තෙල් හොඳ හැටි දැවටී
ෂෝ කේසයේ ඇත මිල නම් බලු නොවටී


6. දැකල තියෙනව නේද රෝස්ට් චිකන් වීදුරු කබඩ්වල දාල තියෙන හැටි? ඕවගේ ගාන කොහොම වුනත් අපි සමහරුන්ට දැක්ක ගමන් කෙල ගිලෙනවා.

මස් කන එකෙකුට අරක්කු බිව්වට පස්සේ, රෝස්ට් චිකන් කනව තරං දෙයක් තියෙනවයැ?

ඔන්න සමරේ හෝටලේ තිබුණු චිකන් මතක් වෙලා මෙන්න මෙහෙම කියපි.

"කෑ බී දේ ගියා වමනය සමග හැපී
මට බඩගිණියි බඩවැල් එයි උඩට පිපී
හන්දියේ හෝටලය වෙත ගොස් කමුද අපී"
සමරේ, මිතුරු රතනෙට ඇරයුම් කරපී


7. ඉබ්බ දියේ දානවාය කිව්වම, ඇන්නෑවේ කිව්වලු. මෙන්න රතනගේ පිලිතුර.

"ඒ අදහස හොඳයි සමරේ මචෝ මගේ"
රතනේ එකඟ වුවා එක පයින් වගේ
"කුකුලන් ජෝඩුවක් බැදලා හරිම අගේ
එල්ලා තිබේ ඉන් ලොකු එක හොඳයි වගේ"


මේ කයි-කතන්දරේ මුල් කොටස කියෝලා කාට හරි වැරදි වැටහීමක් ඇති වුණා නං, මං කුකුල්ලු දෙන්නාය කියලා කිව්වේ රතනේටයි, සමරේටයි කියල, සොරි වෙන්න ඕනැ, හොඳේ! මේ කතාව ඇත්තටම කටුබැද්ද හන්දියේ හෝටලයේ හිටියාය කියන රෝස්ට් කරපු කුකුල්ලු දෙන්නෙක් ගැනයි.

8. රතනේ දැක්කා කුකුල්ලු දෙන්නෙක් ම රෝස්ට් කරලා තියෙනවා හෝටලයේ. මිනිහා යෝජනා කරන්නේ ඒ දෙකෙන් ලොකු රෝස්ට් කුකුලාව අරගනිමු කියලයි.

මේ කතාව සමරේට පොඩ්ඩක් අවුල්. දැන් මෙන්න සමරේ ගේ පිළිතුර.

"එක දෙක වෙලා පේනව වගෙ උඹට!" කියා
රතනෙගෙ බහට සමරේ හට හිනා ගියා
"කුකුළන් ජෝඩුවක් නැත එහි බැදලා තියා
එක කුකුළාය රත්නායක මහත්තයා"


රත්නායක කුකුල්ලු දෙන්නෙක් ගැන කියනව. හැබැයි, සමරේට පේන්න නං ඉන්නේ එක කුකුලයි!

සාමාන්‍යයෙන් නං, මේකට හේතුව ඉතිං බීල හොඳට වැදුනහම, එක දෙක වෙලා පේන එකයි. රතනේ ට පොඩ්ඩක් වැඩි නිසා එක කුකුළා දෙන්නෙක් වෙලා පේනවද?

නමුත් ඉතිං, ඇයි මේ සාමාන්‍ය සිද්ධීන් කතන්දර බ්ලොග් එකේ දාන්නේ නේද? මෙතන කතන්දරේ අනිවා ඩෙෆා අමුතු එකක්!

හැබැයි, ඒ ඉතුරු කෑල්ල බලන්න වෙන්නේ නං ඉතිං සිකුරාදා ට තමයි ඕං! දැන් ළමයි මට බනින්න එපා කතන්දරේ කුට්ටි කරල දානවයි කියල. මෙගා ටෙලි බලන අපිට, කයි කතන්දරයක් කොටස් තුනකින් බලන එකත් වැඩක් ද, නේද?

-කතන්දරකාරයා

ප/ලි:
සිකුරාදා ට පුළුටු හොඳ නැති අය හෙම මේ පැත්තේ නං එන්න ම එපෝ!
http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-secret-revealed.html

(image: http://www.skyscrapercity.com/showthread.php?t=571695&page=4)

18 comments:

  1. අයියෝ........... බලාපොරොත්තු කඩ විය.......සිකුරාදා වෙනකම් ඉන්නට සිදු විය.........

    ReplyDelete
  2. ඔන්න අදත් මගින් ආතල් කෑඩුවා අයියා.....අව්ලක් නෑ මටනම් හිතෙන විදියට මුන් දෙනනා හොද බාල්දියක් දාගෙන වගේ...

    ReplyDelete
  3. හරි හරි අපි බලාගෙන ඉන්නංකො සිකුරාදා වෙනකන්, දෙන්නත් එක්ක රෝස්ටඩ් චිකන් කාපු හැටි බලන්න. කියෝනකොටත් චුට්ටක් විතර කටට කෙල ඉනුව.

    ReplyDelete
  4. තව දවස් 2 ක් බලන් ඉන්න වෙනවද ? ............

    ReplyDelete
  5. අනේ අනේ මාමේ ඉක්මනට ...

    ReplyDelete
  6. මම නම් දනිමි සිදු වූ දේ කුකුළන්ට
    මට හරි දුකයි මේ අය ගැන ඇත්තෙන්ම
    කුකුළන් සමඟ දෙන්නට වලි ඇර ගන්න
    ඉඩ දී බලා ඉමු අපි සිනහා වෙන්න

    නියමයි... මම හිතන්නේ කණ්නාඩියකින් වත් පෙනුන ද දන්නෙ නැහැ කුකුළා ගෙ ප්‍රතිරූපය....

    ReplyDelete
  7. ප්‍රතිරූපය නෙමෙයි ප්‍රතිබිම්බය හිහි ........

    ReplyDelete
  8. මෙගා බලන්නේ නෑ මගේ බඩ දඟලයි
    මෙගා කතන්දර දැන් දැන් කසුත් ලියයි
    මොනව උනත් කවි කොල ටික රත්තරන් වටියි
    කුට්ටි නොකර එකකට දැම්මොතින් හොඳයි

    ReplyDelete
  9. එහෙනම් ඉතින් ඉතුරු ටික සිකුරාදාවත් බලමුකො. මොනව උනත් කවි ටිකනම් පංකාදුයි.... :)

    ReplyDelete
  10. අපිටත් එක දෙක කරලා පෙන්වන්න්න..
    දැම්මා නේද පින්තූරත් දෙක බැගින...
    සිකුරාදාට නැතිද හොඳ පුළුටු කන්න..
    එනවා කෙසේ හෝ ඉතිරිය කියවන්න...

    ReplyDelete
  11. රෝස්ට් කුකුලෙක් කන්න දෙනවනං සිකුරාද නෙමෙයි මාසයක් බලං ඉන්න බැරිය. හොඳවැයින් ලොකු එකෙක් රුපිලය් හත් අට සීයක් වෙනවනෙව දැං.

    ඊටත් වැඩිද මංද...

    ReplyDelete
  12. කුට්ටි නං කතන්දර, කතන්දර නං කුට්ටි!

    ReplyDelete
  13. ඔන්න කතන්දර අයියත් මෙගා කෙලියකට අතගහලා .. අපිත් බලං ඉන්නේ කවුද මේ කුකුල්ලු කියලා . බලමු කවුද කුකුලා කියලා . දැනටමත් මේ කතාවටනම් මම එක හිතින් ලයික්. කවි ටික නිකම් ගින්දර වගේ .

    ReplyDelete
  14. මෙගා ටෙලි එක දිගට යනවනෙ අයියා..

    කොහොමහරි සිකුරාදාට කතාව දාමු...

    ReplyDelete
  15. Comment එකක් නොදැම්මත් හැමදාම මේ පැත්තේ එනවා. සරසවි කුරු‍ටු ගී නෙවෙයි නේද මේ?
    මැණික්

    ReplyDelete
  16. මාළු තිබෙද්දි හොඳහැටි කටුබැද්දේ
    පිළිසු කුකුළෝ කන්නට ඇයි මේ සද්දේ
    ගමේ උන්ට ලොකු නැතිළුනේ ගම ඇති දේ
    දැන් කාපන් මෙහි හැමගෙන් හූ සද්දේ

    ReplyDelete
  17. කතන්දරට මිස් වුනේ "අනේ ඉතින් සමරේ ළමයයි රත්නේ ළමයයි යනවා කටුබැද්ද දිහාට. දෙන්නටම හරිම බඩගිනියි. මොකද වුනේ කියලා දැන ගන්නනම් ඊළඟ පොස්ට් එක බලන්න".

    ReplyDelete
  18. පිලිතුරු එව් සැමට ස්තුතියි.
    අවසාන කොටස අද (අප්‍රියෙල් 29 සිකුරාදා) උදේ හයට පලවෙනු ඇත.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.