Thursday 21 October 2010

පූරුවේ පවක්...!!!


ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද? කියල කතන්දරයක් වගේ එකක් ලියන වෙලේ මට පොඩ්ඩක් විතර බණ දහම් මතක් වුණා.

දැන් ඔය පව්, පිං දෙක එහෙම නැත්තං කර්ම තියෙනව නේද? පාලියෙන් කම්ම කියන්නෙයි, අපේ භාෂාවෙන් කරුමේ කියන්නෙයි ඒකට තමයි. හැබැයි කරුමේ කියන කොට නං එන්නේ පව් කියන අර්ථය විතරයි.

හරියට ගඳ කියනකොට දුගඳ විතරක් මතක්වෙනවා වාගේ.

මොනව වුනත් ඔය කර්ම ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදල විශ්ලේෂණය කරල තියෙනව බුදු දහමේ.

1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
2. උප පජ්ඣ වේදනීය කර්ම
3. අපරාපරිය වේදනීය කර්ම
4. අහෝසි කර්ම

ඉස්සර කාලෙ ඉඳලම පැවත ගෙන එන පෙරදිග ඥාණය අනුව අපි කරන හැම ක්‍රියාවකටම (කර්මයකටම) ප්‍රතික්‍රියාවක් තියෙනව. අර නිව්ටන් කාරය එව්රි ඇක්ෂන් හෑස් එ රියැක්ෂන් කියල භෞතික ලෝකය ගැන කිව්වෙත් ඔය කතාවම තමයි.

භෞතික ලෝකයෙන් පිටස්තර කාරණාවලදි මේ ප්‍රතික්‍රියාවලිය හැඳින්වෙන්නේ පටිසන් දීම කියලයි.

ඉස්සෙල්ල කියපු කර්ම වර්ගීකරණයට පදනම වෙලා තියෙන්නේ කර්මය පටිසන් දෙන විදියයි.

දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මේ ආත්මයේ දී ම පටිසන් දෙන කර්මවලටයි. අවිගත්තෝ අවියෙන් නැසෙති කියල කියන්නේත් මේ මත පදනම් වෙච්ච ප්‍රස්ථා පිරුලක් මට හිතෙන විදියට.

අද මේ හොඳට ඉඳල එක පාරටම වාෂ්ප වෙලා ලෝකෙන් තුරන් වෙලා යන අය, පුටුවෙන් පැදුරට හරි රජගෙදරින් සිරගෙදරට යන අයට එහෙම වෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම හින්දයි කියලයි බණ පොතේ සඳහන් වෙන්නේ.

දිට්ඨ ධම්ම වේදනීය පුණ්‍ය කර්ම පලදීමත් ඔය වගේම තමයි. අද හිරේ හිටියට හෙට සුවිශේෂී ක්‍ෂමාවක් ලැබිල හිරෙන් නිදහස් වෙන්න පුළුවන්. අද කැලේ වන සතුන් වගේ දුක් වින්දට හෙට රාජ මන්දිරවල සැප විඳින්න පුළුවන්.

උප පජ්ඣ වේදනීය කම්ම කියන්නේ මේ ආත්මේ කිසිම අවුලක් නොවී ඊලඟ ආත්මේ ඉඳල පටිසන් දෙන කර්මවලටයි. හරියට අපේ ආණ්ඩුව තියෙන කාලේ අපි කරන හොර වැඩ රාජ බලලෙං යට ගහං හිටියට, ආණ්ඩුව වෙනස් වෙලා, අද විපස්සේ හෙට බලේට ආපුවාම අපිට හිරේ විලංගුවෙ වැටෙන්න වෙනව වගේ කේස්වලටයි.

මරණින් පස්සේ චෙනත් ආත්මයක් නෑ කියල හිතන අය මේ ගැන අවුලක් ඇතිකරගන්න ඕනැ නෑ.

අපරාපරිය වේදනීය කර්ම කියල කියන්නේ මතු ඉපදෙන ආත්මයක්, ආත්මයක් පාසාම පටිසන් දෙන විදියේ කර්මවලටයි.

මතකනේ, කර්ම කියන්නේ පව් පිං දෙකටමයි. අර සීවලී හාමුදුරුවෝ පෙර ආත්මෙක බඩගින්නේ හිටි බල්ලෙකුට බත් කටක් දීලා, ඊලඟට ඉපදුණු හැම ආත්මෙම පිඟාන පිරෙන්න කෑම ලැබුණාය කියන්නේ මෙන්න මේ වගේ කර්ම හින්දායි.

ආණ්ඩු වෙනස් වෙන විදියට පාට වෙනස් කරගන්න අපේ අයත් මේ වර්ගයේ පිං කාරයෝ.

ඒ වගේම, කොච්චර මැතිවරණ ආවත් හැමදාමත් විපස්සේ ඉන්න වීමත්, එක්තරා ආකාරයක අපරාපරිය වේදනීය කර්මයක් තමයි!

අහෝසි කම්ම කියන්නේ කර්මය සිද්ධ වුනාට ඒකෙන් ප්‍රථිපලයක් නොලැබෙන කොටයි.

ඕනෑම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් හරි උප පජ්ඣ වේදනීය කර්මයක් හරි, ඉතාම ලේසියෙන් අහෝසි කර්මයක් කරගන්න පුළුවන් - පොඩි ඇනටොමිකල් අවශ්‍යතා දෙක තුනක් සපුරන්න ඇහැකි නං.

හොඳින් නම්‍යශීලි කශේරුකාවකුයි, ඇනලිටිකල් ග්ලෝබ් එක මියුට් කරපු මස්තිශ්කයකුයි, දෑත් ශක්තිමත් කරන්න තරමේ මසල් පවර් එකකුයි විතරයි අවශ්‍ය වෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි
තවත් ඇනටොමිකල් අවශ්‍යතා තියෙනවද මන්දා? දන්නෝ දනිති!

13 comments:

  1. මෙන්නෝ කතන්දරකාරයත් දේශපාලන සත්වයෙක් වෙලෝ !!!

    ReplyDelete
  2. තව ඇනොටොමිකල් ඒව තියනවා නේද? :p
    මට මතක් වුනේ කවුද දන්නවද? අනුර බණ්ඩාරනායකව. :D

    ReplyDelete
  3. "සීවලී හාමුදුරුවෝ පෙර ආත්මෙක බඩගින්නේ හිටි බල්ලෙකුට බත් කටක් දීලා, ඊලඟට ඉපදුණු හැම ආත්මෙම පිඟාන පිරෙන්න කෑම ලැබුණාය කියන්නේ මෙන්න මේ වගේ කර්ම හින්දායි. "

    මම නම් අහලා තියෙන්නේ මීට වඩා වෙනස් කතාවක්.

    පදුමුත්තර බුදු හාමුදුරුවන්ගේ කාලේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය භික්ෂූන් වහන්සේ කෙනෙක්ට ලබාදෙනවා ඒ කාලේ දැකලා තමන්ටත් එහෙම ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය මතු ජාතියක පැතීමක් කරලා තියෙනවා,

    ඒ වගේම විපස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරපු දානයකට ඒ දවස්වල හොයාගන්න අමාරු වුණු කිරි, මී පැණි නොමිලේම ලබාදීලා තමන්ම ඒවා බුදුරදුන්ට පූජා කරලා තියෙනවා.

    මෙන්න මේ කරුණු නිසා තමා සීවලී හාමුදුරුවන් ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය හිමිවුණා වගේම කෙතරම් දුෂ්කර, කටුක ප්‍රදේශවල වුණත් දානය හිමිවුණා කීයන්නේ...........

    ReplyDelete
  4. ෂාහ්.. නියම කතන්දරයක්...

    එතකොට කතන්දර.. අපි කියන සමහර බොරු එහෙම පවු වලට (මුසාවාදා වලට) ගැනේනෙ නැතිව ඇති... මොකද ස්ථානෝචිතප්‍රඥාව කියන එකට නම් ඒ බොරු අයිති වෙන්නේ ඒක වරදක් පවක් නෙමෙයි ලු...

    ReplyDelete
  5. සාදු සාදු .....

    කතන්දර බණ..

    ReplyDelete
  6. අනේ සාදු! පුලු පුලුවන් විදිහට කුණු ටික අහක් කරමු බැරි බැරි ගාතේ.....
    කශු තාත්තට කොහොමද දැන්?

    ReplyDelete
  7. කතන්දර කියන එක දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් අනුව //අද ‍හිරේ හිටියට සුවිශේෂි ක්ෂමාවක් ලැබිලා නිදහස් වෙන්නත් පුළුවන්// හැබැයි වෙනත් කරපු දිට්ඨ ධර්ම වේදනීය කර්මයක් නිසා ආයෙත් තවත් වැඩිය කාලයට හිරේ ලගින්නත් පුළුවන්. ඒ වගේම ඔය අස්සේ කවුරුත් නොහිතන කෙනෙකුට කර්මය පළිසන් දෙන එක හින්දම අපරාපරිය වේදනීය කර්මයක් බලපානවා //කොච්චර මැතිවරණ ආවත් හැමදාම විපස්සෙම ඉන්න වෙනවා//.

    ReplyDelete
  8. කරුමක්කාරයෝ නං මන්දා.
    කරුමක්කාරියන්ට නං ඔයිට වඩා සිම්පල් ක්‍රම තියෙනවා.

    ReplyDelete
  9. අහෝසි කම්ම කියන්නේ කර්මය සිද්ධ වුනාට ඒකෙන් ප්‍රථිපලයක් නොලැබෙන කොටයි.

    ඔන්න ඔය ඡෙදයෙන් පස්සෙ තමයි කතාවේ ඉස්පිරිට් එක තියෙන්නෙ. අද නං එක පා​රින්ම ගොඩ ගියා...

    අදත් -[||||||||||||||||||||]- නැත්තං

    කව්රු හරි පොලිටික්කෙක් වෙන්න හිතනවං දැම්ම තියා මේ පෝස්ට් එක පරිශීලනය කරන්න කියලා මම යෝජනා කරනවා.

    ReplyDelete
  10. මේ දවස් වල පිටරට වල තානාපති කර්යාල වල පත්වීම් ලැබෙන අය දිහා බැලුවම කර්ම කීපයක් පේනවා.
    *ඒ රට වල ඉන්න ලාන්කිකයන්ගේ
    *ඒ තනතුරු වලට සුදුසුකම් තිබිලා යන්න නොලැබුනු රජයේ සේවකයන්ගේ
    *ඒ පත්වීම් ලැබු පින්වතුන්ගේ
    *අපේ
    can somebody explain these karma?

    ReplyDelete
  11. ඇයි දෙය්යයේ රබර් වගේ නැවෙන දිවක්...තියනවනම්.
    කියවිලා තියනවද මන්දා..

    ReplyDelete
  12. @All
    මේ කතන්දරය කියවු, අදහස් දැක්වූ පිනෙන් සියළු දෙනාටම ශනිදා වාසනාවක්වත් ඇදේවා යයි පතමි.

    මාත් මේ කතන්දර ලියන පිනෙං පෙරේදා මිලියන් 15 ක් ඇදේදැයි බලං හිටියා. පිං මදි වගේ!

    ReplyDelete
  13. කතන්දර, ප්‍රාර්ථනා කරන්න කියක්වත් වියදම් නොවෙන එකේ ග්‍රීන් කාඩ් එකක්වත් ලැබේවායි පැතුවනං කොහොමද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.