
කතන්දරකාරයා බඳින්න කලින් ඇනෙක්ස් හොයන්න ගිය හැටි විස්තර, බැන්දට පස්සෙන් දා ගැන ඇඩල්ට්ස් ඔන්ලි දේවල් සහ පදිංචි වුණු ඇනෙක්ස් එකේ ඇන්ටි ගේ රිමෝට් කොන්ට්‍රොල් එක ගැන හෙම විවිධ කතන්දර මං කලින් කියලා තියෙනවානේ.
මේ සිද්ධිය වුනේ කතන්දර හාමිනේ යි මංතුමා යි ඔය කියන ඇනෙක්සි යේ වාසය කරන කාලේයි.
කතන්දරකුමාර කාලේ ඉඳලාම මං වැඩපොලට කෑම අරං ගියේ නෑ. බොසී ගේ පොට් එකේ හිටපු කාලේ නං උදේටත් නොකා තමයි වැඩට යන්නේ. මොකද එතන කැන්ටිමෙන් හොද රහට කිරි මාළු සහ පාන් කන්න පුළුවනි.
පස්සේ අර කැරුක්ටර් සර්ටිෆිකේට් එකේ කේස් සෙට් වෙලා මං සේවය අරඹපු තැන උදේ කෑම මඤ්ඤං නිසා පාන් කෑල්ලක් කාලා ගියා ගෙදරින්.
දවල් ට එක්කෝ ඉස්සරහ කඩෙන් බත් පාර්සලයක් අරං කෑවා, නැත්තං සීනියර් කොමන් රූම් එකේ විජයසේන ගෙන් බිත්තර පාන් එකකුයි, රෝල්ස් එකකුයි ගිලලා ටී එකක් බිව්වා.
බැන්දයින් පස්සේ කියල වෙනසක් නැතුව ඔය වැඩ පිළිවෙල ගෙන ගියා!
ඔන්න දවසක් මං දවල් වෙලාවක පල්ලෙහා කඩෙන් බත් පැකට් එකක් අරං කන්ද නගිනවා. මගේ ඉස්සරහටම හම්බ වුනේ තරමක් අඳුණන පොරවල් දෙකක්.
මුං දෙන්නගෙන් එකෙක් මටත් කලින් පවුල් පන්සල් වුණු එකෙක්. අනිකා නං එතකොටත් කොල්ලා.
මගේ අතේ තිබුණු කඩෙන් ගත්තු ලන්ච් පැකට් එක දැකලා බැඳපු එකාගේ ඇස් උඩ ගියා.
"ඇයි යකෝ, උඹ මේ ලඟදී බැන්ද නේද? මොකද මේ කඩෙන් කෑම අරගෙන කන්නේ?"
පොර හරියට කතා කලේ මං ගණිකා නිවාසයකින් එලියට බහින කොට ඌට හම්බ වුණා වගේ!
-කතන්දරකාරයා
ප/ලි:
මුගේ වයිෆ් ට, කතන්දර හාමිනේ එයාගේ වැඩපොල ඉස්සරහා කඩෙන් බත් පැකට් එකක් ගන්න වෙලාවක හම්බ වුනොත් මොනවා නං නො කියයි ද?
බැඳපු කාලේ එහෙම කළාට, හැබැයි දැන් නං මං කඩෙන් කනවා හරිම අඩුයි. ගෙදරින් මාළු සැන්ඩ්විච් එකක් හදාගෙන යනවා මිසක්.
ප/ප/ලි:
අද කතන්දරේ පේලි අතරේ තව පොඩි කතන්දරයක් තිබේ!
ප/ප/ප/ලි (ඇත්තටම)
ඒ පේලි අස්සේ කතාව, එනම් මං ඒ දවස්වල වැඩ කරපු තැන, අරවින්ද චන්ද්‍රපද්ම ට අහුවී තිබේ.
(image: http://mayuonline.com/)