Friday 20 December 2013

ෂිහ් විතරක්! - අවුරුදු දාසයක කොල්ලෙකු ගේ ප්‍රේමාලාපයක් - Hot sixteen?


දැලි රැවුල එන, ෂරට් මැදලා අඳින, කොණ්ඩේ පීරණ කාලේ දී සහමර කොල්ලන්ට කවි ලියන්නත් හිතෙන බව මං කලින් දවසක කිව්වා.

මේ කවි අති බහුතරයම ඉතිං ලියවෙන්නේ කෙල්ලෝ ගැන තමයි.

මෙන්න ඒ වගේ කවියක්.

මේක ලියපු කුකවියා ගේ එදා වයස අවුරුදු දාසයයි, මාසයයි ලු.

එපා!

තණපත් අග හිමිදිරියේ
තුෂාරයක් වෙන්න එපා
සුදු මල් ඇති රෝස ගසක
විස කටුවක් වෙන්න එපා

අහසෙ ඈත කොණකට වුණු
තනි තරුවක් වෙන්න එපා
අනුෂාවෙනි කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා

අනන්තයට විහිදී ඇති
මහ සයුරක් වෙන්න එපා
මඩින් පිරුණු විලක පිපිණු
නෙළුම් මලක් වෙන්න එපා

බෙල්ලෙකු ගේ කටු අතරේ
මුතු කැටයක් වෙන්න එපා
ආදරයේ වටිනාකම
මුදලින් විමසන්න එපා

යොවුන් සිතක නැවුම් හැඟුම්
නොතකන සේ ඉන්න එපා
ඔබ වෙත යොමුවෙන දෙනෙතට
රත් යවුලක් වෙන්න එපා

ඔබ වෙනුවෙන් ගැයෙනා ගී
වලකන්නට හදනු එපා
අනුෂාවෙනි කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා


මේ කුකවියා මේ එපා කවිය ලියන්නට දින දෙක තුනකට කලින් ලියපු ඔහුගේ මුල්ම පෙම් කවිය ගැන කතන්දරය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

-කතන්දරකාරයා

ප/ලි:
මේ කයි-කතන්දරය කියවා "පත්තර මල්ලී"ට මතක් වුණු සින්දුව මෙන්න.




(image: http://www.celebuzz.com/2012-09-13/justin-bieber-gets-mobbed-by-screaming-crying-fans-in-london-photos/)

84 comments:

  1. >>අනුෂාවෙනි කිසි කෙනෙකුගෙ
    හිතට දුකක් දෙන්න එපා <<
    මෙන්න මේ ටික නම වෙනස්ව යාලුවා ලියල දීපු කවිවල තිබුන වගේ මතකයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර ශත විසි පහයි, ෆෝ ඒසස් ගාස්තුව ගෙවලා ලියවා ගත්තු කවි නේද?

      ඒ නං මේ කවිය ලිපයු කුකවියා වෙන්න බෑ. මොකද පොර ඒ දවස්වල කැමති මැටහෝන්වලට.

      Delete
    2. මමත් ඒ කාලෙ කවි ලිව්වා. හැබැයි ඒවා ෆෝ ඒසස්, ත්‍රී රෝසස් වලට විකුණනවා තියා ඒවත් එක්ක දුන්නත් එකෙක් වත් කියෙව්වෙ නෑ. ඒ නිසා මමත් කවි ලිවීම අත් ඇරල සිංහල සාහිත්‍යයට ඒ කාලෙම මහා සේවයක් කොලා.

      Delete
    3. හැක්...හැක්...එහෙමද..?
      මැටහොර්න් එක ටික කලක් උරවද්දී එකේ කූල් ගතියට කැස්ස නිතරම ඇතිවෙන්න ගත්ත නිසා නැවිකට් එකෙට මාරු වුනා කකා.

      Delete
    4. හැමදාම එක එක අත්තට මාරුවෙලා අන්තිමේට ජපානෙට මාරු උනාලු.

      Delete
    5. එන්න එන්න
      වාඩිවෙන්න
      හොදනැනෙවැ තරහවෙන්න.
      ඇයි හැමදම අමනාපෙන්

      පොල් ගාලාද ඔනේ
      දර පාලලා ද ඕනේ
      ........................

      අනේ වදින්නම් ඔයාට
      ........................

      අංකල් කෙනජි සත 25 යි ෆෝ එසස් ගෙවලා ලියා ගත්තු කවියක්.

      Delete
    6. කෙන්ජි මාමේ

      හිත අස්සට හීන ගොඩක් - ගෙනල්ල දුන්න !!

      අම්මේ පැණි හිනාව :-):-)

      Delete
    7. ඇත්තට පත්තර මල්ල මෙතෙන්ට ඒ ගීතය තෝරපු එකෙන් මම උඹව තේරුම් ගත්ත.
      බොලා කොහොමද හැමෝම කියන මගේ පැණි හිනාව දැක්කේ :) :) ?

      කාව බොට කොහෙන්ද බොල මම ලියාව ගත්ත කවි ලැබුනේ? මේක මහා මංකොල්ලයක්...

      Delete
    8. නෑ නෑ මංකොල්ලයක් නෙමේ. ඒ ආන්ටිගේ දුව තමයි මට ඔක දුන්නේ. ආන්ටි කීවලු මේ තියෙන්නේ මට ඉස්සර එක බූවෙක් දුන්න කවියක් කියලා. බලන්නකෝ කවිය දීලා තියෙන්නේ නියම පොරකටනේ.

      Delete
    9. කා වා උඹ තමා දවසකටවත් කොල්ලා... :)

      Delete
  2. මෙන්න කකා තව සිංදු පැටියෙක් !!

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න..
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම..
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට..
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න..

    ලස්සනේ බෑ !

    ReplyDelete
    Replies
    1. හොඳ ලස්සන සින්දුව. ඔන්න මං ප/ලි යේ ලින්ක් කළා. තෑන්කියු.

      Delete
    2. වෙල්කම් කකා !!
      තව ටිකක් ටෙම්පො අඩුවෙන් කිව්වනං මීට වඩා තනුවට සාධාරණයක් වෙයි කියල මට හිතෙනවා !!
      බස් එකට දුවනවා වගේනෙ !!

      Delete
    3. බලන් ගියාම පත්තර මල්ල පට්ට බුවෙක් නේ හෙහ්..

      Delete
    4. අප්පා කකා, ලොකු ළමයිගේ කතා කීවා විතරයි පත්තර මල්ලියාත් ලෝගෝ එක මාරු කරලා.

      Delete
    5. කෙන්ජි මාමේ

      මං හැමදාම කිරිත් එක්ක සමහන් බොනවනේ :-):-)

      කා වා
      පත්තර මල්ලි ලොකු ලම‍යෙක් උනා ඔන්න ඈ !!!

      Delete
    6. මේක මාත් ආසම සින්දුවක් ඔයා වගේම මාත් බ්ලොග් ලියන මාමා කෙනෙක්ට මුලින්ම මේල් එකකින් මේක යැවුවා

      Delete
    7. මට නම් වෙන්ට බැහැ.මම තාම අයිය කෙනෙක් :)
      මේක දැකල මම ඊයේ නංග කෙනෙකුට යැව්වා..

      Delete
    8. @ අපූර්වි මිස්
      හෑ !!!!
      මමත් හ‍රි ආස සින්දුවක්.
      මාම කෙනෙක් ?? :-):-):-):

      @ කෙන්ජි මාමෙ
      සොරි සො‍රි කෙන්ජි අයියේ :-)
      සිංදු නං සින්දු ඈ !!

      වරක් ඕල්‍රයිට් නම් සංගීත කන්ඩායමේ තුශාර කියන සාමාජිකයා ඔය ගීතය ගායනා කලා සංගිත භාන්ඩ නිහඬ කර බොහෝම අඩු ටෙම්පො එකක !!
      ඔය ලස්සන තනුව ඔයිටත් වඩා හැඟීම්බර කරා කිව්වොත් හරි.ඒක ඔරිජිනල් එකටත් වඩා ලස්සනට ඔහු ගායනා කරා !! ( ඔවුන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම කෙසේ වෙතත් )

      Delete
  3. "බෙල්ලෙකු ගේ කටු අතරේ
    මුතු කැටයක් වෙන්න එපා
    ආදරයේ වටිනාකම
    මුදලින් විමසන්න එපා" නියමයි :)

    ReplyDelete
    Replies
    1. ෂක්. කොමන්ටුව ඊට වැඩිය රසයි. නියමයි.

      Delete
    2. @ සසිදු

      ඔය කවි දෙපදයේ අදහස නිතර කියවෙන එකක්.

      Delete
    3. ඇයි මේක කකා !!

      පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී

      අකුරට ආ දා මගෙ හිත බැඳුනී

      ( බස් අජිත් )

      Delete
  4. පාසල් ලාංචනය යොදා ගැනීමට පූර්ණ විරෝධය...

    ReplyDelete
    Replies
    1. අහසෙ ඈත කොණකට වුණු
      තනි තරුවක් වෙන්න එපා
      තුෂාණියෙනි කිසි කෙනෙකුගෙ
      හිතට දුකක් දෙන්න එපා

      Delete
    2. සමාවෙන්න සිත රිදුනා නම්. ඉවත් කළා.

      Delete
    3. ඇයි ඉවත් කළේ? ඒ පින්තූරයෙන් කවියට පසුබිමක් හැදෙනවා නේද?

      තුශානි “පූර්ණ විරෝධය“ දක්වන්න හේතුව මොකක්ද? :D

      Delete
    4. ස්තූතියි... අමනාපයක් නෑ.. ඒත් පාසල් ලාංචන යොදා ගන්න එක එච්චර යෝග්‍ය නෑ කියලයි මගේ අදහස. මොකද අපි හැම කෙනෙක්ම ඉගෙන ගත්ත ඉස්කෝලෙට ආදරෙයිනේ ...

      @ කා වා - අවවාදයත් හිස් මුදුනින් පිළිගත්තා හොඳේ..

      Delete
    5. ඔන්න ඒ දාසයයි, මාසයයි කාලේ මගේ ජීවිතය සිහි ගන්වන ෆොටෝ එකක් දැම්මා!

      Delete
    6. වෙනත් බ්ලොග් එකකත් [අතීත ගමන් මග] මං මේ හා සමාන විරෝධතාවයක් මේ දැන් කළා.

      වැඩි විස්තර මෙතනින් කියවන්න.
      http://atheethagamanmaga.blogspot.com/2013/12/blog-post_19.html?showComment=1387520321988#c3239236687803793251

      !!!

      Delete
    7. ඔන්න පොස්ට් එකත් කියෙව්ව . . .පෝටො එකත් ඉවත් කොලාඅ

      Delete
    8. @ ගමන් මගේ මඟියා

      මගේ මාකටින් පාර win-win තත්වයක් උදාකරයි යැයි සිතමි.

      Delete
    9. ඉස්කෝලෙ යන කාලෙ අපි බහුතරයකට පෙම් සබඳතා තිබුනනේ , ඒක මහලොකු වැරැද්දකුත් නෙවෙයි.. කොලු පැංචෙක් කෙලි පැංචියෙකුට ලියන හසුන්පතක් අල්ලගෙන හ‍රියට අත්බෝම්බයක් අහුඋනා වගෙ දෙමව්පියො ගෙන්නල තොවිලයක් නටන ගුරුවරු ඉන්න රටක් නොවැ !! අනේ වාසනාවන් !!!

      ( කකා පොඩ්ඩක් අ‍ර විස්ස විජ්ජාල මාතාව නමදිමු කියන ලින්ක් එක දාන්නකො )

      Delete
    10. අර උඩ රූපේ ඉන්න කොල්ලා මම උනානම්!

      Delete
    11. අතීතය :
      කිහිප දිනකට පෙර කකා ලියු ලිපියකට විශ්වවිද්‍යාල රාශියක ලාංචන උඩු යටිකුරු කොට පින්තුරයක් දමන ලදී. එක විශ්වවිද්‍යාලයක ට පහර ගැසීමට යොදා ගත එම ලිපියේ තිබු අනිකුත් විශ්වවිද්‍යාල ද ඒ ගොඩටම දා සැලකීම කකා විසින් කරන ලදී. උදාහරණයක් ලෙස අනිකුත් විශ්වවිද්‍යාල සඳහා ගීතයක් නොතිබීමට ඉඩ තිබුණු නමුත් කකා ඒ ගැන සැලකීම දක්වා නොතිබුණි.

      ලොගොවකට ( හා එය හරහා බැඳුනු ආයතනවලට ) එලෙස අගෞරව කිරීමට එරෙහි ව අදහස් ප්‍රකාශ කල කිහිප දෙනාට (මාද ඇතුළුව ) කකා දැඩි ස්ථාවරයක බුද්ධාගමත් සම්බන්ධ කරගෙන වැදි බන වලින් උදාහරණ ගෙන පිළිතුරු සපයා තිබිණ.

      "ඔබේ ප්‍රශ්නයට උදාහරඛයකින් උත්තර දෙනවා නම්, බුද්ධ ධරමයට ගරු කළ යුත්තේ බණ පොතකට මල් පුජා කරමින්, හඳුන්කූරු පත්තු කරමින් නොවේ. ධර්මානුකූලව ජීවත් වීමෙනි."
      කකා - November 7, 2013 at 6:03 AM

      කිසිවෙකුගේ විරෝධ කිසිසේත්ම පිළිනොගත් කකා එම ෆොටෝ එක අයින් කිරීම සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ලදී.



      වර්තමානය :
      මේ මනුෂ්‍යයා මෙවර කාන්තාවක් "පාසල් ලාංචනය යොදා ගැනීමට පූර්ණ විරෝධය..." යයි ප්‍රකාශ කල විගසින් , කිසිදු පැකිලීමකින් තොරව කණගාටුවද ප්‍රකාශ කර එම ලාංචනය ඉවත්කරගැනීමට තරම් ප්‍රතිපත්ති විරහිත නීච නිහින භාවයක් ප්‍රදර්ශනය කිරීම කෙතරම් විශ්මය ජනකද. පොරෝ පාරකට මෙතරම් බලයක් තිබේද ? එම ලෝගෝව ගැසුවේ ගණිකා නිවාසයක දොරේ නොවේ නේද ? එය ලිපියකට සම්බන්ධ කර දැමීමෙන් කාටවත් වෙන හානිය කුමක්ද ?

      හිත් රිදුනාද ? එත් කකා අන් අයගේ සිත් රිදීම් සම්බන්ධයෙන් දැඩි මතදාරී අනුකම්පා විරහිත ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වනවා නේද ? උදාහරණයක් ලෙස ගිනිතබාගෙන මියගිය ස්වාමින්වහන්සේ ට අතිශයින් අගෞරව වන ආකාරයේ කල නීච ප්‍රකාශ සම්බන්ධයෙන් අන් අයට වූ සිත් රිදීම් සම්බන්ධයෙන් කකා කෙස් පැලෙන මුග්ධ තර්ක ගෙනවිත් තම ක්‍රියාව සාධාරණිකරණය කළා මිස සමාව ගැනීමක් නම් සිදු නොවින.

      ජංගි ඉදිරිපිට තම ප්‍රතිපත්ති උනා දමා ලජ්ජා විරහිතව නිරුවත්ව දෙකට නැවි තොන්දොල් වෙන , අන් අවස්ථා වලදී වැදි බන දෙසන ප්‍රතිපත්ති විරහිත කකා ට හොඳ හූවක් දෙන්න පින්වතුනි.

      Delete
    12. මහසෝන් පිල්ලිය

      ඔබට ඔබේ ම මතයක් දැරීමට ඇති අයිතිය සහ මගේ මතයට විරුද්ධව කතා කිරීමට ඇති අයිතිය පිළිගනිමි.

      මෙතනදී ඔබ නගන්නට අසාර්ථකව උත්සාහ කර ඇති තර්කයේ ඇති මහා අඩුපාඩුව ඔබට නොතේරි ඇත්තේ ඔබ මට පරිභව කිරීමේ අදමිටු චේතනාවකින් මෙය ලියූ නිසා යැයි ඔට සාඳාරණ සැකයක් ඇති වෙනවා.

      මා එදා ඒ ලෝගෝ සංයුක්තය උඩු යටිකුරු කර දැමූයේ අද විශ්ව විද්‍යාල උඩු යටිකුරු වී ඇත්ද යන ප්‍රශ්නය චිත්‍රයක් මගින් විදහා පාන්නයි. අපගහාසයක් නිසා නොවෙයි. ඒ ආකාරයේ යොදා ගැනීමකින් අපහාසයක් වෙන්නේ නැති බවයි මගේ අදහස.

      අද මා මුලින් මේ කත්නදතරයට පාසලක ලෝගෝවක් යොදා ගත්තා. එයට යමෙක් විරෝධය පෑ නිසා මා එය අයින් කළා.

      මේ අවස්ථා දෙකේ ඇති, ඔබේ මට අපහාස කිරීමේ දුෂ්ඨ චේතනාවක් තිබුණේ නම් එනිසා, ඔබට මග හැරී ඇති වෙනස නම්, එදා පින්තූරයේ තිබූ එක් එක් ලෝගෝව අයිති සියළු විශ්ව විද්‍යාලවල මා කෙලින්ම සම්බන්ධ ඒවා බවයි.

      මා ඒ ඒ හැම තැනකම එක්කෝ ඉගෙන ගෙන, නැති නම් උගන්වා හෝ ඒ දෙආකාරයෙන්ම සම්බන්ධ වී තියෙනවා.

      ඊයේ මා මේ කයි-කතන්දරයට දැමූ ලෝගෝව අයිති පාසලට මගේ කිසිම සම්බන්ධයක් නෑ. එහි මා ඉගෙන හෝ උගන්වා නෑ. එය බාලිකා පාසලක්. ඒ හේතුව නිසායි මා තුෂානි ගේ විරෝඳය පිළිගෙන එය අයින් කර මගේ අවුරුදු 16 කාලය සිහි ගන්වන ජස්ටින් බීබර් ගේ ඡායාරූපයක් මෙහි යෙදුවේ. ;-)

      මා අවුරුදු දාසයේ දී ගියේ මිශ්‍ර පාසලකට නම්, මගේ කවිය ලියවුණු ගෑල්ළමයාත් ගියේ ඒ පාසලට නම්, මා මේ කයි කතන්දරයට ඒ ලෝගෝව යොදා ගත්තා නම් මහසෝන් පිල්ලිය නොව රිටිගල ජයසේන කීවත් මා එය වෙනස් කරන්නේ නෑ.

      Delete
    13. "පරිභව කිරීමේ අදමිටු චේතනාවකින් මෙය ලියූ නිසා යැයි ඔට සාඳාරණ සැකයක් ඇති වෙනවා."
      පරිභව වෙන්නේ ඒක පිළිගත්තොත් නේ. කකා අපහාස පිළිගන්නේ නැහැ නේ. සමා වෙන්න ඕනේ එහෙම අදහසක් ආව නම්. :)

      oky let me get this thing clear ...
      What you are saying is ...
      ඔබ යම් අයුරකින් සම්බන්ධ වූ ආයතනයක් සම්බන්ධයෙන් ඔබ කරන සාධාරණ හෝ අසාධාරණ (මෙය සාපේක්ෂ බව නොකිවමනාය ) විවේචනයක දී හෝ ආයතනික සංකේත භාවිතයකදී , ඔබ කිසිවෙකුගේ සාධාරණ විරෝධය පෑම් පිළිගන්නේ නැති බව සහ එයින් අන් අයට සිදුවන සිත් රිදීම් දෙස අනුකම්පා විරහිත තාර්කික කෝණයකින් බලා සමාව ගැනීමක් (හෝ ප්‍රකාශිත දෙය ඉවත් කර ගැනීමක් ) සිදු නොකරන අතර ...

      උදා : "මා අවුරුදු දාසයේ දී ගියේ මිශ්‍ර පාසලකට නම්, මගේ කවිය ලියවුණු ගෑල්ළමයාත් ගියේ ඒ පාසලට නම්, මා මේ කයි කතන්දරයට ඒ ලෝගෝව යොදා ගත්තා නම් මහසෝන් පිල්ලිය නොව රිටිගල ජයසේන කීවත් මා එය වෙනස් කරන්නේ නෑ."

      ඔබ ගේ සම්බන්ධයක් නොමැති ආයතනයක් සම්බන්ධයෙන් , ඔබගේ ක්‍රියාවක්/ලියවිල්ලක් සම්බන්ධයෙන් මතුවන විරෝධය පෑමකදී , ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කර එම ක්‍රියාව නිවැරදි කිරීමට ක්‍රියා කිරීමට පියවර ගනියි.

      ඒකද ?

      (ප්‍රතිචාරය "නැහැ" නම් ඔබ ඉහත ලියු දෙය බොරු වේ. "ඔවු" නම් එය nullify කිරීමට අවශ්‍ය උදාහරණ කන්ටේනර් පිටින් සපයාගැනීමට ඔබගේ පරණ පොස්ටු වලින් හැකිය )

      "මා එදා ඒ ලෝගෝ සංයුක්තය උඩු යටිකුරු කර දැමූයේ අද විශ්ව විද්‍යාල උඩු යටිකුරු වී ඇත්ද යන ප්‍රශ්නය චිත්‍රයක් මගින් විදහා පාන්නයි. අපගහාසයක් නිසා නොවෙයි. ඒ ආකාරයේ යොදා ගැනීමකින් අපහාසයක් වෙන්නේ නැති බවයි මගේ අදහස."
      කෝ මගේ කලින් ප්‍රශ්නෙට උත්තර නැහැ නේ ... ලිස්සල ගියා නේද කට්ටය ...

      දැන් මේ පාසල් ලෝගෝ එක යොදා ගැනීමෙන් කාටවත් වෙන අපහාසය , කරදරය , මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම etc ... කුමක්ද ? ඔබ නොහිනිය හැකි වාර ගණනකදී පෙනී සිටි නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට චිත්තයක් නිසා ඔබ විසින්ම ස්වයං වාරණයක් දමා ගැනීම කෙතරම් උචිතද ?

      Delete
    14. පරිභව කිරීමේ චේතනාවෙන් ලිව්වා දෝ හෝ යි සිතුනේ මෙන්න මේ වැකි නිසායි.

      1. ...වැදි බන වලින් උදාහරණ ගෙන .....

      2. ......ප්‍රතිපත්ති විරහිත නීච නිහින භාවයක් ...........

      3. ......පොරෝ පාරකට මෙතරම් බලයක් තිබේද ..........

      4. ......ජංගි ඉදිරිපිට තම ප්‍රතිපත්ති උනා දමා ලජ්ජා විරහිතව නිරුවත්ව දෙකට නැවි තොන්දොල් වෙන...

      5. .......ප්‍රතිපත්ති විරහිත කකා ට හොඳ හූවක් දෙන්න පින්වතුනි.

      අපහාස නොකලේ යැයි ඔබ කියයි නම් මා එය පිළිගන්නම්.

      ඉහස සමහර වැකිවලින් ඔබ තුෂානිට අහපාස කර ඇතිදැයි මට සිතේ.

      Delete
    15. දැන් අද අසා ඇති ප්‍රශ්නයට පිළිතුර.

      මා ලෝගෝව ඉවත් කර සමාව ගත්තේ මා කළ දේ නිවරදි නොවන බව මට වැටහුණු නිසයි. අතීතයේ යම් දිනක ඔබ හො ්අන් අය ඉල්ූ විට මා එලෙස නොකළා නම්, ඒ ඔබ ගේ හෝ අන් අයගේ වදන් නිසා මගේ අදහස වෙනස් නොවුණු නිසායි.

      Delete
    16. /* අවශ්‍ය උදාහරණ කන්ටේනර් පිටින් සපයාගැනීමට ඔබගේ පරණ පොස්ටු වලින් හැකිය */

      අනේ දාන්නකෝ මෙයා, මටත් හරි ආසයි ඒවා දැනගන්න.

      ඒ සමගම, මෙළෙස ඔබට කන්ටේනර් පුරා උදාහරණ හොයන්නට හැකිවූවොත් එසේ වන්නේ මා මේවන විට කතන්දර 950 පමණ ලියා පලකර ඇති නිසා බව ද සිහිපත් කරමි.

      Delete
    17. /* කෝ මගේ කලින් ප්‍රශ්නෙට උත්තර නැහැ නේ ... ලිස්සල ගියා නේද.... */

      මගෙන් ඔබ ඇසූ මා උත්තර නොදුන් ප්‍රශ්නය කුමක්දැයි කරුණාකර පවසන්න. ඔබේ මුල් ප්‍රතිචාරයේ ප්‍රශ්නාර්ථ ලකුණු කිපයක් තිබුණද, ඒවා මගේ කෙලින්ම ඇසූ, පිළිතුරක් බලාපොරොත්තුවෙන ඒවා යැයි අවංකවම මට නොසිතුණි.

      Delete
    18. "ඉහස සමහර වැකිවලින් ඔබ තුෂානිට අහපාස කර ඇතිදැයි මට සිතේ."
      කකා අද ගොඩාක් සෙන්සිටිව් වෙලා... ;)

      "මෙළෙස ඔබට කන්ටේනර් පුරා උදාහරණ හොයන්නට හැකිවූවොත් එසේ වන්නේ මා මේවන විට කතන්දර 950 පමණ ලියා පලකර ඇති නිසා බව ද සිහිපත් කරමි"

      කවුද දෙයියනේ නෑ කිව්වේ.!!! ඔබ මේ කරන බ්ලොග් මෙහෙවරට තෑන්ක් යු කකා... :*

      "මගෙන් ඔබ ඇසූ මා උත්තර නොදුන් ප්‍රශ්නය කුමක්දැයි කරුණාකර පවසන්න."

      මගේ ප්‍රශ්න වලට උත්තර සැපයීමට ඔබ බැඳී නැත. මා දමන හැම කොමෙන්ටුවකටම (අන් පිට කසා ගන්නා බ්ලොග් වල කරන්නක් මෙන් ) ඔබගෙන් පිළිතුරක් අපේක්ෂා කිරීමද නොකරමි. නමුත් මතයට ඉඩදීම අගයමි. ඔබ අවංකව ප්‍රශ්නයක් නොදැක්කා නම් එය යන්නට හරින්න. ඔබගේ වචනය ප්‍රමාණවත්ය .

      ඇති, ඇති අදට මේ ඇති. සති අන්තයේ ඉතිරි කොටස මේ විකාර නවතා පවුලේ අය සමග විනෝදයෙන් ගත කිරීමට යොදවන්න...

      Delete
    19. අන්න අන්න, කකා අනාගත්තු තැනක්.
      දැන් අපි විස්ස විජ්ජාල මාතාව නමදිමු පෝස්ටුවට හැරෙමු. එකේ ගීතය තියෙන්නේ පේරා ගැනනම්, අනෙක් සියලුම විස්ව විජ්ජාල යටිකුරු කළේ ඇයි?
      නමුත්, අදාලා නැති විශ්ව විජ්ජාල වල ලෝගෝ උඩු යටිකුරු කළ කකා මේ පෝස්ටුවට දාපු පාසැල් ලෝගෝ එක ඉවත් කිරීමට තරම් කාරුණික වූයේ මන්ද? මම එදාත් කීවා වාගේ,
      අප ශ්‍රී ලංකා මාතා.... කියන ජාති ගීතය අනුව, මෙන්න ලංකාවට වදිනවා කියා.
      රාජ්‍ය ලාන්ජනය උඩු යටිකුරු කලෝත්, ජාතික කොඩිය උඩු යටිකුරු කොලොත් කොහොමද.
      හැක් හැක්. ඉස්සරම කකාට ප්‍රහාරය හම්බවෙන්නේ ඥානසාර ටීම් එකෙන්. ඊලඟට හෙල කරුමය, ලෙමන් පෆ් විමල්, එදත් අදත් හෙටත් මහරජ ටීම් එක සැට් වෙයි. එත් මේ කොමන්ට් කොටන අපිනම් වැරැදි නිවැරැදි කොරන්න ෆුල් ටුයි එකක් දෙනවා. මොකද අපි මානුෂීයයි. මේකයි කකා. අපිට පොදු දෙයක් කාට හෝ අභිමත පරිදි හුවා දක්වනවානම්, භාවිතා කරනවානම් ඇත්තටම මානුෂීය වෙන්න ඕන.

      Delete
  5. කකා අපිට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ දැනටමත් ලංකාවේ ඉදිරි පරම්පරා ගානකට හිතන්න දේවල් ඇති වෙන්න කියල ඉවරයි.................

    ඇත්තටම කකා මම තීරණය කරා තවත් මේවා කියල වැඩක් නැහැ වෙන දෙයක් කරන්න ඕනෑ කියල..........

    2014 මම කතන්දර ලියන එකෙන් ඈත් වෙනවා information overload කරලා වැඩක් නැහැ........ මේ කකා කියන එක ලිපියකුත් ඇති වෙනස් වෙනවා නම්.........
    ඒක නිසා මම කතන්දර වලින් අංශක 180 කැරකිලා මිනිස් මනස සහ අධ්‍යාත්මික පැත්ත දිහා බලන්නයි යන්නේ. . මිනිස්සු කකා කියන මේවායේ ප්‍රයෝජනේ ගන්න අවුරුදු කීයක් යයිද දන්නේ නැහැ. 50 ක් ????

    ReplyDelete
    Replies
    1. සුව නව වසරක් වේවා!

      සාදු, සාදු!


      Delete
    2. කකාගේ පෝස්ටු සිරා ගන්න පිස්සොත් ඉන්නවානෙ !

      Delete
    3. කැරකිල්ල 180 ට වැඩි වගේ !

      Delete
    4. @ Anonymous December 20, 2013 at 8:07 AM

      ඔබ මේ එකම අදහස දැන් දෙවරක්ම කීවානේ. ස්තුතියි. එහනං බයි බායි,කවදා හරි දිව්‍යලොකේ දී මුණ ගැසෙමු.

      Delete
  6. //බෙල්ලෙකු ගේ කටු අතරේ
    මුතු කැටයක් වෙන්න එපා
    ආදරයේ වටිනාකම
    මුදලින් විමසන්න එපා// +++++++++

    ReplyDelete
    Replies
    1. දාසයයි, මාසයයි කාලේ හිතෙන සිලි බිලි දේවල්!

      Delete
  7. කකාගේ බ්ලොගය කතන්දර ලෙස නම් කලාට දැන් නම් කතන්දර වලට වඩා තියෙන්නේ පුරාජේරුයි පල්හෑලියි. කකා, කතන්දර ලියපු කාලය අතීතයට එකතු වෙලා සෑහෙන කාලයක් ගිහින්.. පුලුවන් නන් ඒ අතීතය යලිත් ගොඩ ගන්න උත්සහ කරන්න.

    වලලපු ඒ අතීතයේ හිටපු නොවලලුනු මිනිස්සු තමා තාමත් කකාගේ බ්ලොගයේ ඇනෝ විදිහට එන්නේ... ඒ මිනිස්සුන්ගේ හිත් වලිනුත් කකාගේ බ්ලොගය වැලලෙන්න දෙන්න එපා.

    ඒ වගේම මේ වගේ පල් හෑලි වලින් බ්ලොගය පරිහානිය කරා ලඟා කරවන්න උත්සහ කරන්න එපා. තව දෙයක් තමා පුලුවන් නම් මේ කමෙන්ට් එක පබ්ලිශ් කරලා මට උත්තරයක් දෙන්න. උත්තරයක් නැතත් කමෙන්ට් එක පබ්ලිශ් කරලා මාත් එක්ක එකඟ වෙන/නොවෙන අයට සංවාදයක් ගොඩ නගන්න අවස්ථාවක් ලබා දෙන්න.

    මේ කමෙන්ට් එක ඩිලීට් උනත් ගැටලුවක් නෑ. මොකද මේ සේරම කමෙන්ට් හොර රහසෙම කකා කියවනවයි කියලා අපි දන්නවා !

    ඕල් ද බෙස්ට් කකා !

    ReplyDelete
    Replies
    1. 1. මුලින්ම කිව යුත්තේ මෙයයි.

      ඔබ මෙහෙම ලියා තියෙනවා.

      /* මේ කමෙන්ට් එක ඩිලීට් උනත් ගැටලුවක් නෑ. මොකද මේ සේරම කමෙන්ට් හොර රහසෙම කකා කියවනවයි කියලා අපි දන්නවා !
      */

      මෙය කිවූ මට ඇතිවුණු මූලික ප්‍රශ්නයක් නම් ඔබ මේ බ්ලොග් එක කලක සිට කියවූ කෙනෙක්ද යන්නයි. මක්නිසාද යත් මේ කමෙන්ටුව මා පල නොකර සිටීවි යැයි ඔබ සිතීම විහිළුවක් පමණි.

      මා මෙතක් පල නොකර හෝ පලවූ පසු කපා දමා ඇත්තේ කමෙන්ටු ඉතා සුළු ගණනකි. ඒවා එක්කෝ
      1. කුණුහරුප
      2. වෙළද ප්‍රචාර - බොට් කමෙන්ටු
      3. අන් අයට බණින හෝ අපහාස කරන ඒවා (උපහාසයට ඉඩ දී ඇත)
      4. පුනරුක්ත කමෙන්ටු සහ පුනරුක්ත අදහස් ඇති කමෙන්ටු

      මට බැණ වදින කමෙන්ටු සැමෙකක්ම මෙහි පලවී ඇත. ඔබේ මේ කමෙන්ටුව සාධාරණ විවේචනයක් පමණි. නමුත් ඔබ පල කර ඇති ඉහත උපුටා දැක්වූ අදහස නිසා මට ඔබ ගැන කුකුසක් උපදී.

      Delete
    2. 2. අතීත ශ්‍රී විභූතියක් ගැන උදම් අණමින් අතීතයේ ජිවත් වීමට මට අදහසක් නෑ. ඔබට ඕනෑ නම් ඒ පරණ කතන්දර කියවමින් ඉන්න. මගේ අවුලක් නෑ. නමුත් මට පෙනෙන පරිදි මෙහිදී සිදුවී ඇත්තේ මා ඉදිරියට ගොස් ඇති අතර ඔබ තවමත් එතැනම බවයි.

      ඒ සරදම කෙසේ වෙතත්, මා ඔබේ මේ ඵ්‍රතිචාරය ඉතා අගේ කොට සලකන බව කිව යුතුයි.

      ඔබ සංවාදයක් ගැන කියා ඇති නිසා මේ කරුණු කීපයත් කියන්නම්.

      3. මා බ්ලොග් ලියන්න පටන් ගග්තේ එදා කියවූ සහ අනාගතයේ (එනම් අද) කියවන අය සියළු දෙනාම සතුටු කරන්නට සිතා නොවේ. එකක් දෙකක් හැර මගේ සියළුම කතන්දර හැමෙකක්ම ලියවුනේ එකම එක පුද්ගලයෙකුගේ සන්තෝශය පිණිසයි. ඔබ සිතුව හරි. ඒ මේ ලියන මා ය. අති බහුතරයක් මේ කතා ලියා පල කර, මා ඉතා විශාල සතුටක් වින්දා. අදත් විඳිනවා.

      4. නමු් සිදුවන්නේ මෙයයි. මා ලියන සැම කතන්දරයක්ම මට සතුටක් ලබා දුන්නද, එක් එක් කතන්දරයට කැමති වෙන්නෙ ්කියවන විවිධ කොටස්. උදාහරණයක් ලෙස මා ලියූ මොරටුව ආයතනයේ නිකාබ් තහනම ගැණ කතන්දරයට අති බහුතරයක් අකමැති වුණා. අද මේ කයි-කතන්දරයට ඔබ අකමැති සෙයක් පෙණුනාට, මෙයට, ඟෙහි එන කවියට කැමති අය බොහෙමයක් සිටින බව මට පේනවා. ඒ අය මගේ වෙනත් කතන්දරවලට අකමැති අය වෙන්නට පුළුවනි.

      5. මා පසුගිය සැප්තැම්බරයේ පොත්-කතන්දර ලිව්වා. සමහරු අකමැතියි, සමහරු ඉතා කැමතියි. ඒක මිනිස් ස්වභාවය නේ. මාත් මේ බ්ලොග් ලෝකයේ ඇති බ්ලොග්වලින් සමහර ඒවාට අකමැතියි. මා නිතර කියවන සමහර බ්ලොග්වල සමහර ලිපිවලට අකමැතියි. එයින් කම්පා වෙන්න එපා.

      6. අවසාන වශයෙන් සංවාදය ඉදිරියට ගෙනයාම සඳහාත්, ඔබේ පාඨක ප්‍රතිචාරය අනුම මා කෙසේ වෙනස් ්විය යුුතුද යන්න ගැන සිතා බැලීම සඳහාත් මට මේ පහද උදව්ව කරන්න.

      අ. මා ලියා ඇති ඔබ කැමති ජාතියේ කතන්දර පහක් නම් කරන්න. ලින්ක් අවශ්‍ය නැත.
      ආ. මා ලියා ඇති ඔබ අකමැති ජාතියේ (ඔබ කියන පුරාජේරු, පල්හෑලි තියෙන) කතන්දර පහක් නම් කරන්න.

      හැකි නම් කැමති/අකමැති වීමට හේතුත් දෙන්න. බොහෝවිට නිසැකයෙන්ම සිතාගත හැකිවෙන්නත් ඉඩ තියෙනවා.
      ඒ උදාහරණ සලකා බලා සංසන්දනය කර මට මා ඉදිරියට ලිවීමට සිටින කතන්දරවල යම් වෙනසක් අවශ්‍යනම් කළ හැකි වේවි.

      ස්තුතියි.

      ප/ලි

      මේ සංවාදයට අන් අයටත් අවශ්‍ය නම් සහභාගී විය හැකියි. තමන් කැමති සහ අකමැති කතන්දර නම් කිරීමෙන්.

      Delete
    3. මොකක්ද කකා මේ බ්ලොග් ප්‍රජාතන්ත්‍රවාදේද?

      Delete
    4. Waiting for කැකුණ

      Delete
    5. ප්‍රා ජේ
      මං ආවා කැකුණ අටන් !!!

      Delete
    6. කකාට ඇති නිදහස අහුරන්න එපා. ඔහුගේ සිතැගි රිසිසේ මෙහි සරන්නට ඉඩ දෙන්න...... ඒ අතර ඔබ බලාපොරොත්තුවන දේත් ලැයැවේවි.. මේ මාධ්‍යෙය් නිදහස්ම අවකාශයයි.

      Delete
    7. කකා,

      සපත්තුවට හරියන්න කකුල කපල ලෙඩ දා ගන්න එපා. අපිට ගැලපෙන එව්ව දාගෙන නැති එව්ව අතාරින්නම්. ඔය ආව විදියටම කොරගෙන යන්න. අනික පිට කහන "අරේ අද කකා මන් ආසම කතාවක් දාල, එල නියමයි" කියනවට වඩා යම් සංවාදයක් ඇතිවෙනකොටයි වටිනාකමක් තීන්නෙ. ඒ නිසා රේටින්ග්ස් වලට අනුව ස්ක්‍රිප්ට් වෙනස් කරන මෙගාවක් නොවී ඔය ආ විදියටම යන්.

      ( මීට කකා සහ ලක්බිම නිසා බ්ලොග් හඳුනාගත් සහ ලොවට ආ පාඨකයෙක් )

      Delete
  8. //ආදරයේ වටිනාකම
    මුදලින් විමසන්න එපා///

    මෙහෙම කියපු ඒ අවුරුදු 16 කොල්ලද පස්සේ කාලේ ඕනෑම දේකට මුදලක් තියෙනවා කියලා කිව්වේ කකා.......

    ReplyDelete
    Replies
    1. ඕනෑම පුද්ගලයෙකුට මිළක් තියෙනවා කියායි මං ඒ කිව්වේ.
      http://kathandara.blogspot.com/2013/09/how-much-would-you-sell-yourself-for.html

      ආදරය ගැන නම් තවමත් ඒ අදහස එහෙමමයි මයියා!

      Delete
    2. නැත නැත කකා. හැම කෙනෙක්ම මුදලින් ගත නොහැක.

      Delete
  9. කකා ඒ කාලෙ ඉදන්ම හොද නිර්මාණ කාරයෙක්නේ ඒ වගේම හොද මනමාලයෙක් එහෙනං.... එතතොට මැටහෝන් එහෙමත් ඉරුවැයි ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දාසයෙදි දුම්රියෙ යන කාලේ
      කෙල්ලන් දිටිමි බැන්දෙමි කවි මනමාලේ
      ඒ කවි ලියූ පොත් ගොඩ විතරක් සාලේ
      මගෙ කවි කමේ නටඹුන් ලෙස ඇත රාලේ

      මැටහෝන් එකක් එක දවසක උරා ඇත
      බ්‍රිස්ටල් දෙක තුනක මා රස බලා ඇත
      තිත්තට දැනෙන හින්දා කට පසුව මිත
      දුම්බීමට ඉන් පසු මා තිබ්බ තිත

      Delete
    2. කකා
      කවියක් ලෙස පමණක් ගන්න !!!

      සුරාවෙහි ඇති රසයත්
      එහි ඇති මනා ගුණයත්
      බොන සුදනෝ මිසක්
      නොබොන අනුවන දනෝ නොදනිත්

      Delete
    3. @ පත්තර බ්‍රදර්...මොකද කවියක් ලෙස පමණක් ගන්න කියලා ලිව්වේ...ඒ කතාව වැරදිද?

      Delete
    4. පත්තර මල්ලි එන්න කටට සීනි බෝතලේ හලන්න

      ඔය කවිය අර උඩ කොමෙන්ට් කොටපු තට්ට පත්තර කාරයට කියාපු එක

      Delete
    5. අරූ අයියා
      අනුනෙ තැනක් නොවැ :-):-) හොඳ නෑ නොවැ කකා ට ප්‍රශ්න ඇති කරන්න .වැරදි උපදෙස් දීල.
      ආයෙ බොරු මක්කටයි මමත් කවියටම අනුව ජීවත්වෙන මනුස්සයා !

      @අපූර්වී
      තට්ට පත්ටර කාරයට ආයෙ අමුතුවෙන් කවි කිය කිය.පොවන්න දෙයක් ඇතැයි !!
      අරක්කු එක්ක තරහට බොන්නේ :-)

      කෙන්ජි මාමෙ
      සොරි අයියෙ :-)
      ඔයා ආවම අපි ගහන්නෙ සකේ !!

      Delete
    6. සිගරට් ගඳ නැති නිසා අපිත් මැටහෝන් ගැහුව කලක්. ඒත් ඒකට ඇට දිරනව කියල පස්සෙ අතෑරිය.

      Delete
    7. පත්තර මල්ලියා, උබටනම් එසේ මෙසේ පිනක් නෙමේ පහල වෙන්න යන්නේ. දැන් කණට සීනි හලනවාලු.

      Delete
    8. කා වා
      මට ඉස්පිරිතාලෙ යන්න වෙන වැඩ!!ක් බන් ඒ

      Delete
  10. යොවුන් ආදරය ගැන කතා වැඩි මොකෝ මේ ටිකේ?

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල කතන්දර ටොපික් එක ඒකයි. ලබන සතියේ දාන්නං නාඩියාට ගැලපෙන සිල් ගන්න, විට කොටන, බණ කියන කතන්දර සීරීස් එකක්.

      Delete
  11. සේරම හරි කියමුකෝ, අර ගෝත පැටියාගේ ෆොටෝ එකක් දැම්මේ ඇයි දෙවියනේ මුලින්ම. එපා වෙනවා එකා දැක්කාම

    ReplyDelete
    Replies
    1. ඒ පොටෝ එක දැක්කම මතක් උනේ කොල්ලෙක් අර දේව වරමක් ඉල්ලල සනීපාර්ක්ෂක තුවායක් බවට පත් උන කතාව.

      Delete
    2. ඒ දවස්වල මගේ ජීවිතෙත් ඒ වගේ තමයි. පාරේ යන්න බෑ ගෑල්ළමයි පස්සෙන් එනවා.

      පස්සේ අර උන්මාද චිත්‍රසේන කාලේත් ඒ වගේමයි.
      http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

      ඒ කාලේ සිහි වෙන්නයි මේ ෆොටෝ එක දැම්මේ!

      Delete
  12. ඔය කෙල්ලෝ පස්සේ ගිහිල්ල ගිහිල්ල අන්තිමට මිදී ඇබුලයි කියන්න වෙච්ච කට්ටිය ..... ඊට පස්සේ කවි ලියනවා .... අනේ වාසනාවන් මටනම් කවදාවත් ඔහොම වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. මැලේ අච්චාරුට තවම කෙල්ලෙක් ගැන හිතිලවත් නෑලු. අනේ පව්!. මේ බාලවයස්කාර බෝ පැලේ වගේ ඉන්න ළමයා කොහොමද දන්නේ නෑ රට පැන්නේ.?
      ආ මචං, ඇඹුල් මිදිත් තියෙනවා. අර රු 150 ට 500g යි කියලා තියෙන කවුරුහරි කනවනම් එකක් කාලා චැක් කොරලා ඉන්න.

      Delete
    2. @ මැලේ -

      කවි ලියන්නත් පින තියෙන්න ඕනෑ!

      Delete
  13. පසුගිය පොස්ට් බලපුවාම, කතන්දර දැන් යොවුන්විය ආවර්ජනයක සහ විග්‍රහයක සිටින බව පෙනෙනවා....

    ReplyDelete
  14. This blog should receive the most annoying blog of the year award.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.