Thursday 10 November 2011

මුං මේ ලියන්නේ කවි ද? නැත්තං වාක්‍ය රචනා ද? pseudo code of poetry


කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා. මුලින්ම එකක්, දෙකක් දැම්මා නිකං අවාරෙට වගේ.

නමුත්, පහුගිය සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය සමරන්න කියලා පටන් අරං ඔක්තෝබරේ ඉවර වෙනකම්ම දැම්ම පේරාදෙනියේ ගතකරපු මුල් දෙවසරේ ලියපු කවි තමයි හුඟ දෙනෙක් කියවලා තියෙන්නේ.

පාඨක ප්‍රතිචාර අනුව නම් මෙච්චර කල් මං දාපු කවි වලින් හොඳම කවිය තමයි අර "අභිනිෂ්ක්‍රමණය" කියන කවි පන්තිය. ලිව්වේ මොකා වුනත්, හැබැයි මං නං වැඩියෙන්ම කැමති "දේශපාලන විද්‍යා තල කැරළි වෙළඳාම" කියන එකටයි.

සොඳුරු සිත ලියන වත්සලා නම් කැමති "දෙව්ලොව ගමන" කියන සඳැස් කවි පන්තියටයි. මා මිතුරු රත්නායක මහත්තයා නම් කැමති "කටුබැද්දේ කුකුලා" ගේ කතන්දරයටයි!

ඔය කවිවලින් මොකක් හොඳ වුණත්, හොඳම කවිය දැනටම පලකරලා ඉවරයි කියන්නේ මෙතන ඉඳන් ඉතිං ඩවුන් ද පල්ලං තමයි!

ඔන්න නොකිව්වයි කියන්නෙපා.

කවිය යනු රසවත් වැකියකි කියල කවුද පරණ සංස්කෘත පඬියෙක් කියලා තියෙනවා ලු. ඒක නං මහ මෝඩ කතාවක්. ඒ වගේ කියමන්වල තියෙන භයානක පල විපාකය තමයි, ඕක අහපු අපි වගේ උං නිකං වාක්‍ය රචනා ලියලා කවි වගේ පාස් කරන්න හදන එක.

මං පේරාදෙනියේ හිටපු දෙවන අවුරුද්දේ ලියපු මේ කවියත් මට හිතෙන්නේ කවියකට වඩා වාක්‍ය රචනාවක් විදියටයි.

බොරු නං කියවලා බලන්න.

පෙම්වතුන් ගේ ලෝකය

ඔවුන්
ප්‍රේමයේ නමින් හෙලූ
කඳුළු බිඳු එක්වී
මහා ගංගාවක් සේ ගලා ගියේය
ඔවුන්
ප්‍රේමයේ නමින් හෙලූ
දුක් සුසුම් එක්වී
මහා මාරුතයක් සේ හමා ගියේය

ඒ ගංගාවේ ගැලුයේ
ගස සිත සනසන සිසිල් ජලය නොව
උණුසුම් කඳුළු බිඳු ය
ඒ මාරුතයේ හැමූයේ
ගස සිත පිනවන මුදු සුලං රැලි නොව
උණුසුම් සුසුම් ය

දෙගොඩ තලා ගිය ඒ ගංවතුරින්
ඔවුන් ගේ ලෝකය යටවී ගියේය
කුරිරු වෙසින් හැමු ඒ මාරුතයෙන්
ප්‍රේමයේ මන්දිරය වැනසී ගියේය

උණුසුම් කඳුළින් යටවූ ලෝකයෙ
වසන්තයේ උයනේ
පෙම් කුසුමන් සැම මැලවී ගියේය
පෙම් ලොව දස අත ආලෝකය දුන්
ආදර සඳ තරු
උණුසුම් සුළඟින් නිවිලා ගියේය

අවසානය එය විය෴


-කතන්දරකාරයා

ප/ලි:
මට හිතෙනවා මෙන්න මෙහෙම. මේක කවියක් නෙමේ කවි සිතුවිල්ලක් සහ කවියක් අතරමැද තියෙන ටිකක් කලටි පොල් අවස්ථාවක්.

නිකං pseudo code එකක් වගේ කියන්න පුළුවනි.

හරියට අර රිවර්ස් ඉන්ජිනියරිං කරලා කෙටි කවි වලින් මහදිග කතාවක් ලියන්න පුළුවන් වගේ ඕනැ නම් පුළුවන් වෙයි මේකෙන් කවියක් ලියන්න.

(image: http://www.usenix.org/event/nsdi05/tech/full_papers/fonseca/fonseca_html/)

35 comments:

  1. ප්‍රේමයේ කඳුළු ඟංගාවේ
    ප්‍රේමයේ සුසුම් මාරුතේ
    උණුසුම්
    නිවන්නේ නැහැ හදේ සෝ ලැතැවුල්

    ගලා උතුරා යන කඳුළු වැල්
    රුදුරු වෙස් ගත් සුසුම් මාරුත
    කඩා බිඳ දා ප්‍රේම මන්දිර
    පෙම් කුසුම් මිලිනයි වසන්තය
    තරු අරන් ගොස් මාරුතේ

    අවසානයයි එය ආදරේ .......

    ReplyDelete
  2. මං නන් හිතන්නෙ ආකෘතිය එච්චර වැදගත් නෑ. හැඟීම හරියට දෙන්ඩ පුලුවන් නන් කවිද, සඳැස්ද, නිසදැස් ද, වාක්‍ය රචනාද කියන එක එච්චර වැදගත් නෑ මං හිතන්නෙ.
    ඔය කවි සිතුවිලි කියන ඒවා තමයි මං නන් සෑහෙන්ඩ රසවිඳින්නෙ.
    බලන්ඩ මේක :)


    මා
    මිය ගොස්
    ඉපදෙන්නට ඇත්නම්
    තනපට වී
    ඔබේ
    සුරතල් දෙතන
    මිහිර ලබන


    ජනක මහබෙල්ලන ලියපු මේක කවියක් හෝ වාක්‍ය රචනාවක් කියල නම් කරනවාද කියන එක එච්චර වැදගත් නෑ. මොකක් උනත් ඒ හැඟිම දෙන එකයි වැදගත්.

    ReplyDelete
  3. @ චමිල
    කවිය අමුයි ...

    ReplyDelete
  4. @සොඳුරු සිත
    කවියක් කියන්නෙ ඒක ලියන මනුස්සයගෙ හිතේ ඇතිවෙන ගැඟීමක් හරි ගැඟීම් ගොඩක හරි එකතුවක්. ඒක ආකෘතියක හිරවෙද්දි ගොඩක් වෙලාවට ඒ අමු කවියේ තියන හැඟීම මැරෙනව. ඊට කලින් ඒක කොලේ උඩට ගන්ඩ පුලුවන් නන් එතන තමයි නියම කවිය කියන එක තියෙන්නෙ කියලයි මගේ අදහස.
    ඒකෙන් කියන්නෙ නෑ එක එක ආකෘති වලට ලියපු කවි හොඳ නෑ කියල. හොඳ කවි වල ඒ ඔක්කොම බැමි කඩාගෙන හැඟීම මතුවෙනවා.
    මේ කවිය (හරි මොකක් හරි එක ) පහළට කියවගෙන යද්දි දැනෙන ඒ හැඟීම, මීට වඩා මේක ඉදවලා හරි, වාක්‍යයක් විදිහට එක පේලියට ලියල තියෙද්දි හරි, සදැස් විදිහට ලියල තියෙද්දි හරි දැනෙයි කියල මං හිතන්නෙ නෑ.

    ReplyDelete
  5. කවිය, poem එකෙන් වෙනස් කියල මට හිතෙනව?
    ඒ වගේම එය විශ්ව භාශාවක්ද නොවේ.

    බ්ලොග් ලිවීම මේ ආකාරයට විය යුතුයි කියා අයෙකුට සීමා මායිම් පැනවිය හැකිද?

    විඳින පුද්ගලයා අනුව විවිධ යහ අර්ථ මතු කර ගත හැකි පරිදි කෙනෙකු නො දිගු වදන් වියමනක් කරන්නේ නම් එය කවියයි.
    එය කියවන බොහෝ දෙනෙකු ලියන්නා අදහස් කළ දෙය වින්දේ නම් කවියා දක්ශයෙකි බව පවසන්නේ සියල් දත් දයල් බතී

    ReplyDelete
  6. @ චමිල
    ඔයා හරි. මම කීවේ මට දැනුන හැඟීම. ඇත්තම කියනව නම් , ඒ එයා දැම්ම කවිය කියවද්දි ගැහැණු කෙනෙක්ට දැනෙන හැඟීම අප්‍රසන්නයි,.

    ගැහැණු කොහොමත් කැමැති කියන දේ කෙළින් නොකියා වටෙන් පිටෙන් කියනවට නිසා වෙන්න ඇති සමහර විට ... :)

    ReplyDelete
  7. සොඳුරු සිත:
    ඔව්, ගැහැණු කෙනෙකුට මේක දැක්කහම මොනව හිතෙයිද කියල මං හිතුවෙ නෑ. සමාවෙන්ඩ ඕනේ. ඔයා කිව්ව වගේ මේකෙ තියන අමු ගතිය හින්ද ගත්තෙ.

    ReplyDelete
  8. අදත් ඉතින් කතන්දර අපි අදහස දෙන්න කලින්ම විචාරය දාලනේ..!!
    වෙනසකටත් එක්ක ඊළඟ සැරේ කවිය ඉස්සෙල්ලම දාලා පස්සෙ කතන්දරය දාමුද?

    ReplyDelete
  9. සුඩෝ කියන්නේ නිට්නස් කියන එක !!1
    මේ කවි ටිකත් නීට් එකට ලියල තියෙනවා.

    ReplyDelete
  10. ක.කා ගෙ රචනාවට වඩා ක.කා ගැන යමක් කියන්න තියෙනව. තමං කරන දේ ගැන තමා විසින්ම හරි විග්‍රහයක් කරගන්න තමංගෙම අඩුපාඩු අවංකවම තමා විසින්මෙ තේරුම් ගන්න පුද්ගලයින් නොහොත් ඇසූපිරූ තැන් ඇති පුද්ගලයින් හරි අඩුයි. ඒ අය අනිත් අයට කට උත්තර නැතිකරනව තමංගෙ නිහතමානී කමින්. ක.කා ට මම හරි කැමතිත් හරි ආදරේත් ඒකයි.
    අඩේයි ක.කා, ඔබ බ්ලොග් පොරවල් අතර පොර වෙන්න හේතුව ඒක වෙන්න ඇති.
    (මෙහෙම කිව්ව කියල උඹ උඩ යන්න හදන්නෙපා හරිය....)

    චමිල : ඔයා කිව්වෙ හොඳ සහ අවිවාදයෙන් පිලිගත් අදහසක්. ඔයාගෙ උදාහරනයේන් ඔයා කිව්වදේ ඔයාට වත් තේරුනාද කියල සැකයි. ඔයා කිව්ව දේ ඔය කවියෙ තියෙනවද කියල ඔයාම ආයිත් විග්‍රහ කරල බලන්නකො. ජනක මහබෙල්ලන කොලඹ විශ්වවිද්යාලෙ පශ්චාත් නූතන වාදයෙන් ගිනිකන වැටිල ඉන්නකාලෙ ලියපු ඔය පොත ගැන දැන් එයා කියන්නෙ මොකද්ද කියල එයාගෙන්ම අහල බලන්නකො.

    X-Porter

    ReplyDelete
  11. සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය
    kiyan akavi pela thama me avurudu ganatama mama me blog eke dakapu hondam kavi pela.......
    me nisadase nam ecchara rasayak naha thama
    namuth lipiya rasay.
    rasa mokada kiyala KASU'th dannava athine.....

    ReplyDelete
  12. මට නම් කවි ලියන්නත් බැ , කවි වගේ වාක්‍ය රචනාත් බැ , මොකක් හරි පල් හැල්ලක් තමයි ලියන්න පුලුවන් . හැබැයි අනුන් ලියන කවි රසවිඳින්න පුලුවන් . මම දැක්ක ලස්සනම කවි වුනු ගුත්තිලය සහ සැලලිහිණියෙ ඉඳන් කතන්දරගෙ "කලටි පොල්" කවි දක්වා ඕනි එකක් කිය්වා රසවිඳිනවා . කවියා කියන දේ ඩයල් නැත්නම් මට කැමති එකක් හිතාන නිකා ඉන්නව

    ReplyDelete
  13. Trafic Ano
    ඕවා කවි තමයි.
    තව ඔයිට වැඩිය මොනවද?
    මට ඔමාර් ඛයියාම් ගෙ කවි මතක් වුනා.

    ReplyDelete
  14. එතකොට ගද්‍ය පද්‍ය කියන දෙකේ වෙනස පිටුවෙ ලියන්නෙ සම්පූර්ණ පේලි වලින්ද පොඩි පොඩි පේලි කෑලි වලින්ද කියන එක විතරද...

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. X-Porter :
    ඇත්තටම මං වැරදි වෙන්ඩ පුලුවන්. මට තේරෙන විදිහට අනුව තමයි මං කිව්වෙ.
    ඒත් මං කියන්නන් ඇයි මේකම තෝරගත්තෙ කියල.
    මං ඔය කවිය මුලින්ම කියවද්දිත්, අද කියවද්දිත් මහබෙල්ලන මේකෙන් මතුකරන හැඟීම මට දැනෙනව කියල හිතනව. මට නන් මේක මැරිල නැති නැවුම් කවියක්. සරලයි. මහප්‍රාණ නෑ. එකම හැඟිමක්. එච්චරයි.

    ජනක මහබෙල්ලන කියන්නෙ කවුද, කොහෙ හිටිය මනුස්සයෙක්ද කියල මම ඇත්තටම දන්නෙ නෑ. එයා ඒක ගැන දැන් කියන්නෙ මොකද්ද කියන එකත් මට එච්චර වැදගත් නෑ. හරියට අර ගුණදාස අමරසේකර ඒ කාලෙ ලියපු, අපි රසවිඳපු පොත් ගැන දැන් එයා කියන බයිලා අපිට වැඩක් නෑනෙ. ඒ වගේ. ජනක කවියක් ලිව්වා. මං ඒක කියෙව්ව. රසවින්ඳා. අපේ සංවාදය ඒ කවිය හරහා තියනව ඇරෙන්ඩ වෙන යමක් එතන නෑ.

    ReplyDelete
  17. චමිල දාලා තියෙන කවිය දක්කහම මට මතක් උනා එක වෙබ් සයිට් එකක photo එකකට දාලා තිබුන කොමෙන්ට් එකක්. එකේ කියලා තිබුනේ....

    "I wish I was born as your bra ...! කියලා.

    ReplyDelete
  18. ප:ලි: එක්තරා public website එකක්..adult එකක් නෙවේ :-)

    ReplyDelete
  19. මං නං කවි එතරම් රස විඳින කෙනෙක් නෙවි, ඒ වුනාට කතන්දර පිටුවෙ පල වුන කවි වලින් අද එක තමා මට නං හොඳම.
    ප.ලි.
    ඒ වුනාට කවි ඉවර වෙනකන් මං බලාන ඉන්නෙ.

    ReplyDelete
  20. කවිද නිසදැස්ද????

    ReplyDelete
  21. මාත් ආස නැහැ කවි අමුවෙන් රස විඳින්න...
    අමු කවි කෙසේ වෙතත් ඔය pseudo code එක මොකද්ද හැබෑට? පැකට් හෙඩර්, යුනිකාස්ට් තියෙන්නේ මොකක් හරි routing algorithm එකක් වගේ.

    ReplyDelete
  22. කවියක් රසවිඳින්න පුළුවන් ද බැරි ද කියන ඒක කවිය ලියන කෙනාට අදාල නැහැ මම හිතන විදියට.. කවියාගේ වගකීම ලියන එක. ඒ පිලිබඳ විචාරන එක විචාරකයා කරාවි..කොහොම උනත් සියල්ලන් සතුටු කරන්නට බැරි ය කියනවා නේ.. මම ඒ කවිය රස වින්දා.. ස්තුතියි කතන්දර..

    ReplyDelete
  23. කවිය ලස්සනයි.අදහස විශාලයි.සමාවෙන්න කිව්වට ගත වෙනුවට වෙන්න ඕන ගස ලියවිලා තියෙන්නේ.

    ReplyDelete
  24. නිහතමානී කම?
    අනිත් අයට කට උත්තර නැතිකිරීම?
    තමා විසින්මෙ තේරුම් ගන්න පුද්ගලයින්?
    ඇසූපිරූ තැන් ඇති පුද්ගලයින්?

    කයි කතාද? නයි කකා ද?

    Y-Porter

    ReplyDelete
  25. MS WORD වල බෝඩර් හදල වැරදී වගේ . . .

    ReplyDelete
  26. ඔබා මාමට වගේම මටත් මේක අනික්වට වඩා හොඳයි වගේ...
    මගේ පෞද්ගලික අදහස විතරයි.....

    ReplyDelete
  27. මෙතන පෙම්වතුන් කීදෙනෙක් ගැනද මේ කතා කරන්නේ?...:D

    ReplyDelete
  28. මුලින්ම කතන්දරගේ කවිය ගත්තොත්. මතකද දවසක් මමයි කතන්දරගේ වෙනත් අවතාරෙකුයි කවි සම්බන්ධයෙන් ඉතාම වැදගත් විචාරකයෙකුයි වෙඩි තියා ගන්න සංවාද මණ්ඩපයක යම් කිසි කතා බහක් කරන්න හැදුවා. එදා අපි කතා කලේ සම්මානනීය කවියෙකු ගේ නොකවී ගැන. කොටින්ම දිග වගන්තියක් ලියා ඒකට හිතෙන තැන් වලින් නිව්ලයින් [එන්ටර් කියමු] දැමීමෙන් පේලි කිහිපයක කවි හදා ගන්න අය ගැන.

    ඔබ ලියු මේ කවියත් එහෙම එකක් කියා මට හිතේ.

    කවියක අදහස් ඉක්මවන ලාලිත්‍යයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව තමයී මගේ මතය. මොකද අදහස් විතරක් පෙන්වන දේවල් ගද්‍ය නිසා. ගද්‍ය වලින් වෙනස් වූ දෙයක් පද්‍ය වල තිබිය යුතුයි. හැබැයි ඒක ආකෘතියක් ද රිද්මයක් ද, සඳැස් ද නිසඳැස් ද, වගේ සීමා වලින් කොටු කරන්න කැමති නැහැ.

    දෙවනුව ජනක මහබෙල්ලන ගේ කවිය ගැන. ඒක කවියක් තර්කයක් නැහැ. හැබැයි ඒක අපි ඉස්කෝලේ යන කාලේ එකිනෙකාට මඩ ගහන්න හෝ ආතල් ඒකට හදා කියූ නිකම්/කුණුහරුප කවියක් ඉක්මවා යන උසස් කවියක් නොවේ. ඇහුවම කොල්ලන්ට ආතල් කෙල්ලන්ට නොආතල් ඒකයි.

    ඕක අයිති වෙන්නේ මෙන්න මේ සඳැස් කවියේ නිසඳැස් ජෙන්රියට. කියෙව්වම හරි ඒක මතක් වෙයි. මේ කවියෙත් තේරුමක් තියෙනවා විතරක් නොවේ ඒක හොඳට තේරෙනවා.

    කිව්වත් කොහොම කොයි රත්නෙන් හදාලා
    බැලුවම එකයි කොයි කෙල්ලත් මෙයාලා
    ඒක නොදත් අපේ පිස්සු බුවාලා
    දහ දුක් විඳිති එක කෙල්ලක් පතාලා

    ඔය කවිය [හරි ඒක] පොතක පල විය යුතු නම් ජනකගේ කවියද පොතක පල වුවාට කමක් නැත.

    ReplyDelete
  29. @ වත්
    වත්
    මගේ ඉල්ළීම පිළිගෙන සූඩෝ කෝඩ් එකෙන් ගෙතුවා යැයි මා සිතන ඔබේ කවියට ස්තුතියි.

    ReplyDelete
  30. @ චමිල
    මා නම් සිතන්නේ ආකෟතියක් අවශ්‍යයි කියලායි. ඒකම තමයි කවියේත් ගද්‍යයේත් වෙනස!

    මං නං සාමාන්‍යයෙන් ලියන්නේ විරිතක් ඇති ගායනා කළ හැකි කවි.

    ReplyDelete
  31. @ රූ...
    අනේ මන්දා?
    මේක කයි-කතන්දරයක් නේ!
    මං කවි බ්ලොග් එකක් පටන් ගත්තාම කවිය විතරක් දාන්නම්.

    ReplyDelete
  32. @ X-porter

    කමෙන්ටුවට ස්තුතියි. මගේ නං ඇති පොරත්වයක් නෑ.

    නමුත් ඔයා කියලා තියෙන එකේ අනිත් පැත්ත මොකක්ද දන්නවද? මං ගැන විතරක් නෙමේ, මං අයිති ජාතිය, ආගමික කොටස, පාසල, ගම, සමාජය ඇතුළු හැම දෙයක් ගැනම අඩුපාඩු කියන්න මං බය නෑ.

    මං ගැන අවංකවම මං කතාකරන කොට වගේ නෙමේ, ඒ කණ්ඩායම් ගැණ කියන කොට තමයි කට්ටියට තද වෙන්නේ!

    ReplyDelete
  33. @ All
    මං කැමති උත්තර දෙනවා නම් හැමෝටම උත්තර දෙන්නයි,
    නමුත් අද භාධා ගොඩයි.
    සියළු දෙනාටම ස්තුතියි!
    ජයවේවා!

    ReplyDelete
  34. X-Poter

    "තමං කරන දේ ගැන තමා විසින්ම හරි විග්‍රහයක් කරගන්න තමංගෙම අඩුපාඩු අවංකවම තමා විසින්මෙ තේරුම් ගන්න පුද්ගලයින් නොහොත් ඇසූපිරූ තැන් ඇති පුද්ගලයින් හරි අඩුයි. ඒ අය අනිත් අයට කට උත්තර නැතිකරනව තමංගෙ නිහතමානී කමින්. ක.කා ට මම හරි කැමතිත් හරි ආදරේත් ඒකයි.
    අඩේයි ක.කා, ඔබ බ්ලොග් පොරවල් අතර පොර වෙන්න හේතුව ඒක වෙන්න ඇති."

    You like irony right ;-)?

    ReplyDelete
  35. " මගේ නං ඇති පොරත්වයක් නෑ." Do you really mean this.... or this is also irony....

    "නමුත් ඔයා කියලා තියෙන එකේ අනිත් පැත්ත මොකක්ද දන්නවද? 'මං ගැන විතරක් නෙමේ", මං අයිති ජාතිය, ආගමික කොටස, පාසල, ගම, සමාජය ඇතුළු හැම දෙයක් ගැනම අඩුපාඩු කියන්න මං බය නෑ."
    Care to show links to your self criticism?

    "මං ගැන අවංකවම මං කතාකරන කොට වගේ නෙමේ, ඒ කණ්ඩායම් ගැණ කියන කොට තමයි කට්ටියට තද වෙන්නේ!"

    Hicks... Irony....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.