Saturday, 1 February 2014

වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel


මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්.

මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු බාප්පාත් ඒ වගේ සිංගප්පූරුවේ රස්සාවට ගිය කෙනෙක්. ඇයි, එංගලන්තේ ගිය අංකල්?

ඒ දවස්වල රට රස්සාවකට යනවා කියන්නේ එහේම පදිංචි වෙනවාය කියන එකයි.

ලංකාවේ ඈයෝ පිටරට රැකියාවලට යෑම කියන එකේ මූලික වෙනසක් සිද්ධ වුනේ අරාබිකරයේ රස්සාවලට යෑම පටන් ගත්තු කාලෙයි. ඒ හින්දා තමයි දයානන්ද ගුණවර්ධන ගේ මධුර ජවනිකා නාට්‍යයට ඩුබායි කාන්තාව ගැන වෙනම ජවනිකාවක් ම ඇතුලත් කරළා තිබුණේ.

මට මතකයි සෑහෙන කාලෙකට ඉස්සර ටෙලි නාට්‍යයක් තිබුණා ඒකේ ප්‍රධාන චරිත දෙකක්මත් ඩුබායිවල වඩුකාර්මික රැකියා කරලා ආපහු ලංකාවට ආපු දෙන්නෙක්.

අනිත් රටවල්වලට යෑමට සාපේක්‍ෂව ඩුබායි යෑම හෙවත් අරාබිකරයේ රස්සාවලට යන එකේ තියෙන ලොකුම වෙනස තමයි ඒ යන අය එහේ යන්නේ තාවකාලිකව වීම.

පස්සෙන් පහු අවුරුදු විසි තිස් ගණං ඉන්න අයත් හිටියාට බොහෝ දෙනෙක් එහේ යන්නේ අවුරුදු දෙක තුනකින්, තුන හතරකින්, හතර පහකින්, පහ හයකින්, හය හතකින්, හත අටකින් සල්ලි ටිකක් හම්බ කරගෙන ආපහු ලංකාවට ඇවිල්ලා චූන් එකේ ජීවත් වෙන්න හිතාහෙනයි.

ඉතාලියට යෑම පවා ඒ අතින් වෙනස්!

එහෙම අරාබිකරයට ගිය අපේ අයගෙන් සෑහෙන්න සම්මාදමක් සිංහල බ්ලොග් ලෝකයට තියෙනවා.

හිටපු බ්ලොග්කරුවෝ වෙන දුකා, දුමී, ඩුබායි වට්ටක්කා, අදත් බ්ලොග් ලොව පෙරලි කරනා ඉන්දික උපශාන්ත වගේම අතීත ගමන් මග, හැලප කඩේ, පිණි පළස (චූටි ටීචර්) මේ මොහොතේ මගේ මතකයට එන කීප දෙනෙක්. (බීට්ල් ඉන්නේ මොන රටේද?)

ඔය අස්සේ අළුතින් ලංකාවේ සිට එහේට ගිය පොරක් බ්ලොග් එකක් අරඹලා ය කියන ආරංචිය ලැබුණා.

සෙරන්ඩිබ් ඔටුවා කියන අන්වරථ නමින් ලියවෙන මේ බ්ලොග් එක තමයි වාළුකා සිතුවිලි නොහොත් ඔටු කතා!

මෙන්න පාර.
http://otukatha.blogspot.com/

මේක තාමත් මුල් අවධියේ තියෙන බ්ලොග් එකක්.

මේල ලියන ලේඛකයාට බ්ලොග් ලෝකයේ තවත් ඉගෙන ගන්න දේවල් තියෙන බව පේනවා.

නමුත් පොර ලංකාවේ දී හොඳ පළපුරුදු ලේඛකයෙක් බව මං දන්නා නිසා මේ බ්ලොග් එක දිගටම අල්ලාගෙන ගියොත් අපිට හොඳ වින්දනයක් ලබන්න හැකිවෙන බව මට කියන්න පුළුවනි.
මං මේ බ්ලොග් එකේ දැකපු එක් හොඳ දෙයක් තමයි, බ්ලොග් කාර සෙරන්ඩිබ් ඔටුවා හැමදාම සිකුරාදාට අළුත් ලිපියක් දාන එක.

වාළුකාවේ සිකුරාදාට නිවාඩු නිසා වෙන්න ඇති!

හැකි අය ගිහින් කියෝලා කමෙන්ටුවක් දාලා එන්න.
http://otukatha.blogspot.com/

-කතන්දරකාරයා

ප/ලි:
මේ සති අන්තයේත් පිං අතේ වැඩ. පරලොවට නොවෙයි, මේ බූරු සමයෙන් පසුව එළඹෙන ඔටු සමයට මොල්ලි දෙකට වතුර එකතු කරනවා.