
මගේ තාත්තා ගුරුවරයෙක්. අවුරුදු තිස් අටක් රජයේ සේවය කරලායි විශ්‍රාම ගියේ.
තාත්ත අධ්‍යාපනය අතින් පොරක් කියන්න පුළුවනි. මොකද, ඒ කාලේ ගමේ තිබුණ වර්නකියුලර් අධ්‍යාපනය ලබලා කරන්න තිබුණු හොඳම ජොබ් එක තමයි ගුරුවරයෙක් වීම. අවූරුදු දහනමයෙන් ඒ වෘත්තිය අරඹලා, මරදානේ කාර්මික විද්‍යාලය, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලය, ස්වයං අධ්‍යාපනය සහ විද්‍යෝදය විශ්ව විද්‍යාලය හරහා තාත්තා ගිය ගමන තාත්තා ගේ සමකාලීනයෝ කවුරුවත් නොගිය ගමණක්!
ඒ වුණාට තාත්තා කවදාකවත් අපිට උගන්වන රාජකාරිය බාර අරගෙන "පොත් බලපං! ගනං හදපං!!" වගේ නීති දාන්න ආවේ නෑ.
තුනේ පන්තියේදී ටොකු ඇනලා චක්කරේ ඉගැන්නුවට පස්සේ, හතරේ පන්තියේදී සිංහල නම් ඉංගිරිසියෙන් ලියන්න ඉගැන්නුවට පස්සේ, නමේ පන්තියේදී ඉංගිරිසි ක්‍රියාපද වර නගන්න ඉගැන්නුවට පස්සේ තාත්තා මට උගන්වලා නෑ.
දන්නේ නැති දෙයක් තියෙනවනං අහපං කියලයි අපිට කියලා තිබුණේ.
ඒත් ඩික්ෂනරිය බලන්න කම්මැලි නිසා වචනයක තේරුම අහනවා ඇරෙන්න මං වැඩිපුර තාත්තාට වාතයක් වෙලා නෑ. සමාජ අධ්‍යයනයේ උගන්වපු සමහර දේවල්වලට වඩා තාත්තා කියපු කතා වෙනස්. ඒ වුනත් තාත්තාගේ ඉතිහාස භූගෝල දැනුම මට ප්‍රයෝජන වුණා.
මැත්ස් ද බයෝ ද කරන්නේ, පේරාදෙනි ද කටුබැද්දේ ද යන්නේ වගේ තීරණ පවා මට ඕනෑ විදියට ගත්තා මිසක් තාත්තා ඒවට ඇඟිලි ගහන්න ආවේ නෑ.
පේරාදෙනියේ ගත කරන අවසන් සති කිහිපය.
ආදරණීය තාත්තේ,
විභාගයට තව මාසයයි. තව සති හයකින් පමණ සියළු වැඩ අවසානයි. ඊට පෙර ගෙදර එන්න වෙන්නේ නෑ. එනිසා, මුදල් ටිකක් වැඩිපුර එවන්න.
මේ පුතා
ආදරණීය පුත්‍රයා වෙත,
මේ සමග මනිඕඩරයක් එවා ඇත.
පන්ති සාමාර්ථයක් ඇතුව විභාගය සමත්වෙන්න උත්සාහ ගන්න.
තාත්තා
වසර කිහිපයකට පසු
"දැන් ඔය පීඑච්ඩී එක ගන්න නං පොතක් ලියන්න ඕනෑ නේද?"
"ඔව් තාත්තේ රිසර්ච් එකක් කරලා තීසිස් එකක් ලියන්න ඕනෑ!"
"එහෙනං අපිටත් බැරියැ උඹ ලියන පොත කියවන්න දවසක".
තවත් වසර පහකට පසු
"කෝ බං අර උඹ ලියනවයි කියපු පොත ලිව්වද?"
"ලියාගෙන යනවා තාත්තේ දැන් පිටු එකසිය පනහක් ලියලයි තියෙන්නේ."
"ඔන්න ඕක වවාගෙන කන්නේ නැතුව ඉක්මනට ලියලා දාපං!"
තවත් වසර දෙකකට පසු
"අනේ උඹයි මායි ලියන පොත්!"
තවත් වසරකට පසු
"තාත්තේ මෙන්න තෑග්ගක්."
තාත්තා ගේ මූණ පුරා විශාල හිනාවක්.
"ආ! උඹ පොත ලිව්වද?"
"නෑ තාත්තේ, මේක නවල් එකක්."
"නවල් එකක් මෙච්චර ලොකු ප්‍රමාණයේ?"
"මේක ඩෑන් බ්‍රවුන් ගේ ඩාවින්චි කෝඩ් පොතේ ඉලස්ටේර්ටඩ් එඩිෂන් එක."
ඒ හිනාව අතුරුදහන් වුනා එක් නිමේෂයකින්.
"ආ, ඒකද? මං හිතුවා උඹ තීසිස් එක ලිව්වා කියලා!"
තාත්තේ මට සමාවෙන්න. මං තාත්තා ගේ දෙවෙනි බලාපොරොත්තුව ඉටු කලේ නෑ. මට මේ පසුතැවිල් ජීවිතය පුරාම තියේවි.
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතාව මීට වඩා හොඳින් ලියවෙයි කියලා මං හිතාගෙන හිටියත් ඔයිට වැඩිය ලියන්න ශක්තියක් මට මේ මොහොතේ නෑ.
අදට (දෙසැම්බර් 2) මගේ තාත්තා මියගොස් හරියටම අවුරුද්දයි.