Sunday, 30 March 2014

දරු දුක කියන්නේ දරුවන් ගෙන් ලැබෙන දුක ද නොහොත් ලෝකෙන්ම පජාති දුක! - Parenting - What not to do


සාමාන්‍යයෙන් නම් "දරු දුක" කියන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ හදවතේ ඇති වෙන දුකයි.

දරුවන්ට ලෙසක් දුකක් හැදුණාම, දරුවන් අනතුරක වැටුණාම, දරුවන් තාවකාලිකව හෝ තමන් අතහැරලා ගියාම, එහෙමත් නැත්නම් අකාලයේ වියෝ වුණාම දෙමව්පියන් කම්පාවට පත්වෙන එක, දෙමව්පියන්ට "දරු දුක" දැනෙන එක, සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවයක්.

දරුවන් නැති අයටත් ඒ නැති නිසාම "දරු දුක" දැණෙනවා.

මට හිතෙන්නේ "දරු දුකේ" තවත් ප්‍රභේදයක් තියෙනවාය කියලයි. ඒක තමයි, දරුවන් ගේ නොකටයුතුකම් නිසා, දරුවන්ගෙන් සිදුවෙන කරදර නිසා දෙමව්යන් ඇතිවන සැබෑ දුක!

මං පෙරේදා දාපු විෂම චක්කරයේ පෝස්ටුවට අදාල දෙවෙනි කතන්දරයයි මේ.

මේ කියන වැඩිහිටි දෙමව්පියන් යුවලට පුතුන් දෙන්නෙක් හිටියා. ලොකු පුතා රජයේ එක්තරා සේවයකට බැඳී එතැනින් උසස්වීම් ලබා ඉහල තත්වයක රැකියාවක් කරන්නේ මේ වන විට. ඔහු විවාහ වී සිය පවුල සමග ජීවත්වෙන්නේ තමන් ගේ නිල නිවාසයේ යි.

පුද්ගලික අංශයේ කම්හලක රැකියාව කළ තාත්තා පැන්ෂන් අරගෙන ඒ මුදලින් තමන්ගේ ගේ තරමක් හොඳට හදා ගත්තා. මේ කාලය වෙනකොට පොඩි පුතාත් කසාද බැඳලා බිරිඳ සමග ඒ නිවසේ ම පදිංචියට ආවා.

කොහෙමටත් සිංහල සිරිත අනුව ගේ හිමිවෙන්න තිබුණේ බාල පුතාටයි. ඔවුන්ට තිබුණු එකම දේපල ඒ පරචස් දහයක පමණ ගම්බද ඉඩම් කෑල්ල නිසා ලොකු පුතාට කිසිවක් හිමිවුණේ නෑ. මං දන්න තරමින් ගෙය සහිත ඉඩම පොඩි පුතා ගේ නමට ලිව්වා ජීවිත බුත්තිය සමග.

වයසක තාත්තයි අම්මයි ගෙදර මහන මැෂිමක් තියාගෙන ඔය පමුණුවේ කර්මාන්ත පුරයට අදාල ගෘහ කර්මාන්තයක් කරන්න පටන් ගත්තා, එදා වේල හොයා ගන්න.

ටික දවසකින්ම ලේලි සහ නැන්දම්මා අතර ප්‍රශ්ණ, ආරවුල්, අඩදබර ඇතිවෙන්න පටන් ගත්තා.

මං දන්නේ නැන්දම්මා ගේ පැත්ත විතරයි. ඇය කියන විදියට තව දුරටත් එකම ගෙදර ඉන්න, එක කුස්සියේ උයාගෙන කන්න, තමන්ගේ රෙදි මහන සුළු කර්මාන්තය කරන්න බැරි තත්වයකට පත්වුණා.

පුතා ඉතිං ගන්නේ තමන්ගේ බිරිඳ ගේ පැත්ත නේ!

අම්මයි තාත්තයි කොහේ කියලා යන්නද? ඒ දෙන්නා කෙරුවේ තමන් ගේ ගෙදර පැත්තකින් එක බිත්තියකටම අල්ලලා පොඩි හට් එකක් වගේ කාමරයකුයි, කුස්සි කෑල්ලකුයි ලීයෙන් හදාගෙන ඒකට පදිංචියට යන එකයි.

මං දන්නා තරමට අන්තිමේ දී එතැනත් ඒ විදියට තමන්ගේ පාඩුවේ ඉන්න බැරි තත්වයක් ඇතිවෙන්න ඇති.

මේ අතරතුර, මේ ජෝඩුව දන්නා කියන ගෙදරක හිටිය තවත් වයසක ජෝඩුවක ස්වාමි පුරුෂයා මිය ගියා. ඒ වැන්දඹු අම්මාට එතැන් සිට තනියම ඒ ගෙදර ඉන්න බැරි නිසා, මේ කතානායක ජෝඩුවට ආරාධනාවක් ආවා එහේ ඇවිත් නතර වෙන්නය කියලා!

වැඩිහිටි අම්මා කෙසේ වෙතත් සමහර විට තාත්තාගේ වැඩි කැමැත්තක් නැති වෙන්න ඇති තමන් ගේ ඉඩමෙන් පිටවෙලා යන්න. කොහොම නමුත් අන්තිමේදී මේ දෙන්නා ඒ ලැබුණු ආරාධනාව පිළිගත්තා.

නමුත් අළුත් ගෙදර පැත්තක පදිංචියට ගිහින් තමුන් ගේ කර්මාන්තෙත් කරගෙන අවුරුද්දක්වත් ඉන්න ලැබුණේ නෑ, මේ තාත්තා මියගියා!

දැන් මොකද කරන්නේ?
කොහේද මිනිය තියන්නේ?
කොහේද මළගෙදර ගන්නේ? පාංශුකූලය දෙන්නේ? මලබත උයන්නේ?

මේ තාවකාලික නවාතැනේ ද? තමන්ගේ පැල් කොටේ ද? දැන් පොඩි පුතා අයිතිකරගෙන ඉන්න තමන්ගේ නිවසේ ද? නැතිනම් ලොකු පුතා ගේ නිල නිවාසයේ ද?

ලොකු පුතා ගේ නිල නිවසට මිනිය ගෙනියන්න බෑ. ලෑලි පැලේ මිනිය තිබ්බොත් කොහොමද පුතා ලාගේ යාළුවන්ට හෙම මරණේ කියන්නේ? මොන විලිලැජ්ජාවක්ද තමන් ගේ තාත්තා ඒ වගේ ලී පැලක ඉන්නවාය කියන එක?

අන්තිමේදී ඒ පියා ගේ අවසන් කටයුතු කෙරුණේ මේ නවාතැන් ගත් නිවසේදීයි.

පුතා ලා, ලේලි ලා, පුතාලාගේ ලොකු ලොකු යාළුවෝ ඇවිත් මිය ගිය පියාට අවසන් බුහුමන් දක්වලා සිත් සන්තොසින් ආපහු ගියා!

දරුවන් දෙමව්පියන්ට දෙන දරුදුක එලෙසයි!

මේ කතන්දර දෙකේ එක එක සුවිශේෂී කරුණු කාරණා තියෙන්න පුළුවනි, නමුත් මං මේවා ලියන එකෙන් අදහස් කෙරුවේ අපේ සමාජයේ තියෙන මේ දෙමව්පියන් අමාරුවේ වැටෙන වි’ෂම චක්කරය ගැන මගේ මතය කියන්න අඩිතාලමක් හදාගන්න එකයි.

1. දරුවන් මෙලොවට බිහි කළා නම්, ඔවුන් බලා කියා ගැනීම, කන්න, බොන්න, අඳින්න දීම, ඔවුන්ට හරි මග පෙන්නා දීම, ඉගෙනුමට ඉඩ සැලසීම දෙමව්පියන් ගේ වගකීමකි.

2. දරුවන් වැඩිහිටි වයසට පත්වූ විට තම තමන්ගේ කාරණා කටයුතු ස්වාධීනව කර ගැනීම දරුවන් ගේ මූලික වගකීමයි. එය දෙමව්පියන් ගේ මූලික යුතුකම්වලින් පරිබාහිර වේ.

3. දෙමව්පියන් ගේ වගකීම විය යුත්තේ තමන් ට තව දුරටත් ආදායමක් උපයා ගැනීමට නොහැකි අබල දුබල තත්වයට පත් වූ පසු ජීවත්වීම සඳහා සම්පාදන සපයා ගැනීමයි.

4. දෙමව්පියන් තමන් ගේ දේපල, උපයාගත් දේ, අතමන්ගේ අර්ථසාධක අරමුදල වැනි දේ දරුවන්ට බෙදා දීම තමන් ජීවත්වන කාලය අතරතුර කිසිසේත් ම නොකළ යුතුය.

5. ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ තමන් ගේ දේපල තමන් ගේ මරණයෙන් පසු කාට කොයි ලෙස හිමිවිය යුතුද යන්න ගැන අවසන් කැමති පත්‍රයක් ලියා තැබීමයි.

6. තමන්ගේ දේපල, ධනය තම දරුවන්ට දී, පසුව ඔවුන්ගෙන් තමන්ට සැලකිලි බලාපොරොත්තු වී, ඒ අපේක්‍ෂා කඩවී විඳින "දරු දුක" තරම් වෙනත් පජාති දුකක් මෙලොව නැතිවා විය යුතුය.

-කතන්දරකාරයා

ප/ලි:
පසුගිය කතන්දරට අදාලව අදහස් දැක්වූ සැමටත් මේ කතන්දරය කියවන, අදහස් දක්වන ඔබ සැමටත් ඉතා ස්තුතියි.

(image: http://gossiplankalive.blogspot.com.au/2013/12/ajasaththa-sinhala-film.html)

71 comments:

  1. //තමන්ගේ දේපල, ධනය තම දරුවන්ට දී, පසුව ඔවුන්ගෙන් තමන්ට සැලකිලි බලාපොරොත්තු වී, ඒ අපේක්‍ෂා කඩවී දරුදුක විඳීම තරම් වෙනත් පජාති දුකක් මෙලොව නැතිවා විය යුතුය//

    ++++++++++++

    ReplyDelete
    Replies
    1. මේ උපුටා දක්වා ඇති වාක්‍යය පසුව තරමක් වෙනස් කරන ලද බව සලකන්න.

      Delete
  2. නිල් කොලර් මල්ලී: ඒකීය අක්කේ, අද කකාගේ පෝස්ට් එක ගැන අක්කාගේ අදහස කුමක්ද?

    ඒකීය අක්කා: දරු සම්පත් රටේ තිබුණ පමණින් එයින් සෞභාග්‍ය උදාවෙන්නේ නැති බවත්, දරු සම්පත් යනු මිනිස් උත්සාහය එකතු වීමෙන් පමණක් පරිහරණයට ගැනීමට හැකිවෙන්නක් බවත්, දරු සම්පත් වලට මිනිස් උත්සාහය එකතු විය යුත්තේ කෙසේදැයි කියා දන්නේ වෙළඳපොල මිසෙක රට වෙනුවෙන් සැලසුම් හදන්නට දන්නා දැනුමැතියන් කියාගත් නායකයන් නොවන බවත් අද ලංකාවේ වැසියන් හරි බාගයක් පමණ තවමත් වටහා ගන්නට අසමත් වූවකි. දෙමව්පියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අනුගමනය කරන ලද වෙළඳපොලට එරෙහි වැරදි මාර්ගය කුමක්දැයි නොදන්නා අලුත් පරම්පරාවක් ක්‍රයිමියාවේ දී රැසියාවට හේත්තු වෙද්දී ඔවුන් ද සමහර විට තමන්ගේ ජීවිත කාලය තුල දී ම වෙළඳපොලට එරෙහිව කටයුතු කරන්නට නොහැකි බව වටහා ගනු ඇත් දැයි අපට අනාගතයේ දැනගන්නට හැකිවනු ඇත්ද?

    නිල් කොලර් මල්ලී: විශිෂ්ටයි අක්කේ අති විශිෂ්ටයි. කකාගේ පෝස්ට් එක ගැන මා දැකපු හොඳම විවරණය මෙයයි. මුතුගම ගොඩයා වැනි වම්මුන්ට කට උත්තර නැති වෙන්න දීලා තියෙනවා. මුතුගම ගොඩයා ප්ලීස් ඩෝන්ට් ටේක් දිස් සීරියස්. අයි ලව් යූ මෑන්.

    මුතුගම ගොඩයා: අයි ටූ කැන් ස්පීක් ඉංග්ලිෂ් ඕයි. අයි තින්ක් යූ ආර් හැවිං සම් හීනමාන. අයි ඩෝන්ට් හෑව් එනි හීනමාන. ගෝ ටු හෙල් මෑන්.

    කකා: කරුණාකර ඔබේ මානසික අසහනය දුරු කර ගැනීම පිණිස මගේ බ්ලොග් එක භාවිතා නොකරන මෙන් ඉල්ලමි. මේ කමෙන්ට් එක ඉවත් නොකරන්නේ මට තව ටිකක් හිට්ස් වැඩි කර ගන්න ඕනෑ නිසාය.

    ReplyDelete
    Replies
    1. සභාවේ තදින් සිනා....!

      Delete
    2. හි හි .. ෂෝයි අනේ.

      Delete
    3. පික්ෂු හැදෙනවා...

      Delete
  3. //තමන්ගේ දේපල, ධනය තම දරුවන්ට දී, පසුව ඔවුන්ගෙන් තමන්ට සැලකිලි බලාපොරොත්තු වී, ඒ අපේක්‍ෂා කඩවී විඳින "දරු දුක" තරම් වෙනත් පජාති දුකක් මෙලොව නැතිවා විය යුතුය. //
    නමුත් බොහෝ දෙමව්පියන් මේ දුක විඳිති. ඔවුන් එය විඳිනා බව නොඅඟවති මන්ද ඔවුන් දරුවන්ට ඒතරම්ම ආදරය කරනා බැවිණි..

    ReplyDelete
    Replies
    1. සියයට සියයක් එකඟයි ඕක තමා ඇත්ත!!!!!

      Delete
    2. පහලින් ට්‍රෑ කියා ඇති පරිදි "ලොකුම ගැටළුව මේ වගේ දෙයක් පිට කෙනකුට කියන්නත් ලැජ්ජා හිතෙන එකයි."

      Delete
  4. සිදුවීම් වෙනස් උනත් අපේ සමාජේ ගොඩක් තැන් වල ඔය කතාව ඔය විදියට සිද්ද වෙනවා. මේක කියවගෙන යන අතරේ ඔයිට ගොඩක් දුරට සමාන කතාවක් මට මතක් උනා. ම දැකපු ඇත්ත අත්දැකීමක්.එක මට මගේ බ්ලොග් එකේ ලියන්නත් හිතෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ කතන්දර ගේ "විෂම චක්කරය" පොස්ට් එකේ මම කරපු කමෙන්ට් එක මේකටත් සීයට සීයක් වලංගුයි කියල තමයි. දෙමවුපියෝ සහ දරුවෝ තම තමන් ඇති ඉටුවිය යුතු යුතුකම් පහර හැරීම මෙයට මූලික හේතුවයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ දෙමව්පිය යුතුකමක් තමයි දරුවන්ට බරක් නොවී ජිවත්වීමට ක්‍රමයක් සාදා ගැනීම කියායි.

      Delete
  5. ඒක නම් පජාති දුකක් ම තමයි‍. ලොකුම ගැටළුව මේ වගේ දෙයක් පිට කෙනකුට කියන්නත් ලැජ්ජා හිතෙන එකයි. (හිතේ දුක තුනී කරගන්නට පුළුවන් එක සාර්ථක ක්‍රමයක්ලුනෙ ඒක කාට හරි කියන එක.)

    ඒත් මේ විෂම චක්කරේ නම් කවදාවත් විස‍ඳෙන එකක් නැහැ. එන්න එන්නම තත්වය අවදානම් අතටයි හ‍ැරෙන්නෙ.මේකට එක හේතුවක් වෙන්න ඇති දෙමව්පියන් දරුවන්ට තියන ආදරේ ගැන දරුවන්ට හැඟීමක් නොදැනෙන එක. ආදරේ තිබුනට ඒක පේන්නෙ නැහැනේ. දෙමව්පියන් ටූ බිසි. දරුවන්ට ආදරේ පෙන්නන්න වෙලාවක් නෑ. අවශ්‍ය හැම දෙයක්ම කරලා දුන්නත්, හිත ඇතුළෙ ආදරේ උතුරා ගැලුවත්, දරුවන්ට ඒක පේන්නෙ නෑ. ඒ නිසාම, දෙමව්පියන් ඉන්න හිටින්න තැනක් නැතිව අවසානයේ කර‍දරේ වැටුනම එයාලගෙ දුක මේ දරුවන්ට දැනෙන්නෙ නෑ.

    කොහොමටත් මේ අළුත් පරම්පරාවල දරුවන්ගෙ එම්පති එක හරිම අඩුයි වගේ. මට ඒ අතින් මගේ පුතා ගැන ආඩම්බරයි. ඒ ගැන පොඩි උදාහරණයක් දෙන්නෙ මගෙ ලකුණු වැඩි කරගන්න නෙවෙයි, ලෝකෙට ප්‍රයෝජනයක් වෙයි කියල හිතාගෙනයි.

    දවසක්, අපේ මස්සිනාගෙ පුත්‍රයා අපේ ගෙදර පදිංචියට ආවා ටික කාලයක් නවතින්න, ක්ලාස් යන්න. අපේ පදිංචිය නුගේගොඩ ඉඳලා කිලෝ මීටර් 4ක් වගේ දුරක වීම මෙවැනි දේ සිදුවීමට හේතුවක්. නෑදෑයෝ මිත්‍රයෝ ක්ලාස් යාමට සහ හොස්පිටල් සර්විසස් ලබාගැනීමේදී නවාතැන වශයෙන් තෝරගන්නෙ අපේ ගෙදර. (ගේ ආණ්ඩුවේ උනාට ගෙදර අපේ)

    ඉතින් මේ මස්සිනාගෙ පුත්‍රයා තරුණයෙක් වුනාට පලාත ගැන හුරුපුරුද්දක් නැති නිසා රෑ බෝ වෙනකොට අපට ටිකක් මොකක්ද වගේ. ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස් එකක් නැති වෙන්න පුළුවනි, අපේ රටේ අගනුවර එහෙම තැනක්. චාටර් වෙලා නැති කොල්ලෙක් රෑට ටැක්සියක ත්‍රී වීල් එකක යන එකත් ටිකක් කේස් එකක්. ඉතින් දැන් කොහොමහරි හිතුවටත් වඩා රෑ වෙලා.පස්සෙ මං තීරණය කළා වාහනේට වයිෆ්වත් දාගෙන හෙමින් සැරේ නුගේගොඩ පැත්තට යන්න. මේ අතරවාරයේදී වයිෆ් හතර අතේ කෝල් කරල පුතා ගැන ආරංචියක් තියනවද කියල බලන්න. ඒකෙන් වුනේ නෑදෑ පරම්පරාවම කලබලයට පත් වෙන එකයි.

    කොහොමහරි අපි කිලෝ මීටර් එක හමාරක් විතර දුරක් නුගේගොඩ පැත්තට යනකොට මං දැක්ක අපේ මෑන් පයින් එනව ගෙදර පැත්තට. ඒ පාර ඔන්න ඇඟට ලේ ටිකක් එහෙම ඉනුවා. මං කිව්ව වයිෆ්ට දැන් සිටුවේෂන් අප්ඩේට් එකක් දෙන්න කියල වහාම ස්ටේක් හෝල්ඩර්ස්ලා සියළු දෙනාටම. ඉස්සෙල්ලම වයිෆ් කෝල් එක ගත්තෙ මස්සිනාට. ඊ‍ට පස්සෙ අක්කට. ඊ ළඟට අපේ ගෙදරට. අපේ ගෙදරින් ආන්සර් කළේ පුතා. එයා කියල තියෙන්නෙත් මං කියපු කතාවමයි.

    ඒකෙන් උෟ මගේ පුතෙක් කියල තහවුරු වුන එක ඇරෙන්න මට ආඩම්බරයක් ඇති වුනා ඌට අනිත් මිනිස්සු ගැන හැඟීමක් තියනව කියල. ඒත් අනිත් ස්ටේක් හෝල්ඩර්ස්ල කවුරුවත් ඒ විදිහට රෙස්පොන්ඩ් කළේ නෑ. සමහරවිට ඒ අප්ඩේට් කිරීම කොහොමටත් අපි කරයි කියල හිතල වෙන්නත් පුළුවනි.

    කොහොම නමුත්, ඒ තරමින් හරි හැඟීමක් දැනීමක් තියන මිනිස්සු ටිකක් ලෝකෙ බිහිවෙනව නම් මං කැමතියි.

    ReplyDelete
    Replies
    1. දිගට දිගේ ... මෙය කියවා ... ♫
      කොයිල් උනේ .... මට විතරද ? ♫ O.o

      Delete
    2. කොයිල්????

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ ට්‍රැ සහබ්,

      කතාව චුට්ටක් විතර පැහැදිලි මදි ය!

      @මා.පි භයියා,

      නහී..... නහී..... මේ හූ නා!!!!!

      @ඇනෝ ජී,

      අච්චා... අච්චා....... කොයිල් මීන් මඤ්ඤං හේ!!!!!!!!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. මේ කතාව නං නොතේරේ. හේතුව ව්‍යංගයෙන් කීමයි.

      Delete
  6. 1.✓ , 2.✓, 3.✓, 4.✓, 5.✓, 6.✓
    kaka got all the points right , well done :D

    හතර වෙනි කරුණ මෙසේ අප්ඩේට් යුතුයි.

    4. දෙමව්පියන් තමන් ගේ දේපල, උපයාගත් දේ, අතමන්ගේ අර්ථසාධක අරමුදල වැනි දේ දරුවන්ට බෙදා දීම තමන් ජීවත්වන කාලය අතරතුර කිසිසේත් ම නොකළ යුතුය. එය තමන් ජිවත් වන තෙක් යැපීමට සහ , ලෙඩකට දුකකට ගැනීමට තිබෙන එකම ධනයයි. එයින් ගෙවල් සෑදීම , දුවගේ මගුල ජයටම ගැනීම , අදහාගත නොහැකි පොලියට සක්විති ළඟ තැන්පත් කිරීම , යකඩ ලදරන් ගැනීම , නයට දීම ආදී දේ කිරීම අන්ත මුග්ධ (©2014 ශපිරෝ , අරුණි) වැඩකි.

    ReplyDelete
    Replies
    1. @මා.පි භයියා,

      මේ 100% ඇග්‍රී හේ!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මහසෝන් ගෙන් ෆුල් මාක්ස්!

      පුහ්!

      යු මේඩ් මයි ඩේ මේට්!!!

      Delete
    3. @කහානි භූත්
      වාපස් ආනේකේලියේ මුබාරක් හෝ ... අබ් සිර්ෆ් කවා සහාබ් බාකි හේ තෙරා ටෝලි මේ

      @කකා
      මයි ප්ලේශෑර් කකා :D

      Delete
  7. කියන්න කිසිත් නැත. සියල්ල සමඟ 100% එකඟයි, මේ කාළකන්නි චක්‍රය මේ ජැනරේසොන් එකෙන් හෝ නැවතිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔන්න රතු එළිය දැල්වූවා!

      Delete
  8. අවංකවම කියනවනං ඔය වත්කම් වලින් මම දැනටත් රෝලක් යනවා ඔවුන්ගෙ අනුදැනුම පිට .. ඒත් දෙමව්පියො දුන්නෙ සද්භාවයෙන් ..!!
    වැරදි නං තමා.. ඒත් ගේමක් නොගහ කවද ගොඩ එන්නද කකා !!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්තෙ :)
      පත්තර මල්ලි , උඹ ඇත්තම කිව්වා. ඒක වැරදි නෑ බං. ගොඩ ඇවිත් ගත්ත ණය ගෙවපං, එච්චරයි

      Delete
    2. @ පත්තර මල්ලී භයියා,

      "ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ.....!"

      "හිමිවුණු ඔබ මට අහිමි වෙලා....... කොහොමද වාවා ගන්නේ මා....."

      "සිත මගෙ රිදුණා ඔබ හැර ගිය දා.... මා තනිකර ගිය දා....."

      "ඇස ගැටෙනා ද දහසක් නෙතු මත..... ඔබේ දෑසම මා සෙව්ව තරම්....... (දෙපාරක් කියන්න!)

      ඔබ නොදනී..... මුලු ගමම දනී.....!!!!!!!"

      (හික්z! අපූරිවී දීදී දැනගත්තා කියන්නේ ඉතින් ගමම දැනගත්තා වගේ තමයි!!!!)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. පිල්ලී මුන්නා අපේ කා.කා.සු .ජා.ස ට මොකෝ උනේ අප්පා ඉදගෙන..

      Delete
    4. @ අපූර්වී දීදී,

      සිරාවටම???

      කාවා ජී ගැන තාම තොරතුරක් නෑ නේ!!!!!!

      (මට මේ වගේ වෙලාවට අක්කණ්ඩිගේ අර පෝස්ට් එක මතක් වෙනවා!)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. හි හි අනේද කියන්නේ ඉදගෙන

      Delete
    6. ඇනෝ මචං ..ඔව් බං තටු ගහන්නේ ඉගිලෙන්න නෙවෙයි නැගිටින්නනේ..ගොඩ ආව ගමං ඒව බේරන එක මගේ යුතුකම..බෙල්ල ගියත් ඒක කරනවා..මං දකින විදියට ඔවුන් ලොකු සතුටක් ලබනවා ඒ වත්කම් හරි විදියට යොදවද්දි මචං..

      පිල්ලි ජී.. දිගටම වරෙං කට්ටි පනින්න බෑ පුතේ ඈ !!
      අපූරි මිස්.. ඔය ඉන්නේ යාලුවා ඇවිත් ..දැං නාඬ හිටු !!

      Delete
    7. @ පත්තර මල්ලි

      ඔබ සෙල්ලං කරන්නේ දෙමව්පියන් ගේ අනාගතය සමග බව නිතර සිහියේ තබාගන්න.

      Delete
    8. පත්තර බ්‍රදර්.....උඹ ඇත්ත ලියන එක වටිනවා..දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන විශ්වාසය මත තමයි ඕකේ ගුණ සහ අගුණ තීරනය වෙන්නේ. ගත්තා මාරු මොඩ්ල් එකේ එවුනුත් ඉන්නවානේ..එහෙම බොහොමයක් මම දන්නවා.

      Delete
    9. ආයෙත් අහල අරු අයියෙ.. මන් දන්න කීප දෙනෙක්මත් ඔය වැඩේ කරා.. හෙන ගහනව බං !!!
      හිතලම නොදී මඟ අරිනව.. අම්ම තාත්තටත් පොලු තියද්දි පිට උන්‍ට කොහොම නොකරයිද බොස් !!!

      Delete
  9. ඔයාගේ අවසන් අදහස් 6 සමග මාත් එකඟයි.. මං සේවය කරන රටේ ඔය හැමදෙයක් ඒ විදියට සිද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. @ අපූර්වී දීදී,

      අරේවා!!!!!!

      වයසට ගියපු කාලෙක මාත් එනවා ඔය පැත්තේම සෙට්ල් වෙන්න!!!

      (අර බෙල් පෙපර් සලාද කාලා එකපාරින්ම ස්වර්ගස්ථ වෙන්න බැරියැ!!!!!!!!)

      හික්z!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මුන්නෝ තව සති දෙකකින් මන් පරන ස්ටෝරි සේරම එවන්නම් හොදේ. මෙහෙදි වැඩිය ටයිම් නහී හේ,

      Delete
    3. @ අපූර්වී දීදී,

      එකෙන්ම අක්කණ්ඩී!!!!!!

      මග බලා හිඳිමි!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. @ අපූර්වී

      රට ප්‍රශ්ණයක් නෑ. ඕනේ තැනක පුළුවනි. අන්න අර මර්වින් සොහොනත් හදාගෙන තියෙන්නේ දැන්මම.

      Delete
  10. තමන්ගේ දේපල, ධනය තම දරුවන්ට දී, පසුව ඔවුන්ගෙන් තමන්ට සැලකිලි බලාපොරොත්තු වන්නේ ඇයි කියා මා කවදත් සිතනවා.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මෙහෙම කියනවට , තමන් සතු සියලුම දේවල් දරුවන්න්ට දෙන්නෙ දෙමව්පියන් දරුවන්ට අසීමිතව ආදරය කරන නිසා, දරුවන් දෙමව්පියන්ව බලාගනීවි කියන අහිංසක බලාපොරොත්තුව වැරැද්දක්ද?

      Delete
    2. මං හිතන්නේ දෙමව්පියන් ඉන්නා තුරු දේපල අයිතිය ඔවුන්ට විය යුතුයි!

      Delete
  11. අවසන් අදහස් 6 ට මාත් එකඟයි.. සිඟාලෝවාද සූත්‍රයේ මාපිය දූ දරු සබඳතා වලිනුත් මේ දේම තවත් හොඳින් පැහැදිලි වෙනවා ...

    ReplyDelete
  12. දෙමව්පියන් ලෙස දරුවන්ට විය යුතු යුතුකම් නොපිරිහෙලා කලයුතුයි.
    පෙරලා දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු නොවිය යුතුයි.
    කිසිදා දීග ගිය දරුවන් සමග එකට වාසය නොකළ යුතුයි.
    ඉහත කරුණු තුන අනුගමනය කල විට නිදහසේ අවසන් හුස්ම හෙළිය හැකියි.
    මේ මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. @ මාමා ජී,

      අරේවා!!!!!!!!

      අපේ මාමා ජීට සත්‍යාවබෝධය ලැබිලා!!!!!!

      100%ක්ම එකඟයි මාමා ජී!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. අප්පේ ඇති යාන්තං කුනුහරුපයක් නොකියා මොලේ ඇති කතාවක් කිවා

      Delete
    3. @ Kenji
      /* කිසිදා දීග ගිය දරුවන් සමග එකට වාසය නොකළ යුතුයි.*/

      මේක ඉතාම වැදගත් උපදෙසක්.
      ඇත්තටම මට මේ ගැන සඳහන් කරන්න අමතකම වුණා. ස්තුතියි කෙන්ජි.

      Delete
    4. @ කෙන්ජි.....අපේ අම්මායි, වයිෆ්ගේ අම්මායි දෙන්නාම අපිට කියලා දීපු පාඩමක් තමයි...බැන්දාට පස්සේ මහගෙදරින් වෙන් වෙලා ජීවත්වෙන්න කියන එක. මම හදපු ගෙදර පවුලේ අය ජීවත්වෙද්දි අපි දෙන්නා කුළියට ගෙයක් අරන් ගියා. ඒ පාඩම හරියට හරි දෙපාර්ශයටම. වයිෆ්ගේ අම්මා කිව්වේ "පුතා..බස් හෝල්ට් එකක් වත් ඈතින් ජීවත් වෙන්න" කියලා. මසුරන් උපදෙස්.

      Delete
  13. dukata pun gahewwanam meeta wada honda

    ReplyDelete
  14. රොෂාන්31 March 2014 at 07:42

    කතන්දර,

    දැන් ටික කාලෙක ඉඳන් ඔබට වස්තු විෂය වෙලා තියෙන්නෙ දෙමාපිය දූ දරු ප්‍රශ්ණ බව පේනවා. ඉතාම හොඳ කාලීන ප්‍රවේශයක් ඔබ අරන් තියෙන්නෙ. මම හිතන්නෙ අපි වයසින් මුහුකුරා යනවිට තමයි ඔය දේවල් ගොඩක් හිතට වදින්නෙ. මම මේ බ්ලොග් එක කියවන තරුණ අයගෙන් ඉල්ලා හිටින්න කැමතියි කතන්දර ඉස්මතු කරන කාරණා සුළුකොට තකන්න එපාය කියන එක. සමහරවිට ඔබලා බ්ලොග් කියවීමෙන් බලාපොරොත්තු වන්නේ සරළ රසාස්වාදයක් වෙන්න පුලුවන්, ඒත් ඔබ වයසින් මුහුකුරා යන විට ඔබටත් මේ දේවල් මේ ආකාරයෙන්ම අත්විඳීමට සිදුවනවා, ඒක තමයි 100% ඇත්ත. මට අවුරුදු 36 වෙනවා, මම ජීවිතේ අන්ත දුප්පත්ව ආරම්භ කල අයෙක්, මට පොඩි කාලෙ ඉඳන් කිසිම යහලුවෙක් හෝ කිට්‍ටු හිතවතෙක් හිටියෙ නැහැ ජීවිතය ගැන කියා දෙන්න. ඒ නිසාම සමහර අවස්ථාවල මම හරිම ක‍ටුක අත්දැකීම් වලට මුහුනදීලා තියෙනවා. නමුත් ඔබලා හරිම වාසනාවන්තයි. අද ඔබලාට උපදෙස් දීමට කතන්දර වැනි අයළුවන් ඕනෑ තරම් සිටිනව, එමනිසා අපේ පරම්පරාවට නොලැබුන විදියේ අවස්ථාවක් ඔබලාට ලැබී තිබෙනවා (අප දැනගත්තේ ඇනගත්තාට පසුවය, නමුත් ඔබලාට ඇනගැනීමට පෙරම එවැනි අවස්ථා ගැන කලින්ම දැනගෙන එය මගහැර නිවැරදි මඟ යාමට අවස්ථාවක් උදාවී ඇත).

    කතන්දර, මගේ අදහස් දැක්වීම සබ්ජෙක්ට් එකෙන් පිට ගියාද මන්දා, සමාවෙන්න, මමත් ඔබ ඉහත ලියා ඇති දෙයට යමක් එකතු කිරීමට කැමතියි.
    1. පුලුවන් තරම් හොඳට ඉගෙන ගන්න, ඉගෙන ගත් දෙයක් කවදාක හෝ තමාගේ ගැලවීමට උපකාරී වෙනවා. අත්දු‍ටුවයි! සත්තයි!
    2. ඩිප්ලෝමා එකක්, උපාධියක් ගත්ත පමණින් ඉගෙනීම ඉවර නොවේ. විශේෂයෙන්ම මේ කියමන අදට ඉතා ගැලපේ. දිනපතා අළුත් දේ තමන්ගේ ක්ෂේත්‍රයේ ඉගෙනගන්න, අද එයට විශාල අවස්ථාවක් ඇත.
    3. විශය දැනුම, කුසලතා, ආකල්ප (subject knowledge, skills, aptitude) වර්ධනය කරගන්න, ඔය දේවල දිනකින දෙකකින්තමුන්ට පිහිටන්නේ නැත, එනිසා දිනපතා මහන්සි වී වැඩ කරන්න.
    4. ඉදිරියට ස්ථිර ‍රැකියා කියා දෙයක් නැත
    5. තමන්ගේ ඉදිරි ජීවිතය කොයි වගේ වියයුතුදැයි දැන් සිටම සිතේ මවා ගන්න. (එසේ සිතේ මවාගෙන නිකන්ම සිටිනවා වෙනුවට ඒ සඳහා සාධනීය පියවර ගන්න.)
    6. තමුන්ට ලමයින් සිටිනා කාලයකදී ඔවුන්ට ලබාදිය හැකි ගුනාත්මක භාවයෙන් ඉහලම අධ්‍යාපණය ලබාදෙන්න, පාසල් අධ්‍යාපනය ලබන අතරතුරම ඔවුන් ඉදිරියට යාමට කැමති ක්ෂේත්‍රයක වෘත්තීය සුදුසුකම් ලබාදෙන මෙරට/පිටරට පිළිගත් සහතික පාඨමාලාවකට දරුවා යොමු කරන්න. (වැදගැම්මකට නැති හන්දි ගානෙ පවත්වන, බොරු පාඨමාලා වලට දරුවන් යැවීමෙන් වලකින්න, දන්න කෙනෙකුගෙන් උපදෙස් ගන්න). මෙමඟින් දරුවා පාසලෙන්/විශ්වවිද්‍යාලයෙන් පිටවන විටම ඔහුව/ඇයව කුසලතා සම්පන්න දරුවකු කල හැකිය. එමඟින් නිකරුණේ දරුවාගේ කාලය ගෙදරට ගෙවා දමනවා වෙනුවට හොඳ ‍රැකියාවකට ඔහු / ඇය ඉතාම තරුණ වියේදීම යොමුවීමේ ඉඩ ප්‍රස්තාව ඉතා වැඩිය. එසේ ඌ විට දරුවා ඉතාම තරුණ කාලයේදීම ඉතා ඉහල ඉලක්ක (ආර්ථික, සමාජීය) ලඟා කරගැනීමට හැකි වෙයි. දෙමාපියන් වශයෙන් ලමයින්ගේ යුතුකම් වලින් ඉතා ඉක්මනින් නිදස්වීමට ඉඩසැලසේ.
    7. තමන්ගේ පවුලටමට ජීවිත රක්ෂණයක්, වෛද්‍යරක්ෂණයක් වැනි දෙයකට යම්කිසි මාසික මුදලක්වෙන් කරන්න, නොසිතූ වෙලාවක සිදුවන ලොකු මුදලක් එකවර වියදම් වන දෙයකින් ඔබව මුදවා ගැනීමට රක්ෂණයක් උපකාරී වෙයි. විශේෂයෙන්ම තමන්ගේ අකල් මරණයකදී තමුන්ගේ යැපෙන්නන් දුකේ නොවැටී ඉදිරියට යාමට මෙයින් ලොකු පිටිවහලක් ලැබේ.
    8. මාසිකව යම්කිසි ගනනක් ඉතුරු කරන්න (තමන්ගේ පඩිපත ලැබුන විගසම මුලින්ම ඉතිරියට කොටසක් වෙන් කරන්න, අන්තිමට නොව)

    ReplyDelete
    Replies
    1. @ රොෂාන් සහබ්,

      බොහොත් ෂුක්‍රියා!!!!!!!!

      ඇත්දැකීම් කියන දේ ත්මන්ටම ලැබෙනකම් ඉන්න ඕන්නෑ තමයි!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. @ රොෂාන්
      ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට ඉතා ස්තුතියි!

      මෙවැනි උපදෙස් ඉතා වැදගත්.

      මාත් මගේ දරුවන්ට කියන්නේ ඉතා ඉහල දේවල් ලබාගන්න අරමුණු කරගෙන උත්සාහ කරන්න කියායි. එවිට පොඩ්ඩක් වැරදුණත් ලොකු පාඩුවක් නෑ.

      ඉගෙන ගත් දෙයකින් නම් කිසි කලෙක වාසියක් මිස අවැඩක් වෙන්නේ නෑ!

      Delete
    3. රොෂාන් ඇත්තටම වැදගත් උපදෙස් ටිකක්. ඔය අන්තිම කරුණ තමයි මමත් මෙතන pay yourself first කියල කියල මෙහෙම අහගත්තෙ.

      මෙතන තියන තර්ක විතර්ක ටික බොහොම ලස්සනයි. හැබැයි ප්‍රයෝගික තත්වේ ඔයිට ගොඩක් වෙනස්. කකා,අරු,යකා ඔය හැමෝම ප්‍රශ්නේ දිහා බලන්නේ තමන්ගේ තලයේ ඉඳන්. පොඩ්ඩක් බිමට බැස්සොත් ඔය කියන දේවල් ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද අපේ රටේ කියලා තේරෙයි. ඔය පැන්ෂන් ෆන්ඩ් අරවා මේවා ඔක්කොම හැම කෙනාටම නැ. මාසිකව හම්බකරන සොච්චමෙන් 3/4 කෑමට වියදම් කරන, හතර වටේ නය වෙමින් දරුවෝ පන්ති වලට යවන ...

      තේරුම් අරගෙන ප්‍රයෝජනයක් ගන්න බැරි කෙනාට ඔලුවෙන් හිටගෙන කිව්වත් ම්හු ම තමයි. එකෙක් හරි මේ උපදෙස් වලින් ප්‍රයෝගිකව ප්‍රයෝජනයක් ගත්තොත් වටිනවා

      Delete
  15. @ කාකා ජී & සර්ව ජීස්,

    මේ ගැටලුවට නම් ම්ට පිලිතුරක් ඕනෙමයි!!!

    අතේ මිටේ මොණරු රඟදෙනකොට, ගෙදර ගෑණිව මදිවෙන,

    ඇඟේ හයි හත්තිය තියෙන කලේ රටේම ඉන්න ගෑනු එක්ක වටේම යන,

    ඒ ගැන ප්‍රශ්න කරද්දි, අතින් පයින් සලකන,

    අන්තිමේදී, ලොම් හැලිලා, ඇට දිරනකොට ආයෙමත් ගේ දිහාවට ගාටන,

    සම හරක් පියවරුන්ට නොසලකන දරුවෝ අජාසත්තයො ද???


    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අන්තිම කාලෙදි වැරදි තේරුං අරං හොඳ මනුස්සයෙක් උනොත් කිසි අවුලක් නෑ සලකනවා ..
      ඒ අපේ මනුස්ස කමට.
      කෙනෙක් කරේ නැතත් වරදක් කියන්නත් බෑ !!!

      එහෙම නැතුව ලාස්ට් ඕවරේ යද්දි අහසින් පාත් වෙලා මං අහවලා දැං සලකපියව් මට කීවොත්

      ගිහිං %$&# *#-@%& %# *@-& කියනවා !!!
      ඒ මං , පත්තර මල්ලි..
      මොකෝ මං පුතජ්ජනයා .. නිවන් දකින්න දැම්ම උවමනාවක් මට නෑ !!!

      Delete
    2. කෙටියෙන්,
      අංගුලිමාලත් මහණවෙලා රහත් වුනාය කියනවානේ!
      වෛරයෙන් වෛරය නොසංසිඳේ!

      Delete
  16. දරුවන් කියන්නෙ මිලකලනොහැකි සම්පතක් , ඒකෙ කිසිම අවිශ්වාසයක් නැහැ. ඒත් දරුවෙක් ඉපදුන දා පටන් දෙමව්පියන් තමන්ගේ මරණය දක්වාම ඔවුන් වෙනුවෙන් (කයින් වෙහෙස වෙන්න බැරි වයසෙදි , මනසින්වත් )වෙහෙසෙනවා.මේ විදිහට බලාගෙන යනකොට දරුවො නැති දෙමව්පියන්ට තියෙන්නෙ දරුවො නැති දුක විතරයි කියල මට වෙලාවකට කල්පනාවෙනවා......

    ReplyDelete
    Replies
    1. //දරුවො නැති දෙමව්පියන්ට තියෙන්නෙ දරුවො නැති දුක විතරයි කියල මට වෙලාවකට කල්පනාවෙනවා//

      සෑහෙන්න හිතන්න වටින කතාවක්.

      Delete
    2. ඇත්ත කතාවක්!!!

      Delete
    3. මා කීවේද, දරුවන් නැති අයට ඇත්තේ ද දරු දුක බවයි. ස්තුතියි සෝන්යා!

      Delete
  17. මේකට කමෙන්ටඩු ඇත්තෙ ආයි කියන්න දෙයක් ඉතුරු කරල නැති නිසා වෙන්නැති!

    කක, සම්මාදිඨ්ඨිය ලැබෙන්නත් පින් කරල තියෙන්න ඕනලුනෙ.

    මේ ඔය ගැන මගේ පුදගලික අදහස.

    //අනික ළමයි ලොකුවෙලා අපිව බලාගනියි කියල හිතන් එක ආත්මාර්ථකමී හැඟීමක්. අපේ පවුලෙ සහෝදර සහෝදරියො හතරයි. දැන් අම්ම තාත්ත ලඟ ඉන්නෙ එක්කෙනයි. අනෙක් අය රට රටවල. අපේ දරුවො දෙන්නෙක් හදල අපි ඉතින් කොහෙ බලාපොරොත්තුවෙන්නෙද? ඒවට දැම්ම සැළසුම් කරල ලැහැස්තිවෙන්න ඕන. ඒකයි මගෙයි වයිෆ්ගෙයි තියරිය. නැතුව ළමයි කරේ නෑ කියල පස්සෙ ඒ යට දෙස් දෙන එක නෙමෙයි. ඒ දේ තේරුන් නොගන්න අය වයසට ගියාම දුක් විඳිනව. තව කට්ටියක් දරුවො ලඟ ඉන්න ගිහින් බේබි සිටින් කරනව වයසට ගිහිනුත්. අනික ඉස්සර අත්තම්මල දරුවොන්ගෙ සබ්බ සකල මනාවම කරේ නෑ, හේතුව අම්මලත් ගෙවල් වලම උන්න. ඉතින් ඒ අයට උනේ කවන්න නිදි කරන්න වගේ දේකදි උදව් වෙන්න විතරයි. ඒත් අද අම්මල තාත්තල ඔෆිස්, අත්තමල සීයල බැරි බැරි ගාතෙ බේබි සිටින්.//

    ඇත්ත තිත්තයි, ඒත් කරන්න දෙයක් නෑ මුණ දෙනව හැර!

    ReplyDelete
    Replies
    1. මචෝ......සමහර බුවාලා තාත්තාව ලංකාවේ තියලා අම්මාව තමන් ඉන්න රටට ගෙන්න ගන්නවා කොහොම හරි විසා එකක් හදාගෙන. බුදු ටෝක් දෙන්නේ..ගෙන්න ගන්නේ බේබි සිටින්ග් වලට. තත්වය හරිම දුකයි. බලපන් අම්මාවයි තාත්තාවයි වෙන් කරනවා මදිවට ළමයි බලා ගන්නත් ඕනේ. සමහර පොඩි එවුන්ට සිංහල කතා කරන්න උගන්නලා නැහැ. අම්මලාට ඉංග්‍රීසි බැහැ. උන් කම්පියුටරේ. ආච්චිලා දවල් වරුවෙම උඩ බලාගෙන.

      සමහරු දෙන්නාවම ගෙන්න ගන්නවා. ආතක් බූතක් නැති රටක කූඩුකරපු සත්තු වගේ මේ මිනිස්සු ගෙවල්වලට වෙලා උන්ගේ දරුවෝ බලන් ඉන්නවා. පට්ට සීතලේ එලියට යන්න කියලාද වයසක උදවිය.

      දරුවන්ගෙන් යැපෙන්නෙ නැති දෙමව්පියෝ මේ මර උගුලට අහුවෙන්නේ නැහැ. ආවත් තත්වය තේරුම් ගත්තාම යන්න යනවා. එහෙම අයත් ඉන්නවා.

      Delete
    2. ස්තුතියි ඉන්දික!

      මං දැකලා තියෙනවා සමහර ආච්චිලා සීයලා කැමතියි ආයෙමත් දරු සුරතල් බලන්න. ඒත් ඒක පූර්ණකාලීන ජොබ් එකක් වෙන එක වෙනමම කතාවක්!

      Delete
  18. කලින් කතන්දරේට වැඩිය අද කතන්දරේ ගැන එකඟය

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, සුවිශේෂී අවස්ථා ගැන හිතන්නේ නැතුව පොදු තේමාව ගැන බලන්න.

      Delete
    2. නැ, මට පොදු තේමාව තේරුනා. මට හිතෙන්නේ කකා තමා සුවිශේෂ අවස්තාව තෝරාගෙන තියෙන්නේ. මම දකින දේ සාමාන්‍ය ජීවිතේ.

      Delete
  19. අද කතාවට සම්පූර්ණයෙන් එකඟයි.

    ඒ වගේම ලමයින්ගේ පැත්තෙනුත්, දෙමව්පියන් ජීවත්ව ඉන්නතාක් කල් එයාලගේ සල්ලි විනාස නොකර, එයාලව බලාගන්ට හිතට ගත්තොත් හොඳයි. දෙමව්පියන් ඉතිරි කරපු යමක් දරුවන්ට ඇර, වෙන කෙනෙකුට එයලා ලියලා දෙන්නේ නෑ.

    ReplyDelete
  20. පජාතයි කියන්නේ කැතයි ..අන්තිමයි. ඒකනේ කකා මේ විෂම චක්කරේ වහාම නැවත්විය යුතු.

    ReplyDelete
  21. අපිටත් අනාගතයට මේවා පාඩම් :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.