Friday 30 December 2011

මල්ලී උසස් පෙල විභාගේ ෆේල්! : Younger brother crashes A-Levels


කැම්පස් එකේ ඉගෙන ගන්න අයියා කෙනෙක් ඒ ලෙවල් විභාගේ කරන මල්ලී ට යවපු ලියුමක් ගැන මං දාපු කයි-කතන්දරේ මතකයි නේද?

ඉතිං ඔහොම ඔහොම ගිහින් මල්ලී විභාගේ කරලා, පස්සේ ප්‍රතිපල පිටවුණාම බැලින්නම් මෙන්න මූ විභාගේ ෆේල්. ඒ කියන්නේ කැම්පස් එක හතරමායිමක එන තත්වයක් නෑ ඒ ප්‍රතිපලවලින්.

ඒකෙන් වෙච්ච එකම ප්‍රයෝජනේ තමයි අයියාට තවත් කවියක් ලියන්න නිමිත්තක් ලැබීම.

මෙන්න එදා ලියපු ඒ කවිය!

පුංචි මල්ලියේ

වසර දෙකක් මහන්සී වී වැඩ කළාට විභාගයට
අසමත් වී දුකෙන් තැවෙන පුංචි මල්ලියේ
ඔය විභාගෙ පාස් වෙච්ච උඹේ එකම අයියණ්ඩී
දුක්වෙන හැටි නුඹ නොදනී පුංචි මල්ලියේ
දන්නව නං උඹ හිනැහෙයි පුංචි මල්ලියේ

ආංඩුවේ විභාගයෙන්
පාස් වෙලා දඬුමව ලෙස
කම්මල් බීම සිරගත වී දුක් විඳින්න සිදුවුණාය
කටුබැදදේ කටු ඇනේය
පේරදෙනිය මල් විමනකි
සිතුව නමුත් පතොක් පිරුණු වැලි කතරක හිරවුණාය
සීතල උදුවප් මාසෙක වසන්තයක් උදාවුනත්
සැමදාටම ජීවිතයට ගිම්හානය එළැඹුණාය
පළමු වසරෙ විභාගයත්
පෙර කරුමෙට සමත්වෙලා
තෙවසරකින් තව දුරටත් සිර දඬුවම දික් වුණාය

මෙහෙට එන්න තියෙන රුදුරු
තරගය හින්දා කවදත්
සරසවි බිම සුරපුරක්ය කියා සිතෙනවා
කම්මල් බිම වැලි කතරේ
කෝස්වර්ක් ගිනියම මැද
ඉන්නා විට අපාය දෝ සැක ඇති වෙනවා
දිය හොදි ගල් බත් ගිලින්න
පෝලිම්වල තෙරපෙද්දී
බණ පොත නොබැලුවට දුක්ක සත්‍ය හැඟෙනවා
ගෙදර යැම නිවන් මගයි
හොඳ හැටි වැටහී ඇතිමුත්
අබිනික්මන් කළ නොහැකිව බලා සිටිනවා

විභාගෙ අසමත් වුණාට
දුක් වෙන්නට දෙයක් නැතිය
අපායෙ දොරටුවය වැහුනෙ පුංචි මල්ලියේ
අයිය තරම් පූරුවෙ පව්
උඹ කරලා නැති හින්දා
සිනාවෙයන් සන්තෝසෙන් පුංචි මල්ලියේ
වාසනාව උඹ ගාවයි පුංචි මල්ලියේ!


-කතන්දරකාරයා

ප/ලි:
මේ කවියත් මං මුලින්ම පල කළේ පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ තමයි. පස්සේ මගේ හන්තානේ කඳු පාමුල කවි පොතට ඇතුලත් කළා.

වෙනදා වගේ නෙමේ මේ කවියට විරෝධය පලකරලා මගේ බැචාලා දෙන්නෙක්ම කවි ලියලා තිබුණා. ඒ දෙන්නාගේ විරෝධයට හේතුව වුණේ මං විශ්ව විද්‍යාලය ගැන වැරදි චිත්‍රයක් මවා පානවාය කියන එකයි.

සමහරවිට ඒකට හේතුව මේ දෙන්නා ගේ එවකට තිබුණු දේශපාලන අදහස් නිසා වෙන්න ඕනෑ.

ඒ කවි පන්ති දෙකෙන් එකක් අයියාගෙන් මල්ලීට. ඒකේ කියලා තිබුණේ මගේ මේ කවියට සහමුලින්ම විරුද්ධ අදහස්, ඒ කියන්නේ කැම්පස් එක අපූරු තැනක්, දුර්මුඛ නොවී කැම්පස් එන්න ට්‍රයි කරන්න කියලායි.

අනිත් කවිය මල්ලීගෙන් අයියාට. අයියාගේ ලිපියේ තියෙන මෝඩ අදහස්වල වැරදි පෙන්නලා.

මගේ දේශපාලන අදහස් වුනත් මේ බැචාලා දෙන්නාගේ දේශපාලනය අතින් මුලිකවම වෙනස් වූ ඒවා නෙමෙයි. ඒත් මට හිතෙන දේ ලියනවා මිසක් මං ප්‍රොපගැන්ඩා කරන එකෙක් නෙමේ.

ඉතිං මං කෙරුවේ තවත් කවියක් ලියලා ඊලඟ සතියේ කලා කවයේ බිත්ති පුවරුවේ පල කිරීමයි.

ඒ කවිය හෙට අනිද්දාට විතර දාන්නම්.

(image: http://gadflyzone.wordpress.com/2011/12/28/)

17 comments:

  1. විරුද්ධව පළවුන කවි පන්ති දෙකත් මතක විදියට වත් දැම්මොත් අගෙයි.
    [මං කවි කියවන්න ටිකක් හොර වුනාට, කුතුහලේ ඇවිස්සිලා]

    ReplyDelete
  2. කකා මචං ගාල්ලේ යමුද..ජනවාරි 7 ....
    http://raj-rajmyblog.blogspot.com/2011/12/blog-post_29.html

    ReplyDelete
  3. මටත් ආසයි අනිත් කවි ටිකත් කියවන්න....

    ReplyDelete
  4. අනිත් කවි ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  5. ඉස්සල්ලා අපට අලුත් අවුරුද්දට සුබ පතලා ඉන්ට. ඊලඟට ඉතුරු කවි ටික දාන්ට. :D

    ReplyDelete
  6. මුලින්ම කකාටත් පවුලේ අයටත්, මේ කියවන හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    අනේ මටත් ඔය කවියට එකඟ වෙන්න බෑ ඔන්න. මට නම් අඩුවෙන්ම පාඩම් කරපු සහ වැඩියෙන්ම එන්ජෝයි කරපු අවුරුදු හතරක් මගේ කැම්පස් කාලේ...කැම්පස් නොගියාය කියල කවුරුත් දුක් වෙන්න ඕනත් නැහැ. නමුත් මට කැම්පස් යාම ගැන කොහෙත්ම පසුතැවීමක් නැහැ.

    ReplyDelete
  7. එක අතකට ඇත්ත තමයි....

    ReplyDelete
  8. කැම්පස් ඇවිල්ලා පොත් ටිකම බදාගෙනම ඉන්න අයට කැම්පස් එක තරම් හිර ගෙයක් තවත් නැතුව ඇති කියලා හිතෙනවා ඇති...හැමදේම අතහැරලා ෆන් ගන්න අය හිතනවා ඇති මීට වඩා ෆන් එකක් ගන්න වෙන තැනක් නැහැ කියලා ..ඔය වැඩ ටිකත් කරගෙන ෆන් එකේ ඉන්න අයට දැනෙනවා ඇති මේක සුන්දර වගේම ක‍ටුක තැනක් වුණාට..විවිධ පැතිවල,ව්ව්ධ තරාතිරම් වල,විවිධ අදහස් දරන අයත් එක්ක ගොඩක් අත්දැම් එක් කර ගන්න පුළුවන් ‍තෝතැන්නක් කියලා..හරි ද මන්දා.. :) ඒ මට හිතෙන විදිහ..:)

    ReplyDelete
  9. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  10. සම්පූර්න ඇත්ත කකා..
    ගෙදර එනව කියන්නේ ඉතින්..අම්මා..!!!
    කියල වැඩක් නෑ...

    ReplyDelete
  11. මේ කවිය දැක්කම මට මං ලියපු කවියක් මතක් වුණා...

    රෑ පුරා නිදි නැති ව පොත ට වහලෙක් වෙලා
    සිත පිනා කවි ලියූ රස හැඟුම් මොට වෙලා
    නොසිතු සේ සරසවිය අඳුරින් ම බර වෙලා
    නො එනු මැන කිසිකෙනෙක් අප විඳින දුක බලා

    ReplyDelete
  12. මටත් මම ලියපු කවියක් මතක් වුනා http://lokayekonaka.blogspot.com/2011/12/blog-post_05.html

    ReplyDelete
  13. පවු A/L වලින් ෆේල් වෙච්ච අයියලා ටික ආන් ගල උඩ පහරලා ඒ ටික වහන්න ගිහින් ගා ගන්නවා හැමතැනම..

    ReplyDelete
  14. කැම්පස් යන එකත් කසාද බඳිනවා වගේ වැඩක්...බැඳලා නැති එකා බඳින්න හදනවා...බැඳපු එකා වැටිච්ච අමාරුව ගැන කියව කියවා ඉන්නවා... :-)

    ReplyDelete
  15. පිළිතුරු කවිත් තිබුනනං නියමයි....

    ReplyDelete
  16. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    අපේ බැචාලා දෙන්නා මගේ කවියට පිළිතුරු ලෙස ලියූ දේශපාලන ප්‍රචාරකවාදී කවි දෙක නං දැන් මට මතක නෑ.

    ඒ දෙකට උත්තර විදියට මං ලියූ කවිය නං ඔන්න අද පලකළා.
    http://kathandara.blogspot.com/2011/12/end-of-chapter.html

    ජයවේවා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.